Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 5701-5800 න් 15980

[අත්තහිත සූත්‍රය]
17. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, පරහිතපිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සිල්සපන් වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න වෙයි, මෙරමා විමුක්ති සම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න (ප්‍රත්‍යවේක්‍ෂණඥානසම්පන්න) වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේ නො වෙයි.
5. 1. 2. 8.
[පරහිත සූත්‍රය]
18. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි, ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි. මෙරමා සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නොවෙයි, මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත (දුශ්ශීල බහුශ්‍රුත) මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි. ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි.
5. 1. 2. 9.
[නේව අත්තහිත - නො පරහිත සූත්‍රය]
19. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් නො වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (අල්පශ්‍රැත දුශ්ශීල) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් නො වෙයි.
5. 1. 2. 10.
[අත්තහිත - පරහිත සූත්‍රය]
20. මහණෙනි, පස් දහමෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සීලසම්පන්න වෙයි. මෙරමාත් සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, මෙරමාත් සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමාත් ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්ති සම්පන්න වෙයි, මෙරමාත් විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. මෙරමාත් විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (බහුශ්‍රුත ක්‍ෂීණාස්‍රව) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් වෙයි.
බලවර්‍ගය දෙ වැනි යි.
එහි උද්දානය:
අනනුස්සුත සූත්‍රය, කූට සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, විත්‍ථත සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, පුනකූට සූත්‍රය, හිත සූත සතර දැ යි දසයෙක.
3. පඤ්චඞ්ගික වර්‍ගය
5. 1. 3. 1.
[පඨමඅගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් නැති විසදෘශජීවිතවෘත්ති ඇති, එ මහණ එකැතියෙන් (වත් විසින් ප්‍රඥප්තශීලය වූ) ආභිසමාචාරික (උත්තමාචාර) ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. (උත්තමසමාචාර සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ති ශීලසඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා (සතරමහ) සිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සිල් නො පුරා (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග්දෘෂ්ටිය නො පුරා (මාර්‍ග-ඵල) සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
5. 1. 3. 2.
[දුතියඅගාරව සූත්‍රය]
22. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය නැති, විසභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. ආභිසමාචාරිකධර්‍මය නො පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශීලස්කන්‍ධය නො පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සමාධිස්කන්‍ධය නො පුරා ප්‍රඥාස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.
5. 1. 3. 3.
[උපක්කිලේස සූත්‍රය]
23. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදු නො වේ නම්, කර්‍මණ්‍ය ද නො වේ නම්, ප්‍රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්‍මයට නො පැමිණේ නම්, ස්වර්‍ණයාගේ මේ ඒ උපක්ලේශයෝ පස් දෙනෙකි.
කවර පස් දෙනෙක යත්: අයස් (කළුලෝහො) ය, ලොහොය, තුබූ (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්‍මයට නො පැමිණේ නම්, මේ ස්වර්‍ණයාගේ ඒ පඤ්ච උපක්ලේශයෝ යි.
මහණෙනි, යම් හෙයෙකින් ස්වර්‍ණය මේ පඤ්චඋපක්ලේශයෙන් මිදුනේ වේ නම්, ඒ ස්වර්‍ණය මෘදු ද කර්‍මණ්‍ය ද ප්‍රභාස්වර ද නො බිඳෙන සුලු ද වෙයි. (යමෙක්) මුඳුවකට වේ වයි, කොඬොලකට වේ වයි, ගෙලපළඳනකට වේ වයි, රන්මාලාවකට වේ වයි, යම් යම් පළඳනා වෙසෙසක් සඳහා කැමැති වේ නම්, ඒ කර්‍මයට මැනැවින් පැමිණෙයි. එ අර්‍ත්‍ථය ද (හෙ) වළඳනේ ය.
මහණෙනි, එ පරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම්, මේ (චාතුර්භූමක) කුශලචිත්තය පිළිබඳ එබඳු උපක්ලේශයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම් කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, (අරමුණෙහි) බිඳෙන සැහැවිත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම් චිත්තය පිළිබඳ මේ එබඳු උපක්ලේශයෝ පස්දෙන යි.
මහණෙනි, යම් හෙයෙකින් සිත මේ පඤ්ච උපක්ලේශයෙන් විමුක්ත වේ නම්, එ සිත මෘදුත් වෙයි, කර්‍මණ්‍යත් වෙයි, නො බිඳෙන සැහැවිත් වෙයි. ආස්‍රවක්‍ෂය පිණිස මොනොවට සමාහිත ද වෙයි. අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම දහම්වෙසෙසක් සඳහා විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත්කරණයට සිත නැඹුරු වේ නම්, ඒ විශෙෂයෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂ (කිරීමෙහි භව්‍ය) භාවයට පැමිණෙයි.
හේ ඉදින් ‘අනේකවිධ ඍද්ධිවිධඥානය අනුභව කරන්නෙමි’යි එකක්ව ම බහුප්‍රකාරයෙන් වන්නෙමි යි ... බඹලොව්දු තෙක් කයින් වසය පවත්වන්නෙමි”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් මිනිස්කන ඉක්ම සිටි පිරිසිදු දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරුතන්හි වූ ද සමීපයෙහි වූ ද උභයශබ්දයන් අසන්නෙමි’යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත චේතෝපරියායඤාණයෙන් සරාගචිත්තය සරාගචිත්තය විසින් දන්නෙමි යි ... විමුත්ත වූ හෝ සිත විමුත්ත චිත්තය යි දන්නෙමැයි, අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිත ය යි දන්නෙ මැ යි” කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැයි එනම්; එක් ජාතියක් ද ජාති දෙකක් ද ... (කියා) මෙසේ අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැ”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ දිවැසින් ... කම් වූ පරිද්දෙන් මිය යන සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් “ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත චිත්තවිමුත්තිය, ප්‍රඥාවිමුක්තිය ... ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ ය යි.
5. 1. 3. 4.
[දුස්සීල සූත්‍රය]
24. මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම නට සම්‍යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු (එළය ද) හරය ද පරිපූර්තියට නො යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි ... විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක් සමාධිසම්පන්නයාගේ යථාභූත ඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදා හා විරාගය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. නිබ්බිදා හා විරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, අතුකොළ සපන් රුකෙක් යම් බඳු වේ නම්, එහි පොතුදු පරිපූර්තියට යෙයි. සිවිදු පරිපූර්තියට යෙයි. බොරුදු පරිපූර්තියට යෙයි. හරය ද පරිපූර්තියට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය (උපනිඃශ්‍රයසම්පන්න) වෙයි.
5. 1. 3. 5.
[අනුග්ගහිත සූත්‍රය]
25. මහණෙනි, කරුණු පසෙකින් අනුගෘහීත වූ (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය මාර්‍ගඵල සමාධිය ඵල කොට ඇත්තී ද මාර්‍ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වෙයි. ප්‍රඥාවිමුක්තිසඞ්ඛ්‍යාත ඵලඥානය ඵල කොට ඇත්තී ද ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තී ද වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලයෙන් අනුගෘහීත ද වෙයි. ශ්‍රැතයෙන් අනුගෘහීත ද වෙයි. ධර්‍මසාකච්ඡායෙන් අනුගෘහීත ද වෙයි. (චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත) ශමථයෙන් අනුගෘහීත ද වෙයි. විදර්‍ශනායෙන් අනුගෘහීත ද වෙයි.
මහණෙනි, මේ පසඟින් අනුගෘහීත වූ සම්‍යග්දෘෂ්ටිය චිත්තවිමුක්තිය ඵලය කොට ඇත්තීත් චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තීත් ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වේ ය යි.
5. 1. 3. 6.
[විමුත්තායතන සූත්‍රය]
26. මහණෙනි, යම් විමුත්තිකාරණයන්හි අප්‍රමත්තව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනුත්පන්න හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම් (එබඳුවූ) විමුත්තායතනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්‍යධර්‍මය දේශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්‍ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය (තරුණප්‍රීතිය) උපදනේ ය. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය අතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්‍හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට (අර්‍හත්ත්‍වයට) අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ ප්‍රථම විමුක්තායතන යි.
(2) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ ධර්‍මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්‍මයෙහි අර්‍ත්‍ථය පිළිවිදුනේ ද, ධර්‍මය පිළිවිදුනේ ද වෙයි. අර්‍ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි.
මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව වැර ඇතිව ප්‍රහිතාත්ම ව වාසය කරණ භික්‍ෂුහුගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්‍ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ එ ද්විතීය විමුක්තායතන යි.
(3) තවද මහණෙනි, මහණකුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ දහම් නො ම දෙසන්නේ ය. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට නො ද දෙසන්නේ ය. වැලිදු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. මහණෙනි, යම් යම් පරිදි මහණකු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරේ නම්, එ එ පරිදි හේ එ දහම්හි අරුත් පිළිවිදුනේත් දහම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා දහම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයා හට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව ලබන්නේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව අතාපී ව ප්‍රහිතාත්ම ව වෙසෙන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරීක්‍ෂණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ තෘතීය විමුක්තායතනය යි.
(4) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.
(5) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ වේවයි; අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේවයි, ධර්‍මය නො ම දෙසන්නේය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් සජ්ඣායනා නො ද කරන්නේය. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්තව ධර්‍මය සිතින් නො ද අනුවිතර්‍කන කරන්නේය. අනුවිචරණය නො කරන්නේය. සිතින් අනුප්‍රේක්‍ෂා නො කරන්නේය. එතෙකුදු වුව, ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් (කමටහනක්) මොනොවට උගන්නා ලද්දේ වෙයි. මොනොවට මෙනෙහි කරණ ලද වෙයි. මොනොවට උපධාරිත වෙයි. ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද වෙයි.
මහණෙනි, යම් යම් පරිදි භික්‍ෂූහු විසින් අන්‍යතර සමාධිනිමිත්තක් සුගෘහීත ද, මැනැවින් මෙනෙහි කරණ ලද ද, මැනැවින් උපධාරිත ද ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ ද වේ නම්, හෙ ඒ ඒ පරිදි ඒ ධර්‍මයෙහි අර්‍ත්‍ථප්‍රතිසංවේදී හා ධර්‍මප්‍රතිසංවෙදී හා වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවේදී වූ ධර්‍මප්‍රතිසංවෙදී වූ ඔහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්සුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයි.
මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පඤ්චවිමුක්තායතනයි.
5. 1. 3. 7.
[සමාධි සූත්‍රය]
27. මහණෙනි, අප්‍රමාණ (ලෝකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්‍වාගතව වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවේක්‍ෂාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර පස්දෙනෙක යත්:
“මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය’යි ද මතුයෙහිත් සුඛවිපාක ඇතියේ ය”යි ද තමා කෙරෙහි ම ඤාණය උපදනේ ය. “මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලෝකාමිසයෙන් තොරය” යි ද තමා තුළම ඤාණය උපදනේය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලද ය”යී තමා තුළම ඤාණය උපදනේය. “මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, කෙලෙස් සන්සිඳවූවහු විසින් ලබන ලදය, එකාග්‍රතායෙන් ලබන ලදය, සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්‍මයන් නිගෙණ (සාසවසමාධි මෙන්) උත්සාහයෙන් කෙලෙස් වළහා ලද්දේ නො වේ ය”යි තමා තුළ ම ඤාණය උපදනේ ය. “එ මම සිහි ඇතියෙම් ම මෙ සමාධියට සමවදිමි. සිහි ඇතියෙම් ම ඉන් නැගෙමි”යි තමා තුළම ඤාණය උපදනේය.
මහණෙනි, නුවණැති ව එළඹ සිටි සිහි ඇති ව අප්‍රමාණසමාධිය වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති එළඹ සිටි සිහි ඇති අප්‍රමාණසමාධිය වඩනවුනට මේ පඤ්චඤාණයෝ තමා තුළ ම උපදනාහයි.
5. 1. 3. 8.
පඤ්චඞ්ගිකසමාධි සූත්‍රය
28. මහණෙනි, පසඟින් යුත් ආර්‍ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ප්‍රථමධ්‍යාන විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙත් ගන්වයි. හාත්පස තෙමයි. හාත්පසින් පුරවයි. වටා පතුරුවයි. ඔහුගේ හැම ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කායයාගේ කිසිවක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, දක්‍ෂ වූ නැවෑමියෙක් වේවයි නැවෑමි අතවැස්සෙක් වේවයි කස්තලියෙහි නහනසුණු හෙළා දියෙන් ඉස ඉස යම් සේ හනා ද, ඔහුගේ ස්නානීයපිණ්ඩය උදකස්නේහය අනුව ගියේ ස්නෙහ පරිගත වූයේ ඇතුළත - පිටත දියෙන් පහස්නා ලද්දේ නො ද වැගිරෙයි. මහණෙනි, එ පරිදි ම මහණ මේ කරජකය විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමා ලයි. වටා තෙමා ලයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. සර්‍වාඞ්ගයෙන් යුතු ඔහුගේ කායයාගේ කිසිත් විවෙකජප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, පඤ්චාඞ්ග සමන්‍වාගත ආර්‍ය්‍ය සම්‍යක්සමාධිහුගේ මේ ප්‍රථම භාවනාවයි.
(2) තවද මහණෙනි, මහණ විතර්‍ක - විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ කරජකය ම සමාධිජ ප්‍රීතිසුඛයෙන් මැනැවින් තෙමයි. හාත්පසින් තෙමයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. ඔහුගේ සියලු ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කිසිදු ශරීරාඞ්ගයෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ඇතුළත උනන දිය ඇති දිය විලෙක් යම් බඳු වේ නම්, එයට පැදුම් දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. පැළදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. උතුරුදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. දකුණු දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. මේඝය ද කලින් කල සම්‍යක් වර්‍ෂාධාරාව නො වස්වන්නේ ය. වැලිත්, එ දියවිලින් සීතවාරිධාරායෙක් බිඳ නැගී එ දියවිල ම සිහිල් දියෙන් තෙමන්නේය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. වටා පතුරුවන්නේ ය. එ සියලු දියවිල්හි කිසිවක් සිහිල්දියෙන් නො පහළේ නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම සමාධිජප්‍රීතිසුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේය. පතුරන්නේ ය. ඔහුගේ සියලු සිරිරි පිළිබඳ කිසිදු තැනක් සමාධිජප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මේ ද්විතීය භාවනා යි.
(3) තවද මහණෙනි, මහණ ප්‍රීතිහුගේත් විරාගයෙන් ... සුඛයද කයින් විඳී ... ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිවක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ.
මහණෙනි, නිලුපුල් විලෙක් වේවයි, පියුමාරෙක වේවයි, පඬෙරවිලෙක වේවයි, ඇතැම් උත්පලයෝ හෝ පද්මයෝ හෝ පුණ්ඩරීකයෝ හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් නො නැගුණාහු ජලතල ඇතුළත ම නිමග්නව වඩනා හ. ඔහු අග පටන් මුල දක්වා සිහිල් දියෙන් තෙමුනාහු හාත්පසින් තෙමුනාහු පිරිපුන් වූවාහු හාත්පසින් පහළාහු වෙත්. එ විල්හුගේ සියලු උපුලන්ගේ වේවයි පද්මයන්ගේ වේවයි පුණ්ඩරීකයන්ගේ වේවයි සිහිල් දියෙන් හාත්පස නො පහළ කිසිදු නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. පතුරුවන්නේ ය. ඔහුගේ සියලු කායයාගේ කිසිවක් ම නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මෙ තෘතීයභාවනා යි.
(4) තවද මහණෙනි, මහණ සුඛයාගේද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාවෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හෙ මෙකය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චතුර්‍ත්‍ථධ්‍යාන සිතින් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු කායයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂයෙක් සුදුවතින් හිසින් වටා පෙරව ගෙණ හුන්නේ වේද, ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් අවදාතවස්ත්‍රයෙන් නො පහළේ නො වන්නේ ය. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ චතුර්‍ත්‍ථභාවනා යි.
(5) තවද මහණෙනි, මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත (ඥානය) මොනොවට ගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරණ ලද්දේ, මොනොවට බලන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. මහණෙනි, යම්සේ අනෙකෙක් හෝ අනෙකකු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, සිටගත්තෙක් හෝ හුන්නක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, හුන්නෙක් හෝ හෝනක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත මොනොවට උගන්නා ලදුයේ, මොනොවට මෙනෙහි කරණ ලදුයේ, මොනොවට බලන ලදුයේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලදුයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්ඤාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ පඤ්චම භාවනා යි.
මහණෙනි, මහණ මෙසේ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය භාවිත කල්හි මෙසේ බහුලීකෘත කල්හි අභිඥායෙන් පසක් කටයුතු යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස චිත්තය නැඹුරු කරන්නේ ය. කාරණ (අභිඥා) ඇති වත් ම ඒ ඒ විෂයෙහි ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නේ ය.
මහණෙනි, යම් සේ දියසැළෙක් ආධාරයෙහි තබන ලදුයේ දිය පිරුණේ, සම්භෘත වූයේ (මුව හා සමව පුරුවන ලදුයේ), කාකපෙය වූයේ (කවුඩන් විසින් ගෙල නොනමා පිය හැකි වූයේ) වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දියසැළ යම් යම් පසෙක සිසාරන්නේ වේ නම්, (ඒ ඒ පසෙහි ඒකාන්තයෙන්) දියනැගේ ද? ‘එසේ ය වහන්ස’.
මහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍යපඤ්චාඞ්ගික සම්‍යක්සමාධිය මෙ සේ භාවිතවත් ම මෙසේ බහුලිකෘතවත් ම අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් පසක් කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
මහණෙනි, යම්පරිදි සමභූමිභාගයෙක්හි සිවුරැස් වූ, මියර බැඳි, දිය පිරි, මුවතෙක් පිරි, කවුඩනට (ගෙල නොනමා) පිය හැකි පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල මියර බිඳුනේ නම් (එකැතින්) දිය නැගේ ද? ‘එසේය, වහන්ස.’ මහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
මහණෙනි, යම් පරිදි සමබිමෙක්හි සිවුමංසන්‍ධියෙක විනීත අශ්වයන් යෙදූ රථයෙක් (ගමනට) යුතු කොට තැබූ (වහා ගන්නට නිසිසේ සරස්හි) බහාතැබූ කැහිටි ඇතියේ වේ නම්, තෙල රථය දක්‍ෂ වූ අස්දම් සැරි අසැදුරෙක් නැග වමතින් රැහැන් ගෙණ දකුණතින් කැහැටි ගෙණ කැමැති මඟකින් කැමැති වේගයකින් යවන්නේත් නවත්වන්නේත් වෙයි. මහණෙනි, එසේ ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම, මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් යම් ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
ඉදින් හෙ “අනේකවිධ ඍද්ධිවිධඥානය වළඳම් වයි - එකක්ව ම බහුප්‍රකාර වෙම් වයි ... බඹලොව දක්වා කයින් වසය වටම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ඍද්ධිවිධයෙහි ම අභිඥායතන ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හෙ ඉදින් “විශිෂ්ට වූ ... දිවසෝධයින් දුර වූ ද ලඟ වූ ද, දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද, උභයශබ්දයන් අසම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ශ්‍රවණයෙහි දිවසෝධා ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හෙ ඉදින් “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නෙම් වයි - සරාග වූ හෝ චිත්තය සරාග චිත්තය යි දන්නෙම් වයි ... අවිමුත්ත වූ හෝ චිත්තය අවිමුත්ත චිත්තය යි දන්නෙම්ව”යි ... කැමැති වේ නම්, පරචිත්තඥානය ඇතිවත් ම ඒ ඒ චිත්ත ඥානයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හෙ ඉදින් “අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව යි - එනම්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව”යි කැමැති වේ නම්, පූර්වේනිවාසඥානය ඇතිවත් ම ඒ ඒ නිවාසයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හෙ ඉදින් “මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් ... කම් වූ පරිදි මිය යන සත්ත්‍වයන් දනිම්ව”යි කැමැති වේ නම්, දිව්‍යචක්‍ෂුර්ඥානය ඇතිවත් ම ඒ ඒ ඥානාඞ්ගයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හෙ ඉදින් “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තප්‍රඥාව) ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැදී වෙසෙම්ව”යි කැමැති වේ නම්, ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විමුක්තියෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
5. 1. 3. 9.
[චඞ්කමානිසංස සූත්‍රය]