මහණෙනි මොහු තුන් වැදෑරුම් ශුචිභාවයෝ යි.
3. 3. 2. 9.
19. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමානවූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’යි දනී. යම් පරිදි නූපන් කාමච්ඡන්‍දයාගේ උත්පාදයෙක් වේ ද, එ ද දනී. යම් සෙයෙකින් උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත කාමච්ඡන්‍දයාගේ මතුයෙහි නූපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ව්‍යාපාදයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ව්‍යාපාදයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ථීනමිද්ධයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ථීනමිද්ධයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය’මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය නැතැ’යි දනී. යම් පරිදි නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත උද්ධච්චකුක්කුච්චයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම් පරිදි නූපන් විචිකිච්ඡාවගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත විචිකිච්ඡාවගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි මොහු ශුචිභාවයෝ තුන් දෙනයහ.
1. කායද්වාරයෙහි පවිත්‍ර වූ වාග්ද්වාරයෙහි පවිත්‍ර වූ මනෝද්වාරයෙහි පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ මෙසේ ත්‍රිවිධශෞචයෙන් යුක්ත වූ ක්ලේශාභාවයෙන් පවිත්‍ර වූ මහණ ධෞතපාපය යි කියත්.
3. 3. 2. 10.
20. මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනෝද්වාරයෙහි මුනිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වෙසෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි මුනිභාව යි කියනු ලැබේ.
මහණෙනි, මොහු තුන් මුනිභාවයෝ යි.
2. කායද්වාරයෙන් පවිත්‍ර වූ වාග්ද්වාරයෙන් පවිත්‍ර වූ මනෝද්වාරයෙන් පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ එයින් ම මුනිභාවයෙන් යුක්ත වූ රහත් මුනිහු සියලු පව් පැහුවකු කොට කියත්.
දෙවන ආපායික වර්‍ගය යි.
[3. භරණ්ඩු වර්‍ගය]
3. 3. 3. 1.
[කුසිනාරානිදාන යි]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා මොනොවට සතපනේය. මොනොවට පවරවනේය” කියා යි මෙසේ ද ඔහුට සිතෙක් වෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහිදු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරවා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත වූයේ මූර්ඡිතවූයේ තෘෂ්ණා විසින් ගිලගත්තේ ආදීනව නො දක්නා සුල්ලේ නිස්සරණප්‍රඥා නැත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵලය යි නො කියමි. ඒ කවරහෙයින යත්: මහණෙනි, ඒ මහණ පමාවූයේ වෙසේ. එහෙයිනි.
මහණෙනි, මෙසස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවසට බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමති වන මහණ ඉවසයි. ඒ මහණ ඒ රැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරවයි. ඔහුට මෙබඳු සිතෙක් නොවෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපනේය. මොනොවට පවරවනේය” කියා යි. ඔහුට මෙබඳු සිතෙක් ද නොවෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහි දු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නොවූයේ මූර්ඡිත නොවූයේ නොගිලගත්තේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි නිෂ්කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵල ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ අප්‍රමාද විහරණ ඇතියේ වෙසෙයි.
3. 3. 3. 2.
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළෙමින් වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කෙරෙති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නොකරන්නාහු ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කරනු කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ කරුණු තුණ හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: නිෂ්කාමතාවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නො කරන්නාහු, ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසු වේ. මෙනෙහි කරනු කැලම පහසු වේ. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
3. 3. 3. 3.
[විසාලානිදාන යි]
23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්‍මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.
3. 3. 3. 4.
[කිඹුල්වත්නිදාන යි:]
24. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරණ සේක් කිඹුල්වත් නුවර කරා වැඩිසේක්. මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩිසේක් ල යි ඇසී ය. එක්බිති මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි මහානාම සැහැරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහානාමය, යව, අද එකරැයක් අපි යම් තැනෙක වසමෝ ද කිඹුල්වතෙහි එබඳු ආවස්ථයක් දන යි. වහන්ස, එසේය යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිණකොට කිඹුල්වතට වැද මුළු කිඹුල්වත ඔබමොබ ඇවිදුනේ භාග්‍යවතුන් වහන්සේ යම් ආවස්ථයෙක් එක රැයක් වසන සේක් ද එබඳු ආවස්ථයක් කිඹුල්වතෙහි නො දිට.
එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක එක්රැයක් වසනසේක් ද, එබඳු ආවස්ථයෙක් කිඹුල්වතෙහි නැත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පැරණි සබ්‍රම්සරයා භරණ්ඩුකාලාම තව්සා ඇත. භාග්‍යවතුන් වහන්සේ අද ඔහුගේ අසපුවෙහි එක් රැයක් වසන සේක්වා.
මහානාමය, යව පසතරණක් පන්ව යි. “වහන්ස, එසේය” යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භරණ්ඩුකාලාම තව්සාගේ අසපුවට එළඹියේය. එළඹ පසතරණක් පන්වා පා දෝනට දිය එළවා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය.
වහන්ස, පසතරණ ඇතිරින. පාදෝනට දිය එළවා තැබින. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යම් කිසෙක් ඇද්ද, එයට කල් දන්නේ මැනැවැයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ භරණ්ඩුකාලාමයාගේ අසපුවට වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූ සේක.
එක්බිති මහානාම ශාක්‍යයාහට තෙල සිත් වීය: දැන් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනයට අකාලය. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තයහ. “දැන් මම හෙට භාග්‍යවතුන් වහන්සේ උපාසනය කරමි” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
එක්බිති මහානාම ශාක්‍ය ඒ රැය ඉක්මෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍යරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲහු තුන් දෙනෙක් විද්‍යාමානයහ.
කවර තුන් දෙනෙක යත්:
මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ප්‍රහාණය නො පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ද ප්‍රහාණය පණවත්. මහානාමය, මේ ශාස්තෲහු තුන් දෙනා ලෝකයෙහි විද්‍යාමානයහ.
මහානාමය, මේ තුන් ශාස්තෘවරුන්ගේ නිෂ්ඨාව එකෙක් වේ ද? නොහොත් බොහෝ නිෂ්ඨාවෝ ඇත්ද?
මෙසේ වදාළ කල්හි භරණ්ඩුකාලාම තවුස් මහානාම ශාක්‍යයාට තෙල කිය: “මහානාමය, එකැයි කියව” යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.
දෙවන වටත් ... තුන් වන වටත් භරණ්ඩුකාලාම තව්සා මහානාම ශාක්‍යායාට තෙල කීය. “මහානාම, එකැ යි කියවයි.” තුන්වන වටත් භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.
එක්බිති භරණ්ඩුකාලාම තව්සාට මෙසිත් විය: “මහේශාඛ්‍ය මහානාම ශාක්‍යරජුගේ හමියෙහි දී මහණ ගොයුම්හු විසින් තුන්වන වට තෙක් ගරහන ලදුයෙමි. මම කිඹුල්වතින් පැනයෙම් නම් මැනැවැ”යි.
එක්බිති භරණ්ඩුකාලාම තව්සා කිඹුල්වතින් නික්මින. කිඹුල්වතින් යම් සැටියෙකින් පැන ගියේ ද, එසැටියෙන් ගියේ ම විය. වටාලා නො පැමිණියේ ය.
3. 3. 3. 5.
[සැවැත්නිදාන යි]
25. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුඅරම්හි වැඩවසන සේක. එසඳ හත්‍ථක දෙව්පුත් ඉකල් රැය අභිකාන්තචඡ්විවර්‍ණ ඇත්තේ සම්පූර්‍ණ ජේතවනය වටා බුබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ‘එළඹ භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළයි. වැතිරීම් කෙරෙයි. නො සිටියහෙයි. සර්පිස් බින්‍දු හෝ තෛලබින්‍දු හෝ සියුම් වැලි මඬෙක ඉස්නා ලදුයේ ගළනේ වතුරුනේ වේ ද, නො සිටුනේ වේ ද, එපරිදි ම හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළනා හා වරුතුනා හා කෙරෙයි. සිටුනට නොහැකි වෙයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක දෙව්පුත්හට තෙල වදාළහ: හත්‍ථකය, ඕළාරික ආත්මභාවයක් මවාලව යි.
වහන්ස, එසේය යි හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඕළාරික ආත්මභාවයක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ සක සා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි හත්‍ථක දෙව්පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
හත්‍ථකය, පෙර මනුෂ්‍ය වූ තොපට යම් ඒ දහම්හු (හැදෑරීමෙන්) වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හු තොපට දැනුත් වණපොත්ව වැටෙත් ද?.
වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හුත් දැන් මට වණපොත්ව වැටෙති. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව නොවැටුනාහුද ඒ දහම්හුත් දැන් මට වණපොත්ව ඇත. වහන්ස, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්‍ය, තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් ආකීර්‍ණව වසනසේක් ද, වහන්ස, එපරිදි ම මමත් දේවපුත්‍රයන් විසින් ආකීර්‍ණව වෙසෙමි. වහන්ස, දුරසිට දු “හත්‍ථක දේවපුත්‍රයා වෙත දහම් අසම්හ” යි දෙව්පුත්හු එති. වහන්ස, මම දහම් තුණක් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නො වූයෙම් කලුරිය කෙළෙමි.
කවර කරුණු තුණක් පිළිබඳවය යත්:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සද්ධර්‍මශ්‍රවණයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සඞ්ඝෝපස්ථානයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි. වහන්ස, මම මේ තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි.
3. මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිළිබඳව කිසිදු කලෙක තෘප්තියට නොගියෙමි. සඟුන් වටනට සද්ධර්‍මශ්‍රවණයට තෘප්ත නොවීමි.
4. දශශීලයෙහි හික්මෙන්නෙම් සද්ධර්‍මශ්‍රවණයෙහි ඇළුනෙම් තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් හත්‍ථක නම් මම අවිහ බඹලොවට ගියෙමි.
3. 3. 3. 6.
[බරණැස්නිදාන යි]
26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්‍රඥාන රහිත, සමාහිත නොවූ, විභ්‍රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:
මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ.
එක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණියේය. එක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළකුනු සේක් භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිඬු පිණිස පිවිසිනිමි. මහණෙනි, මම ගෝයෝගපලක්‍ෂ මූලයෙහි දී පිඬු පිණිස හැසිරෙන්නෙම් ධ්‍යානාභාවයෙන් අල්පාශා ඇති, කාමගුණවශයෙන් බාහිරාශා ඇති, මුළා සිහි ඇත, සම්ප්‍රඥාන නැති, සමාධිත නො වූ, විභ්‍රාන්ත සිත් ඇති, ප්‍රාකෘත ඉන්‍ද්‍රිය ඇති එක්තරා මහණක්හු දිටිමි. දැක ඒ මහණහට තෙල බස කීමි:
“මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව, මහණ, ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහු බැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ” යි කියා යි.
මහණෙනි, එක්බිති ඒ මහණ මා විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණින.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, ‘ඉඳුල’ යනු කිම? ‘ආමගන්‍ධ’ යනු කිම? ‘මැසි’ යනු කිම?
මහණ, අභිධ්‍යාව ඉඳුල. ව්‍යාපාදය ආමගන්‍ධය. පාපක අකුශල විතර්‍කයෝ මැස්සහ. මහණ, ඉඳුල් කළ ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධයෙහි තෙත් වූ ඒ ආත්මය “කෙලෙස්මැස්සන් නැගී ලුහු නො බඳිති යි ලුහු බැඳ නො කති යි” යන තෙල කරුණ ඒකාන්තයෙන් සිදු නොවෙයි.
5. චක්‍ෂුශ්ශ්‍රෝත දෙක්හි කළ ගෝපන නැති, ඉන්‍ද්‍රියයෙහි අසංවෘත වූ මහණහු රාගනිඃශ්‍රිත සංකල්පාඛ්‍යා මක්‍ෂිකාවෝ ලුහු බැඳ ගණිත්.
6. ක්ලේශාඛ්‍ය ආමගන්‍ධයෙහි තෙත් ව සිටුනා එයින් ම ඉඳුල් කළ මහණ නිවණින් විදුර වෙයි. සංසාරදුඃඛයට ම භාගී වෙයි.
7. ගමෙහි වේවයි, නොහොත් වෙනෙහි වේවයි, තමහට සමයක්හු නොලැබ දුෂ්ප්‍රාඥ වූ අඳබල් මහණ කෙලෙස්මැස්සන් විසින් පුරස්කෘත ව යෙයි.
8. යම් මහණහු ශීලසම්පන්න වෙත් ද, ප්‍රඥායෙන් ක්ලේශව්‍යපශමයෙහි නිරත වෙත් ද, උපශාන්ත වූ ඒ මහණහු කෙලෙස්මැස්සන් නසා පියා සුවසේ හොවිත්.
3. 3. 3. 7.
[සැවැත්නිදාන යි]
27. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයෝභාවයෙන් දක්මි.
වහන්ස, කෙතෙක් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද?
අනුරුද්ධය, දහම් තුණෙකින් සමන්‍වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
කවර දහම් තුණෙකින් යත්: