භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල පරමසුභාෂිත වෙයි: “බමුණ, මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේය යන මෙකරුණ නොවනසුලු ය, වන්නට අවකාශ නැත යනු ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද අකාරණය වන්නට අනවකාශය’ යි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ සහේතුක වේ ය යි ද, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද සහේතුකය” යි යන භාෂිත යි.
භවත් ගෞතමයන් වහන්ස, දැන් කලි අපි යම්හ. අපි බොහෝ කිස ඇත්තම්හ. බොහෝ කටයුතු ඇතියම්හ.
බමුණ, දැන් කලි තෝ යමකට කල් දනැ යි වදාළහ.
ඉක්බිති මගධ මහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී ගියේ ය.
4. 4. 4. 8.
[උපක සූත්‍රය]
38. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, “මම යම් කිසිවෙක් පරගර්‍හා කියා ද, පරගර්‍හා කියන්නේ, එ හැම (කුසල්) සිදු නො කෙරේ, නොහොත් උපපාදනය (තම වචනය නිසි කිරීම) නො කෙරේ. උපපාදනය නො කරණුයේ, ගර්‍හණීය වේ. උපවාද කටයුතු ද වෙයි” යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි.
“උපකය, ඉදින් පරගර්‍හා කෙරේ නම්, පරගර්‍හා කරණුයේ උපපාදනා නො කෙරේ නම්, උපපාදනා නො කරණුයේ ගර්‍හණීය වේ නම්, උපවාද කටයුතු වේ නම්, උපකය, තෝ පරගර්‍හා කෙරෙහි. පරගර්‍හා කරමින් උපපාදනා නො කෙරෙහි. උපපාදනා නො කරන්නෙහි ගර්‍හණීය වෙහි. උපවාද කටයුත්තෙහි ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
වහන්ස, යම්සේ ඉල්පෙන්නා හා ම මහත් මළබැඳුමෙන් බඳනේ ද, වහන්ස, එපරිදි ම මම ඉල්පෙනුයෙම් ම භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාදපාසයෙන් බඳනා ලද්දෙමි.
උපකය, මා විසින් ‘මේ අකුසලැ’ යි පණවන ලදී. ඒ පැණවීමෙහි අපරිමාණ පදයෝ ය. අපරිමාණ ව්‍යඤ්ජනයෝ ය. ‘මෙසේත් මේ අකුශලය’ යන මෙහි තථාගතයන්ගේ අප්‍රමාණ ධර්‍මදේශනාවෝ ය.
උපකය, ‘ඒ අකුශලය ප්‍රහාතව්‍යය’ යි මා විසින් පණවන ලදි. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ අකුශලය ප්‍රහාතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණය.
උපකය, ‘මේ කුසලැ’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය’ යි යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණය.
උපකය, ‘ඒ කුශලය භාවිතව්‍යය’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය භාවිතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්‍මදේශනා අප්‍රමාණයි.
ඉක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වේදේහිපුත්‍ර වූ මගධාධිශ්වර අජාසත් රජු කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාසල්ලාප වී ද, එහැම වේදේහිපුත්‍ර මගධාධීශ්වර අජාසත් රජහට කීයේ ය.
මෙසේ කී කල්හි වේදේහිපුත්‍ර වූ මගධාධීශ්වර අජාසත් රජ කුපිත ව නොගත් සිත් ඇතිව මණ්ඩිකාපුත්‍ර උපකයාට මෙසේ කීය: “මේ ලෝණකාර ගම්දරුවා පරමධර්‍ම ඇත්තෙක (=අත්‍යර්‍ත්‍ථයෙන් ගැටෙන්නෙක). ඉතා දොඩමලුය. අතිශයින් ප්‍රගල්භය. භගවත් අර්‍හත් ඒ සම්මා සම්බුදුරජුන් ඝැටියයුත්තකු කොට සිතී ද එහෙයිනි. උපකය, තෝ පහව යා. නස තා නොදකිම්වා.”
4. 4. 4. 9.
[සච්ඡිකරණීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ සාක්‍ෂාත් (ප්‍රත්‍යක්‍ෂ) කළයුතු දහම්හු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. දිව්‍යචක්‍ෂුසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ධ්‍යානප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත.
මහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, අෂ්ටවිමෝක්‍ෂයෝ නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු වෙති.
මහණෙනි, ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, පූර්වේනිවාසය ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
මහණෙනි, දිව්‍යචක්‍ෂුසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහු ද? මහණෙනි, සත්ත්‍වයන්ගේ චුතූපපාතය දිවැසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
මහණෙනි, ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, ආස්‍රවක්‍ෂය ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය.
මහණෙනි, මේ සතර දහම්හු සාක්‍ෂාත් කළයුත්තෝ යි.
4. 4. 4. 10.
[භික්ඛුසඞ්ඝථොමන සූත්‍රය]
40. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මුවරමාපාය නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයෙහි බික්සඟන විසින් පිරිවරණ ලදුව හුන්සේක් වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මේ පර්‍ෂද් ප්‍රලාපරහිතය. මහණෙනි, මේ පර්‍ෂද් නිෂ්ප්‍රලාපය, නිර්‍මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්‍ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය.
මහණෙනි, යම්බඳු පිරිසෙක් ඇද්ද, අල්ප කොට දෙන ලද්ද විපාක විසින් බොහෝ වේ ද, බොහෝ කොට දෙන ලද්ද විපාක විසින් බහුතර වේ ද, මේ පිරිස් එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය. මහණෙනි, යම් පිරිසක් අස්හි ලා මාර්ගෝපකරණපුට ගෙණදු යොදුන් ගණනුත් දක්නට යනු පිණිස නිසි වේ ද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය.
මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි දිව්‍යවිහාරප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි බ්‍රහ්මවිහාරප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි නිශ්චලප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ආර්‍ය්‍යභාවප්‍රාප්තව වසන භික්‍ෂූහු ඇත.
මහණෙනි, කෙසේ නම් මහණ දේවප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ... පළමුවන දැහැනට එළඹ වෙසෙයි ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ දේවප්‍රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බ්‍රහ්මප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැසැ වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත්සහගත සිතින් පැහැසැ වෙසෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්‍ෂාසහගත සිතින් පැහැසැ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බ්‍රහ්මප්‍රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ නිශ්චලප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්තය” යි ආකාශානන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණය කොට “විඥානය අනන්තය” යි විඥානානන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් විඥානානන්ත්‍යායතනය සමතික්‍රමණය කොට “කිසිත් නැතැ” යි ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. ආකිඤ්චන්‍යායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ නිශ්චලප්‍රාප්ත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ආර්‍ය්‍යභාවප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුකැයි තත් වූ පරිදි දනී. මේ දුක් උපදින හේතු යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ආර්‍ය්‍යභාවප්‍රාප්ත වේ.
බ්‍රාහ්මණ වර්‍ගය සිවුවැනි යි.
5. මහා වර්‍ගය
4. 4. 5. 1.
[සොතානුධත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්‍රතිවේධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්‍යවස්ථා කළ ධර්‍මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්‍වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පරීක්‍ෂා කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණලද ධර්‍මයන්ගේ මේ පළමුවන ආනිසංසය කැමැති විය යුතුය.
තව ද මහණෙනි, මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පරීක්‍ෂා කරණ ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුළා සිහි ඇතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් රහත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම පෙර අත්බව යම් සස්නෙක බඹසරවස් පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා ය. මහණෙනි, ස්මෘති උත්පත්තිය ලැසි ය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා විශේෂගාමී වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බෙරහඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ බෙරහඬ අසයි. බෙරහඬෙක් වේ දෝ හෝ බෙරහඬෙක් නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ නො වෙයි. වැලිත් බෙරහඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පිරියෙස්නා ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළාව කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ දහම් විනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පිරියෙස්ලි කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ දෙවන ආනිසංසය කැමැති විය යුතු ය.
තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො ම වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො ම දෙසයි. වැලිත් (ධර්‍මකථික) දෙව්පුතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, ඒ මේ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සක්හඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ සක්හඬ අසයි. සක්හඬ දෝ හෝ සක්හඬ නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ ඔහුට නො වෙයි. වැලිත් සක්හඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් දෙව්පිතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය ගුරු ය. වැලිත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද නුවණින් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ තුන්වන ආනිසංසය කැමැති විය යුතු ය.
තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් ද දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් (පළමු උපන්) ඕපපාතිකයෙක් ඒ (පසුව උපන්) ඕපපාතිකයා සිහිපත් කරවයි. “නිදුකානෙනි, යම් සස්නෙක පෙර අපි බඹසර වුසූම්හයි නො සිහි කෙරෙහි ද”? හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි. නිදුකානෙනි සිහිකරමි.” මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.
මහණෙනි, යම් පරිදි එක්ව පස්කෙළි කෙළින යහළුවෝ වෙත් නම්, ඔහු යම් ම දිනෙක අනන්මන එකතු වෙත් නම්, යහළුවෙක් ඒ ඉතිරි යහළුවාට මෙසේ කියන්නේ ය: “යහළුව, මෙසේත් සිහි කෙරෙහි ද? යහළුව, මෙයත් සිහි කෙරෙහිදැ” යි. හේ මෙසේ කියයි: ‘යහළුව, සිහි කරමි. යහළුව සිහි කරමි” යි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඕහට ධර්‍මපදයෝ නො වටහත්. ඍද්ධිමත් වූ චේතෝවශීප්‍රාප්ත වූ රහත් මහණෙක් දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් හෝ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් ඕපපාතිකයෙක් ඒ ඕපපාතිකයා සිහි කරවයි. “පෙර අත්බව අපි යම් සස්නෙක බඹසර වුසූම්හු ද, යහළුව, ඒ තෝ සිහි කෙරෙහි දැයි.” හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි” යි. මහණෙනි, ස්මෘති උත්පාදය දන්‍ධය. වැලිත් ඒ සත්ත්‍ව වහා විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතරවන ආනිසංසය කැමැති විය යුතු ය.
මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතර ආනිසංසයෝ කැමැති විය යුත්තාහ.
4. 4. 5. 2.
[ඨාන සූත්‍රය]
42. මහණෙනි, මේ සතර කරුණු සතර කරුණෙකින් දත යුතුය. කවර සතර කරුණුය යත්:
මහණෙනි, එක්ව විසීමෙන් සීලය දතයුතුයි. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳකලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය.
මහණෙනි, සංව්‍යයවහාරයෙන් (=සංලාපයෙන්) පිරිසිදු බව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, විපත්හිදී ථාමය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියන ලද ද යත්:
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි ඛණ්ඩකාරී ය, ඡිද්‍රකාරී ය, ශබලකාරී ය, කල්මාෂකාරී ය, සන්තතකාරී නොවේ. සන්තතවෘත්ති නො වේ. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, මේ ආයුෂ්මත් සිල්වත් නො වේ ය යි කියා යි.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්‍ඝකාලයෙක සිට ශීලයෙහි අඛණ්ඩකාරී ය, අඡිද්‍රකාරී ය, අශබලකාරී ය, අකල්මාෂකාරී ය, සන්තතකාරී ය, සන්තතවෘත්තිය, මේ ආයුෂ්මත් සිල්වත් ය, මේ ආයුෂ්මත් දුශ්ශීල නො වේ.
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස තෙල පිණිස කියන ලදී.
මහණෙනි, සංව්‍යවහාරයෙන් පිරිසිදුබව දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස කුමක් පිණිස කියන ලද ද?
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයකු සමග සංව්‍යවහාර කරන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා අන් සැටියකින් බෙණේ. දෙදෙනකු හා අන් සැටියකින් බෙණේ. තුන් දෙනකු හා අන් සැටියකින් බෙණේ. බොහෝ දෙනා හා අන් සැටියකින් බෙණේ. මේ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය පැණ යේ. මේ ආයුෂ්මත් නොපිරිසිදු ව්‍යවහාර ඇත්තෙකි. මේ ආයුෂ්මත් පිරිසිදු ව්‍යවහාර නැත්තෙකැ යි.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා කථා කරන්නේ මෙසේ දනියි: යම් පරිදි මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා බෙණේ ද, දෙදෙනකු හාත් තුන් දෙනෙකු හාත් බොහෝ දෙනකු හාත් එසේ ම බෙණේ. මෙ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය නො ද ලැගැ යෙයි. මෙ ආයුෂ්මත් පරිශුද්ධ ව්‍යවහාර ඇතියෙකි. මෙ ආයුෂ්මත් අපරිශුද්ධ ව්‍යවහාර ඇතියේ නො වේ ය යි.
මහණෙනි, සංව්‍යවහාරයෙන් ශුචිභාවය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස නුවණනැතියහු විසින් නොදත හැකිය යි මෙසෙයින් යම් මැ බසෙක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
මහණෙනි, ආපත්හි දී ස්ථාමය දතයුතු ය. එ ද දීගුකලෙකින, මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි නො කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස වත්මුත් පැණ නැතියහු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ මෙසේ නුවණින් කල්පනා නො කෙරෙයි: යම් බඳු වූ ම ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු වූ ම ආත්මභාවප්‍රතිලාභයෙක්හි අටලෝදහම්හු ලොව ලුහුබඳනාහු නම්, ලෝකයා ද ලාභය, අලාභය, අයසය, යසය, නින්‍දාය, පසංසාය, සුඛය, දුක්ඛයැ යි යන අටලෝදහම් අනුව වැටේ නම්, මේ ලෝකසන්නිවාසය එබඳු වෙයි. මෙ ආත්මභාවප්‍රතිලාභය එබඳු වේ ය යි. හෙ ඥාතිව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ද, භෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වලප්නේ ය. ලෙහි අත් පැහැර පැහැර හඬනේ ය. සිහි මුළාවට පැමිණෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම මෙසේ නුවණින් සලකයි: “යම්බඳු ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු ආත්මභාවප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, යසය, අයසය, නින්‍දාය, පසංසාය, සුඛය, දුක්ඛය යන අෂ්ටලෝක ධර්‍මයෝ ලොව ලුහුබඳනාහු නම්, ලෝකයාත් අටලෝදම් අනුව වැටේ නම්, ලෝකසන්නිවාසය එබඳු වූයෙක. මේ ආත්මභාවප්‍රතිලාභයත් එබඳු වූයෙකැ” යි. හේ ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වලප්නේ ය. ලෙහි අත් පැහැර නො හඬනේ ය. සිහි මුළාවට නො යෙයි. මහණෙනි, “ආපද්හි දී ස්ථාමය දතයුතු ය. එ ද වනාහි දීර්‍ඝකාලයෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැතියහු විසින් වත්මුත් නුවණනැතියහු විසින් නො දත හැකියැ” යි මෙසෙයින් යමක් කියන ලද නම්, මෙය තෙල කරුණ සඳහා කියන ලදී.
මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු. එ ද වනාහි දීගුකලෙකින. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැක. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. පැණවත්හු විසින් වත්මුත් නොපැණවත්හු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ (පැන පිළිබඳ) උන්මාර්‍ගය යම්බඳු වේ නම් ප්‍රශ්නාභිනීහාරය යම්බඳු වේ නම් ප්‍රශ්නපෘච්ඡාව යම්බඳු වේ නම් (එනයින්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් පරිදි මේ ආයුෂ්මත් ශාන්ත වූ, ප්‍රණීත වූ, අතර්‍කාවචර වූ, නිපුණ වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ ගම්භීර වූ අර්‍ත්‍ථපදයකුදු නො කියා නම්, මෙ ආයුෂ්මත් යම් දහමකුදු දෙසා නම් ඒ ධර්‍මයාගේ ද සංක්‍ෂිප්ත විසින් වේවයි විස්තර විසින් වේවයි අර්‍ත්‍ථය කියන්නට, දෙසන්නට පණවන්නට එළවන්නට විවෘත කරණුවට බෙදනුවට අරුත් පැහැදිලි කරණුවට නො ද පටි බලවේ නම්, එසෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වේ.
මහණෙනි, යම් පරිදි චක්‍ෂුර්මත් පුරුෂයෙක් දියවිල් තෙරක සිටියේ දිය බිඳ නගින කුඩමසකු දක්නේ නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මෙ මස්හුගේ උන්මාර්‍ගයත් යම් පරිදි වේ නම්, ඌර්මිඝාතයත් යම් පරිදි වේ නම්, යම් පරිදි වේගාසිතබවෙකුදු වේ නම්, එපරිද්දෙන් මෙ කුඩාමසෙක, මෙ මස් මහත් නොවේ ය” යි. මහණෙනි, එපරිද්දෙන් ම පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ නම්, ප්‍රශ්නාභිනිහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්නසමුදාචාරයත් යම්බඳු වේ නම්, (එපරිද්දෙන්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් ශාන්ත, ප්‍රණීත, අතර්‍කාවචර, නිපුණ, පණ්ඩිතවේදනීය ගම්භිරාර්‍ත්‍ථපදත් නො කියන්නේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් කියා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සංක්‍ෂිප්ත විසින් හෝ විස්තර විසින් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට විවරණ කරන්නට බෙදන්නට උත්තානීකරන්නට ප්‍රතිබල නොවේ. එහෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නොවේය” යි.
මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ නම්, අභිනීහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්න ව්‍යවහාරයත් යම්බඳු වේ නම්, එපරිද්දෙන් මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීරාර්‍ත්‍ථපද උදාහරණ කරණේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් දෙසා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ද සංක්‍ෂිප්ත වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට උත්තානී උත්තානීකරණට ප්‍රතිබල වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි.
මහණෙනි, යම් පරිදි චක්‍ෂුර්මත් පුරුෂයෙක් දියවිල් හිවුරෙක්හි සිටියේ දිය බිඳ මතුවන මහමසකු දක්නේ වේද, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මෙමස්හුගේ උන්මාර්‍ගය යම් බඳු වේ නම්, ඌර්මිඝාතයත් යම් බඳු වේ නම්, වේගයිතත්‍වයත් යම්බඳු වේ නම්, එපරිදි මේ මස් මහත් වෙයි. මේ කුඩා මසෙක් නොවන්නේ යයි. මහණෙනි, එසෙයින් පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්‍ගය යම්බඳු වේ ද, අභිනීහාරයත් යම්බඳු වේ ද, ප්‍රශ්න සමුදාචාරයත් යම්බඳු වේ ද, (එලෙසින්) මෙ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. ඒ කවර හෙයින යත්: යම් පරිද්දෙකින් මෙ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීර වූ අර්‍ත්‍ථපදත් උදාහරණ කරයි. මෙ ආයුෂ්මත් යම් ධර්‍මයක් දෙසා නම්, එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සංක්‍ෂේපයෙන් හෝ විස්තර විසින් හෝ කියනුවට දෙසනුවට පණවනුවට එළවනුවට විවෘත කරනුවට බෙදනුවට උත්තානී කරණයට ප්‍රතිබල වෙයි. එහෙයින් ම මේ ආයුෂ්මත් ප්‍රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතුය. එ ද වනාහි දිගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි කරන්නහු විසින් වත් මුත් නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. ප්‍රඥාවත්හු විසින් වත්මුත් ප්‍රඥානැත්තහු විසින් නො දත හැකිය. මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
මහණෙනි, මෙ සතර කරුණු මෙකරුණු සතරින් දතයුතු යි.
4. 4. 5. 3.
[භද්දිය සූත්‍රය]
43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මායාවී ශ්‍රමණභවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහ” යි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් ම කෙනෙක් “මායාවී ශ්‍රමණ භවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහයි” මෙසේ කීහු නම්, වහන්ස, කිම, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෑ කියන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නාහු ද, ධර්‍මයට අනුකාරණයක් පවසන්නාහු ද, කිසි වාදානුවාදයෙක් කරුණු සහිත වූයේ විඥයන් විසින් ගැරැහිය යුතු කරුණකට නො ද ඒ ද? වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොකරණු කැමැතියම්හ” යි.
භද්දියෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු මාගේ කථාව නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව, “තෙල මෙසේ වීලැ” යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාර පරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, ‘මෙ මහණ අපට ගුරුහ’යි ද නහමක් ගණුව. භද්දියෙනි, ‘මෙ දහම්හු අකුසල්හ. මෙ දහම්හු වරද සහිතයහ. මෙ දහම්හු නුවණැත්තන් විසින් ගර්හිතයහ. මෙ දහම්හු සපුරණ ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස, පවත්නාහ’ යි තෙපි යම් කලෙක තුමූ ම දන්නහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
භද්දියෙනි, ‘එ කිමැ’යි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ දැ?යි, ඇසූසේක. වහන්ස, අහිත පිණිස වේය’යි කීය. භද්දියෙනි, ලුබ්ධ වූ මෙ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ලෝභයෙන් ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරෙයි, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි? එසේය, වහන්සැ යි.
භද්දියෙනි, ‘එකිමැ’යි හඟිවු ද? ද්වේෂය පුරුෂයාගේ ... මෝහය පුරුෂයාගේ ... සාරම්භය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ දැ? යි. වහන්ස, අහිත පිණිස වේ යයි. භද්දියෙනි, සාරම්භයෙන් යුත් මෙ පුරුෂ පුද්ගල සාරම්භයෙන් මඩනා ලදුයේ (සාරම්භයෙන්) ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයිද? වහන්ස, එසේය.
භද්දියයෙනි, එ කිමැ’යි සිතවු ද, මෙදහම්හු කුසල් හෝ අකුසල් වෙත් ද? වහන්ස, අකුසල්හ යි. සාවද්‍ය හෝ වෙත් ද, අනවද්‍ය හෝ වෙත් දැයි? වහන්ස, සාවද්‍යහ යි. නුවණැත්තන් විසින් ගර්හිත වෙත් ද, විඥයන් විසින් ප්‍රශස්ත වෙත් දැ යි? වහන්ස, විඥයන් විසින් ගර්හිතයහ යි. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහ. මෙහිලා අපට මෙසේ අදහස් වේය යි.
භද්දියයෙනි, යම් ඒ බසක් කීමෝ ද, “භද්දියෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගනුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව ... මෙ දහම්හු අකුසල්හ, මෙ දහම්හු සාවද්‍යයහ, මෙ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මෙ දහම්හු පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව”යි, මෙසේ යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
භද්දියයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව ‘මෙසේ වීලැ’යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙති’යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නහමක් ගණුව, භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ’යි නහමක් ගණුව. භද්දියයෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යහ, මෙදහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති”යි තුමූම දන්නහු ද, භද්දියය, එ සඳ තෙපි එ දහම් උපයා වසව.
භද්දියය, එ කිමැයි සිතවු ද? අලෝභය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස උපදනේ ය. භද්දිය ය, අලුබද්ධ වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් නො මඩනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නො යන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.
භද්දියය, එ කුමැයි හඟිවු ද? අදෝෂය පුරුෂයා සිත ... අමෝහය පුරුෂයා සිත … අසාරම්භය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස ය. භද්දියය, සාරම්භ රහිත මේ පුරුෂ පුද්ගල සාරම්භයා විසින් නො මඬනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නොයන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.
භද්දිය ය, එ කුමැයි හඟිවු ද? මෙ දහම්හු කුසල හෝ අකුසල හෝ වෙද් ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද් ද? වහන්ස, අනවද්‍යයහ. විඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙද් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ. මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදාන කරණ ලද්දාහු හිතයට සුඛයට වැටෙද් ද? නො වැටහෙන්නාහු හෝ වෙද් ද? මෙහි ලා කෙබඳු අදහස් හෝ වේ ද? වහන්ස, මොනොවට ගත් මොනොවට සමාදාන කළ එ දහම්හු හිතයට සුඛයට වැටෙති. මෙහි ලා අපට මෙබඳු සිත් වෙයි.
භද්දියය, මෙසේ යම් එ බසක් කියුමෝ ද, “භද්දියෙනි, තෙපි එවු. අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරාකථායෙනුදු නහමක් ගණුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව, අපගේ පෙළ හා යෙදෙති යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, භව්‍යරූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ යි ද නහමක් ගණුව. භද්දියෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යයහ, මෙ දහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති” යි තුමූ ම දන්නාහු ද, භද්දිය ය, එ සඳ තෙපි එ දහම් උපයා වසව යි. මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙ තෙල පිණිස කියන ලදී.
භද්දිය ය, ලෝකයෙහි යම් සත්පුරුෂ කෙනෙක් ඇද්ද, ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, තෝ එව, ලෝභය පුන පුනා දුරු කොට වසව, ලෝභය පුන පුනා දුරු කරණුයෙහි කයින් වචසින් මනසින් ලෝභජකර්‍ම නො කරන්නෙහි ය. ද්වේෂය පුන පුනා දුරු කොට වසව, ද්වේෂය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් ද්වේෂජකර්‍ම නො කරන්නෙහි ය. මෝහය පුන පුනා දුරු කොට වසව, මෝහය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් මෝහජකර්‍ම නො කරන්නෙහි ය. සාරම්භය පුන පුනා දුරු කොට වසව, සාරම්භය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් සාරම්භජකර්‍ම නො කරන්නෙහි ය.
මෙසේ වදාළ කල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනව. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ගෙණ දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට දරන්නේ මැනවැ”යි.
“භද්දිය ය, එව තෝ මගේ සව්වා, මම ශාස්තෘ වෙමි”යි තට මම මෙසේ කීයෙම් වේ ද? වහන්ස, තෙල බස නො වී ම ය. භද්දිය ය, මෙබඳු වාද ඇති මෙසේ බණන මට, ඇතැම් මහණ බමුණෝ අසත් තුච්ඡ මෘෂාභූත අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතමයෝ මායාවීහ. යම් මායායෙකින් අන්තොටු සවුවන් ආවර්‍තනය කොට ගණිත් ද, එබඳු ආවර්‍තනීමායා දනිති” යි.
වහන්ස, ආවර්‍තනීමායා භද්‍රය, වහන්ස ආවර්‍තනීමායා කල්‍යාණය. වහන්ස, මාගේ ප්‍රිය වූ නෑසහලේනෑයෝ මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, මාගේ ප්‍රිය වූ නෑ - සහලේ නෑයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම කැත්හු මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එහැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශුද්‍රයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි.
භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, හැමකැත්හු අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස ආවර්‍තතිත වෙත් නම් හැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දියය, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශ්‍රද්‍රයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දිය ය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යාප්‍රජා තොමෝ අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තතිත වෙත් නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයාගේ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවගේ දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. භද්දියය, මේ මහාසාලවෘක්‍ෂයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙත් ද, ඉදින් සිතන්නාහු නම් මෙ මහාසාලවෘක්‍ෂයනට පවා දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. මනුෂ්‍ය වූවක්හට කියනු ම කිම යි.
4. 4. 5. 4.
[සාපූගිය සූත්‍රය]
44. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කෝලිය දනව්හි සාපූග නම් කෝලිය නියම්ගම්හි වැඩ වසන්නාහ. එකල්හි බොහෝ සාපූගිය කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වැඳ එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් සාපූගිය කෝලිය පුත්‍රයනට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ.
ව්‍යග්ඝපජ්ජයෙනි, යථාර්‍ත්‍ථ දන්නා වූ යථාර්‍ත්‍ථ දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට පවසන ලද සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස වූ ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමයට, දුක් දොම්නස් දුරලනුවට න්‍යායාධිගමයට නිර්‍වාණ සාක්‍ෂාත්කාරයට මෙ සතර පාරිසුද්ධි පධානියඞ්ග කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ග යි.
ව්‍යග්ඝපජ්ජයෙනි, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂා පදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු ශීලපාරිසුද්ධිය පුරන්නෙමි. පරිපූර්‍ණ වූ හෝ ශීලපාරිශුද්ධිය එ එ කරුණෙහි විදර්‍ශනාප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහිලා යම් ඡන්‍දයෙක් හා යම් ව්‍යායාමයෙක් හා යම් උත්සාහයෙක් හා යම් උත්සොලභියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජයෙනි, චිත්තපාරිශුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ...) චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ චිත්තපාරිශුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු චිත්තපාරිශුද්ධිය පුරන්නෙමි යි පරිපූර්‍ණ වූ හෝ චිත්තපාරිශුද්ධිය ඒ ඒ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම් ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයි කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජයෙනි, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුකැයි යථාභූතය දන්නේ ය ... මේ දුක්ඛසමුදය යි ... මේ දුක්ඛනිරෝධයයි ... මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි යථාභූතය දන්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ දිට්ඨිපාරිසුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණවූ හෝ මෙබඳු දිට්ඨිපාරිසුද්ධිය පුරන්නෙමි යි පරිපූර්‍ණ වූ හෝ දිට්ඨිපාරිසුද්ධිය එ එ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.