Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 4601-4700 න් 15980

[සඤ්චේතනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්‍යාත විංශත් සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනෝද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ම උපදි යි.
මහණෙනි, යමක් ප්‍රත්‍යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් තමා තුළ ඒ සුව දුක් ඔහට උපදනේ ද, පරහු හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරෙත්. (ඔහු ලවා කරවත්). මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ (කුසලාකුසල විපාක දැන) හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඕහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුව දුක් උපදනේ ද, නො දන්නේ හෝ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙර්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, මේ චේතනාධර්‍මයෙහි අවිද්‍යාව සහජාත උපනිඃශ්‍රය වශයෙන් ලුහුබැඳුනු ය. යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, අවිද්‍යාවගේ ම නිඃශේෂ විරාගයෙන් හා නිරෝධයෙන් ඒ කායවිඥප්තිය නො වේ. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ වාග්විඥප්තිය ද නො වෙයි. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ මනෝද්වාරය නො වේ.
යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ ක්‍ෂේත්‍රය නො වේ. ඒ වස්තුව නො වෙයි. ඒ ආයතනය නො වෙයි. ඒ අධිකරණය නො වෙයි.
මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා පවතී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙන ය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට මෙපවත් සැළ කළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය මෙසේ දනිමි.
වහන්ස, යම් ආත්මභාවයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, ආත්මසඤ්චේතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වෙයි.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා ඇද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි ආත්මසඤ්චේතනා හා පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්‍වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හෝ පරසඤ්චේතනාව හෝ නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එයින් කවර දෙවියෝ දතයුත්තාහු වෙත් ද? “ශාරීපුත්‍රය, එයින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියෝ දතයුත්තාහ.”
වහන්ස, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වෙත් ද, මේ බවට (මේ කාමාවචර පඤ්චස්කන්‍ධභාවයට) එත් ද, ඊට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වෙත් ද, මේ බවට නො පැමිණෙන සැහැවි ඇති වෙත් ද, ඊට හේතු කවරේ ය, ඊට ප්‍රත්‍යය කවරේ ය?
ශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. හේ දිටුදැමියෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුත වූයේ එනසුලු වූයේ මේ පඤ්චස්කන්‍ධභාවයට එළඹෙන සැ හැවි ඇත්තේ වෙයි.
ශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. හේ ඉහාත්මයෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ එය ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුතව නො එනසුලු වූයේ මේ කාමාවචර භාවයට නො එන සැහැවි ඇත්තේ වෙයි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි. ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට නො එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
4. 4. 3. 2.
[සාරිපුත්ත - පටිසම්භිදා සූත්‍රය]
22. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මහණෙනි,” යි, භික්‍ෂූන් බණවාලූහ. ඇවැත්නි, යී ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් කරුණු විසින් අකුරු විසින් අර්‍ත්‍ථප්‍රතිසම්භිදාව ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නන් නියරින් කියමි. පළකොට කියමි. දන්වමි. පවත්වා කියමි. හෙළි කොට කියමි. විභාග කොට කියමි. නොගැඹුරු (නොමුවහ) කොට කීමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘ කෙනෙක් අපගේ දහම් පිළිබඳ අතිශයකෘතහස්ත වූහු නම්, ඒ ශාස්තෲහු ද අපට සම්මුඛීභූතයහ.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ධර්‍මප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් සාක්‍ෂාත්කෘත ය. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කරමි. විභාග කෙරෙමි. නොගැඹුරු කෙරෙමි. යමක්හට කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශයින් නිපුණ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් නිරුක්තිප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නන් ආරෙන් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කෙරෙමි. බෙදමි. ප්‍රකට කෙරෙමි.
යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘකෙනෙක් අපගේ දහම් පිළිබඳව අතිශය දක්‍ෂ වූහු ද, ඒ ශාස්තෲහු අපට සම්මුඛීභූතයහ.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. පණවමි. පවත්වා ලමි. විවරණ කරමි. බෙදාලමි. ප්‍රකට කෙරෙමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශය සමර්‍ත්‍ථ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
4. 4. 3. 3.
[මහාකොට්ඨික සූත්‍රය]
23. එසඳ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නොකියව”යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්ද නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ දතයුතු වේ ද?
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂවිරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේත් නො වෙයි, නැත්තේත් නො වෙයි. මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය (විෂය) යම්තාක් වේ ද, ඒ තාක් ප්‍රපඤ්චයාගේ (තෘෂ්ණාදෘෂ්ටිමාන) ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාග නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්ච නිරෝධයෙන් ප්‍රපඤ්ච ව්‍යුපශමය වෙයි.
4. 4. 3. 4.
[ආනන්‍ද සූත්‍රය]
24. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, එසේ නො කියව” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේදැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මත්තෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්දැ නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නොකියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය දතයුතු වේ ද?
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැයි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි මෙසේ කියනුයේ ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ වෙයි, නැත්තේ හෝ වෙයි, මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය යම්තාක් වේ ද, ඒතාක් ප්‍රපඤ්චයාගේ ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්චනිරෝධයෙන් ප්‍රපඤ්ච නිවීම වෙයි.
4. 4. 3. 5.
උපවාන සූත්‍රය
25. එසඳ ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
කිම ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් සසරවට කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙය නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ හැර වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.”
කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි, “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ විනා වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘ඇවැත්නි, මෙය නො වෙති’ යි බෙණෙහි. ඇවැත්නි, කෙසේ වටදුක් කෙළවර කරන්නේ වේ ද?
ඇවැත්නි, ඉදින් විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම වටදුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම්, උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ දෙකින් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ මිස කෙළවර කරන්නේ වී නම්, පුහුදුන් තෙමේ කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, පුහුදුන් විද්‍යාචරණයෙන් වෙන් ව සිටුනේ ය. ඇවැත්නි, චරණ නැත්තේ තත් වූ පරිදි නො දන්නේ ය. නො දක්නේ ය. පිරිපුන් චරණ ඇත්තේ යථාස්වභාවය දන්නේ ය. දක්නේ ය. තත් වූ සැටියෙන් දන්නේ දක්නේ වටදුක් කෙළවර කරන්නේ වෙයි.
4. 4. 3. 6.
[ආයාචමාන සූත්‍රය]
26. මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
මහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නී ය: “ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුණීන්ට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
මහණෙනි, සැදැහැති උවසු මොනවට ප්‍රාර්‍ත්‍ථනා කරණුයේ මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ය: “චිත්තගහපති හා හත්‍ථක ආළවක හා දෙදෙන යම් බඳු වේ ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් චිත්තගහපති හා හත්‍ථකආළවක හා දෙදෙන වෙත් ද, මාගේ සවූ උවසුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.
මහණෙනි, සැදැහැති උවැසිය මොනොවට ආයාචනා කරන්නී මෙසේ ආයාචනා කරන්නී ය: “ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන වෙත් ද, මාගේ සැවි උවැසියනට තෙල තුලාවෙයි. තෙල ප්‍රමාණ වෙයි.
4. 4. 3. 7.
[රාහුල සූත්‍රය]
27. එකල ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රහල් තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
රාහුලය, ආධ්‍යාත්මික යම් පෘථිවිධාතුයෙක් ඇද්ද, යම් බාහිරපෘථිවී ධාතුයෙක් ඇද්ද, තෙල පෘථිවීධාතු ම වෙයි. “තෙල පෘථිවිධාතු මා ගැත්තේ නො වෙයි. මම පෘථිවිධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙයි” කියා ඒ පෘථිවීධාතුව මෙසේ තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල පෘථිවිධාතුව තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක පෘථිවීධාතුයෙහි උකැටි වෙයි. පෘථිවීධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලය, යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද, යම් ඉන්‍ද්‍රියබද්ධයෙන්බැහැරි අබ්ධාතුයෙක් ඇද්ද, තෙල අබ්ධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මා අබ්ධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි උකැටි වෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් වේ ද, යම් බාහිර තේජෝධාතුයෙක් වේ ද, තෙල තෙජොධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. ‘මම තේජෝධාතුයෙම් නො වෙමි.’ තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක තොජාධාතුයෙහි උකැටි වෙයි. තොජාධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද, තෙල වායෝධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මම වායෝධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතුයි. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක වායෝධාතුයෙහි උකැටි වෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
රාහුලය, යම් කලෙක පටන් ගෙණ මහණ මේ සතර ධාතූන් කෙරෙහි ලා ආත්මය නො දක්නේ ම වේ ද, ආත්මයට අයිති දැයක් හෝ නො දක්නේ ම වේ ද, රාහුල ය, මේ මහණ තෘෂ්ණාව සිඳපීහ යි ද, දස සංයෝජන උපුටා හළහ යි ද, මානයාගේ ප්‍රහාණාභිසමයෙන් වටදුක් මොනොවට කෙළවර කළහ යි ද කියනු ලැබේ.
4. 4. 3. 8.
[චේතෝවිමුත්ති සූත්‍රය]
28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරෝධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙන නො සිටුනේ ය.
මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලහ ගැල්වූ අතින් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත ලගනේත් වෙයි. හැදගන්නේත් වෙයි. කා වදනේත් වෙයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝ විමුක්තියකට පැමිණ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නො බැස ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරෙයි. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් වැද ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය කැමති විය යුතුය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ධෞතහස්තයෙන් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත නො ම ලගනේ ය. නො ඇදගන්නේ ය, නොකාගන්නේ ය. මහණෙනි, මෙ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් පැනගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කායනිරෝධය කැමැති විය යුතුය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ අවිදු බිඳුම් නැමැති රහත්බව මෙනෙහි කෙරෙයි. අවිද්‍යා භේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණු විසින් නොපැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. අධිමුක්ත නො වේ. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාභේදය නො කැමැති විය යුතුය.
මහණෙනි, යම් පරිදි නොඑක් වස් ගණන් ඇති ගවරවළෙක් වේ ද, පුරුෂයෙක් ඒ වළෙහි යම් දිය වදනා සිවු කඳුරු ඇත් ද, ඒ වසයි. දිය බැස යන සිදුරු ඇද් ද, ඒ විවර කෙරෙයි. මේඝය ද මොනවට දහර නො වස්වයි. මහණෙනි, මෙසේ වත් ම ඒ ගවරවළෙහි මියර බිඳලීම කැමැති නො විය යුතුය. මහණෙනි, එ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වෙසේ. හේ අවිදු බිඳලීම මෙනෙහි කෙරේ. අවිදු බිඳුම් මෙනෙහි කරණ ඔහට අවිද්‍යා බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නිශ්චය නො ලබයි. මහණෙනි, ඒ මහණහට අර්‍හත්ත්‍වය නො කැමැති විය යුතුය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වාස කෙරෙයි. හේ අවිද්‍යාව බිඳලීම මෙනෙහි කෙරෙයි. අවිද්‍යාව බිඳලීම මෙනෙහි කරණ ඔහට අවිද්‍යාව බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් පැන ගණී. පහදී. මොනවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාව බිඳලීම කැමති විය යුතුයි.
මහණෙනි, යම් පරිදි අනේවස් ගණන් ඇති ගවර වළෙක් වේ ද, ඒ වළෙහි පුරුෂයෙක් යම් ආයමුඛ ඇත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ ඇත් නම් ඒ වසයි. මේඝය ද මොනවට දහර වස්වයි. මහණෙනි, මෙසේ ඒ ගවර වළෙහි මියර බිඳලීම කැමැති විය යුතුයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ අවිද්‍යාභේදය මෙනෙහි කෙරේ. අවිද්‍යාභේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණ විසින් පැන ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාභේද සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමැති විය යුතුය.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
4. 4. 3. 9.
[පරිනිබ්බානහෙතු සූත්‍රය]
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සම්මෝදනයට කරුණු වූ සිහි කරණුවට නිසි වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත, ශාරීපුත්‍රයෙනි, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඇවැත ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත්. ‘මොහු ස්ථිතිභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත් ද, ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘මොහු නිර්වේදභාගියසංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
ඇවැත, ශාරීපුත්‍රයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඇවැත, ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු ස්ථිතිභාගීයසංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු නිර්වේදභාගීයසංඥා හ’යි යථාභූතය දනිත්. ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
4. 4. 3. 10.
[මහාපදෙසදෙසනා සූත්‍රය]
30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයෙහි ආනන්‍ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මේ සතර මහා අපදෙසයන් දෙසමි. ඒ අසව, මෙනෙහි කරව, කියමි යි වදාළහ. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සතර මහාපදේසයෝ කවරහ?
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්‍දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, විනයෙහි ලා සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නො සසැඳෙත් ද, මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ භාෂිතය හැර පියව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: “ඇවැත්නි, මා විසින් තෙල බුදුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය සතුටින් නො පිළිගතයුතු ය. පිළිකෙසි නො කටයුතුය. සතුටින් නො පිළිගෙණ පිළිකෙසි නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතුය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලද්දේ, විනයෙහි ලා සසඳන ලද්දේ සූත්‍රයෙහිත් වැටේ ද, විනයෙහිත් සසැඳේ ද, මෙහි ලා නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ය. මේ භික්‍ෂූහු විසිනුත් මොනොවට උගන්නා ලදැ’යි කියා ය. මහණෙනි, මේ පළමුවන මහාපදේසය (-මහාප්‍රමාණය) ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙති. මා විසින් ඒ සඟුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි හෙළිය යුතු ය. විනයයෙහි ලා සසැඳිය යුතු ය. ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයයෙහි සසඳනු ලබන්නේ, ඉදින් සූත්‍රයෙහි නො බස්නේ නම්, විනයෙහි ලා නොසසැඳනේ නම්, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු ය: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ සඟුන් විසින් වරදවා ගන්නා ලද වෙයි’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙත්. මා විසින් ඒ සඟුන්ගේ හමුයෙහි අසන ලදී. හමුයෙහි පිළිගන්නා ලදි: ‘මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කට යුතු ය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බහාලිය යුතු ය. විනයෙහි ලා සසඳා ලියයුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බස්නේ ද, විනයෙහිත් සසඳ ලබා ද, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු යි: ‘ඒකාන්තයෙන් තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත වෙයි. ඒ සඟුන් විසින් මොනොවට ගන්නා ලද්දේ ය’ කියා යි. මහණෙනි, මේ දෙවන මහාපදේසය ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී. මේ ය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්‍දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහි සසඳනු ලබන්නේ, සූත්‍රයෙහි බැස නො ගණී ද, ‘විනයෙහි ලා සසඳ නොගණී ද, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරවරුන් විසිනුත් වරදවා ගන්නා ලද’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි, බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු ඇත. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලද, හමුයෙහි පිළිගන්නා ලද: මේ ය ධර්‍මය, මේ ය විනය මේ ය ශාස්තෘශාසනය” කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කට යුතුය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්‍දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් මේ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස ගණී නම් විනයයෙහිත් සසඳ ලබා නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද ය කියා යි. මහණෙනි, මේ තුන්වන මහාපදේසය ධරව.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර එක් තෙර කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේය ධර්‍මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්‍දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහිලා සසඳනු ලබන්නේ, සූත්‍රයෙහිත් බැස නො ගණී නම් විනයෙහිත් සසඳ නො ගණී නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරුන් විසිනුත් වරදවා ගන්නා ලද කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.