මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්‍මයෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ මිසදිටු වේ නම්, මහණෙනි, මෙසේ පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ.
මහණෙනි, පවිටු මහණ කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ රජුන් හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරු කෙළේ වේ. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ මාගේ දොස් සඟවා යුක්ති බෙණෙත්. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ ඔහුගේ දොස් සඟවා යුක්ති බෙණෙති. මහණෙනි, මෙසේ පවිටු මහණ බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුත් පවිටු මහණ ගුණවිසින් සාළ ගුණ විසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තවුන් විසින් ගැරැහිය යුත්තෙක් ද වේ. බොහෝ පව් ද ප්‍රසව කෙරේ යි.
පස්වන චූලවර්‍ගය යි.
පළමු පණස නිමි.
2. දෙවන පණ්ණාසකය.
[1. බ්‍රාහ්මණ වර්‍ගය]
3. 2. 1. 1.
[සැවැත්නිදාන යි]
1.එසමයෙහි ජරා ජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: ‘භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ජරාජීර්‍ණ වයෝවෘද්ධ දෑ මහලු තුන් විය ඉක්මවා සිටි පැසිම් වියට පැමිණි උපතින් එක්සියවිසි හැවිරිදි බමුණු වම්හ. ඒ අපිදු නොකරණ ලද කලණ දහම් ඇත්තම්හ. නොකළ කුසල් ඇත්තම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කල් හිතසුව පිණිස වේ නම්, භවත් ගෞතමයෝ අපට එබඳු අවවාද කෙරෙත්වා, භවත් ගෞතමයෝ අපට අනුශාසනා කෙරෙත්වා’ යි.
බ්‍රාහ්මණයෙනි, සැබව, තෙපි ජරාජීර්‍ණ වූවහු ම ය. වයසින් වැඩී සිටියහුම ය. දෑමහලු වූවහු ම ය. තුන්වයස් ඉක්ම සිටියහු ම ය. පැසිම් වියට පැමිණියහු ම ය. උපතින් එක්සියවිසි හැවිරිදි වූවහු ම ය. ඒ තෙපි නොකළ කලණදහම් ඇත්තහු ය. නොකළ කුසල් ඇත්තහු ය. නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝවැසි ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු (ඒ ඒ අවස්ථාවට) එළවනු ලැබේ. බ්‍රාහ්මණයෙනි, ලෝකයා මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු එළවනු ලබත්ම, මෙලොවදී කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ඒ පින පරලොව ගිය ඔහට රක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන __(නැසෙන තැන)__{*} ද ප්‍රතිෂ්ඨාස්ථාන (ද්වීපය) ද ශරණ ද පරායණ (පිහිටීම) ද වේ.
1. ජීවිතය මරණය කරා පමුණුවනු ලබයි. ආයුෂය අල්ප වෙයි. ජරායෙන් ගෙනයන ලද්දහුට රක්‍ෂාස්ථානයෝ නැත. මරණයෙහි ලා මේ බිය දක්නේ සුව එළවන පින් කරන්නේ ය.
2. කයින් වේවයි වචනයෙන් වේවයි නොහොත් සිතින් වේවයි යම් සංයමයෙක් වේ ද, ජීවත්වනුයේ යම් පිනක් කෙරේ ද, ඒ පින පරලොව ගිය ඔහට සුව පිණිස වේ.
3. 2. 1. 2.
2. එකල්හි ජරාජීර්‍ණ වයෝ වෘද්ධ දෑමහලු තුන්වයස් පැනගිය පැසිම් වයසට පැමිණි උපතින් එක්සියවිසිහැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාජීර්‍ණ වයෝවෘද්ධ මහලු තුන් වයස් පැනගිය පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි බමුණම්හ. ඒ අපිදු නොකළ කලණදහම් ඇතියම්හ. නොකළ කුසල් ඇතියම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වේ නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අනුශාසනා කරණ සේක්වා.
සැබව, බ්‍රාහ්මණයෙනි,තෙපි ජරාජීර්‍ණවහු, වයෝවෘද්ධවහු, මහලුවහු, ගතවයස් ඇතියහු, පැසිම්වියට ද පැමිණියහු, උපතින් එක්සියවිසිහැවිරිදි වහු ම ය. ඒ තෙපිදු නොකළ කලණදහම් ඇත්තහු ය, නොකළ කුසල් ඇත්තහු ය, නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ඇවිළ ගන්නා ලද්දේ ය. බ්‍රාහ්මණයෙනි, මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ලෝකය ඇවිළ ගණුත් ම, මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, වැලිත් මනසින් යම් සංයමයෙක් වේ ද, එය පරලොව ගිය ඔහට ආරක්‍ෂාස්ථාන ද නිලීයනස්ථාන ද ප්‍රතිෂ්ඨාස්ථාන ද ශරණස්ථාන ද පරායණස්ථාන ද වේ යි.
3. ගෙය ඇවිළගත් කල්හි යම් බඳුනක් බැහැර කෙරේ ද, එය ගෙහිමි ඔහුට වැඩ පිණිස වෙයි. යම් බඳුනෙක් එහි දැවේ නම්, එය වැඩ පිණිස නො වෙයි.
4. මෙසේ ජරාව විසිනුදු මරණය විසිනුදු ලෝවැසි හාත්පසින් ඇවිළ ගන්නා ලද්දේ ය. දීමෙන් ම බැහැර කරගන්නේ ය. දෙන ලද්ද මොනොවට නෙරණ ලද්දේ වේ.
5. මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වැලිත් වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ජීවත් වනුයේ යම් පිනක් කරයි ද එය පරලොව ගිය ඔහට සුව පිණිස වේ යි.
3. 2. 1. 3.
3. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස්ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද? අකාලික වේ ද? ‘එව, බලව’ යන විධියට සුදුසු වේ ද? උපනයනාර්‍හ වේ ද? නුවණැත්තන් විසින් තමා සතන්හි ලා දතයුතු වේ දැ? යි.
බ්‍රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්‍රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. ... බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, මානසික දුක්දොම්නස් විඳියි. ද්වේෂය ප්‍රහත වත් ම ආත්මපීඩාව පිණිස නො සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස නො සිතයි. මානසික දුක් දොම්නස් නොවිඳියි. ... බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩාව පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක්දොම්නස් ද විඳියි. මෝහය ප්‍රහතවත් ම ආත්මපීඩාව පිණිස ද නො සිතයි. මෙරමාහට ... පීඩා පිණිස ද ... දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික වූ දුක්දොම්නස් නො විඳියි. බමුණ, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. කල් නොයවා විපාක දෙන්නේ වේ. ‘එව බලව’ යන විධියට සුදුසු වේ. උපනයනාර්‍හ වේ. නුවණැත්තන් විසින් තමා සතන්හි එළවා දතයුතු වේ යයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දරණසේක්වා යි.
3. 2. 1. 4.
4. එකල්හි එක්තරා බමුණු පිරිවැජියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ බමුණු පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද, අකාලික වේ ද, ඒහිපස්සික වේ ද, ඕපනයික වේ ද, නුවණැත්තන් විසින් සියසතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි.
බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. බමුණ, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. රාගය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ ද ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. ...
බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. මෝහය ප්‍රහීණවත් ම තමහට පීඩා පිණිස ද නො සිතයි. මෙරමාහට පීඩා පිණිස ද නොසිතයි. දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික දුක් දොම්නස් නොම විඳියි.
බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මෝහය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... මනසින් දුසිරිත් නො ම කරයි. බමුණ, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. මෝහය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික ද අකාලික ද ඒහිපස්සික ද ඕපනයික ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුත්තේ ද වේ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවියෙන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.
3. 2. 1. 5.
5. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: භවත් ගෞතමයන් වහන්ස, ‘නිර්‍වාණය සාංදෘෂ්ටිකය, නිර්‍වාණය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ ද අකාලික වේ ද ඒහිපස්සික වේ ද ඕපනයික වේ ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
බමුණ, රාගයෙන් ඇලුනේ රාගයෙන් මැඩුනේ, රාගයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමාට පීඩා පිණිස ද නො සිතයි, මෙරමාහට පීඩා පිණිස ද නො සිතයි, දෙපසට පීඩා පිණිස ද නො සිතයි. චෛතසික දුක් දොම්නස් ද නො විඳියි. බ්‍රාහ්මණය, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.
බමුණ, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මෝහයෙන් මැඩුනේ මෝහයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට පීඩා පිණිස ද සිතයි. දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. බමුණ, ද්වේෂය ප්‍රහීණ වත් ම ... මෝහය ප්‍රහීණවත් ම තමාට පීඩා පිණිස නො සිතයි. මෙරමාහට පීඩා පිණිස නො සිතයි. දෙපසට ම පීඩා පිණිස නො සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳියි. බමුණ, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.
බමුණ, යම් තැනෙක පටන් කොට මෙ තෙමේ නිරවශේෂයෙන් රාගක්‍ෂය (සඞ්ඛ්‍යාත නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් ද්වේෂක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් මෝහක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි නිර්‍වාණය සාංදෘෂ්ටික වෙයි, අකාලික වෙයි, ඒහිපස්සික වෙයි, ඕපනයික වෙයි, නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
3. 2. 1. 6.
6. එකල්හි එක්තරා මහසල්කුල බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘පෙර වනාහි මේ ලෝකය මිනිසුන් විසින් අවීචිය සේ නිරතුරු පිරුණේ වෙයි. ගම් නියම්ගම් රජදහන්හු (කුකුළකු විසින් පියහසරින් යා හැකි පමණ නුදුරෙහි වූ පියසි ඇති බැවින්) කුක්කුට සමපාතික වූහ’ යි. පෙර විසූ වෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය වූ බණන බමුණන් අතින් මවිසින් අසනලදී’ යි. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්‍රත්‍යය කවර’යි විචාළේ ය.
බමුණ, මෙකල වනාහි මනුෂ්‍යයෝ අධර්‍මරාගයෙන් රත් වූවාහු විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔහු තියුණු සැත් ගෙණ උනුන් දිවි තොර කෙරෙත්. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙත්. යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනු බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර දු නො නුවර වේ නම්, දනවුදු නො දනවු වේ නම්, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වේ.
වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත් වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට මේඝය මැනවින් වැසි දහර නො පවත්වයි. එයින් දුර්භික්‍ෂ වෙයි. ශස්‍යයෝ විෂමපාකී වෙති. සේතට්ඨිකා නම් ශස්‍යරෝගය වෙහි. වපුළ ධ්‍යාන්‍යය ඉරටු ම වෙයි. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු ... දනවුදු නො දනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි, එයට ප්‍රත්‍යය වේ.
වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත්වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට යක්‍ෂයෝ සැඩයකුන් මුදා හරිති. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු දු නොදනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි. මෙ ද එයට ප්‍රත්‍යය වේ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා’ යි.
3. 2. 1. 7.
7. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල අසන ලදි: ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති’ යි. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම සව්වනට දන් දිය යුතු ය. අනුන්ගේ සව්වනට දන් නො දිය යුතු ය. මට ම දුන් දැය මහත්ඵලය. අන්හට දුන් දැය මහත්ඵල නො වෙයි. මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල ය. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වේ’ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කියත් නම්, ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. ... මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල වෙයි. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති’ යි. “කිමෙක? ඔහු භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වදාරණ ලද්දක් කියන්නාහු වෙත් ද, භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? කියුවාට පිළිකියු කියද් ද? කිසියම් සහේතුක වූ වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ඒ ද? අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේ අභ්‍යාඛ්‍යාන නො කරනු කැමැත්තම්හ” යි.
වත්සය, යම් කෙනෙක් මෙසේ කියත් නම්, “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති: මට ම දන් දිය යුතුය ... අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති” යි. ඔහු මා පිළිබඳ කියන ලද්දක් කියන්නාහු නො වෙති. ඔහු අසත් වූ අභූතයෙන් මට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. වත්සය, යමෙක් දන් දෙන පරහු වළහා නම්, හේ තිදෙනකුට අන්තරායකර වෙයි, තිදෙනකුට කඩපලා (මංපහරණ) සොර වෙයි. කවර තුන් දෙනකුටය යත්: දායකයාගේ පිණට අනතුරු කරන්නේ වෙයි, ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නේ වෙයි, කැල ම ඔහුගේ ආත්මය සාළ ගුණ ඇත්තෙක් නසා ලූ ගුණ ඇත්තෙක් වෙයි. වත්සය, යමෙක් දන් දෙනා මෙරමා වළහා නම් හේ මේ තුන්දෙනාහට අන්තරායකර වෙයි. මේ තුන්දෙනාහට කඩපලා සොර වෙයි.
වත්සය, මම වැලිත් මෙසේ කියමි: ගවරවළෙක හෝ මොළෙක හෝ යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම්, එහිදු යමෙක් සැළිදොවුන් දිය හෝ වළං දොවුන් දිය හෝ “එහි යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම් ඔහු එයින් යපෙත්ව” යි දමා නම්, ඒ හේතු කොට ගෙණ ද වත්සය පුණ්‍යයාගේ ආගමනය මම කියමි. මනුෂ්‍ය වූවකු කෙරෙහි කියනු කිම! වත්සය, එතෙකුදු වුව, සිල්වත්නට දෙන ලද්ද මහත්ඵලය යි මම කියමි. දුශ්ශීලයාහට දෙන ලද්ද එසේ නො වේ. ඒ සිල්වත් තෙමේ ද ප්‍රහත පඤචාඞ්ග ඇතියේ සමන්‍වාගත පඤචාඞ්ග ඇතියේ වෙයි. කවර පසඟෙක් ප්‍රහත වේ ද යත්: කාමච්ඡන්‍දය ප්‍රහත වෙයි, ව්‍යාපාදය ප්‍රහත වෙයි, ථීනමිද්ධය ප්‍රහත වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහත වෙයි, විචිකිච්ඡාව ප්‍රහත වෙයි. මේ පඤ්චාඞ්ගයෝ ප්‍රහත වෙත්.
කවර පසඟෙකින් සමන්‍වාගත වේ ද? “අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වෙයි. මේ පසඟින් යුක්ත වෙයි. මෙසේ ප්‍රහත වූ අඞ්ග පසක් ඇති අඞ්ග පසෙකින් යුක්ත වූවහු කෙරෙහි දෙන ලද දැය මහත්ඵල ය යි කියමි.
6. මෙසේ කළු වූත් සුදු වූත් රතු වූත් පලාවන් වූත් චිත්‍රවර්‍ණ වූත් වස්සන් හා සමාන රූ ඇත්තා වූත් කොබෝවන් පැහැති වූත් දෙනුන් කෙරෙහි දැයි.
7.තෙල යම් කිසි දෙන කෙනකුන් අතුරෙහි දැමුණු ධුරවහනයට යෝග්‍ය වූ බලසම්පන්න වූ කලණ ජවයෙන් යන වෘෂභයෙක් උපදනේ වේ ද.
8-9. ඔහු ම භාරෝද්වහන්යෙහි ලා යොදත්. ඔහුගේ වර්‍ණය එළවා නො බලත්. එසෙයින් ම මිනිසුන් කෙරෙහි යම් කිසි කුලජාතයෙක් ක්‍ෂත්‍රිය වේව යි, බ්‍රාහ්මණ වේව යි, වෛශ්‍ය වේව යි, ශුද්‍ර වේව යි, සැඬල් පුප්සඬු වේව යි තෙල යම් කිසි කුලයෙක දැමුණු මනා ව්‍රත ඇති.
10. දහම්හි සිටි සිල් සපන් සැබව බණන පාපයෙහි ලා සලජ්ජසිත් ඇති පැහූ දෑ මරණ ඇති බඹසර පිරිපුන් කළ.
11. බහා තැබූ කෙලෙස් බර ඇති එහෙයින් ම (කායාදි විවේකයෙන්) විසංයුක්ත වූ කළ මගකිස ඇති ආස්‍රව නැති (පඤචස්කන්‍ධාදි) දහමුන්ගේ පර තෙර පත් කෙලෙස් විසින් නො ගෙණ පිරිනිවී රහතෙක් උපදනේ ද.
12. එම අර්‍හත් සඞ්ඛ්‍යාත ක්‍ෂේත්‍රයෙහි දක්‍ෂිණාව විපුල වේ. කෙත නො දන්නා දුෂ්ප්‍රාඥ වූ කෙත් විනිස නො ඇසූ බාලයෝ.
13. බැහැර තව්සන් කෙරෙහි දන් දෙති. බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා නො කෙරෙත්. යම් කෙනෙක් සත්ප්‍රාඥ වූ ධීර සම්මත වූ බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා කෙරෙත් ද.
14. උන්ගේ ශ්‍රද්ධාව සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇති ව පිහිටියා වෙයි. ඒ පණ්ඩිතයෝ දෙව්ලොව ද යෙත්. මෙලොව උසස් කුලෙහි හෝ උපදිත්. ක්‍රමයෙන් නිර්‍වාණය පසක් කෙරෙත්.
3. 2. 1. 8.
8. එකල්හි තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයන්ගේ ම ගුණ වණයි. “මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ. මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ” කියායි.
“බමුණ, කෙසේ හෙයින් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්දැ” යි. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි බමුණු මවු පසිනුදු පියපසිනුදු දෙපසින් මොනවට උපන්නේ වේ. පිරිසිදු මවුකුස ඇත්තේ සත්වන මහමුතු යුග තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලද්දේ නින්‍දා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේ ද, මන්ත්‍ර දරන්නේ වේ ද, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත වූ ශික්‍ෂානිරුක්ති සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති, ත්‍රිවේදයේ පරතෙරට ගියේ වේ ද, පදපාඨ හදාරන්නේ ව්‍යාකරණ දන්නේත් වේ ද, විතණ්ඩවාද ශාස්ත්‍රයෙහි දු මහාපුරුෂලක්‍ෂණයෙහි දු සම්පූර්‍ණකාරී වේ ද, භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්ය” යි.
බ්‍රාහ්මණය, බමුණෝ අන්පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇති බමුණා පණවත්. ආර්‍ය්‍යවිනයෙහි අන්පරිද්දෙකින් ම ත්‍රිවිද්‍යා ඇත්තේ වේ. භවත් ගෞතමයන් වහන්ස, කිපරිදි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වේ ද? භවත් ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේ ද, එපරිදි මට ධර්‍මදේශනා කරණසේක් නම් මැනවි. බමුණ, එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි. පින්වතුන් වහන්ස, එසේය යි, තිකණ්ණ බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
බමුණ, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ, ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තේ සිහිද ඇත්තේ සම්‍යක් ප්‍රඥා ද ඇත්තේ වෙසේ. කයින් සුඛයත් විඳුනේය. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේය’යි යම් ඒ පුඟුලකු කියත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පවිත්‍ර වූ කල්හි කෙලෙස් අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත එළවයි. හේ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතළිසකුදු ජාති පණසකුදු ජාති සියකුදු ජාති දහසකුදු ජාති සියක්දහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහි කෙරෙයි. අසෝ තැන මෙනම් ඇත්තෙයිම් වීමි. මෙසේ ගොත් ඇත්තෙයිම් වීමි. මෙසේ පැහැ සටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු අහර ඇත්තෙයිම් වීමි. මෙ බඳු සුවදුක් විඳිනසුල්ලෙයිම් වීමි. මෙ බඳු ආයු කෙළවර ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව අසෝ තැන උපන්මි. එහිදු මෙ බඳු නම් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ගොත් ඇත්තෙයිම් මෙ බඳු පැහැසටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ආහාර ඇත්තෙයිම් මෙ බඳු සුවදුක් විඳුනෙයිම් මෙ බඳු ආයු පර්‍ය්‍යන්ත ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරේ. මෙසේ ඔහු විසින් ප්‍රථම විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන මෝහාන්‍ධකාරය නසන ලද. ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ නිවන් කෙරෙහි මෙහෙයූ සිතැතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
හෙතෙම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වු කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලීමට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපපත්තිඥානය පිණිස සිත එළවයි. හෙ තෙමේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණවූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දන්නේය, එකැතියෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයෙහි උපන්නාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍විත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඒ සත්ත්‍වයන් කාබුන් මරණින් මතු සොඳුරු ගති ඇති ස්වර්‍ගලෝකයට පිළිසිඳ විසින් පැමිණෙතී දන්නේ ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති, දුගති ඇති, කම් වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසනලද. ආලොකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නක්හට වන්නාක් සෙයිනි.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටිකල්හි නො සැලීමට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හෙ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’යි තත් වූ පරිදි දන්නේය. ‘මොහු ආස්‍රවයෝ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී පටිපදා’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුනු කල්හි ‘සිත මිදුනේ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වේ. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදී. සිවුමගින් සොළොස් වැදෑරුම් කරණී කරණ ලදි. ‘මේ ෂෝඩශකරණීයභාවය පිණිස අන්මාර්‍ග භාවනායෙක් නැතැ’යි දන්නේය. ඔහු විසින් මේ තෙවන විද්‍යාව ලදු. ... අවිද්‍යාව නසන ලදු. මොහඳුර නසන ලද. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතිව වසන්නකුහට වන්නාක් සෙයිනි.
15. (විසිතුරු බවට නොපත්, එකතින්) වැඩුනු සිල් ඇති ප්‍රඥාවත් වූ ධ්‍යාන කරණ සුලු යමකුගේ සිත වසී වූයේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ ද,
16. ඒකාන්තයෙන් මොහඳුර දුරු කළ කෙලෙස් තවන වැර ඇති මරණය දුර ලූ දෙවිමිනිසුනට හිත වූ සියලු කෙලෙස් ප්‍රහත කළ ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි (බුද්ධාදි ආර්‍ය්‍යයෝ) කියත්.
17. ත්‍රිවිද්‍යායෙන් සම්පූර්‍ණ වූ නොමුළා වූ විහරණ ඇති අන්තිම සිරුර දරණ ඒ ගෞතම බුදුරදුන් (දෙවිමිනිස්සු) නමදිති.
18. යමෙක් පෙර විසූ කඳපරපුර දන්නේ වේ ද, ස්වර්‍ගය හා අපාය දක්නේ වේ ද, වැලිත් විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ සිවුමගනුවණින් මුනි වූයේ ජාතික්‍ෂයට පැමිණියේ ද,
19. ඒ බමුණු තෙල ත්‍රිවිද්‍යායෙන් ත්‍රෛවිද්‍යා වේ. මම ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු ත්‍රෛවිද්‍යා යී නො කියමි.
බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, අන්‍යාකාරයෙකින් බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා වෙයි. ආර්‍ය්‍යවිනයෙහි වනාහි අන්පරිද්දෙකින් ත්‍රෛවිද්‍යා වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි මේ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා හට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා තෙමේ සොළොස්වන කලාවට ද නො අගනේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවියෙන් ගත් සරණගිය උවසුවකු කොට දරණ සේක්වා යී.
3. 2. 1. 9.
9. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළෙඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, යමකුගේ වනාහි යඥයෙක් හෝ මතකබතෙක් හෝ මුළු බතෙක් හෝ (සෙසු) දේයධර්‍මයෙක් හෝ වේ නම් ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයන් කෙරෙහි දන් දෙන්නේ ය. (කියායි)
බමුණ, කී හෙයින් බ්‍රාහ්මණයෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත් දැයි? භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්හි බ්‍රාහ්මණ මවුපිය දෙපසින් සුජාතයෙක් වේ ද, සත්වන මහමුතුයුග තෙක් පිරිසිදු මවුගැබ් ඇත්තේ ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේ වේ ද, උපක්කෝසා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේදමන්ත්‍ර දරන්නේ නිඝණ්ටු කෙටුහ (ඡන්‍දොලඞ්කාර) ශාස්ත්‍ර සහිත වූ අක්‍ෂර ප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙර ගියේ වේ ද, පද හදාරන්නේ ව්‍යාකරණ දන්නේ වේ ද, ලෝකායත (විතණ්ඩ) ශාස්ත්‍රයෙහිදු මහා පුරුෂලක්‍ෂණයෙහි (අනූනව) පිරිපුන් දැනුම් ඇත්තේ වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත්.
බ්‍රාහ්මණය, බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා අන් පරිද්දෙකින් පණවති. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා කෙසේ නම් වේ ද? යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යා වේ නම්, එසේ භවත් ගෞතමයන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් මැනැවැ යි. එසේ වී නම් බමුණ, අසව, ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
බ්‍රාහ්මණය, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... සිවුවන දැහැන උපයා වෙසෙයි.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශයන් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කර්‍මයෝග්‍ය වූ කල්හි ස්ථිත කල්හි නොසැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපරපුර දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නමයි. හේ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු, ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. ඔහු විසින් මේ ප්‍රථම විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසන ලදි. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මහිත වූ කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති ඥානය පිණිස සිත වෙසෙසින් නමයි. හේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලොකය උපන්නේ ය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට වන්නාක් සෙයිනි.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මකුශල වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස වෙසෙසින් සිත එළවයි. හේ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය ... ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවයෝ’ යි තත් වූ පරිදි දන්නේය. ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. (සිත) මිදුනු කල්හි මිදුනේය යන ඥානය වේ. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කරණී කරණ ලදි, ‘මේ කඳසතනින් අනෙක් කඳසතන් නැතැ’ යි දන්නේය. මේ තෙවන විද්‍යාව ඔහු විසින් ලබන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලෝකය උපන්නේය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නහුට වන්නාක් සෙයිනි.
20. යමෙක් ශීලව්‍රතයෙන් සමන්‍විත වූයේ ද, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ වේ ද, සමාධිගත සිත් ඇත්තේ වේ ද, යමකුගේ සිත විසිය වැටේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ වේ ද -
21. යමෙක් පූර්වේනිවාසය දන්නේ වේ ද, ස්වර්‍ගයත් අපායත් දක්නේ වේ ද, වැලිත් ජාතික්‍ෂයට පැමිණියේ විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ ක්‍ෂීණාස්‍රව මුනි වේ ද -
22. තෙල ත්‍රිවිද්‍යායෙන් එ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ත්‍රෛවිද්‍යා වෙයි. මම ඔහු ත්‍රෛවිද්‍යයා යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු (ත්‍රෛවිද්‍යායා යි) නො කියමි යි.
බමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, බමුණන්ගේ ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වේ. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන්පරිද්දෙකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයාහට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යයා සොළොස්වන කලාවටත් නො අගනේ ය.
භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය ... අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
3. 2. 1. 10.
10. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ වූ අපි වනාහි යාග කරන්නමෝ ද යාග කරවන්නමෝ ද වම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතුරෙන් යමෙක් යාග කෙරේ ද, යමෙකුත් යාග කරවා ද, එහැම යම් මේ යාගය කරුණු කොට ගෙණ නොයෙක් සිරුරු වහලින් උපන් පුණ්‍යප්‍රතිපත්තියකට පිළිපන්නාහු වෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුරුෂයෙක් යම් ම කුලගෙයෙකින් ගිහිගෙන් නික්ම පැවිද්දට ගියේ වේ ද හේ (තමාගේ ඉන්‍ද්‍රියදමන වශයෙන්) ඒකාත්මයක් ම දමනය කරන්නේ ය. ඒකාත්මයක් ම ශමනය කරන්නේ ය. ඒකාත්මයක් ම පිරිනිවන්නේ ය. මෙසේ මෙ තෙමේ මේ පැවිද්ද හේතු කොට ගෙණ ඒකශාරීරික වූ පුණ්‍යප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
බ්‍රාහ්මණය, එසේ වී නම් මෙහි ලා තා ම පුලුවුස්නෙමි. යම්සේ තට රුස්නේ නම් එසේ එය ප්‍රකාශ කරව. බමුණ, මෙලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ තුන්ලෝ දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනා සේක. උන්වහන්සේ මෙසේ වදාරත්: “එව, මේ මගය, මේ පිළිවෙතය, යම්සේ මම අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් වූ නිර්‍වාණය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසම් ද, එව, තෙපිදු එසේ පිළිපදුව, යථාප්‍රතිපන්න තෙපි අනුත්තර වූ අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් නිර්‍වාණය තුමූ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වසන්නහුය.” මෙසේ මේ ශාස්තෘ තෙමේ ද දහම් දෙසයි. අන්හු ද ඒ පිණිස පිළිපදිත්. ඔහු ද අනේකශතයෝත් අනේක සහස්‍රයෝත් අනේකශතසහස්‍රයෝත් වෙත්.
බමුණ, ඒ කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ තෙල පුණ්‍යප්‍රතිපත්ති තොමෝ ඒකශාරීරික හෝ වේ ද, අනේක ශාරීරික හෝ වේ ද? භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ ඇති වු තෙල පුණ්‍යප්‍රතිපත්තිය ද අනේකශාරීරික ම වේ.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සඞ්ගාරව බ්‍රාහ්මණයාට තෙල කීය: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපද් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් (බොහෝ මෙහෙ කරන්නවුන් විසින් හෝ උපකරණයෙන් ප්‍රයෝජන නැති බැවින්) අල්පාර්‍ත්‍ථතර යි ද, (අධික පීඩා නැතිවන බැවින්) අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී ද තට රුස්නේ ද? මෙසේ කී කල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු (දෙදෙන) මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
දෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල කීහ: බ්‍රාහ්මණය, තා විසින් කවරහු පිදිය යුත්තාහු ද තා විසින් කවරහු පැසසිය යුත්තාහුදැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා පුළුවුස්මි. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද මහානෘශංසතර යී දැයි තට රුස්නේ වේ දැයි. දෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.
තෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රාහ්මණහට තෙල කීහ: බ්‍රාහ්මණය, කවරහු තා විසින් පිදිය යුතු වෙත් ද? කවරහු තා විසින් පැසසිය යුතු වෙද්දැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා විචාරමි: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී දැයි තට රුස්නේ දැයි?
තෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙත්ය යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බඳු සිතෙක් වී: “සඞ්ගාරව බ්‍රාහ්මණ තෙවෙනිවරටත් ආනන්‍දයන් විසින් සකාරණ කොට පැණ පුළුවුස්නා ලද්දේ කථාව හිඳුවයි, නොවිසඳයි. මම මොවුන් දෙදෙන (වෙහෙසින්) මුදන්නෙම් නම් මනා මැ නු! යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල වදාළ සේක: බ්‍රාහ්මණය, අද රාජාන්තඃපුරයෙහි රජ පිරිස්හි රැස්ව හුන්නවුන් අතර කවර නම් අතුරු කථායෙක් පහළවී දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන: පෙර භික්‍ෂූහු අල්පතර වූහ. බහුතර භික්‍ෂූහු උතුරු මිනිස්දමින් ඉදුපෙළහර දැක්වූහ. මෙකල වනාහි භික්‍ෂූහු ද බහුතර වෙති. අල්පතර භික්‍ෂූ කෙනෙක් උතුරු මිනිස්දමින් ඉදුහුපෙළහර දක්වතියි, භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන.
බමුණ, මේ පෙළහර තුණෙකි. කවර තුණෙක යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යය යි. බමුණ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නන්වැදෑරුම් ඍද්ධිප්‍රභේද වළඳ කෙරෙයි. (තෙමේ) එකලාවූයේ ම බහු ප්‍රකාර වෙයි. බහුප්‍රකාර ද වී එකෙක් වෙයි. විටෙක පැනෙන බවට ද විටෙක නො පැනෙන බවට ද පැමිණෙයි. බිත්තියෙන් ඈතට ද, පවුරෙන් ඈතට ද, පව්වෙන් ඈතට ද අහසෙහි මෙන් නො ගැටී යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් කිමිදීම් ඉල්පීම් කෙරෙයි. අභිද්‍යාමාන උදකයෙහි දු පොළොවෙහි මෙන් යෙයි. අහස්හිදු පියාහඹන ලිහිණියකු සෙයින් පලඟින් ඉරියවු කෙරෙයි. මේ සා මහත් ඍද්ධ්‍යානුභාව ඇති මේ සඳහිරු දෙදෙනා ද අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි, පිරිමදියි. බඹලොව තෙක්දු කයින් විසිය පවත්වයි. බමුණ, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය යි කියනු ලැබේ.
බමුණ, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුද වෙයි. නිමිත්තෙන් දක්වයි. හෙ තෙමේ බොහෝ කොට ද දක්වයි. එය එසේ ම වෙයි. අන්පරිදි නො වෙයි.
බමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො කියන්නේ ම වෙයි. වැලිදු වනාහි මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත මෙබඳුත් වෙයි, තාගේ සිත මේ අයුරුදු වේයයි කියයි. හේ බොහෝ කොටත් කියන්නේ නම් එය එසේ වෙයි. අන්පරිදි නො වේ.
බමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැ යි. මනුෂ්‍යයන්ගේ වේවයි අමනුෂ්‍යයන්ගේ වේවයි දේවතාවන්ගේ වේවයි ශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු විතර්‍කනය කරන්නහුගේ විචාරය කරන්නහුගේ හෝ විතර්‍කවිෂඵාරශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුත් වේය යි කියයි. හෙතෙම බොහෝ කොටත් කියන්නේ නම්, එය එසේ ම වෙයි. අන් පරිදි නො වේ.
බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැයි. මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා ද නො කියා මැ යි. විතර්‍ක කරන්නහුගේ හෝ විචාරය කරන්නහුගේ හෝ විතර්‍ක විෂඵාරශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනස්සංසකාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය විතර්‍කණය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වෙයි. අන්පරිද්දෙකින් නො වෙයි. බමුණ, මේ ආදේශනා ප්‍රතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
බමුණ, අනුසාසනීපාටිහාරිය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් මෙසේ අනුශාසනා කෙරේ: මෙසේ සිතව, නහමක් මෙසේ සිතව, මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව, මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. බමුණ, මේ අනුසාසනීපාටිහාරිය යි කියනු ලැබේ. බමුණ, මේ වනාහි පෙළහර තුණයි. බමුණ, මේ තුන්පෙළහර අතුරෙන් කවර පෙළහරෙක් ඉතා කල්යැ යි ද, ඉතා ප්‍රණීතය යි ද තට රුස්නේ වේ ද?