Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 4101-4200 න් 15980

2. කේසි වර්‍ගය
4. 3. 2. 1.
[කේසි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. එසඳ කේසි නම් අස්දම්සැරි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් කේසි නම් අස්දම්සැරිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කේසිය, තෝ ප්‍රසිද්ධ අස්දම්සැරියෙහි. කේසිය, තෝ කෙසේ නම් නහඹු අසු විනය(දම)නය කෙරෙහි?
වහන්ස, මම නහඹු අසු ශ්ලක්‍ෂණයෙනුදු (මුදුබැවිනුදු) විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණ - පරුෂයෙනුදු විනයනය කෙරෙමි.
කේසිය, ඉදින් තාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, ඔහුට කුම් කෙරෙහි?
වහන්ස, ඉදින් මාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, වහන්ස, මම උහු මරමි. ඒ කවර හෙයින යත්: මාගේ ඇදුරුකුලයට නහමක් අකීර්‍තති වේවයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පුරුෂදම්‍යයා කෙසේ විනයනය කරණ සේක් ද?
කේසිය, මම පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයනය කෙරෙමි. කේසිය, එහි මේ ශ්ලක්‍ෂණභාවය වෙයි: කායසුචරිතය මෙබඳු වෙයි, කායසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචීසුචරිතය මෙබඳු වෙයි, වචීසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනඃසුචරිතය මෙබඳු වෙයි, මනඃසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ, මනුෂ්‍යයෝ මෙබන්දහයි මෙසේ දැක්වීමයි.
කේසිය, එහි මේ පරුෂභාවය වෙයි: කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. වාග්දුශ්චරිතය මෙසේ ය, වාග්දුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. නිරය මෙසේ ය, තිරශ්චීනයෝනි මෙසේ ය, ප්‍රේතවිෂය මෙසේ ය යනු යි.
කේසිය, එහි මේ ශ්ලක්‍ෂණපරුෂභාවය වේ: කායසුචරිතය මෙසේ ය, කායසුචරිතයාගේ විපාක මෙසේ ය, කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය, වචීසුචරිතය මෙසේ ය, වචීසුචරිතයාගේ විපාක මෙසේ ය. වචීදුශ්චරිතය මෙසේ ය, වචීදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනඃසුචරිතය මෙසේ ය, මනඃසුචරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. දෙවියෝ මෙබන්දහ. මනුෂ්‍යයෝ මෙබන්දහ. නිරය මෙබඳුය. තිරශ්චීනයෝනි මෙබඳුය. ප්‍රේතවිෂය මෙබඳුය යනුයි.
වහන්ස, ඉදින් භගවත්හුගේ පුරුෂදම්‍ය භගවත්හුගේ පුරුෂදම්‍ය ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුම් කෙරෙති හෝ යි?
කේසිය, ඉදින් මාගේ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂෙයනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, කේසිය, ඔහු නස්මි.
වහන්ස, භගවත්හට පණිවා නො කැපම ය. එතෙකුදු වුව, භාග්‍යවතුන් වහන්සේ ‘කේසිය, ඔහු නස්මි’යි මෙසේ වදාරණදෑ ය.
සැබැව කේසිය, තථාගතයනට පණිවා නොසරුප් වෙයි. වැළිදු, ඒ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, තථාගතයෝ ඔහු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත්. නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, ආර්‍ය්‍යවිනයයෙහි තෙල වධයෙක් මැ ය.
වහන්ස, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතන සේක් ද, නුවණැති සබ්‍රම්සරහුදු, කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත් ද, හේ එකැතින් මහත් වධයෙක.
වහන්ස, ඉතා මැනව, ඉතා මැනව ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසකු කොට ධරණ සේක්වා.
4. 3. 2. 2.
[අස්සාජානීය - ජව සූත්‍රය]
12. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
මහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, ඤාණජවයෙන, ඉවසීමෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍ය ක්‍ෂේත්‍රවෙයි.
4. 3. 2. 3.
[අස්සාජානීය - පතෝද සූත්‍රය]
13. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග (ජව) උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කවර දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නොම උපදවයි, වේගයට නො පැමිණේ ම ය. වැළිත් ලෝමකූපයෙහි හීකැහිටින් විදුනා ලද්දේ වෙග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව ඇත. මහණෙනි, මේ දෙවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝමකූපයෙහි විත් පහරින් විදුනා ලද්දේත් සංවේග නූපදවයි, වේගයට නො ද පැමිණෙයි. වැළිත් සමෙහි විත්පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් කාරණාවක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝම කූපයෙහි විත් පහරින් විදුනා ලද්දේ සංවේග නො ම උපදවයි. වේගයට නො පැමිණෙයි. චර්‍මයෙහි විත් පහරින් විදුනනා ලද්දේ සංවේග නො උපදවයි, වේගයට නො පැමිණෙයි. වැළිත් ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි, “දැන් අස්දම්සැරි මට කිනම් කරුණක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව විද්‍යමාන වෙයි. මහණෙනි, මේ සතරවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමානය.
මහණෙනි, මේ භද්‍රඅශ්වාජානීයයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
මහණෙනි, එපරිදි ම භද්‍ර වූ මේ පුරුෂාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි අසා ද, හෙ එයින් සංවේග (මනාවීර්‍ය්‍ය) කෙරෙයි, සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ, නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් දක්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකියි. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය කැහිටිසෙය දැක සංවේග කෙරේ ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි මම කියමි. මහණෙනි, මෙලොව මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, වැළිත් දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේ දක්නේ ය. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේග ඇතියේ නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. නාමකයිනුත් නිර්‍වාණය පසක් කරන්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ලෝමයෙහි විත් පහරින් විදුනා ලද්දේ වේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ දෙවන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දකී ද, වැළිත් ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ වේ ද, හෙ එයින් සංවේග කෙරෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නිවනට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය තෙමේ ලොමෙහි විත් පහරින් විදුනා ලදුයේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දක්නේ ද, ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ නො වේ ද, වැලිත් තෙමේ ම දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනෝහර වූ ප්‍රාණහර වූ ශාරීරිකවේදනායෙන් පහස්නා ලද්දේ වෙයි. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේගයට පැමිණියේ නිවණට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත ප්‍රඥායෙනුත් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳු හ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ භද්‍ර වූ සතරවන පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.
මහණෙනි, මේ සතර පුරුෂාජානීයයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 2. 4.
[නාග සූත්‍රය]
14. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වේ. රජහු විසින් වළඳ කළයුතු වේ. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, මෙලොව අජුගේ ඇත් අසනුයේ ද වෙයි, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් අසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් කළවිරූ වේවයි, නො කළවිරූ වේවයි, යම් කම්කටුලු හස්තිදම්‍යසාරථි තුලූන් ලවා කරවා ද, එය අර්ත්‍ථී ව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙන රුකළ කන් ඇති ව අසා ද, මහණෙනි, මෙසේ රජුගේ ඇත් අසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් නසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ ඇතුදු නසයි. ඇතරුවා ද නසයි. අසුදු නසයි. අසරුවා ද නසයි. රිය ද නසයි. රිය නැගි යෝධ ද නසයි. පාබළ ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් නසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ සිරිය පහර, හී පහර, කඩු පහර, පොරෝ පහර, බෙර පණාබෙර සක් දෙණ්ඩිම යන නින්නාද ශබ්ද ඉවසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ඉවසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් යනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් ගිය විරූ දිග වේවයි නො ගිය විරූ දිග වේවයි, යම් දිගකට ඇත්දම්සැරි මෙහෙයා ද, එදිගට වහාම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් යනුයේ නම් වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ රජුගේ ඇත් රජුට නිසි වූයේ රජු විසින් වළඳ කටයුතු වූයේ වෙයි. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි.
මහණෙනි, එපරිදි ම සතර කරුණෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
කවර සතර කරුණෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අසනුයේ ද, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
මහණෙනි, කෙසේ මහණ අසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තථාගතයන් විසින් වදාරණ ලද ධර්‍ම විනය දෙසනු ලබන කල්හි අර්ත්‍ථීව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙණ රුකළ කන් ඇතිව ඒ දහම් අසයි. මහණෙනි, මෙසේ මහණ අසනුයේ නම් වෙයි.
මහණෙනි, කෙසේ මහණ නසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල දහම් සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි මෙසේ මහණ නසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ මහණ ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසිමදුරු, වා - අව්, දිග් දෑ යන මොවුන්ගේ පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කී නපුරු කොට පැමිණි වචනපථයන් ද දුක් ඇති තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරික වේදනා ඉවසන ප්‍රකෘති ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ඉවසනුයේ නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ යනුයේ නම් වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සියලු උපධීන්ගෙන් වෙන් වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ සර්‍වසංස්කාරශමථය යි කියන ලද යම් මේ නිවන් නමැති, මේ දීර්‍ඝ කාලයෙහි නො ගිය විරූ දිගෙක් ඇද්ද, එදිග වහා ම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ යනුයේ නම් වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ ... ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වෙයි.
4. 3. 2. 5.
[ඨාන සූත්‍රය]
15. මහණෙනි, මේ කාරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ.
මහණෙනි, එහි කරන්නට අමනාප වූ යම් මේ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මේ කරුණ දෙපරිදි ම නො කටයුතු කොට හඟනේය. මේ කරුණෙක් කරන්නට අමනාප වේ ද, මෙයිනුත් එය නො කටයුතු කොට හඟනේ ය. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මෙයිනුත් නො කටයුතු කොට හඟනේය. මහණෙනි, මෙ කරුණ දෙරිදි ම නො කටයුතු කොට හඟනේය.
මහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්‍ත්‍ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙකරුණ කරන්නට අමනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටෙයි.
මහණෙනි, එහි කරන්නට මනාප වූ යම් කරුණෙක් වේ ද, එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි දී පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතුය. මහණෙනි, බාල මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේය’යි. හෙතෙම එකරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට එකරුණ නො කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටෙයි.
මහණෙනි, එහි කරන්නට මනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කටයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරන්නට කැමති වේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කළයුතු කොට හඟී.
මහණෙනි, මේ සතර කරුණුයි.
4. 3. 2. 6.
[අප්පමාද සූත්‍රය]
16. මහණෙනි, සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනෝදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.
මහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද, මනෝදුශ්චරිතය ප්‍රහීණ වේ ද, මනස්සුචරිතය භාවිත වේ ද, මිසදිටු ප්‍රහීණ වේ ද, සම්දිටු භාවිත වේ ද, හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.
4. 3. 2. 7.
[ආරක්ඛ සූත්‍රය]
17. මහණෙනි, සතර තැනෙක තමාට නිසි සැටියෙන් (හිත-කැමැත්තෙන්) අප්‍රමාදය-ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. කවර සතර තැනෙක යත්:
සිත් ඇලීමට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් ඇලේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
ද්වේෂයට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් දූෂිත වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
මෝහනයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මුළා වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
මදයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මත් වේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
මහණෙනි, යම් දිනෙක පටන් ගෙණ මහණහුගේ සිත වීතරාග බැවින් රජනයට කරුණු වූ දහම් හි නො ඇලේ ද, වීතදෝෂ බැවින් ද්වේෂයට කරුණු වූ දහම් හි සිත දූෂිත නොවේද, මෝහයට කරුණු වූ දහම් හි පැහු මෝහ ඇති බැවින් සිත නහමක් මුළා වේ ද, මදයට කරුණු වූ දහම් හි පැහු මද ඇති බැවින් සිත නහමක් මත් වේ ද, හෙතෙම තැති නො ගණී. නො සැලේ. නො වෙවුලයි. සන්ත්‍රාසයට නො යෙයි. පරවාදි ශ්‍රමණයන්ගේ වචන හේතුවෙන් ද මිසදිටුවට නොයේ මැ යි.
4. 3. 2. 8.
[සංවේජනීය සූත්‍රය]
18. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවේග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.
4. 3. 2. 9.
[භය සූත්‍රය]
19. මහණෙනි, මේ සතර භීතිහු වෙති. කවර සතරහ යත්: ජාති භය ය. ජරා භය ය. ව්‍යාධි භය ය. මරණ භය යි.
මහණෙනි, මේ සතරභීතීහු යි.
4. 3. 2. 10.
[දුතිය භය සූත්‍රය]
20. මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත්: අග්නිභය ය. උදකභය ය. රාජභය ය. චෝරභය යි.
මහණෙනි මේ සතර භීතීහු යි.
කෙසීවර්‍ගය දෙවැනි යි.
3. භය වර්‍ගය
4. 3. 3. 1.
[භය සූත්‍රය]
[සැවැත්නිදාන යි]