මහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැඟ සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ වෙත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් අපායට නොහෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ගත්‍රය සඞ්ඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ සෝවන් වෙයි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාගද්වේෂ මෝහයන්ගේ තානවයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැග සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත්. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නොඑන සැහැවි ඇත්තේ එහි ම පිරිනිවන් පානේය.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මෙසේ ප්‍රදේශකාරී ආර්‍ය පුද්ගල (=සෝවන් සෙදගැමි, අනගැමි පුඟුල්) ප්‍රදේශයක් සපයයි. පරිපූරකාරී පුද්ගල (=රහත් තෙමේ) පරිපූර්‍ණාර්‍ත්‍ථය (=රහත්ඵලය) සපයයි. මහණෙනි, මම සිකපදහු නොවඳහ යි කියමියි.
3. 2. 4. 7.
37. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්‍රහයට යේ නම් එබඳු මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් වෙයි. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත් වටක් පරම කොට දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද දිවැ සැරිසරා දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් කොලංකොල (=භවයෙන් භවයට යනුවෙක්) වෙයි. භවයන් දෙකක් හෝ තුණක් හෝ දිවැ සැරැ දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් වූ සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඒකබීජී (=එක් භවයකට ම බීජ ඇතියේ) වෙයි. එක් ම මනුෂ්‍යභවයක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තානවයෙන් (තුනී බැවින්) සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.
හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් සංසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මෙසේ ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශය සපයයි. පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. මහණෙනි, මම “සිකපදහු නොවඳහ” යි වදාරමි යි.
3. 2. 4. 8.
38. මහණෙනි තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙකැ හික්මෙත් නම් මේ එබඳු සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේනම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන්දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සඞ්ග්‍රහයට යේ නම් මේ එබඳු ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි.
ඒ අර්‍හත්ත්‍වය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ‘අන්තරාපරිනිබ්බායී’ වෙයි.
ඒ අන්තරාපරිනිබ්බායී භාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “උපහච්චපරිනිබ්බායී” වෙයි ...
අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... අකනිට්ඨගාමීඋද්ධංසෝත වෙයි. ...
ඒ උද්ධංසෝත අකනිට්ඨභාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
ඒ සෙද ගැමි බව හෝ නො විදුනේ නො පිළිවිඳුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී වෙයි, එක් ම මිනිස්බවක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
ඒ මිනිස්බව හෝ නොවිදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් කොලංකොල වෙයි, භව දෙකක් හෝ තුණක් දිවැ ඇවිද දුක් කෙළවර කෙරෙයි.
ඒ කොලංකොල බව හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද දිවැ ඇවිදැ දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙසේ පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශාර්‍ත්‍ථය සපයයි.
මහණෙනි, මම “සිකපදහු නො වඳ හ” යි වදාරමි යි.
3. 2. 4. 9.
39. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ය” යි යථාභූතය දනී. මහණෙනි, මේ අධිප්‍රඥා ශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
3. 2. 4. 10.
40. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි.
මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ.
මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිප්‍රඥාශික්‍ෂා යි (අර්‍හත්ත්‍වමාර්‍ග යි) කියනු ලැබේ.
මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.
39. (චෛතසිකවීර්‍ය්‍යයෙන්) වීර්‍ය්‍යවත් වූ (කායිකවීර්‍ය්‍යයෙන්) ස්ථාමවත් වූ ධෛර්‍ය්‍යවත් වූ ධ්‍යාන කරණ සුලු ස්මෘතිමත් වූ සංයත ඉඳුරන් ඇති මහණ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ය.
40. යම් පරිදි පළමු දවස් ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරී ද පසු දවසුදු එසේ ම පුරන්නේ ය. පසු දවස් යම්සේ පුරන්නේ ද පළමු දවස්හිදු එසේ ම වෙයි. යම් පරිදි යට කය අශුභවශයෙන් දක්නේ ද එපරිදි උඩුකය ද දක්නේ ය. යම් පරිදි උඩුකය දක්නේ ද එපරිදි යටිකය ද දක්නේ ය.
41. යම් පරිදි දාවල ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ද, රැය ද එසේ ම පුරන්නේය. යම් පරිදි රැයෙහි පුරන්නේ ද දාවල ද එසේ ම පුරන්නේ ය. අර්‍හත්ත්‍වමාර්‍ගසමාධියෙන් හැම දික් (=අරමුණු) මැඩ ගෙණ සිටුනේ ය.
42. සකරණීය වූ ඔහු පිළිපන්නකු කොට කියත්. වැලිත් පිරිසිදු සිල් ඇති ඔහු ලෝකයෙහි චතුස්සත්‍යාවබෝධය කළ පිළිවෙත්හි කෙළවරට ගිය වීර වූ ධිතිසම්පන්නයකු කොට කියත්.
43. තෘෂ්ණාක්‍ෂය විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ චරමවිඥානයාගේ නිරෝධයෙන් ප්‍රදීපනිර්‍වාණයක් මෙන් චිත්තයාගේ විමුක්තිය වේ.
3. 2. 4. 11.
[කොසොල්නිදාන යි]
41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟුන් සමග සැරි සරණ සේක් කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමට වැඩි සේක. එහි කෝශලයන්ගේ ‘පඞ්කධා’ නම් නියම් ගමෙක් වේ ද ඒ ‘පඞ්කධා’ යෙහි වැඩ වෙසෙති.
එසමයෙහි කුසුබුගොතු නම් මහණ පඞ්කධායෙහි ආවාසික වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත්. කරුණු බැණ සමාදන් කරවත්. උත්සාහ දනවත්. පහදවත්.
ඉක්බිති කසුබුගොතු මහණහට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ දනවත් ම පහදවත් ම අක්‍ෂාන්තිය වී මැ ය. නො සතුටෙක් වී ම ය. ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් සියුම් සියුම් කොට බෙණේය’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහනුවර කරා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් සැරිසරණ සේක් රජගහනුවරට වැඩි සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවියෙහි වැඩ වසන සේක. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම කසුබුගොතු මහණහට කුකුස් වී ම ය. විපිළිසර වී ම ය. “යම් බඳු මට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම, උත්සාහ කරවත් ම පහදවත් ම මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති යි අක්‍ෂාන්තියෙක් වී ද, නො සතුටෙක් වී ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවේ. ඒ මට ඒකාන්තයෙන් අභාග්‍යයෙකි. ඒ මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ ය” යි.
“මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම් එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙත වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු” යි.
ඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේ ය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමෙක් වේ ද, එ ගම වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් මොනොවට දැක්වූ සේක, සමාදන් කරවූ සේක. උත්සාහවත් කරවූ සේක. පහදවා ලූ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියත් ම ය” යි ඒ මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ම ය. වහන්ස, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහ නුවරට චාරිකායෙහි වැඩි සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම “භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති’ යි යම් බඳු මට අක්‍ෂාන්තියෙක් නොසතුටෙක් වී ද, ඒ මට කුකුසෙක් වී ම ය. විප්‍රතීසාරයෙක් වී ම ය. මට ඒකාන්තයෙන් අලාභයෙක, මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් අභාග්‍යයෙක, මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ. මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු!” යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහවත් කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති” යි යම්බඳු මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒ අපරාධය බාල බවට අනුරිවින් මූඪ බවට අනුරිවින් අකුශලයට අනුරිවින් මා අධිභවා ගියේ ය. වහන්ස, ඒ මාගේ වරද භාග්‍යවතුන් වහන්සේ ආයති සංවරය සඳහා වරද විසින් පිළිගන්නා සේක්වා.
කස්බ, මා ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ සියුම් සියුම් කොට කියත් මැ ය’යි යම්බඳු තට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒකාන්තයෙන් ඒ වරද යම් පරිදි බාල වී නම් යම් පරිදි මූඪ වී නම් යම් පරිදි අකුශල වී නම් එපරිදි ම තා අධිභවා ගියේ ය.
කස්බ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරෙහි ද, තාගේ ඒ වරද අපි පිළිගණුම්හ. කස්බ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරේ නම්, ආයති සංවරයට පැමිණේ නම්, තෙල ප්‍රතිපත්තිය, ආර්‍ය විනයෙහි අභිවෘද්ධියෙක් ම ය.
කස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වූ යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුන්ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා නම්, කස්බ, මෙබඳු වූ ඒ ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ මම නො කියමි.
ඒ කවර හෙයින යත්:
“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි සෙස්සෝ ඒ මහණ සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඒ මහණ සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
කස්බ, ඉදින් මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, ඉදින් නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුන්ගේ ත් විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
ඒ කවර හෙයින යත්:
“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති”යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.
කස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුත් ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.
ඒ කවර හෙයින යත්:
“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය: යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.
කස්බ, මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.
ඒ කවර හෙයින යත්:
“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.
සතරවන ශ්‍රමණ වර්‍ගය යි.
[5. ලෝණඵල වර්‍ගය]
3. 2. 5. 1.
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, සීසානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව සීසානා ගැහැවි වහ වහා කෙත මොනොවට සානා ලද්දක් පුවරු ගා සම කරණ ලද්දක් කෙරෙයි. වහ වහා කෙත මොනොවට සාට තැනක් මොනොවට පුවරු ගා සම කළ තැනැක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එළවීමුදු නෙරීමුදු කෙරෙයි. මහණෙනි, සානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනහ.
මහණෙනි, ඒ සානා ගෙහෙවිහුගේ “අද ම මාගේ ධාන්‍යයෝ නැඟෙත්වා, සෙට ම ගර්භිත වෙත්වා, අනෙක් (තෙවන) දා ම පැසෙත්වා” යි එබඳු ඍද්ධියෙක් වේ ව යි අනුභාවයෙක් වේව යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් ඒ සානා ගෙහෙවිහුගේ ඍතුපරිණාමයට පත් ඒ ධාන්‍යයෝ නැගෙත් ද, ගර්භිතත් වෙද්ද, පැසෙද්ද, එබඳු කලෙක් වෙයි.
මහණෙනි, එපරිදි ම මහණහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
අධිශීලශික්‍ෂා සමාදානය අධිචිත්තශික්‍ෂා සමාදානය අධිප්‍රඥාශික්‍ෂා සමාදාන යි. මහණෙනි, මොහු තුන් දෙනා මහණහුගේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ යි.
මහණෙනි, ඒ මහණහුගේ “අද ම මාගේ සිත උපාදා විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේව යි හෝ සෙට හෝ අනෙක් දා හෝ මිදේව යි කියා හෝ එබඳු ඍද්ධියෙක් වේව යි අනුභාවයෙක් වේව” යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් අධිශීලයෙහි හික්මෙන අධිචිත්තයෙහි හික්මෙන අධිප්‍රඥායෙහි හික්මෙන ඒ මහණහුගේ සිත උපාදා විසින් නො ගෙණ මිදේ නම් එබඳු කලෙක් වෙයි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “අපගේ තීව්‍ර ඡන්‍දයෙක් අධිශීලශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිචිත්ත ශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි වෙයි”. මහණෙනි, මෙසේ ම තොප හික්මෙන්නේ ය.
3. 2. 5. 2.
43. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්
කවර තුණෙක යත්:
චීවර ප්‍රවිවේකය, පිණ්ඩපාත ප්‍රවිවේකය, ශයනාසන ප්‍රවිවේකය යි.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ චීවර ප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: සණවැහැරි ද ධරත්. මුසු පිළී ද ධරත්. මිනියෙන් නෙළ වත් ද ධරත්. බිම ලූ මහලු පිළී ද ධරත්. රුක්පොතුමුවා පිළී ද ධරත්. අඳුන්මුවසමුදු ධරත්. මැදින් පැළු අඳුන්මුවසමුදු ධරත්. කුසවැහැරි ද ධරත්. වක්කලමුදු ධරත්. පුවරු වැහැරි ද ධරත්. කෙස්මුවා කම්බිලි ද ධරත්. අස්ලොම්මුවා කම්බිලි ද ධරත්. මහමුහුනු පියායෙන් කළ පිළී ද ධරත් මහණෙනි, අන්තොටු පිරිවැජියෝ චීවරප්‍රවිවේකයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ පිණ්ඩපාතප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: පලා වළඳනුවෝ ද වෙත්. බඩහමු වළඳනුවෝ ද වෙත්. හුරුහැල් වළඳනුවෝ ද වෙත්. සම්කසළ වළඳනුවෝ ද වෙති, ලහටු හෝ සෙවෙල් වළඳනුවෝ ද වෙති. කුඩු වළඳනුවෝ ද වෙති. දමුබත් වළඳනුවෝ ද වෙති. පුනකු වළඳනුවෝ ද වෙති. තණ වළඳනුවෝ ද වෙත්. ගොම වළඳනුවෝ ද වෙති. වනමුල් පිලි අහර කොට ඇති ව යපෙත්. තුවටුවෙන් ගුළු පල වළඳන සුලු ද වෙති. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ පිණ්ඩපාතප්‍රවිවේකයෙහි ලා මේ පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ ශයනාසනප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙති: අරණ්‍යය, වෘක්‍ෂමූලය, සමශානය, වානප්‍රස්තය, අභ්‍යවකාශය, පලාලපුඤ්ජය, කලවිටිහල යන මේ ය. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ශයනාසන ප්‍රවිවේක විෂයෙහි ලා මෙය පණවත්.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්.
මහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්‍රවිවේකයෝ තුන් දෙනෙක් ඇත.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ද ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්‍ෂීණාස්‍රව ද වෙයි. ඔහුගේ ආස්‍රවයෝ ද ප්‍රහත වෙත්. එයින් විවික්ත ද වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්‍ෂීණාස්‍රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝ ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි පිරිසිදු යයි ශීල සමාධි ප්‍රඥා සාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
මහණෙනි, යම් පරිදි කර්‍ෂකගෘහපතිහුගේ පිරියුනු ශාලික්‍ෂේත්‍රයෙක් වේ ද, කර්‍ෂකගෘහපති ඒ කෙත වහ වහා වපුරවන්නේ වේ ද, වහ වහා වපුරවා වහ වහා ගොයම් හකුළුවන්නේ වේ ද, වහ වහා හකුළුවා වහ වහා කලවිටට එළවා ලවන්නේ වේ ද, වහ වහා එළවා ලවා වහ වහා පිඬු කරවන්නේ වේ ද, වහ වහා පිඬු කරවා වහ වහා මඩවන්නේ වේ ද, වහ වහා මඩවා වහ වහා පිදුරු උදුරවන්නේ වේ ද, වහ වහා පිදුරු උදුරවා වහ වහා බොල් උදුරවන්නේ වේ ද, වහ වහා බොල් උදුරවා වහ වහා හුළඟෙහි පොළවන්නේ වේ ද, වහ වහා කොටුවට නංවා වහ වහා කොටවන්නේ වේ ද, වහ වහා කොටවා වහ වහා දහසිවි උදුරවන්නේ වේ ද. මහණෙනි, මෙසේ කරත් ම කර්‍ෂකගෘහපතිහුගේ ඒ ධාන්‍යයෝ සහලින් අගතැන් පැමිණියාහු වෙති. සාරබවට පැමිණියාහු වෙති. ශුද්ධවූවාහු වෙති. සාරයෙහි පිහිටියාහු වෙති.
මහණෙනි, එපරිදි ම මහණ චතුෂ්පාරිශුද්ධ ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස් වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටිකත් වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්‍ෂීණාස්‍රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝත් ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි ශුද්ධ යයි ශීල සමාධි ප්‍රඥාසාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.