Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 4701-4800 න් 15980

මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
මහණෙනි, ඒ භික්‍ෂුහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු යි. පටික්කෝසනා නො කටයුතුයි. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මනා කොට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහිලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස සිටුනේ ද, විනයයෙහිත් සසැඳ සිටුනේ ද, මෙහි ලා නිශ්චයට යා යුතු ය: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද කියා යි. මහණෙනි, මේ සතරවෙනි මහාපදේසය ධරව.
මහණෙනි, මේ සතර මහාපදේසයෝ යි.
සඤ්චේතනියවර්‍ගය තුන්වෙනි යි.
4. බ්‍රාහ්මණ වර්‍ගය
4. 4. 4. 1.
[යෝධාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යෝධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්:
මහණෙනි, මෙලොව යෝධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යෝධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.
මහණෙනි, එපරිදි ම සතර දහමෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර දහමෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ‘ඨානකුසල’ වූයේත් ‘දූරේපාතී’ වූයේත් ‘අක්ඛණවේධී’ වූයේත් මහත් ‘කායවිදාරණය’ කරන්නේත් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ‘ඨාන කුසල’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ශික්‍ෂාපද විෂයයෙහි සමාදානය කොට හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ඨාන කුසල’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ දූරේ පාතී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ඉන්‍ද්‍රියබද්ධ වේවයි අනින්‍ද්‍රිය බද්ධ වේවයි ඖදාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමෙක් දුරෙහි වේවයි ලඟ වේවයි, යම් කිසි රූපායතනයෙක් ඇත් ද, තෙල එ හැම රූප මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. තෙල රූප මාගේ විසිය වැටෙන්නේ නො වෙයි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇත් ද ... යම් කිසි සංඥායෙක් ඇත් ද ... යම් කිසි සංස්කාරයෝ ඇත් ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි දළ වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමක් දුරෙහි වේවයි ලඟ වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, තෙල හැම විඥානය මා ගැත්තේ නො වෙයි මම තෙල විඥානයෙම් නොවෙමි. තෙල විඥානය මාගේ විසිය වැටෙන්නේ නො වෙයි මෙසේ මේ යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ද, මහණෙනි, මෙසේ මහණ ‘දූරේපාතී’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘අක්ඛණවේධී’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැ යි තත් වූ පරිදි දනී ද, මේ දුක් උපදනා හේතු යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමැ යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ යි තත් වූ පරිදි දනී ද, මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
මහණෙනි, කෙසේ මහණ මහත් වූ කය බිඳලන්නේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් වූ අවිද්‍යාස්කන්‍ධය පළයි. මහණෙනි, මෙසේ මහත් කය පළන්නේ වේ.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
4. 4. 4. 2.
[පාටිභෝග සූත්‍රය]
32. මහණෙනි, දහමුන් සතර දෙනකුන්ට මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. කවර සතර දෙනකුට ය යත්:
“ජරාධර්‍මය නහමක් දිරාව”යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘ව්‍යාධිධර්‍මය නහමක් පෙළෙව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසි වෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘මරණධර්‍මය නහමක් මියේව’යි, මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
‘කෙලෙසුන් කරණ, පුනර්‍භවය ගෙණ දෙන, දරථ සහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණ එළවන යම් පාපකර්‍මයෝ ඇත් ද, උන්ගේ විපාකය නහමක් උපදී ව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
මහණෙනි, මේ සතර දහමුනට ශ්‍රමණයෙක් වේවයි, බ්‍රාහ්මණයෙක් වේවයි, දේවයෙක් වේවයි, මාරයෙක් වේවයි, බ්‍රහ්මයෙක් වේවයි, ලොව අනෙකෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.
4. 4. 4. 3.
[වස්සකාර සූත්‍රය]
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.”
බමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. බමුණ, මම හැම විඥාතය (ධම්මාරම්මණ) කියයුතුය යි නො ම කියමි. බමුණ, මම හැම විඥාතය නොකියයුතු ය යි නො ද කියමි.
බමුණ, දුටු යමක් කියන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු දුටු දැය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් දුටු දැයක් කියන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙබඳු දුටු දැය කියයුතුය යි කියමි.
බමුණ, යම් ඇසූ දැයක් කියන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු ඇසූ දැය නො කියයුතු ය යි කියමි. බමුණ, යම් ඇසූ දැයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු ඇසූ දැය කිය යුතුය යි කියමි.
බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු මුතය නො කියයුතුය යි කියමි. බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු මුතය කිය යුතුය යි කියමි.
බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු විඥාතය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු විඥාතය කියයුතුය යි කියමි.
එකල්හි මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට හුනස්නෙන් නැගී ගියේ ය.
4. 4. 4. 4.
[ජාණුස්සොනී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. එකල ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි.
බමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත.
බමුණ, මරණසැහැවි ඇතියේ මරණයට බානා, සන්ත්‍රාසයට වදනා පුද්ගල කවරේ ය යත්:
බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිළාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪරෝගාතඞ්කයෙක් තුලුන් ස්පර්‍ශ කෙරේ. කිසියම් ගාඪරොගාතඞ්කයෙකින් පැහැසුනු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියත්. වැලි මමත් ප්‍රිය කාමසම්පත් හැරපියමි.” කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වෙයි. වලප්නේ වෙයි. ලෙහි අත් පැහැරැ පැහැරැ හඬයි. සම්මෝහයට පැමිණෙයි. බමුණ මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් කයෙහි නොපැහු රාග ඇතියේ නොපැහු ඡන්‍ද ඇතියේ නොපැහු ප්‍රේම ඇතියේ නොපැහු පිපාසා ඇතියේ නොපැහු පරිළාහ ඇතියේ නොපැහු තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪ වූ රෝගයෙක් තුලුන් ස්පර්‍ශ කෙරෙයි. එක්තරා ගාඪරෝගයෙකින් පහස්නා ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි. වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරණුයේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනුයේ වෙයි. සම්මෝහයට වදනේ වෙයි. බමුණ, මෙයිත් මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් පින්කම් නොකෙළේ වෙයි. කුසල් නො කෙළේ වෙයි. බියට පරිත්‍රාණ නොකෙළේ වෙයි. පව් කෙළේ වෙයි. කැකුළුකම් කෙළේ වෙයි. කිලිටිකම් කෙළේ වෙයි. එක්තරා ගාඪවූ රෝගයෙක් තුලුන් පැහැස සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත වු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් කල්‍යාණයෙක් නොකරණ ලදී. කුසලයෙක් නොකරණ ලදි. බියට පරිත්‍රාණයෙක් නොකරණ ලදි. පාපයෙක් කරණ ලදි. කැකුළුකමෙක් කරණ ලදි. කිලිටිකමෙක් කරණ ලදී. භවත්නි, කල්‍යාණයන් නොකළ කුසලයන් නොකළ බියට පරිත්‍රාණ නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තන්ගේ යම් ගතියෙක් වේ ද, පරලොව ඒ ගතියට යෙමි යි හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැරැ පැහැරැ හඬන්නේ වෙයි. මුළාබවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියේ වෙයි. විචිකිච්ඡා ඇතියේ වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයේ නො වෙයි. එක්තරා ගාඪරෝගයෙක් තුලුන් පැහැසැ සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්‍වාගත ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියෙම් වෙමි. විචිකිච්ඡා ඇතියෙම් වෙමි. ශාසනසද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයෙම් ද නො වෙමියි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනේ වෙයි. මුළාවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
බමුණ, මේ සතර දෙනා මරණසැහැවි ඇත්තාහු මරණයට බති. සන්ත්‍රාසයට පැමිණෙත්.
බමුණ, කවරෙක් නම් මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ වේ ද? සන්ත්‍රාසයට නො වදුනේ වේ ද?
බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි වීතරාග වූයේ, විගතඡන්‍ද වූයේ, විගතප්‍රේම වූයේ, විගතපිපාස වූයේ, විගතපරිදාහ වූයේ, විගතතෘෂ්ණ වූයේ වෙයි. එක්තරා දැඩි රෝගයෙක් තුලුන් පැහැසැ ගෙණ සිටි. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් නො වේ. “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියති. වැලි මමත් ප්‍රිය වූ කාමසම්පතුත් හැරපියමි” කියා යි. හේ සොස්නේ නො වෙයි. ක්ලාන්ත වන්නේ නො වේ. පරිදේවනා කරන්නේ නො වේ. අතින් ලය පැහැර හඬනේ නො වේ. මුළාවට වදනේ නො වේ. බමුණ, මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ, සන්ත්‍රාසයට නො වදුනේ නම් වේ.
තවද බමුණ, මෙලොව ඇතැමෙක් කයෙහි පහව ගිය රාග ඇත්තේ, පහව ගිය ඡන්‍ද ඇත්තේ, පහව ගිය ප්‍රේම ඇත්තේ, පහව ගිය පවස ඇත්තේ, පහව ගිය පරිදාහ ඇත්තේ, පහව ගිය තෘෂ්ණා ඇත්තේ වෙයි. එක්තරා දළරොගයෙක් මොහු පැහැසැ ගණී. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිත් නො වෙයි. “ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි, වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි” කියා යි. හේ සොචනා නො කෙරේ. කිලමනා නො කෙරේ. පරිදේවනා නො කෙරේ. අතින් ලය පැහැරැ පැහැරැ නො හඬයි. මුළාවට නො වදියි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ ය. සන්ත්‍රාසයට නො වදුනේ ය.
තවද බමුණ, මෙලොව කිසිවෙක් පව් නො කෙළේ, කැකුළුකම් නො කෙළේ, කිලිටිකම් නො කෙළේ වෙයි. කලණ දෑ කෙළේ කුසල් කෙළේ බියට පරිත්‍රාණ කෙළේ වේ. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් සමන්‍වාගත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් පව් නො කරණ ලදි. කැකුළුකම් නො කරණ ලදි. කිලිටිකම් නො කරණ ලදි. කලණකම් කරණ ලදි. කුසල් කරණ ලදි. බියට රකවල් කරණ ලදි. භවත්නි, පව් නො කළ, කැකුළුකම් නො කළ, කිලිටිකම් නො කළ, කලණකම් කළ, කුසල් කළ, බියට රැකවරණ කළ ඇත්තන්ගේ යම් ගතියෙක් ඇද්ද, පරලොව ඒ ගතියට යෙමි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වලපි. අතින් ලය පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ නම් වෙයි. සන්ත්‍රාසයට නො වදුනේ නම් වෙයි.
තවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක නැතියේ වෙයි. විචිකිච්ඡා නැතියේ වෙයි. ශාසන සද්ධර්‍මයෙහි (උද්ග්‍රහපරිපෘච්ඡාදීන්) නිෂ්ඨාවට ගියේ වෙයි. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම බුද්ධාදීන් කෙරෙහි සැක නැතියෙමි. විචිකිච්ඡා නැතියෙමි. ශාසනසද්ධර්‍මයෙහි (උද්ග්‍රහණාදීන්) නිෂ්ඨාවට ගියෙම් වෙමි කියා යි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. පරිදේවනා නො කෙරෙයි. අතින් ලය පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ සතැව්ලියට නො පැමිණුනේ නම් වෙයි.
බමුණ, මේ සතර දෙනා මරණ සැහැවි ඇත්තාහු මරණයට නො බති. සතැව්ලියට නො පැමිණෙත්.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා.
4. 4. 4. 5.
[චතුකෝටික සුඤ්ඤතා සූත්‍රය]
35. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වසනසේක. එසමයෙහි අතිප්‍රසිද්ධ බොහෝ පිරිවැජියෝ සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම්හි වෙසෙත්. ඔහු කවරයහ යත්: අන්තහාරය, වරධරය, සකලදායි පරිව්‍රාජකයි. අනෙක් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පිරිවැජියෝ ද වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගි සිටිසේක් සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම කරා වැඩි සේක.
එසමයෙහි රැස්ව හුන් මුළුදුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙත්, බ්‍රාහ්මණ සත්‍යයෝ මෙසේ ද වෙත්” යි කියා යි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිවැජියන් කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ඒ පිරිවැජියනට තෙල වදාළ සේක: පිරිවැජියෙනි, දැන් කිනම් අතුරු කථායෙකින් රැස්ව හුන්නහු ද? තොපගේ කිනම් අතුරු කථායෙක් අඩහළ වී ද? කියා යි.
භවත් ගෞතමයෙනි, මෙහි රැස්ව හුන් මුළුදුන් අපගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති. බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති” කියා යි.
පිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද මේ සතර බ්‍රාහ්මණසත්‍ය කෙනෙක් ඇත. කවර සතර සත්‍ය කෙනෙක යත්:
පිරිවැජියෙනි, මෙලොව ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ මෙසේ කියයි: “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ” ය කියා යි. මෙසේ බණන බමුණු සැබැවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් ‘මම ශ්‍රමණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. තවද එහි යම් ම සැබවෙක් ඇද්ද, ඒ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රාණයන් පිළිබඳ වූ ම දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: “සියලු කාමයෝ අනිත්‍යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ’යි. මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි”යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, හේ වෙසෙසින් දැන කාමයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: ‘සියලු භවයෝ අනිත්‍යයහ දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සබා බිණීමෙන්, ‘මම ශ්‍රමණයෙමි’යි නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන භවයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “මම කිසිතැනෙක ආත්ම විසින් නො වෙමි. (මාගේ ආත්මය) කිසිවක්හුගේ කිඤ්චන භාවයෙහි ලාත් නො දක්මි. පරාගේ ආත්මයත් කිසි තැනෙක නො දක්මි. කිසි තැනෙක පරාගේ ආත්මය මාගේ කිඤ්චන භාවයෙහිත් ලා නොදක්මි”යී මෙසේ චතුකෝටික සුඤ්ඤතා බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබවින් ‘ශ්‍රමණයෙමි’ යි නො හඟියි. ‘බ්‍රාහ්මණයෙමි යි’ නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන අකිඤ්චනභාව සඞ්ඛ්‍යාත ප්‍රතිපදාවට ම පිළිපන්නේ වෙයි.
පිරිවැජියෙනි, මේ සිවුවැදෑරුම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණසත්‍යයෝ තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට මා විසින් ප්‍රකාශ කරණ ලදහ.
4. 4. 4. 6.
[බහුස්සුත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. එසඳ එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේ ය.
වහන්ස, කවරකු විසින් ලෝකය ගෙණයනු ලැබේ ද? අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ ද? කියායි.
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමන මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි.
‘වහන්ස, මැනවැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ වෙතින් මතුයෙහිත් පැණ පිළිවිසී: වහන්ස, ‘බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්‍රැතය ධර්‍මධරය’ යි කියනු ලැබේ ද?
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමනය මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්‍යාණය. “වහන්ස, බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය යි කියනු ලැබේ. වහන්ස, කෙප මණෙකින් බහුශ්‍රැතය ධර්‍මධරය කියනු ලැබේ” දැ යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නොවේ ද? වහන්ස, එසේ ය.
මහණ, මා විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි බොහෝ දහම්හු දෙසන ලදහ. මහණ, සිවුපැදි ගාථායෙක්හි දු අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නව වෙසේ ද, ‘බහුශ්‍රැතය, ධර්‍මධරය’ යි කියන්නට නිසි වෙයි.
වහන්ස, මැනවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් පැණ පිළිවිසී: ‘වහන්ස, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙක, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙකැ’ යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ද?
මහණ, මැනව, මැනව, මහණ, තාගේ ඥානගතිය මැනව, වටහනු මැනව, පිළිවිසුම් භද්‍රය. “ශ්‍රැතවත්ය, නිර්වේධකප්‍රඥා ඇත්තේය, ශ්‍රැතවත්ය නිර්වේධකප්‍රඥා ඇත්තේය” යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ දැ’ යි මහණ, තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, මෙසස්නෙහි මහණහු විසින් ‘මේ දුකැ’යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මාර්‍ගප්‍රඥායෙන් අර්‍ත්‍ථය ඔවිද දක්නේ ය. “මේ දුඃඛසමුදය යි” අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුදු බිඳලා දකී. “මේ දුඃඛනිරෝධය”යී අසන ලද්දේ වෙයි. ඔහුගේ මගනැණිනුදු අර්‍ත්‍ථය බිඳපියා දකියි. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුත් අර්‍ත්‍ථය විනිවිද දකියි. මහණ මෙසේ ‘ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ය’ යි.
වහන්ස, මැනැවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමොව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් ප්‍රශ්න පිළිවිසී: “වහන්ස, පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ ද?
මහණ, මැනව, මැනව, තාගේ ප්‍රඥාගතිය භද්‍රය, ප්‍රතිභානය භද්‍රය, පිළිවිසුම් කල්‍යාණය. මහණ, “පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. ‘වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ දැ’ යි තෝ මෙසේ අසන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, මෙලොව පණ්ඩිත මහාප්‍රාඥ ආත්මව්‍යාබාධය පිණිස නොසිත යි. පරව්‍යාබාධය පිණිස නොසිතයි. උභයව්‍යාබාධය පිණිස නොසිත යි. සිතන්නේ ද ආත්මහිතය, පරහිතය, උභයහිතය. මෙසේ සර්‍වලෝකහිතය ම හිතයි. මහණ, මෙසේ පණ්ඩිත මහාප්‍රාඥ නම් වේ.
4. 4. 4. 7.
ද්වතීයවස්සකාර සූත්‍රය
37. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂ’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙ ද නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු ය.
භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ වේ ද?
බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේද වනසුලු වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙය යාවත් සුභාෂිතය (පරමසුභාෂිතයි). “බමුණා” ‘මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේ අකාරණය, වන්නට අවකාශ නැතැයි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද අහේතුකය, අනවකාශය යි ද, බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු වෙයි ද, බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද වනසුලු වේ ය” යනුයි.
භවත් ගෞතමයන් වහන්ස, එක්සමයක තුදි ගම්වැසි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මුළුදුන් පිරිසෙහි මෙබඳු මෙරමා ගැරහීමක් බෙණෙත්: “රාමපුත්‍ර වූ (උද්‍රක) ශ්‍රමණයා කෙරෙහි පහන්, රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරයෙක් (අත්‍යර්‍ත්‍ථයෙන් යටත් පැවතුම්) කරණ මේ එලෙය්‍ය රජ බාලයෙක. රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි පහන්, රාපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරය කරණ යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන මේ එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ ද බාලයෝ” ය කියා යි.
තෝදෙය්‍ය බමුණු (සියපිරිස හුන්) ඔවුන් මේ ක්‍රමයෙන් හඳුන්වයි: “භවත්නි, ඒ කිම හඟිත් ද, කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක ව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත වේ ද, ඡේකයන් අතුරෙන් ඡේක වේ ද?
භවත්නි, එසේ ය. කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේකව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත ය. ඡේකයන් අතුරෙනුත් ඡේකය.
භවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණරාමපුත්‍ර පණ්ඩිත එලෙය්‍ය රජුට වඩා කටයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකරජුට වඩා ඡේක වේ ද, එහෙයින් එලෙය්‍ය රජ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි පැහැදුනේ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපච්චකාරය කෙරෙයි.
භවත්නි, ඒ කිම හඟිද්ද, යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිත වෙත් ද, ඡේකයනට වඩා ඡේක වෙත් ද?
භවත්නි, එසේය. යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතයහ. ඡේකයනට වඩා ඡේකයහ.
භවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණ රාමපුත්‍ර එලෙය්‍ය රජුගේ පණ්ඩිත පරිවාරකයනට වඩා කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකපරිවාරකයනට වඩා ඡෙකතර වේ ද, එහෙයින් එලෙය්‍යරජුගේ පරිවාරකයෝ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි වෙසෙසින් පැහැදුනහ. ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරම නිපත්‍යකාරය කෙරෙත්.