Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 5301-5400 න් 15980

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
4. 5. 4. 10.
[සමණ සූත්‍රය]
41. මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) මහණ ද මෙසස්නෙහිම ය. දෙවන (සකෘදාගාමී) මහණ ද මෙසස්නෙහිම ය. තෙවන (අනාගාමී) මහණ ද මෙසස්නෙහි ම ය. සිවුවන (අර්‍හත්) මහණ ද මෙසස්නෙහි ම ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයහ යි. මහණෙනි, මෙසේ මොනොවට සිංහනාද කරව.
මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) ශ්‍රමණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අවිනිපාතස්වභාව ඇති නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රොතාපන්නයෙක් වේ. මහණෙනි, මේ (ප්‍රථම) ශ්‍රමණ යි.
මහණෙනි, දෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මේ දෙවන මහණ යි.
මහණෙනි, තෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එ බඹලොව පිරිනිවෙනසුලු එලොවින් වටාලා නොඑනසුලු ඕපපාතික වේ. මහණෙනි, මේ තෙවන මහණ යි.
මහණෙනි, සිවුවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළඹ වෙසේ, මහණෙනි, මේ සිවුවන මහණ යි.
මහණෙනි, පළමු මහණ මෙසස්නෙහි ය. දෙවන මහණ මෙසස්නෙහි ය. තෙවන මහණ මෙසස්නෙහි ය. සිවුවන මහණ මෙසස්නෙහි ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් තොරයහ. මහණෙනි, මෙසේ මොනොවට තෙල සිංහනාදය කරව.
4. 5. 4. 11.
[සප්පුරිසානිසංස සූත්‍රය]
42. මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරෙක් කැමැතිවිය යුතුයි. කවර සතරෙක යත්:
ආර්‍ය්‍යශීලයෙන් වැඩෙයි. ආර්‍ය්‍යසමාධියෙන් වැඩෙයි. ආර්‍ය්‍යප්‍රඥායෙන් වැඩෙයි. ආර්‍ය්‍යවිමුක්තියෙන් වැඩෙයි.
මහණෙනි, සත්පුරුෂයා නිසා මේ සතර අනුසස් කැමැතිවිය යුතුයි.
කර්‍මවර්‍ගය සිවුවැනි යි.
5. ආපත්තිභය වර්‍ගය
4. 5. 5. 1.
[පාපභික්ඛු සූත්‍රය]
43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
කිම ආනන්‍දය, ඒ (උපන්) අධිකරණය සන්සිඳුනේ වේ ද? “වහන්ස, කෙසේ ඒ අධිකරණ සන්සිඳෙන්නේ වේ ද, වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධිවිහාරිකයෙක් වටාගෙණ සඟුන් හි විරුද්ධවාදයට සිටියේ ය. එහි ලා ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ එක් බසකුත් බිණියයුතු සේ නහමක් සිතත්.”
ආනන්‍දය, කිනම් දිනෙක අනුරුද්ධ සඟුන් මැද අධිකරණයෙහි අනුයෝගවතට නැගේ ද, ආනන්‍දය, යම්කිසි අධිකරණ කෙනෙක් ඇද්ද, එ හැම තෙපි හෝ සන්සිඳුවන්නාහු නො වේ ද, සැරියුත් මුගලන් දෙනම හෝ සන්සිඳුවන්නාහු නො වේ ද,
ආනන්‍දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්:
ආනන්‍දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්‍ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්‍මාන්ත ඇතියේ, අශ්‍රමණ වූයේත්, ‘ශ්‍රමණයෙමි යි’ ප්‍රතිඥා කරණුයේ, අබ්‍රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, පාපධර්‍ම ඇත්තෙක, කෙලෙසුන් විසින් අපවිත්‍රයෙක, සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇත්තෙක, පිළිසන් කර්‍මාන්ත ඇත්තෙක, අශ්‍රමණ වූයේත් ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක, අබ්‍රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරන්නෙක, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයෙක, කෙලෙසුන් විසින් තෙත් වූයෙක, උපන් කෙලෙස් කසළ ඇතියෙකැ’ යි මා දනිත් නම් සමග වූ ඒ මහණහු මා නෙරත්. වැලිත් වර්‍ග වූවාහු මා නො නෙරත්” කියා යි ආනන්‍දය, මේ පළමුවන කරුණ දක්මින් පවිවු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
තවද ආනන්‍දය, පවිටු මහණ මිසදුටු ඇතියේ අන්තග්‍රාහදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් භික්‍ෂූහු මිථ්‍යාදෘෂ්ටිකයෙක, අන්තග්‍රාහදෘෂ්ටියෙන් සමන්‍වාගතයෙකැ’ යි මා දනිත් ද, සමඟ වූවාහු මා නෙරත්. වර්‍ග වූවාහු මා නො නෙරත් ය” කියා යි. ආනන්‍දය, මේ දෙවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි:
තවද ආනන්‍දය, පවිටු මහණ මිථ්‍යාආජීව ඇති වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකාව කෙරෙහි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘මිථ්‍යා ආජීව ඇතියෙක. මිථ්‍යා ආජීවයෙන් ජීවිකා කෙරේ ය’යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ව්‍යග්‍ර වූවාහු මා නො නෙරත්ය” කියා යි. ආනන්‍දය, මේ තුන්වන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
තවද ආනන්‍දය, පවිටු මහණ ලාභ කැමැති වෙයි. සත්කාර කැමැති වෙයි. නොගරහනු කැමැති වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘ලාභ කැමතියෙක, සත්කාර කැමතියෙක, නොගරහනු කැමැතියෙකැ’ යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ගරු නො කෙරෙත්, බුහුමන් නො කෙරෙත්, නොපුදත්. ව්‍යග්‍ර වූවාහු මට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙති” යි කියා යි. ආනන්‍දය, මේ සතරවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
ආනන්‍දය, මේ සතර කරුණු දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
4. 5. 5. 2.
[ආපත්තිභය සූත්‍රය]
44. මහණෙනි, මේ ආපත්‍තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දේවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් දොහොත පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳිත්. එහි එකත්පස්ව සිටුනා අන්‍යතර පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, යම් කර්‍මයක් නිසා යම් පුරුෂයකු රජහුගේ පුරුෂයෝ දළරැහැණින් දෙ අත් පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඬු කොට කැකුළු හඬ ඇති පණාබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳින්නාහු ද, “මේ මිනිස් තෙමේ ගැරහිය යුතු හිස සිඳලිය යුතු එබඳු ලාමක කර්‍මයක් කෙළේම ය. හෙ මම නම් මෙබඳු ගැරහියයුතු හිස් සිඳියයුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පරිජිදහම්හි මෙසේ තීව්‍රභය සංඥා එළඹ සිටී ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: පරිජිඅවැතට නො පැමිණියේ පරිජිඇවැතට නො පැමිණෙන්නේ ය. පරිජිඇවැතට අවන්නේ හෝ ධර්‍මානුරූප කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය (=හෙරණ බැව්හි සිටුනේ ය.)
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: භවත්නි, මම ගැරහිය යුකු මොහොල් පහරට නිසි පාපකර්‍මයක් කෙළෙමි ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමෙකින් සතුටු වවු නම්, එය කෙරෙමි කියා යි එහි දී එකත්පස් ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු මොහොලින් පහර දිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද ඒ කෙරෙමි” යි යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කී ද’, මේ පුරුෂ ගැරහිය යුතු, මොහොලින් පහර දියයුතු, එබඳු පව්කමක් කෙළේය. හේ මම නම් එබඳු ගැරහිය යුතු මොහොලින් පහර දියයුතු පාපකර්‍මයක් නො කෙරෙම් ම ය.”
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණෙකුට හෝ මෙහෙණකට හෝ සඟවෙසෙස් ඇවැත්හි මෙබඳු තීව්‍රභයසංඥා එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: සඟවෙසෙස් ඇවතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. සඟවෙසෙස් ඇවතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළු පොදියක් කර නගා ගෙණ මහාජනකායට වැඳ මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම හළුපොදියෙන් හිසැ පැහැරිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි” යි. එහිදී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු හළු පොදියෙන් හිස පහර දුනමනා පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළුපොදියක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කීයේ වේ ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු හළු පොදියක් නගා පහළ යුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පචිති ඇවැත්හි මෙසේ තීව්‍ර වූ භය සංඥාව එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති විය යුතුය: පචිති ඇවැතට නො පැමිණියේ හෝ එයට නො අවදනේ යි. පචිති ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම ගැරහිය යුතු උපවාද කළ යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි කියා යි. එහි දී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු උපවාද කළයුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහාජනකායට අවුත් මෙසේ කී ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු උපවාද කළයුතු පව්කමක් නො කරමි” කියා යි
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පාටිදේසනීය ඇවැත්නි මෙසේ තීව්‍ර වු භයසංඥාව එළඹ සිටී ද, ඔහුට මෙය කැමැති විය යුතුය: පාටිදේසනීය ඇවැතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. පාටිදේසනීය ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය කියා යි.
මහණෙනි, මෙ සතර ආපත්තිභයහ.
4. 5. 5. 3.
[සික්ඛාපදානිසංස සූත්‍රය]
45. මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්ති හර කොට ඇති, ස්‍මෘති ආධිපත්‍යය කොට ඇති, මෙ බඹසර වසනු ලැබේ.
මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‍ෂා අනුසස් කොට ඇත්තේය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස ආභිසමාචාරික (උතුම්වත් පිළිබඳ) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස සව්වනට ආභිසමාචාරික ශික්‍ෂා පණවන ලද ද, ඒ ඒ සැටියෙන් හේ (ශික්‍ෂාකාමී මහණ තෙම) ඒ ශික්‍ෂායෙහි අඛණ්‍ඩකාරී වේ. අච්‍ඡිද්‍රකාරී වේ. අශබලකාරී වේ. අකල්මාෂකාරී වේ. මොනොවට සමාදන්ව ශික්‍ෂාපදයෙහි හික්මේ. තව ද, මහණෙනි, මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍ය (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට මුල් වූ සංවර) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු ද, ඒ ඒ සැටියෙන් හේ ඒ ශික්‍ෂායෙහි අඛණ්ඩකාරී වෙයි. අච්ඡිද්‍රකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මොනොවට සමාදන් ව ශික්‍ෂාපදයෙහි හික්මෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර ශික්‍ෂා අනුසස් කොට ඇති වෙයි.
මහණෙනි, බඹසර කෙසේ ප්‍රඥාව උත්තර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස චතුඃසත්‍ය ධර්‍මයෝ දෙසන ලදහ. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥාව උත්තර කොට ඇති වෙයි.
මහණෙනි, බඹසර කෙසේ විමුක්තිය සාර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි මා විසින් සර්‍වප්‍රකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් සැටියකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ විමුක්ති (ඥාන) යෙන් පහස්නා ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ බඹසර ස්‍මෘතිය ආධිපත්‍යය කොට ඇත්තේය යත්: මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනාප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි තමා සතන්හි ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙහි. මෙසේ මාර්‍ගප්‍රඥායෙන් නො දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය මාර්‍ගප්‍රඥායෙන් දක්මි යි මාර්‍ගප්‍රඥායෙන් දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය ඒ ඒ තැන මාර්‍ගප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ ඥානස්පර්‍ශයෙන් නො පහස්නා ලද ධර්‍මය අර්‍හත්ඵලවිමුක්තියෙන් පහස්නෙමි යි පහස්නා ලද හෝ ධර්‍මය ඒ ඒ තැන ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මහණෙනි, මෙසේ බඹසර ස්මෘතිය අධිපති කොට ඇති වෙයි.
මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උත්තර කොට ඇති, විමුක්තිය හර කොට ඇති, ස්මෘතිය ආධිපත්‍යය කොට ඇති, මේ බඹසර වැසේය යි මෙසේ යමක් වදාරණ ලද ද, මෙය තෙල කරුණ පිණිස වදාරණ ලදී.
4. 5. 5. 4.
[සෙය්‍යා සූත්‍රය]
46. මහණෙනි, මේ ශය්‍යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්‍රේතශය්‍යා ය, කාමභෝගීශය්‍යා, සිංහශය්‍යා ය, තථාගතශය්‍යා යි.
මහණෙනි, ප්‍රේතශය්‍යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්‍රේතශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, කාමභෝගීශය්‍යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභෝගීශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, සිංහශය්‍යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්‍යා කෙරෙයි. හේ පිබිද උඩුකය නගාගෙණ යටකය විමසා බලයි. මහණෙනි, ඉදින් මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් ඉදින් දක්නේ නම් මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ නො සතුටු වෙයි. මහණෙනි, මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් නොදක්නේ නම්, මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ සතුටු වෙහි. මහණෙනි, මෙ සිංහශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, තථාගතශය්‍යා නම් කවර? මහණෙනි, මෙලොව තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්ව ම … ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙති. මහණෙනි, මේ තථාගතශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ශය්‍යාවෝ යි.
4. 5. 5. 5.
[ථූපාරහ සූත්‍රය]
47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.
මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.
4. 5. 5. 6.
[පඤ්ඤාවුද්ධි සූත්‍රය]
48. මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍මප්‍රතිපත් ය.
මහණෙනි, මේ සතර දහම්හු ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්.
4. 5. 5. 7.
[බහුකාර සූත්‍රය]
49. මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්‍යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ය යි.
මහණෙනි, මේ සතර දහම්හු මනුෂ්‍ය වූවක්හට බොහෝ උපකාර වෙති.
4. 5. 5. 8.
[අනරියවෝහාර සූත්‍රය]
50. මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
4. 5. 5. 9.
[අරියවෝහාර සූත්‍රය]
51. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
4. 5. 5. 10.
[අනරියවෝහාර සූත්‍රය]
52. මහණෙනි, මේ අනාර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.
4. 5. 5. 11.
[අරියවෝහාර සූත්‍රය]
53. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ ය.
ආපත්ති වර්‍ගය පස්වැනි යි.
පස්වන පණ්‍ණාසක ය යි.
6. අභිඤ්ඤා වර්‍ගය
4. 6. 1.
[අභිඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ප්‍රඥායෙන් දැන (පරිඥේය) අවබෝධ කටයුතු ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය (ප්‍රහාණය කළයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය (=බැවිය යුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කටයුතු) ධර්‍ම කෙනෙක් ඇත.
මහණෙනි, ප්‍රඥායෙන් දැන පරිඥෙය්‍ය ධර්‍මයෝ කවරහ: පඤ්චඋපාදානස්‍කන්‍ධයෝ යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන පරිඥේය (අවබෝධකටයුතු) හ යි කියනු ලැබෙත්.