Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 4401-4500 න් 15980

4. 3. 5. 7.
[දුතියකාල සූත්‍රය]
47. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්:
නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
මහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
මහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්‍ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්‍රසාගරය පුරවත්.
මහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්‍මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
4. 3. 5. 8.
[වචීදුච්චරිත සූත්‍රය]
48. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මෘෂාවාද ය, පිශුනවාක්‍ය ය, පරුෂවාක්‍ය ය, සම්ඵප්‍රලාප යි.
මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
4. 3. 5. 9.
[වචීසුචරිත සූත්‍රය]
49. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්:
සත්‍යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි.
මහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.
4. 3. 5. 10.
[සාර සූත්‍රය]
50. මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශිලසාර ය, සමාධිසාර ය, ප්‍රඥාසාර ය, විමුක්තිසාර යි.
මහණෙනි, මේ සතර සාරයෝ යි.
ආභාවර්‍ගය පස්වැනි යි.
තෙවන පණ්ණාසකය යි.
4. සිවුවැනි පණ්ණාසකය
1. ඉන්‍ද්‍රිය වර්‍ගය
4. 4. 1. 1.
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය යි.
මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝ යි.
4. 4. 1. 2.
[බල සූත්‍රය]
2. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 3.
[දෙවැනි බල සූත්‍රය]
3. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්‍රඥාබල ය, වීර්‍ය්‍යබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 4.
[තෙවැනි බල සූත්‍රය]
4. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ස්මෘතිබල ය, සමාධිබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 5.
[සිවුවැනි බල සූත්‍රය]
5. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්‍රතිසඞ්ඛ්‍යානබල ය, භාවනාබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 6.
[අසඞ්ඛෙය්‍ය සූත්‍රය]
6. මහණෙනි, මේ මේ කල්පය පිළිබඳ සතර අසඞ්ඛෙය්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, යම් කලෙක්හි කප නස්නේ ද, මෙතෙක් වර්‍ෂ කෙනෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රයෙක කියා හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප සංවර්‍තව සිටුනේ ද, වර්‍ෂ මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශත මෙතෙකැයි කියා හෝ වර්‍ෂසහස්‍ර මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශතසහස්‍ර මෙතෙකැයි කියා හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප වැඩේ ද, වර්‍ෂ මෙතෙකැ යි හෝ වර්‍ෂශත මෙතෙකැයි හෝ වර්‍ෂසහශ්‍ර මෙතෙකැ යි හෝ වර්‍ෂශතසහශ්‍ර මෙතෙකැ යි හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප විවර්‍ත ව සිටුනේ ද, මෙතෙක් වර්‍ෂයැ යි හෝ මෙතෙක් වර්‍ෂශතය යි හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රය යි හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රය යි හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, මේ කල්පයාගේ සතර අසඞ්ඛෙය්‍යයෝ යි.
4. 4. 1. 7.
[රෝග සූත්‍රය]
7. මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්:
කායිකරෝගය හා චේතසිකරෝග යි.
මහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සියයකුදු ආරෝග්‍යය පිළිණ කරණ සත්හු පැණෙති.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් චෛතසික රෝගයෙන් ආරෝග්‍යය පිළිණ කෙරෙත් ද, ඒ සත්හු ලෝකයෙහි දුර්‍ලභ වෙති. රහතුන් හැර යි.
මහණෙනි, පැවිද්දහුට මේ රෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ මහේච්ඡ වෙයි. එයින් දුක් ඇතියේ වෙයි. යම් ම කිසි පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් සතුටු නො වෙයි. හේ මහේච්ඡ වූයේ එයින් දුක් ඇතියේ යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් අසතුටු වූයේ අවඥා නොලබනු සඳහා ලාභසත්කාරකීර්ති ලබනු සඳහා ලමු කැමැත්තක් පිහිටුවයි. හේ අවඥා නොලබනු පිණිස ලාභසත්කාර කීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කෙරෙයි. ඝටනා කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. (මෙසෙසින් මහදනා මා හඳුනා ගනිතියි) හේ අපේක්‍ෂා කොට කුලන්කරා එළඹෙයි. අපේක්‍ෂා කොට හිඳියි. අපේක්‍ෂා කොට දහම් දෙසයි. අපේක්‍ෂා කොට මලමූත්‍රවේගධාරණය කෙරෙයි. මහණෙනි, පැවිද්දහුගේ මේ සතර රෝගයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: “මහේච්ඡ නො වම්හ. එයින් දුක් ඇතියමෝ නො වම්හ. යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් නොසතුටු වූවමෝ නො වම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස, ලමු ඉච්ඡාවක් නො තබම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය නො කරම්හ. ඝටනා නො කරම්හ. ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසි මුදුරු වා අව් දිග්දැහැ යන මොවුන්ගේ පහස් ඉවසන්නමෝ නො වම්හ. නපුරු කොට කී නපුරු කොට ආ වචන ඉවසන්නමෝ නො වම්හ. දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරිකවේදනා ඉවසන සැහැවි ඇත්තමෝ නො වම්හ” කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය.
4. 4. 1. 8.
[පරිහාණි සූත්‍රය]
8. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ:
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්:
රාගවෛපුල්‍ය ය, ද්වේෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසලදහමින් නො පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නොපිරිහිනෙකැ’යි වදාරණ ලදී. කවර සතර දෙනෙක යත්:
රාගයාගේ තුනීබව ය, ද්වේෂයාගේ තුනීබව ය, මෝහයාගේ තුනීබව ය, ඔහුගේ පැණැස ගැඹුරු කාරණාකාරණයෙහි වැදගණී ද එයයි.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, ‘කුසලදහමින් නො පිරිහෙමි’යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නො පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
4. 4. 1. 9.
[භික්ඛුනී සූත්‍රය]
9. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසඳ එක්තරා මෙහෙණක් එක්තරා පුරුෂයකු ඇමතූ ය. “එම්බා පුරුෂය, තෝ මෙහි එව, ආර්‍ය්‍ය ආනන්‍ද තෙරණුවන් කරා එළඹෙව, මාගේ වචනයෙන් අනඳහිමියන් පා හිසින් වඳුව, වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇතිව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ. ඕ අනඳ හිමියන්ගේ පාදයන් සිරසින් වඳී.” කියා යි. “වහන්ස, අනඳහිමිහු මෙහෙණවර කරා, එ මෙහෙණ කරා, අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනැවැ”යි ද මෙසේත් කියව.
‘ආර්‍ය්‍යාවෙනි, එසේය’ යි කියා එ පුරිස් එ මෙහෙණට පිළිවදන් අස්වා ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් එපුරිස් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කී:
“වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇති ව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ, ඕ ආයුෂ්මත් අනඳ තෙරුන්ගේ පාදයන් සිරසින් වඳී. මෙසේ ද කියයි: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙහෙණවර කරා ඒ මෙහෙණ කරා අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනව” කියා යි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙහෙණවර කරා එළඹියහ. ඒ මෙහෙණ ආයුෂ්මත් අනඳ තෙරණුවන් එනුවන් දුරදී ම දුටු. දැක හිස වසා පෙරව ගෙණ ඇඳෙහි හොතු. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණ කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි හුන්හ. හිඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණට තෙල කීහ:
බුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්‍මාහාරය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්‍වතෘෂ්ණාව ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්‍වමානය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතු නැස්ම වදාරණ ලදී.
“බුහුනණියෙනි, මේ කය ආහාරයෙන් වැඩින. ආහාරය නිසා ආහාරය පහ කළ යුතුය” යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියූ ද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණ නුවණින් සලකා අහර වළඳ කෙරෙයි. දවය පිණිස නො වේ. මදය පිණිස නො වේ. මණ්ඩනය පිණිස නො වේ. විභූෂණය පිණිස නො වේ. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි. යැපීම පිණිස ම වෙයි. විහිංසා නස්නා පිණිස ම වෙයි. බඹසරට අනුගුරක් පිණිස ම වෙයි. මෙසේ පුරාණවේදනාත් නස්මි. නව්‍යවෙදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අවද්‍යතා ද ඵාසුවිහරණය ද වෙයි. හේ පසු කලෙක අහර නිසා අහර හැර පියයි. “බුහුනණියෙනි, මේ කය අහරින් වැඩින, අහර නිසා අහර හැරපිය යුතුය”යි යම් බසෙක් කියන ලද නම් මෙය තෙල අරුත් සඳහා කියන ලදි.
“බුහුනණියෙනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව හැරපිය යුතුය යි” මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද ද: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දුටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසේ ලැ”යි අසාද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කවරදා නම් මමත් ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම් දෝ හෝ”යි කියා යි. හේ පසුකලෙක තෘෂ්ණාව නිසා තෘෂ්ණාව හැරපියයි. “බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව පහ කළයුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් සඳහා කියන ලදි.
“බුහුනණියෙනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළයුතුය”යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් මෙනම් මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෛතසිකවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ලැ”යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඒ ආයුෂ්මත් වනාහි ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මම වැළිත් කියනු කිමැ”යි කියා යි. හේ පසුකලෙක මානය නිසා මානය හැර පියයි. “බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළ යුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් පිණිස කියන ලදී.”
“බුහුනණියෙනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතුඝාතය වදාරණ ලදී.
එසඳ ඒ මෙහෙණ හැඳෙන් නැගී උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ පාමුල හිසින් වැටී ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල බස් කිවුය: “වහන්ස, යම් බඳු මම මෙසේ කෙළෙම් වේ ද, බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද මා ඉක්ම ගියේ ය. වහන්ස, ආනන්‍ද හිමිහු ඒ මාගේ වරද වරද විසින් ආයතිසංවරය සඳහා පිළිගන්නා සේක්වා.
බුහුනණියෙනි, යම් තෝ මෙසේ කෙළෙහි නම් එබැවින් බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද තී ඉක්ම ගියේ ය. බුහුනණියෙනි, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරෙහි ද, තීගේ ඒ වරද අපි පිළිගණුම්හ. බුහුනණියෙනි, යමක් වරද වරද විසින් දැක දහම් පරිදි ප්‍රතික්‍රියා කෙරේ ද, මතු සංවරයට එළඹේ ද, තෙල ප්‍රතික්‍රියාව ආර්‍ය්‍යවිනයෙහි අභිවෘද්ධියෙක් මැයි.
4. 4. 1. 10.
[සුගතවිනය සූත්‍රය]
10. මහණෙනි, සුගතයන් වහන්සේ වෙත්ව යි සුගතවිනය වේව යි ලෝකයෙහි පවත්නේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුඛ පිණිස වෙයි. මහණෙනි, සුගතයන් වහන්සේ නම් කවරහුය යත්:
මහණෙනි, මෙ ලොව අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙවි මිනිස්නට අනුශාසක, චතුස්සත්‍යාවබෝධ කළ, භාග්‍යවත්, තථාගතයන් වහන්සේ පහළ වන සේක. මහණෙනි, මේ සුගතයෝ නම් වෙති.
මහණෙනි, සුගතවිනය නම් කවරේ ය යත්: උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට දහම් දෙසනසේක. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දෙසන සේක. මහණෙනි, මේ සුගතවිනය නම් වේ.
මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ වෙත්ව යි සුගත විනය වේව යි ලොව්හි සිටුනේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස සුව පිණිස වෙයි.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ප්‍රමෝෂය (විනාශය) අන්තර්‍ධානය පිණිස වැටෙත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු වරදවා ගත් සූත්‍රාන්ත වරදවා ලූ පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, වරදවා ලූ පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු දුර්‍වවස්ක (ඔවා නොගන්නෝ) වෙති. දෞර්‍වවස්‍යකරණ ධර්‍මයෙන් සමන්‍වාගත වෙත්. අක්‍ෂම (ක්‍ෂමා නැත්තෝ) වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණා (ගෞරව) පූර්‍වක ව නොගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.