තවද නන්‍දියෙනි, තෙපි “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු ය”යි, ධර්‍මය සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දහම් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි, “යම් බඳු මාගේ කල්‍යාණ මිත්‍රයෝ අනුකම්පා ඇතිය හ, අර්‍ත්‍ථකාමය හ, ඔවා දෙන්නා හ, අනුසස්නා හ, එකැතියෙන් මට ඒ ලාභය. එකැතියෙන් මනා ලැබීමෙකි”යි, කල්‍යාණ මිත්‍රයන් සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ද තොප විසින් කල්‍යාණ මිත්‍රයන් ඇරබ අධ්‍යාත්මයෙහ් සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි “යම් බඳු මට මාත්සර්‍ය්‍යබලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍යයෙන් යුත් සිතින් මිදූ ත්‍යාග ඇතියෙම් දෙනුවට දෙවී අත් ඇතියෙම් හැරමමෙහි ඇලුනෙම් යදනට නිසි වූයෙම් දානසංවිභාගයෙහි ඇලුණෙම් ගිහිගෙයි වෙසෙම් නම් එකැතියෙන් මට ලාභය, එකැතියෙන් සුලබ්ධිය”යි, තමන්ගේ ත්‍යාග සිහි කරව. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් ත්‍යාගය ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු.
තවද නන්‍දියෙනි, තෙපි යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම අන්‍යතර මනෝමය කයකට එළඹියාහු නම් ඔවුහු තමන් කරණී නො ම දක්නා හ. කෘතයාගේ හෝ නැවත කිරීමක් නො දක්නාහයි දේවතාවන් සිහි කරව.
නන්‍දියෙනි,යම් පරිදි අසමයවිමුක්ත (=ඛීණාසව) මහණෙක් තමන් කරණී වේවයි කෘතයාගේ නැවත කිරීමක් වේවයි නො දක්නේ ද, නන්‍දියෙනි, එපරිද්දෙන් ම යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම පියා අන්‍යතර මනෝමය කායකට එළඹියාහු නම් එ දේවතාවෝ තමන් කරණී හෝ කෘතයාගේ නැවත කිරීමත් හෝ නො දක්නා හ. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දේවතාවන් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු. නන්‍දියෙනි, මෙ එකොළොස් දහමින් සමන්‍වාගත අරීසවු ලමු අකුසල් දහම් හරණේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය.
නන්‍දියෙනි, යම් පරිද්දෙකින් යටිකුරු කළ ඝටයෙක් දිය වමාරන්නේ ම වේ ද වමාළ දිය පෙරළා නො වමාරන්නේ වේ ද, නන්‍දියෙනි, යම් සේ වනාහි වියළි තණ ලැහැබ්හි ඇවිලගත් ගිනි දවමින් ම යේ ද දැවූ දෑ පෙරළා නො දවන්නේ වේ ද,
නන්‍දියෙනි, එපරිද්දෙන් ම මේ එකොළොස් දහමින් සමන්‍වාගත අරීසවු ලමු අකුසල්දහම් හරනේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය යි.
11. 2. 4.
සුභූති සූත්‍රය
එකල්හි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ සද්ධ නම් භික්‍ෂුහු සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සුභූති තෙරණුවනට භගවත්හු තෙල වදාළහ.
සුභූතියෙනි, මෙ මහණ කිනමැ යි?
වහන්ස, සද්ධ (=අනේපිඬු) නම් උවසුහුගේ පුත මෙතෙම සද්ධ නම් වූයේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ වෙයි.
සුභූතියෙනි, කිමෙක, සද්ධ උවසුහුගේ පුත් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියේ සද්ධ මහණ ශ්‍රද්ධාපදානයන්හි ලා පැණේ දැ යි?
භාග්‍යවතුන් වහන්ස, තෙල සඳහා මෙ කලි. සුගතයන් වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සැදැහැතියහුගේ ශ්‍රද්ධාපදානයන් වදාරණ සේක් නම් තෙල සඳහා මෙ කලි. දැන් මම මෙ මහණ ශ්‍රද්ධාපදානයන් හි ලා ඉදින් පැණේ ද හෝ නො පැණේ ද හෝ යි දැනගන්නෙමි යි.
සුභූතියෙනි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු. කියමි යි.
වහන්ස, එසේය යි, ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
1. සුභූතියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවර සිලින් සංවර වූයේ ආචාරගෝචර සම්පන්නව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපදයන්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. සුභූතියෙනි, යම්හෙයකින් මහණ සිල්වත් වේ ද, සමාදන්ව ගෙන සිකපදයන් හි හික්මේ ද, සුභූතියෙනි, සැදැහැත්තහුගේ මෙ ද ශ්‍රද්ධාපදානය වෙයි.
2. සුභූතියෙනි, තවද මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ඒ ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්, සුභූතියෙනි, යම් හෙයකින් මහණ බහුශ්‍රුත වේ නම් … ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම් මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.
3. තවද සුභූතියෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි, සුභූතියෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරුවූයේ වේ ද, සුභූතියෙනි, මේද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
4. තවද සුභූතියෙනි, මහණ සුවචභාවය ඇතිකරන ධර්‍මයෙන් සමන්‍වාගතවූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ සුවච භාවය කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවචයෙක් වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
5. තවද සුභූතියෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් බඳු කුදු මහත් කිඞ්කර්‍තවයෝ වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රෝපාය මිමාංසයෙන් සමන්‍වාගත වූයේ කිරීමට නිසිවෙයි, සංවිධානයට නිසි වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ සබ්‍රම්සරුන්ගේ යම් බඳු කුදු මහත් කිඞ්කර්‍තවයෝ වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රෝපායෙන් සමන්‍වාගත වූයේ කිරීමට නිසි වේ නම්, සංවිධානයට නිසි වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
6. තවද සුභූතියෙනි, මහණ තෙවලා දහම් කැමතියේ ප්‍රිය සමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි ද අභිවිනයෙහි ද උදාර ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ ධර්‍මකාම ඇතියේ ප්‍රිය සමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි ද අභිවිනයෙහි උදාර ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
7. තවද සුභූතියෙනි, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශල ධර්‍මයන්ගේ උපසම්පත්තිය සඳහා රුකුළු වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි බහා නොතැබූ වීර්‍ය්‍ය ධූර ඇතියේ වාස කෙරේ. සුභූතියෙනි, යම් හෙයකින් මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශල ධර්‍මයන්ගේ උපසම්පත්තිය සඳහා රුකුළු වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි බහා නොතැබූ වීර්‍ය්‍ය ධූර ඇතියේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
8. තවද සුභූතියෙනි, මහණ අධිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන සුලුයේ, නිදුකින් ලබන සුලුයේ විපුල සේ ලබන සුලුයේ වෙයි. සුභූතියෙනි, යම් කරුණෙකින් මහණ අධිචිත්තයෙහි උපදනා ඉහාත්මයෙහි සුඛවිහරණ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල සේ ලබන සුලුයේ වේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
9. තවද සුභූතියෙනි, මහණ අනේකවිධ පූර්වේ නිවාසය සිහිකෙරෙයි. ඒ නම්: එක් දැයක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දහයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති සහස්‍රයක් ද ජාති ශතසහස්‍රයක් ද නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද “අසෝතන්හි මෙබඳු නැමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳුනෙම්, මෙබඳු ආයුස කෙළවර කොට ඇතියේ වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් අසෝ තන්හි උපන්මි.
එහිදු මෙබඳු නැමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳියෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇතියෙම් විමි. ඒ මම එයින් ච්‍යුත වූ යෙම් මෙහි උපන්මි.” මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි. සුභූතියෙනි. යම් කරුණෙකින් මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරේ ද එනම් -- එක් ජාතියක් ද -- ජාති දෙකක් ද -පෙ- මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි ද, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
10. තවද සුභූතියෙනි, මහණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුතවන උපපද්‍යමාන, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැ යන සත්ත්‍වයන් දන්නේය, මෙ භවත් සත්ත්‍වයෝ එ කැතින් කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටි සමාදන් කොට ගන්නහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වු විනිපාත නම් වූ නිරයට පැමිණියාහු වෙති. මෙ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, වාක් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, මනස් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහු, සම්දිටු ඇත්තාහු, සම්දිටු කම් සමාදන් කොට ඇත්තාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයට පැමිණියාහුය”යි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත සත්ත්‍වයන් දක්නේ ය, යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේ ය. සුභූතියෙන්, මහණ යම් කරුණෙකින් විශුද්ධ වූ -පෙ- දිවැසින් යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
11. තවද, සුභූතියෙනි, මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චේතෝවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරයි. සුභූතියෙනි, යම් කරුණෙකින් මහණ ආස්‍රවයන්ගේ -පෙ- සාක්‍ෂාත් කොට පැමිණ වාසකෙරේ නම්, සුභූතියෙනි, මෙ ද ශ්‍රාද්ධයාගේ ශ්‍රද්ධාපදානය වෙයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රද්ධා ඇති පුද්ගලයාගේ යම් මේ ශ්‍රද්ධාපදාන කෙනෙක් වදාරන ලදහු නම්, ඔහු මෙ මහණහට විද්‍යාමාන වෙත්, මෙ මහණ ද ඔවුනතර පැනේ. වහන්ස මෙ මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසේ, ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වද්‍යයෙහිදු භය විසින් දක්නා ලද සුලුයේ සිකපදයෙහි සමාදන් කොට ගෙන හික්මෙයි.
වහන්ස, මෙ මහණ ශ්‍රැතධර වූයේ රැස්කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ඒ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ධ්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන ධර්‍මයෝ කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට කියත් නම් එ බඳු ධර්‍මයෝ ඔහු විසින් අසන ලද්දාහු ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥාවෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.
වහන්ස, මෙ මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණයන් කෙරෙහි නැඹුරු වීම් ඇතියේ වෙයි.
වහන්ස, මෙ මහණ සුවචභාවය කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ක්‍ෂමා ඇතියේ අනුශාසනාව ප්‍රදක්‍ෂිණායෙන් ගන්නාසුලුයේ සුවච වෙයි.
වහන්ස, මෙ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කිං කරණීයයෝ වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වූයේ තත්‍රාපායමීමාංසායෙන් සමන්‍වාගත වූයේ කරනුවට නිසි වෙයි, සංවිධානයට නිසි වෙයි.
වහන්ස, මෙ මහණ ප්‍රියසමුදාහාර ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රමෝද ඇතියේ ධර්‍මකාම වෙයි.
වහන්ස, මෙ මහණ දළ වැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බැහූ වීර්‍ය්‍යධූර ඇතියේ වාස කරයි.
වහන්ස, මෙ මහණ අධිචිත්තයෙහි උපදනා දිටු දැමියෙහි සුඛවිහරණ වූ සතරධ්‍යානයන් කැමැති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි.
වහන්ස, මෙ මහණ අනේකවිධ පූර්‍වනිවාසය සිහිකෙරෙයි, එ නම්: එක් ජාතියකුදු ජාති දෙකකුදු -පෙ- මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි.
වහන්ස, මෙ මහණ මිනිසැස ඉක්ම පවත්නා විසුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේ ය.
වහන්ස, මෙ මහණ ආස්‍රවක්‍ෂය යෙන් ... පසක් කොට එයට පැමිණ වාස කරයි.
වහන්ස, සැදැහැතියහුගේ යම් ඒ ශ්‍රද්ධාපදාන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම් ඔහු මෙ මහණ හට විද්‍යාමාන වෙත්. මෙ මහණ ද ඔවුන් තුල පැනේ යි.
සුභූතියෙනි, මැනැව, මැනැව. සුභූතියෙනි, එ කරුණෙන් තෙපි මෙ සද්ධ භික්‍ෂූහු සමග වාස කරව. සුභූතියෙනි, යම් කලෙක තෙපි තථාගතයන් දර්‍ශනය කරනු කැමැත්තහු නම් තථාගතයන් දක්නා පිණිස මේ සද්ධ භික්‍ෂූහු සමග ම එළඹෙවයි.
11. 2. 5.
මෙත්තානිසංස සූත්‍රය
මහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්‍ථිත වූ පරිචිත වූ සුසමාරබද්ධ වූ මෛත්‍රී චිත්තවිමුක්ති පිළිබඳ එකොළොස් අනුසස් කෙනෙක් කැමැති විය යුතුවහ: කවර එකොළොස් දෙනෙක යත්:
සුවසේ හෝනේ ය. සුවසේ පුබුදනේ ය. ලාමක ස්වප්න නො දක්නේ ය. මිනිස්නට ප්‍රිය වන්නේ ය. නො මිනිස්නට ප්‍රිය වන්නේ ය. දෙවියෝ රක්නා හ. ගිනි වේවයි විෂ වේවයි ශස්ත්‍ර වේවයි ඔහට නො වදනේ ය. වහා සිත සමාධියට යෙයි. මුවපැහැ වෙසෙසින් පහදනේ ය. නො මුළා සිහි ඇතිවේ කලුරිය කරන්නේ ය. මතුයෙහි මග පල නො පිළිවිදුනේ බඹලෝ යනුයේ වෙයි.
මහණෙනි, ආසෙවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්‍ථිත වූ පරිචිත වූ සුසමාරබ්ධ වූ මෙත්‍රීචිත්තවිමුක්තිහුගේ මේ එකොළොස් අනුසස් කැමති විය යුත්තාහු යි.
11. 2. 6.
අට්ඨකනාගර සූත්‍රය
එක්සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ විසාලා නුවර බේලුව ගම්හි වාස කරත්. එකල්හි අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරණී හේතුයෙන් පාටලීපුත්‍රයට අනුප්‍රාප්ත වෙයි. ඉක්බිති අට්ඨක නගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි අන්‍යතර මහණකු කරා එළඹියේ ය. එළඹ එ මහණහට තෙල සැලකළේය: වහන්ස, මෙ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොහි වාස කෙරෙත් ද, වහන්ස, අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දක්නා කැමැතියම්හ”යි. ගැහැවියෙනි, තෙල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වේසාලියෙහි බේලුව ගම්හි වාස තෙරෙති යි.
ඉක්බිති අට්ඨකනගර වැසි දසම ගැහැවි පාටලී පුත්‍රයෙහි එ කරණී නිමවා වේසාලියෙහි බේලුව ගම්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් අට්ඨකනගර වැසි දසම ගහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය:
වහන්ස, ආනන්‍දයෙනි, ආසයානුසය දන්නා ඥේය ධර්‍මය දක්නා අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ප්‍රහිතාත්ම ව වාසය කරන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂීණයට යෙත් නම්, නොපැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම් මොනොවට ප්‍රකාශ කරන ලද එ බඳු එක් ධර්‍මයෙක් ඇත්තේ දැ යි?
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක් හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිර්‍වාණය කෙරෙහි මෙහෙයූ සිත් ඇති වැ වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, පරික්‍ෂීණ නො වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම් නො පැමිණියා වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පිළිවෙළින් පැමිණේ නම්, ආසයානුසය දන්නා ඥේයධර්‍මය දක්නා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද එබඳු එක් ධර්‍මයෙක් ඇත් මැයි.
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන භික්‍ෂුහුගේ නොමිදුනා වූ හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වු හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත අනුත්තරයෝගක්‍ෂේමයට හෝ පැමිණේ නම්, දන්නා වූ දක්නා වු අර්‍හත් වු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද ඒ ධර්‍මය කවරේ දැයි.
ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. හේ මෙසේ නුවණින් සිතයි, මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලදුයේ කල්පිත වේ. යම් කිසිවක් උපදවන ලද නම් කල්පිත නම් එය අනිත්‍යය නිරුද්ධ වන සැහැවි ඇතියේ යයි දන්නේ ය. හේ ඒ ශමථ විදර්‍ශනාධර්‍මයෙහි පිහිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම (ශමථ විදර්‍ශනා) ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එලොවින් පෙළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන භික්‍ෂූහුගේ නො මිදුණු හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, එබඳු මේ එකම ධර්‍මය ද දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ය.
ගැහැවියෙනි, තවද මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කරයි .... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි. හේ මෙසේ නුවණින් සලකන්නේ ය. මේ චතුර්‍ත්‍ථධ්‍යානය ද අභිසංස්කෘතය. අභිසඤ්චේතයිතය. යම් කිසිවක් අභිසංස්කෘත නම් අභිසඤ්චේතයිත නම් එය අනිත්‍යය, නිරෝධස්වභාව ඇතිය යී දන්නේ ය. හේ ඒ සමථවිදර්‍ශනා ධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණියේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධඔරම්භාගිය සඤ්ඤෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්තව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂූහුගේ නො මිදුණු සිත හෝ මිදේ නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එකම ධර්‍මය ද මොනොවට දෙසන ලදි.
ගැහැවියෙනි, තවද මහණ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ ම දෙවන - එසේම තෙවන - එසේම සතරවන - මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මතාවෙන් හැම ලොව විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකයි, මේ මෙත්තා චේතෝවිමුක්තිය ද අභිසඞ්ඛත වෙයි, අභිසඤේචයිත වෙයි. යම් කිසිවක් අභිසඞ්ඛත, අභිසඤේචයිත නම් එය අනිත්‍ය නිරෝධධර්‍ම යයි දන්නේ ය. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂූහුගේ නො මිදුණු සිත හෝ මිදේ නම් අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණේ නම් දන්නා වූ දක්නා වූ අර්‍හත් වු සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදි.
තවද ගැහැවියෙනි, මහණ කුළුණු සහගිය සිතින් … මුදිතා සහගිය සිතින් … උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවන - එසේ තෙවන - එසේ සිවුවන - මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මභාවයෙන් හැම ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සිතයි: මේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය ද අභිසඞ්ඛතය, අභිසඤ්චේතයිත ය. යම් කිසිවක් වනාහි අභිසඞ්ඛත, අභිසඤ්චේතයිත නම් ඒ අනිත්‍ය වෙයි, නිරෝධ ධර්‍ම වේයයි දන්නේ ය. හේ අහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එ ලොවින් පෙරළා නො එන සුලුයේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ එකම ධර්‍මය ද මොනොවට දෙසන ලද්දේය.
තවද ගැහැවියෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට එළඹ වාසය කරයි. හේ මෙසේ නුවණින් කලකයි: ‘ආකාසානඤ්චායතනසමාපත්තිය ද අභිසංස්කෘත ය, අභිසඤ්චේතයිත ය, යම් කිසිවක් අභිසඞ්ඛත වේ නම්, අභිසඤ්චේතයිත වේ නම්, ඒ අනියත්‍ය ය, නිරෝධ ධර්‍මය’යි දන්නේ ය. හේ එහි සිටි ආස්‍රයන්ගේ ක්‍ෂයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍ම නන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් ඖපපාදුක වූයේ එහි පිරිනිවෙනසුලුයේ එලොවින් පෙරළා නො එන සුලුයේ වෙයි.
ගැහැවියෙනි, යම් ධර්‍මයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාසය කරන මහණහුගේ අවිමුක්ත හෝ සිත මිදේ නම්, අපරික්‍ෂීණ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම් අනනුප්‍රාප්ත වූ හේ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, ආසයානුසය දන්නා සකලඥේයමණ්ඩලය දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදී.
තවද ගැහැවියෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාසය කරයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘කිසිදු නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකන්නේ ය: ‘මෙ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද අභිසඞ්ඛත ය, අභිසඤ්චේතයිත ය, යම් කිසිවක් අභිසඞ්ඛත ද, අභිසඤ්චේතයිත ද, එ අනිත්‍ය ය නිරෝධ ධර්‍මය’යි දන්නේ ය. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයයට පැමිණේ. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙන සුලුයේ එ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ වෙයි.
ගැහැවියෙනි, යම් තැනෙක අප්‍රමත්ත ආතාපී, ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහු ගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත හෝ අනුත්තරයෝගක්‍ෂේමයට පැමිණේ නම්, දන්නා, දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ එක ධර්‍මය ද මොනොවට දෙසන ලදැයි.
මෙසේ වදාළ කල්හි අට්ඨක නගර වාසී දසම ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කරුණ කීය: වහන්ස, ආනන්‍දයෙනි, යම් පරිදි එක් ම නිධිමුඛයක් සොයන පුරුෂයෙක් එක්වර ම එකොළොස් නිධිමුඛයන් ලබන්නේ ද, වහන්ස, එපරිදි ම මම එක් ම අමෘතද්වාරයක් සොයනෙම් එක්වරම එකොළොස් අමෘතද්වාර කෙනෙකුන් සෙවුනට ලදිමි. වහන්ස, යම් පරිදි පුරුෂයකුහට එකොළොස් දොරටු ඇති ගෘහයෙක් වේ නම්, හේ එ ගින්නෙන් ඇවිළැ ගත් එ ගෙහි එක් එක් දෙරකිනුදු තමහට ස්වස්තිය කරනට හැකිවන්නේ ද,
වහන්ස, එ පරිද්දෙන් ම මම මේ එකොළොස් අමෘතද්වාරයන් අතුරෙන් එක් එක් අමෘතද්වාරයෙකිනුදු තමාහට ස්වස්තිය කරනට හැකි වන්නෙමි. වහන්ස, මේ අන්තොටුවෝ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය සොයා දෙන්නාහ. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට කවර හෙයින් පූජා නො කරන්නෙම් දැයි.
ඉක්බිති අට්ඨක නගර වාසී දසම ගෘහපති තෙම විසල් පුර වැසි වූ ද පාටලීපුත්‍ර නිවාසී වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සියතින් ප්‍රණීතඛාද්‍යයෙන් හා භෝජ්‍යයෙන් සන්තර්‍පණ කෙළේ ය, සම්පවාරණ කෙළේ ය. එක් එක් මහණහට ප්‍රත්‍යෙක වස්ත්‍රයුග්මයක් දින. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තුන් සිවුරෙන් පිදී ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සඳහා පන්සියයක් අගනා විහාර ද කරවී ය යි.
11. 2. 7.
ගෝපාලක සූත්‍රය
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්‍ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම) තීර්‍ත්‍ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්‍වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට, විරූඪියට, වෛපුල්‍යයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ (මහාභූතරූප, උපාදායරූප විසින්) රූපඥ නො වෙයි, (බාලලක්‍ෂණ, පණ්ඩිත ලක්‍ෂණ විසින්) ලක්‍ෂණ කුශල නොවෙයි, (කාමවිතර්‍කාදී) මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි, (ඉන්‍ද්‍රිය සංවර සංඞ්ඛ්‍යාත) ව්‍රණ ප්‍රතිච්ඡාදන නො කරනුයේ වෙයි, (ධර්‍මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වෙයි, (බහුශ්‍රුත ස්ථවිර සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථ නො දන්නේ වෙයි, (ධර්මොපසංහිත ප්‍රමෝද සඞ්ඛ්‍යාත) පීතය නොදන්නේ ය, (අරීඅටඟිමග නැමැති) වීථිය නො දන්නේ ය, (සතිපට්ඨාන සඞ්ඛ්‍යාත) ගෝචර කුශල නොවේ, (ප්‍රතිග්‍රහණයෙහි මාත්‍රඥතා සඞ්ඛ්‍යාත) මාත්‍ර නොදන්නා හෙයින් අනවසේස ද්‍රෝහී ද වෙයි, චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත, සඞ්ඝපීතෘ, සඞ්ඝපරිනේතෘ වූ යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි.
1. මහණෙනි, මහණ කෙසේ රූපඥ නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතර මහා භූතය, සතරමහා භූතයන්ගේ උපාදාය රූපයයි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ රූපය රූපඥ නොවේ.
2. මහණෙනි, මහණ කෙසේ ලක්‍ෂණයන්හි කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාල තෙමේ කර්‍ම ලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිත තෙමේ කර්‍මලක්‍ෂණ කොට ඇත්තේය’යි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණ කුශල නො වේ.
3. මහණෙනි, කෙසේ මහණ (කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත) මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් ව්‍යාපාද විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් විහිංසා විතර්‍කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපනුපන් ලමු අකුසල් දහම් ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ.
4. මහණෙනි, කෙසේ මහණ ව්‍රණය නො පිළිසන් කරනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා දෞම්නස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් ඔහුගේ සංවරය පිණිස නො පිළිපදනේ ය, චක්‍ෂුන්‍ද්‍රිරිය නො රක්නේ ය, චක්‍ෂුන්‍ද්‍රිරියයෙහි සංවරයට නො පැමිණේ. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මාරම්මණය දැන නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා-දෞම්නස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එ සංවරය පිණිස නො පිළිපදනේ ය, මනිද්‍රිරිය නො රක්නේ ය, මනිද්‍රිරියයෙහි සංවරයට නො පැමිණේය. මහණෙනි, මෙසේ මහණ ව්‍රණ ප්‍රතිච්ඡාදන නො කරන්නේ වේ.
5. මහණෙනි, කෙසේ නම් මහණ (ධර්‍මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට නො දෙසනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම නො කරනුයේ වෙයි.
6. මහණෙනි, කෙසේ මහණ (බහුශ්‍රුත සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථය නො දන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතිකාධර යම් ඒ තෙර මහණහු වෙත් ද ඔවුන් කරා කලින් කල එළඹ පරිවෘච්ඡා නො කෙරෙයි. පරිප්‍රශ්න නො කෙරෙයි: ‘වහන්ස, මේ කෙසේ ද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කවරේ දැ’යි, ඔහට ඒ ආයුෂ්මත්හු අවිවෘත අර්‍ත්‍ථය ද විවෘත නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ද ප්‍රකට නො කෙරෙත්, අනේකවිධ සැක කටයුතු දහම් විසාහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තීර්‍ත්‍ථ නො දන්නේ ය.
7. මහණෙනි, කෙසේ මහණ පීතය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය දෙසනු ලබත් ම අර්‍ත්‍ථවේද නො ලබනේ ය. ධර්‍මවේද නො ලබනේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය නො ලබනේ ය. මහණෙනි, මෙසේ පීතය නො දන්නේ ය.
8. මහණෙනි, කෙසේ නම්, මහණ වීථිය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරිඅටඟිමග යථාභූත නොදන්නේ ය. මහණෙනි, මෙසේ වීථිය නො දන්නේ ය.
9. මහණෙනි, කෙසේ නම්, මහණ ගෝචර කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුසීවටන් යථාභූත කොට නොදන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ගෝචර කුශල නො වේ.
10. මහණෙනි, කෙසේ නම්, මහණ අනවසේස දෝහී වේය යත්: මහණෙනි, සැදැහැති ගිහියෝ මෙ සස්නෙහි මහණහු ඉදිරියට එළවා චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යය පරිෂ්කාරයෙන් පවරත්. මහණෙනි, එහිලා මහණ පිළිගැනුමට මාත්‍ර නොදන්නේ ය. මහණෙනි, මහණ මෙසේ අනවශේෂ දෝහී වෙයි.
11. මහණෙනි, කෙසේ නම්, මහණ යම් ඒ චිරරාත්‍රඥ සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේකපූජායෙන් නො පුදනේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි හා නො හමුයෙහිත් නො එළවන්නේ ය. මෛත්‍රීවාක්කර්‍මය නො ම එළවන්නේ ය ... මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි හා නො හමුයෙහි නො එළවන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදන්නේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙන්නට අභව්‍ය වේ.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වඩනට භව්‍ය වෙයි. කවර එකොළොසකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු රූපඥ වෙයි, ලක්‍ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරු කරනුයේ වෙයි, වණ පිළිසන් කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, පීතය දන්නේ ය, වීථිය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදෝහී වෙයි, ගෝපිතෘ වූ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේකපූජායෙන් පුදනුයේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වර්ධනයට භව්‍ය වෙයි.
මහණෙනි, එ පරිදිම එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර එකොළොස් කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපඥ වෙයි, ලක්‍ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරලනුයේ වෙයි, ව්‍රණප්‍රතිච්ඡාදනය කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, තීර්‍ත්‍ථය දන්නේ ය, පීතය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදොශී වෙයි, චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
1. මහණෙනි, කෙසේ මහණ රූපඥ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතරමහාභුතය, සතරමහාභූතයන්ගේ උපාදාය රූපය යි යථාභූතව දන්නේය. මහණෙනි, මෙසේ මහණ රූපඥ වෙයි.
2. මහණෙනි. කෙසේ මහණ ලක්ඛණකුසල වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාලයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිතයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය’ යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණ කුශල වෙයි.
3. මහණෙනි, කෙසේ මහණ මක්‍ෂිණාකාණ්ඩ දුරලනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි, පහකෙරෙයි, දුරලයි, විගාන්ත කරයි, අභාවය ට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, හැරලයි, පහ කෙරෙයි, විගතාන්ත කරයි, අභාවයට යවයි. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩ දුරලන්නේ වෙයි.
4. මහණෙනි, කෙසේ මහණ වණ පිළිසන් කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යමක් හේතුකොට ගෙන චක්‍ෂුන්‍ද්‍රිරියය අසංවාත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය, චක්‍ෂුන්‍ද්‍රිරිය රක්නේය, චක්‍ෂුන්‍ද්‍රිරියෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ අසා ... ජීව්හායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මාලම්බනය දැන නිමිති නොගන්නා සුලුයේ වෙයි, යමක් හේතුකොට ගෙන මනින්‍ද්‍රියය අසංවෘත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය. මහණෙනි, මෙසේ මහණ වණ පිළිසන් කරනුයේ වෙයි.
5. මහණෙනි, කෙසේ මහණ ධූම කරන්නේ වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විස්තර විසින් පරහට දෙසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම කරන්නේ වෙයි.
6. මහණෙනි, කෙසේ මහණ තීර්‍ත්‍ථ දන්නේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතෘකාධර යම් ඒ බහුශ්‍රුත භික්‍ෂූහු වෙත් ද, ඔවුන් කරා එළඹ කලින් කල පරිවෘච්ඡා කරයි, පරිප්‍රශ්න කරයි, ‘වහන්ස, මෙ කෙසේ ද? මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ කවරේ දැ’යි. ඒ ආයුෂ්මත්හු ඔහට අවිවෘත වූ අර්‍ත්‍ථය විවෘත කරත්, අප්‍රකටාර්‍ත්‍ථය ප්‍රකට කරත්, නානාවිධ සැකකටයුතු ධර්‍මයන් කෙරෙහි සැක දුරලත්. මහණෙනි, මෙසේ මහණ තීර්‍ත්‍ථය දන්නේ ය.
7. මහණෙනි, කෙසේ මහණ පීතය දන්නේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන ලබන කල්හි අර්‍ත්‍ථවේදය ලබනේය, ධර්‍මවේදය ලබනේය, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේය. මහණෙනි, මෙසේ මහණ පීතය දන්නේ ය.
8. මහණෙනි, කෙසේ මහණ වීථිය දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරීඅටඟිමග යථාභූත කොට දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ වීථිය දන්නේය.
9. මහණෙනි, කෙසේ මහණ ගෝචරකුශල වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවු සීවටන් යථාභූත කොට දන්නේය. මහණෙනි, මෙසේ මහණ ගෝචරකුශල වෙයි.
10. මහණෙනි, කෙසේ මහණ සාවසේසදෝහී වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු සැදැහැති ගෙහෙවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එළවා පවරත්. එහිලා මහණ පිළිගැනීමට මාත්‍ර දන්නේය. මහණෙනි, මෙසේ මහණ සාවසේසදෝහී වෙයි.
11. මහණෙනි, කෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ තෙරමහණහු වෙත්නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ යම් එ ස්ථිවිර භික්‍ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මෛත්‍රීවාක්කර්‍ම ... මෛත්‍රීමනඃකර්‍ම හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථිවිර භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත මහණ මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට, විපුලභාවයට පැමිණෙන්නට භව්‍ය වෙයි.