Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 1801-1900 න් 15980

මහණෙනි, මේ කුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අලෝභය කුශලමූලය, අදෝෂය කුශලමූලය, අමෝහය කුශල මූලයි.
මහණෙනි, යමෙක් අලෝභ වේ ද, එ ද කුශල යි. අලුබ්ධ වූයේ කයින් වේවයි වචනයෙන් වේවයි මනසින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශලයි. අලුබ්ධ වූයේ ලෝභයෙන් නො මඩනා ලද්දේ එයින් ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි බන්‍ධනයෙන් වේවයි ධනහානියෙන් වේවයි ගර්‍හායෙන් වේවයි රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් පරහට දුක් නො දනවා ද එ ද කුශල යි. මෙසේ අලෝභයෙන් හැටි අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති අලෝභය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශල ධර්‍මයෝ පහළ වෙත්.
මහණෙනි, යමෙක් ම අදෝෂ වේ ද, එ ද කුශලයි. අද්විෂ්ට වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, සිතින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශල යි. අද්විෂ්ට වූයේ ද්වේෂයෙන් නොමඩනා ලද්දේ එයින් පැහැර නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, රටින් නෙරීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් පරාහට නොදනවා ද එ ද කුශලයි. මෙසේ අද්වේෂයෙන් හටගත් අද්වේෂය නිදාන කොට ඇති, අද්වේෂය සමුදය කොට ඇති, අද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
මහණෙනි, යමෙක් ම අමෝහ වේ ද, එ ද කුශල යි. අමූඪ වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, මනසින් වේවයි, යමක් කෙරේ ද, එ ද කුශල ය. අමූඪ වූයේ මෝහයෙන් නොමඩනා ලද්දේ එයින් හාත්පස ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, වස්තුව පැහැර ගැණීමෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, රටින් නෙරණායෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් මෙරමාහට යම් දුකක් නො දනවා ද, එ ද කුශලය. මෙසේ අමෝහයෙන් හටගත් අමෝහය නිදාන කොට ඇති, අමෝහය සමුදය කොට ඇති, අමෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙබඳු වූ ද මේ පුද්ගල කාලවාදීය යි ද, භූතවාදීය යි ද, අර්‍ත්‍ථවාදීය යි ද, ධර්‍මවාදීය යි ද, විනයවාදීය යි ද කියනු ලැබේ.
මහණෙනි, මෙබඳු මේ පුද්ගල ද කාලවාදීය යි ද, ... විනයවාදීය යි ද කවර හෙයෙකින් කියනු ලැබේ ද? මහණෙනි, මේ පුද්ගල යම්සේ “බලවත්මි, බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් පරාහට දුක් නො දනවා ද, එහෙයිනි. විද්‍යමාන වූ ගුණයෙන් කියනු ලබන්නේ පිළිණ කරන්නේ ය. ආඥා නො කරන්නේ ය. අවිද්‍යාමාන දෝෂයෙන් කියනු ලබන්නේ “මෙසේ මෙය අතථ්‍යය, මෙසේත් මෙය අභූතය” යි එ ද දෝෂය නිරාකූල කරණු පිණිස වීර්‍ය්‍ය කරන්නේ ය. මහණෙනි, එහෙයින් මෙබඳු පුද්ගල කාලවාදීය යි ද ... විනයවාදීය යි ද කියනු ලැබේ.
මහණෙනි, මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක අකුශල ධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාද ස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත, සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති, උපායාස නැති, පරිදාහ නැති සුවයෙන් වෙසෙයි. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි, දැවගසෙක් වේවයි, කොළොම්ගසෙක් වේවයි මාලුවාවැල් තුණෙකින් මතුයෙහි වසා ගන්නා ලද්දේ වළඳනා ලද්දේ වේ ද, ඉක්බිති පුරුෂයෙක් හුදැල්ලක් හා පැසක් හා ගෙණ එන්නේ වේ ද, හේ ඒ මාලුවාවැල මුලහි සිඳුනේ වේ ද මුලහි සිඳ සාරන්නේ වේ ද සාරා මුල් උදුරන්නේ වේ ද, යටත්පිරිසෙයින් සුවඳහොට නළ සා මුලුදු උදුරන්නේ වේ ද, හේ ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳුනේ වේ ද, කඩ කඩ කොට සිඳ පලන්නේ වේ ද, පළා කැබැලි - කැබැලි කරන්නේ වේ ද, කැබැලි - කැබැලි කොට අව්සුලඟෙහි වියළන්නේ වේ ද, අව්සුලඟෙහි වියළා ගින්නෙන් දවන්නේ වේ ද, ගින්නෙන් දවා දැළි කරන්නේ වේ ද, දැළි කොට මහා වාතයෙහි හෝ පොළන්නේ වේ ද, ශීඝ්‍රස්‍රෝතස් ඇති නදියෙහි හෝ උල්පවා හරණේ වේ ද, මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල්හු මුලුසුන් වූවාහු වෙති. තාලාවස්තුකතාවට ගියාහු වෙත්. අනභාව කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්.
මහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක පාපකඅකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. තාලාවස්තුකභාවයට ගියාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැති පරිදාහ නැති සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි පිරිනිවන් පානේ ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. තාලාවස්තුක බවට ගියාහු වෙත්. අභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාවය ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැත පරිදාහ නැති සුඛයෙන් වෙසේ. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, මේ තුන් කුශලමූලයෝ යි.
3. 2. 2. 10.
20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් වූ මුවරමාපායෙහි වැඩ වසන සේක. එකල මාගාරිමාතෘ වූ විශාඛා තොමෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනු. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මුවරමා විශාඛාවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
විශාඛාවෙනි, මේ දෙවෙන්දවහල්හි තෙපි කොහි සිට එවු ද?
වහන්ස, මම අද පෙහෙවස් ඇතියෙම් උපවාස කරමි යි.
විශාඛාවෙනි, මේ පෙහෙවස්හු තුන් දෙනෙක. කවර තුන් දෙනෙක යත්: ගෝපාලකූපෝසථය, නිගණ්ඨුපෝසථය, අරියූපෝසථ යි.
විශාඛාවෙනි, ගෝපාලකූපෝසථය කෙසේ වේ ද? විශාඛාවෙනි, යම් පරිදි ගොපලු සවස්කල හිමියනට ගවයන් දක්වා දී මෙසේ සලකා බලන්නේ වේ ද: “අද ගවයෝ අසෝ අසෝ පියෙස්හි (තණ) කෑහ. අසෝ අසෝ පියෙස්හි පැන් පීහ. සෙට දවස්හි ගවයෝ අසෝ අසෝ පියෙස්හි තණ කති. අසෝ අසෝ පෙදෙස්හි පැන් බොති” යි. විශාඛාවෙනි, එපරිදි ම මෙලොව කිසිවෙක් පෙහෙවස් ඇතියේ මෙසේ සලකයි: “මම අද මේ මේ ඛාද්‍ය කෑයෙමි. මම අද මේ මේ භෝජ්‍ය වැළඳීමි. සෙට දවස මම මේ මේ ඛාද්‍ය කමි. මේ මේ භෝජ්‍ය බුදිමි” යී. හේ ඒ ලෝභයෙන් අභිධ්‍යාසහගත සිතින් දවස ගළවයි. විශාඛාවෙනි, මෙසේ ගෝපාලකූපෝසථය (ගොපලු පෙහෙවස) වෙයි. විශාඛාවෙනි, මෙ පරිදි වුසූ ගෝපාලකූපෝසථය මහත් ඵල නො වෙයි. මහානිශංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහාවිස්ඵාර ද නො වෙයි.
විශාඛාවෙනි, නිගණ්ඨුපොස්ථය කෙසේ වේ ද: විශාඛාවෙනි, නිගණ්ඨ නම් වූ මහණ පිරිසෙක් ඇත. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ පැදුම් දිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. පැළදිග යොදුන් සියෙකින් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. උතුරුදිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව. දකුණු දිග්හි සියක් යොද්නෙන් ඔබ යම් ප්‍රාණීහු වෙත් ද ඔවුන් කෙරෙහි දඬු බහා තබව” යි. මෙසේ ඇතැම් ප්‍රාණීන්හට දයා පිණිස අනුකම්පා පිණිස සමාදන් කරවත්. ඇතැම් ප්‍රාණීන්හට නිර්දයා පිණිස නිරනුකම්පා පිණිස සමාදන් කරවත්. ඔහු පොහෝ ලත් එදින සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව, තෝ හැම පිළී බහා තබා මෙසේ කියව: “මම කිසිතැනෙක්හිදු කිසිවකුගේ පලිබෝධයෙකිම් නොවෙමි. මාගේ ඇතුළත හෝ පිටත කිසිදු තැනෙක පිරිකරෙක පළිබෝධයෙක් ද නැතැ” යි.
“මේ අපගේ පුතු ය” යි ඔහුගේ මාපියෝ හඳුනත්. හෙ ද “මොහු මාගේ මාපියහ” යි ද ... “මේ අපගේ භර්‍තෘ ය” යි ඔහුගේ අඹුදරුවෝ ද දනිති. හෙ ද “මේ මාගේ අඹුදරුහ” යි දනියි. ඔහුගේ දස්කම්කරු පිරිස්හු ද “මේ අපගේ හිමියාපුත්හ” යි දනිත් හෙ ද “මොහු මාගේ දස්කම්කරු පිරිස්හු” යි දනියි. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහු ද එසමයෙහි මුසවායෙහි සමාදන් කරවයි. මෙය ඔහුගේ මුසවා යී කියමි. හේ ඒ රැය ඉක්ම යාමෙන් පසු අයිනාදන් වූ ම ඒ භෝග වළඳ කෙරෙයි. මෙ ද ඔහුගේ අයිනාදනැ යි කියමි. විශාඛාවෙනි, මෙසේ නිගණ්ඨුපොස්ථය (නුවට පෙහෙවස) වේ. විශාඛාවෙනි, මෙසේ වුසූ නිගණ්ඨුපෝසථය මහත් ඵල නො වෙයි. මහත් අනුසස් ඇතියේ නො වෙයි. මහත් දිලුම් ඇතියේ නො වෙයි. මහත් පැතිරීම් ඇතියේ ද නො වෙයි.
විශාඛාවෙනි, අරියූපෝසථය කෙසේ වේ ද: විශාඛාවෙනි, සකිලිටි චිත්තයාගේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් සකිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු තථාගතයන් අනුස්මරණය කෙරෙයි: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් වන සේක, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීයහ, දෙව් මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යී.
තථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම්සේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද එසෙයිනි.
විශාඛාවෙනි, කිලිටි හිසෙහි පිරිසුදු බව කෙසේ උපක්‍රමයෙන් වේ ද, ඇඹුලුකල්කය ද නිසා මැටි ද නිසා දිය ද නිසා පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටි හිසෙහි පිරිසිදුබව උපක්‍රමයෙන් වෙයි. විශාඛාවෙනි, එපරිදි ම කිලිටිසිත්හි පිරිසුදු බව උපක්‍රමයෙන් වෙයි.
විශාඛාවෙනි, කිලිටිසිත්හි පිරිසුදුබව කෙසේ උපක්‍රමයෙන් කෙසේ වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තථාගතයන් අනුස්මරණය කෙරෙයි. “මේ කරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ“යී.
තථාගතයන් අනුස්මරණය කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක බ්‍රහ්මූපෝසථය (සමාදන්ව) වෙසේ යයි ද (සම්‍යක්සම්බුද්ධ සඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා සමග වෙසේ යි ද කියනු ලැබේ. සම්‍යක් (සම්බුද්ධසඞ්ඛ්‍යාත) බ්‍රහ්මයා ඇරබ ඔහුගේ සිත පහදී, ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි මෙසේ කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යාවදානය උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු ධර්‍මය අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය (අන්තද්වයට නොගොස් මැනවින් දෙසන ලද බැවින්) ස්වාඛ්‍යාතය, තමා තුළ සාක්‍ෂාත් කරණ විසින් දතයුතු බැවින් සාන්දෘෂ්ටිකය, (කල් නොයවා පල දෙන හෙයින්) අකාලිකය, (“එව, බලව”, යන විධියට නිසි බැවින්) ඒහිපස්සිකය, (තමා තුළ එළවා පිළිවිදීමට නිසි බැවින්) ඕපනයිකය, නුවණැත්තන් විසින් තමන් තමන් සිත්හි වෙන වෙන ම එළවා පිළිවිදිය යුතු වේ” යි.
මෙසේ දහම් සිහි කරණ ඔහුගේ සිත පහන් වෙයි. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම් සේ කිලිටි ශරීරයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
විශාඛාවෙනි, කිලිටි වූ ශරීරයාගේ පර්‍ය්‍යවදානය කෙසේ උපක්‍රමයෙන් වේ ද: කුරුඳුවැළ ද නිසා නහනු ද නිසා දිය ද නිසා පුරුෂයාගේ එයට නිසි වූ ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, කිලිටි ශරීරයාගේ මෙසේ උපක්‍රමයෙන් පර්‍ය්‍යවදානය වේ.
විශාඛාවෙනි, එපරිදි ම කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු ධර්‍මය අනුස්මරණය කෙරෙයි. “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය ... නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි වෙන වෙන ම එළවා පිළිවිදිය යුතු වේ” යි. ධර්‍මය අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වේ. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරීසවු ධම්මූපෝසථය වෙසේ ය යි ද, ධර්‍මය හා සමග වෙසේය යි ද කියනු ලැබේ. ධර්‍මය ඇරබ ඔහු සිත පහන් වේ. ප්‍රමෝදය උපදී චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කිලිටි වූ චිත්තයාගේ පර්‍ය්‍යවදානය කෙසේ උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි අරිසවු සඞ්ඝයා අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ ඉදිපිළිවෙතට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත න්‍යායයට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි. එනම්: මේ පුරුෂයුග සතරය; පුරුෂපුද්ගලයෝ අට දෙනය. භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවකසඞ්ඝ තෙමේ (දුරින් ගෙණවුත් දෙන පූජා සඞ්ඛ්‍යාත) ආහුනයට නිසි වෙයි. (ආගන්තුක දානසඞ්ඛ්‍යාත) පාහුණයට නිසි වෙයි. පරලොව සඳහා දෙන දාන සඞ්ඛ්‍යාත දක්‍ෂිණා පිළිගැණීමට නිසි වෙයි. අඤ්ජලිකර්‍මයට නිසි වෙයි. ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වේ” යි.
සඞ්ඝයා සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම් සේ කිලිටි වසත්‍රයක්හුගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
විශාඛාවෙනි, කෙසේ කිලිටි වස්ත්‍රයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ ද: උණුසුම නිසා ද හළු නිසා ද ගොමුත්‍ර (හෝ එළුපක්) නිසා ද දිය නිසා ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය නිසා ද වේ. විශාඛාවෙනි, මෙසේ කිලිටි වසත්‍රයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කෙසේ කිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදුබව වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු සඞ්ඝයා අනුස්මරණය කෙරෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වේ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වේ” යි සඞ්ඝයා සිහි කරණ ඔහුගේ සිත පහදී, ප්‍රමෝදය උපදී, චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරිසවු තෙම සඞ්ඝුපෝසථය වසනේය යි ද සඞ්ඝයා සමග වසන්නේය යි ද කියනු ලැබේ. සඞ්ඝයා ඇරබ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද, ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලිටි චිත්තයාගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, උපක්‍රමයෙන් කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය වේ. විශාඛාවෙනි, කෙසේ උපක්‍රමයෙන් කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු අන්තයෙහි විකුම්වැරි මැද සිදුරු නොවූ ශබල නොවූ කල්මාෂ නොවූ තෘෂ්ණාදාසතායෙන් මුදන නුවණැත්තවුන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්‍ශ නොපත් සමාධිය පිණිස පවත්නා වූ තමාගේ සිල් අනුස්මරණය කෙරෙයි. ශීලය සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදියි. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, යම්සේ කිලිටි වූ කැටපත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි.
විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ කැටපත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: තෙල් නිසා ද හළු නිසා ද වල් කොසුව නිසා ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය නිසා ද වේ. විශාඛාවෙනි, මෙසේ කිලිටි කැටපත්හි පිරිසිදුබව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කෙසේ කිලිටි වූ චිත්තයාගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා තමාගේ සිල් සිහි කෙරේ. සිල් සිහි කරණ ඔහුගේ සිත පහදී. ප්‍රමෝදය උපදී, චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මේ අරිසවු සීලූපෝසථය වසන්නේ යි ද සීලය හා සමග වසන්නේ යි ද කියනු ලැබේ. සිල් ඇරබ ඔහුගේ සිත පහන් වේ. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් ද ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලිටි සිත්හි පර්‍ය්‍යවදානය උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කිලිටි සිත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, කෙසේ කිලිටි සිත්හි පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙ සස්නෙහි අරිසවු දෙවියන් අනුස්මරණය කෙරෙයි: සිවුමහරජයෙහි වැසි දෙවියෝ ඇත. තව්තිසා වැසි දෙවියෝ ඇත. යාමයෙහි වැසි දෙවියෝ ඇත. ... තුසීපුරවැසි දෙවියෝ ... නිම්මාණරති දෙව්ලෝ වැසි ... පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියෝ ඇත. බඹලොව වැසි දෙවියෝ ඇත. ඉන් ඔබ උපන් දෙවියෝ ඇත. යම්බඳු වූ ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු වූ ශීලයෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ශීලය විද්‍යාමාන වේ. යම්බඳු වූ ශ්‍රැතයෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු වූ ත්‍යාගයෙන් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන වේ. යම්බඳු වූ ප්‍රඥායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන වෙයි. තමාගේ හා දෙවියන්ගේ හා ශ්‍රද්ධාව හා ශීලය හා ශ්‍රැතය හා ත්‍යාගය හා ප්‍රඥාව හා අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වෙයි. ප්‍රමෝදය උපදනේය. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙත්.
විශාඛාවෙනි, යම්පරිදි කිලිටි වූ රනක්හුගේ පිරිසිදු බව උපක්‍රමයෙන් වේ ද, එසෙයිනි. විශාඛාවෙනි, කෙසේ වනාහි කිලිටි රනක්හුගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද: උදුන ද නිසා ලුණු ද නිසා ගෛරික ද නිසා පුඹුනා නළය හා අඬුව ද නිසා පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද නිසා වෙයි. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටි වූ ජාතරූපයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ. විශාඛාවෙනි, එපරිදි ම කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, කෙසේ නම් කිලිටි වූ චිත්තයාගේ පිරිසිදුබව උපක්‍රමයෙන් වේ ද: විශාඛාවෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දෙවියන් සිහි කරයි. “සිවුමහරජය වැසි දෙවියෝ ඇත. ... ඉන් ඔබ උපන් දෙවියෝ ඇත. යම්බඳු වූ ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන වෙයි. යම්බඳු ශීලයෙකින් ... යම්බඳු ශ්‍රැතයෙකින් ... ත්‍යාගයෙකින් ... ප්‍රඥායෙකින් සමන්‍වාගත වූ ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන වේ”යි. තමාගේ හා ඒ දෙවියන්ගේ හා ශ්‍රද්ධාව හා ශීලය හා ශ්‍රැතය හා ත්‍යාගය හා ප්‍රඥාව හා අනුස්මරණය කරණ ඔහුගේ සිත පහන් වේ. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙති. විශාඛාවෙනි, මේ අරිසවු දේවතූපෝසථය වසන්නේ යයි ද දෙවියන් හා සමග වසන්නේ යි ද කියනු ලැබේ. දෙවියන් ඇරබ ඔහු සිත පහදී. ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම්බඳු උපක්ලේශයෝ වෙත් නම් ඔහු ප්‍රහත වෙත්. විශාඛාවෙනි, කිලිටි චිත්තයාගේ පර්‍ය්‍යවදානය මෙසේ උපක්‍රමයෙන් වේ.
විශාඛාවෙනි, එම අරිසවු මෙසේ නුවණින් සලකයි: “රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් වැළකුනාහු බහා තුබූ දඬු ඇත්තාහු බහා තැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පීව වෙසෙත්. මම අද මේ රෑ හා මේ දවස හා පණිවා හැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වූයෙම් වෙසෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
රහත්හු දිවිහිමියෙන් අයිනාදනින් වැළකුනාහු දුන් දෑ ගන්නාසුලු වූවාහු දුන් දෑ කැමතිවනසුලු වූවාහු නොසොර වූ පිරිසිදු අත්බැවින් වෙසෙත්. මම ද අද මේ රෑ හා මේ දවස හා අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකියෙම් දුන් දෑ ගන්නා සුල්ලෙම් දුන් දෑ කැමැති වන සුල්ලෙම් නොසොර වූ පිවිතුරු අත්බැවින් වෙසෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසූයේ ද වෙයි.
රහත්හු දිවිහිම් අබ්‍රම්සර හැරදමා බඹසර ඇත්තාහු අබ්‍රම්සරින් දුරුව වසන්නාහු ගැමිදහම් වූ මෙවුන්දමින් වැළකුනාහු වෙති, මම ද අද මේ රෑ හා මේ දාවල හා අබ්‍රම්සර හැරදමා බඹසැරියෙම් ගැමිදම් වූ මෛථුනයෙන් වැළකියෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි.
රහත්හු දිවිහිම් මුසවා හැරදමා මුසවායෙන් වැළකුනාහු සත්‍යවාදී වූවාහු සත්‍යයෙන් සත්‍යය ඝටනාහු ස්ථිර කථා ඇත්තාහු හැදහිය යුතු කථා ඇත්තාහු ලෝකයා නළ නො කෙරෙති. මම ද අද මේ රෑ හා මේ දාවල හා මුසවා හැර දමා මුසවායෙන් වැළකියෙමි. සත්‍යවාදී වූයෙමි. සත්‍යයෙන් සත්‍යය ඝටනෙම් ස්ථිර කථා ඇතියෙම් හැදැහිය හැකි කථා ඇතියෙම් ලෝකයා නොවස්නෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
රහත්හු දිවිහිම් කොට පාන චේතනා නැමැති ප්‍රමාදයට කරුණු වූ රහමෙරමද හැරදමා පමා කරුණු වූ රහමෙරමදින් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දාවල පමා කරුණු වූ රහමෙර මද හැර දමා පමා කරුණුවූ රහමෙරමදින් වැළකියෙම් වෙමි. මේ ගුණාඞ්ගයෙනුදු මම රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද විසූයේ වෙයි.
රහත්හු දිවිහිම් ඒකභත්තික වූවාහු රාත්‍රිභෝජනයෙන් වැළකුනාහු විකල්බොජුනෙන් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දාවල හා ඒකභක්තික වූයෙම් රාත්‍රිභෝජනයෙන් වැළකුනෙමි විකල් බොජුනෙන් දුරුවූයෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසුයේ ද වෙයි.
රහත්හු දිවිහිමියෙන් නැටුම් ගැයුම් වැයුම් විසුළුදැකුම් මල්ගඳවිලෙවුන් දරණ සජන සරසන යන කරුණින් වැළකුනාහු වෙති. මම ද අද මේ රෑ හා මේ දවාල හා නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් මල්ගඳ විලෙවුන් දැරුම් සැදුම් සැරැයුම් යන කරුණින් වැළකුනෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වුසුයේ ද වෙයි.
රහත්හු දිවිහිමියෙන් උසසුන් මහඅසුන් හැර දමා උසසුන් මහස්නෙන් වැළැක්කාහු හැඳෙක හෝ තණඇතිරියෙක හෝ බට ශය්‍යා කෙරෙත්. මම ද අද මේ රෑ හා මේ දාවල හා උසසුන් මහසුන් හැරදමා උසසුන් මහස්නෙන් වැළකියෙම් හැඳෙක හෝ තණඇතිරියෙක බටහෙවුම් කෙරෙමි. මේ ගුණාඞ්ගයෙනුදු මම රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද වුසුයේ වෙයි. විශාඛාවෙනි, මෙසේ අරියූපෝසථය (අරීපෙහෙවස) වෙයි.
විශාඛාවෙනි, මෙසේ විසූ අරියූපෝසථය මහත්ඵල වෙයි. මහානිසංස ද වෙයි. මහාජූතික ද වෙයි. මහාවිප්ඵාර ද වෙයි. කිපමණ මහත්ඵල වේ ද: කිපමණ මහානිසංස වේ ද: කිපමණ මහාජුතික වේ ද: කිපමණ මහාවිප්ඵාර වේ ද?
විශාඛාවෙනි, යම්පරිදි අඞ්ග - මගධ - කාසී - කෝසල - වජ්ජි - මල්ල - චෙතී - වඞ්ග - කුරු - පඤ්චාල - මච්ඡ- සූරසේන - අස්සක- අවන්ති - ගන්‍ධාර - කාම්බෝජ බඳු නොමඳ සත්රුවනින් පිරි සොළොස් මහා ජනපදයන්ගේ ඓශ්චර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම් තෙල අෂ්ටාඞ්ගසමන්‍වාගත උපෝසථයාගේ සොළොස් වන කොටසට ද (එය) නො අගී. ඒ කවර හෙයින: විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි.
විශාඛාවෙනි, මිනිසුන් සතු යම් පණස් වසෙක් වේ ද, තෙල චාතුම්මහාරාජික දෙවියනට එක් රෑ දාවලෙකි. මසෙක් එරැයින් තිස් රැයෙක් වේ. හවුරුද්දෙක් එමසින් දොළොස් මැසි වෙයි. එ හවුරුදුයෙන් පන්සිය වසෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂප්‍රමාණය වේ. විශාඛාවෙනි යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි අෂ්ටාඞ්ගසමන්‍වාගත වූ පෙහෙවස් වැස කාබුන් මරණින් මතු සිවුමහරජවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණේ යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ කරුණ සඳහා දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන තෙල කියන ලදි.
විශාඛාවෙනි, මිනිසුන් සතු යම් වර්‍ෂ ශතයක් වේ ද, තව්තිසාවැසි දෙවියන්ට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මසෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍යවර්‍ෂසහස්‍රයක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂප්‍රමාණ වෙයි. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තාවතිංස වැසි දෙවියන්ගේ සහවාසයට පැමිණේය යන මෙකරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන මේ සඳහා තෙල කරුණ කියන ලදි.
විශාඛාවෙනි, මනුෂ්‍යයන් පිළිබඳ යම් දෙසිය හවුරුදුයෙක් වේ ද, යාම දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මසෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍ය ද්විසහස්‍ර වර්‍ෂයෙක් යාමදෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණ වෙයි. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි ඇතැම් ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් යාමදෙවියන්ගේ සහවාසයට එළඹේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි, යන තෙල කරුණ කියන ලදි.
විශාඛාවෙනි, මිනිසුන්ගේ යම් සාරසිය වසෙක් වේ ද තෙල තුෂිත දෙවියන්ගේ එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස් මැසි වූයේ හවුරුදුයෙකි. එහවුරුදුයෙන් දිව්‍ය වූ සාරදහස් වසෙක් තුෂිත දෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණය වේ. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තුෂිත දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා මානුෂිකරාජ්‍යය දිව්‍යසුඛය පිණිස අල්ප වෙයි යන තෙල කරුණ කියන ලදි.
විශාඛාවෙනි, මානුෂික වූ යම් අටසිය වසෙක් වේ ද තෙල නිර්‍මාණරතී දෙවියනට එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස්මස් ඇතියේ හවුරුද්දෙකි. එහවුරුදුයෙන් දිව්‍ය වූ අෂ්ටවර්‍ෂසහස්‍රයෙක් නිර්‍මාණරතී දෙවියන්ගේ ආයුෂ්ප්‍රමාණ වේ. විශාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු නිර්‍මාණරතී දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, මේ සඳහා දිව්‍යසුඛය පිණිස මානුෂිකරාජ්‍යය කෘපණ වේ යන තෙල කරුණ කියන ලදි.
විශාඛාවෙනි, මිනිසුන් පිළිබඳ යම් සොළොස් සියවසෙක් වේ ද පරනිර්මිත වශවර්තී දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එරැයින් තිස්රැයෙක් මාසයෙකි. එමසින් දොළොස්මැසි වූයේ හවුරුද්දෙකි. එහවුරුද්දෙන් දිව්‍ය වූ ශොඩෂ වර්‍ෂ සහස්‍රයෙක් පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ ආයුප්‍රමාණය වේ. විශාඛාවෙනි, මෙලොව යම් හෙයෙකින් කිසි ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිර්මිත වශවර්ති දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වේ. විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මානුෂික රාජ්‍යය පුරුතු වෙයි යන තෙල කරුණ කියන ලදි.
30. පරපණ නො නස්නේය. අයිනාදන් නො ද ගන්නේය. මුසවා නො බණන්නේය. මත්පැන් පානය කරන්නෙක් නො ද වන්නේය. අබ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත මෛථුනයෙන් වළක්නේය. රාත්‍රිභෝජනය හා විකාලභෝජනය නො බුදින්නේය.
31. මල්දම් නො දරන්නේය. සුවඳ නො තවරගන්නේය. හැඳෙහි ද (පිරියම් කළ) බිමෙහි ද ඇතිරියෙහි ද හෝනේය. දුකත් ගිය බුදුරජුන් විසින් වදහළ තෙල ම අටඟපෙහෙවසැ යි කීහු.
32. සුදර්‍ශන වූ චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද යන දෙදෙන යම්තාක් තැන් හොබවමින් සිසාරා යෙත් ද, අඳුරු බිඳලන අහසෙහි යන ඔහු සව් දිගුන් හොබවන්නාහු අහස්හි රස් නඟත් ද,
33. මේ දෙයතුරෙහි සිත්කලු මුතු හා දෑමිණි හා වෙරළුමිණි හා සිඟු රන් හා වැලිත් පැවී කසුන් හා බුදුබඳ පැහැති රන් හා කුහුඹුවන් විසින් ගෙණෙන ලද හෙයින් “හාටකයැ” යි කියනු ලබන රන් හා යම් බඳු ධනයක් වේ ද,
34. ඔහු ද අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස් වන කොටස ද නොයෙත්.
35. හැම උළුකැන්හු සඳරස්හුගේ සොළොස්වන කොටසට නොවැටෙද්ද, එසෙයිනි. එහෙයින් ම සිල්වත් නරනාරීහු අටඟින් යුත් පෙහෙවස් වැස සුව එළවන පින් කොට අනින්‍දිත වූවාහු ස්වර්‍ගස්ථානයට එළඹෙත්.
දෙවන මහවග යි.
[3. ආනන්‍ද වර්‍ගය]
3. 2. 3. 1.
[සැවැත්නිදාන යි]
21. එකල්හි සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස්ව හුන් සන් පිරිවැජි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය:
කියඟ ආනන්‍දයෙනි, තෙපිත් රාගප්‍රහාණය පනවාලවු ද, ද්වේෂ ප්‍රහාණය ... මෝහප්‍රහාණය පනවාලවු දැ’යි. ඇවැත්නි, අපි ම රාගප්‍රහාණය පණවම්හ. ද්වේෂප්‍රහාණය ... මෝහ ප්‍රහාණය පණවම්හ යි. කිමෙක ඇවැත්නි, තෙපි රාගයෙහි ආදීනව දැක රාගප්‍රහාණය පණවා ලවු ද? කිම ද්වේෂයෙහි ... කිම? මෝහයෙහි ආදීනව දැක මෝහප්‍රහාණය පණවා ලවු දැ යි.
ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මව්‍යාබාධය පිණිස ද සිතයි, පරව්‍යාබාධය පිණිස ද ... උභයව්‍යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, රාගය ප්‍රහතවත් ම ආත්මව්‍යාබාධය පිණිස නො සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස ... චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහතවත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, රාගයෙන් රත්වූයේ, මඩනා ලදුයේ, ගත් සිතැතියේ ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. රාගය ප්‍රහතවත් ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, රාගය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නොකරන්නේ වෙයි. ප්‍රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්‍ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
ඇවැත්නි, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මව්‍යාබාධය පිණිස ද සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස ද සිතයි. චෛතසික වූත් දුක් දොම්නස් විඳුනේය, මෝහය ප්‍රහතවත් ම ආත්මව්‍යාබාධය පිණිස නො ම සිතයි. පරව්‍යාබාධය පිණිස ... උභයව්‍යාබාධය පිණිස නො ම සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳුනේය.
ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ, මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. මෝහය ප්‍රහත වත් ම කයින් දුසිරිත් නො ම කරයි වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. ඇවැත්නි, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලදුයේ, ඇදගත් සිතැතියේ ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි නො දන්නේය. මෝහය ප්‍රහත වත් ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිදි දන්නේය. ඇවැත්නි, මෝහය වනාහි අඳ කරන්නේ වෙයි. පැණැස් නො කරන්නේ වෙයි. නුවණ නො කරන්නේ වෙයි. ප්‍රඥාව නිරුද්ධ කරන්නේ වෙයි. දුඃඛපක්‍ෂයෙහි වැටෙන්නේ වෙයි. කෙලෙස් නිවනු පිණිස නො පවත්නේ වෙයි.
ඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනවය දැක රාගප්‍රහාණය පණවම්හ. ද්වේෂයෙහි මේ ආදීනවය දැක ද්වේෂප්‍රහාණය පණවම්හ. මෝහයෙහි මේ ආදීනවය දැක මෝහප්‍රහාණය පණවම්හ යි.
ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස, මාර්‍ගයෙක් ඇත් ද? ප්‍රතිපදායෙක් ඇත් දැ යි? ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ගයෙක් ඇත. ප්‍රතිපදායෙක් ඇත, ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්‍ගය කවරේය? ප්‍රතිපදාව කවර? ඇවැත්නි, මේ අරී අටඟි මග මැ යි. හේ කෙසේය: සම්‍යග් දෘෂ්ටිය, ... සම්‍යක් සමාධි යි. ඇවැත්නි, තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මේ මගයි. මේ ප්‍රතිපදායි. ඇවැත්නි, තෙල රාගයාගේ දේවෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්‍ගය භද්‍රය. ප්‍රතිපදාව භද්‍රය. ඇවැත, ආනන්‍දයෙනි, අප්‍රමාදය පිණිස නිසිත් වෙයි.
3. 2. 3. 2.
[කොසඹෑනිදාන යි:]
22. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල එක්තරා ආජීවක ශ්‍රාවක වූ ගැහැවියෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇදුරු කොට වැඳ, එකත්පස්හි හින. එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්‍රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්‍දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි?
ගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්‍රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වේ ද, නොහොත් නො වේ ද? තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේ දැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වෙයි. මෙහි ලා මට මෙසේ සිත් වෙයි.
ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ඔහු ලෝකයෙහි සුපිළිපන්හු වෙත් ද, නොහොත් නො වෙත් ද, තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේදැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන් වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
ගැහැවියෙනි, ඒ කිසෙයින් සිතවු ද? යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ ද, මුලසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ ද, ... යම් කෙනකුන්ගේ මෝහය ප්‍රහත වේ ද, මුලුසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙත් ද? නොසේ වෙත් ද? මෙහි ලා තට කෙසේ හෝ අදහස් වේ දැ යි? වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාවය කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
ගැහැවියෙනි, “වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ ය” යි මෙසේ තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන්හ’ යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනාගති ඇති වෙති’යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී.
වහන්ස, ඇඟිලි පොළන්නට නිසිය. වහන්ස, නොවූවිරියෙක, තමා ලද හුවා නො දක්වනු වෙයි. මෙරමා ලද හෙළනුදු නොවෙයි. නිසි කරුණෙහි ම දහම් දෙසුම් වෙයි. පුළුවුත් පැනට අර්‍ත්‍ථය ම පැවසින. තෙමේත් (අපි මෙබන්දම්හ යි) එළවා නො දැක්වින.
වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා දහම් දෙසව. ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසව. මෝහප්‍රහාණය සඳහා දහම් දෙසව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ දහම මොනොවට පවසන ලදී. වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා පිළිපන්නාව. ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාව. තෙපි ලෝකයෙහි සුපිළිපන්නාව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ රාගය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තොපගේ ද්වේෂය ... තොපගේ මෝහය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තෙපි ලෝකයෙහි මනාගති ඇත්තාව.
වහන්ස, ඉතා මැනව, වහන්ස, ඉතා මැනව. වහන්ස, යටිහුරු කරණ ලද්දක් හෝ යම්සේ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ යම්සේ විවට කරන්නේ වේ ද, මං මුළාවූවක්හට හෝ යම්සේ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපායතනයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ යම්සේ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි ම ආර්‍ය ආනන්‍ද තෙරණුවන් විසින් අනේකපර්‍ය්‍යායයෙන් (තුන් අයුරින්) දහම් දෙසන ලදී.
වහන්ස, ආනන්‍දයෙනි, තෙල මම එ භගවත්හු ද දහම ද බික්සඟුන් ද සරණ යෙමි. ආර්‍ය ආනන්‍ද තෙරණුවෝ අද පටන් කොට මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරත්වා.
3. 2. 3. 3.
[කිඹුල්වත්නිදාන යි:]
23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ගිලන් ව නැගි සිටි සේක් ගිලන් සෙයින් නැගිසිටි නොබෝකල් ඇති සේක. එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. වහන්ස, ‘එකඟ සිතැතියාහට ඥානය ඇත. එකඟ සිත් නැතියාහට ඥානය නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසූ දහම මම දීර්‍ඝ-රාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, කැල ම සමාධිය වේ ද? පසු ව ඥානය වේ ද? නොහොත් කැල ම ඥානය වේ ද? පසු ව ලා සමාධිය වේ දැ යි?
එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙබඳු සිතෙක් වී. භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව නැගිසිටි සේක් ගිලන් බැවින් නැගිසිටි නොබෝකල් ඇත සේක. වැලිදු මේ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ අතින් ඉගැඹුරු පැනක් පුළුවුස්නේය. මම මහානාම සැහැරජ එකත්පසෙකට ගෙණ ගොස් දහම් දෙසම් නම් මනා මැ නුයි.
එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.
මහානාමයෙනි, ශෛක්‍ෂශීලය නම් කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරසංවෘතව ... මොනොවට ගෙණ ශික්‍ෂාපද විෂයෙහි හික්මෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂශීලය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂසමාධිය කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂසමාධිය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂප්‍රඥාව කවර? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැයි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. ... මේ දුඃඛනිරෝධගාමිනී වූ ප්‍රතිපත්තිය යි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. මහානාමයෙනි, මේ ශෛක්‍ෂප්‍රඥා යි කියනු ලැබේ.
මහානාමනි, ඒ අරිසවු මෙබඳු සිල් ඇතියේ, මෙබඳු සමාධි ඇතියේ මෙ බඳු පැණ ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ රහත්ඵල සපියුතු සමාධි හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන වෙසෙයි.
මහානාමයෙනි, මෙ පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ සමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥාව ද වදාරණ ලදු. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ප්‍රඥාව ද වදාරණ ලදු.
3. 2. 3. 4.
[වේසාලිනිදාන යි]
24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.
වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්‍මයන්ගේ නොකිරීමෙන් සේතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් සර්‍වදුඃඛය නිර්ජිර්‍ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්‍ජරාවිශුද්ධියෙන් භවසමතික්‍රමණය වේය යි කියා යි.
වහන්ස, මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?
අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්‍ෂුසින් සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
කවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම පුනපුනා විපාක ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයෙනි, ඒ මහණ මෙ පරිදි සිල් ඇතියේ කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම විපාක විසින් පුනපුනා ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයයෙනි, ඒ මහණ මෙපරිදි සිල් ඇතියේ මෙපරිදි සමාධි ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ උපයා වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම ස්පර්‍ශ කොට කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වේදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.
අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන් හතයට යනු සඳහා අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරාවිශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.
මෙසේ වදාළ කල්හි පණ්ඩිතකුමාර ලිච්ඡ්වී අභය ලිච්ඡ්වීහට තෙල කීය:
යහළු අභයයෙනි, කිම, තො ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙහි ද?