භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නන් වැදෑරුම් ඍද්ධිවිධ පවත්වයි. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වයි, යන යම් පෙළහරෙක් වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය යමෙක් කෙරේ නම්, එය හේ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම්, ඔහුට ම එය වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මායාස්වභාව ඇතිසේ මට වැටහේ.
භවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද? එනම්: මේ ලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මෙ අයුරුදු වේය යි නිමිත්තෙන් කියයි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ, අන් පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො ම කියයි. වැලිත් මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා කියයි ... විතර්‍ක කරන්නහුගේ විචාර කරන්නහුගේ හෝ විතර්‍කවිෂ්ඵාර ශබ්දය අසා ද නො කියයි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් (මෙරමා) සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනඃසංස්කාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ. අන්පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද යමෙක් ම කෙරේ නම් එය හෙ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම් එය ඔහුට ම වේ . භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද මායාස්වභාව ඇතිසේ මට වැටහේ.
භවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද, එනම්: මෙලොව්හි කිසිවෙක් අනුශාසනා කෙරෙයි: මෙසේ සිතව නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍යයන් අතුරෙන් අතිශය මැනැවැ යි ද අතිශය ප්‍රණීතය යි ද (මට) වැටහේ.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙ යාවත්සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ තුන් පෙළහරින් සමන්‍විත කොට දරම්හ. භවත් ගෞතමයන් වහන්සේ වනාහි නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වති. භවත් ගෞතමයන් වහන්සේ ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් මෙරමා සිත පිරිසිඳ දන්නාහ. ‘මේ පින්වත්හුගේ මනස්සංස්කාරයෝ යම්සේ පිහිටුවන ලද්දාහු නම්, මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ කියායි. භවත්ගෞතමයන් වහන්සේ ම මෙසේ අනුශාසනා කරණ සේක: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙය උපයාගෙන වසව’ යි කියායි.
බමුණ, ඒකාන්තයෙන් තා විසින් (මා ගුණෙහි) ගටා මවෙත එළවා (නතු කොට) බසෙක් කියන ලදි. වැලිදු මම තට ප්‍රකාශ කරමි. බමුණ මම ම නන් වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කරමි. ... බඹලොව තෙක්දු කයින් වසය පවත්වමි. බමුණ, මම ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් මාගේ සිතින් (ඔහු) සිත පිරිසිඳ දන්මි’. මේ භවත්හුගේ මනස්සංස්කාරයෝ යම් පරිද්දෙකින් පිහිටුවන ලද්දාහු ද (එහෙයින්) මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ යි. බමුණ, මම ම මෙසේ අනුශාසනා කරමි: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙයට පැමිණ වසව’ යි.
භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ තබා මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් යුක්ත වූ යම් කිසි අන් එක ද භික්‍ෂුවෙක් ඇත් ද? බමුණ, එක් සියෙක් ම නො වේ. දෙසියෙක් ම නො වේ. තුන්සියෙක් ම නො වේ. සාර සියෙක් ම නො වේ. පන්සියෙක් ම නො වේ. වැලිදු යම් කිසිවෙක් මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් සමන්‍විත වේ නම්, ඔහු බෙහෙව. භවත් ගෞතමයන් වහන්ස, ඒ භික්‍ෂූහු මෙකල කොහි වෙසෙත් ද? බමුණ, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි මැ වෙති.
භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යී.
පළමුවන බ්‍රාහ්මණ වර්‍ගය යි.
[2. මහා වර්‍ගය]
3. 2. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව) පරම්පරාවක් ගොසිනුදු අක්‍රියවාදයෙහි සිටිද්ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ”යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු ප්‍රත්‍යයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණෝ ඇද්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂා වේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි තෙපි මෙබඳු වාද ඇත්තහු ල, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් වේ ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: ‘ආයුෂ්මත්නි, එසේ වී නම් ආයුෂ්මත්හු පෙර කළ කම් හෙයින් පණිවා කරන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අයිනාදන් ගන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අබ්‍රහමචාරීහු වෙති, පෙර කළ කම් හෙයින් මුසවා බණන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් පිසුනුබස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් පරොස්බස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් හිස් බස් තෙපලන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් දෘඪලෝභ ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් ව්‍යාපාදයට පත් සිත් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් මිසදිටු ඇත්තාහු වෙති’ යි.
මහණෙනි, පෙර කළ කම් සාර වශයෙන් පිළිගන්නවුනට ‘මෙය කටයුතු ය හෝ මෙය නො කටයුතු ය හෝ’ යි කත්තුකම්‍යතා සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් වේවයි ව්‍යායාමයෙක් වේවයි නො වේ. මෙසේ කරණී නො කරණී සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ ප්‍රථම වූ සකාරණ නිග්‍රහය වේ.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි තෙපි මෙ බඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් පණිවා කරන්නාහු වෙති, ... ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
මහණෙනි, ඊශ්වරනිර්‍මාණය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට මේ කළයුතු කියා වේවයි මෙය නො කළයුතු කියා වේවයි ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති ඒ මහණබමුණන් කෙරෙහි මාගේ මේ දෙවනු වූ සහේතුක නිග්‍රහය වේ.
මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙබඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘සැබැවැ’යි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු අහේතු අප්‍රත්‍යයෙන් පණිවා කරන්නාහු වෙති, ... අහේතු අප්‍රත්‍යයෙන් මිසදිටු ඇත්තාහු වෙති.
මහණෙනි, අහේතු අප්‍රත්‍යය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට ‘මේ කරණී වේවයි මේ නො කරණී වේවයි’ ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇතිව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ තෙවනු වූ සකාරණ නිග්‍රහය වේ.
මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව පරම්පරාවක් ගොසිනුදු) අක්‍රියවාදයෙහි සිටිත් ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙන වෙති.
මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි, මේ ධර්‍මයෙක් මා විසින් දෙසන ලද්දේ ය. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ඒ ධර්‍මය කවරේ ය? යත්: මහණෙනි, ‘මේ ධාතු සයෙක’ යනු මා විසින් දෙසන ලද. මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි කෙලෙසන්නට නොහැකි උපවාද කරන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි. මහණෙනි, ‘මේ ස්පර්‍ශායතන සයෙක’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ අටළොස් තැනෙක්හි පවත්නා මනෝපවිචාරයෝ ය’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ ය’ යනු මා විසින් දෙසන ලද … මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් ... බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි.
මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි ‘මේ ධාතු සයෙකැ’ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ තෙල කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද යත්: මහණෙනි, මේ ධාතුහු සදෙනෙකි: පඨවිධාතු යැ, ආපෝධාතු යැ, තෙජොධාතු යැ, වායෝ ධාතු යැ, ආකාසධාතු යැ, විඤඤාණධාතුයි. මහණෙනි, මේ ෂඩ්ධාතුහු යැ යි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල කරුණු නිසා කියන ලද.
මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ මේ ෂට් ස්පර්‍ශායතනයහ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ මෙය කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද: මහණෙනි, මේ ඵස්සායතන සයෙකි: චක්ඛු නම් වූ ඵස්සායතනයෙක, සෝත නම් වූ ඵස්සායතනයෙක, ඝාණ නම් වූ ඵස්සායතනයෙක, ජිව්හා නම් වූ ඵස්සායතනයෙක, කාය නම් වූ ඵස්සායතනයෙක, මනස නම් වූ ඵස්සායතනයෙකැ යි. මහණෙනි, මේ ඵස්සායතනයෝ සදෙන යැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.
මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනෝපවිචාරයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. කණින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනසින් දහම් අරමුණක් දැක සොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනපවිචාරයෝ යි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.
මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ සතර සත්‍යයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: මහණෙනි, ෂඩ්ධාතූන් නිසා ගර්‍භාවක්‍රාන්තිය වෙයි. අවක්‍රාන්තිය ඇති කල්හි නාමරූපය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි. මහණෙනි, විඳුනාහට (- විඳීම් දන්නාහට) මෙතෙක් මැ දුකැ යි පණවමි. මෙතෙක් දුකට කාරණායැ යි පණවමි. මෙතෙක් (- දුඃඛ සමුදය දෙදෙනාගේ නැසීම) දුඃඛනිරෝධය යි පණවමි. මෙතෙක් (- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්තිය යි පණවමි.
මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරැ: ජාතිය ද දුකැ, ජරාව ද දුකැ, ව්‍යාධිය ද දුකැ, මරණය ද දුකැ, ශෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝත් දුක්හ. යමක් කැමැති වනුයේ නොලබන්නේ නම්, එ ද දුකැ. සැකෙවින් පඤ්‍චොපාදානස්කන්‍ධයෝ දුක්හ. මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ වෙත්. මෙසේ මේ සියලු (- අමිශ්‍ර වූ) දුඃඛ රාශීහුගේ හටගැන්ම වේ. මහණෙනි, මේ දුඃඛ සමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාවගේ ම අනවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛ සකන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම ය, ඒ මෙසේ ය: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග් ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යසත්‍ය කෙනෙකැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ කෙලෙසන්නට නොහැකි වූ උපවාද නො කළ හැකි වූ බැහැර කරන්නට නොහැකි වූ දහම් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලදැයි.
3. 2. 2. 2.
12. මහණෙනි, (මවු පුතුන් උනුන් රැකගත නොහෙන බියයි කියන ලද) මේ අමාතෘපුත්‍රක බිය තුණකැ යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක මහත් අග්නිදාහයෙක් නඟී ද එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් අග්නිදාහයෙක් නැඟී සිටි කල්හි එයින් ගම්හුදු දැවෙති. නියම්ගම්හුදු දැවෙති. නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නුවර ද දැවෙන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මේ පළමුවන අමාතෘපුත්‍රක භයය යි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
තවද මහණෙනි, යම් කලෙක්හි මහත් මේඝයෙක් නැඟේ ද එබඳුවූ කාලයෙක් වේ. මහණෙනි, මහත් මේඝය නැගි කල්හි මහ ගංවතුරෙක් නැගෙයි. මහණෙනි, මහගංවතුරු නැඟිකල්හි එයින් ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි නියම්ගමුදු හයනු ලබන කල්හි නුවරුදු හයනු ලබන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මෙය දෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
තවද මහණෙනි, යම් කලෙක්හි කඩපලා සොර බියෙක් වේ නම්, චක්‍රාරූඪ වූ දනව් වැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ යෙත් නම් පලායෙත් නම් එබඳු කාලයෙක් ද වේ මය. මහණෙනි, කඩපලා සොරබිය ඇති කල්හි චක්‍රාරූඪ වූ දනව් වැස්සන් හිස් ලූ ලූ අත ඔබමොබ පලා යන කල්හි එහි මවු දු පුතු නොලැබෙයි. පුතු දු මව නොලැබෙයි. මහණෙනි, මෙය තෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මේ තුණ වනාහි අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.
මහණෙනි, සමාතෘපුත්‍රක වූ ම ඒ තුන් බියක් අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක්හි මහත් වූ අග්නිදාහයෙක් නැගේ නම් එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් වූ ගින්නෙන් දැවීම ඇති කල්හි එයින් ගමුදු ... නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නගර දු දැවෙන කල්හි යම් හෙයෙකින් කිසියම් කලෙක මව පුතා ලැබේ ද, පුතා ද මව ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ පළමුවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
තවද මහණෙනි, යම් කලෙක මහාමේඝය නැගේ නම් එබඳු කාලයෙක් ද වෙයි. මහණෙනි, මහාමේඝය නැගිකල්හි ම මහ ගංවතුරු නැගෙයි. මහ ගංවතුරු නැගිකල්හි ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි, නියම්ගමුදු හයනු ලබන කල්හි, නගර දු හයනු ලබන කල්හි යම් හෙයෙකින් කිසි විටෙක මවත් පුතා ලැබේ ද, පුතාත් මවු ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ වනාහි සමාතෘපුත්‍රක වූ ම දෙවන බිය අමාතෘපුත්‍රක බියැයි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
තවද මහණෙනි, යම් හෙයෙකින් කඩපලා සොර බියෙක් වේ ද, චක්‍රසමාරූඪ වූ දනවුවැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ පලා යෙද් ද, එබඳු කාලයෙක් වේ මය. මහණෙනි, කඩපලා සොර බිය ඇති කල්හි චක්‍රසමාරූඪ වූ දනවුවැස්සන් හිස් ලූ ලූ අත පලා යන කල්හි යම් හෙයෙකින් කිසිකලෙක මවුදු පුතා ලැබේ නම්, පුතු ද මව ලැබේ නම්, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මෙබඳු මේ තෙවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක වූ භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ ම තුන් බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.
මහණෙනි, මේ අමාතෘපුත්‍රක භය තුණෙකි. කවර තුණෙක යත්: ජරාභය, ව්‍යාධිභය, මරණභය යන තුණ යි. මහණෙනි, මවු ජරායෙන් දිරන පුතු (දැක) “මම දිරම්වා, මා පුතු නහමක් දිරාව” යි යන මෙබන්දක් නො ලැබෙයි. පුතා හෝ ජරායෙන් දිරන මව (දැක) “මම දිරම්වා, මා මවු නහමක් දිරාව” යි යන මෙබන්දක් නොලැබෙයි.
මහණෙනි, මවු රොවින් පෙළෙනු වූ පුතු (දැක) “මම පෙළෙම්වා, මාගේ පුතු නහමක් පෙළේ”ව යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා ද රොවින් පෙළෙන මවු දැක “මම පෙළෙම්වා, මාගේ මවු නහමක් පෙළේව” යි යන මෙබන්දක් නොලැබෙයි.
මහණෙනි, මවු ද රොවින් මැරෙනු වූ පුතු (දැක) “මම මියෙම්වා, මාගේ පුතු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා හෝ මැරෙන වූ මවු (දැක) “මම මියෙම්වා, මාගේ මවු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. මහණෙනි, මේ අමාතෘපුත්‍රක වූ බිය තුණ ය.
මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස යමෙක් පවත්නේ නම්, එ මාර්‍ගය ඇත. එ ප්‍රතිපත්තිය ඇත. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස (යමෙක්) පවත්නේ නම්, එ මාර්‍ගය කවරෙයැ: ඒ ප්‍රතිපත්තිය කවරෙ යැ: එ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ කෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධිය (යන මේ අටයි) මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද, මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස මොනොවට ඉක්මෙනු පිණිස (යමක්) පවත්නේ නම්, මේ ඒ මාර්‍ග යි. මේ ඒ ප්‍රතිපත්ති යි.
3. 2. 2. 3.
13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා සමග කොසොල්දනවුහි සැරිසරණ සේක් කොසොල්දනවුයෙහි වේනාගපුර නමැති බමුණුගමට වැඩි සේක. වේනාගපුර වැසි බමුණුගැහැවියෝ “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි වේනාගපුරයට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව “මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරයහ. පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භාග්‍යවත්හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සියො දෙවිමිනිසුන් සියො සත්ත්‍ව ප්‍රජාව ද තුමූ ම අධිකඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදී කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට පිරිසුදු කොට දහම් දෙසති. බඹසර පවසති. මෙබඳු උතුම් වූ කීර්තිශබ්දයෙක් ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු!” යි ඇසුවාහු ම ය.
ඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් වේනාගපුර වැසි වච්ඡගොත්ත බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙක. භවත් ගෞතමයෙනි, අද්භූතයෙක. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ ඉමහත් සේ පහන් වූවාහු වෙති. ඡවිවර්‍ණය මහත් සේ පිරිසිදුය. ඉතා ප්‍රභාස්වරය.
භවත් ගෞතමයන් වහන්ස, යම්සේ සරත් කල්හි හටගත් විලිකුන් නොවූ ඩෙබරපක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වෙති. ඡවිවර්‍ණය පිරිසිදුය. ප්‍රභාස්වර ය. භවත් ගෞතමයෙනි, යම්සේ එකෙණෙහි නටුයෙන් ගිළිහුන විලිකුන් තල්පක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය”.
“භවත් ගෞතමයෙනි, නිපුණ වූ කඹුරූදරුවක්හු විසින් මොනොවට පිරියම් කළ, කෝවෙහි පිස දක්‍ෂ රන්කරුවකු විසින් මොනොවට කොළන ලද දඹරන් නිකෙක් රත්පලසෙක්හි තබන ලද්දේ යම්සේ බබළා ද, දිලිසේ ද, රස් විහිදුවා ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්‍ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය.
භවත් ගෞතමයෙනි, දික් පා ඇති හැඳිය, පලඟය, සතරඟුලෙන් දික් ලොම් ඇති මහකොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදුපුප් ඇතිරිය, එළුලොම්මුවා ඝනපුප් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දාවළු ඇති) දෙදා ඇතිරිය, (එක්පස දාවළු ඇති) එක්දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතුරුණ, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතුරුණ, සොළොස් නළුවනට නැටිය හැකි අවන් මහඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස් පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ පසතරණ, ඉස්දොර පාමුල රන්කන්වයින් (කොට්ට) ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් මැ උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, භවත් ගෞතමයෝ මෙබඳු උසසුන් මහඅසුන් රිසිසේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. මහත්සේ ලබන සුල්ලහ”.
[භගවත්හු:]
බමුණ, දික් පා ඇති හැඳිය, පයැ වළරූ ගැන්වූ පලඟය, දික් ලොම් ඇති කොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුපුප් ඇතිරිය, ඝනපුප් එළුලොම් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දා ඇති) දෙදා ඇතිරිය, (එක්පස දා ඇති) එක් දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතරණය, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතරණය, සොළොස් නළුවනට නැටිය හැකි අවන්මහ ඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස්පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ ඇතිරිය, ඉස්දොර පාමුල රන්කන්වයින් ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් ම උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, පැවිද්දනට ඒ අසුන්හු දුර්‍ලභයහ. ලැබ ද නො කැප වෙති.
බමුණ, මම දැන් යම් උසසුන් මහසුන් කෙනකුන් රිසිසේ ලබන සුල්ලෙම් ද, නිදුකින් ලබන සුල්ලෙම් ද, මහත්සේ ලබන සුල්ලෙම් ද, මේ උසසුන් මහඅසුන් තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: දිව්‍ය උසසුන් මහසුනැ, බ්‍රාහ්ම උසසුන් මහසුනැ, ආර්‍ය්‍ය උසසුන් මහසුනැ. බමුණ, දැන් යම් බඳු වූ උසසුන් මහසුන් කෙනකුන් මම රිසිසේ ලබන සුල්ලෙම් නම්, නිදුකින් ලබන සුල්ලෙම් නම්, මහත් සේ ලබන සුල්ලෙම් නම්, මේ එ උසසුන් මහසුන් තුන් දෙන වෙත්.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, මෙකල භවත් ගෞතමයන් වහන්සේ යමක් රිසිසේ ලබන සුළු වෙත් නම්, නිදුකින් ලබන සුළු වෙත් නම්, මහත්සේ ලබන සුළු වෙත් නම්, එ දිව්‍ය උසසුන් මහස්න කවරේ ය?
[භගවත්හු:]
බමුණ, මෙහි මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස් බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම්, ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා භවුන්විධියට හමු කොට සිහි එළවා තබා හිඳිමි.
එ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම වූ චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තෙම් සිහි ඇත්තෙම් සම්‍යක් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. සුඛය ද කයින් විඳිමි. යමකු ඇරැබ උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුඛ විහරණ ඇත්තේ ය යි, ආර්‍ය්‍යයෝ කියත් නම්, එ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් හා කැල ම සොම්නස් දොම්නසුන් හතයට යෑමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙමි.
බමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම්, සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය සක්මණ වෙයි. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සිටීම් නම්, එසමයෙහි තෙල මගේ දිව්‍ය වූ සිටීම වෙයි. බමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම් හිඳීම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය වූ හිඳුම වේ. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම්, ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය උසසුන් මහසුන් වෙයි. බමුණ, මෙකල යමක් මම රිසිසේ ලබම් ද, නිදුකින් ලබම් ද, මහත්සේ ලබම් ද, මේ ඒ දිව්‍ය උසසුන් මහස්න වේ.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ තබා අන් කවරෙක් නම් මෙබඳු දිව්‍ය උසසුන් මහස්නක් රිසිසේ ලබන්නේ වේ ද, නිදුකින් ලබන්නේ වේ ද! මහත්සේ ලබන්නේ වේ ද -
භවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ ද, නිදුකින් ලබන සුල්ලෝ ද, මහත් සේ ලබන සුල්ලෝ ද, ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න කවරේ ය?
[භගවත්හු:]
බමුණ, මම යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස්බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි.
ඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමහටන් අරමුණට අභිමුඛ කොට තබා හිඳිමි. ඒ මම මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩ - යට සරස ද, හැම තන්හි සර්‍වාත‍්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද රහිත මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙමි. කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩයට සරස ද, සියලු තන්හි සර්‍වාත‍්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද නැති උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙමි.
බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ බ්‍රාහ්ම වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙසේ වූයෙම් ඉදින් සිටීම් නම්, ... හිඳීම් නම් ... ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල ඒ මාගේ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ. බමුණ, මම මෙකල යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් මෙබඳු වූ බ්‍රාහ්ම වූ උසසුන් මහස්නක් රිසිසේ ලබනසුලු වන්නේ ද, නිදුකින් ලබනසුලු වන්නේ ද, මහත්සේ ලබනසුලු වන්නේ ද!
භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ නම්, නිදුකින් ලබන සුල්ලෝ නම්, මහත් සේ ලබන සුල්ලෝ නම්, ඒ ආර්‍ය්‍ය උසසුන් මහසුන් කවරේ ය?
[භගවත්හු:]
බමුණ, මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් නම්, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පැසුළු බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා ඇත් නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහිය කමහටන් අරමුණට නතු කොට එළවා හිඳිමි.
ඒ මම මාගේ රාගය ප්‍රහත ය. සිඳ ලූ මුල් ඇත්තේ ය. මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නො හටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා ස්වභාව ඇත්තක් කරණ ලද්දේ ය. මාගේ ද්වේෂය ප්‍රහතය ... මාගේ මෝහය ප්‍රහතය. සිඳලූ මුල් ඇත්තේ ය. මුදුන් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නොහටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තක් කරණ ලද්දේය යි මෙසේ දනිමි.
බ්‍රාහ්මණය, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සිටීම් නම් ... හිඳිම් නම් ... ශයනය කෙරෙම් නම් එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් වේ. බමුණ, දැන් මම යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ ආර්‍ය්‍ය වූ උසසුන් මහස්න වේ.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යය. භවත් ගෞතමයෙනි, අද්භූතය. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් නම් මෙබඳු ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් රිසිසේ ලබන සුලු වන්නේ ද! නිදුකින් ලබන සුලු වන්නේ ද! මහත්සේ ලබන සුලු වන්නේ ද!
භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ යම්සේ විවර කරන්නේ ද, මංමුළාවූවකුට යම්සේ මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහයි අඳුරෙහි තෙල් පහනක් හෝ යම්සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන්නියරින් ධර්‍මය දේශනා කරණ ලද්දේය. වහන්ස, තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද, භික්‍ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් කොට දිවිහිම් සරණගිය උවසුවන් කොට දරණ සේක්වා යි.
3. 2. 2. 4.
14. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි සරභ නම් පිරිවැජි මෙසස්නෙන් බැහැරගිය නොබොහෝකලැ. රජගහනුවර පිරිසෙහි “මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. මම ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” යි. මෙසේ තෙපුල් බෙණෙයි.
එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. ඒ භික්‍ෂූහු රජගහනුවර පිරිස්මැද “මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලන සරභ පිරිවැජියාගේ වචනය ඇසූහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර පැසුළු බත්හි පිණ්ඩපාතයෙන් වැළැකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, සරභ පිරිවැජි මේ ශාසනයෙන් බැහැර ගිය නොබෝ කල් ඇති වෙයි. හේ රජගහනුවර පිරිස්මැද “ම විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් පහව සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලයි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකාතීරයෙහි පරිව්‍රාජකාරාමයෙහි සරභ පිරිවැජියා කරා අනුකම්පා සඳහා වඩනාසේක් නම් මනා මැ නු” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගී සිටි සේක් සප්පිනිකා හෝතෙර පිරිවැජි අරම කරා සරභ පිරිවැජියා වෙත එළඹි සේක. එළැඹ, පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ම “සැබව, සරභය? තෝ මා විසින් ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගන්නා ලද්දේය. ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් පහව සිටිමි” මෙසේ කියයි දැයි වදාළ සේක. එසේ වදාළ කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වීය.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම් මම එය පරිපූර්‍ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. දෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම් මම එය පරිපූර්‍ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. තෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
ඉක්බිති ඒ පිරිවැජියෝ සරභ පිරිවැජියාහට “ඇවැත සරභය, තෝ යමක් ම මහණගොයුම්හු (අතින්) යදනෙහි නම් එය ම මහණගොයුම්හු තට පවරති. කිය ඇවැත සරභය, ශාක්‍යපුත්‍රීයශ්‍රමණයන්ගේ ධර්‍මය තා විසින් කිසේ දන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්‍ණ වේ නම්, මහණ ගොයුම්හු එය පරිපූර්‍ණ කරන්නාහ. ඉදින් තාගේ දැනුම පරිපූර්‍ණ වේ නම්, එය මහණ ගොයුම්හු අනුමෝ වන්නාහ” යි තෙල කීහ. මෙසේ කී කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වූයේ නිතෙද වූයේ කරබාගත්තේ යට බලාලූ මුව ඇතියේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු කරබාගත්තහු යටට හෙළූ මුව ඇත්තහු සිතුවිලි සිතන්නහු වැටහෙන නුවණ නැත්තහු දැන ඒ පිරිවැජියනට තෙල වදාළ සේක:
පිරිවැජියෙනි, “සම්‍යක් සම්බුද්ධයෙමියි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ”යී යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් ප්‍රශ්න විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. හෙ මා විසින් මොනොවට විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, මොනොවට කියනු ලබන්නේ යම් හෙයෙකින් හෙ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථාවක් ලා ප්‍රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද රහිත වූයේ කරබාගත්තේ යටිකුරු කළ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ (වැටහෙන) නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන මේ තුන් කරුණෙන් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙකි. නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
පිරිවැජියෙනි, “ක්‍ෂීණාස්‍රවයෙමි යි පිළිණ කරණ තොපගේ මේ ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ” යි යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් එය මොනොවට විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. මා විසින් හෙ ඒකාන්තයෙන් විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්‍රස්තුත කථාව බැහැරලන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූතව හෝ තෙද රහිතව කරබාගෙණ යටට හෙලූ මුව ඇතිව සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන තුන් කරුණෙන් යම් එක්තරා කරුණකට නොයන්නේ ය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙක.
පිරිවැජියෙනි, “යම් මාර්‍ගඵලයක් පිණිස තොප විසින් ධර්‍මය දෙසන ලද නම්, එය ඒ ධර්‍මය පිළිපදනහුට මොනොවට වටදුක් නසනු පිණිස නොසාහා” යි යමෙක් මෙසේ මට කියන්නේ නම්, මා විසින් හේ මොනොවට විචාරනු ලබන්නේ මොනොවට කරුණු ගන්වනු ලබන්නේ මොනොවට කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්‍රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද නැතියේ කර බහා ගත්තේ යටට හෙළූ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හෝ හිඳුනේය යන තුන් කරුණු අතුරෙන් යම් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නදීතීරයෙහි පිරිවැජිඅරමෙහි තෙවරක් සිංහනාද කොට අහසට නැගි සේක.
ඉක්බිති ඒ පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ කල්හි “ඇවැත සරභය, මහවෙනෙහි ජරසිවලෙක් සිහනද කරන්නෙමී, සිවල්හඬ ම නඟා ද, බුන් හඬ ම නඟා ද, ඇවැත සරභය, එසේ ම තෝ ශ්‍රමණ ගෞතමයන් තබා සිංහනාද කරන්නෙමී සිවල්හඬ ම නඟව, බුන් හඬම නඟව. ඇවැත, සරභය, යම්සේ කුඩා කිකිළියක් මහකුකුළු හඬ නඟන්නෙමී කුඩා කිකිළියකගේ හඬ ම කෙරේ ද, ඇවැත සරභය, තෝ එපරිද්දෙන් ම මහණ ගොයුමාණන් හැරපියා ම මහකුකුළුහඬ නඟන්නේමී කියා කුඩා කිකිළියක හඬ ම නඟව, ඇවැත සරභය, යම්සේ ගොනෙක් හිස්වූ ගාළෙක දෙටු ගොනකුසේ ගැඹුරුහඬ නැගිය යුතු කොට සිතන්නේ ද, ඇවැත සරභය, තෝ එසේ ම මහණ ගොයුමාණන් පියා ම ගැඹුරුසේ හඬ නැගිය යුතු කොට සිතව් ය යි වචන නමැති අඩයටියෙන් නරතුරු ව වැදගන්නා ලද්දකු කළහ.
3. 2. 2. 5.
15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ බික්සඟන හා කොසොල් රට සැරිසරා වඩනා සේක් කාලාම ක්‍ෂත්‍රියයන්ගේ කේසපුත්ත නම් නියම්ගමට වැඩි සේක. කේසපුත්ත නියම්ගම් වැසි කාලාමක්‍ෂත්‍රියයෝ “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම්ගමට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ ... මෙසේ උතුම් වූ කීර්තිශබ්දය ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු” යි ඇසුවාහුය.
ඉක්බිති කේසපුත්ත නියම්ගම්වැසි කාලාමක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම්ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූතව එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් කේසපුත්ත නියම්ගම්වැසි කාලාම ක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. “වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු ස්වකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්‍යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබ්ධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, එ අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්‍ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිතතුළ උපදනුයේ ඔහුට වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ දැයි ඇසූ සේක. වහන්ස, අහිත පිණිස වේ යයි කීහ.
කාලාමයෙනි, ලෝභී වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුවන් කරා ද යේ. මුසවා ද බෙණේ. මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ද්වේෂය පුරුෂයාගේ සිතෙහි උපදනුයේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේ ද? වහන්ස, අහිත පිණිස උපදනේය.
කාලාමයෙනි, මේ ද්විෂ්ට වූ පුරුෂපුද්ගල ද්වේෂයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු වූ පණිවාත් කෙරේ ... මෙරමා ද එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද? වහන්ස, අහිත පිණිස උපදනේය.
කාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.
කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද? වහන්ස, අකුසල්හ.
සාවද්‍ය හෝ වෙත් ද? අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ.
නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද? වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.