Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3201-3300 න් 15980

69. සියලු තෛභූමකකර්‍ම හැරපියා සිටිනසුලු කෙලෙස් දුර ලූ රහත්හු (රාගාදීන් කෙරෙහි) කවරෙක් නම් වළහා ද. දඹරන් නිකක් සෙයින් ඔහුට ගරහන්නට හැකි වේ ද, දෙවියෝ ද පවා ඔහු පසසත්. බඹහු විසිනුත් පසස්නා ලදී.
4. 1. 3. 9.
[ධම්මපද සූත්‍රය]
29. මහණෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්‍ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්:
මහණෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලදය. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, අව්‍යාපාද ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දතයුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුදු මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, සම්‍යක් ස්මෘතිධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අවිකීර්‍ණය. (පෙර බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, සම්‍යක්සමාධි ධර්‍මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අවිකීර්‍ණ ය. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමයි) බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
මහණෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දතයුත්තාහ. දිගුකල් පැවැත්තහයි දත යුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. අතීතයෙහි බුදුවරුන් විසිනුත් (මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදහ.
70. නිස්තෘෂ්ණ වැ පියවි සිතින් වසන්නේය. ස්මෘතියෙන් සමන්‍වාගත වැ ඒකාග්‍රචිත්ත වැ තමා කෙරෙහි ලා මොනොවට තැබූ සිතැතියෙක් වන්නේ යි.
4. 1. 3. 10.
[පරිබ්බාජක සූත්‍රය]
30. [මා විසින් මෙසේ අසන ලදී.] එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: “අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ඉපහළ (ප්‍රකට) පිරිවැජියෝ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල සුත් වදාළහ:
පිරිවැජියෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දත යුත්තාහ, ආර්‍ය්‍යයන්ගේ වංශයහයි දත යුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් හෙළා නො දක්නා ලදහ. කවර සතර ධර්‍මපද කෙනෙක යත්:
පිරිවැජියෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතු ය. දිගුකල් පැවැත්තැ’යි දත යුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහි දු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදී. පිරිවැජියෙනි, අව්‍යාපාද සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත ධර්‍මපදය අග්‍ර යයි දතයුතු ය. දිගුකල් පැවැත්තැ’යි දතයුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබෙයි. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදී.
පිරිවැජියෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දතයුත්තාහ. ආර්‍ය්‍යවංශයහයී දතයුත්තාහ. පෞරාණිකයහ. අසඞ්කීර්‍ණයහ. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදහ.
පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අනභිධ්‍යා ධර්‍මපදය හැරැපියා අභිධ්‍යාබහුල වූ වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම් එහි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.
පිරිවැජියෙනි, ඒකාන්තයෙන් හෙතෙම අනභිධ්‍යා ධර්‍මපදය හැරපියා අභිධ්‍යා බහුල කොටගෙන වසන වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම්, මම ඒ වචනයෙහි දී ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
පරිව්‍රාජකයෙනි, යමෙක් “මම තෙල සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළා සිහි ඇති නුවණින් නො දන්නා මහණකු හෝ බමුණකු හෝ පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, මම එහි දී ඔහුට මෙසේ කියමි:” එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
පිරිවැජියෙනි, යමෙක් “මම තෙල සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, එබස්හි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.
පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
පිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහිය යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සහේතුක වූ ගර්‍හණීයස්ථාන වූ සතර වැදෑරුම් වාදප්‍රවෘත්තීහු කෙනෙක් එති. කවර සතර කෙනෙක යත්:
ඉදින් භවත් අනභිධ්‍යාධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, අභිධ්‍යා බහුල කොට ඇති වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
ඉදින් භවත් අව්‍යාපාදධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, ව්‍යාපාදයට වන් සිත් ඇති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
ඉදින් භවත් සම්‍යක්ස්මෘතිධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
ඉදින් භවත් සම්‍යක්සමාධි ධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, සමාහිත නො වූ විභ්‍රාන්ත සිත් ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.
පිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සකාරණ වූ ගර්‍හණීයස්ථාන වූ මේ සතර වැදෑරුම් වාදානුපාතයෝ එති.
පිරිවැජියෙනි, උක්කලදනව්වැසි වස්ස යැ භඤ්ඤ යැ යන අහේතුවාද අක්‍රියාවාද නාස්තිකවාද ඇති යම් ඒ වාදීහු දෙ දෙනෙක් වූහු ද, ඔහුත් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට නෙරැලියැ යුතු කොට නො සිතූහු. ඒ කවර හෙයින යත්: නින්‍දාබියෙන් හා ඝටනබියෙන් හා උපවාදබියෙන් හා ය’යි.
71. ව්‍යාපාදයට නො වන් සිත් ඇති හැමකල ස්මෘතිමත් තමා කෙරෙහි ලා මොනොවට සමාධිගත වූ අභිධ්‍යාවිනය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයෙහි හික්මෙනුයේ අප්‍රමත්ත යයි කියනු ලැබේ.
උරුවේල වර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
උරුවේලසූත්‍ර දෙක යැ, ලොකසූත්‍ර යැ, කාළික (කාළකාරාම) සූත්‍ර යැ, පස්වැනි බ්‍රහ්මචරියසූත්‍ර යැ, කුහකසූත්‍ර යැ, සන්තුට්ඨිසූත්‍ර යැ, වංසසූත්‍ර යැ, ධම්මපද සූත්‍ර යැ, පරිබ්බාජකසූත්‍ර දැ යි (මෙයින් වර්‍ගය පිරෙයි.)
4. චක්ක වර්‍ගය
4. 1. 4. 1.
[චක්ක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුඃසම්පච්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍ර කෙනෙකි.
කවර සතර කෙනෙක යත්: ප්‍රතිරූපදේශවාසය, සත්පුරුෂ භජනය, තමන් මොනොවට (ශ්‍රද්ධාදියෙහි) පිහිටුවා ගැන්ම ය, පෙර කළ පින් ඇති බව යි.
මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුශ්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍රසම්පත්හු යි.
72. මිනිස් ප්‍රතිරූපදෙශයෙහි වසන්නේ ය. බුද්ධා දී ආර්‍ය්‍යයන්ගේ සිත් අරියනුවෙක් වන්නේ ය. සම්‍යක් චිත්තප්‍රණිධියෙන් සමන්‍වාගත වන්නේ ය. පෙර කළ පින් ඇතියෙක් වන්නේ ය. ධාන්‍යය ද ධනය ද යශස් ද කීර්‍තති ද සුඛ ද යන මේ තෙල මිනිසා වතුරන්නේ ය.
4. 1. 4. 2.
[සඞ්ගහවත්‍ථු සූත්‍රය]
32. මහණෙනි, මේ සංග්‍රහ වස්තූහු සතර දෙනෙකි.
කවර සතර දෙනෙක යත්: දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාය, සමානාත්මතා යි.
මහණෙනි, මේ සතර සඞ්ග්‍රහ වස්තූහු යි.
73. මෙලොව යම් දානයෙක් වේ ද, යම් ප්‍රිය වචනයෙක් වේ ද, යම් අර්‍ත්‍ථසංවර්‍ධනකථායෙක් වේ ද, ඒ ඒ ධර්‍මෙයහි යථාර්‍හවශයෙන් සුඛදුඃඛ විසින් සමානාත්මතායෙක් වේ ද, ලෝකයෙහි සිටුනා තෙල සඞ්ග්‍රහයෝ ගමන්ගත් රථයාගේ අකුරග ගැසූ ඇණය වැනියහ.
74. තෙල සංග්‍රහයෝ නො වෙත් නම්, මවු පුතු කාරණ කොට ගෙණ බුහුමන් හෝ පිදුම් හෝ නො ලබයි. පුතු කාරණ කොට ගෙණ පියා හෝ (මානාදිය) නො ලබයි.
75. යම් හෙයකින් පඬිහු තෙල සඞ්ග්‍රහයන් මොනොවට දකිත් ද, එහෙයින් ඔහු මහත්‍වයට පැමිණෙත්, ප්‍රශස්‍ය ද වෙති.
4. 1. 4. 3.
[සීහ සූත්‍රය]
33. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වසන තැනින් නික්මෙයි. වාසයෙන් නික්ම වජඹයි. වැජඹ අවට සතර දික් බලයි. හාත්පස සිවුදිගුන් බලා තුන් යලක් සිහනද කෙරෙයි. තුන් යලක් සිංහනාද කොට ගොදුරට යෙ යි. මහණෙනි, යම් තිරිසන්ගිය ප්‍රාණීහු නද කරණ මෘගරාජන් වූ සිංහයාගේ හඬ අසත් ද, ඔහු බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත්. බිලවාසීහු බිලට වදිත්. උදකවාසීහු දියට වදිත්. වනවාසීහු වලට වදිත්. පක්‍ෂීහු අහස බෙජෙත්.
මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දළ සම්මුවා යොත්බහනින් බැඳ ලූ රාජකීය යම් හස්තීහු ඇත් ද, ඔහු දු ඒ බහන් සිඳ බිඳ බියපත් වූවාහු මලමූ හෙළමින් හිස් ලූ ලූ අත පලත්. මහණෙනි, එවැනි මහත් ඉදුහ ඇති සිංහ මෘගරාජ තිරිසන්ගිය සතුනට එවැනි මහේශාඛ්‍ය වෙයි. එවැනි මහානුභාව වෙයි.
මහණෙනි, එපරිදි ම යම් කලෙක අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙවි මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළා වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදනා සේක් ද, උන්වහන්සේ දහම් දෙසන සේක: සත්කාය මේ ය, සත්කායසමුදය මේ ය, සත්කායනිරෝධය මේ ය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් මේ ය, කියා යි.
මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ සුඛබහුල වූ උස් විමානයෙහි චිරස්ථායී ව සිටුනා වූ යම් දෙවි කෙනෙක් ඇත් ද, ඔහුත් තථාගතයන් වහන්සේගේ දම්දෙසුම් අසා බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට වදිත්.
“භවත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය ව සිටියමෝ නිත්‍යයම්හ යි සිතුම්හ භවත්නි, අපි ඒකාන්තයෙන් අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි අපි ඒකාන්තයෙන් අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වූකලී අනිත්‍යයම්හ, අධ්‍රැවයම්හ, අශාශ්වතයම්හ. පඤ්චස්කන්‍ධපර්‍ය්‍යාපන්නයම්හ” යි කියා යි.
මහණෙනි, සදේවක ලෝකයාට තථාගතයන් වහන්සේ එවැනි මහර්ධි ඇතියහ. එවැනි මහේශාඛ්‍යයහ. එවැනි මහානුභාවයහ.
76-77. ශාස්තෘ වූ, සදෘශපුද්ගලරහිත වූ තථාගතයන් වහන්සේ යම් කලෙක චතුස්සත්‍යාවබෝධ කොට ගෙණ සදේවක ලෝකයාහට පඤ්චස්කන්‍ධය ද එහි නිරෝධය ද පඤ්චස්කන්‍ධසමුදය ද දුක් සන්හිඳීම වූ නිවන් කරා යන අරීඅටඟි මග දැ යි ධර්‍මචක්‍රය (දේශනාඥානයෙන්) පැවැත් වූ සේක් ද
78-79. (ලාභාදියෙහි) තාදී වූ කෙලෙසුන් කෙරෙන් මිදුනු අර්‍හත් ඒ බුදුන්ගේ බස් අසා, “භවත්නි, අපි පඤ්චස්කන්‍ධය පැන නොගියම්හු ල, අනිත්‍යයම්හු ලැ” යි කියා, ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවියෝ ඇත් ද ඔහු සිංහරාජයාට ඉතරමෘගයන් බියපත් වන්නාක් සෙයින් බිය වැදුනාහු සංත්‍රාසයට වැටුනාහ.
4. 1. 4. 4.
[අග්ගප්පසාද සූත්‍රය]
34. මහණෙනි, මේ අග්‍රප්‍රසාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පා නැති හෝ දෙපා ඇති හෝ සියුපා ඇති හෝ බොහෝ පා ඇති හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සංඥී වූ හෝ අසංඥී වූ හෝ නෛවසංඥීනාසංඥී (භවාග්‍රගත) වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ ඇත් ද, ඔවුනට අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට විපාකයෙක් වෙයි.
මහණෙනි, හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්‍රය යි කියනු ලැබේ. රාගාදී මද මඩනා, පවස් සන්හිඳුවන, ආලයතෘෂ්ණා නසන, වටදුක් සිඳලන, තෘෂ්ණාක්‍ෂය කරණ, විගතරාග ඇති, නිරෝධ සඞ්ඛාත නිවණෙක් ඇත් ද, එය යි. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
මහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්‍රාවකසඞ්ඝ ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. යම් සතර පුරුෂයුග කෙනෙක් වෙත් ද, අෂ්ටාර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුන සඞ්ඛ්‍යාත සත්කාරයට නිසිය, පාහුණ සඞ්ඛ්‍යාත ආගන්තුක සත්කාරයට නිසිය. දක්‍ෂිණාවට නිසිය. අඤ්ජලිකරණයට නිසිය, ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වෙයි. මෙබඳු ශ්‍රාවකසඞ්ඝයා යි. මහණෙනි, යම් කෙනෙක් සඟුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
මහණෙනි, මේ සතර අග්‍රප්‍රසාදයෝ ය.
80. අග්‍රස්ථානයෙහි එකැතින් පහන් වූ අග්‍ර චතුස්සත්‍යධර්‍මය දන්නා වූ, දක්‍ෂිණාර්‍හ වූ අනුත්තර වූ අග්‍ර වූ බුදුන් කෙරෙහි පහන් ඇත්තනට -
81. විරෝගොපශමසුඛ සඞ්ඛ්‍යාත අග්‍රධර්‍මයෙහි පහන් ඇත්තනට, පුණ්‍යක්‍ෂේත්‍ර වූ අනුත්තර වූ අග්‍ර සඞ්ඝයා කෙරෙහි පහන් ඇත්තනට -
82. අග්‍රස්ථානයෙහි ලා දන් දෙන ඇත්තනට අග්‍ර පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය, වර්‍ණය, යශස, කීර්‍තතිය, සුඛය, බලය ද ලැබේ.
83. අග්‍ර වූ ශ්‍රද්ධාදි ධර්‍මයෙන් යුක්ත වූයේ අග්‍ර වූ සඞ්ඝරත්නය විෂයෙහි දන් දෙන ප්‍රශස්ත නුවණ ඇතියේ දෙවිබවට පැමිණියේ හෝ මිනිසත්බවට පැමිණියේ හෝ අග්‍රප්‍රාප්ත ව සතුටු වෙයි.
4. 1. 4. 5.
[වස්සකාර සූත්‍රය]
35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්‍දකනිවාප{*} නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු බුදුන් කරා එළඹියේ ය. එළඹ බුදුන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මගධමහාමාග්‍ර වස්සකාර බමුණු බුදුනට තෙල සැළ කෙළේ ය.
භවත් ගෞතමයන් වහන්ස, අපි සතර කරුණෙකින් සමන්‍වාගත වූ මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. කවර සතර කරුණෙන යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි ඒ ඒ ශ්‍රැතජාතය පිළිබඳ බහුශ්‍රැතයෙක් වෙයි. “මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය” යි කියා ඒ ඒ භාෂිතය පිළිබඳ අර්‍ත්‍ථය දන්නේ වෙයි. පෙර කළ දෑ පෙර වුණු දෑ සිහි කරණ, පුන පුනා ගොස් සිහි කොට ගන්නා ස්මෘති ඇතියෙක් වෙයි. ගිහිගෙහි වැටෙන, කුම් කෙරෙම්දැ යි විමසා කළ යුතු යම් ඒ දෑ ඇත් ද, එහි ලා අනලස් වූ එහි ලා උපායවීමාංසායෙන් සමන්‍වාගත වූ කරන්නට පොහොසත් සංවිධානයට පොහොසත් දක්‍ෂයෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අපි මේ සතර කරුණෙන් සමන්‍වාගත මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස අනුමෙවිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස අනුමෝදන් කෙරෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස නෙරලිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස නෙරත්වා යි.
බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කරමි. බමුණ, මම සතර කරුණෙකින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි. කවර සතර කරුණෙන යත්:
බමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්‍යාණධර්‍මතා සඞ්ඛ්‍යාත, කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි.
හේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය කෙරෙයි. කාමාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා නො කෙරෙයි. මෙසේ විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්ත වේ:
විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ ඉහාත්මසුඛවිහරණ ඇති සතර වැදෑරුම් දැහැන් කැමැති සේ ලබන සුල්ලේ, නිදුකින් ලබන සුල්ලේ, විපුල සේ ලබන සුල්ලේ වෙයි.
ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කෙරෙමි. බමුණ, මේ සතර කරුණින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල බස පරමකෝටින් සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගතයකු කොට ධරම්හ.
භවත් ගෞතමයන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක. මුබ වහන්සේ විසින් බොහෝ ජනතාවක් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි පිහිටුවන ලදු.
භවත් ගෞතමයන් වහන්සේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනයට කැමැති සේක් ද, ඒ විතක් විතකන සේක. යම් කාමාදි විතර්‍කයක් විතකන්නට නො කැමැති සේක් ද, ඒ විතක් නො විතකන සේක. යම් සංකල්පයක් සංකල්පනය කිරීමට කැමැති සේක් ද, ඒ සංකල්පය සංකල්පනය කරණ සේක. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති සේක් ද, ඒ සංකල්පනාව සංකල්පනා නො කරණ සේක. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍ක පථයෙහි චිත්තවශී ප්‍රාප්තයහ.
භවත් ගෞතමයන් වහන්සේ වනාහි විශුද්ධ චිත්ත සංනිඃශ්‍රිත වූ ඉහාත්ම සුඛ විහරණ ඇති සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. විපුල කොට ලබන සුල්ලහ.
භවත් ගෞතමයන් වහන්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමන් වහන්සේ වෙසෙසින් දැන පසක් කොට ගෙණ සමවැද වසන සේක.
බමුණ, තා විසින් ඝටා එළවා තෙපුලෙක් ඒකාන්තයෙන් ම බණන ලදී. වැලිත් තාහට මම එළි කොට කියන්නෙමි.
බමුණ, මම වනාහි බහුජනහිතය පිණිස, බහුජනසුඛය පිණිස පිළිපන්මි. මා විසින් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්‍යාත වූ ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාවක් පිහිටුවන ලදු.
බමුණ, මම යම් විතර්‍කයක් විතකන්නට කැමැතියෙම් ද, ඒ විතක් විතකමි. යම් විතර්‍කයක් විතකන්නට නො කැමැතියෙම් ද, ඒ විතක් නො විතකමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා කරමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස නො කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා නො කරමි.
බ්‍රාහ්මණය, මම විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්තයෙමි. බ්‍රාහ්මණය, මම විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ දෘෂ්ටධර්‍මසුඛ විහරණ වූ සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලෙම් නිදුකින් ලබන සුල්ලෙම්, විපුල සේ ලබන සුල්ලෙම් වෙමි.
බ්‍රාහ්මණය, මම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට සමවැද වෙසෙමි.
84. යම් කෙනෙක් සර්‍වසත්ත්‍වයන්ගේ මෘත්‍යුපාශය මුදා ලන මග අවබෝධ කළ සේක් ද, යම් ධර්‍මයක් නුවණින් දැක අසා බොහෝ දෙන ඒකාන්තයෙන් පහදනේ ද, දෙවිමිනිස්නට හිත වූ ඒ න්‍යායධර්‍මය පැවසූ සේක් ද,
85. මාර්‍ගාමාර්‍ග පිළිබඳ කුශල වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ අන්තිම දේහධාරී වූ චතුස්සත්‍යාවබෝධ ඇති ඒ මහාප්‍රාඥයන් වහන්සේ මහාපුරුෂයහ යි කියනු ලැබෙත්.
4. 1. 4. 6.
[දොණ (ලෝක) සූත්‍රය]
36. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර අදන්මගට පිළිපන් සේක. ද්‍රෝණ බමුණුත් උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර දික්මගට පිළිපන්නේ වෙයි. ද්‍රෝණ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි දහසක් අර ඇති නිම් සියෝ නැබ සියෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ ලක්‍ෂණ චක්‍රයන් දිට. දැක ඔහුට මෙ බඳු සිතෙක් වී: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය, භවත්නි ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් තෙල පාද මිනිසක්හුගේ පාද නොවන්නේ වනැ” යි.