21. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: ආත්මානුවාදභය ය. පරානුවාදභය ය. දණ්ඩභය ය. දුර්‍ගතිභය යි.
මහණෙනි, ආත්මානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් එකෙක් මෙසේ සලකයි. ‘මම ද කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, තෙමේ ඒ මට සීලයෙන් උපවාද නො කරන්නේ වේ ද?, හේ ආත්මානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ ආත්මානුවාදභය යි කියනු ලැබේ.
මහණෙනි, පරානුවාදභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ සලකයි: ‘මම වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, පරහු ඒ මට ශීලයෙන් උපවාද නො කරන්නාහු වෙත් ද?, හේ පරානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ වූ ආත්මයක් පරිහරණය කෙරේ. මහණෙනි, මේ පරානුවාදභය යි කියනු ලැබේ.
මහණෙනි, දණ්ඩභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් අපරාධකාරී සොරකු දකී. රජදරුවෝ තෙල සොරු ගෙණ විවිධ වූ කම්කටොලු කරත් - කස වැලිනුදු තළත් ද, වේවැලිනුදු තළත් ද, අඩදඬුයෙනු දු තළත්ද, අතු දු සිඳිත් ද, පාත් සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසාත් සිඳිත් ද, කන් නාසාත් සිඳිත් ද, බිලඞ්ගථාලික නම් වධයත් කෙරෙත් ද, සඞ්ඛමුණ්ඩික නම් වධයත් කෙරෙත් ද, රාහුමුඛ නම් වධයත් කෙරෙත් ද, ජෝතිමාලික නම් වධයත් කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික නම් වධයත් කෙරෙත් ද, එරකවත්තික නම් වධයත් කෙරෙත් ද, චීරකවාසික නම් වධයත් කෙරෙත් ද, එණෙය්‍යක නම් වධයත් කෙරෙත් ද, බලිසමංසික නම් වධයත් කෙරෙත් ද, කහාපණක නම් වධයත් කෙරෙත් ද, ඛාරාපතච්ඡික නම් වධයත් කෙරෙත් ද, පලිඝපරිවත්තික නම් වධයත් කෙරෙත් ද, පලාලපීඨක නම් වධයත් කෙරෙත් ද, කකියන තෙලිනුත් ඉසිත් ද, සුනඛයන් ලවාත් කවත් ද, දිවස් හුල හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, (මෙබඳු දඬුවම් ලබන සොරුයි.)
ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “යම්බඳු පාපකර්‍ම හේතුයෙන් අපරාධකාරී සොරකු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කස වැලිනුදු තළත් ද ... කඩුවෙනුත් හිස සිඳිත් ද, මම ද මෙබඳු පාපකර්‍ම කෙරෙම් නම් රජ දරුවෝ මයිත් ගෙණ මෙබඳු විවිධ කම්කටොලු කරන්නාහු ය. කසවැලිනුදු ගළන්නාහු ය. වේවැලිනුදු තළන්නාහු ය. අඩදඬුයෙනු දු තළන්නාහු ය. අතු දු සිඳින්නාහු ය. පාත් සිඳින්නාහු ය. අත්පාත් සිඳින්නාහු ය. කනුදු සිඳින්නාහු ය. නාසාත් සිඳින්නාහු ය. කන් නාසාත් සිඳින්නාහු ය. බිලඞ්ගථාලික නම් වධයත් කරන්නාහු ය. සඞ්ඛමුණ්ඩික නම් වධයත් කරන්නාහු ය. රාහුමුඛ නම් වධයත් කරන්නාහු ය. ජෝතිමාලික නම් වධයත් කරන්නාහු ය. හත්‍ථපජ්ජෝතික නම් වධයත් කරන්නාහු ය. එරකවත්තික නම් වධයත් කරන්නාහු ය. චීරකවාසික නම් වධයත් කරන්නාහු ය. එණෙය්‍යක නම් වධයත් කරන්නාහු ය. බලිසමංසික නම් වධයත් කරන්නාහු ය. කහාපණක නම් වධයත් කරන්නාහු ය. ඛාරාපතච්ඡික නම් වධයත් කරන්නාහු ය. පළිඝපරිවත්තික නම් වධයත් කරන්නාහු ය. පලාලපීඨක නම් වධයත් කරන්නාහු ය. කකියන තෙලිනුත් ඉස්නාහු ය. සුනඛයන් ලවාත් කවන්නාහු ය. දිවස් හුල නගන්නාහු ය. කඩුවෙනුදු හිස සිඳිනුනාහු ය”’ යි. හේ දණ්ඩභයට බිය වූයේ මෙරමා අයත් වස්තුව පැහැර ගණිමින් නො හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩභය යි කියනු ලැබේ.
මහණෙනි, දුර්‍ගතිභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් මේ සේ සලකයි: කායදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. වචීදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලමු විපාකයෙක. මම ද වැලිත් කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, ඒ හේතුවෙන් යම් බඳු මම කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයෙහි නූපදින්නෙම් වේ දැ යි හෙතෙම දුර්‍ගතිභයට බිය වූයේ කායදුශ්චරිතය හැර පියා කායසුචරිතය වඩයි. වචීදුශ්චරිතය හැර පියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැර පියා මනස්සුචරිතය වඩයි. ශුද්ධාත්මභාවයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ දුර්‍ගතිභය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර භීතීහු යි.
4. 3. 3. 2.
[උදකොරෝගභය සූත්‍රය]
22. මහණෙනි, දියට බස්නහුට මේ භීතීහු සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩමස් බිය යි. මහණෙනි, දියට බස්නහුව මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ.
මහණෙනි, එපරිදි ම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතැම් කුලපුත්‍රයකුට මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. කවර සතර භීතීහු ය යත්: ඌමිභය, කුම්භීලභය, ආවට්ටභය, සුසුකාභය යි.
මහණෙනි, ඌමිභය නම් කවරේය යත්: මහණෙනි, “ජාතිවිසිනුදු ජරාමරණවිසිනුදු ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසිනිදු අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක් විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි. මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කෙරෙත්, අනුශාසනා කෙරෙත්: “තොප විසින් මෙසේ පෙරට යා යුතුය. තොප විසින් මෙසේ වටාලා ආ යුතුය. තොප විසින් මෙසේ ඉදිරි බැලිය යුතුය. තොප විසින් මෙසේ හාත්පස බැලිය යුතුය. තොප විසින් මෙසේ අත් පා වක්කළ යුතුය. තොප විසින් මෙසේ අත් පා දිගු කළ යුතුය. තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරිය යුතුය” කියා යි.
ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.
මහණෙනි, කුම්භීලභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කරත්, අනුශාසනා කරත්. “මේ තොප විසින් කෑ යුතුය, මේ තොප විසින් නො කෑ යුතුය, මේ තොප විසින් බිදිය යුතුය, මේ තොප විසින් නො බිදිය යුතුය, මේ තොප විසින් ආස්වාද කළ යුතුය, මේ තොප විසින් ආස්වාද නො කළ යුතුය, මේ තොප විසින් පිය යුතුය, මේ තොප විසින් නො පිය යුතුය, තොප විසින් කැප දෑ කෑ යුතුය. තොප විසින් නො කැප දෑ නො කෑ යුතුය. තොප විසින් කැප දෑ බිදිය යුතුය, තොප විසින් නො කැප දෑ නො බිදිය යුතුය, තොප විසින් කැප දෑ ආස්වාද කට යුතුය, තොප විසින් නො කැප දෑ ආස්වාද නො කට යුතුය, තොප විසින් කැප දෑ පිය යුතුය, තොප විසින් නො කැප දෑ නො පිය යුතුය, තොප විසින් නිසි කාලයෙහි පිය යුතුය, තොප විසින් විකාලයෙහි නො පිය යුතුය, තොප විසින් කාලයෙහි කෑ යුතුය, තොප විසින් විකාලයෙහි නො කෑ යුතුය, තොප විසින් කාලයෙහි බිදිය යුතුය, තොප විසින් විකාලයෙහි නො බිදිය යුතුය, තොප විසින් කාලයෙහි ආස්වාද කටයුතුය, තොප විසින් විකාලයෙහි ආස්වාද නො කට යුතුය” කියා යි.
ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “අපි පෙර ගිහි වූවමෝ යමක් කැමැත්තමෝ නම් එය කම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ. යමක් කැමැත්තමෝ නම් එය බිදිම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බිදිම්හ. යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය ආස්වාද නොකරම්හ. යමක් කැමැත්තමෝ නම් එය බොම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බොම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ. කැප දැය ද බිදිම්හ, අකැප දැය ද බිදිම්හ. කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ. කැප දැය ද බොම්හ, අකැප දැයද බොම්හ. කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ. කාලයෙහි ද බිදිම්හ, විකාලයෙහි ද බිදිම්හ, කාලයෙහි දු ආස්වාද කරම්හ, විකාලයෙහි ද ආස්වාද කරම්හ. කාලයෙහි ද බොම්හ, විකාලයෙහි ද බොම්හ. සැදැහැති ගෙහෙවිහු දාවල විකාලයෙහිත් අපට යම් පිණී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් දෙත් ද, එහිත් මොහු මුඛාවරණ කරණවුන් බන්දහ” යි හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මෙ මහණ කුම්භීලභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට පෙරළා වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, කුම්භීලභය යනු මහොදරභාවයට (බොහෝකනුවට) තෙල නමෙකි. මහණෙනි, මේ කුම්භීභය යි කියනු ලැබේ.
මහණෙනි, ආවට්ටභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැකි වූ ම කයින් නො රැකි වචනයෙන් නො රැකි සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණෙන් සමර්පිත සමන්‍විත ඉඳුරන් පිණවන ගොවියකු හෝ ගොවියා පුතකු හෝ දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: අපි පෙර ගිහි වූවමෝ පස්කම් ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිණවූම්හ. මාගේ කුලයෙහි භෝගයෝ විද්‍යමානයහ. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකිය. ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට වැටී භෝගයන් වළඳම් නම් පින් ද කෙරෙම් නම් මැනැව” කියා යි. හෙ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට වටාලා වැටෙයි. මහණෙනි, මේ මහණ ආවට්ටභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, ආවට්ටභය යනු පස්කම් ගුණයට තෙල නමෙකි. මහණෙනි, මේ ආවට්ටභය යි කියනු ලැබේ.
මහණෙනි, සුසුකාභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසවිසින් අවතීර්‍ණ වෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ අවසානය පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි.
හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැක ගත් කයින්, නො රැක ගත් වචනයෙන්, නො රැක ගත් සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් යුක්ත ව පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී වසඩක් නොවසා හැඳගත් වසඩක් නොවසා පෙරව ගත් මාගමක් දක්නේ ය. වසඩක් නොවසා හැඳි වසඩක් නොවසා පෙරවි මාගම දැක්මෙන් ඔහුගේ සිත රාගය පුන පුනා පෙළයි. හේ රාගයා විසින් පෙළුනු සිතින් ශික්‍ෂාව හැර ගිහිගෙට වැටෙයි. මහණෙනි, මේ මහණ සුසුකාභයින් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, සුසුකාභය යනු මාගමට තෙල නමෙකි. මහණෙනි, මේ සුසුකාභය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර භීතීහු සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මෙසස්නෙහි පැවිද්දට පැමිණි කුලපුත්‍රයා විසින් කැමැති විය යුත්තාහ.
4. 3. 3. 3.
[පුග්ගල සූත්‍රය]
23. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව අකුසලදහමින් වෙන් ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථමධ්‍යානට පැමිණ වෙසෙයි. හේ ඒ ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බෙහෙවින් වසන්නේ එයින් නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පුහුදුන් තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද යම් පමණ වේ ද ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂ්යට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ රූපභාවයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනස යි.
තවද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාර සංහිඳුවාලීමෙන් තමා තුළ පැහැදීම් කරණ, සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයා වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇතියේ, නො පිරිහුනේ කලුරිය කරමින් ආභාස්වර දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය දෙ කපෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇතිකල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනසයි.
තව ද මහණෙනි, මෙ මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රීති විරාගයෙන් උපේක්‍ෂක වූයේ ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ වාස කෙරෙයි. සුඛය ද නාමකයින් විඳ ගණී. යම් දැහැන් ලදුවකු උපේක්‍ෂක ය, ස්මෘතිමත් ය, සුඛවිහාරී ය යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තුන්වන දැහැනට එළඹ වෙසෙයි. හේ ඒ දැහැන සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. එයින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි, මේ වෙනසයි.
තව ද මහණෙනි, මේ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛයාගේ ද ප්‍රහාණියෙන් දුඃඛයාගේ ද ප්‍රහාණියෙන් කැලම සොම්නස් දොම්නසුන් අස්තඞ්ගම ව යාමෙන් දුක් නැති, සුව නැති, උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය සුඛාස්වාද විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නොපිරිහුනේ කලුරිය කරමින් වෘහත්ඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහත්ඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පන්සිය කපෙකි. එහි පෘථග්ජන ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා නිරයට ද යෙයි, තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි.
මහණෙනි, ගතිය උපපත්තිය ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 3. 4.
[දුතියපුග්ගල සූත්‍රය]
24. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ඇටිඇටිසඳ සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක් ඇත් ද, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට යෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුන් හා අසාධාරණ යි.
තව ද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් .. දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සතරවන දැහැනට සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
4. 3. 3. 5.
[තතියපුග්ගල සූත්‍රය]
25. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ (දොම්නස්) රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ දැහැන සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇතියේ නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එහැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති තාක් අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ... ආභාස්වර දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්ප දෙකෙකි. ... මුදිතා සහගත සිතින් ... ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතර වන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසෙයි. හේ එය සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් වෘහතඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහතඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පඤ්චකල්ප ශතයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේත විෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනසයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 3. 6.
[චතුත්‍ථපුග්ගල සූත්‍රය]
26. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවෙනි දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාබාධ රහිත වූ, උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසේ. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, දුඃඛ විසින්, රෝග විසින්, ගණ්ඩ විසින්, ශල්‍ය විසින්, අඝ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින් නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, මේ උපපත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
මහණෙනි, මේ සතර පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.
4. 3. 3. 7.
[තථාගත අච්ඡරිය සූත්‍රය]
27. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ රශ්මීහු නො වැද ගණිත් ද, වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරු ඇති (චක්‍ෂුර්විඥාන වළහන) යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “‘භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි පහළවූවාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ පළමුවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
තවද මහණෙනි, යම් කලෙක බෝසත් සිහි නුවණින් යුක්ත ව මවු කුසින් බිහි වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්හු උපන්හු ද ඔහුදු ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යවූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වෙයි.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්හු උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යසත්ත්‍වයෝත් මෙහි උපන්හු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම ය පහළ වේ.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි, සශ්‍රමණබ්‍රාහ්මණ සදේවමනුෂ්‍ය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ කාන්තිහු නො වැද ගණිත් ද, වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් මුවහ කළ ඇස් ඇති යම් ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍ය වූත් සත්ත්‍වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙත්.
4. 3. 3. 8.
[දුතියතථාගතඅච්ඡරිය සූත්‍රය]
28. මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ප්‍රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව මානය ආරාම කොට ඇත්තී මානයෙහි ඇලුනී මානයෙහි ප්‍රමුදිත වූවා වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මානවිනයකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව අනුපශමය ආරාම කොට ඇත්තී අනුපශමයෙහි ඇලුනී අනුපශමයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් උපශමකර ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, ප්‍රජාව අවිද්‍යායෙන් සමන්‍වාගතය. අවිද්‍යායෙන් වළඳනා ලදුයෙන් අණ්ඩභූතය. හාත්පස වළඳනා ලදු ය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් අවිද්‍යාවිනය ඇසුරු කළ ධර්‍මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ පහළ වෙයි.
4. 3. 3. 9.
[ආනන්‍දච්ඡරිය සූත්‍රය]
29. මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ඉදින් භික්‍ෂුපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් භික්‍ෂුණීපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුණීපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසකපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසකපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් උපාසිකාපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ආනන්‍දයන් කෙරෙහි පහළ වෙති.
4. 3. 3. 10.
[චක්කවත්තිඅච්ඡරිය සූත්‍රය]
30. මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්‍ෂත්‍රියපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, බ්‍රාහ්මණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් ගෙහෙවිපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ගෘහපතිපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ඉදින් මහණපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ශ්‍රමණපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, සක්විතිරජු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත.
මහණෙනි, එපරිදි ම ආනන්‍දයන් කෙරෙහි සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, ඉදින් මහණපිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ඉදින් ආනන්‍ද යෝ දහම් දෙසත් ද, දෙසීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, මහණපිරිස් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ඉදින් මෙහෙණපිරිස් ... මහණෙනි, ඉදින් උවසුපිරිස් ... මහණෙනි, ඉදින් උවැසි පිරිස් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් බෙණෙත් නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.
මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් ඇත.
භයවර්‍ගය තෙවැනි යි.
4. පුග්ගල වර්‍ගය
4. 3. 4. 1.
[සංයෝජනපුග්ගල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.