ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම්සේ ගෙනවුත් බහා තැබූයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය.
45. කාමයෙහි අසංයත වූ යම් කිසි ජන කෙනෙක් අධාර්මික වෙත් ද ධර්‍මගෞරව රහිත වෙත් ද ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු අගතිගාමීහු වෙත් ද (මෙ බඳු ජනයන් ඇති පිරිසෙහි) මේ භත්තුද්දෙසක තෙමේ ‘පිරිස්කසළුය’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
46. යම් ජන කෙනෙක් ධර්‍මයෙහි සිටියාහු පව් නො කෙරෙද්ද, ඡන්‍දයෙන් හා ද්වේෂයෙන් අගතිගාමී නො වෙද්ද, බියෙනුදු අගතිගාමීහු නොවෙත් ද, එහෙයින් ඒ සත්පුරුෂයෝ පැසසිය යුත්තාහ. (මෙබඳු ජනයන් ඇති) පිරිසෙහි මේ භත්තුද්දෙසක තෙමේ ‘මණ්ඩන’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
චරවර්‍ග දෙවැනි යි.
එහි උද්දානය:
චර, සීල, පධාන, සංවර, පස් වැනි පඤ්ඤත්ති, සොඛුම්ම, අගති (සූත්‍ර) තුණය, භත්තුද්දෙස යනු හා ඒ සූත්‍ර දසයෙකි.
3. උරුවේල වර්‍ගය
4. 1. 3. 1.
[ප්‍රථම උරුවේල සූත්‍රය]
21. [මා විසින් මෙසේ අසන ලදී] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක:
මහණෙනි, මම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාල නම් න්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක් සම්බුද්ධ ව පළමු ම වෙසෙමි.
මහණෙනි, රහෝගත වූ එකත් අරමුණෙහි ඇලුනු මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන: අනෙකකු කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ දුකසේ වෙසෙයි. මම කිනම් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් දෝයී. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී.
මම නො පිරිපුන් ශීලස්කන්‍ධයාගේ පිරිපුන්බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි-ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි, මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සිල්සපන් එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම (බුදුඇසින්) නො දක්මි.
මම නොපිරිපුන් සමාධිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ ඇසුරුකොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සමාධිසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මම නොපිරිපුන් ප්‍රඥාස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණ බමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා ප්‍රඥාසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මම නො පිරිපුන් විමුක්තිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණබමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා විමුක්ති සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී: මා විසින් යම් මේ ධර්‍මයෙක් අවබෝධ කරණ ලද නම්, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ මම වෙසෙම් නම් මැනවි නො! යී.
මහණෙනි, එක්බිති සහම්පති මහබඹ ඔහු සිතින් මාගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ ද දික් කළ අතක් හකුළා ගන්නේ ද එපරිදි බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් කෙළේ මා පෙරට පහළ වී.
මහණෙනි, එක්බිති සහම්පතී මහබඹ උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඬල බිම හැන මා වෙත ඇඳිලි නමා මට මෙ තෙපුල් සැළ කෙළේය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ විසූහ. වහන්ස, අනාගතයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද් ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්. වහන්ස, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්වා යී.
සහම්පති මහබඹ මෙය කීය. මෙය කියා වැලිත් අනෙක් තෙල බස් ද කීය:
47. අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූහු ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙකුත් වෙද්ද, දැන් බොහෝ දෙනාගේ ශෝක නසන යම් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇද්ද,
48. එහැම සද්ධර්‍මය ගුරු කොට ඇත්තාහු විසූහ. දැනුදු වෙසෙත්. වැලි අනාගතයෙහිදු වෙසෙත්. බුදුවරුන්ගේ මේ ධර්‍මතා ය.
49. එහෙයින් වැඩ කැමැති, මහත්බව පතන, බුදුවරුන්ගේ සස්න සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරු කටයුත්තේ යි.
මහණෙනි, සහම්පති මහබඹ මේ කිය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
මහණෙනි, එක්බිති මම බ්‍රහ්මාරාධනය ද තමහට නිස්සද දැන, මා විසින් යම් ධර්‍මයෙක් අවබෝධ කරණ ලද ද, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙන විසීමි. මහණෙනි, යම් කලෙක සිට සඞ්ඝයාත් (චතුර්විධ) මහත්ත්‍වයෙන් සමන්‍වාගත ද එකල සඞ්ඝයා කෙරෙහිදු මාගේ බලවත් ගෞරවය විය.
4. 1. 3. 2.
[ද්විතීය උරුවේල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මම එක් කලෙක උරුවේලා දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාලන්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ:
භවත් ගෞතමයෙනි, “මහණ ගොයුම්හු ජරාජීර්‍ණ, වයෝවෘද්ධ, දෑමහලු, තුන්විය ඉක්ම සිටි, පැසිම්වියට පැමිණි බමුණන් නොවඳිති යි, දැක හුනස්නෙන් නො නැගිටිති යි, අසුනෙන් නො අමතති” යි අප විසින් තෙල අසන ලදී. භවත් ගෞතමයෙනි, එය (අප විසින් ඇසූ කරුණ) එසේ ම ය. භවත් ගෞතමයෝ ජීර්‍ණ, වෘද්ධ, මහලු, අධවගත, පශ්චිමවයසට ගිය, බමුණන් නො වඳිති. දැක හුනස්නෙන් නො නැගිටිති. අසුනෙන් නො කැඳවති. භවත් ගෞතමයෙනි, එකරුණ නොනිසි මැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් වී: මේ ආයුෂ්මත්හු ස්ථවිර හෝ ස්ථවිර භාවය කරණ දහම් හෝ එකැතින් ම නො දනිත්. මහණෙනි, ඉදින් උපතින් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක් වයස් ඇති හෝ වෘද්ධයෙක් වෙයි. හෙ ද අකාලවාදීත් වෙයි. අභූතවාදීත් වෙයි. අනර්‍ත්‍ථවාදීත් වෙයි. අධර්‍මවාදීත් වෙයි. අවිනයවාදීත් වෙයි. අකාලයෙහි නිෂ්කාරණ වූ පර්‍ය්‍යන්තරහිත වූ ලොවීලොව්තුරා අරුත් නැති ලෙහි නිධන් නො කටයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ අඳබල් ද ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
මහණෙනි, ඉඳින් තුරුණු වූ ඉකළු කෙස් ඇති භද්‍රයෞවනයෙන් සමන්‍වාගත ප්‍රථමවයසින් යුත් ළදරුවෙක් වෙයි. හෙ ද කාලවාදීත් වෙයි. භූතවාදීත් වෙයි අර්‍ත්‍ථවාදීත් වෙයි. ධර්‍මවාදීත් වෙයි. විනයවාදීත් වෙයි. නිසි කල කරුණු සහිත වූ පර්‍ය්‍යන්ත ඇති ලොවී ලොව්තුරා අරුත් ඇති ලෙහි නිධන් කළයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ පණ්ඩිත තෙමේ ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
මහණෙනි, මේ ථේර (තෙරබව) කරණ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වෙයි, සිකපද මොනවට ගෙණ හික්මෙයි.
බහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැතසන්නිචය (=රැස් කොට ගත් ශ්‍රැත ඇත්තේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජනසහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධබ්‍රහ්මචර්‍ය්‍යය කියන යම් ඒ දහම්හු ඇත් ද, එබඳු දහම්හු මොහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු තෙපුලෙන් වනපොත් කරණ ලද්දාහු සිතින් පුන පුනා දක්නා ලද්දාහු (අරුත් විසින් කරුණු විසින්) ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.
අධිචිත්තය ඇසුරු කොට සිටි ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර දැහැන් (රිසි රිසි කෙණෙහි සමවැදීම් විසින්) කැමැතිසේ ලබන සුලු වෙයි. සුවසේ ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි.
ආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මෙලොව්හි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
මහණෙනි, මේ සතර ථේර කරණ ධර්‍මයෝය.
50. යමෙක් විසුරුණු සිතින් බොහෝ කොට පලප බෙණේ ද, නොපිහිටුවාලූ සංකල්ප ඇති අසද්ධර්‍මයෙහි නියැලි මෘග සදෘශ ලමු දිටුහ ඇති නිරාදර වූ හෙ තෙමේ ස්ථාවරභාවයෙන් දුරුව සිටුනේ ය.
51. යමෙක් ශීලසම්පන්න වූයේ ශ්‍රැතවත් වූයේ ප්‍රතිභාන ඇතියේ ස්ථාවරධර්‍මයෙහි සංයත වූයේ මාර්‍ගප්‍රඥායෙන් සත්‍යාර්‍ත්‍ථය විනිවිද දක්නේ ද හැම ස්කන්‍ධාදි දහම්හි තෙරපත් වේ ද, රාගාදි ඛිල රහිත වේ ද,
52. පැහු දෑමරණ ඇතියේ ද, බඹසර පිරිපුන් කෙළේ වේ ද, යමක්හට ආස්‍රවයෝ නැත් ද, ඔහු මම ‘ථේර’ ය යි කියමි. ආස්‍රවක්‍ෂයයෙන් ඒ මහණ ‘ථේර’ ය යි කියනු ලැබේ.
4. 1. 3. 3.
[ලෝක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ලෝකය - දුඃඛසත්‍යය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් - දුඃඛසත්‍යයෙන් විසංයුක්තයහ. මහණෙනි, ලෝකසමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝකසමුදය ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. මහණෙනි, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදු. ලෝකනිරෝධගාමිනීප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් වඩන ලදු.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ලබන ලද ද, සොයන ලද ද, සිතින් ලුහුබැඳ ගන්නා ලද ද, එ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. එයින් ‘තථාගත’යයි කියනු ලැබේ.
මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සත්‍යාවබෝධය කරණ සේක් ද, යම් රැයෙක පිරිනිවන් පානා සේක් ද, මේ අතර යමක් බණන සේක් ද, තෙපලන සේක් ද, නිදෙසන සේක් ද, එහැම එපරිදි ම වෙයි. වෙනස් නො වෙයි. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
මහණෙනි, තථාගතයන් වහන්සේ යථාවාදී සේක් තථාකාරී සේක. යථාකාරී සේක් තථාවාදී සේක. මෙසේ යථාවාදී තථාකාරීයහ. යථාකාරී තථාවාදීයහ. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හැම මැඩ ගෙණ සිටුනා සේක් මෙරමා විසින් නො මඩනා ලදහ. ඒකාන්තයෙන් හැම දක්නා සේක් තමා වශයෙහි ලා සිටුනා සේක. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
53. සියලු ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය හා එහි (සර්‍වලෝකයෙහි) හැම ඥේයධර්‍ම ඇති සැටි දැන යෝගප්‍රහාණයෙන් ත්‍රෛධාතුකලෝකයෙන් විසංයුක්ත වූයේ ත්‍රෛධාතුකලෝකයෙහි තෘෂ්ණා - දෘෂ්ටිරහිත වූයේ -
54. සිවුවැදෑරුම් හැම ග්‍රන්‍ථයන් මුදා හැර සිටියේ රූපාදි හැම අරමුණු මැඩ ගෙණ සිටියේ වේ ද, හේ ඒකාන්තයෙන් ධීරයෙකි. කොයිනුදු බිය නැති නිර්‍වාණසඞ්ඛ්‍යාත පරමශාන්තිය ඔහු විසින් පහස්නා ලදු.
55.“කෙලෙස් දුක් නැති මුලුසුන් සැක ඇති ක්‍ෂීණාස්‍රව වූ තුලුන් වහන්සේ සර්‍වඥයහ. සර්‍වකර්‍මක්‍ෂයට පැමිණියහ. නිවන් නිමිත්තෙහි (එය අරමුණු කොට සිටුනා) ඵලවිමුක්තියෙන් විමුක්තයහ.
56. ඒ භගවත්හු නම් තෙල බුද්ධයහ. තුලුන් වහන්සේ අනුත්තරසිංහයහ. දෙවියන් සහිත ලොවට බ්‍රහ්මචක්‍රය පැවැත් වූ සේක.”
57. මෙසේ කියමින් දෙවිමිනිස්හු හෝ යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු එළඹ මහත් වූ පහ වූ බිය ඇති උන්වහන්සේ වඳිත්.
58.“තුමූ දැමුනාහු දමනය කරණුවන් අතර ශ්‍රේෂ්ඨය හ. තුමූ ශාන්ත වූවාහු ශමනය කරණුවන් අතර ඍෂියහ. තුමූ මිදුනාහු මුදනුවන් අතර අග්‍රයහ. තුමූ තීර්‍ණ වූවාහු තරණය කරණුවන් අතර උත්තමයහ.
59. දෙවියන් සහිත ලෝකයෙහි මුඹ වහන්සේට ප්‍රතිපද්ගලයෙක් නැතැ”යි මෙසේ කියා පහ වූ බිය ඇති පූජ්‍ය වූ තෙල බුදුරජුන් වඳිත්.
4. 1. 3. 4.
[කාළකාරාම සූත්‍රය]
24. [මා විසින් මෙසේ අසන ලදී:] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (අතීත වශයෙන්) දැන ගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්‍රකටසේ විදිතය. (එහෙත්) එ හැම සදොර අරමුණු කරා තථාගතයන් වහන්සේ තෘෂ්ණාදෘෂ්ටීන් වැද නොගත්හ.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (මහාජනයා දක්නා සෙයින් තෘෂ්ණාදීන්) දනිමි යි කියම් නම් එය මාගේ මෘෂායෙක් වෙයි. (ආත්ම-ආත්මීයභාවයෙන් ශුන්‍යතා ඇතිහෙයිනි.)
මහණෙනි, ... එ හැම මම දනිමි යී ද, නො දනි මි යී ද කියම් නම් එ ද එබඳු ම වෙයි. එ හැම මම නො ම දනිමි යී ද නො දන්නෙම් නො වෙමි යී ද කියම් නම්, එබස මාගේ දෝෂයෙක් වෙයි.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ ද්‍රෂ්ටව්‍ය වූ රූපායතනය දැක ඒ රූපායතනය (තණ්හාදිට්ඨිමඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දක්නා ලද) රූපායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ද්‍රෂ්ටව්‍යය නො හඟිත්. ද්‍රෂ්ටෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. ශ්‍රෝතව්‍ය වූ ශබ්දායතනය අසා ඒ ශබ්දායතනය (තණ්හා දිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො අසන ලද) ශබ්දායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ශ්‍රොතව්‍යය නො හඟිත්. ශ්‍රෝතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. මුතසඞ්ඛ්‍යාත ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනය දැන ඒ මුතායතනය (තණ්හාදිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දන්නා ලද) මුතසඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තව්‍ය සඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. විඥාතව්‍යධර්‍මාලම්බනය දැන ඒ විඥාතව්‍යය තණ්හාදීන් නො හඟිත්. (මහාජනයා විසින් අවිඥාත) ධර්‍මාලම්බනය නො හඟිත්. විඥාතව්‍යය නො හඟිත්. විඥතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨසුතමුතවිඤ්ඤාත වූ ධර්‍මයන් කෙරෙහි තාදී සේක් ම තාදීයහ. ඒ තථාගතතාදීභාවයට වැඩි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදීභාවයෙක් නැති යි වදාරමි.
60. මෙරමාගේ බසින් (පරප්‍රත්‍යයෙන්), සැබැවැ’යි හැඟීම් කොට ගිල ගන්නා ලද යම් කිසි රූපායතනයෙක් වේවයි ශබ්දායතනයෙක් වේවයි ගන්‍ධාදිමුතයෙක් වේවයි ස්වයංසංවෘත සඞ්ඛ්‍යාත ඒ දෘෂ්ටිගතීන් කෙරෙහි තාදී වූයෙම් සත්‍යය යි හෝ මෘෂාය යි හෝ පරම කොට නො හදහමි.
61. යම් දෘෂ්ටිගතියෙක ප්‍රජාවෝ ඇලුනාහු බැස ගත්තාහු වෙත් ද කැලම තෙල ශල්‍යය දැක තෙල දෘෂ්ටිශල්‍යය එසේ ම දනිමි යි දක්මියි තථාගතයන්ගේ ගැලැගැන්මෙක් නැත.
4. 1. 3. 5.
[බ්‍රහ්මචරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්ති පිණිස, වාදප්‍රමෝක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස වැසේ.
62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්‍රහාණය පිණිස වදාළහ.
63. පූජ්‍ය මහර්ෂීන් විසින් තෙල මග අනුගමනය කරණ ලදී. බුදුන් විසින් දෙසූ සැටියෙන් යම් කෙනෙක් එමග පිළිපදිත් ද ශාස්තෘශාසනකර වූ ඔහු දුක් කෙළවර කෙරෙත්.
4. 1. 3. 6.
[කුහක සූත්‍රය]
26. මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක වූවාහු ක්‍රෝධය හා මානයෙන් දැඩි වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්‍ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට නො ද පැමිණෙත්.
මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්‍ෂූහු මා අයත්හ. මහණෙනි, ඔහු මෙසස්නෙන් බැහැර ද නො වූහ. වැලිත් ඔහු මෙසස්නෙහි (ගුණයෙන්) වැඩීමට (නිශ්චලභාවයෙන්) විරූඪියට (පතළ බැවින්) විපුලබවට පැමිණෙත්.
64. කුහක වූවාහු මනින් දැඩි වූවාහු හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවාලු කෙලෙස්නළ ඇත්තාහු එකඟසිත් නැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි නො වැඩෙත්.
65. කුහක නො වූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මෙනෙන් නොදැඩි වූවාහු මොනොවට එකඟසිතැත්තාහු වෙත් ද, ඔහු සම්මා සම්බුදුන් විසින් දෙසන ලද දහම්හි ඒකාන්තයෙන් වැඩෙත්.
4. 1. 3. 7.
[සන්තුට්ඨි සූත්‍රය]
27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්‍ය ද වෙත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලෝපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්‍යයි. මහණෙනි, පූතිමූත්‍රය භෛෂජ්‍යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්‍යයි.
මහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්‍යයහ.
මහණෙනි, යම් හෙයකින් මහණ අල්ප වූත් සුලභ වූත් චීවරාදීන් සතුටු වේ ද, මේ ඔහුගේ අන්‍යතර ශ්‍රාමණ්‍ය-අඞ්ගයෙකැ (ශ්‍රමණ ගුණයෙකැ යි) මම කියමි.
66-67 අල්ප වූත් සුලභ වූත් අනවද්‍ය වූත් චීවරාදීන් සතුටු මහණහුගේ සිතට සෙනසුන් අරභයා වේවයි චීවර අරභයා වේවයි පැනබොජුන් අරභයා වේවයි වෙහෙසෙක් නො වේ. දික් නො හැනේ. ශ්‍රමණධර්‍මයට අනුලොම් වූ යම් පිළිවෙත් දහම්හු ඔහුට දෙසන ලදහු ද, ඒ ධර්‍මයෝ සතුටු වූ අප්‍රමත්ත වූ ඒ මහණහු විසින් අධිගෘහිතයහ.
4. 1. 3. 8.
[අරියවංස සූත්‍රය]
28. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍ම කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්‍ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලද්දාහ. (දැනුදු) බැහැර නො කරණු ලැබෙත්. (අනායෙහි බුදුවරුන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහු වෙත්. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්‍දිතයහ. කවර ධර්‍ම සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඉතරෙතරචීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතරචීවරසන්තෝෂයෙහි ද ගුණ බණන සුලු වෙයි. චීවරහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණෙයි. සිවුරු ද නොලැබ නො තැතිගණී. සිවුරු ලැබ ද පහ වූ ලොබගැට ඇතියේ (අධිමාත්‍රතෘෂ්ණායෙන්) හටගත් තෘෂ්ණා නැත්තේ තෘෂ්ණායෙන් නොවළඳනා ලද්දේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරචීවරසන්තෝෂයෙනුත් තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ මනා නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වේ. මහණෙනි, මේ මහණ පැරණි වූ අග්‍ර ය යි දන්නා ලද ආර්‍ය වංශයෙහි (ආර්‍ය්‍ය ධර්‍මයෙහි) සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතරපිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ගුණ කියන්නේ ද වෙයි. පිණ්ඩපාතහේතුයෙන් අයුතු අනෙෂණයට නො පැමිණේ. පිඬුවා නො ලැබ ද ත්‍රස්ත නො වේ. පිඬුවා ලැබත් ලොබගැට නැතියේ අධිමාත්‍ර තෘෂ්ණායෙන් මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නොවළඳනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙනුත් තමා නගා නො තබයි. මෙරමා හෙළා නො දකියි. හෙ ද ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ (සාතත්‍යාභ්‍යාස විසින්) අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතරශයනාසනසන්තුෂ්ටියෙහිදු ගුණ කියන සුලු වෙයි. ශයනාසනහේතුයෙන් අයුතු අනෙෂණයට ද නො පැමිණෙයි. සෙනසුන් නො ලැබත්. ත්‍රස්ත නො වෙයි. ශයනාසන ලැබත් ලොබගැටින් නොගැටුනේ අධිමාත්‍රතෘෂ්ණායෙන් මුසපත් නොවූයේ තෘෂ්ණාව විසින් නොවළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසනසන්තුෂ්ටියෙනුදු තමා නගා නො තබයි. මෙරමා නො ගරහයි. හෙ ද ඒ ශයනාසනසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ පැමිණ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මහණ පොරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍ය වංසයෙහි සිටියේ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ භාවනාභිරති ඇතියේ බවුන්හි ඇලුනේ වෙයි. ප්‍රහාණාභිරති ඇතියේ ප්‍රහාණියෙහි ඇලුනේ වෙයි. වැලිත් ඒ භාවනාරාමතායෙන් වේවයි, භාවනාරතියෙන් වේවයි, ප්‍රහාණාරාමතායෙන් වේවයි, ප්‍රහාණරතියෙන් වේවයි තමා හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දකී. හෙ ද වනාහි ඒ භාවනාරතියෙහි ප්‍රහාණරතියෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇතියේ වෙයි. මහණෙනි, මේ මහණ පුරාණ වූ අග්‍රඥ වූ ආර්‍ය්‍යවංශධර්‍මයෙහි සිටියේ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍මයෝ අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්‍ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරයන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලද්දාහ (දැනුදු) බැහැර නො කරණු ලැබෙත් (අනායෙහි බුදුවරයන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්‍දිතයහ.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යවංශධර්‍මයෙන් සමන්‍වාගත වූ මහණ පැදුම්දික්හුදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙණ සිටියි. අරතිය ඔහු නො මඩියි. පැළදිග්හිදු වෙසේ නම් හෙ ම අනභිරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. උතුරුදික්හිදු වෙසේ නම් හෙ ම අරතිය මැඩගෙන සිටියි. අරතිය ඔහු නො මඩියි. දකුණුදිකුහිදු වෙසේ නම් හෙ ම අරතිය මඩනේ ය. අනභිරතිය ඔහු නො මඩියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධීර තෙමෙ අරතිය හා පඤ්චකාමගුණරතිය හා මැඩ සිටුනට පොහෝනේ ය.
68. අරතිය වීරයා මැඩ නො සිටුනේය. අරතිය වීරසංහතියෙක් නොවේ. වැලිත් ධීරයා අරතිය මඩියි, ධීරයා වනාහි අරතිය මැඩ පියහෙන්නෙකි.