29. මහණෙනි, චංක්‍රමයෙහි මේ අනුසස්හු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
අධන්ගමන් සැහිය හැකි වෙයි. ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වෙයි. අල්පාබාධ වෙයි. අසිතය, පීතය, ඛායිතය හා සායිතය සම්‍යක්පරිණාමයට යෙයි. චංක්‍රමාධිෂ්ඨානයෙන් අධිගත සමාධිය චිරස්ථිතික වෙයි.
මහණෙනි, මොහු චංක්‍රමයෙහි පඤ්චානිසංස වෙතියි.
5. 1. 3. 10.
[නාගිත සූත්‍රය]
30. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි චාරිකා කරණ සේක් මහත් බික්සඟුන් හා ඉච්ඡානඞ්ගල නම් කෝශලයන්ගේ බ්‍රාහ්මණ ග්‍රාමයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩ වසන සේක.
ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරණ බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු ඉච්ඡානඞ්ගලයට ක්‍රමයෙන් ප්‍රාප්තවූවාහු ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි විහරණ කෙරෙති”යි -
“ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණකීරිතිඝෝෂයෙක් උස්ව නැංගේය. ඔහු දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දෙසන්නාහ.-
“ඔහු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දහම් දෙසති. (එසේ දෙසමින් ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කෙරෙති. එබඳු අරහතුන්ගේ දර්‍ශනය මනා වේ යයි” ඇසූහ.
ඉක්බිති ඉච්ඡානඞ්ගලවැසි බ්‍රාහ්මණගෘහපතිහු එ රැය ඇවෑමෙන් බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගලවනෂණ්ඩයට එළඹියහ. එළඹ බිහිදොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇත්තාහු සිටගත්හ.
එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවත්හුගේ උපස්ථායක වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: “නාගිතයෙනි, මත්ස්‍ය විලෝපයෙහි (විකුණන තැන) කෛවර්‍තයන් බඳු උස් හඬ ඇති මහ හඬ ඇති ඔහු කවරහ?”යි. “වහන්ස, තෙල ඉච්ඡානඞ්ගල වාසී බ්‍රාහ්මණ ගෘහපතිහු බොහෝ ඛාද්‍යභෝජ්‍ය රැගෙණවුත් භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද උදෙසා බිහිදොර කොටුයෙහි සිටියාහු ය”යි.
නාගිතයෙනි, මම යශස් හා සමාගත නො වෙම්වා. යශස් ද මා හා සමාගත නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්‍ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසමසුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලු වෙම් නම්, නිදුක් සේ ලබන සුලු වෙම් නම්, විපුල කොට ලබන සුලු වෙම් නම්, (එසේ මා ලබන) මේ නෙක්‍ඛම්මසුඛය පවිවේකසුඛය උපසමසුඛය සම්බෝධසුඛය යමෙක් කැමැති සේ ලබන සුලු නොවී නම්, නිදුක්සේ ලබන සුලු නොවී නම්, විපුල කොට ලබන සුලු නොවී නම්, හෙතෙම එ අශුචිසුඛය, නිද්‍රාසුඛය, ලාභසත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපන් සුඛය ඉවසන්නේය.
“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, සුගතයන් වහන්සේ ඉවසන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලයයි. වහන්ස, යම් ම දිගෙක භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණන් හා ගැහැවිහුදු නියම්ගම් වැස්සන් හා දනවුවැසියෝ ද එදිගට නැඹුරු වූවාහු ම වෙති.
වහන්ස, යම් පරිදි මහ පොද ඇති වට වස්නා කල්හි නිම්නභූමිය අනුව ම උදකයෝ වටනාහු ද, වහන්ස, එපරිදි ම යම් ම දිගෙක්හි භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණුගෙහෙවියෝ ද නියම්ගම්දනවුවැස්සෝ ද එදිගට නැඹුරුවන්නාහ. එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ඥානය එබඳු ම (ජනප්‍රිය වනු ම) බැවිනි.
නාගිතයෙන්, මම් යශස හා නහමක් සමාගත යෙම්වා, යශස් ද මා හා නහමක් සමාගත වේවා. නාගිතයෙනි, මම් යම් ම නෛෂ්ක්‍රම්‍ය සුඛයක් ප්‍රවිවේක සුඛයක් ව්‍යපශම සුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුල්ලෙම්, නිදුකින් ලබන සුල්ලෙම්, විපුලසේ ලබන සුල්ලෙම් වෙම් ද, යමෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සුඛය, ප්‍රවිවේක සුඛය, ව්‍යපශමසුඛය, සම්බෝධසුඛය කැමැතිසේ නොලබන සුලුයේ, නිදුකින් නොලබන සුලුයේ විපුලසේ නොලබන සුලුයේ වේ නම්, හෙ ඒ අපවිත්‍ර සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපදනා සුඛය ඉවසන්නේය. නාගිතයෙනි, අසිත, පීත, ඛායිත සායිතයාගේ වනාහි මහවටත් සුලුවටත් (මලමූ) ම වෙයි. තෙල උහුගේ නිෂ්‍යන්‍ද (ඵලය) යි.
නාගිතයෙනි, ප්‍රියජනයන්ගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, දෘඪආයාසයෝ උපදනාහ. තෙල ඒ ප්‍රියභාවයාගේ නිෂ්‍යන්‍දය වේ.
නාගිතයෙනි, අශුභනිමිත්තානුයෝගයෙහි අනුයුක්තයාහට (ඉෂ්ටාලම්බන සඞ්ඛ්‍යාත) ශුභ නිමිත්තයෙහි පිළිකුල්බව පිහිටනේ ය. තෙල ඒ අශුභනිමිත්තානුයෝගයාගේ නිෂ්පත්තිය වෙයි.
නාගිතයෙනි, සවැදෑරුම් සපර්‍ශායතනයෙහි අනිත්‍යානුදර්ශීව වසනුවහට ස්පර්‍ශයෙහි පිළිකුල්බව පිහිටනේය. තෙල ඒ අනිත්‍යදර්‍ශනයාගේ නිෂ්පත්තියි.
නාගිතයෙනි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදාවිය නුවණින් බලමින් වසනුවහට උපාදානයෙහි පිළිකුල්බව සිටුනේය. තෙල උදයව්‍යයානුදර්‍ශනයාගේ නිෂ්පත්ති යි.
පඤ්චාඞ්ගීක වර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
අගාරව සූත දෙකෙක, උපක්කිලේස සූත්‍රය, දුස්සීල සූත්‍රය, අනුග්ගහ සූත්‍රය, විමුත්ති සූත්‍රය, සමාධි සූත්‍රය, පඤ්චඞ්ගික සූත්‍රය, චඞ්කම සූත්‍රය, නාගිත සූත්‍රය දැයි දශයෙක.
4. සුමනා වර්‍ගය
5. 1. 4. 1.
[සුමනා සූත්‍රය]
31. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි සුමනා රජ කුමරි පන්සියක් රියපිරිවරින් පන්සියක් රජකුමරි පිරිවරින් පරිවෘතව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළා:
වහන්ස, මෙ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමයහ. ශීලයෙන් සමයහ. ප්‍රඥායෙන් සමයහ. එකෙක් දායකය. එකෙක් අදායකය. ඔහු කාබුන්මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙති. වහන්ස, දෙවි වූ (දායක අදායක වන) ඔවුන්ගේ විශේෂයෙක් වන්නේ ද වෙනස් කරුණෙක් ඇති ද හෝ?යි. “ඇත, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ දෙවිවූයේම අසෝ අදායකයා (දන් නො දෙන්නා) දිව්‍ය ආයුෂයෙන, දිව්‍යවර්‍ණයෙන, දිව්‍යසුඛයෙන, දිව්‍යයශසින, දිව්‍ය ආධිපත්‍ය (අධිපතිභාව) යෙනැයි කරුණු පසෙකින් අභිභවන්නේ (යටපත් කරන්නේ) ය. සුමනාවෙනි, යම් දායකයෙක් (දන් දෙන්නෙක්) වේ නම්, හේ දෙවි වූයේ ම තෙල දන් නො දෙනහු මෙ කරුණු පසින් අභිභවන්නේය යි.
වහන්ස, ඉදින් ඔහු එයින් සැව මේ මනුෂ්‍යත්‍වයට එත් නම්, මනුෂ්‍යවූ උන්ගේ විශේෂයෙක් වන්නේ යැ හෝ වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මානුෂක ආයුෂයෙන, මානුෂකවූ වර්‍ණයෙන, මානුෂකවූ සුඛයෙන, මානුෂකවූ යශසින, මානුෂකවූ ආධීපත්‍යයෙනැයි කරුණු පසෙකින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මේ කරුණු පසින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය.
වහන්ස, ඉදින් ඒ දෙදෙන ගිහිගෙන් නික්ම ශාසනයට වදිත් නම් වහන්ස, පැවිදි වූ ඔවුන්ගේ විශේෂයෙක වන්නේය, වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේ ය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම තෙල අදායකයා කරුණු පසෙකින් මැඩගෙණ සිටුනේය: යදනා ලදුයේම (අනුන්ගේ පැවරීමෙන් ම) බහුල වශයෙන් චීවර පරිභෝග කරන්නේය, නොයදනා ලදුයේ අල්ප කොට පරිභෝග කරන්නේ ය. යදනා ලදුයේ ම බහුල වශයෙන් පිඬුවා වලඳන්නේය, නොයදනා ලදුයේ අල්පවශයෙනි. යදනා ලදුයේ ම බහුල විසින් ශයනාසන වළඳ කෙරෙයි, නො යදනා ලදුයේ අල්ප විසින් වළඳනේ ය. යදනා ලදුයේ ම බෙහෙවින් ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳන්නේය, නොයදනා ලදුයේ අල්ප විසිනි.
යම් සබ්‍රම්සරුන් හා වෙසේ නම්, ඔහු (ඒ දායක පැවිදිනට) මනාප වූ ම කායකර්‍මයෙන් බෙහෙවින් හැසිරෙත්. අමනාප කායකර්‍මයෙන් අල්ප විසිනි. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල විසින් හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම උපහාර එළවත්. අමනාප උපහාර අල්පවශයෙනි. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම මේ පස්කරුණින් තෙල අදායක මහණ මැඩ සිටුනේ ය.
වහන්ස, ඉදින් ඔහු දෙදෙන අර්‍හත්‍වයට පැමිණෙත් නම්, අර්‍හත්‍වයට පත් ඔවුන්ගේ විශේෂයෙක් වන්නේය, නානාකරණයෙක් වන්නේය හෝ?යි.
සුමනාවෙනි, මෙ විෂයෙහි මම උන්ගේ කිසිදු නානාකරුණක් නොවදාරමි. එනම්-(එකකුගේ) විමුක්තිය හා (අනෙකාගේ) විමුක්තිය යි. (අර්‍හත්ත්‍වයෙහි වෙනෙසෙක් නොවේ ම ය.)
වහන්ස, අසිරිය, වහන්ස, අද්භූතයි. වහන්ස, දෙවිවුවහුට ද යම් ම පින් උපකාර වේ ද, මිනිස් වූවහුට ද යම් ම පින් උපකාර වේ ද, පැවිදි වූවහුට ද යම් ම පින් උපකාර වේද, එහෙයින් දන්දීම ඉතා නිසි ම ය. පින්කළ යුතු ම ය.
සුමනාවෙනි, තෙල එසේ මැයි. සුමනාවෙනි, තෙල එසේ මැ යි. සුමනාවෙනි, දන්දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවිවුවහුට ද පින් උපකාර වෙයි, මනුෂ්‍යවුවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා එක්බිති තදන්‍යය (තෙල ගා) වදාළ සේක:
1. යම් සෙයින් නිර්‍මල චන්‍ද්‍රයා අහසින් යනුයේ ලොව හැම තරු කැලන් සිය එළියෙන් අභිභවා වොරදනේ වේ ද,
2. එසෙයින් සිල් සපන් සැදැහැති පුරුෂපුද්ගලයා ලොව හැම මසුරන් ත්‍යාගයෙන් අභිභවා වොරදනේ වේ.
3. යම් සෙයින් විදුලිමාලි ඇති, සියගණන් මේකුළු ඇති, ගිගිරිකරණ මේඝය පෘථිවිය තෙමමින් ගොඩවළ පුරවාද,
4. එසෙයින් දර්‍ශන සම්පන්න (සෝවන්) පණ්ඩිත සම්‍යක් සම්බුද්ධශ්‍රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි.
5. ආයුෂයෙන, යශසින, වර්‍ණයෙන, සුඛයෙනැයි (හේ මසුරා දනන්නේය). හෙ එකැතියෙන් දානාඛ්‍යභෝගෞඝයා විසින් (දාන නමැති ජලොඝය විසින් සුගතිය කරා) පමුණුවනු ලැබුයේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද සතුටු වෙයි.
5. 1. 4. 2.
[චුන්‍දි සූත්‍රය]
32. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල චුන්‍දි රජකුමරි පන්සියක්රිය පිරිවරිනුදු පන්සියක් කුමරි පිරිවරිනුදු පිරිවැරුණී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුනු. එකත්පසෙක හුන් චුන්‍දී රජකුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළා:
වහන්ස, අපගේ භ්‍රාතෘ වූ චුන්‍ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්‍රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි.
වහන්ස, තෙල මම් භාග්‍යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් කෙරෙහි පහන් වූයේ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹෙන්නේ වේ ද, දුගතියට නොයන්නේ වේ ද? වහන්ස, කෙබඳු වූ ධර්‍මයෙක්හි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සඟුන් කෙරෙහි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සීලයෙහි පරිපූරකාරී වූයේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට ම එළඹේ ද, දුගතියට නො යේ ද?
චුන්‍දියෙනි, අපදයෝ වෙත් ව යි, ද්විපදයෝ වෙත් ව යි, චතුෂ්පදයෝ වෙත් ව යි, බහුපදයෝ වෙත් ව යි, රූපීහු වෙත් ව යි, අරූපීහු වෙත් ව යි, සංඥිහු වෙත් ව යි, අසංඥීහු වෙත් ව යි, නෛවසංඥීනාසංඥීහු වෙත් ව යි, යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම්, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයෝ ඔවුනට අග්‍රයහ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වූවාහු නම්, ඔහු අග්‍රයා කෙරෙහි පහන්හ. අග්‍රයා කෙරෙහි පහන් වූවනට අග්‍ර විපාක වෙයි.
චුන්‍දියෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. චුන්‍දියෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍ර විපාක වෙයි.
චුන්‍දියෙනි, සංස්කෘතයෝ වෙත් ව යි, අසංස්කෘතයෝ වෙත් ව යි, යම් තාක් ධර්‍මයෝ වෙත් නම්, විරාගය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: මදනිම්මදනය වූ පිපාසාවිනය වූ ආලයාගේ සමුග්ඝාතය වූ වර්තෝපච්ඡේදය වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ නිර්‍වාණය ය යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
චුන්‍දියෙනි, සඟහු වෙත් ව යි, ගණහු වෙත් ව යි, යම් තාක් සමූහ කෙනෙක් වෙත් නම්, තථාගතයන්ගේ ශ්‍රාවකසඞ්ඝයා ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: චතුෂ්පුරුෂයුග්ම වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ යි. භගවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ගෙනවුත් දෙන දනට නිසි ය. ප්‍රාඝුණ සත්කාරයට නිසි ය. දක්‍ෂිණාවට නිසි ය. අඤ්ජලිකරණයට නිසි ය. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. චුන්‍දියෙනි, යම් කෙනෙක් සඞ්ඝයා කෙරෙහි පහන්හු ද, ඔහු අග්‍රයෙහි පහන්හ. අග්‍රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
චුන්‍දියෙනි, යම් තාක් සිල් ඇත් නම්, ආර්‍ය්‍යයනට කාන්ත වූ (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූ) සීලයෝ ඔවුනට අග්‍රහයි කියනු ලැබේ. එනම්: අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ නුවණැතියන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධියට හිත පිණිස වූ සීලයෝ යි. චුන්‍දියෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙහි පරිපූරකාරී වෙත් නම්, ඔහු අග්‍රයෙහි පරිපූරකාරී වෙත්. අග්‍රයෙහි පරිපූරකාරීනට අග්‍රවිපාක වේ ය යි.
6. ඒකාන්තයෙන් (රත්නත්‍රය විෂයෙහි) අග්‍රභාවයෙන් පහන් වූ අග්‍ර ධර්‍මය (රත්නත්‍රයෙහි උත්තමස්වභාවය) දක්නාවුන්ට ද, අනුත්තරදක්‍ෂිණාර්‍හ වූ අග්‍ර බුදුරජුන් කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
7. විරාගයට හා උපශමයට හේතු වූ, සංසාර දුඃඛක්‍ෂය භාවයෙන් සුඛ ඇති, අග්‍ර වූ ධර්‍මයෙහි පහන් වූවනට ද, අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ අග්‍රසඞ්ඝයා කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
8. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙනුවනට අග්‍ර පුණ්‍යය වැඩෙ යි. අග්‍ර ආයුෂ ද වර්‍ණය ද යශස් (පිරිවර) ද කීර්තිය ද සුඛය ද බලය ද වැඩේ.
9. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන අග්‍රප්‍රසාදධර්‍මයෙහි මොනොවට පිහිටි නුවණැතියේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍රභාවයට පැමිණියේ ප්‍රමුදිත වෙයි.
5. 1. 4. 3.
[උග්ගහ සූත්‍රය]
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වෙනෙහි වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවස් වියයුතු දන් පිණිස තමන් වහන්සේ සතර වන කොට ඇති සේක් මාගේ බත අධිවාසනා කරණ සේක්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. එකල්හි මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටුගේ නිවේසනයට වැඩිසේක. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්සේක. ඉක්බිති මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්පී ය, පැවරීය.
ඉන්පසු මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු දන් වැළඳු, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැන එකත් පසෙක හින. එකත් පසෙක හුන් මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවත්හට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මාගේ මේ දූකුමරියෝ පතිකුලයට යන්නාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් සේ ඔවුනට දීර්‍ඝරාත්‍රයක් හිත සුව පිණිස පවත්නේ වේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට එසේ අනුශාසනා කරණ සේක්වා.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ කුමරියනට තෙල වදාළ සේක: කුමරියෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මෙන්නේ ය: “වැඩ කැමැති හිත කැමැති අනුකම්පා ඇති මාපියෝ අනුකම්පා හේතුවෙන් යම් හිමියකුහට දක්වා දෙත් නම්, ඔහට පළමු නැඟී සිටුනා සුල්ලමෝ පස්ව නින්දට යන සුල්ලමෝ කුම් කෙරෙම් දැ යි විමසා කරණ සුල්ලමෝ මනවඩන පරිදි හැසිරෙන සුල්ලමෝ ප්‍රියතෙපුල් බණන සුල්ලමෝ වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය. “මව වේව යි, පියා වේව යි, මහණබමුණෝ වෙත්ව යි භර්‍තෘහුගේ යම් ඒ ගුරුහු වෙත් නම්, ඔවුනට සත්කාර කරම්හ, ගුරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, හමුවට පත් ඔවුන් අස්නෙනුදු පාදෝනා දියෙනුදු පුදම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මෙ කරුණෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්‍තෘහුගේ එළුලොම් (ගෙතීම්) වේව යි, කපු (කැටීම) වේව යි, යම් ඒ අභ්‍යන්තර (ගෘහ) කර්‍මාන්ත කෙනෙක් වෙත් නම්, එ එ විසාහි දක්‍ෂ වූවමෝ, අනලස් වූවමෝ එහි සංවිධානෝපාය වූ විමසීමෙන් යුක්ත වූවමෝ, කරන්නට නිසි වූවමෝ, කරවන්නට නිසි වූවමෝ වම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමාරියෙනි, මෙ කරුණෙහි මෙසේ ම හික්මෙන්නේ ය: භර්‍තෘහුගේ දස්හු වෙත්ව යි, ප්‍රෙෂ්‍යයෝ (දූතයෝ) වෙත්ව යි, කම්කරුවෝ වෙත්ව යි - යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත ජනයෝ වෙත් නම්, ඔවුන්ගේ කළ දෑ කළ විසින් දනුම්හ, නො කළ දෑ නො කළවිසින් දනුම්හ, ගිලනුන්ගේ ද බල - අබල දැනුම්හ. (උවැටැන් කරම්හ). ඒ අන්තොජනයාට ඛාද්‍යභෝජ්‍යයනුදු උන් උන් ලදමනා කොටස් විසින් බෙදා දෙම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමාරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්‍තෘ තෙමේ ධන වේ වයි, ධාන්‍ය වේ ව යි, රිදී වේ ව යි, රන් වේ ව යි - එ යමක් ම ගෙණ එයි නම්, එය ආරක්‍ෂායෙන් ගෝපනයෙන් සම්පාදනය කරම්හ, ඔහට ධූර්ති (පුරුෂ ධූර්ති, සුරා ධූර්ති) නො වම්හ, නො සෙර වම්හ, (රහසොඬ ආදීන්) සොඬ නො වම්හ, විනාශිකා නො වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
කුමරියෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
10. යම් හිමියෙක් හැම කල්හි වීර්‍ය්‍ය ඇතියේ උත්සාහවත් වූයේ නිතර ඇය පුස්නේ වේ ද, හැම කැමති දැය ම ගෙණදෙන පුස්නා භර්‍තෘ වූ එ පුඟුල් අතිමඤ්ඤනා විසින් (ඉක්ම) නො සිතන්නී ය.
11. කළණ එ ස්ත්‍රී ඊපසාචාරයෙන් (හිතුවා කිරීමෙන්) භර්‍තෘහු කුපිත නො කරන්නී ය. නුවණැති ඕ භර්‍තෘහුගේ වැඩිසිටි දනන් පුදන්නී ය.
12. පළමු මැ නැගි සිටුනා සුලු වූවා, අනලස් වූවා, සගත් පිරිවර දනන් ඇත්තී, භර්‍තෘහට ම නවඩනුවට හැසිරෙයි. ඉපයූ දෑ රක්නි ය.
13. යම් ස්ත්‍රියක් මෙසේ පවත්නී ස්වාමියාගේ සඳවිසිය අනුව ගියා යම් දේවනිකායෙක්හි ඕ උපදිනී වූ නම්, ඒ දෙවියෝ මනාපකායිකා නීම්මාණරතී නම්හ.
5. 1. 4. 4.
[සීහසේනාපති සූත්‍රය]
34. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අබියෙස්හි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි (කැණිමඩුලු යොදා කළ පහයෙහි) වසන සේක. එකල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සාන්දෘෂ්ටික (තමන් විසින් ම දැක්ක යුතු) දානඵල පණවන්නට හැකිවන සේක් ද හෝ?”යි.
සීහය, ‘හැක්කම්හ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත් ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵලයි.
තවද සීහය, දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ. සීහය, යම් හෙයෙකින් දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා ක්‍ෂත්‍රිය පර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණ පර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ වයි, ශ්‍රමණපර්‍ෂදකට වේව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම නො මකුව ම එළඹෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා ක්‍ෂත්‍රියපර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණපර්‍ෂදකට වේ ව යි, ගෘහපති පර්‍ෂදකට වේ ව යි, ශ්‍රමණපර්‍ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම තෙද සහිතව ම එළඹෙයි. මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
තවද සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායක කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ වේද, මෙ සාම්පරායික (පරලොව) දානඵල යි.
මෙසේ වදාළ කල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සාන්දෘෂ්ටිකදානඵල කෙනෙක් වදාරණ ලදහු නම්, එහි මම භගවද්ගත ශ්‍රද්ධායෙන් නො එමි. (ශ්‍රද්ධායෙන් ම නො අදහමි.) මම ද තෙල (ප්‍රත්‍යක්‍ෂයෙන්) දනිමි. වහන්ස, මම දානපති දායකයෙමි. බොහෝ දෙනාහට ප්‍රියමනාපයෙමි. වහන්ස, මම් දානපති දායකයෙමි. සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්. වහන්ස, මම දානපති දායකයෙමි. මාගේ කල්‍යාණකීර්ත්ති ශබ්දය උස්ව නැඟින: ‘සිංහසේනාපති දායකය, කාරකය, සඞ්ඝෝපස්ථානකයැ’යී වහන්ස, මම දානපති දායකයෙම් ක්‍ෂත්‍රියපර්‍ෂදකට වේව යි, බ්‍රාහ්මණපර්‍ෂදකට වේ වයි, ගෘහපති පර්‍ෂදකට වේ ව යි, ශ්‍රමණ පර්‍ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹෙන්නෙම් නම්, විසාරදයෙම් ම තෙදැතියෙම් ම එළඹෙමි. වහන්ස, භගවත්හු විසින් යම් බඳු මේ සතර සාන්දෘෂ්ටික දානඵල කෙනෙක් වදාරණ ලද්දාහු නම්, එහි මම භගවද්ගත සැදැහැයෙන් නො යෙමි. තෙල කරුණු මම ද දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ ය’යි මෙසේ යමක් වදාළ සේක් නම්, තෙල කරුණ මම නො දනිමි. මෙ කරුණෙහි මම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධායෙන් යෙමි (අදහමි)”යී.
සීහය, තෙල එසේ ම ය, සීහය, තෙල එසේ ම ය. දානපති දායක කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙන්නේ ය යි.
14. නො මසුරු මිනිස් තෙමේ දන් දෙනුයේ ප්‍රිය වෙයි. බොහෝ දෙන ඔහු ඇසුරු කෙරෙත්. කීර්තියට ද පැමිණේ. යශස් ද වැඩේ. සතේජසකව ම පිරිස් වැද ගණී. විශාරද (ඥානසෞමනස්‍යයට පැමිණියේ) වෙයි.
15. එහෙයින් ම සුව කැමැති පණ්ඩිතයෝ මසුරු මල දුරු කොට දන් දෙත්. ඔහු දිගුකලක් දෙව් ලොව පිහිටියාහු දෙවියන්ගේ සහවාසයට ගියාහු රමණය කරත්.
16. කරණ ලද ආවාස (දෙව්ලොව වාස පිණිස කළකම්) ඇති, කළ කුසල් ඇති ඔහු එයින් (මිනිස් බැවින්) සැව ස්වයම්ප්‍රභ වූවාහු නදුනුයනෙහි සැරිසරත්. ඔහු එහි සතුටු වෙත්. සිත් අලවා වෙසෙත්. පස්කම් ගුණයෙන් සමර්පිත වූවාහු අනිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටිමාන ඇසුරු නො කළ) තාදී ගුණ ඇති භගවත්හුගේ භාෂිතය කොට තථාගතශ්‍රාවකයෝ ස්වර්‍ගයෙහි රමණය කෙරෙත්.
5. 1. 4. 5.
[දානානිසංස සූත්‍රය]
35. මහණෙනි, දානයෙහි මෙ අනුසස් හු පස්දෙනෙක් වෙති. පස්දෙන කවරයහ යත්:
බොහෝ දෙනහට ප්‍රිය - මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ භජනය කෙරෙත්. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව පැන නැඟේ. ගිහී ධර්‍මයෙන් (අඛණ්ඩපඤ්චශීලයෙන්) නොතොර වෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදනේ යි. මහණෙනි, දානයෙහි මේ අනුසස්හු පස්දෙන වෙති.
17. සත්පුරුෂ ධර්‍මය අනුව යන දෙන තැනැත්තේ ප්‍රිය වෙයි. සංයත බ්‍රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කෙරෙත්.
18. ඔහු ඔහට හැමදුක් බැහැර ලන යම් දහමක් දෙසත් ද, මෙ ලොව්හිදී ම හේ එදහම් පිළිබඳ ආස්‍රවරහිත වූයේ පිරිනිවේ යි.
5. 1. 4. 6.
[කාලදාන සූත්‍රය]
36. මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
ආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්‍ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්‍ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි.
19. හළ මසුරුමල ඇති භාෂිතඥ (බස දන්නා) වූ සප්‍රාඥයෝ නිසි කල්හි දන් දෙති. තාදී ගුණ ඇති ඍජුභූත ආර්‍ය්‍යයන් කෙරෙහි නිසි කල්හි පහන් සිතින් දුන් දැයෙක් වේ නම් ඔහුගේ දක්‍ෂිණාව විපුල වෙයි.
20. එහි යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ගේ දක්‍ෂිණාව ඌන නො වෙයි. ඔහුදු පුණ්‍යභාගීහු වෙත්.
21. එහෙයින් යම් තැනෙක්හි දුන් දැය මහත්ඵල වේ නම් (එහි) උත්කණ්ඨාරහිත සිත් ඇතිව දෙන්නේ ය. පුණ්‍යයෝ ම සත්නට පරලොව්හි පිහිට වෙති යී.