මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු ම වේ. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් ලබන සුලු වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ අර්‍පණාචිත්තසමාධිය ලබනුයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබනුයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ චිත්තසමථයෙහි පිහිටා සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානයෙහි යුක්තප්‍රයුක්තතා සඞ්ඛ්‍යාත යෝගය කටයුතුයි හේ පසුකලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේ, තමා තුළ චිත්තසමථය නො ලබනුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයෙහි පිහිටා තමා තුළ චිත්තසමථයෙහි යෝගය කළ යුතු ය. හේ පසුකාලයෙක සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේත්, තමා තුළ චිත්තසමථය ලබනුයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නොම ලබනුයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබනුයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො නවත්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය.
මහණෙනි, යම් පරිදි ඇවිළ දැවෙන පිළි ඇතියෙක් වේ වයි, ඇවිළ දැවෙන හිසැතියෙක් වේ වයි, ඒ ඒ පිළිය හෝ හිස හෝ නිවාලනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධික වීර්‍ය්‍යය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කරන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර වූ ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය. හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල් දහමුන් කෙරෙහි පිහිටා මතුයෙහි ආස්‍රවයන් ක්‍ෂය කරණු පිණිස යෝගය කළ යුතු ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 4.
[තතිය සමාධි සූත්‍රය]
44. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වී නම්, වෙත පැමිණ හේ මෙසේ කිය යුතු වෙයි: “ඇවත, කෙසේ නම් සංස්කාරයෝ දතයුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත් ද?” උහුට හේ දුටුසැටිය දත් සැටිය පවසයි: “ඇවත, සංස්කාරයෝ මෙසේ දතයුත්තාහ. සංස්කාරයෝ මෙසේ සිමිදිය යුත්තාහ. සංස්කාරයෝ මෙසේ වෙසෙසින් බැලිය යුත්තාහ” යි.
හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වී නම්, ලංව සිට හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවත, කෙසේ නම් සිත සකසා තැබිය යුතු වේ ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු දැයි” කියා යි. ඔහුට හේ දුටු සැටිය දත් සැටිය පවසයි. “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳවිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු ය” කියා යි.
හේ පසු කලෙක සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වී නම්, ලං ව ගෙණ හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවැත්නි, කෙසේ නම් සිත මොනොවට පිහිටුවිය යුතු ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ නම් සිත අරමුණෙහි නඟා ලිය යුතු ද? කෙසේ නම් සංස්කාරයෝ දත යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත්දැ” යි කියා යි. ඔහුට හේ දුටු සැටිය දත්සැටිය පවසයි: “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳුවාලිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතුය. මෙසේ සංස්කාරයෝ දතයුතු වෙති. මෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙති. මෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙති” යි කියා යි.
හේ පසුකලෙක චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල්දහම්හි ම පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝගය කළ යුතුය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 5.
[ඡවාලාත සූත්‍රය]
45. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළ ගත්, මැද අශුචි වැකුණු සොහොන් පෙණහෙල්ල ගමෙහි කාෂ්ටයෙන් කරණ කිස සිදු නො කෙරේ ද, අරණ්‍යයෙහි කාෂ්ටාර්‍ත්‍ථය සිදු නො කෙරේ ද, යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේව යි නො පිළිපන්නේ වේ නම්, මහණෙනි, මේ පුද්ගලයා එබඳු කොට මම කියමි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් මෙ තෙම සුන්‍දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් මෙ තෙම සුන්‍දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.
මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
4. 2. 5. 6.
[රාගවිනය සූත්‍රය]
46. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නොපිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත්, මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද,
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 7.
[ඛිප්පනිසන්ති සූත්‍රය]
47. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද වෙයි. දැරූ දහම් අරුත් විසින් පිරික්සනුයේ ද වෙයි. අටුවා දැන පෙළ දහම් දැන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. එසේ හොතුදු කලණවදන් නැත්තේ වෙයි. කල්‍යාණවචනඝෝෂ නැත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අර්‍ත්‍ථ දන්වන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්‍වාගත නො වෙයි. සබ්‍රම්සරුනට කරුණු විසින් නො දක්වන්නේ වෙයි. සමාදන් නො කරවන්නේ වෙයි. තෙද ගන්වන්නේ නො වෙයි. පහදවන්නේ නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ නො වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද නො වෙයි. ධැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂා කොට ගන්නේ නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ නො ද වෙයි. කල්‍යාණවචන ඇත්තේ වෙයි. කල්‍යාණවචන ඝෝෂ ඇත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අරුත් විඳුවන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට හේතු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, නිසාමනය කරවන්නේත්, පහදවන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් නො වෙයි. ඇසූ දහම් ධරණ ස්වභාව ඇත්තේත් නො වෙයි. දැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂා කොට ගන්නේත් නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ නො ද වෙයි. කලණවදන් ඇත්තේත් නො වෙයි. කල්‍යාණවචනඝෝෂ ඇත්තේත් නො වෙයි. අපළිබුද්ධ නිදොස් අර්‍ත්‍ථය විඳුවනට සමත් පරිපූර්‍ණවචනයෙන් සමන්‍වාගත නො වෙයි. සබ්‍රම්සරුනට කරුණු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, තෙද ගන්වන්නේත්, පහදවන්නේත්, නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ද වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ වෙයි. දැරූ දහම් අර්‍ත්‍ථ විසින් පරීක්‍ෂාකොට ගන්නේ වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. කලණබස් ඇතියේත්, කල්‍යාණවචනඝෝෂා ඇතියේත් වෙයි. අපළිබුද්ධ නිදොස් අර්‍ත්‍ථය. විඳුවනට සමත් පරිපූර්‍ණවචනයෙන් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට හේතු දක්වා බණන්නේත්, සමාදන් කරවන්නේත්, තෙද ගන්වා බණන්නේත්, පහදවන්නේත් වේ. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 8.
[අත්තහිත සූත්‍රය]
48. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 9.
[සික්ඛාපද සූත්‍රය]
49. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා පණිවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා අයිනාදනින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා මුසවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ අයිනාදනින් දුරුවූයේ නො වෙයි. මෙරමා අයිනාදනින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ නො වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ නො වෙයි. මෙරමා මුසවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි.
මහණෙනි, මෙසේ පුද්ගල මෙරමා හට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. ... තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. ... තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 10.
[පෝතලිය සූත්‍රය]
50. එසඳ පෝතලිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. තුස්නට නිසි සිහිකරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් පෝතලිය පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
පෝතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ. යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේත් වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වෙයි.
පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් කල්‍යාණතරය යි, උත්තමතරය යි, තට රුස්නේ ද?
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ ය. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේත් වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේත් වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුඟුලන් අතුරින් යම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය නො කියන්නේ වේද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්‍ණය නො කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර යයි ද උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, යම් මධ්‍යස්ථතායෙක් ඇද්ද, තෙල සුන්‍දරතර ය.
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ. ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ. පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්‍ණය කියන්නේ වේ ද, මෙ තෙම මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර ද උත්තමතර ද වෙයි. ඒ කවර හෙයින යත්: පෝතලිය, ඒ ඒ කරුණෙහි කල් දන්නා බවෙක් ඇද්ද, තෙල කල්‍යාණතර වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්‍ණය කියන්නේ වේ.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ අවර්‍ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්‍ණය කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුද්ගලයන් අතුරින් කල්‍යාණතර යයි ද, උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, ඒ ඒ කරුණෙහි යම් මේ කල් දන්නා බවෙක් වේ ද, තෙල කල්‍යාණ ය.
භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දැයක් උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග පා කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරුයෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්‍මය ප්‍රකාශිත ය. තෙල මම භගවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මය හා බික්සඟුන් හා සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක් වා.
අසුරවර්‍ගය පස්වනු.
එහි උද්දානය:
අසුර සූත්‍රය, සමාධිසූත්‍ර තුණය, පස්වන ඡවාලාත සූත්‍රය, රාගවිනය සූත්‍රය, ඛිප්පනිසන්ති සූත්‍රය, අත්තහිත සූත්‍රය, සික්ඛාපද සූත්‍රය, පෝතලික (=පෝතලිය) සූත්‍රය දැයි දසයෙකි.
දෙවන පණ්ණාසකය නිමි.
3. තෙවන පණ්ණාසකය
1. වලාහක වර්‍ගය
4. 3. 1. 1.
[පඨමවලාහක සූත්‍රය]
1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ: