තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි ... එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 20.
[මහණෙනි, දහම් තුණෙකින් ...]
තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කම්මපථපෙය්‍යාලය නිමි.*
[8. රාගපෙය්‍යාලය]
3. 8. 1-170.
මහණෙනි, රාගයාගේ අභිඥානය (වෙසෙසින් දැනීම) පිණිස දහම්හු තුන් දෙනෙක් වැඩිය යුත්තාහ.
කවර තුන් දෙනෙක යත්:
සුඤ්ඤතසමාධිය, අනිමිත්තසමාධිය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, රාගයාගේ වෙසෙසින් දැනීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - දුරලීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස - පරිඥානය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - නෙරනා පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට ගෙණ සතුටුවූහු.
රාගපෙය්‍යාලය නිමි. {*}
තිකනිපාත යි.
ඒකකනිපාත - දුකනිපාත - තිකනිපතයෝ සමාප්තයහ.
[උද්දාන ගාථා]
1. ඤාණසමනුපස්සනායෙන් දක්නා හෙයින් පරමවිශුද්ධදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ විසින් පවර අඞ්ගුත්තරනිකායෙහි ලා නිපාතයෝ එකොළොස් දෙනෙක් වදාරණ ලදහ. ආදිය පටන් කොට ඒ නිපාතයන් උදාන ගාථා විසින් අසව:
[ඒකකනිපාතය]
2. ස්ත්‍රීරූපය, පුරුෂරූපය, පඤ්චනීවරණසූත්‍රයෝය, අකම්මනියාදී පසය, අදන්තවිශේෂණය පටන් කොට චිත්තසූත්‍ර පසය. (මෙහි ප්‍රථම වර්‍ගයෙහි ස්ත්‍රීරූපාදී පසෙක, පුරුෂරූපාදී පසෙක යි සූත්‍ර දසයෙක, ද්වීතීයවර්‍ගයෙහි පංචනීවරණයන්ගේ උත්පාද අනුත්පාද භේදයෙන් සූත්‍ර දසයෙක, තෘතීයවර්‍ගයෙහි චිත්තයාගේ අකර්‍මණ්‍යාදි භේදයෙන් සූත්‍ර දසයෙක, චතුර්‍ත්‍ථවර්‍ගයෙහි චිත්තයාගේ අදාන්තාදී භේදයෙන් සූත්‍ර දසයෙක යි මේ හැම සමසතලිසෙක.)
3-4. සූක, පදුට්ට, රහද, ඵන්‍දන, ලාහු පරිවත්ත, පභසසර සූත්‍රයෝ ය. ආසේවති - භාවෙති - මනසිකරෝති යී තුන් සූත්‍රයෝ ය. ‘අකුසලභාගියා - කුසලභාගියා’යි ‘භාගී’ භාගයෙන් ගත් අන්‍ය සූත්‍රයෝ දෙදෙනෙක. ‘උප්පජ්ජන්ති’ ‘පරිහානි’ ‘අතත්තාය - අසම්මෝසාය’ යන පද භේදයෙන් ගත් සූත්‍රයෝ ය. පර්‍ය්‍යවසානසූත්‍රයෙහි එන ‘අනුයෝගෝ අකුසලානං’ යනාදි තෙල සතර මුඛයෝ චතුකෝටි නම් වෙති. ඔහු ‘නාහන් භික්ඛවේ’ යනාදි හැම සූත්‍රයෙහි නම් විසින් වැටෙති.
(මෙහි දසවන වර්‍ගයෙහි දෙතිස්වන සූත්‍රය අවසන් කොට හැම සූත්‍ර පැවසිනි. ‘පභස්සර’ සූත්‍රයෝ නම්: පස්වන සවන දෙවර්‍ගයෙහි අග හා මුල හා එන සතර සූත්‍රයෝ යි. ‘උප්පජ්ජන්ති’ යන ක්‍රියායෙන් ගත් සූත්‍රයෝ නම්: සවන වර්‍ගයෙහි අටවන සූත්‍රය පටන් කොට අටවන වර්‍ගයෙහි පස්වන සූත්‍රය අවසන් කොට එන සූත්‍රයෝ ය. අටවන වර්‍ගයෙහි සවන සූත්‍රය පටන් කොට පරිහාණි සූත්‍ර කියත් ම ව්‍යතිරේක වශයෙන් වුද්ධිසූත්‍රයෝත් සඞ්ගෘහීත වෙත්නු යි ඔහු එහි ම ඇතුළත් වෙති. ‘අනත්‍ථාය - අසම්මෝසාය’ යන පදභේදයෙන් ගත් සූත්‍ර රාශියෙහි දු ව්‍යතිරේකපක්‍ෂය ඇතුළත් වේ. “අනුයෝගො අකුසලානං, අනනුයොගො කුසලානං, අනුයෝගො කුසලානං, අනනුයොගො අකුසලානං” යන සතර කෙලෙක් පර්‍ය්‍යවසාන සූත්‍රයෙහි ඇත. එයින් ‘චතුකෝටි’ නමි. “නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි” යනාදි මුල කියූ සූත්‍රජාතය හැම ම එනමින් ගත් සේ කීහ. එයින් ම ඒ චතුකෝටිය සර්‍වවර්‍තතී වෙයි.)
5. ‘අධම්ම - අවිනය’ දෙපදයෙන් එන සූත්‍ර ය, ‘භාසිත - ආචිණ්න’ දෙපදයෙනුදු පස්වන ‘පඤ්ඤත්ත’ පදයෙනුදු ගත් සූත්‍රය. ‘ආපත්ති - ලහුක - දුට්ඨුල්ල’ යන පදභේදයෙන් ගත් සූත්‍ර ය. ‘සාවසේස - අනවසේස’ ආදී ක්‍රමයෙන් වෙන් කොට ගත් සූත්‍ර ය.
6. (තෙළෙස්වන වර්‍ගයෙහි මුල) ‘පුග්ගල’ පදයෙන් යුත් සූත්‍ර ය. (එහි අග) ‘සාරිපුත්ත’ පදයෙන් ගත් සූත්‍ර ය. එසෙයින්ම ‘ඒතදග්ග’ පාළියෙහි එන සූත්‍ර ය. අට්ඨානපාළි සූත්‍ර ය, ‘නිබ්බිදාය - සම්බෝධාය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘අනුප්පන්න - කුසල’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. (මෙහි ද අනුප්පන්න අකුසල’ ආදී ව්‍යතිරේක පක්‍ෂය ද ඇතුළති)
7. ‘මිච්ඡාදිට්ඨි පවඩ්ඪති’ ‘යේනේවං සත්තා’ ‘අසද්ධම්මා වුට්ඨාපෙත්‍වා’ යන ආදී පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘මහාසාවජ්ජං’ යන මෙහිදු ‘ඛිපං ඔඩෙඩය්‍ය’ යන මෙහිදු ‘සාවජ්ජං, ඛිපං’ යන දෙපෙදෙන් බිඳි සූත්‍ර දෙක ය. ‘දුරක්ඛාතෙ’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. එහිදු ‘යඤ්ච සමාදපේති’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
8. ‘මනුස්සෙසු’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘මජ්ඣිමෙසු’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘පඤ්ඤාවන්තො’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘අරියෙන පඤ්ඤා - චක්ඛුනා’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. (තථාගතං දස්සනාය - ධම්මවිනයං සවණාය - ධම්මං ධාරෙන්ති යන) දර්‍ශන ශ්‍රවණධාරණයෙන් වෙන් කළ සූත්‍ර ය. (අත්‍ථං උපපරික්ඛන්ති - අත්‍ථමඤ්ඤාය මෙහි) උපපරික්ඛණයෙන් බිඳි සූත්‍රය හා ‘අත්‍ථමඤ්ඤාය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
9. ‘සංවිජ්ජන්ති’ මෙහි සංවේගයෙන් බිඳි සූත්‍ර ය. ‘යේ සංවිග්ගා’ යන ‘සංවිග්ග’ පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘වවස්සග්ගාරම්මණං’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘යේ අන්නග්ගරසග්ගානං’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘යේ අත්‍ථරසස්ස’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
10. ‘මනුස්සා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘දේවා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘නිරයා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘තිරච්ජානයෝනියා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය. ‘පෙත්තිවිසයා චුතා’ මෙයින් බිඳි දෙසූත්‍ර ය යන මේ සූත්‍ර “සෙය්‍යථාපි ... ජම්බුදීපෙ” ආදීන් වදාළ කරුණු හා සසඳා ගන්නේය.
11. ‘අරඤ්ඤෙ - පිණ්ඩපාත - පාංසුකුල - ධම්මකථික - විනය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘බාහුසච්චං ථාවරෙය්‍යං’ යි දෙ පෙදෙන් ගත් දෙසූත්‍ර ය, ‘ආකප්පසම්පන්න පරිවාරසම්පන්න’ යි ‘සම්පන්න’ යන පෙදෙන් බිඳි සූත්‍රයෝ දෙදෙනෙක.
12. ‘පරිවාර - ඣාන - මෙත්තා’ යන පෙදෙන් බිඳි සූත්‍රය. උත්‍ථානය වදාළ සූත්‍රය හා ‘ඡන්‍දසමාධිපධාන ... යි ‘පධාන’ පෙදෙන් බිඳි සූත්‍ර හා ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣඞ්ග සූත්‍ර ය . ‘සම්මාදිට්ඨිං භාවෙති’ ආදී මාර්‍ග සූත්‍ර ය. ‘තානි අභිභුය්‍ය’ ආදීන් වදාළ ‘අභිභායතන’ සූත්‍ර ය. විමොක්ඛසූත්‍ර හා ‘ආපොකසිණා’ දී කසිණ සූත්‍ර ය.
13.සඤ්ඤාසූත්‍රයෝ දෙවර්‍ගයෙක. ‘බුද්ධානුස්සුති’ ආදී අනුස්සති සූත්‍ර ය. ‘මෙත්තාසහගතං’ යනාදි සහගත සූත්‍ර හා වර්‍ගය යොදා ගන්නේය. මේ අච්ඡරාසඞ්ඝාත වර්‍ගය යි. ‘මහාසමුදෝ - සංවේගාය - පස්සම්භති - අකුසලාධම්මා - කුසලා ධම්මා’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය.
14-16. ‘අවිජ්ජා’ පෙදෙන් බිඳි සූත්‍ර ය, ‘පඤ්ඤාපභේදාය’ පෙදෙන් බිඳි සූත්‍ර ය, ‘අනේකධාතුපටිවේධො’ පෙදෙන් බිඳි සූත්‍ර ය, මේ සියුපිළිසැඹියා කී සූත්‍ර යි. ‘සෝතාපත්තිඵලසච්ඡිකිරියාය’ ආදීන් වදාළ ‘ඵල’ පදයෙන් බිඳි සූත්‍ර ය. ‘පඤ්ඤාපටිලාභාය’ ආදීන් වදාළ ‘පටිලාභ - වුද්ධි - වේපුල්ල - මහා - පුථු - විපුල - ගම්භීර - අසාමන්තා - භූරි - බාහුල්ල - සීඝ - ලහු - භාසු - ජවන - තික්ඛ - නිබ්බේධික’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘න පරිභුඤ්ජන්ති - අපරිභුත්තං - පරිහීනං - විරද්ධං - තෙ ..පමාදීංසු’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය. ‘අනාසේවිතං - අභාවිතං - අබහුලීකතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය. ‘අනභිඤ්ඤාතං - අපරිඤ්ඤාතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍රය. නැවත “අසවච්ඡිකතං’ යන පෙදෙන් (අන්‍වය ව්‍යතිරේක වශයෙන්) බිඳි සූත්‍ර ය.
ප්‍රථමනිපාත යි
[දුකනිපාතය]
[මෙහි සූත්‍ර සඞ්ඛ්‍යා පෙළෙහි එන සෙයිනැ යි දතයුතු.]
1. (ප්‍රථම වර්‍ගයෙහි) වජ්ජ, පධාන, තපනීය - අතපනීය දෙකය, පස්වන උපඤ්ඤාත, සඤ්ඤෝජනීය, කණ්හ, සුක්ක, චරියා, වස්සූපනායිකාය යි සූත්‍ර (දසයෙකි.)
2. (ද්වීතීයවර්‍ගයෙහි) බල, බොජ්ඣඞ්ග, ඣාන, ධම්මදේසනා, අධිකරණ, අධම්මචරියා, අකතත්තා, ඒකංස, අකුසල හා යළි සම්මෝස යි සූත්‍ර (දසයෙකි.)
3. (තෘතීය වර්‍ගයෙහි) බාල, දුට්ඨ, අභාසිත, හා නෙය්‍යත්‍ථ දෙකය, පටිච්ජන්නකම්මන්ත, මිච්ඡාදිට්ඨික, සම්මාදිට්ඨික, දුස්සීල, අරඤ්ඤ, විජ්ජාභාගියයයෙනැ යි සූත්‍ර (එකොළොසෙකි)
4. (චතුර්‍ත්‍ථවර්‍ගයෙහි) භූමි, දුප්පතිකාර, කිංවාදී, දක්ඛිණෙය්‍ය, සඤ්ඤෝජන - සමචිත්ත, චරණ, කච්චායන, වොර, පටිපත්ති, බ්‍යඤ්ජනපතිරුපක යෙනැ යි සූත්‍ර (දසයෙකි).
5. (පඤ්චමවර්‍ගයෙහි) උත්තාන, වග්ග, අග්ගවතී, අරිය, පරිසකසට, උක්කාවිත, ආමිසගරු, විසමපරිසා, අධම්මිකපරිසා, අධම්මවාදිනී ය යි සූත්‍ර (දසයෙකි.)
6. (ෂෂ්ඨවර්‍ගයෙහි) හිත, අච්ජරියමනුස්ස, ආනුතප්පා, ථුපාරහ - බුද්ධ සූත්‍ර දෙක හා අසනි තුණය, කිමපුරිස, විජායන සූත්‍ර හා සන්නිවාස සූත්‍රයෙක, වචී සංසාර දෙකය යි සූත්‍ර (තෙළෙසකි.)
7. (සප්තමවර්‍ගයෙහි) ගිහීසුඛ, කාමසුඛ, උපධිසුඛ, සාසව, සාමිසසුඛ, අරියසුඛ, කායිකසුඛ, සප්පීතික, සාතසුඛ, සමාධිසුඛ, සප්පීතිකාරම්මණ, සාතාරම්මණ, රූපාරම්මණ යයි (පෙළෙහි සූත්‍ර තෙළෙසකි. මෙහි අග සූත්‍ර තුණ ගාථායෙහි නොදැක්වේ.)
8. (අෂ්ටමවර්‍ගයෙහි) සනිමිත්ත, සනිදාන, සහේතුක, සප්පච්චය, සරූප, සවේදනා, සසඤ්ඤා, සසඞ්ඛාර, සවිඤ්ඤාණ, සඞ්ඛතාරම්මණ, ය යි (පෙළෙහි සූත්‍ර දසයෙකි. සනිමිත්ත, ගාථායෙහි නැත.)
9. (නවමවර්‍ගයෙහි) චේතෝවිමුක්ති, පග්ගහ, නාමරූප, විජ්ජාවිමුත්ති, දිට්ඨි, අහිරික, හිරි, දෝවචස්ස, සෝවචස්ස, ධාතුකුසලතා, ආපත්තිවුට්ඨාන - කුසලතා යි සූත්‍ර (එකොළොසෙකි.)
10. මෙහි ‘බාල, කප්පිය, ආපත්ති, අධම්ම, විනය’ වචන පසින් බාලපණ්ඩිත සූත්‍ර දශය ද - ‘කුක්කුච්ච, කප්පිය, ආපත්ති, අධම්ම, විනය’ වචන පසින් ආසව සූත්‍ර දශය දැයි දශම වර්‍ගයෙහි පෙළෙහි එන සූත්‍ර විස්ස ගතයුතු.
11. (ඒකාදශවර්‍ගයෙහි) ආසා, පුග්ගල සතරය, රාගපච්චය, දෝසපච්චය, මිච්ඡාදිට්ඨිපච්චය, සම්මාදිට්ඨිපච්චය, ආපත්ති තුණය යි (පෙළෙහි එන සූත්‍ර දොළොසෙකි. ගාථාවෙන් මෙය නොකිය වේ.)
12. (ද්වාදශවර්‍ගයෙහි) ආයාවමාන සතරය, ඛත සූත්‍ර සතය, සචිත්ත - වෝදාන, කෝධූපනාහ, කොධූපනාහවිනය යි සූත්‍ර (තුදුසෙකි.)
13. (ත්‍රයෝදශවර්‍ගයෙහි) දාන, යාග, චාග, පරිච්චාග, භොග, සම්භෝග, සංවිභාග, සඞ්ගහ, අනුග්ගහ, අනුකම්පා යි (පෙළෙහි සූත්‍ර දසයෙකි. දාන යාග දෙක ගාථායෙහි නැත.)
14. (චතුර්‍දශවර්‍ගයෙහි) සත්‍ථාර, පටිසන්‍ථාර, ඒසනා, පරියේසනා, පරියෙට්ඨි, පූජා, ආතිථෙය්‍ය, ඉද්ධි, වුද්ධි, රතන, සන්නිචය, වේපුල්ලයි පෙළෙහි එන (සූත්‍ර දොළොසෙකි. ගාථායෙහි වෙපුල්ලසූත්‍රය නැත.)
15. (පඤ්චදශවර්‍ගයෙහි) සමාපත්තිකුසලතා, අජ්ජව, ඛන්තීසොරච්ච, සාඛල්‍ය, අවිහිංසා, හා ඉන්‍ද්‍රිය සූත්‍ර දෙකය, පටිසඞ්ඛාන, සතිබල, සමථ, විපත්ති, සම්පදා, විසුද්ධි, දිට්ඨි දෙකය, අසන්තුට්ඨි, මුට්ඨසච්ච, සතිසම්පජඤ්ඤ (පෙළෙහි එන සූත්‍ර සතලොසෙකි.) යි. පණ්ණාසකය වේ. (සතිසම්පජඤ්ඤ සූත්‍රය ගාථායෙහි නැත.)
16-17. ධම්ම සූත්‍ර දෙකය, සේඛ්‍ය, සාඨෙය්‍යය, කුසලය, අනවජ්ජය, සුඛුද්‍රය, විපාකය, සබ්‍යාපජ්ඣය, පවාරණ, තජ්ජනීය, නියස්ස, සාරාණීය, උක්ඛේප, පරිවාස, මූලාය, පටිකස්සන, මානත්ත, අබ්භානය යි සූත්‍රසඞ්ග්‍රහය වේ. {*}
ද්විතීය නිපාතයි.
[තිකනිපාතය]
[මෙහි සූත්‍ර සංඛ්‍යා පෙළෙහි එන සෙයිනැයි දත යුතු]
1. භය, ලක්ඛණ, චින්තී, අච්චය, අයෝනිසෝ, අකුසල, සාවජ්ජ, සබ්‍යාපජ්ඣ, ඛත, මල සූත්‍රය යි (ප්‍රථම - බාල වර්‍ගයෙහි) දසයෙක.
2. ඤාතක, සාරාණීය, නිරාස, චක්කවත්ති, පචේතන, අපණ්ණක, අත්තව්‍යාබාධ, දේවලෝක, පාඨමපාපණික හා දුතීයපාපණික හා දෙකැ යි සූත්‍ර (ද්විතීය - රථකාර වර්‍ගයෙහි) දසයෙක.
3. කායසක්ඛි, ගිලාන, සඞ්ඛාර, බහුකාර, අරුකූපම, අසේවිතබ්බ, ජිගුච්ඡිතබ්බ, පුප්ඵභාණී, අන්‍ධ, අවකුජ්ජ සූත්‍රය යි (තෘතීය - පුග්ගල වර්‍ගයෙහි) දසයෙක.
4. සබ්‍රහ්මක, ආනන්‍ද, සාරිපුත්ත, නිදාන, ආළවි, දේවදූත, චතුමහාරාජ, සක්කදේවරාජ, සුඛුමාල, ආධිපතෙය්‍ය, සූත්‍ර ය යි (චතුර්‍ත්‍ථ - දේවදූත වර්‍ගයෙහි) දසයෙක.
5. සම්මුඛීභාව, ඨාන, අත්‍ථවස, කථා, පණ්ඩිත, සීලවා, සඞ්ඛත, අසඞ්ඛත, පබ්බතරාජ, ආතප්ප, මහාචෝර යි සූත්‍ර (පංචම - චුල වර්‍ගයෙහි) එකොලොසකි.
6. ජිණ්ණබ්‍රාහ්මණ දෙකය, බ්‍රාහ්මණ, පරිබ්බාජක, නිබ්බාන, මහාසාල, වච්ඡගොත්ත, තිකණ්ණ, ජානුස්සෝණි, සඞ්ගාරව යි සූත්‍ර (ෂෂ්ඨ - බ්‍රාහ්මණ වර්‍ගයෙහි) දසයෙකි.
7. තිත්‍ථායතන, භය, වේනාගපුර, සරභ, අකුසලමුල, කේසපුත්තිය, සාළ්හ, කථාවත්තු, අඤ්ඤතීත්‍ථිය, උපෝසථ යි සූත්‍ර (සප්තම - මහාවර්‍ගයෙහි) දසයෙක.
8. ඡන්න, ආජීවක, මහානාමසක්ක, නිගණ්ඨ, සමාදපේතබ්බ, භව, චේතනා - පත්‍ථනා, උපට්ඨාන, ගන්‍ධජාත, අභිභූ යි සූත්‍ර (අෂ්ටම - ආනන්‍ද වර්‍ගයෙහි) දසයෙක.
9. සමණ, ගද්‍රභ, ඛෙත්ත, වජ්ජිපුත්ත, සේඛ, සික්ඛාපද තුණ, සික්ඛාත්තය දෙකය, පඞ්කධා සූත්‍ර යි (නවමශ්‍රමණ වර්‍ගයෙහි) එකොලොසෙක. (මෙහි සමණ සූත්‍රය 8 වන ගාථායෙහි සඳහන් වෙයි.)
10. අච්චායික, පවිවේක, සරද, අග්ගවතීපරිසා, ආජානීය තුණය, පොත්‍ථක, ලෝණඵල, පංසුධෝවක, සුවණ්ණකාර සූත්‍රයෙන් පණ්ණාසකය වේ. (දශම - ලෝණඵල වර්‍ගයෙහි) එකොළොසෙකි. (සරද, ගාථායෙහි නැත)
11. පුබ්බේවසම්බෝධ, පරියේසන, අස්සාද, සමණබ්‍රාහ්මණ, රුණ්ණ, අතිත්ති, අරක්ඛිත, බ්‍යාපන්න, නිදාන දෙක යි සූත්‍ර (ඒකාදශ - සම්බෝධි වර්‍ගයෙහි) දසයෙකි.
12. ආපායික, දුල්ලභ, අප්පමෙය්‍ය, ආනෙඤ්ජායතන, විපත්තිසම්පදා, අපණ්ණක, කම්මන්ත, සෝවෙය්‍ය දෙක ය, මෝනෙය්‍ය යි සූත්‍ර (ද්වාදශ ආපායික වර්‍ගයෙහි) දසයෙක.
13. කුසිනාර, භාණ්ඩන, ගෝතමචේතිය, භරණ්ඩුකාලාම, හත්‍ථක, කටුවිය, අනුරුද්ධ සූත්‍ර දෙකය, පටිච්ඡන්න, පාසානලේඛ, යි සූත්‍ර (ත්‍රයොදශ - භාරන්ඩු වර්‍ගයෙහි) දසයෙක.
14. යෝධාජීව, පරිසා, මිත්ත, උප්පාදා, කේසකම්බල, සම්පාදා, වුද්ධි, අස්සඛලුඞ්ඛ, අස්සසදස්ස, අස්සාජානීය, මොරනිවාප තුණ යි සූත්‍ර (චතුදර්‍ශ - යෝධාජීව වර්‍ගයෙහි) තෙලෙසක.
15. අකුසල, සාවජ්ජ, විසම, අසුචි, ඛත සතරය, වන්‍දනා, පුබ්බනහ යි සූත්‍ර (පඤ්චදශ - මංගල වර්‍ගයෙහි) දසයෙක.
තෘතීය නිපාත යි.
සූත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරසඟිය
ද්විතීය භාගය
4. චතුක්ක නිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. භණ්ඩගාම වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
4. 1. 1. 1.
[අනුබුද්ධ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩගාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යී භික්‍ෂූන් ඇමැතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
මහණෙනි, ධර්‍ම සතර දෙනෙකු අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් (භවයෙන් භවයට ගමන වශයෙන්) දුවන ලදී. (පුන පුනා යාම් ඊම් විසින්) ඇවිදුනා ලදී. නොහොත් මා හා තොපගේ සන්‍ධාවන සංසරණ වී. කවර සතර දෙනෙකුය යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලය අවබෝධ නොකිරීමෙන් පසක් නො කිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ සමාධිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, නිර්දෝෂ විමුක්තිය අවබෝධ නොකිරීමෙන් පසක් නොකිරීමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ දීර්‍ඝකාලයෙක් දුවන ලදී. ඇවිදුනා ලදී.
මහණෙනි, ඒ ආර්‍ය්‍යශීලය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යසමාධිය අවබෝධ කරණ ලදී. පසක් කරණ ලදි. ඒ ආර්‍ය්‍යප්‍රඥාව අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. ඒ ආර්‍ය්‍යවිමුක්තිය අවබෝධ කරණ ලදු. පසක් කරණ ලදු. භවතෘෂ්ණාව සිඳුනා ලදු. භවනෙත්තිය ක්‍ෂීණ වූවා. දැන් යලි පුනර්‍භවයෙක් නැති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලි ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ ද තෙල දෙගය වදාළ සේක:
1. යශස්වී වූ ගෞතමයන් වහන්සේ විසින් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත) ශීලය සමාධිය ප්‍රඥාය ලෝකෝත්තර වූ විමුක්තිඵලය යන මේ දහම්හු අවබෝධ කරන ලදහ.
2. මෙසේ බුදුහු විශිෂ්ටඥානයෙන් දැන භික්‍ෂූන්ට දහම් දෙසූ සේක. වටදුක් කෙළවර කොට සිටි පසැස් ඇති ශාස්තෲන් වහන්සේ (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි සේක.
4. 1. 1. 2.
[පපතිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සතර කරුණෙකින් අසමන්‍වාගත පුද්ගල මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත නොවූයේ මෙසස්නෙන් ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පුද්ගල මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ. කවර සතර කරුණෙන යත්: