Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3701-3800 න් 15980

4. 2. 3. 2.
[දිට්ඨි - අපණ්ණකපටිපදා සූත්‍රය]
22. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි. කවර සතර දහමින යත්:
නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයෙන, අව්‍යාපාද විතර්‍කයෙන, අවිහිසංසා විතර්‍කයෙන, සම්‍යග්දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි.
4. 2. 3. 3.
[අසප්පුරිස - වධුකා සූත්‍රය]
23. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂය යි දතයුතු ය. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙලොව්හි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො පුළුවුස්නා ලද්දේත් පහළ කෙරෙයි. පුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලදුව නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තවද මහණෙනි, අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය විචාරණ ලදුයේත් පාළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට, නො විතරින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තවද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය පුළුවුස්නා ලද්දේත් පාළ නො කෙරෙයි. නොපුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට කැඳවන ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය.
තව ද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂ ය යි තෙල දත යුතුය.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂ යයි දත යුතුයි.
මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ ය යි දත යුතුය. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙ ලොව්හි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලද්දේත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට ඉදිරිපත් කරණ ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂ ය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො විචාරණ ලදුවත් පහළ කෙරෙයි. විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට නඟාගන්නා ලද්දේ නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් තමාගේ අගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දතයුතුය.
තවද මහණෙනි, සත්පුරුෂ තමාගේ යම් ගුණයෙක් ඇත් ද, එය විචාරණ ලද්දේත් පහළ නො කෙරෙයි. නො විචාරණ ලද්දහු පිළිබඳ ව කවර කථාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට මතු කොට ගන්නා ලද්දේ පිරිහෙළා වසා අපරිපූර්‍ණ කොට නො විතර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් සත්පුරුෂය යි තෙල දත යුතුය.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත වූයේ සත්පුරුෂ යයි දත යුතුයි.
මහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දණියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දණියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි.
මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමණුද්දේසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි කුමක් දන්නාව යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය.
4. 2. 3. 4.
[පඨම අග්ග සූත්‍රය]
24. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශීලාග්‍රය, සමාධ්‍යග්‍රය, ප්‍රඥාග්‍රය, විමුක්ත්‍යග්‍ර යි.
මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
4. 2. 3. 5.
[දුතිය අග්ග සූත්‍රය]
25. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
රූපාග්‍රය, වේදනාග්‍රය, සංඥාග්‍රය, භවාග්‍ර යි.
මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
4. 2. 3. 6.
[කුසිනාරා සූත්‍රය]
26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වදනා සෙමෙහි කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්‍යරජුන්ගේ සල්උයනෙහි යමකශාලයන් අතර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක: ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, එක් මහණක්හට දු බුදුන් කෙරෙහි වේවයි දහම් කෙරෙහි වේවයි සඟුන් කෙරෙහි වේවයි මාර්‍ගය කෙරෙහි වේවයි පිළිවෙත කෙරෙහි වේවයි විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි ලා බුදුන් පුළුවුස්නට නොහැකිවූම්හ” යි පසුව විපිළිසර නොවා යි. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ සැකයෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවා යි. දෙවනවටත් ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “ශාස්තෘන් වහන්සේ අපට සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවව යි. තෙවනවටත් ඒ භික්‍ෂූහු නිහඬ වූහු.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ශාස්තෘගෞරවයෙනුත් නොපුළුවුස්නහු නම්, මහණෙනි, යහළුවකු යහළුවකුට කියන්නේය යි වදාළහ. මෙසේ වදාළ කල්හිත් ඒ භික්‍ෂූහු නිශ්ශබ්ද වූහු.
එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, මම මේ බික්සඟුන් කෙරෙහි මෙසේ හදහමි. “මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හට ද බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැතැ”යි.
ආනන්‍දය, තෝ සැදැහැයෙන් කියහි. ආනන්‍දය, මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැත යනු මෙහි තථාගතයන්ගේ ඥානය මැ වෙයි.
ආනන්‍දය, මේ පන්සියක් භික්‍ෂූන් අතර යම් හැමට සග මහණෙක් ඇත් ද, හේ සෝවන් වෙයි. අවිනිපාතධර්‍ම ඇත. නියතය, සම්බෝධිපරායන යි.
4. 2. 3. 7.
[අචින්තෙය්‍ය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, යම් කරුණු සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතියයුතු මේ සතර කරුණුය. කවර සතර කරුණුය යත්:
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ බුදුවරුන් පිළිබඳ බුද්ධවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ධ්‍යායීහු පිළිබඳ ධ්‍යානවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
මහණෙනි, යම් බඳු කරුණු සිතනුයේ උමතු බවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතිය යුතු මේ සතර කරුණු යි.
4. 2. 3. 8.
[දක්ඛිණවිසුද්ධි සූත්‍රය]
28. මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, දායකයන් මිස පිළිගාවන් (ප්‍රතිග්‍රාහකයන්) කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙන් වේවයි, පිළිගාවන් කෙරෙන් වේවයි පිරිසිදු නො වන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණායෙක් ඇත.
මහණෙනි, කෙසේ නම් දායකයන් මිස පිළිගාවන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය යත්: මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි. කලණ දහම් ඇත්තේ වෙයි. පිළිගාවෝ දුසිල් වෙත්, ලමු දහම ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් මිස පිළිගාවත් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වෙයි.
මහණෙනි, කෙසේ නම් පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක දුශ්ශීල වෙයි. පාපධර්‍ම වෙයි. පිළිගාවෝ සිල්වත් වෙති. කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණාව වේ.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව්හි දායක දුශ්ශීල වෙයි. ලමු දහම් ඇති වෙයි. පිළිගාවෝත් දුශ්ශීල වෙත්. ලමු දහම් ඇති වෙති. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි, කලණ දහම් ඇති වෙයි. පිළිගාවෝත් සිල්වත් වෙති, කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණාව වෙයි.
මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනා වෙති.
4. 2. 3. 9.
[වණිජ්ජා සූත්‍රය]
29. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වෙණෙදාමෙක් යොදන ලද්දේ ඡේදගාමී (බිඳෙනසුලු) වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික්කර්‍මයෙක් පටන්ගන්නා ලද්දේ අදහස් පරිද්දෙන් නො වේ ද, එයට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය?
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් (ප්‍රසිද්ධ) වණික්කර්‍මයෙක් පටන් ගන්නා ලද්දේ අදහස් පරිදි වේ ද, එයට හේතු කවරේය? ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව ඇතැමකු විසින් එවන් වණික් කර්‍මයෙක් අරඹන ලද්දේ අධිප්‍රායයෙන් අධිකතර (ඵල ඇති) වේ ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් දන්වන්නේ ය’යි පවරයි. හෙතෙම යමෙකින් පවරා ද ඒ නො දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එ යි නම්, හේ යම් ම වණික්කර්‍මයක් අරඹා ද, ඔහුගේ ඒ කර්‍මය ඡේදගාමී වෙයි.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් බණව’ යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි නොදෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට ආ නම්, හේ යම් ම වෙණෙදාමක් අරඹා ද, ඔහුගේ ඒ වෙණෙදාම අදහස් පරිදි නො වේ.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් රුස්නේ ය’යි පවරයි. හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට පැමිණේ නම්, හේ යම් ම වණිජ්ජාවක් අරඹා ද, ඔහුගේ ඒ වණිජ්ජාව අදහස් පරිදි වේ.
ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් කියව’ යි පවරයි. හේ යමෙකින් පවරා ද, එය අධිප්‍රායට වැඩිතරම් කොට දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එළඹේ නම්, හේ යම් ම වාණිජ්‍යයක් කෙරේ නම්, ඔහුගේ ඒ වාණිජ්‍යය අධිප්‍රායයෙන් අධිකතර වෙයි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් අරඹන ලද්දී ඡේදගාමිනී වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් පටන් ගන්නා ලද්දී, අදහස් පරිදි නො වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් යොදන ලද්දී අදහස් තුබූ පරිදි වේ ද, මේ එයට හෙතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැමකු විසින් එවන් වණිජ්ජාවක් ප්‍රයුක්ත වූවා අධිප්‍රායයෙන් අධිකතර ඵල වේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
4. 2. 3. 10.
[කම්බෝජ සූත්‍රය]
30. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේද, පිටරට නො යේද, එයට හේතු කවරේ ය, එයට ප්‍රත්‍යය කවරේ ය?
ආනන්‍දය, මාගම කිපෙන සුලුය. ආනන්‍දය, මාගම ඊර්‍ෂ්‍යා ඇත්තියක. ආනන්‍දය, මාගම මසුරු ඇත්තියක. ආනන්‍දය, මාගම නුවණ නැත්තියක.
ආනන්‍දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේ ද, පිටරට නො යේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
අපණ්ණක වර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
පධාන - දිට්ඨි අපණ්ණක සූත්‍ර දෙකය, අසප්පුරිස - වධුකා සූත්‍රය, අග්ග සූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අචින්තෙය්‍ය සූත්‍රය, දක්ඛිණා සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, කම්බෝජ සූත්‍රයෙනැ යි වර්‍ගය වේ.
4. මචල වර්‍ගය
4. 2. 4. 1.
[පාණාතිපාතී සූත්‍රය]
[සැවැත්නිදාන යි.]
31. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි බහා තබන ලද්දේ වෙයි.
4. 2. 4. 2.
මුසාවාදී සූත්‍රය
32. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර සතර කරුණෙන යත්:
මුසවා බණන සුලු වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. කැකුළු බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරුවූයේ වෙයි. කැකුළුබසින් දුරුවූයේ වෙයි. පලප්බසින් දුරුවූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි බැහුනේ වෙයි.