මහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝය.
මහණෙනි, මේ සද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ක්‍රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, මකුගුණෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ලාභයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, සත්කාරයෙහි සගෞරව බව නැත.
මහණෙනි, මේ සතර සද්ධර්‍මයෝය.
111. ලාභසත්කාරයෙහි ගෞරවය ඇති ක්‍රෝධයෙහි හා ගුණමකු බවෙහි ගෞරවය ඇති මහණෙක් වේ ද, මනා කෙතෙක පූතිබීජයක් මෙන් සද්ධර්‍මශාසනයෙහි නො වැඩෙයි.
112. සද්ධර්‍මය ගරු කොට ඇති යම් පැවිදි කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඒකාන්තයෙන් ඔහු ඖෂධජාතීහු පෘථිවීස්නේහය ලැබ වැඩෙත් ද, එපරිද්දෙන් සද්ධර්‍මයෙහි වැඩෙත්.
4. 1. 5. 5.
[පඨම රෝහිතස්ස සූත්‍රය]
45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එක්බිති රෝහිතස්ස දෙව්පුත් රෑ බෙහෙවින් ඉක්ම ගිය කල්හි මනහර වර්‍ණයෙන් මුළු ජේතවනය එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙවිපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරන්නේ ද, නො මියන්නේ ද, නො සැවෙන්නේ ද, අපරාපර ප්‍රතිසන්‍ධි වශයෙන් නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දක්නට වේවයි දන්නට වේවයි, පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
ඇවත, යම් ම තැනෙක නූපදනේ ද නො දිරන්නේ ද නො මියන්නේ ද නො සැවෙන්නේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්කයුතු යයි හෝ පැමිණිය යුතු ය යි හෝ නො කියමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය. (අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය) ඇවත, ‘යම් ම තැනෙක නූපදනේ ද නො දිරනේ ද නොමියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නොකියමි” යනුයි.
වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ දුනුකම්හි ශික්‍ෂිත, කෘතහස්ත, කළ උපාසනා ඇති, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විද පියා ඉක්මවා ද, එබඳු ජව ය යි.
පෙරදිග මුහුදින් පැළදිග මුහුද යම් පරිදි දුර වේ ද, එපරිදි දුර වූ පාදව්‍යතීහාරයෙක් (පියමාරු කිරීමක්) වීය.
වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ අන්තයට පැමිණෙමි’ යනුයි.
වහන්ස, ඒ මම බිදීම් පීම් කෑම් ලෙවීම් හැර මල මූකිස හැර, නිද්‍රාක්ලමථු විනෝදනා හැර වර්‍ෂශතායුෂ්ක වූයෙම් වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද නො මියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතුය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම සංස්කාර ලෝකයාගේ අන්තයට නො පැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.
113. කිසි කලෙකදු පියගමනින් ලෝකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.
114. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලෝකාන්තය දැන මෙ ලොව හා පරලොව හා නො පතනේ ය.
4. 1. 5. 6.
[දුතිය රෝහිතස්ස සූත්‍රය]
46. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රෝහිතස්ස දෙව්පුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්‍යම රාත්‍රියෙහි) විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තේ මුළු දෙව්රම බබුළුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රෝහිතස්ස දෙව්පුත් මට තෙල සැළ කෙළේය:
වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දන්නට වේවයි දක්නට වේවයි පැමිණෙන්නට වේවයි හැකි වේ ද?
මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත් හට මෙසේ කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නොමියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දතයුතු යයි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතු ය යි හෝ නොකියමි.
මහණෙනි, මෙසේ කී කල්හි රෝහිතස්ස දෙව්පුත් මට මෙසේ කීය: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති, ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ ශික්‍ෂිත, කෘතහස්ත, කෘතොපාසන, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විදපියා ඉක්මවා ද, එබඳු ජව යි.
පෙර දිග මුහුදින් පැළදිග මුහු ද යම් පරිදි දුර වේ ද, එපරිදි වූ පාදව්‍යතීහාරයෙක් වීය. වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙමි’ යනුයි.
වහන්ස, ඒ මම බිදීම්, පීම්, කෑම්, ලෙවීම් හැර මලමූ කිස හැර නිද්‍රාක්ලමථු විනෝදනා හැර, වර්‍ෂශතායුෂ්ක වූයෙම්, වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය: ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.
මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත්හට තෙල කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම (සංස්කාර) ලෝකයාගේ අන්තයට නොපැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.
115. කිසි කලෙකදු පියගමනින් ලොකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.
116. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ මග බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලොකාන්තය දැන මෙලොව හා පරලොව හා නොපතනේ ය.
4. 1. 5. 7.
[සුවිදූරවිදූර සූත්‍රය]
47. මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා යයි මේ සිවුවැන්නයි.
මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි.
117. අහස ද දුරෙහි වෙයි. පොළොව ද එයින් දුරෙහි වෙයි. සමුද්‍රයාගේ පරතෙරෙක් ඇද්ද එ ද දුරෙහිය යි කියත්. ප්‍රභාකර වූ හිරු යම් තැනෙක උදා වේ ද, යම් තැනෙක අස්තයට යේ ද (ඒ දෙතැන ද) දුරෙහි ය යි කියත්.
118. සද්ධර්‍මය ද අසද්ධර්‍මය ද එයට ද වඩා ඒකාන්තයෙන් දූරතරය යි කියත්. සත්සමාගමය ද වෙන්ව නොයන ස්වභාව ඇති වෙයි. යම් තාක් (යම්සේ) සිටුනේ ද එසේ ම සිටුනේ වෙයි. අසත්සමාගමය වහා අපගත වෙයි. එබැවින් සත්පුරුෂධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුර වෙයි.
4. 1. 5. 8.
[විසාඛ සූත්‍රය]
48. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ උපස්ථාන ශාලායෙහිදී පිරිපුන් වචන ඇති, අපළිබුද්ධ, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙයි. සමාදන් කරවයි. තෙද ගන්වා බෙණෙ යි. පහදවයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටි සේක් උවටැන්හලට වැඩි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, උපස්ථාන ශාලායෙහි දී කවරෙක් නම් පිරිපුන් වචන ඇති, නොපැකිල ගලාබස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළතොලු නොවූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණේ ද, සමාදන් කරවා ද, තෙද ගන්වා බෙණේ ද, පහදවා ලයි ද?
වහන්ස, පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛතෙරණුවෝ උපස්ථාන ශාලායෙහි දී පිරිපුන් තෙපුල් ඇති, ගලා බස්නා හෙයින් විසෘත්‍වර වූ, කෙළෙතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නොකළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බෙණෙත්. සමාදන් කරවත්. තෙද ගන්වා බෙණෙත්. පහදවා ලත්.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: “මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ.
119. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්‍වාණපදය (නවවිධලෝකෝත්තරධර්‍මය) දෙසන, දැහැමි කථා බණන්නහු (පණ්ඩිතයෝ) දනිත්.
120. ධර්‍මය බණන්නේය, බබුළුවන්නේය. ඍෂිධ්වජය (ලොවුතුරුදහම) නගා බණන්නේය. ඍෂීහු සුභාෂිත ධ්වජ ඇතියහ. ධර්‍මය වනාහි ඍෂීන්ගේ ධ්වජ යි.
4. 1. 5. 9.
[විපල්ලාස සූත්‍රය]
49. මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාසයෝ චිත්තවිපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස වෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද වෙති.
මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාස නොවන, චිත්තවිපර්‍ය්‍යාස නොවන, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නොවන මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ අනිත්‍යය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ දුඃඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ අනාත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අශුභයෙහි, ‘මේ අශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ.
මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස නොවෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වෙත්.
121. අනිත්‍යවස්තුයෙහි (සංඥාවිපර්‍ය්‍යාස වශයෙන්) නිත්‍ය සංඥා ඇති, දුඃඛයෙහි සුඛසංඥා ඇති, අනාත්මයෙහි ආත්මය යි දත් සංඥා ඇති, අශුභයෙහි ශුභසංඥා ඇති,
122. දෘෂ්ටිවිපර්‍ය්‍යාසවශයෙන් මිත්‍යාදෘෂ්ටියට වැටුනු (චිත්තවිපර්‍ය්‍යාස වශයෙන්) වික්‍ෂිප්ත සිත් ඇති, (මෙසේ) විපරීතසංඥාදිය ගත්, යෝගයෙන් ක්‍ෂේමය නො ලත්, ජනසඞ්ඛ්‍යාත ඒ සත්ත්‍වයෝ මාරයාගේ යෝගයෙහි යුක්ත වූවාහු වෙත්.
123. ජාතිමරණ කරා යන සුලු ඒ සත්හු සසර ඇවිදිති. යම් කලෙක ලෝකයෙහි නැණ එළිය කරණ චතුස්සත්‍යබුද්ධයෝ පහළ වෙත් ද,
124. ඒ බුදුවරු දුක් සන්හිඳුවන සුලු මේ සිවුසස් දහම් පවසත්. ඒ ප්‍රාඥයෝ ඔවුන්ගේ දහම් අසා ස්වකීය චිත්තය (නො කිලිටි සිත) ලැබ,
125. අනිත්‍යය අනිත්‍ය විසින් දුටහ. දුක දුක් විසින් දුටහ. අනාත්මය අනාත්ම විසින් දුටහ. අශුභය අශුභ විසින් දුටහ. මෙසේ සම්‍යග් දර්‍ශනය ගැණීමෙන් සියලු සසර දුක් ඉක්ම ගියහ.
4. 1. 5. 10.
[උපක්කිලේස සූත්‍රය]
50. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, රාහු අසුරෙන්‍ද්‍ර සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශයෝ මේ සතර දෙනා වෙති.
මහණෙනි, එපරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණ බමුණු කෙනෙක් නො බබළත් ද, මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පස්වැදෑරුම් සුරාව හා සිවුවැදෑරුම් මෛරෙය බොන සුරාමෛරෙය පානයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණාලෝකයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ පළමුවන උපක්ලේශ යි. මහණෙනි, මෛථුනධර්‍මය සෙවුනා, මෛථුනධර්‍මයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණවිරෝචනයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ දෙවන උපක්ලේශ යි. මහණෙනි, රන්රිදී පිළිගන්නා රන්රිදී පිළිගැණීමෙන් නො වෙන් ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණු කෙනෙක් (ගුණප්‍රතාපයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ තුන්වන උපක්ලේශ යි. මහණෙනි, මිථ්‍යාජීවයෙන් ජීවත් වන, මිථ්‍යාජීවයෙන් නො වෙන්ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මහණබමුණන්ගේ මේ සතර වන උපක්ලේශ යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මේ සතර මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ වෙති.
126. කිසි මහණබමුණු කෙනෙක් රාගද්වේෂයන් විසින් ඔබ මොබ අදනා ලදහ. ප්‍රිය රූපාරම්මණය ගෙන එහි අභිනන්‍දනය කරණ සුලු ඒ පුරුෂයෝ අවිද්‍යායෙන් වැසුනාහ.
127. ඒ අන්‍ධබාලයෝ රහමෙර බොත්. මෙවුන්දම් සේවති. රන්රිදී ද පිළිගණිත්.
128-129. කිසි මහණබමුණු කෙනෙක් මිථ්‍යාජීවයෙන් ජීවත් වෙති. යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් තහවුරු නො වූවාහු වැහෙන කෙලෙස් රජස් ඇත්තාහු ගුණප්‍රතාපයෙන් නො බබළත් ද, ගුණඑළියෙන් නො දිලියෙත් ද, තුලුහු ඒ උපක්ලේශයහ යි ආදිත්‍යබන්‍ධු වූ සම්මාසම්බුදුන් විසින් වදාරණ ලදහ.
130. මෝහාන්‍ධකාරයෙන් වළඳනා ලද තෘෂ්ණාවට දාස වූ තෘෂ්ණායොත්‍ර සහිත ඔහු කැකුළු අත්බව වඩත්. පුනර්‍භවය නැවැත ගණිත්.
රෝහිතස්ස වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
සමාධි හා ප්‍රශ්න යන සූත්‍ර දෙකය, ක්‍රෝධ සූත්‍ර දෙකය, රෝහිතස්ස සූත්‍රය හා අන්‍ය වූ රෝහිතස්ස සූත්‍රය, සුවිදූර, විශාඛ සූත්‍ර දෙකය, විපල්ලාසසූත්‍රය හා උපක්කිලේස සූත්‍රය දැ යි. ඔහු දස කෙනෙකි.
පඨම පණ්ණාසකය නිමි.
2. දෙවන පණ්ණාසකය
1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
4. 2. 1. 1.
[ප්‍රථම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, සුව එළවන, මොනොවට අග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලෝප්පත්තීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳනා මහණෙක් අර්‍හත්‍වඵලසමාධියට සමවැද වෙසේ ද, ඔහුට සුව එළවන මනා අග්‍ර රූපාදිසම්පත් දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳන මහණෙක් අර්‍හත්ත්‍වඵල සමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන අග්‍ර වූ රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ සෙනසුන් වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා මේ සතර පුණ්‍යප්‍රවාහයෝ - කුශලප්‍රවාහයෝ යි.
මහණෙනි, මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණයට යෙයි.
මහණෙනි, දියලහ මෙතෙකැයි හෝ දියලහසිය මෙතෙකැයි හෝ දියලහදහස් මෙතෙකැ යි හෝ දියලහසුවහස් මෙතෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යයි ගණයට යේ ද, මහණෙනි, එපරිදි ම මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට නො හැකි වේ. සුඛ එළවන ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.
1. පරිමිත රහිත වූ බිහිසුණු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදතලාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම් සේ වැදගණිත් ද,
2. අන්නපාන වස්ත්‍ර දායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණ දායක වූ පණ්ඩිත මිනිසා කරා එපරිදි ම පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
4. 2. 1. 2.
[දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
2. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. සිවුසස් දත්හ. රාගාදීන් භග්න හෙයින් භගවත්හ යි කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පළමු වන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, එව බලව යන විධියට අර්‍හය, උපනයනාර්‍හය, නුවණැතියන් විසින් තමා කෙරෙහි ලා දතයුතුය කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ දෙවන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ ඍජුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ න්‍යායප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සාමීචි ප්‍රතිපන්නය. යම් සතර වැදෑරුම් පුරුෂ යුග කෙනෙක්, අෂ්ටපුරුෂ පුද්ගල කෙනෙක් ඇද්ද භගවත්හුගේ තෙල සවුසඟහු ඇර දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට නිසියහ, ආගන්තුක සත්කාරයට නිසිය හ, දක්‍ෂිණා ප්‍රතිග්‍රහණයට නිසියහ, ඇඳිලි බඳනට නිසියහ. ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ තුන්වන පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විද්වත්ප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතරවැනි පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.
මහණෙනි, සුව එළවන, ස්වග්‍රරූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා, මේ සතර වැදෑරුම් පුණ්‍යධාරාය, කුශලධාරා යි.
3. යමක් හට තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වූ මොනවට පිහිටි සැදැහැ ඇද්ද, යමක් හට මාර්‍ගඵල සම්ප්‍රයුක්ත හෙයින් ආර්‍ය්‍යකාන්ත වූ එහෙයින් ම පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,
4. යමක් හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ඍජු වූ ධර්‍මදර්‍ශනය ඇද්ද, ඔහු නො දිළින්දහ යි කියත්. ඔහුගේ ජීවිතය අමෝඝ යි.