පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.
කාලාමයෙනි, මෙසේ යම් එ බසක් කීමෝ ද: ‘තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, ‘තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැ’යි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.
කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වීලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු වැඩ පිණිස සුව පිණිස පවත්නාහ’යි තුමූ ම දන්නහු නම්, එකල කාලාමයෙනි, තෙපි එය උපයාගෙන වසව.
කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? පුරුෂයාගේ සිත තුළ අලෝභය උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ ද? වහන්ස, හිත පිණිස උපදනේය.
කාලාමයෙනි, අලුබ්ධ වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු පණිවා නොමැ කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයන් කරා නො යේ. මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? පුරුෂයාගේ සිත තුළ අද්වේෂය උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේය.
කාලාමයෙනි, අද්විෂ්ට වූ මේ පුරුෂ පුද්ගල ද්වේෂයෙන් නො මඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නො ම කෙරේ ... මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? අමෝහය පුරුෂයා තුළ උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස හෝ උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේ ය.
කාලාමයෙනි, අමූඪ වූ මේ පුරුෂ පුද්ගල මෝහයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ, යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නොම කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයට නොයේ, මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරව යි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත් ද? වහන්ස, කුසල්හු වෙති.
සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, අනවද්‍ය වෙති.
විඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙත් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ.
පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙත් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වන්නේ ද? වහන්ස, පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත්. මෙහි ලා අපට මෙබඳු අදහස් වෙයි.
“කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වීල යන) ඉතිකිරාකථායෙනුදු නො ගණුව. (පෙළ හා සැසඳෙයි යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව. මේ මහණහු අපට ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව. කාලාමයෙනි, තෙපි යම් කලෙක මේ ධර්‍මයෝ කුසලයහ, මේ ධර්‍මයෝ අනවද්‍යයහ, මේ ධර්‍මයෝ විඥප්‍රශස්තයහ. මේ ධර්‍මයෝ සමාත්ත වූවාහු, සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති’යි තුමූ ම දනිවු නම්, කාලාමයෙනි, එකල තෙපි එය ලැබගෙණ වසව’යි මෙසේ යම් එබඳු බසක් කියනලදනම්, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.
කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ, පහව ගිය ව්‍යාපාද ඇත්තේ අසම්මූඪ වූයේ නුවණින් දන්නේ එළඹසිටි සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් ... කරුණා සහගත සිතින් ... මාර්‍දව සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසේ. එසැටි ම දෙවන දිග, එසැටි ම තුන්වන දිග, එසැටි ම සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ එයින් ම නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.
කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇතියේ මෙසේ නිදුක් සිත් ඇතියේ මෙසේ නොකිලිටි සිත් ඇතියේ මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාස කෙනෙක් අධිගත වෙත්.
ඉදින් පරලොව වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ නම් මම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් පරලොව නො වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ නම් මම මෙලොව ම අවෛර වූත් ව්‍යාබාධරහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි යි මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම වැලිත් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.
කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ අබ්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ විශුද්ධ සිත් ඇත්තේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත් දැයි වදාළහ.
භාග්‍යවතුන් වහන්ස, තෙල මෙසේ මැයැ. සුගතයන් වහන්ස, තෙල මෙසේ මැයැ. වහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇතියේ, මෙසේ ව්‍යාබාධ රහිත සිත් ඇතියේ - මෙසේ නො කිලිටි සිත් ඇතියේ - මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාසයෝ අධිගත වෙත්. (කෙසේ ද?)
ඉදින් පරලොව වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ ද, ඒකාන්තයෙන් මම කාබුන් මරණින් මතුයෙහි ශුභගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි ඔහු විසින් මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් පරලොව නො වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ ද, මම වැලිත් ඉහාත්මයෙහි ම අවෛර වූත් ව්‍යාබාධ රහිත වූ ව්‍යසන රහිත වූ සුඛ වූ ආත්මයක් පරිහරණය කෙරෙමි යි ඔහු විසින් මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.
ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම එයින් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.
වහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ නිර්ව්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත්.
වහන්ස, ඉතා මැනව, ... වහන්ස, තෙල අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යම්හ. දහම ද බික්සඟුන් ද සරණ යම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයන් කොට ධරණ සේක් වා.
3. 2. 2. 6.
16. එක් සමයෙක්හි ආයුෂ්මත් නන්‍දක මහතෙරහු සැවැත් නුවර මුවරමාපහය නම් ලද පූර්‍වාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි මුවර මහසිටුහු මුනුපුරු සාළ්හ සිටු හා පේඛුනිය සිටුහු මුනුපුරු රෝහණ සිටු නන්‍දක මහතෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් නන්‍දක මහතෙරුන් සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් මුවර මහසිටු මුනුපුරු සාළ්හයනට ආයුෂ්මත් නන්‍දක මහතෙරහු තෙල පැවසූහ.
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වේ ල යන මේ) ඉතිකිරා කථායෙනුදු නො ගණුව, (අපගේ පෙළ හා සැසඳෙතී යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නො ගණුව, නයග්‍රාහයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, (අප ඉවසූ දෘෂ්ටිය හා සැසඳෙතී යන) දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව, මේ මහණහු අප ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු අකුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥගර්හිතයහ, මේ දහම්හු පරිපූර්‍ණ වූවාහු පරාමර්‍ෂ වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති” යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි හැරපියව්.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම තෙල අර්‍ත්‍ථය ‘අභිධ්‍යා’ යි කියමි.
සාළ්හයෙනි, ලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණයන් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ද්වේෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘ව්‍යාපාද’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
සාළ්හයෙනි, ද්විෂ්ට වූ ව්‍යාපාදයට පත් සිතැති මේ පුද්ගල, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණත් නස්නේ ය, ... මුසවා බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, මෝහය ඇද්ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අවිද්‍යා’යී තෙල අර්‍ත්‍ථය කියමි.
සාළ්හයෙනි, මූඪ වූ අවිද්‍යායෙන් යුක්ත මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණත් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැයි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද් ද? වහන්ස, අකුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥගර්හිතයහ. සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු අහිතයට දුඃඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙද් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වේ ද? වහන්ස, පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව” යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මේ දහම්හු පරිපූර්‍ණ වූවාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති යි තුමූම දනිව් ද? සාළ්හයෙනි, එකල තෙපි හැරපියව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව. සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙත්”යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට එළඹ වසව.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අනභිධ්‍යා’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
සාළ්හයෙනි, අලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණයන් නො ම නසයි, අයිනාදන් නො ගණී, පරදාරයට නො යෙයි, මුසවා නො කියයි, මෙරමා එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අදෝෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අව්‍යාපාද’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
සාළ්හයෙනි, අද්විෂ්ට වූ ව්‍යාපාදයට නොපත් සිතැති, මේ පුද්ගල යම් කර්‍මයෙක් ඔහුට හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණය නො ම නස්නේ ය, ... මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අමෝහය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘විද්‍යා’ය යි තෙල අර්‍ත්‍ථය කියමි.
සාළ්හයෙනි, අමූඪ වූ විද්‍යාව ලත් මේ පුරුෂ, යම් කර්‍මයෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්‍ම වූ ප්‍රාණය නො ම නස්නේය, … මුසවා නො බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි ඒ කිමැ යි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද්ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද්ද! වහන්ස, අනවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥප්‍රශස්තයහ.
සමාත්ත වූවාහු සාමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙද්ද? නොහොත් නොවැටෙද්ද? මෙහි ලා කෙසේ අදහස් වේ ද! වහන්ස, සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, අපගේ ගුරුශ්‍රමණයහ යන හේතුයෙනුදු නොගණුව යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, “සාළ්හයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු පුරණ ලද්දාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති යි තුමූම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට පැමිණ වසව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල අර්‍ත්‍ථය පිණිස කියන ලදී.
සාළ්හයෙනි,ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ පහව ගිය ව්‍යාපාද ඇත්තේ පහව ගිය මුළා ඇත්තේ නුවණින් දන්නේ එළඹි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් ... කුලුණු සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසෙයි. එසැටි ම දෙවන දිග ද, එසැටි ම තෙවන දිග ද, එසැටි ම සතරනව දිගදැ යි මෙසේ උඩ - යට - සරස හැමතැන සර්‍වාත්මභාවයෙන් හැමලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.
“මේ ඇත. හීනයෙක් ඇත. ප්‍රණීතයෙක් ඇත, මේ සංඥාගතයාගේ මතු නිශ්ශරණයෙක් ඇතැ”යි හේ මෙසේ දනී.
මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදෙත් ම, විමුක්තය යි නුවණෙක් වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිම විය. සතර මග කිස කරණලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අන් දැයෙක් නැති යි දන්නේය.
“පෙර ලෝභයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනව. පෙර ද්වේෂයෙක් විය ... පෙර මෝහයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනවැ” යි හේ මෙසේ දැනගනී.
මෙසේ හෙයින් මෙලොව්හි ම නිස්තෘෂ්ණ වූයේ නිර්‍වෘත වූයේ ශීතිභූත වූයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් වෙසෙයි.
3. 2. 2. 7.
17. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වීය’යි අතීත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘අනාගත කාලය මෙසේ වේය’යි අනාගත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේය’යි දැන් ප්‍රත්‍යුත්පන්නය හෝ අරභයා කථා කියන්නේ ය.
මහණෙනි, පුග්ගලයා “කථායෙහි යෝග්‍ය වේ ද, නොහොත් කථායෙහි අයෝග්‍ය වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය. මහණෙනි, ඉදින් ප්‍රශ්න කරණ ලද මේ පුද්ගලයා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නො විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට නො විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් නො විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය නො තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නොවේ.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, නොහොත් කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුයි. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි නො සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි නො සිටුනේ ද, දැන සිටි වාදයෙහි නො සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි නො සිටුනේ ද, මෙසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි,
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි සිටුනේ ද, දැන සිටි වාදයෙහි සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි සිටුනේ ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවෙකින් අන්‍යකථාව නො වසාලයි ද, එයින් ම බැහැරට කථාව නො නෙරයි ද, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පහළ නොකෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා කෙරේ ද, කරුණු එළවා කථාව මැඩ පියා ද, අත් පැහැර මහා හාස්‍ය කෙරේ ද, සංඛලිතය ඇද ගණී ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වේ.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා නො කෙරේ ද, කරුණු එළවා කථා ව නො මැඩපියා ද, අත් පැහැර මහා හාස්‍ය නො කෙරේ ද, සංඛලිතය නො ගණී ද, එසේ වත් ම මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
මහණෙනි, පුද්ගල තෙමේ “උපනිඃශ්‍රය සහිත වේ ද, උපනිඃශ්‍රය රහිත වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය.
මහණෙනි, යොමු නො කළ කන් ඇතියෙ උපනිඃශ්‍රය නැතියෙ නම් වෙයි. යොමු කළ කන් ඇතියේ උපනිඃශ්‍රය ඇතියේ නම් වෙයි. හේ උපනිඃශ්‍රය ඇතියේ එක් කුසල් දහමක් වූ අරීමග දනී. එක් දහමක් වූ දුඃඛසත්‍ය තීරණය කොට දනී. එක් දහමක් වූ සර්‍වාකුශලය දුරු කෙරෙයි. එක් දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙ යි. හේ එක් දහමක් වූ අරීමග දන්නේ, එක් දහමක් වූ දුඃඛසත්‍යය තීරණය කොට දන්නේ, එක් දහමක් වූ සර්‍වාකුශලය හරනේ, එක දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කරණුයේ සම්‍යක් විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵල විමෝක්‍ෂය ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
මහණෙනි, යම් මේ චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් වේ ද, කථාව මෙ අර්‍ත්‍ථ කොට ඇත. මන්ත්‍රණාව මේ අර්‍ත්‍ථ කොට ඇත. උපනිසාව මේ අර්‍ත්‍ථ කොට ඇත, කන් නතු කිරීම මේ අර්‍ත්‍ථ කොට ඇත.
23. යම් කෙනෙක් කෝපයෙන් විරුද්ධ වූවාහු එහි බැසගත්තාහු මානයෙන් නගන ලද්දාහු උනුන් සිදුරු සොයන්නාහු ගුණ ඝටා අනාර්‍ය්‍ය කථාව අල්ලාප සල්ලාප විසින් කෙරෙත් ද,
24. ඔහු උනුන්ගේ දුර්‍භාෂිතය මුඛදෝෂ ආදි අල්පසඛලිතය මුළාව පරාජය ගෙණ සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙමේ එබඳු කථාව නො කරන්නේ ය.
25-26. ඉදින් කථාවට කැමති වන්නේ වී නම් නිසි කල් දැන ධීර වූ අවිරුද්ධ වූ මානයෙන් නො හුවන ලද ඒ පණ්ඩිත තෙමේ අනුද්ධත සිතින් යුගග්‍රාහ රහිත ව ලාහෙළාකම් නැතිව ධර්‍මස්ථ වූත් ධර්‍මප්‍රතිසංයුක්ත වූත් යම් ආර්‍ය්‍යකථායෙක් ඇද්ද, ඒ කථාව කියන්නේ ය.
27. ඒ පණ්ඩිත තෙමේ ඊර්‍ෂ්‍යා රහිත සිතැත්තේ මොනොවට දැන බෙණේ. සුභාෂිතය අනුමෙව්නේය. දුර්‍භාෂිතයෙහි ලා නො බස්නේ ය.
28. කරණොත්තරකරණ ලක්‍ෂණ උපාරම්භය ශික්‍ෂණ විසින් නො ගන්නේය. පමාදොස නො ගන්නේ ය. (මෙරමා කථාව වළහා) කරුණු නො එළවන්නේ ය. (මෙරමා කථාව) නො මඬනේ ය. සත්‍යාසත්‍යප්‍රතිසංයුක්ත තෙපුල නො බණන්නේය.
29. පණ්ඩිතයන්ගේ මන්ත්‍රණාව දැනුම් පිණිස ද ප්‍රසාදය පිණිස ද එකැතින් වෙයි. ආර්‍ය්‍යයෝ මෙසේ මන්ත්‍රණය කෙරෙති, මේ ආර්‍ය්‍යයන්ගේ මන්ත්‍රණාව යි. ප්‍රශස්තබුද්ධි ඇති පණ්ඩිත තෙම මෙපවත් දැන මානයෙන් හුවා නො ගන්නේ ය. මානනිඃශ්‍රිත නො වී මන්ත්‍රණය කරන්නේ ය.
3. 2. 2. 8.
18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ තුන් දහමුන්ගේ විශේෂය කවරේ ය, අධිප්‍රාය කවරේ ය, නනස කවරේ යැ? යි මෙසේ විචාරන්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කිමැ යි ප්‍රකාශ කරන්නහු ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැ නු. භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල් අසා භික්‍ෂූහු ධරන්නාහ.
මහණෙනි, එසේ වී නම් අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මෝහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, එයට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු සුභනිමිත්තය යි කිය යුතු ය.
සුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය උපදනේ ය. උපන්නා වූ ද රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු ප්‍රතිඝනිමිත්තය යි කිය යුතු ය.
ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නුපන්නාවූ ද ද්වේෂය උපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය භාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු නුනුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු ය.
නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය උපදනේ ය. උපන්නා වූ ද මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු අශුභනිමිත්තය යි කිය යුතු වෙයි.
අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය නූපදනේ ය. උපන්නා වූ ද රාගය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් ද්වේෂය නූපදනේ ද, උපන් හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු මෙත්තාචේතෝවිමුත්තිය යි කිය යුතු වෙයි.
මෛත්‍රීචෙතෝවිමුක්තිය නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද ද්වේෂය නූපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන්නාවූ ද ද්වේෂය නූපදනේ වේ ද, උපන්නා වූ හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.
ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ? එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු නුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු වෙයි.
නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය නූපදනේ වෙයි. උපන්නා වූ ද මෝහය පහව යන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.
3. 2. 2. 9.
19. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශල මූලයෙකි.
මහණෙනි, යම් ලෝභයෙක් වේ ද, හෙ ද අකුශලය. ලුබ්ධ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් පිළියෙළ කරන්නේ නම් එ ද අකුශලය. ලුබ්ධ වූයේ ලෝභයෙන් මඩනා ලද්දේ ලෝභයෙන් ගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි බන්‍ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමානදෝෂයෙකින් දුක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
මහණෙනි, යම් ද්වේෂයෙක් වේ ද, එ ද අකුශලයෙකි. “ද්විෂ්ට වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් සකස් කරන්නේ වේ ද, එ ද අකුශලය. ද්විෂ්ට වූයේ ද්වේෂයෙන් මඩනා ලද්දේ ද්වේෂයෙන් ගත් සිත් ඇත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්‍ත්‍ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නෙරනායෙන් වේවයි, යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ද්වේෂයෙන් හැටි ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
මහණෙනි, යම් මෝහයෙක් වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් රැස්කරන්නේ වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ මෝහයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනය පැහැර ගැණීමෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ මෝහයෙන් හැටි මෝහය නිදාන කොට ඇති මෝහය සමුදය කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙ වැනි වූ මේ පුද්ගල ද අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
මහණෙනි, කවර හෙයෙකින් මෙබඳු වූ මේ පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලබන්නේ වේ ද? මහණෙනි, යම්සේ මේ පුද්ගල “බලවත් වෙමි, බලයෙන් අර්‍ත්‍ථ ඇත්තෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්‍ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් දුක් උපදවා ද, එහෙයිනි. සත්‍යවූ දැයින් කියනු ලබන්නේ අවඥා කෙරෙයි. ප්‍රතිඥා නො කෙරෙයි. අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරණු ලබන්නේ මෙසේත් මෙය තථ්‍ය නො වෙයි, මෙසේත් මෙය භූත නො වෙයි කියා ඒ අභූතය අවුල් හරණු පිණිස උත්සාහ නො කරයි. එහෙයින් මෙබඳු පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්‍ත්‍ථවාදීය යි ද, අධර්‍මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
මහණෙනි, මෙබඳු පුද්ගල ලෝභයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලදුයේ එයින් ම වැළඳගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස සහිත උපායාස සහිත පරිදාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
ද්වේෂයෙන් හැටි ... මෝහයෙන් හැටි පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලදුයේ එයින් පැහැර ගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
මහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි දැවගසෙක් වේවයි බුදුරු ගසෙක් වේවයි තුන් මාලුවා ලියන් විසින් මතුයෙහි වසාගන්නා ලද්දේ හාත්පස වළඳනා ලද්දේ නො වැඩීමට පැමිණේ ද, වනසට පැමිණේ ද, අනයව්‍යසනයට පැමිණේ ද, මහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගල ලෝභයෙන් හැටි පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වසනේ ය. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෙන් මඩනා ලද්දේ ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිළාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනයහ.