Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 2201-2300 න් 15980

මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වේ. අල්පධන වේ. අල්ප භොග වේ. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු ගන්නා වූ මෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි.
මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නුදුන් තිරෙළුවකු ගන්නා කෙබඳුවකු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වේ ද?
මහණෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහා භෝග වෙයි. රජ හෝ රාජමහාමාත්‍ර හෝ වෙයි. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ මෙබඳු වූ නුදුන් තිරෙළුවකු ගන්නහු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි. ඒකාන්තයෙන් බදැඳිලිව “නිදුකාණෙනි, මාගේ තිරෙළුවා හෝ තිරෙළු ධනය හෝ දෙව” යි ඔහු අතින් ඉල්ලයි.
මහණෙනි, එපරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ, තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බහුවිපාක කිම දෙන්නේ වේ ද?
මහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවා ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි. අභාවිත චිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.
මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. ... ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙ බඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි. (3)
මහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් එය විපාක විසින් විඳුනේමය” යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නො වේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නො පැණේ.
මහණෙනි, “යම් යම් ආකාරයෙකින් වේදනීය කර්‍මයක් මේ පුරුෂ කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ.
3. 2. 5. 10.
51. මහණෙනි, ජාතරූපයා (රන්හු) ගේ පස් හා වැලිය, සකුරු හා කැබිලිති යයි ඕළාරික උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පස්දෝනේ හෝ පස් දෝනහුගේ අතවැසියෙක් හෝ දෙණෙහි විසුරුවා දෝනේය. මොනොවට දෝනේය. නිගෙණ දෝනේය. ඒ උපක්ලේශ ප්‍රහත වත් මැ ඒ උපක්ලේශ වාන්ත කොට ලත්මැ රන්හුගේ සියුම් සකුරුය, දළ වැලිය යි මධ්‍යම සහගතඋපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සලයි. මොනොවට සලයි, පෙළාගෙණ සලයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගත කොට ලත් ම රන්හුගේ සියුම් වැලිය, කළු දැලිය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සෝදයි. මොනොවට සෝදයි, පෙළාගෙණ සෝදයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ බැහැර කොට ලත් ම යලි රන්වැලි ඉතිරි වෙයි. රන්කරු හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කබලෙහි බහා පිඹියි. මොනවට පිඹියි. පෙළාගෙණ පිඹියි. පිඹ මල හළ, මොනවට පිඹ මල හළ, නිගෙණ පිඹ මල හළ, විචාරකොට නොතැබූ, නොහළ කසට ඇති, ඒ රන මෘදුත් නො වෙයි. කර්‍මණ්‍යත් නො වෙයි. ප්‍රභාස්වරත් නො වෙයි. බිඳෙන සුලුත් වෙයි. කර්‍මාන්තයට මොනොවට නො වැදෙයි.
මහණෙනි, යම් හෙයෙකින් ඒ ස්වර්‍ණකාරයා හෝ ස්වර්‍ණකාර අතැවැසියා හෝ ඒ රත පිඹ මල හරනේ ද, මොනොවට පිඹ මල හරනේ ද, නිගෙණ පිඹ මල හරනේ ද, එබඳු කලෙක් වෙයි. පිඹ මල හළ, මොනොවට පිඹ මල හළ, නිගෙණ පිඹ කසකළ මල ඇති, ශුඩ කොට බහා තැබූ, හළ කසට ඇති, ඒ රනෙක් වේ ද, ඒ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. කර්‍මාන්තයට ද මොනොවට වැදෙයි. රන්පටට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීචාලඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිළන්‍ධනවිකෘතියකට කැමති වේ ද ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
මහණෙනි, එපරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහුගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යි ඕළාරික උපක්ලේශයෝ ඇද්ද, චිත්ත සම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ එය දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කරත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට කාමවිතර්‍කය ව්‍යාපාදවිතර්‍කය විහිංසා විතර්‍කය යි මධ්‍යමසහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න වූ පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ අනභාවයට පමුණුවයි. ඒ ප්‍රහත වත් ම ඒ විගතාන්ත කොට ලත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට ඥාතිවිතර්‍කය ජනපදවිතර්‍කය අනුවිඥප්තිප්‍රතිසංයුක්ත විතර්‍කය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කොට ලත් ම ඉන් මතුයෙහි ධර්‍මවිතර්‍කයෝ (දශවිදර්‍ශනෝපක්ලේශවිතර්‍ක) ඉතිරි වෙති. ඒ (අවශිෂ්ට ධර්‍මවිතර්‍ක) විදර්‍ශනාසමාධිය (නොසන්හුන් කෙලෙස් ඇති බැවින්) අශාන්ත වෙයි. ප්‍රණීත නො ද වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් නොලද්දේ වෙයි. එකඟ බවට නො පැමිණියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් උපන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක ඒ සිත අධ්‍යාත්මයෙහි ම බැස සිටුනේ ද, බැස හිඳුනේ ද, එකඟ වේ ද, සමාධිගත වේ ද, එබඳු කලෙක් වෙයි. ඒ සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් ලදුයේ වෙයි. එකඟ බවට ගියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් ලදුයේ නො වෙයි. විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළයුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද පූර්‍වහේතු හා අභිඥාපාදකධ්‍යානාදි ආයතන (සාධන) ඇති ඇතිවත් ම ඒ ඒ සිදධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
ඉදින් හේ “බහුප්‍රකාර ඍද්‍ධිප්‍රභේද වළඳම්ව යි, පියෙවින් එකක් ව බහුප්‍රකාර වෙම්ව යි, බහුප්‍රකාරව ද එකෙකිම් වෙම්ව යි, ආවිර්භාවයට තිරොභාවයට භිත්තිපාරයට (භිත්තියෙන් ඔබ්බට) ප්‍රාකාරපාරයට පර්‍වතපාරයට අහසෙහි ගෙන යනුවන් සෙයින් නො ගැටෙමින් යෙම්ව යි, දියෙහි සෙයින් පොළොවෙහිත් උන්මජ්ජන නිමජ්ජන කෙරෙම් ව යි, නො බිඳෙන දියෙහිදු පොළොවෙහි සෙයින් යෙම්ව යි, පක්‍ෂිශකුනීන් සෙයින් අහසෙහිත් පලඟින් යෙම්ව යි, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරුහුත් අතින් පිරිමදිම්ව යි, බඹලොව දක්වාත් කයින් විසිය පවත්වම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “යම් ශබ්ද කෙනෙක් දුරෙහි ඇද්ද සමීපයෙහි හෝ ඇද්ද දිව්‍ය වූත් මානුෂ්‍ය වූත් ඒ උභය ශබ්දයන් මිනිස්කණ ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් අසම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත් ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනිම්ව”යි සරාග වූ හෝ සිත සරාග සිතැ යි දනිම්ව යි, වීතරාග වූ හෝ සිත වීතරාග සිතැ යි දනිම්ව යි, සද්වේෂ වූ හෝ සිත ... වීතද්වේෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත … සඞ්ක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... අමහද්ගත වූ හෝ සිත ... සහෝත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... අසමාහිත වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත විමුක්ත සිතැ යි දනිම්ව යි, අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැ යි දනිම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙම්ව” යි කැමති වේ ද, ඒ කෙසේයැ යත්: “එක් ජාතියකුදු දෙජාතියකුදු තුන් ජාතියකුදු සිවුජාතියකුදු ... සියක් ජාතියකුදු දහසක් ජාතියකුදු සියක් දහසක් ජාතියකුදු අනේකසංවර්‍තවිවර්‍තකල්පයනුදු අනේක විවර්‍තකල්පයනුදු අනේක සංවර්‍තවිවර්‍තකල්පයනුදු ‘අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් වීමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙම් වීමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි යි මෙබඳු අහර ඇතියෙම් වීමි යි , මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු කෙළවර ඇතියෙමි යි, මම එයින් ච්‍යුතව අසෝ තැන උපනිමි යි, එහිදු මෙබඳු නම් ඇතියෙමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙමි යි, මෙබඳු ආහාර ඇතියෙමි යි, මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු පිරිහිම් කොට ඇතියෙමි යි, මම ඉන් සැව මෙහි උපනිමි’ යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හේ “මිනිසැස ඉක්ම පැවැති විශුද්ධ වූ දිවැසින්, ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නෙමි යී ද, ‘මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදන් වූවාහු වෙයි. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත වූ නිරයට එළඹියාහු වෙතැ’යි කම් වූ පරිදි යන සත්ත්‍වයන් දනිමැ යි ද, ‘මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද නොකරන්නාහු සම්‍යක්දෘෂ්ටික වූවාහු සම්‍යක්දෘෂ්ටිකර්‍ම සමාදන් වන්නාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියාහුය’යි මෙසේ මිනිසැස ඉක්ම ගිය විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද කම් වූ පරිදි යන සත්ත්‍වයන් දකිම් ව” යි මෙසේ කරුණු ඇති ඇතිවත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
ඉදින් හෙ “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයා වෙසෙම්ව” යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
3. 2. 5. 11.
52. මහණෙනි, (සමථවිදර්‍ශනාචිත්ත සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කළ සමාධි සඞ්ඛ්‍යාත ඒකාග්‍රතා නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින්කල වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ප්‍රග්‍රහ නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ස්මෘතිමධ්‍යස්ථතා සඞ්ඛ්‍යාත උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත කුසීතභාවයට වැටෙන්නේ ය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කරන්නේ නම්, ඒ සිත ආස්‍රවක්‍ෂය පිණිස මැනැවින් සමාධිගත නොවන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙළේ ද ඒ සිත මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි.
මහණෙනි, යම් පරිදි තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ අඟුරු කබලු බඳී ද, බැඳ කබලුමුව ගිනි ගන්වා ද, කබලුමුව ගිනි අවුලුවා අඬුවෙන් රන් ගෙණ කබලු මුවෙහි බහා කලින් කළ අභිමුඛ කොට ගෙන් පිඹී ද, කලින් කල දියෙන් ඉස්නේ වේ ද, කලින් කල පැසුනු නො පැසුනු බව සොයා ද,
මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්ත කොට ඉදිරිකොටගෙන පිඹිනේ නම් ඒ රන දැවෙන්නේය යන මේ කරුණ වෙයි.
මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට දියෙන් ඉස්නේ නම් ඒ රන නිවෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට සොයා බලන්නේ නම් ඒ රන මැනැවින් පරිපාකයට නොයන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කලින් කල ඉදිරි කොට ගෙන පිඹින්නේ ද කලින් කල දියෙන් ඉස්නේ ද කලින් කල සොයා බලන්නේ ද ඒ රන මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. මැනැවින් කර්‍මාන්තයට වැදෙයි. රන්පට්ට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීවාඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිලන්‍ධන විකෘතියකට කැමැති වේ ද, ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
මහණෙනි, එ පරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.
මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත නො වන්නේය යන මෙ කරුණ වෙයි.
මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙරේ ද ඒ සිත මෘදුත් කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි. විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළ යුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
ඉදින් ඒ මහණ බහුප්‍රකාර ඍද්ධිප්‍රභේදය වළඳන්නෙම්ව යි ... කැමති වන්නේ නම් [මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඥා චිත්තය දතයුතුයි.] ඉදින් ඒ මහණ “ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම්ව” යි කැමැති වන්නේ නම්, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
පස්වැනි ලෝණඵල වර්‍ගය යි.
දෙවන මහාපණ්ණාසකය සමාප්තයි.
3. තෙවන පණ්ණාසකය
[1. සම්බෝධි වර්‍ගය]
3. 3. 1. 1.
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, සම්‍යක් සම්බෝධියෙන් කැල ම චතුස්සත්‍යාවබෝධ නො කළ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: ලෝකයෙහි ආස්වාදය කවරේය, ආදීනව කවරේය, නිස්සරණය කවරේය යි.
මහණෙනි, ඒ මට තෙල සිත් විය: යම් හෙයෙකින් ලෝකයෙහි යමක් නිසා සුඛය හා සෞමනස්‍යය උපදනේ ද, මේ ලෝකයෙහි ආස්වාද යි. යම් හෙයෙකින් ලෝකය අනිත්‍ය වේ ද, දුඃඛ වේ ද, විපරිණාමස්වභාව වේ ද, මේ ලෝකයෙහි ආදීනව යි. යම් හෙයෙකින් ලෝකයෙහි ඡන්‍දරාගයාගේ විනයයෙක් වේ ද, ඡන්‍දරාගයාගේ ප්‍රහාණයෙක් වේ ද, මේ ලෝකයෙහි නිස්සරණ වෙ යි.
මහණෙනි, මම යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි ප්‍රතිඥා නොම කෙළෙමි.
මහණෙනි, යම් කලෙක මම මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.
“මාගේ චේතෝවිමුත්තිය අවිකාර්‍ය්‍ය (නිශ්චල) විය. මේ අන්තිමජාති යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද මට පහළ විය.
3. 3. 1. 2.
2. මහණෙනි, මම ලෝකයාගේ ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආස්වාදයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආස්වාදයෙක් ඇද්ද, මා විසින් තෙල ආස්වාදය ප්‍රඥායෙන් දක්නාලදි. මහණෙනි, මම ලෝකයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආදීනවයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආදීනවයෙක් ඇද්ද, මා විසින් තෙල ආදීනවය ප්‍රඥායෙන් දක්නා ලදී. මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් නිස්සරණයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ නිස්සරණයෙක් ඇද්ද, මා විසින් තෙල නිස්සරණය ප්‍රඥායෙන් දක්නා ලදී.
මහණෙනි, මම යම් තාක් කල් ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ නොම කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මම ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.
“මාගේ චේතෝවිමුත්තිය අකෝප්‍ය විය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි මට ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය ද පහළ විය.
3. 3. 1. 3.
3. මහණෙනි, ඉදින් ලෝකයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්‍වයෝ ඇලෙති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො කලකිරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ කලකිරෙති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නිස්සරණ නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ලෝකයෙන් නිස්සරණ කෙරෙති.
මහණෙනි, යම් තාක් කල් සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දත්හු ද, මහණෙනි, ඒ තාක් සත්ත්‍වයෝ මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙන් - මහණ බමුණන් සහිත දේව - මනුෂ්‍යයන් සහිත ප්‍රජාව කෙරෙහි නිසෘෂ්ට නො වූ හ. විසංයුක්ත නො වූ හ. විප්‍රමුක්ත නො වූ හ. බුන් මියර ඇති (මිදුනු) සිතින් නො විසූහ.
මහණෙනි, යම් කලෙක සිට සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දත්හු ද, මහණෙනි, එ කල සිට සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා කෙරෙන් - මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බුන් මියර ඇති සිතින් වෙසෙත්.
3. 3. 1. 4.
4. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයහ යි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයහ යි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහමණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන නො වෙසෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි හෝ ශ්‍රමණයහ හි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණයහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙත්.
3. 3. 1. 5.
5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍ත්‍ථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
3. 3. 1. 6.
6. මහණෙනි, කරුණු තුන් දෙනකුන්ගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. කවර තුන් දෙනකුන්ගේ ද යත්:
මහණෙනි, නිද්‍රාවගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, සුරාමේරයපානයාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මෛථුනධර්‍මසමාපත්තියගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
මහණෙනි, මේ තුන්දෙනාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
3. 3. 1. 7.
7. එකල අනේපිඬු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් අනේපිඬු ගෙහෙවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ගෙහෙවිය, සිත නොරක්නා ලද කල්හි කායකර්‍මය ද නොරැකුනේ වෙයි. වාක්කර්‍මය ද නොරැකුනේ වෙයි. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි.
නොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද අපවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද අපවිත්‍ර වෙයි. අපවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නො වේ. කාලක්‍රියාව භද්‍රිකා නො වෙයි.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් දුසෙවු කල්හි කූටයත් නොරැකුනේ වේ ද, ගොනැස්හුත් නොරැකුනාහු වෙත් ද, බිතත් නොරැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ වේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු වෙත් ද, බිතත් තෙත් වූයේ වේ ද, කූටයත් දිරාපත් වූයේ වේ ද, ගොනැස්හුත් දිරාපත් වූවාහු වෙත් ද, බිතත් දිරාපත් වූයේ වේ ද,
ගෙහෙවිය, එපරිදි ම සිත නොරැකුනු කල්හි කායකර්‍මය ද නොරැකුනේ වේ. වාක්කර්‍මය ද නොරැකුනේ වේ. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි. නොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වේ. වාක්කර්‍මය ද අපවිත්‍ර වේ. මනඃකර්‍මය ද අපවිත්‍ර වේ. අපවිත්‍ර කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
ගෙහෙවිය, සිත රැකුනු කල්හි කායකර්‍මය ද රැකුනේ වෙයි. වාක්කර්‍මය ද රැකුනේ වෙයි. මනඃකර්‍මය ද රැකුනේ වෙයි. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. තෙත් නොවූ කායකර්‍මාන්ත ඇති, තෙත් නොවූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් නොවූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද පවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වෙයි. පවිත්‍ර කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාල ක්‍රියාව භද්‍රිකා වෙයි.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් මොනොවට සෙවෙනි කළ කල්හි කූටයත් රැකුනේ වේ ද, ගොනැස්හුත් රැකුනාහු වෙත් ද, බිතත් රැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ නොවේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු නොවෙත් ද, බිතත් තෙත් වූයේ නොවේ ද, කූටයත් නොදිරා ගියේ වේ ද, බිතත් නොදිරා ගියේ වේ ද,
ගෙහෙවිය, එපරිදි ම සිත රැකුනු කල්හි කායකර්‍මයත් රැකුනේ වේ. වාක්කර්‍මයත් රැකුනේ වේ. මනඃකර්‍මයත් රැකුනේ වේ. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් නොතෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද නොතෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද නොතෙත් වූයේ වෙයි. නොතෙත් වූ කායකර්‍මාන්ත ඇති, නොතෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, නොතෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. වාක්කර්‍මය ද, පවිත්‍ර වූයේ වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. පවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වේ.
3. 3. 1. 8.
8. එකත්පස්ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ හ: ගෙහෙවිය, සිත පෙරළියාව සිටි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියාවූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙය නපුරු කොට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ වෙයි. ගොනැස්හුත් විපන්හු වෙති. බිතත් විපන් වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත පෙරළි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියා වූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවේ. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
ගෙහෙවිය සිත නොපෙරළියා ව සිටි කල කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වෙයි.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙය මොනොවට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ නො වෙයි. ගොනැස්හුත් විපන්නාහු නො වෙති. බිතත් විපන්නේ නො වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත නො පෙරළි කළ කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති, නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වේ. කාලක්‍රියාව භද්‍රිකා වේ.
3. 3. 1. 9.
9. මහණෙනි, වට්ටගාමීකර්‍මයන්ගේ පිඬුකිරීම පිණිස මේ කාරණයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ද්වේෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මෝහය කාරණයෙකි.
මහණෙනි, ලෝභයෙන් කළ, ලෝභයෙන් උපන්, ලෝභය නිදන් කොට ඇති, ලෝභය කරුණු කොට ඇති, යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය අකුශලය, ඒ කර්‍මය සදෝෂය, ඒ කර්‍මය දුඃඛවිපාකය, ඒ කර්‍මය අන්‍යකර්‍මයන් රැස්කිරීම පිණිස ද පවතී. ඒ කර්‍මය වට්ටගාමීකර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටෙයි.
මහණෙනි, ද්වේෂයෙන් කළ ... යම් කර්‍මයෙක් ඇද්ද ... මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් උපන්, මෝහය නිදන් කොට ඇති, මෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය අකුශලය. ඒ කර්‍මය සදෝෂය. ඒ කර්‍මය දුඃඛවිපාක ය. ඒ කර්‍මය අන්‍යකර්‍මයන්ගේ රැස්කිරීම පිණිස ද වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
මහණෙනි, කර්‍මයන් රැස්කිරීම පිණිස මේ කාරණයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අදෝෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අමෝහය කාරණයෙකි.
මහණෙනි, අලෝභයෙන් කළ, අලෝභයෙන් උපන්, අලෝභය නිදන් කොට ඇති, අලෝභය කරුණු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද, ඒ කර්‍මය කුශල ය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මනිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ.
මහණෙනි, අද්වෙෂයෙන් කළ යම් කර්‍මයෙක් ඇද් ද ... මහණෙනි, අමෝහයෙන් කළ, අමෝහයෙන් හටගත්, අමෝහය නිදන් කොට ඇති, අමෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය කුශලය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මයන්ගේ නිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
3. 3. 1. 10.
10. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.
මහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි, නුකොට විචාරණය කෙරෙයි. අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ නුකොට විචාරණයකරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දය උපදී. හටගත් තෘෂ්ණාච්ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරබයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.
මහණෙනි, කෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරේ ද, නුකොට විචාරණය කෙරේ ද, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ, නුකොට විචාරණය කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදි. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.
මහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි. නුකොට විචාරණය කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නැවත විතර්‍ක කරණ නුකොට විචාරණ කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදී. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් ඇද් ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදනේ ය. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තුන් දෙනයහ.
මහණෙනි, විවට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.
මහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නූපදනේ ය.
මහණෙනි, කෙසේ නම් අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍ද නූපදනේය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන්ගේ විපාකය මතුයෙහි දන්නේ ය. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කරයි සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.
මහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නො උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, ඒ වළහයි. ඒ වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් ඇරබ තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේ ය.