එක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැරව එක්තරා රුක්මුලෙක පලක් බැඳ උපරිමකාය ඍජු කොට තබා අභිමුඛ කොට සිහිය එළවා වැඩ හුන්හ.
එක්බිති ද්‍රෝණ බමුණා භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ එක්තරා රුක්මුලෙක හුන් ප්‍රසාද ජනක වූ ප්‍රසාදයට කරුණු වූ සන්හුන් ඉඳුරන් ඇති සන්හුන් සිත් ඇති උත්තම දමථ ශමථ සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍ව මාර්‍ග-සමාධි දෙකට පත් දාන්ත වූ ගෝපිත වූ රැකි ඉඳුරන් ඇති නාග වූ භාග්‍යවතුන් වහන්සේ දිටි. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
භවත් දෙවි වෙයි හොයි? බමුණ, මම දෙවි නො වෙමි යි. භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි? බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි යි. භවත් යක්‍ෂ වෙයි හොයි? බමුණ, මම යක්‍ෂ නො වෙමි යි. භවත් මනුෂ්‍ය වෙයි හො යි? බමුණ, මම මනුෂ්‍ය නො වෙමි යි.
‘භවත් දෙවි වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම දෙවි නො වෙමි’ යි කියහි. ‘භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි’ යි කියහි. ‘භවත් යක්‍ෂ වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම යක්‍ෂ නො වෙමි’ යි කියහි. ‘භවත් මනුෂ්‍ය වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම මනුෂ්‍ය නො වෙමි’ යි කියහි. එබැවින් භවත් කවරේ ය? යි කීය.
බමුණ, මම යම් බඳු කාමාදි ආස්‍රවයන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ දෙවි වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්න තාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා දහම් ඇතියහ. බමුණ, මම යම්බඳු ආස්‍රව කෙනකුන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ ගන්‍ධර්‍ව වෙම් නම් - යක්‍ෂ වෙම් නම් - මනුෂ්‍ය වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්නතාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා ස්වභාව ඇතියහ.
බමුණ, යම්සේ උපුලෙක් වේවයි, පියුමෙක් වේවයි, හෙළ පියුමෙක් වේවයි, දියෙහි උපන්නේ දියෙහි වැඩුනේ දිය පැනගෙන නැගී දියෙන් අනුපලිප්තව සිටුනේ ද, බමුණ, එපරිදි ම මම ලොව්හි උපනෙම්, ලොව්හි වැඩුනෙම්, ලොව මැඩ ගෙණ ලෝකයා විසින් අනුපලිප්තව වෙසෙමි. බමුණ, මා බුදුහ යි දනුව.
86. යම් කාමාදි ආස්‍රව කෙනෙකුන් නිසා මට දෙව්ලොව උපත් වේ නම්, ආකාශවර ගන්‍ධර්‍ව වෙම් නම්, යම් ආස්‍රව කෙනෙකුන් නිසා යක්බවට යෙම් නම්, මිනිස් බවට හා යෙම් නම්, මාගේ ඒ ආස්‍රවයෝ ක්‍ෂීණයහ. විධ්වස්තයහ. පහ කළ නල (බැඳුම්) ඇතියහ.
87. සිත්කලු හෙළ පියුමෙක් යම්සේ දියෙන් නො ගැල්වේ ද, එසෙයින් ම ලෝකයා විසින් උපලිප්ත නො වෙමි. බමුණ, එහෙයින් මම බුදුමි.
4. 1. 4. 7.
[අපරිහානිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරිහාණියට අභව්‍යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි මෙසේ මහණ ශීලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති නො ගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නො ගන්නා සුලු වෙයි. යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගන්නාහු වෙත් ද, එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කණින් හඬ අසා - නැහැයෙන් ගඳ අසා - දිවෙන් රස විඳ - කයින් පහස් පැහැස - සිතින් දහම් දැන නිමිති ගන්නා සුලු නො වේ. අනුව්‍යඤ්ජන ගන්නා සුලු නො වේ. යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහු බැඳ ගන්නාහු වෙත් ද එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මෙසේ මහණ පියූ දොර ඇතියේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නුවණින් මෙනෙහි කොට අහර වළඳයි. කෙසේ ද: දවය පිණිස නො වෙයි. මද වැඩීමට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. විභූෂණයට නො වෙයි. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි, යැපීම පිණිස ම වෙයි, විහිංසා සන්සිඳුවාලීම පිණිස ම වෙයි. මෙසේ මේ අහර නිසා පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අනවද්‍යතාව ද වෙයි. පහසු විහරණය ද වෙයි. (කියායි.) මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ.
මහණෙනි, කෙසේ නම් මහණ නිදිවැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ දවස සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත ශුද්ධ කෙරෙයි. රැය පළමු යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. රැය මැදුම් යම දකුණු ඇළයෙන් දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ ‘නැගී සිටිමි’ යන සංඥාව මෙනෙහි කොට ගෙණ සිංහශය්‍යා කෙරෙයි. රැය පැසිම් යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම වෙයි.
88. ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පිහිටි ඉන්‍ද්‍රියයෙහි සංවර ඇති භෝජනයෙහි මාත්‍රඥ වූ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද,
89. මෙසේ වසන වැර ඇති දවරෑ නො මැලි නිවන් වදනු සඳහා කුසල්දහම් වඩන -
90. අප්‍රමාදයෙහි ඇලුනු ප්‍රමාදයෙහි භය දක්නා සුලු ඒ මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම සිටුනේය.
4. 1. 4. 8.
[පතිලීන සූත්‍රය]
38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්‍රත්‍යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ ප්‍රත්‍යෙක සත්‍යයන් හළේ වේ ද යත්: මහණෙනි, බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ වූ වෙන් වෙන් කොට ගත් සත්‍යයෝ ඇත. ඒ කෙසේය යත්: ලෝකය ශාස්වතය කියා හෝ, ලෝකය අශාශ්වතය කියා හෝ, ලෝකය අන්ත ඇතියේය කියා හෝ, ලෝකය අන්ත නැතියේය කියා හෝ, ඒ ම ජීවය ඒ ම ශරීරය කියා හෝ, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නොවන්නේත් වෙයි කියා හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි නො ම වෙයි නොවන්නේත් නො වෙයි කියා හෝ, දෘෂ්ටීහු වෙත් ද, මෙසස්නෙහි ඒ මහණහු විසින් එ හැම වාදයෝ හරණ ලද්දාහු වෙත්; ත්‍යක්ත වෙත්; වාන්ත වෙත්; මුදන ලද්දාහු වෙත්; ප්‍රහීණ වෙත්; බැහැර ලන ලද්දාහු වෙත්. මහණෙනි මෙසේ මහණ ප්‍රනුදිතප්‍රත්‍යෙකසත්‍ය නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට කාමෛෂණාව ප්‍රහීණ වෙයි. භවෛෂණාව ප්‍රහීණ වෙයි. බ්‍රහ්මචර්‍ය්‍ය - ඒෂණාව ප්‍රතිප්‍රශ්‍රබ්ධ වෙයි. මහණෙනි මෙසේ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇත්තේ නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සෞමනස්‍යදෞර්‍මනස්‍ය දෙදෙනා අස්තයට යෑමෙන් දුඃඛ නොවූත් සුඛ නොවූත් උපේක්‍ෂා ස්මෘතිපරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ එකලා වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට ‘අස්මි’ මානය ප්‍රහීණ වෙයි, මුලසුන් වෙයි; තාලයක් සෙයින් අවස්තුක බව කරණ ලද්දේ වෙයි, අභාවය කරණ ලද්දේ වෙයි, මතුයෙහි නූපදනා ධර්‍මතා ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ එකලා වූයේ නම් වෙයි.
මහණෙනි, මහණ ප්‍රත්‍යෙක දෘෂ්ටිසත්‍යය හළේ, මොනොවට හළ හැම සෙවීම් ඇතියේ, සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා වූයේය යි කියනු ලැබේ.
91-92. සියලු රාගයා කෙරෙන් විරක්ත වූ අර්‍හත්ඵල විමුක්තියෙන් සමන්‍වාගත වූ මහණහු විසින් කාමේසනාය, භවෙසනාය යන මෙය හා බ්‍රහ්මචරියේසනාය යන ඒසනාවෝ හරණ ලදහ. උස්ව නැඟ සිටුනා දෘෂ්ටීහු ද ඉතිසත්‍යපරාමර්‍ෂය ද යන දෘෂ්ටිසත්‍යයෝ නසන ලදහ.
93. සන්හුන් කෙලෙසුන් ඇති ස්මෘතිමත් කාය - චිත්තපස්සද්ධි ඇති නොපරදවන ලද සිවුසස් දත් ඒ මහණ ඒකාන්තයෙන් මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් “පතිලීන” යයි කියනු ලැබේ.
4. 1. 4. 9.
[උජ්ජාය සූත්‍රය]
39. ඉක්බිති උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. තුස්නට නිසි (කලක්) සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය.
භවත් ගෞතමයන් වහන්සේ ද යාගය වණත් හො යි?
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ (සමාරම්භ) සහගත යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු හිංසාරහිත යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු හිංසා රහිත යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
94. අස්සමේධය, පුරිසමෙධය, සම්මාපාසය, වාජපෙය්‍යය, නිරග්ගලය, යන ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහාරම්භ ඇති, මහායාගයෝ ඇත් ද, ඔහු මහත් ඵල නො වෙති.
95. යම් යාගයෙක එළු බැටළුවෝ ද ගෙරිහු දැ යි විවිධ ප්‍රාණීහු නැසෙද් ද ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු නො එළඹෙත්.
96. කුලපිළිවෙළින් එන ප්‍රාණසමාරම්භ රහිත යම් යාගයක් හැමකල්හි යාග කෙරෙත් ද, එළුබැටළුවෝ වෙත්වයි, ගෙරිහු වෙත්වයි, විවිධ ප්‍රාණීහු මෙහි ලා නො නැසෙද් ද,
97. ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු එළඹෙත්. නුවණැතියේ තෙල යාගය යාග කරන්නේය. තෙල යාගය මහත් ඵලයි.
98. තෙල යාගය කරන්නාහට විශේෂයෙක් ම වේ. පාපයෙක් නො වේ. යාගය විපුල වේ. දෙවියෝ ද පහදිති.
4. 1. 4. 10.
[උදායී සූත්‍රය]
40. ඉක්බිති උදායි නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ..... එකත්පස්ව හුන් උදායී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
භවත් ගෞතමයන් වහන්සේ ද යාග වණත් හො යි?
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහකරණී ඇති යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
99. රැස් කළ, ප්‍රාණසමාරම්භ රහිත, කැප වූ, එබඳු දේයධර්‍මයට නිසි කාලයෙහි සංයත වූ බ්‍රහ්මචාරීහු එළඹෙති.
100. ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු වටකුල වටගති ඉක්ම ගිය පුණ්‍යයෙහි කෝවිද වූ යම් බුදු කෙනෙක් ඇද්ද, ඔහු තෙල යාගය පසසත්.
101. ප්‍රකෘතිදානයෙහි හෝ නොහොත් ශ්‍රාද්ධදාන (=මතකදාන) යෙහි නිසි පරිදි (හෝම) පූජා කොට බ්‍රහ්මචාරී සඞ්ඛ්‍යාත මනා කෙතෙහි පහන් සිත් ඇතිව යාග කරන්නේ ය.
102. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති.
103. මනා නුවණ ඇති සැදැහැතියේ මුත්සිතින් මෙසේ යාග කොට ඒ පණ්ඩිත තෙම නිදුක් වූ සුඛ සහිත ලෝකයට එළඹෙයි.
චක්කවර්‍ගය සතරවැනි යි.
එහි උද්දානය:
චක්ක, සඞ්ග්‍රහ, සීහ, පසාද, පස්වන වස්සකාර සූත්‍රය ද, දොණ-ලෝක, අපරිහානිය, පතිලීන, උජ්ජාය, උදායී දැ යි ඒ දස සූත්‍රයෝ වෙති.
5. රෝහිතස්ස වර්‍ගය
4. 1. 5. 1.
[සමාධිභාවනා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්:
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්‍යචක්‍ෂුර්ඥානදර්ශනප්‍රතිලාභය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ වෙයි.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නා සමාධිභාවනා කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මෙ සමාධිභාවනාව දෘෂ්ටධර්‍මසුඛවිහරණය පිණිස පවත්නී ය යි කියනු ලැබේ.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද කවර සමාධිභාවනායෙක් ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නො වැළඳුනු සිතින් දිවාසංඥාව ඉටයි. දවහල් ආලෝකසංඥාව යම් පරිදි ද රැය ද එපරිදි ම ය. රැය යම් පරිදි ද දවහලත් එපරිදි ම ය. දිව්‍යචක්‍ෂුර්ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණහට වේදනාවෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. සංඥාවෝ ප්‍රකටව විතර්‍කයෝ ප්‍රකටව උපදිත්. ප්‍රකටව වටහත්. ප්‍රකටව අස්තයට යෙත්. මහණෙනි, භාවිත බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නී ය.
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච උපාදානස්කන්‍ධයෙහි උදා - විය අනුව බලනුයේ වෙසෙයි: මෙසේ රූපය, මෙසේ රූපසමුදයය, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය. මෙසේ වේදනාය, මෙසේ වේදනාසමුදයය, මෙසේ වේදනාවගේ අස්තඞ්ගමය. මෙසේ සංඥාය, මෙසේ සංඥාසමුදයය, මෙසේ සංඥාවගේ අස්තඞ්ගමය. මෙසේ සංස්කාරය, මෙසේ සංස්කාරසමුදයය, මෙසේ සංස්කාරයන්ගේ අස්තඞ්ගමය. මෙසේ විඥානය, මෙසේ විඥානසමුදයය, මෙසේ විඥානයාගේ අස්තඞ්ගමය කියා යි. මහණෙනි, භාවිත බහුලීකෘත මේ සමාධිභාවනාව ආස්‍රවක්‍ෂය පිණිස පවත්නී ය.
මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝ යි.
මහණෙනි, මා විසින් “පාරායනයෙහි පුණ්ණකප්‍රශ්නයෙහි” දී (සඞ්ඛාය ලෝකස්මිං - යනාදි) තෙල ගයෙක් වදාරණ ලද ද, මේ-ඵලසමාපත්තිය සඳහා වදාරණ ලදී:
104. සත්ත්‍වලෝකයෙහි උත්තමාධමධර්‍මයන් නුවණින් දැන යමකුට ස්කන්‍ධලෝකයෙහි කිසිදු ස්කන්‍ධාදියෙක (කෙලෙස් විසින්) චලිතයෙක් නැද්ද, ශාන්ත වූ ක්‍රෝධධූම රහිත වූ නිදුක් වූ ආශාරහිත වූ හෙතෙම ජාතිජරා ඉක්ම සිටියේ ය යි කියමි.
4. 1. 5. 2.
[පඤ්හබ්‍යාකරණ සූත්‍රය]
42. මහණෙනි, මේ ප්‍රශ්නව්‍යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්‍රශ්නයෙක් ඇත.
මහණෙනි, මේ සතර ප්‍රශ්නව්‍යාකරණයෝ යි.
105. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්‍යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය.
106. යමෙක් ඒ ප්‍රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්‍මතා සඞ්ඛ්‍යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්‍ෂයෙකැයි කියත්.
107. නොලංවියහෙන, නොමැඩලියහෙන, ගැඹුරු නොමුදවාලියහෙන වැලිත් දෙවැදෑරුම් අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි දක්‍ෂ වූ,
108. පණ්ඩිත මහණ අනර්‍ත්‍ථය හරණේ ය. අර්‍ත්‍ථය ගන්නේ ය. අර්‍ත්‍ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.
4. 1. 5. 3.
[පඨම කෝධගරු සූත්‍රය]
43. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
සද්ධර්‍මගරුක නොවන ක්‍රෝධගරුකය, සද්ධර්‍මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්‍මගරුක නොවන ලාභගරුකය, සද්ධර්‍මගරුක නොවන සත්කාරගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
ක්‍රෝධගරුක නොවන සද්ධර්‍මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්‍මගරුකය, ලාභගරුක නොවන සද්ධර්‍මගරුකය, සත්කාරගරුක නොවන සද්ධර්‍මගරුක යි.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.
109. ලාභසත්කාර කෙරෙහි ගෞරව ඇති ක්‍රෝධය හා ගුණමකු බව ගරු කොට ඇති මහණ කෙනෙක් ඇද්ද, ඔහු සම්මාසම්බුදුරජුන් දෙසූ සද්ධර්‍මයෙහි නො වැඩෙත්.
110. සද්ධර්‍මගරුක වූ යම් භික්‍ෂු කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඔහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් දෙසූ දහමෙහි වැඩෙත්.
4. 1. 5. 4.
[දුතිය කෝධගරු සූත්‍රය]
44. මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
ක්‍රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත.