Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3601-3700 න් 15980

තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලත්, ධර්‍මයුක්ත, දැහැමින් ලත්, භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් කෙරෙන් වේවයි, සොරුන් කෙරෙන් වේවයි, අප්‍රිය දායාදයන් කෙරෙන් වේවයි යම් ඒ විපත් ඇත් ද, එබඳු විපත්හි එය ධනයෙන් වසාපියා වැටෙයි. ආත්මය ස්වස්ථ කෙරෙයි. ඔහුගේ මේ දෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමෙන් ලත්, භෝගයෙන් පස්බිලි කරන්නේ වෙයි. ඥාතිබලිය, අතිථිබලිය, පූර්‍වප්‍රේතබලිය, රාජබලිය, දේවතාබලි යි. ඔහුගේ මේ තෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලත්, භෝගයෙන් මදප්‍රමාදයෙන් වෙන්ව සිටුනා, ක්‍ෂාන්ති සුරතභාවයෙහි බැස සිටුනා, එක් ම ආත්ම ය දමනය කරණ, එක් ම ආත්මය කෙලෙස් සන්හිඳුවීමෙන් ශමනය කරණ, එක් ම ආත්මය ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවන, යම් මහණබමුණු කෙනෙක් ඇත් ද, එබඳු මහණබමුණන් විෂයයෙහි ඵලදානවශයෙන් ඌර්‍ධවග වූ, ස්වර්‍ගයට හිත වූ, සුඛවිපාක ඇති, ස්වග්‍ර දිව්‍යවර්‍ණාදිය උදා කරණ, දක්‍ෂිණාව පිහිටුවයි. ඔහුගේ මේ සතරවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වේ.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මලබ්ධ වූ, භෝගයෙන් මේ සතර ප්‍රාප්ත (යෝග්‍ය) කර්‍ම කරන්නේ වෙයි.
ගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්තකර්‍ම හැරපියා භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ අස්ථානගතයහයි ද අප්‍රාප්තගතයහ යි ද අනායතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.
ගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්ත කර්‍මයෙන් භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ ස්ථානගතයහ යි ද ප්‍රාප්තගතයහ යි ද ආයතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.
32. භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරණ ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ යොදන ලදහ. ඌර්‍ධවග (මතුමත්තෙහි ඵල දෙන) දක්‍ෂිණාව දෙන ලදු. වැලි පඤ්ච බලිහු කරණ ලදහ.
33. සංයත බ්‍රහ්මචාරී සිල්වත්හු උපස්ථාන කරණ ලදහ. ගිහිගෙහි වසන පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් සඳහා භොග කැමති වන්නේ ද, මා විසින් ඒ අර්‍ත්‍ථය ලබන ලදී. පසුතැවුලි නොවන කිස කරණ ලදී.
34. පඤ්චශීල ධර්‍මයෙහි සිටි මිනිසෙක් මේ සිහිකරන්නේ වේ ද, මෙලොව්හිදු ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු විපාක නන්‍දනායෙන් සතුටු වෙයි.
4. 2. 2. 2.
[අනණ සූත්‍රය]
12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අස්තිසුඛය, භෝගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි.
ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භෝගයෝ ඇත. හෙතෙම උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.
ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් භෝගයන් වළද කරයි. පින් ද කරයි. උත්‍ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් හේ භෝගයන් ද වළඳමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ භෝගසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්‍යසුඛය යි කියනු ලැබේ.
ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ.
35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.
36. සුන්‍දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.
4. 2. 2. 3.
[සබ්‍රහ්ම සූත්‍රය]
13. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහිදී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාදේවතා සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ.
මහණෙනි, මවුපියනට ‘බ්‍රහ්ම’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වාචාර්‍ය’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වදේව’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්‍ය’ යන නමෙකි. ඒ කවර හෙයින යත්:
මහණෙනි, මවුපියෝ පුතුනට (දරුවනට) බොහෝ උපකාර ඇතියහ. හදනුවහ, වඩනුවහ. මෙ ලොව දක්වනුවහ.
37-38. මවුපියෝ ‘බ්‍රහ්මයහ’ යි ද, ‘පූර්‍වාචාර්‍ය්‍යයහ’ යි ද කියනු ලැබෙත්. පුත්‍රයන්ගේ (ඇර දෙන්නට නිසි අන්නපාන ප්‍රතිග්‍රහණයට අර්‍හ වන බැවින්) ආහුනෙය්‍යහ. පුත්‍රාඛ්‍යප්‍රජාවට අනුකම්පා කරණුවහ. එයින් ඔවුන් නමදනේ ය. වැලිත් පණ්ඩිත පුත්‍ර තෙමේ අන්නපානයෙනුදු වස්ත්‍රශයනයෙනුදු ඇඟ ඉළීමෙනුදු නැහැවීමෙනුදු පා දෙවීමෙනුදු සත්කාර කරන්නේය.
39. මවුපියන් කෙරෙහි ලා කරණ ඒ වතාවතින් පඬිහු මෙ ලොව්හි ද ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු (විපාක නන්‍දනායෙන්) සතුටු වෙයි.
4. 2. 2. 4.
[නිරය සූත්‍රය]
14. මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්‍ෂිප්තය. කවර සතර කරුණෙන යත්:
පණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
40. ප්‍රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.
4. 2. 2. 5.
[රූප (ප්පමාණ) සූත්‍රය]
15. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
රූපය ප්‍රමාණ කොට ඇති රූපප්‍රසන්නය, ගුණඝෝෂය ප්‍රමාණ කොට ඇති ඝෝෂප්‍රසන්නය, රූක්‍ෂප්‍රතිපත්ති ප්‍රමාණ කොට ඇති රූක්‍ෂප්‍රසන්නය, ධර්‍මය ප්‍රමාණ කොට ඇති ධර්‍මප්‍රසන්න යි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
41. යම් කෙනෙක් රූපයෙන් මැනගත්හු ද, යම් කෙනෙකුත් ඝෝෂප්‍රමාණයෙන් (පැහැදීම් විසින්) අනුගතවූහු ද, ඡන්‍දරාගවසයට වැටුනාහු, ඔහු ඒ අරී ජනයා නො හඳුනත්.
42. ආධ්‍යාත්මිකගුණය ද නො දනියි. බැහැරි පිළිවෙත් ද නො දකී. හාත්පසින් ඇවිරීම් ඇති ඒ අඥ තෙමේ ඒකාන්තයෙන් ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
43. ආධ්‍යාත්මික ගුණ ද නො දන්නේ ය. බැහැරි පිළිවෙත් දක්නේය. බාහිර සත්කාරඵල දක්නා සුලු හෙ ද ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
44. ආධ්‍යාත්මිකගුණ ද දන්නේය. බැහැරි පිළිවෙත් ද දක්නේය. ප්‍රකට විසින් දක්නා හේ ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු නො ලැබේ.
4. 2. 2. 6.
සරාග (පුග්ගල) සූත්‍රය
16. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි.
මහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ.
45. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්‍දනය කරණ සුලු මෝහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්‍වෙයෝ භවබන්‍ධනය වඩත්.
46. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වේෂයෙන් උපන් මෝහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්‍ම කෙරෙත්.
47. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්‍ධ වූ, පුරුෂයෝ රාගාදීන් තුබූ පරිදි ම එහි වැටුනාහු අපි මෙබඳු ස්වභාව ඇත්තම්හ යි නො සිතත් මය.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සූත්‍රය]
17. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි. එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ:
වහන්ස, මේ සැවැත්නුවර අන්‍යතර භික්‍ෂුවෙක් සර්‍පදෂ්ට ව කාලක්‍රියා කෙළේය යනුයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණ සතර අහිරාජකුල මෙත්සිතින් නො පැහැසීය. මහණෙනි, ඒ මහණ ඉදින් සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ට ව කලුරිය නො කරන්නේ ම ය. කවර අහිරාජකුල සතරෙක යත්:
විරූපක්ඛ අහිරාජකුලය, ඒරාපථ අහිරාජකුලය, ඡබ්‍යාපුත්ත අහිරාජකුලය, කණ්හාගෝතමක අහිරාජකුල යි.
මහණෙනි, ඒ මහණ ඒකාන්තයෙන් මේ සතර අහිරාජකුල මෙත්සිතින් නොපැහැසී. මහණෙනි, ඒ මහණ මේ සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ටව කලුරිය නො කරන්නේ ම ය.
මහණෙනි, මේ සතර අහිරාජකුල මෙත්සිතින් පහස්නට අනුදනිමි. තමාගේ ගුප්තිය පිණිසය, තමාගේ රකවල පිණිසය, තමාගේ පිරිත් පිණිස යි.
48. මාගේ මෛත්‍රිය විරූපක්ඛ අහිරාජ කුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය එරාපථ අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය කණ්හාගෝතමක අහිරාජ කුලයන් හා වේවා.
49. මාගේ මෛත්‍රිය අපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය ද්විපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය චතුෂ්පාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය බහුප්පාදක සතුන් හා වේවා.
50. අපාදක සතෙක් නහමක් මා පෙළාවා. ද්විපාදක සතෙක් නහමක් මා පෙළාවා. චතුෂ්පාදක සතෙක් නහමක් මා පෙළාවා. බහුප්පාදක සතෙක් නහමක් මා පෙළාවා.
51. සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණයෝ, සියලු භූතයෝ යන හැම භද්‍ර දෑ දකිත්වා. කිසිවකු කරා අනිෂ්ටයක් නො එළඹේවා.
බුද්ධරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. ධර්‍මරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. සඞ්ඝරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. අහිය, ගෝනුහුසුය, සියපාය, මකුළුය, ගෘහගෝධා (සුහුනු) ය, මීය යන සිරිංසපජාතීහු ගුණ විසින් ප්‍රමාණවත්හ. මා විසින් රකවල් කරණ ලදී. මා විසින් පිරිත් කරණ ලදී. භූතයෝ බැස යෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකෙරෙමි. සත් සම්බුදුවරුනට නමස්කාර කෙරෙමි.
4. 2. 2. 8.
[දේවදත්ත සූත්‍රය]
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ) බැසගිය නොබෝකල් ඇතිවත් ම රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වෙසෙති. එසඳ භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, ආත්මවධය පිණිස දේවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ කෙසෙල් ආත්මවධය පිණිස ඵල දේ ද, පිරිහීම පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ හුණවනය ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ රණහුණ ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එ පරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය.
මහණෙනි, යම්සේ (වෙළබ කුසැ ගදුබුවාට දා) අශ්වතරිය ආත්මවධය පිණිස ගප් ගණී ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.
52. යම්සේ ඵලය කෙහෙල නස්නේ ම වේ ද, ඵලය මහහුණ නස්නේ ම වේ ද, ඵලය රණහුණ නස්නේ ම වේද, ගබ වෙළබ නස්නේ ම වේ ද, එපරි සත්කාරය කුපුරිස් නසා.
4. 2. 2. 9.
[පධාන සූත්‍රය]
19. මහණෙනි, මේ ප්‍රධන් වීර්‍ය්‍යයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සංවර ප්‍රධන් වීර්‍ය්‍යය, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය, අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍යයි.
මහණෙනි, සංවර ප්‍රධන් වීර්‍ය්‍යය කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලමු අකුසල දහමුන් නූපදනා සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මෙ සංවර ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ලමු අකුසල දහමුන් දුරලනු සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් කුසල් දහමුන් උපදනා සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරේ, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ භාවනා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය සඳහා විනාශ නොවන බව සඳහා බොහෝ වන බව සඳහා විපුල වන බව සඳහා භාවනායෙන් පරිපූර්‍ණ වන බව සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
53. මෙසස්නෙහි කෙලෙස් තවන මහණෙක් යමෙකින් දුඃඛක්‍ෂයට පැමිණේ ද, ඔහුට සංවරය හා ප්‍රහාණය හා භාවනාව හා අනුරක්‍ෂණාව හා මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිත්‍යබන්‍ධු බුදුන් විසින් දෙසන ලදහ.
4. 2. 2. 10.
[අධම්මික සූත්‍රය]
20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දේවතාවෝ ප්‍රකුපිත වෙත්. දේවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.
මහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්‍ෂත්‍ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්‍ෂත්‍ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දේවතාවෝ ප්‍රකුපිත නො වෙත්. දේවතාවන් ප්‍රකුපිත නො වූ කල වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්‍ඝායුෂ්ක ද වෙති. වර්‍ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති.
54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.
55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්‍ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.
56. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්.
57. එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.
පත්තකම්ම වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
පත්තකම්ම සූත්‍රය, අනණ සූත්‍රය, සබ්‍රහ්ම සූත්‍රය, නිරය සූත්‍රය, පස්වන රූප සූත්‍රය, සරාග අභි සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, පධාන සූත්‍රය, අධම්මික සූත්‍රය සමග දශය යි.
3. අපණ්ණක වර්‍ගය
4. 2. 3. 1.
[පධාන - අපණ්ණකපටිපදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස කරුණු ද ඔහුට සම්පූර්‍ණ වෙයි. කවර සතර දහමින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස ඔහු විසින් හේතු ද ආරද්ධ වෙයි.