Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 4901-5000 න් 15980

ව්‍යග්ඝපජ්ජයෙනි, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, එම අරීසවු මෙ ශීලපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ මෙ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්‍වාගත වූයේ රාගයට කරුණු වූ ඉෂ්ටාලම්බනයන් නිමිති කොට සිත වෙන් කොට ලයි. විමොචනීය ආලම්බනයන් නිමිති කොට සිත මුදාලයි. හෙ රජනීය ධර්‍මයන්හි සිත වෙන් කොට ලා විමොචනීය ධර්‍මයන්හි සිත මුදවා සම්‍යක් හේතුයෙන් අර්‍හත්ඵල විමුක්තිය (නැණපහසින්) පහස්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ විමුත්තිපාරිසුද්ධිය යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු විමුක්තිපාරිශුද්ධිය පුරන්නෙමි, පරිපූර්‍ණ වූ හෝ විමුක්තිපාරිශුද්ධිය එ එ තන්හි ප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජයෙනි, සියල්ල දන්නා, සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ එ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අත්‍ථගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරය පිණිස මොනොවට පවසන ලද මෙ සතර පාරිශුද්ධි පධානියඞ්ග යි.
4. 4. 5. 5.
[වප්ප සූත්‍රය]
45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර අසල න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි නුවට සවු වප්ප ශාක්‍ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පසෙක හුන් නුවටසවු වප්ප ශාක්‍යහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ.
වප්පයෙනි, අවිද්‍යා විරාගයෙන් මාර්‍ගවිද්‍යා උත්පාදයෙන් මෙ සස්නෙහි (මහණ) කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ සිතින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යමක් නිදාන කොට දුඃඛවේදනාවට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි අනුබඳනාහු නම් එ කරුණ තො දක්නෙහිදැයි? වහන්ස, එ කරුණ මම් දක්නෙමි: වහන්ස, මෙ ලොව්හි නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් දුකට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි ලුහුබඳනාහ යි.
ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ නුවට සවු වප්ප ශාක්‍යයා සමග වූ මෙ කථාව ද අඩාළ කරණ ලද වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියාහු උපස්ථාන ශාලාව කරා එළඹි සේක. එළඹ පැනවූ ආසනයෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල වදාළ සේක: මොග්ගල්ලානයෙනි, දැන් තෙපි කවර කථායෙකින් හුන්නහු ද, තොප විසින් කවර අතුරු කථායෙකුත් අඩාළ කරණ ලද දැ යි.
වහන්ස, මෙහි මම නුවට සවු වප්ප ශාක්‍යහට තෙල කීමි: වප්පයෙනි, මෙහි (මහණ) අවිද්‍යා විරාගයෙන් විද්‍යා - උත්පාදයෙන් කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ මනසින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යම් හේතුයෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් තෝ එකරුණ දන්හිදැ”යි. වහන්ස, මෙසේ කියූ කල්හි නුවටසවු වප්පශාක්‍ය මට තෙල කීයේ ය: “වහන්ස, තෙල කරුණ මම දන්මි. වහන්ස, නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් අභිසම්පරායෙහි දුඃඛවේදනීය ආස්‍රවයෝ පුරුෂයා ලුහුබඳනාහයි. වහන්ස, නුවටසවු වප්ප ශාක්‍ය සමග කළ කථාව මේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්තයහ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුවටසවු වප්ප ශාක්‍යයාට තෙල වදාළහ: වප්පයෙනි, ඉදින් තෝ මට අනුඥා කටයුත්තක් ම අනුදන්නෙහි නම් ප්‍රතික්‍රෝශ කටයුත්තක් ප්‍රතික්‍රෝශ කරන්නෙහි නම් මාගේ යම් ම භාෂිතයෙක අරුත් නො දන්හි නම් තෙල කරුණෙහි මත්තෙහි මා ම පුළුවුස්නෙහි නම් “වහන්ස, මෙ කෙසේය, මෙහි අර්‍ත්‍ථ කවරැ?”යි. මෙහි ලා අපගේ කථා සල්ලාපයෙක් වන්නේ යයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුඥා කටයුත්තක් ම මම් අනුදන්නෙමි. ප්‍රතික්‍රෝශ කටයුත්තක් ම ප්‍රතික්‍රෝශ කෙරෙමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් ම භාෂිතයකත් අර්‍ත්‍ථය නො දනිම් නම් එහි ලා මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ම පුළුවුස්නෙමි. “වහන්ස, මෙ කෙසේ ය, මෙහි අරුත් කවරැ?” යි. මෙහි ලා අපගේ කථාසල්ලාපයෙක් වේව යි.
වප්පයෙනි, එ කිමැයි සිතව, කායකර්‍මප්‍රත්‍යය කොට ඇති විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් වෙත් නම් කායකර්‍මාන්තප්‍රත්‍යයෙන් විරත වූ ඔහට විඝාතපරිදාහකර වූ එ ආස්‍රවයෝ නොවෙත් නම් හේ අභිනව කර්‍ම ද නො කෙරේ නම් පුරාතන කර්‍මය ද පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා ‘එව, බලව’ යනුවට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා වේදිතව්‍ය වෙයි. වප්පය, තෝ යම් හෙයෙකින් දුඃඛවේදනීය වූ ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්නෙහි දැ? යි. වහන්ස, තෙල නැත්මැ යි.
වප්පය, වාක්කර්‍මයෙන් දුක් හා කායික චෛතසිකපරිදාහය ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් වාක්කර්‍මයෙන් වැළකි ඔහට දුඃඛපරිදාහ ඇතිකරණ එම ආස්‍රවයෝ මෙ පරිද්දෙන් නොවන්නාහු නම් හෙ අභිනවකර්‍ම නො කෙරේ නම් පැරණි කර්‍ම ද පැහැසැ පැහැස විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්ප, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හි ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැ? යි. වහන්ස, තෙල නො වේ ම ය.
වප්පය, මනඃකර්‍මප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදිත් නම් මනඃකර්‍මප්‍රත්‍යයෙන් වැළකියහුට විඝාතපරිදාහකර වූ මේ ආස්‍රවයෝ වෙසෙසින් නොවන්නාහු නම් එ අභිනව කර්‍මත් නො කෙරේ නම් පැරණි කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්පය, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණු දක්හි දැයි? වහන්ස, තෙල නො වේ මැයි.
වප්පය, එ කිමැයි සිතව, අවිද්‍යාප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අවිද්‍යාවිරාගයෙන් විද්‍යා-උත්පාදනයෙන් විඝාතපරිදාහකර එ ආස්‍රවයෝ මෙසෙයින් ඔහට නො වෙත් නම් හෙ අභිනව කර්‍මත් නො කෙරේ නම් පුරාතන කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්‍ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එහි පස්ස, යන විධියට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් තමන් තුළ ලා දතයුතු වූවා වෙයි. වප්පය, යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැයි? වහන්ස, තෙල නැත් මැ යි.
වප්පය, මෙසේ සම්‍යක් හේතුයෙන් විමුක්තචිත්ත ඇති මහණහු විසින් ෂට් සතතවිහාර කෙනෙක් අධිගත වෙත්. හෙ චක්‍ෂුර්විඥානයෙන් රූපායතනයක් දැක සතුටු සිත් ඇතියේ නො මැ වෙයි. නොසතුටු සිත් ඇතියේ නො මැ වෙයි. ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. ශ්‍රෝතවිඥානයෙන් ශබ්දායතනයක් අසා … ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධායතනයක් ඉවසා ... ජිහ්වාවිඥානයෙන් රසායතනයක් විඳ ... කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යායතනයක් පැහැසැ ... මනෝවිඥානයෙන් ධර්‍මයතනයක් දැනැ නො ම සතුටු වෙයි. නො ම අසතුටු වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කායපරිච්ඡින්න වූ (පඤ්චද්වාරික) වේදනාව විඳිනුයේ කායපර්‍ය්‍යන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. ජීවිතපරියන්තික වූ වේදනාව විඳිනුයේ ජීවිතපරියන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. කරජකායයාගේ භේදයෙන් ජීවිතක්‍ෂයයාගේ මතුයෙහි ඉහතාත්මයෙහි ම හැම වේදයිතයන් අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දනිත්.
වප්පය, රුක නිසා සෙය යම්සේ පැනේ නම් ඉක්බිති පුරුෂයෙක් හුදැලු හා පැසගෙණ එයි, හෙ එ රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ වටා කණනේ ය. වටා කැණ යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරනේ ය. හේ එ රුක කඩ - කඩ කොට සිඳුනේ ය. කඩ - කඩ කොට සිඳ පළනේ ය. පළා කැබැලි - කැබැලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරනේ ය. හළු කොට මහ සුළඟෙහි පොළා හරනේ ය. සැඩදිය පහර ඇති නදියෙක හෝ පා කොට හරනේ ය. වප්පය, මෙසේ රුක නිසා යම් සෙයක් උසුන් මුල් ඇතියා තාලාවස්තුකෘත වූවා අනභාවකෘත වූවා මතුයෙහි නො උපදනා සැහැවි ඇතිවූවා වේ ද,
වප්පය, එ සෙයින් ම මෙසේ සම්‍යක් විමුක්තචිත්ත ඇති භික්‍ෂූහු විසින් ෂට් සතතවිහාරයෝ අධිගත වෙත්. හෙ ඇසින් රුවක් දැක සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නොම වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කණින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් ඉවසා ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පැහැසැ ... මනසින් දහමක් දැන සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නො ම වෙයි. සිහි ඇතියේ නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. හෙ කායපරියන්තික වේදනා විඳිමින් කායපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. ජීවිතපරියන්තික වේදනා විඳිමින් ජීවිතපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. කායභේදයෙන් ජීවිතක්‍ෂයයෙන් මතුයෙහි මෙ අත්බව්හි ම හැම වේදයිතයෝ අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දන්නේ යි.
මෙසේ වදාළ කල්හි නුවටසවු වප්ප ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, යම් පරිදි උදයාර්ත්‍ථි වූ පුරුෂයෙක් අශ්වපණ්‍යයක් පුස්නේ නම් හේ ලාභ ද නො ලබන්නේ ය. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වන්නේ ය. වහන්ස, එ පරිදි ම මම් උදයාර්ත්‍ථියෙම් බාලනුවටුන් ඇසුරු කෙළෙමි. එ මම් උදයකුදු නො ලදිමි. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වීමි. වහන්ස, තෙල මම් අද පටන් කොට මාගේ බාලනුවටුන් කෙරෙහි යම් සම්ප්‍රසාදයෙක් වී නම් එය මහසුළඟෙහි හෝ පොළා හරනෙමි. සැඩ දියපහර ඇති නදියෙක හෝ පා කොට හරනෙමි. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, ... භාග්‍යවතුන් වහන්සේ මා අදින් මතුයෙහි දිවිහිමියෙන් සරණගිය උපාසක කොට ධරණ සේක්වා!
4. 4. 5. 6.
[සාළ්හ සූත්‍රය]
46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි වූ කූටාගාරශාලායෙහි වසන සේක. එකල සාළ්හලිච්ඡවි ද අභයලිච්ඡවි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාළ්හලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: වහන්ස, දෙ කොටසෙකින් චතුරෝඝනිස්තරණය පණවන ඇතැම් මහණබමුණෝ ඇත. සීලවිසුද්ධිහේතුයෙන, තපෝජිගුච්ඡාහේතුයෙන යි. වහන්ස, මෙ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
සාළ්හයෙනි, මම් ශීලවිශුද්ධිය අන්‍යතර ශ්‍රමණධර්‍ම කොට්ඨාසයෙකැ යි කියමි. සාළ්හයෙනි, තපෝජුගුප්සාවාද ඇති තපෝජුගුප්සාව සාරය කොට ඇති තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් ඔහු චතුරෝඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධකායකර්‍මාන්ත ඇති අපරිශුද්ධවාක්කර්‍මාන්ත ඇති අපරිශුද්ධමනඃකර්‍මාන්ත ඇති අපරිශුද්ධආජීවය ඇති යම් ඒ මහණබමුණු කෙනෙක් වෙත් නම් මාර්‍ගඥානසඞ්ඛ්‍යාත දර්‍ශනයට අනුත්තරසම්බෝධිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට ඔහු අභව්‍ය වෙති.
සාළ්හයෙනි, යම් පරිදි නදියක් තරණය කරණු කැමැති පුරුෂයෙක් තියුණු පොරොවක් ගෙණ වලට වදනේ හෙ එහි මහත් වූ, ඍජු වූ තරුණ වූ (අකුක්කුච්චකජාතකං-) නොදැන වියයුතු කුකුස් ඇති{*} සල් රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සුඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතු පතර සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වෑයෙන් සස්නේ ය. වෑයෙන් සැස ලියනසැතින් ලියනේ ය. ලියන සැතින් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා නදී තරණයට වෑයම් කරන්නේ ය. සාළ්හයෙනි, ඒ කිමැ යි සිතවු ද? ඒ පුරිස් නදිය තරණට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල නොවේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට පිටත මනා පිරියම් කරණ ලදුයේ ඇතුළට අවිශුද්ධ වෙයි. ඔහු විසින් තෙල කැමති විය යුතු. සල්යට ගිළෙන්නේ ය. පුරුෂයා අනයව්‍යවසනයට පැමිණේ ය යි.
සාළ්හයෙනි, එපරිදි ම තපෝජුගුප්සාවාද කියන තපෝජුගුප්සාව හර කොට ගත් තපොජුගුප්සායෙහි ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට අභව්‍ය වෙති. සාළ්හයෙනි, අපරිශුද්ධ කායසමාචාර ඇති අපරිශුද්ධ වචීසමාචාර ඇති අපරිශුද්ධමනඃසමාචාර ඇති අපරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට අභව්‍ය වෙත්.
සාළ්හයෙනි, තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට නො ගත් තපොජුගුප්සායෙහි නො ඇලි යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍ය වෙති. සාළ්හයෙනි, පරිශුද්ධ කායසමාචාර ඇති පරිශුද්ධ වචීසමාචාර ඇති පරිශුද්ධමනඃසමාචාර ඇති පරිශුද්ධාජීව ඇති යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත් නම් ඔහු ඥානදර්‍ශනයට අනුත්තර සම්බෝධියට භව්‍ය වෙති.
සාළ්හයෙනි, යම් පරිදි නදී තරණට රිසි පුරිස් තිහිණි පොරෝ ගෙණ වනයට වදනේ වේ ද, හේ ඒ වෙනෙහි මහත් වූ ඍජු වූ තරුණ වූ නො දැනවිය යුතු කුකුස් ඇති (නිසැක) සල්රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතුපතර සුවිසෝධිතසේ පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසෝධිත සෙ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වැහැයෙන් සස්නේ ය. වෑයෙන් සැස නියනක් ගෙණ ඇතුළත සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. ඇතුළත සුවිසෝධිත සේ පිරිසිදු කොට නියනෙන් ලියනේ ය. නියනෙන් ලියා වහණගුළින් ගටනේ ය. වහණගුළින් ගටා හොරුවක් කරණේ ය. හොරුවක් කොට පලුපත් හා රිටි බඳනේ ය. පලුපත් හා රිටි බැඳ නදිය තරණේ ය. සාළ්හයෙනි, ඒ කිමැයි හඟිවු ද, එ පුරිස් නදීතරණයට භව්‍ය වේ දැ යි? වහන්ස, තෙල එසේ ය. එ කවර හෙයින යත්: වහන්ස, අසෝ සල්යට බැහැර සුපිරියම් කරණ ලදුයේ ඇතුළත මොනොවට ශුද්ධ වූයේ කළ හොරුවක් වූයේ පලුපත් හා රිටි බඳනා ලදුයේ වෙයි. ඔහු විසින් තෙල කැමැති විය යුතු: හොරුව නො ගිළෙන්නේ ය. පුරිස් නිරුපද්‍රවයෙන් එතෙර යන්නේ ය යි.
සාළ්හයෙනි, එපරිද්දෙන් ම තපෝජුගුප්සාවාද නො කියන තපෝජුගුප්සා හර කොට ඇති තපෝජුගුප්සාවට නො ඇලුනු යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙසෙත් නම් ඔහු ඕඝනිස්තරණයට භව්‍යයහ. සාළ්හයෙනි, එ මහණ බමුණෝ පිරිසිදු කායසමාචාර ඇතියාහු පිරිසිදු වාක්සමාචාර ඇතියාහු පිරිසිදු මනඃසමාචාර ඇතියාහු පිරිසිදු ආජීව ඇතියාහු වෙති. ඔහු ඥානදර්‍ශනයට අනුත්තරසම්බෝධියට භව්‍යයහ.
සාළ්හයෙනි, යම් පරිදි යෝධාජීවයෙක් නොයෙක් කණ්ඩ (සර) චිත්‍ර දන්නේ ය. වැලිදු හේ තුන් කරුණෙකින් ම රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අඞ්ගයෙකැයි යන සංඛ්‍යාවට ම යෙයි. කවර තුණෙකින යත්: දුර හී හෙළන සුලු ද වෙයි. විදුලි එළියෙන් විදුනේත් වෙයි. මහත් කය බිඳ හෙළනුයෙත් වෙයි.
සාළ්හයෙනි, යම් සෙයෙකින් යෝධාජීව දුර හී විදුනසුලු වේ ද, සාළ්හයෙනි, එ පරිදි ම අරීසවු සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් සමාධි ඇති අරීසවු අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයෙක් දුරෙහි වේවයි, හමුයෙහි වේවයි, යම් කිසි රූපයෙක් වේ නම් එ හැම රූපය තෙල මා ගැත්තේ නො වෙයි, මම් තෙල රූපයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම ද නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් තත්වූ පරිදි දක්නේ ය. යම් කිසි වේදනායෙක් යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාරයෝ ... යම් කිසි විඥානයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යමක් දුරෙහි වේවයි, හමියෙහි වේවයි, එ හැම විඥාන තෙල මා ගැත්තේ නො වේ, මම් තෙල විඥානයෙම් නො වෙමි, තෙල මාගේ ආත්ම ද නො වේ යි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය.
සාළ්හයෙනි, යම් පරිදි යෝධාජීව විදුලි එළියෙන් විදින සුල්ලේ නම්, සාළ්හයෙනි, එ පරිදි ම අරීසවු සම්‍යක් දෘෂ්ටි ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් දෘෂ්ටි ඇති ආර්‍ය්‍යශ්‍රාවක ‘මෙ පස්කඳ දුකැ’යි ... ‘මේ තෘෂ්ණාව දුඃඛ සමුදය’යි ... ‘මෙ තෘෂ්ණා විරාගය දුඃඛ නිරෝධය’යි ... ‘මෙ අරීඅටඟිමග දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්’යි යථාභූතය දනී.
සාළ්හයෙනි, යම් පරිදි යෝධාජීව මහත්කය බිඳුනා සුලුයේ නම්, සාළ්හයෙනි, එපරිදි ම අරීසවු සම්‍යක් විමුක්ති ඇතියේ වෙයි. සාළ්හයෙනි, සම්‍යක් විමුක්ති ඇති අරීසවු මහත් වූ අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ යි.
4. 4. 5. 7.
[මල්ලිකා සූත්‍රය]
47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකත්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා:
“වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්‍ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්‍ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්‍ණ හා දුරූපිණී හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්‍ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්‍ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපෝපකරණ නො දෙන්නී වෙයි. ඊර්‍ෂ්‍යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්‍දන පූජායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්‍ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යායෙන් තොර සිත් ඇත්තී ඊර්‍ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්‍ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්‍ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්‍ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්‍ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්‍ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්‍ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්‍වණ ද දුරූපිණී ද දර්‍ශනයට ඉතා ලමු ද වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද වේ නම්, අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්‍වණ ද දුරූපිණී ද දර්‍ශනයට ඉතා ලමු ද වේ නම්, මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්‍ශනීය ප්‍රාසාදිකා වූවා උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍යයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්‍ශනීය ප්‍රාසාදික වූවා උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වේ නම්, මහත් ධන මහාභෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍ය වේ.
මෙසේ වදාළ කල්හි මල්ලිකාදේවී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය: වහන්ස, යම් බඳු මම් එකැතියෙන් අන් දැයෙක්හි උපායාස බහුල කොට ඇතියෙම් කිපෙනසුලු වූමු ද, මඳ කොට ද කියනලදුයෙම් ම ලැගියමු ද, කිපියමු ද, සැහැවි හළමු ද, තද වූ මුද, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කළමු ද, වහන්ස, එ මම් මෙ කල දුර්වර්‍ණ වූයෙම් දුරූපිණී වූයෙම් දර්‍ශනයට ඉතා ලමු වෙමි.
වහන්ස, යම් බඳු මම් අන්‍යජාතියෙක්හි එකැතියෙන් මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා ආවස්ථ ප්‍රදීප උපකරණ දිනිමු ද, වහන්ස, එ මම් මෙ කල ආඪ්‍ය වූයෙම් මහත් ධන මහත් භෝග ඇතියමු.
වහන්ස, යම් බඳු මම ඒකාන්තයෙන් අන්‍යජාතියෙක පරලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා රහිත සිත් ඇතියෙම් ඊර්‍ෂ්‍යා නො කෙළෙම් උපද්වේෂ නො කෙළෙම් ඊර්‍ෂ්‍යා නො බැඳියෙම් ද, වහන්ස, එ මම් මෙ කල මහේශාක්‍යයමු. වහන්ස, මෙ රජකුලෙහි ක්‍ෂත්‍රිය කන්‍යාවෝ ද බ්‍රාහ්මණ කන්‍යාවෝ ද ගෘහපති කන්‍යාවෝ ද ඇත. වහන්ස, ඔවුනට මම ඓශ්චර්‍ය්‍ය හා ආධිපත්‍යය කරවමි.
වහන්ස, තෙල මම් අද පටන් කොට උපායාස බහුල කොට නැතියෙම් නො කිපෙනසුලු වන්නෙමි. බොහෝ කොටත් කියන ලදුයෙම් ම නො ලැගෙන්නෙමි. නො කිපෙන්නෙමි. සැහැවි නො හරින්නෙමි. තද නො වන්නෙමි. කෝපය ද්වේෂය අප්‍රත්‍යය පහළ නො කරන්නෙමි. මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවස්ථ ප්‍රදීපෙය දෙන්නෙමි. පරලාභ සත්කාර ගුරුකාර වන්‍දන මානන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නැති සිතැතියෙම් වන්නෙමි. ඊර්‍ෂ්‍යා නො කරන්නෙමි. උපද්වේෂ නො කරන්නෙමි. ඉසි නො බඳනෙමි.
වහන්ස, ඉතා මැනැවැ, වහන්ස ඉතා මැනැව. ... වහන්ස, අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට ධරණ සේක්වා යි.
4. 4. 5. 8.
[තාප සූත්‍රය]
48. මහණෙනි, ලොව විද්‍යමාන මෙ පුඟුල්හි සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්ම පරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ අත්තන්තප නො වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ පරන්තප නො ම වෙයි. හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම නිෂ්තෘෂ්ණ වූයේ කෙලෙස් නිවනින් පිරිනිවියේ සිහිල් වූයේ (ධ්‍යානමග්ගඵලනිබ්බාන සඞ්ඛ්‍යාත) සුව විඳිනාසුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වෙසෙයි.
මහණෙනි, පුද්ගල කෙසේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමි කල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’ යි කී කල නො සිටිනු සිල් කොට ඇතියේ වෙයි. පළමු එළ වූ අහර නො පිළිගන්නේ වෙයි. උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි. නිමන්ත්‍රණ නො පිළිගන්නේ වෙයි.
හේ කළමුවෙන් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. හේ සැළ මුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. වළඳන දෙදෙනෙකුන් අතුරින් එකකු නැගී දෙන අහර නො පිළිගන්නේ වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. සමාදන් කොට පිසූකල දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක මැසිමුළු ගළ ගළව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. මත්ස්‍ය නො පිළිගන්නේ වෙයි. මාංශ නො පිළිගන්නේ වෙයි. රහ නො බොන්නේය. මෙර නො බොන්නේය. සෞවීර නො බොන්නේය.
හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු යැපෙයි. දෙ දැත්තෙකිනුදු යැපෙයි. සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්තභෝජනයෙහි යෙදුනේ වෙසෙයි.
හේ පලා වළඳන්නේ හෝ වෙයි. හේ බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳනසුලු වූයේ වනමූලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.
හේ හණ වැහැරි ද දරයි. මුසු හණ වැහැරි ද දරයි. මිනියෙන් හළ පිළි ද දරයි. පහුල් පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන් මුවසම් ද දරයි. ක්‍ෂුර සහිත අඳුන් මුවසම් ද දරයි. කුසවැහැරි ද ද දරයි. වාකචීරය ද දරයි. ඵලකචීරය ද දරයි. කේසකම්බල ද දරයි. වාලකම්බල ද දරයි. මහමුහුනු පියාපතුදු දරයි.
හිසකේ රවුළු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුළු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ වෙයි. උලුළුයෙන් තවුස් වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි. කටුඇතිරියෙහි සයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි.
මහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්: මහණෙනි, මෙ ලොව් හි ඇතැම් පුඟුලෙක් තිරෙළුවන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. හුරන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. ළිහිණින් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. රෞද්‍ර වූ මුව වැදි හෝ වෙයි. මත්ස්‍ය ඝාතක වෙයි. සොර වෙයි. සොරුන් මරණේ වෙයි. බන‍්ධනාගාර ඇතියේ හෝ වෙයි. යම් බඳු අන්‍ය වූ ද කිසියම් කුරිරු කර්‍මාන්ත කරණුයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් මූදර්‍ධාවෂික්ත ක්‍ෂත්‍රිය රජෙක් හෝ මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හේ නුවර පෙර දික්හි අභිනව සන්‍ථාගාරයක් කරවා කේරවුළු බහවා රළු අඳුන් දිවිසම් හැඳ ගිහි තෙලෙන් කය අභ්‍යඤ්ජන කොට මුවහඟින් පිට කසනුයේ මෙහෙසිය හා පුරෝහිත බමුණු හා සන්‍ථාගාරයට පිවිසෙයි.
හේ එහි ගොම පිරිබඩ කළ නො අතුළ බිම්හි ශය්‍යා කෙරෙයි. ස්වරූප වසු ඇති එක් දෙනකගේ එක් තනෙක යම් කිරෙක් වේ නම් එයින් රජ යැපෙයි, දෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් පුරෝහිත බ්‍රාහ්මණ යැපෙයි. සතරවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් ගිනි පුදත්. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වස්සෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වැස්සියෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, යාගාවාටස්තම්භ සඳහා මෙතෙක් රුක්හු සිඳිනු ලැබෙත්වා, පිරිකෙව් කරණු හා යාග බිම අතුරණු හා පිණිස මෙතෙක් ඉලුප්තණ සිඳිනු ලැබේවා. දස්හ යි හෝ ප්‍රෙෂ්‍යහ යි හෝ කම්කරුහ යි හෝ ඔහුගේ යම් ම කෙනෙක් වෙත් නම් ඔහු ද දඬුවමින් තැතිගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකි මුව ඇත්තාහු හඬනාහු පිරියම් කරත්.
මහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි. පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුඟුල් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ අත්තන්තප නො වේය යත්: පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ පරන්තප නො වේය යත්: හෙ ආත්මන්තප නො වූයේ පරන්තප නො වූයේ දිටුදැහැමියෙහි ම තෘෂ්ණා නැතියේ කෙලෙස් නිවණින් පිරිනිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වාසය කෙරේය යත්:
මහණෙනි, මෙ ලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාහ. උන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දැනගන්නාහ. උන් වහන්සේ ආදි කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට ධර්‍මය දෙසන්නාහ. බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන්නාහ.
ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නෙක් වේවයි, එ ධර්‍මය අසන්නේය. හේ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභ කෙරෙයි. හේ එ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ නුවණින් සිතයි: “ඝරාවාසය සම්බාධකයෙක. කෙලෙස් දුහුලියට මගෙක. පැවිද්ද අභ්‍යවකාශයෙක. ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්‍ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලියු සකක් සේ පිරිසිදු මෙ බඹසර සරනට සුකර නො වෙයි. ඒකාන්තයෙන් මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදිම් නම් මැනැවැ”යි.
හේ පසුකල්හි අල්ප වූ භෝගස්කන්‍ධය හැර මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැර අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය හැර මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය හැර කෙස්මස් බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙයි.
හේ මෙසේ පැවිදි වූයේ ම භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. අයිනාදන් හැර අයිනාදනින් වැළකියේ දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැති වනුයේ වෙයි. නො සොර වූ පිවිතුරු සිතින් වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බ්‍රහ්මචාරී වූයේ, දුරුව වෙසෙනුයේ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැක්කේ වෙයි. මුසාව හැර මුසවායෙන් වැළැකියේ සත්‍යවාදී වූයේ සත්‍යසන්‍ධාන ඇතියේ ස්ථිරකථා ඇතියේ හැදැහිය යුතු කථා ඇතියේ ලෝකයා නුළු නො කරණුයේ වෙයි. පිසුනු බස් හැර පිසුනු බසින් වැළැකියේ, මොවුන්ගේ භේදය පිණිස මෙ තන්හි අසා එතන්හි නො කියනුයේ, ඔවුන්ගේ භේදය පිණිස එතන්හි හෝ අසා මොවුනට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමග කරණුයේ සමග වූවනට අනුබල දෙනුයේ හෝ සමගියෙහි ඇලුම් ඇතියේ සමග්‍රරත වූයේ සමගියෙන් සතුටුවන සුල්ලේ සමග කරණ වදන් කියනුයේ ද වෙයි. පරොස්බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි. යම් එ බසෙක් නිදොස් වේ නම් කණට සුව එළවා නම් පෙම් දනවා නම් හෘදයග්‍රාහී වේ නම් පෞර වේ නම් බොහෝ දෙනාට කාන්ත වේ නම් බොහෝ දෙනාට මනාප වේ නම් එබඳු බස් කියනුයේ වෙයි. සම්ඵප්‍රලාප හැර සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ කල්හි බණනසුලුයේ සැබවක් ම බණන සුලුයේ අර්‍ත්‍ථය ම බණන සුලුයේ ධර්‍මය බණනසුලු වූයේ විනය බණන සුලුයේ සිත්හි නිදහනට නිසි, නිසි කල්හි කරුණු සහිත කොට පිරිසිඳුම් ඇති කොට අර්‍ත්‍ථසංහිත කොට බස් තෙපලනුයේ වෙයි.
හේ බීජගාම භූතගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. (ප්‍රාතරාසභක්ත සංඛ්‍යාත) එක්බතක් ඇතියේ, රාත්‍රිභෝජනයෙන් වැළැකියේ විකාල භෝජනයෙන් අපගත වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳ විලෙවුන් දැරුම් සැදුම් සැරැහුම් යන කරුණෙන් වැළැකියේ වෙයි. උසසුන් මහස්නෙන් වැළැකියේ වෙයි. ජාතරූපරජතයන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළු තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත්, ගව, අසුන් හා වෙළෙඹුන් පිළිගැණීමෙන් වැළැකියේ වෙයි. දූතකර්‍ම හා පණිවුඩ පණත් ගෙණ යාමෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළැකියේ වෙයි. තුලාකූට, කංසකූට මානකූටයෙන් වැළැකියේ වෙයි. උක්කෝටන, වඤ්චන, නිකතී යන කුටිලයෝගයෙන් වැළැකියේ වෙයි. ඡේදනය, වධය, බන්‍ධනය, මං පැහැරීම ය, වොලොගැන්ම ය, සැහැසිකම් ය යන මෙයින් වැළැකියේ වෙයි.
හේ කායපාරිහාරිකචීවරයෙන් සතුටු වෙයි. කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හෙ යම් මැ දිගෙක් හි යේ නම්, යම් සෙයෙකින් පක්‍ෂිශකුණි යම් මැ දිගෙක යේ නම්, පත්‍රභාර ඇතිව ම යේ ද, එසෙයින් රැගෙණ ම යෙයි. මෙපරිදි මහණ කායපාරිහාරික චීවරයෙන් කුක්‍ෂි පාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හේ යම් මැ දිගෙක යේ නම්, අටපිරිකර මතු රැගෙණ ම යෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුඛ විඳුනේ ය.
හෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නාසුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙ පුඟුල්හි කරා ලාමක අකුශලධර්‍ම වන අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ ලුහු බඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස ... මනසින් ධර්‍මායතනයක් දැන නිමිති නොගන්නා සුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හි කරා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. මනින්‍ද්‍රියය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්‍තවූ) අව්‍යාසේක සුඛය විඳුනේ ය.
හේ ඉදිරිගමනෙහි හා ප්‍රත්‍යාගමනෙහි සම්පජානකාරී වෙයි. ඉදිරි බැලුම් හා දිගනුදික් බැලුම්හි සම්පජානකාරී වෙයි. අත් පා හැකුළුම් හා දිගු කිරීමෙහි සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි සම්පජානකාරී වෙයි. අසිත, පීත, ඛායිත හා සායිතයෙහි සම්පජානකාරී වෙයි. සුලුවටන් මහවටන් කම්හි සම්පජානකාරී වෙයි. ගමනෙහි, සිටුමෙහි, හිඳුමෙහි, නිදියෙහි, නිදි වැරුම්හි, කථායෙහි, තුෂ්ණීම්භාවයෙහි සම්පජානකාරී වෙයි.
හෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ අරණ්‍යය, රුක්මුල්ය, පර්‍වතය, කඳුරුය, ගිරිගුහාය, සොහොනය, වනපෙතය, අබවස්ය, පිදුරු කිළිය යන විවික්තශයනාසනයක් බෙජෙයි.
හෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චෝපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොර වූ සිතැත්තේ සර්‍වප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යාන මිද්ධ ඇතියේ (විගතනීවරණයෙන්) ආලෝකසංඥා ඇතියේ ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාවය නැතියේ අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුශලධර්‍මයෙහි කථංකථීභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි. හේ චිත්තයාගේ උපක්ලේශවූ ප්‍රඥාව දුර්‍වල කරණ මෙ පඤ්ච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළඹ වාස කරයි.
හේ මෙ සෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් ම අඞ්ගණ රහිත වත් ම උපක්ලේශයන් විගත වත් ම මෘදු වත් ම කර්‍මන්‍ය වත් ම ස්ථිත වත් ම නො සැලෙනබවට පත් වත් ම පූර්වේනිවාසානුස්මෘතිඥානය සඳහා ... සත්ත්‍වයන්ගේ ච්‍යුත්‍යුතපාත ඥානය සඳහා ... ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ මෙ දුකැ යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛසමුදයය යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධ ය යි යථා භූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවසමුදය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය.
මෙ සෙයින් දන්නා ඔහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. විමුක්ත වත් ම විමුක්තය යන ඥානය වෙයි: “ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමග කරණී කරණ ලදී. මෙබව සඳහා අන් කිසක් නැතැ” යි දන්නේ ය.
මහණෙනි, මෙසෙයින් පුද්ගල නො ම ආත්මන්තප වෙයි. නො ම ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. නො ම පරන්තප වෙයි. නො ම පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. හෙ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම තෘෂ්ණා නැතියේ පිරිනිවියේ සිහිල් වූයේ ධ්‍යානමාර්‍ගඵල නිර්‍වාණසුඛ විඳිනුයේ ශ්‍රෙෂඨචිත්තයෙන් වාස කරයි.
මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මෙ පුද්ගලයෝ සතර දෙනහ යි.
4. 4. 5. 9.
[තණ්හාජාලිනී සූත්‍රය]
49. මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ, වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, තෘෂ්ණාව තොපට දෙසමි. එ අසව මොනවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යැ යි ඒ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, එ තෘෂ්ණා නම් කවර?
මහණෙනි, ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි. බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි.
ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනා කවරහ යත්: මහණෙනි, (ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් සමූහග්‍රාහය වේ නුයි) ‘මම’ යැ යි (වෙන් කොට) ගැණුම ඇති කල්හි (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි) “මෙබඳු ප්‍රකාර ඇත්තෙමි”යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි සම විසින් ගෙණ) ‘මෙසේ වෙමි’යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි අසම විසින් ගෙණ) ‘අන් ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයපරිවිර්‍කවශයෙන්) ‘වෙම් දෝ හෝ’ වෙයි. ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වියහෙම් දෝ හෝ’යි ‘මම මෙබඳු ප්‍රකාර ඇති විය හෙම් දෝ හෝ’යි වෙයි. ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. ‘මම අන් සැටියකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) වෙමි’යි වෙයි. ‘මෙබඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. ‘මෙසේ වෙමි’යි වෙයි. ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙන කවරහ යත්? මහණෙනි, මේ රූපාදීන් ‘මම’ යැ යි වෙන් කොට ගැණුම ඇති කල්හි මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයවිතර්‍කවශයෙන්) මේ රූපාදීන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘අන්සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙබඳු ප්‍රකාර ඇතිවියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම අන් සැටියෙකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) මේ රූපාදීන් ‘වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙ බඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියෙකින් වෙමි’යි වෙයි. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
මෙසෙයින් ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙක. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙකැයි, මහණෙනි, මොහු සතිස් තෘෂ්ණාවිචරිතයහ යි කියනු ලැබේ. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. අනාගත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. ප්‍රත්‍යුත්පන්න තෘෂ්ණාවිචරිතයෝ සතිසෙකැයි (මෙ හැම ගොස්) තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වෙයි.
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළදනාලදුයේ වටා වෙළුනේ හූ කැටියක් සෙයින් අවුල් වූයේ පෙහෙර හූ ගෙඩි වැනි වූයේ මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, මෝ ඒ තෘෂ්ණා ය.
4. 4. 5. 10.
[පේම - දෝස සූත්‍රය]
50. මහණෙනි, මොහු සතර දෙනෙක් උපදනාහු ය. කවර සතර දෙනෙක යත්: ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට වූයේ කාන්ත වූයේ මනාප වූයේ වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: යම් මේ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත් ය යි හේ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට ද කාන්ත ද මනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ට අකාන්ත අමනාප වේ ද, පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මේ ලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ටත් අකාන්තත් අමනාපත් වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙති යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය. මහණෙනි, මෙ සතර දෙනහු උපදිති.
මහණෙනි, යම් කලෙක මහණ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වේ. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වේ.