Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3001-3100 න් 15980

මහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ ය. කවර සතරහ යත්: කාමයොගයෙන් විසංයෝගය, භවයොගයෙන් විසංයෝගය, දිට්ඨියෝගයෙන් විසංයෝගය, අවිජ්ජායෝගයෙන් විසංයෝග යි.
මහණෙනි, කාමයොගයෙන් විසංයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට කාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි ගැලීසිටීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ නූපදී. මහණෙනි, මේ කාමයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග යි.)
භවයොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසායෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ භවයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග හා භවයෝග විසංයෝග යි.)
දෘෂ්ටියොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝගවිසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය දෘෂ්ටියෝග විසංයෝග යි.)
අවිජ්ජායෝගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් නො දැන්මෙක් ඇද් ද, ඒ අවිද්‍යාව නූපදී. මහණෙනි, මේ අවිද්‍යායොගයෙන් විසංයෝග යි කියනු ලැබේ. (කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය, දෘෂ්ටියෝගවිසංයෝගය, අවිද්‍යායෝගවිසංයෝගය මෙසේ යි.)
කිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත, දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන, ලාමක අකුසල් දහමින් වෙන් වූයේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ යි.
26. කාමයොගයෙන් සංයුක්ත වූත්, භවයොගයෙන් සංයුක්ත වූත්, මෙසේ උභයභාගයෙන් හෝ සංයුක්ත වූත්, දෘෂ්ටියොගයෙන් සංයුක්ත වූත්, අවිද්‍යායෙන් පෙරටු කරණ ලද්දා වූත්, ජාතිජරාමරණ කරා යන සුලු සත්හු සසරට වදිත්.
27. යම් කෙනෙක් දෙවැදෑරුම් කාමයන් පිරිසිඳ දැන සර්‍වප්‍රකාරයෙන් භවයොගයත් දැන දෘෂ්ටියෝගය සිඳපියා අවිද්‍යාවත් හැරපියා සර්‍වයෝගයන් කෙරෙන් විසංයුක්ත වූහු ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු ඒකාන්තයෙන් කාමාදීයොගයන් පැන ගියාහු යි.
භණ්ඩගාමවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
අනුබද්ධය, පපතිතය, ඛත දෙක ය, පස්වැනි අනුසෝතය, අප්පසුතය, සෝභෙන්තිය, වෙසාරජ්ජය, තණ්හාය, යෝගය යන මෙයින් ඒ සූත්‍රයෝ දස දෙනෙකි.
2. චර වර්‍ගය
4. 1. 2. 1.
[චරන්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, ඇවිදුනා මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු ඇවිදුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යයි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේ ය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු සිටුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හිඳුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු හිඳුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, නිදිවරණ හෝනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු නිදිවරණ හෝනා වූ ද මහණ “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, ඇවිදුනාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු ඇවිදුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු සිටුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, නිදිවරණ හෝනා වූත් මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසා විතර්‍කයෙක් හෝ උපදනේය. මහණ තෙමේ ඒ විතර්‍කය ද සිත්හි නගා නො වසවයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාදයට භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.
28. යම් මහණෙක් ඇවිදුනේ හෝ වැලිත් සිටුනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ හෝ ක්ලේශනිඃශ්‍රිත ලාමක විතර්‍ක විතර්‍කනය කෙරේ ද,
29. උන්මාර්‍ගයට වැදුනු මෝහජනක අරමුණෙහි මුසපත් එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට අභව්‍යය.
30. යම් මහණෙක් ඇවිදුනේ හෝ සිටුනේ හෝ නොහොත් හුන්නේ හෝ හෝනේ හෝ විතර්‍කව්‍යුපශමයෙහි ඇලුනේ කාමාදි විතර්‍ක ශමනය කොට වෙසේ ද, එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට භව්‍ය ය.
4. 1. 2. 2.
[ශීල සූත්‍රය]
12. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගෝචර දෙකින් යුක්ත ව වසව. අණුප්‍රමාණ වූ ද දෝෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකින් යුක්ත ව අණුප්‍රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්:
මහණෙනි, ඇවිදුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, රුකුළු වැර අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාද භය ඇති, හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ඇවිදුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, සිටුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, ආරබ්ධවීර්‍ය්‍යය අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ සිටුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූත් මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාදභය ඇති හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හුන්නාවූත් ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ״ යි කියනු ලැබේ.
මහණෙනි, හෝනාවූත් නිදිවරණ මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟවූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාදභය ඇති නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.
31. මහණ, සංයත කොට ගෙණ හැසිරෙන්නේ ය. සංයත කොට ගෙණ සිටුනේ ය. සංයත කොට ගෙන හිඳුනේ ය. සංයත කොට ගෙණ හෝනේ ය. සංයත කොට ගෙණ අත්පා හකුළන්නේ ය. සංයත කොට ගෙණ ම ඒ අඟ පසඟ දිගු කරන්නේය.
32. (යම් මහණෙක්) උඩ මැද යට යි ලෝක නිෂ්පත්තිය තෙක් (අතීතාදි භේද භින්න) පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ගේ උදය - වය දක්නේ වේ ද,
33. චිත්තශමථයට අනුච්ඡවික පටිපදාව පුරණ සියලු කල්හි ස්මෘතිමත් එබඳු ඒ මහණ නරතුරු ශමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තෙකැ යි කියත්.
4. 1. 2. 3.
[පධාන සූත්‍රය]
13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස බොහෝ බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
34. සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍ය ඇති සසරවට නමැති මාරධෙය්‍යය මැඩ ගෙණ සිටුනා ඒ රහත්හු අනිඃශ්‍රිතයහ ජාතිමරණ සඞ්ඛ්‍යාත භීතියගේ කෙළ පැමිණියාහු ය. ඒ රහත්හු තුෂ්ටයහ. සේනා සහිත මරහු දිනා සිටියහ. ඒ රහත්හු තෘෂ්ණා නැතියහ. මුළු මරබල විධමා සිටියහ. (එහෙයින් ම) ඒ රහත්හු සුඛිතයෝ යි.
4. 1. 2. 4.
[සංවරප්පධාන සූත්‍රය]
14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි.
මහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... දිවින් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙණ වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, සිතින් එබඳු ධර්‍මාලම්බනයක් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ මනින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ ‘සංවරප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, පහාණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මේ ‘පහාණප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, භාවනාප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ (අධිගන්තව්‍යවශයෙන්) විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට (ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දයයි කියන ලද) වොස්සග්ගයට පරිණාමශීල කොට ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට වොස්සග්ගයට පරිණාමශීල කොට උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. මහණෙනි, මේ ‘භාවනාප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, අනුරක්ඛණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කල්‍යාණ වූ සමාධිනිමිත්ත රක්නේ ය. අට්ඨිකසඤ්ඤාය, පුලවකසඤ්ඤාය, විනීලකසඤ්ඤාය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤාය, උද්ධුමාතකසඤ්ඤාය යන මේ ය. මහණෙනි, මේ ‘අනුරක්ඛණප්පධාන’ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
36. මෙසස්නෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති මහණ යම් වීර්‍ය්‍ය කෙනෙකුන් කරණ කොට ගෙණ දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණේ ද, එබඳු වූ සංවරය, පහාණය, භාවනාය, අනුරක්ඛණය යන මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදහ.
4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්ති සූත්‍රය]
15. මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්‍ද්‍රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, කාමභෝගීන් අතුරෙන් යම් මේ මාන්‍ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර අග්‍රප්‍රඥප්තීහු යි.
37. ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්‍ර වේ. කාමභෝගීන් අතුරෙන් මාන්‍ධාතෘ සක්විති රජ අග්‍ර වේ. ආධිපත්‍ය කරණුවන්, දිව්‍ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්‍යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මරදෙව්පිත් අග්‍ර වේ.
38. උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
4. 1. 2. 6.
[සොඛුම්ම සූත්‍රය]
16. මහණෙනි, මේ සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් රූපසූක්‍ෂමත්‍වයක් නො දක්නේ ය. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන් රූපසූක්‍ෂමත්‍වයක් නො පතයි.
වේදනායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ වේදනායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ වේදනාසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො පතයි.
සංඥායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංඥායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංඥාසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො පතයි.
සංස්කාරයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංස්කාරයෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංස්කාරසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො පතයි.
මහණෙනි, මේ සතර සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ ය.
39. රූපස්කන්‍ධයාගේ සූක්‍ෂමභාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය ද දැන, යම් කරුණින් සංඥාස්කන්‍ධය උදා වේ ද එ ද දැන, යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද එද දැන,
40. සංස්කාරයන් අනිත්‍යතායෙන් පරවශයෙන් දැන, දුක් විසින් දැන, අනාත්ම විසින් දැන සිටුනා, මොනවට පස්කඳ දක්නා, සන්හුන් කෙලෙස් ඇති වන බැවින් ශාන්ත වූ, එහෙයින් ම ශාන්තිපද සඞ්ඛ්‍යාත නිවණෙහි ඇලුනු, ඒ මහණ ඒකාන්තයෙන් සෙන් සියෝ මරදෙවිපිත් දිනා අන්තිම දේහය දරයි.
4. 1. 2. 7.
[අගති සූත්‍රය]
17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඡන්‍දෙයන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය.
41. ඡන්‍දෙයනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.
4. 1. 2. 8.
[නාගති සූත්‍රය]
18. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
42. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද, ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
4. 1. 2. 9.
[අගතිනාගති සූත්‍රය]
19. මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි.
මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි.
මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
43. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවරපස සඳු මෙනි.
44. ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
4. 1. 2. 10.
[භත්තුද්දෙසක සූත්‍රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්: