Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 15701-15800 න් 15980

ඇවැත්නි, යම් පරිද්දෙකින් අතු-පත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට නො යෙයි. සිවිදු … බොරුදු … හරදු පිරිපුන්බවට නො යෙයි. ඇවැත්නි, ඒ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතිවෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛ ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගයඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතු - පත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
11. 1. 5.
තතිය උපනිස සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. විරාගය නැතිවත් ම විරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
ඇවැත්නි, යම්පරිදි අතුපත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට නො යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට නො යෙයි. ඇවැත්නි, එ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි ... විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේද සම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතුපත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරයසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
11. 1. 6.
ව්‍යසන සූත්‍රය
මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යයනට උපවාද බණනසුලු වේද, හේ යම් හෙයෙකින් එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො යන්නේ ය යන යමෙක් වේ නම් තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වෙයි. කවර එකොළොස් කරුණින යත්:
අනධිගත අධිගතයෙන් නො ලබන්නේ ය. විශේෂය පිරිහෙන්නේ ය. ඔහුගේ ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාත ශාසනධර්‍මය ව්‍යවදානයට නො යෙයි. සද්ධර්‍මයෙහි හෝ අධිමාන ඇතියේ වෙයි. නො ඇලුනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ ය. ශික්‍ෂා හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙයි. දැඩි රෝගාබාධයක් හෝ පහස්නේ ය. චිත්තක්‍ෂේප සඞ්ඛ්‍යාත උන්මාදයට හෝ පැමිණෙයි නට සිහි ඇතියේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට පැමිණෙයි.
මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යෝපවාද බණනසුලු වේ නම් හේ මේ එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො පැමිණෙන්නේ ය යන තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වේ.
11. 1. 7.
පඨම සඤ්ඤා සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවී (කෘත්ස්න) යෙහි පෘථිවීසංඥා ඇති නොවන්නේ නම්, ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවන්නේ නම් තේජස්හි තේජස්සංඥා ඇති නො වන්නේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නොවන්නේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම් විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණාඤ්චායතනසංඥා ඇති නො වේ නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම් ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂණ කළා වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨ සඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මාරම්මණයෙක් හෝ වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් භික්‍ෂුහට එබඳු සංඥා ප්‍රතිලාභයෙක් වේ දැයි.
ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නො වේ නම්, ආපයෙහි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ සිතින් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨසඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මායතනයක් හෝ වේ නම්, එහිදු සංඥා ඇති නො වේ ද, සංඥා ඇතියේත් වේ ද, එබඳු සමාධිප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ය.
වහන්ස, යම් පරිදි පෘථිවියෙහි පෘථිවීසංඥා නැති වේ නම්, අප්හි අප්සංඥා නැති වේ නම්, තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුයෙහි වායුසංඥා නැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම් ඉධලෝකයෙහි ඉධලොකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝක සංඥා නැති වේ නම්, යම්බඳු මේ සිතින් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත අනුවිචරිත, දිට්ඨ සුත මුත විඤ්ඤාතයකුත් වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි.
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ “යම්බඳු සර්‍වසංස්කාරසමථයෙක් සර්‍වොපධිප්‍රතිනිස්සර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීතය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් අප්හි අප්සංඥා නැති වේ නම් තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුවෙහි වායුසංඥා නැති වේ නම් ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැති වේ නම්, ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද යම් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැත්තේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් කරා ගියහ. ගොස් ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් හා සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්‍මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් -පෙ- යම් බඳු ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත,විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එතෙකුදු වත් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?
ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිඵලයෙක් වේ යයි.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් … ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැති වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වේ දැයි.
ඇවැත්නි, ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ “යම් මේ සර්‍වසංස්කාර ශමථයෙක් සර්‍වොපධිප්‍රතිනිසර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, ප්‍රණීත ය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇවැත්නි ආනන්‍දයෙනි, මහණහට යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්තවූ ද, පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, එකෙකුදුවත් සංඥා ඇතියේත් වේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.
ඇවැත්නි, යම් කරුණෙක්හි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවකයාගේ ද අග්‍රපදයෙහි ලා අර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය ද බ්‍යඤ්ජනය හා ව්‍යඤ්ජනය ද සැසැඳේ නම්, සමාන වේ නම්, නො වැරදේ නම්, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, තෙල අද්භූත යි.
ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මම් මෙ දැන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අර්‍ත්‍ථය පිළිවිසියෙමි, භාග්‍යවතුන් වහන්සේ ද තෙල පදයෙන් තෙල ව්‍යඤ්ජනයෙන් තෙල අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයන් (විසඳූ) පරිද්දෙන් විසඳූ සේක. ඇවැත්නි යම් කරුණෙක් ශාස්තෲන්වහන්සේ හා ශ්‍රාවකයාගේ හා අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථයත් බ්‍යඤ්ජනයෙන් බ්‍යඤ්ජනයත් අග්‍රපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ලා සැසැඳේ නම් සමාන වේ නම් නොවැරදේ නම්. ඇවැත්නි, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, අද්භූත යි.
11. 1. 8.
මනසිකාර සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වා මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථුවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහ ලෝකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙකුත් ඇත්නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, ... යම් බඳු ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනු යේත් වේ නම්, කෙසේ නම් මහණ හට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ දැයි?
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි. ආනන්‍දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,
11. 1. 9.
සන්‍ධ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නගර සමීපයෙහි වූ ගිඤ්ජකාවස්ථයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සන්‍ධ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
සන්‍ධයෙනි, ආජානේයධ්‍යායිතය සිතව, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය නහමක් සිතව, සන්‍ධයෙනි, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය කිසෙයින් වේ ය යත්:
සන්‍ධයෙනි, සත්ත්‍වාහාර බවන දෙණ සමීපයෙහි බඳනා ලද අස්ගුණ්ඩයා වනාහි ‘යවස, යවස’යි සිතනේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, යචස බහන දෙණ හමුයෙහි බැඳුණු අස්ගුණඩහට මෙබඳු සිතෙක් නො වෙ යි: ‘අස්දම්සැරි අද මා ලවා කිනම් කරුණක් කරවන්නේ ද? මම අද ඔහට කුමක් පෙරළා කරනෙම් දැ’යි (කියායි). හේ දෙණ වෙත බැඳුණේ ‘යවස, යවසැ’ යි සිතනේ ය,
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම මෙ සස්නෙහි ඇතැම් පුරුෂගුණ්ඩයෙක් වලට ගියේ වේව යි, රුක්මුලට ගියේ වේව යි, ශූන්‍යාගාරයට ගියේ වේව යි, කාමරාගයෙන් ගන්නා ලද කම්රාඅනුගිය සිතින් වාසය කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය. හේ කාමරාගය අභ්‍යන්තරයෙහි කොට ධ්‍යාන කෙරෙයි. ප්‍රධ්‍යාන කෙරෙයි නිබඳ කොට ධ්‍යාන කෙරෙයි, බැස ගෙන සිතයි, ව්‍යාපාදයෙන් ගත් සිතින් වාසය කරයි -- සත්‍යානමිද්ධයෙන් ගත් සිතින් වාසය කරයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් ගත් සිතින් වාසය කරයි -- විචිකිත්සායෙන් ගත් විචිකිත්සායෙන් මැඩුණු සිතින් වාසය කරයි. උපන්නා වූ ද විචිකිත්සාහුගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය, හේ විචිකිත්සාව ම අභ්‍යන්තරයෙහි කොට (ලා) සිතන්නේ ය, නානාප්‍රකාරයෙන් සිතන්නේ ය, නිබඳකොට සිතන්නේ ය, බැස සිතන්නේ ය, හේ පෘථිවීකෘත්ස්නධ්‍යානය ද නිසා ධ්‍යාන කරන්නේය -- අප්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය - තේජස්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය. වායුකාත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකාසානඤ්චායතනධ්‍යානය ද සිතන්නේ ය -- විඤ්ඤානඤ්චායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකිඤ්චඤ්ඤායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය, පරලෝකය ද නිසා සිතන්නේ ය. යම් බඳු සිතන්නේ ය ඉහප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එය ද නිසා සිතන්නේ ය. සන්‍ධයෙනි, මෙසෙයින් පුරුෂ ඛලුඞ්කධ්‍යාධිතය වෙයි.
සන්‍ධයෙනි, භද්‍ර වූ ආජානේයධ්‍යායිතය කෙසේ වේ ය යත්: සන්‍ධයෙනි, අශ්වාජානේයයා සත්ත්‍වාහාර බහන දෙණ සමීපයෙහි බඳනාලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, දෙණ සමීපයෙහි බඳනා ලද භද්‍ර වූ අශ්වාජානේයයාට මෙබඳු සිතෙක් වෙයි: අද මා ලවා අස්දම්සැරි කුමක් කරවන්නේ ද? ඔහට මම් අද කුමක් පෙරළා කරනෙම් දැ”යි (කියායි), හේ දෙණ හමුයෙහි බඳනා ලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. සන්‍ධයෙනි, භද්‍ර වූ අශ්වාජානේයයා වනාහි ප්‍රතොදයාගේ අධ්‍යවහරණ සඞ්ඛ්‍යාත පතනය සාණ සදෘස කොට බන්‍ධන සදෘස කොට හානි සදෘස කොට මහාපරාධ සදෘස කොට මෙසේ මොනවට දක්නේ ය.
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම භද්‍ර වූ පුරුෂාජානේයයා වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේව යි ශූන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගයෙන් ගත් මඩනා ලද සිතින් වාසය නො කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් දන්නේ ය.
ව්‍යාපාදයෙන් මඩනා ලද, සිතින් වාසය නො කෙරෙයි -- සත්‍යානමිද්ධයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- විචිකිත්සායෙන් මඩනා ලද විචිකිත්සායෙන් යටකළ සිතින් වාසය නො කරයි උපන්නා වූ ද විචිකිත්සාවගේ නිඃසරණය තතු සේ දන්නේ ය. හේ පෘථිවිය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආපය නිසා නොම ධ්‍යාන කෙරෙයි, තේජස් නිසා නොම ධ්‍යාන කෙරෙයි, වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි, ආකාසානඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, ඉහලොකය නිසා නොම ධ්‍යාන කෙරෙයි, පරලෝකය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, යම් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා නො ම ධ්‍යාන කෙරෙයි. එතෙකුදුවත් ධ්‍යාන කෙරෙයි. සන්‍ධයෙනි, භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමදනාහ:
“යම් ම අරමුණක් නිසා ධ්‍යානය කරහු නම් තොපගේ එ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමයෙනි තොපට නමස්කාර වේවා”යි
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ.
වහන්ස, ධ්‍යාන කරන සුලු භද්‍ර වූ ඒ පුරුෂාජානේයයා පෘථිවීකෘත්ස්නය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ආපය නිසා ධ්‍යාන නොකරන්නේ නම් තේජස් නිසා ධ්‍යාන නො කරන්නේ නම්, වායු නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකාසානඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, විඤ්ඤාණඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකිඤ්චඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ඉහ ලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, පරලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන නො කෙරේ නම් වැලි ධ්‍යාන කරන්නේත් වේ නම්, කෙසේ නම් ධ්‍යාන කරන්නේ ද, වහන්ස, කෙසේ ධ්‍යාන කරණ සුලු පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමස්කාර කරන්නාහු ද?
“යම් ම අරමුණක් නිසා ධ්‍යාන කරන්නහු නම්, තොපගේ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි,, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය, තොපට නමස්කාර වේවා”යි.
සන්‍ධයෙනි, මෙ සස්නෙහි භද්‍ර වූ පුරුෂාජානේයයාහට පෘථිවීකෘත්ස්නයෙහි (චතුෂ්ක, පඤ්චක) පෘථිවීධ්‍යානසංඥාව ප්‍රකට වෙයි. ආපයෙහි ආප්සංඥාව ප්‍රකට වෙයි. තේජස්හි තේජස්සංඥාව ප්‍රකට වෙයි. වායුයෙහි වායුසංඥාව ප්‍රකට වෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. ඉහලෝකයෙහි ඉහලෝකසංඥාව ප්‍රකට වෙයි, පරලෝකයෙහි පරලෝක සංඥාව ප්‍රකට වෙයි. යම් මේ ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහි දු සංඥාව ප්‍රකට වෙයි. සන්‍ධයෙනි, මෙසේ සිතන සුලු භද්‍ර වූ පුරුෂාජානේය තෙම පෘතුවිය නිසා ම ධ්‍යාන නො කරන්නේය, ආපය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. තේජස් නිසා නොම කරන්නේ ය: වායු නිසා නොම ධ්‍යාන කරන්නේ ය, ආකාසානඤ්චායතනය නිසා නොම ධ්‍යාන කරන්නේය, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ආකිඤ්චඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ඉහ ලෝකය නිසා නොම ධ්‍යාන කරන්නේ ය, පරලෝකය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන කරන්නේය. ධ්‍යාන නො කරනුයේ ද වේ, සන්‍ධයෙනි මෙසේ ධ්‍යාන කරණ සුලු භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත, ප්‍රතිපති සහිත දෙවියෝ දුරදීම
“යම් අරමුණක් නිසා ධ්‍යාන කරනෙහි නම් තොපගේ ඒ ධ්‍යානාරම්මණය නොදන්මෝ නම්, පුරුෂාජානේයයෙනි. ඒ තොපට නමස්කාර වේවා, පුරුෂොත්තමය, ඒ තොපට නමස්කාර වේවා”යි නමස්කාර කරන්නාහ.
11. 1. 10.
මොරනිවාප සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ මොරනිවාප නමු වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, කරුණු තුනෙකින් සමන්‍වාගත මහණ අතීක්‍රාන්ත (ක්‍ෂයව්‍ය සඞ්ඛ්‍යාත) අන්තවත් නිෂ්ඨා (නිර්‍වාණ) ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර තුනෙකින යත්: අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධි ස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙනැයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වූයේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර තුනෙකින යත්: ඍද්ධිප්‍රාතිහර්‍ය්‍යයෙන, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන, අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍යයෙනැයි. මහණෙනි, මෙ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යාවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කරව තුනෙකින යත්: සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙනැයි. මහණෙනි, මෙ කරුණු තුනින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, කරුණු දෙකෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර දෙකෙකින යත්: විද්‍යායෙන, චරණයෙනැයි. මහණෙනි, මෙ දෙකරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙ යි.
මහණෙනි, සනංකුමාර බ්‍රහ්ම විසිනුදු තෙල ගාථා භාෂිත වෙයි:
“යමෙක් තුමූ ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ මහාජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යායෙන් හා චරණධර්‍මයෙන් සම්පන්න ඒ ක්‍ෂීණාස්‍රව බුදුහු දෙවි මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙති”යි.
මහණෙනි, සනංකුමාර බ්‍රහ්මයා විසින් තෙල ගාථා තොමෝ දූර්ගීත නොව සුගීත වෙයි. දුර්‍භාෂිත නොව සුභාෂිත ය. අනර්‍ත්‍ථ සංහිත නොව අර්‍ත්‍ථ සංහිත ය, මා විසින් අනුමත ද වෙයි. මහණෙනි, මම්දු මෙසේ කියම්:
යම් කෙනෙක් ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ බඳු ජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ ය, විද්‍යායෙන් හා චරණ ධර්‍මයෙන් සම්පන්න එ ක්‍ෂීණාස්‍රව මුනිහු දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙතැ”යි.
ප්‍රථම නිස්සය වර්‍ගය යි.
එහි උද්දානය:
කිමත්‍ථිය, චේතනා යන සූත්‍ර දෙක ය උපනිසා සූත්‍ර තුනෙක, ඛ්‍යසන සූත්‍ර ය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මනසිකාර සූත්‍රය, සන්‍ධ සූත්‍ර ය, මොරනිවාප සූත්‍ර ය දැයි දසයෙකි.
2. අනුස්සති වර්‍ගය
11. 2. 1.
මහානාම සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි බොහෝ වහන් දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ” යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ. මහානාම ශාක්‍ය තෙමේ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන් දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි ඇසුයේ ය. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි තෙල පුවත මා විසින් අසන ලදී, වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.
මහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහනාමයෙකි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.
මහානාමයෙනි, සැදැහැතියේම ආරාධක වෙයි, සැදැහැ නැතියේ නො වෙයි, ආරද්ධවීර්‍ය්‍ය වූයේ ම ආරාධක වෙයි, කුසීතයා නො වේ. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහි ඇතියේ නො වේ. (උපචාරාර්‍පණවිසින්) එකඟ සිත් ඇතියේ ම ආරාධක වෙයි, අසමාහිතයා නොවේ. (විදර්‍ශනා මාර්‍ග ප්‍රඥායෙන්) පැණැතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ නො වේ. මහානාමයෙනි, තෝ මෙ පඤ්චධර්‍මයන්හි පිහිටා මතුයෙහි ෂඩ් ධර්‍ම කෙනෙකුන් වඩන්නෙහි.
මහානාමයෙනි, තෝ මෙ විසාහි ‘මෙ කරුණිනිදු’ ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධහ, භගවත්හ’යි තථාගතයන් (ගුණ විසින්) සිහිකරන්නෙහි.
මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් සිහි කෙරේද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරැබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිත් ඇති අරීසවු අර්‍ත්‍ථකථා නිඃශ්‍රිත ප්‍රීති ප්‍රමෝදය ලබයි (පෙළදම් නිසා උපදනා) ධර්‍ම වේදය ලබයි. ධමෝපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. පිනාගිය සිතැත්තහුගේ නාමකාය හා කරජකායය සංහිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය විඳී. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි, මහානාමයෙනි, මෙ අරීසවු (රාග, ද්වේෂ, මෝහයෙන්) විෂමගත සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපශමයට පැමිණියේ වාසය කෙරේ යි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතයට පැමිණියේ බුද්ධානුස්මෘතිය වඩනේ යි ද කියනු ලැබේ.
තවද, මහානාමයෙනි, තෙපි “භාග්‍යවතුන් වහන්සේ විසින් (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුත්තේ ය”යි ධර්‍ම සිහි කරවු, මහානාමයෙනි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහි කෙරේ ද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි, ද්වේෂයෙන් මඩනා ලද සිත් නො වෙයි, මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත ධර්‍මය ඇරැබැ ඉඳුරා ගියේ ම වෙයි, මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදයි, ප්‍රීති යුක්ත සිත් ඇතියහුගේ (ද්විවිධ) කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජාක්ඛ්‍ය සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපමශයට පැමිණියේ වාසය කෙරේ යයි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යයි ද, ධර්‍මශ්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
තව ද මහානාමයෙනි, තෙපි භාග්‍යවත්හුගේ (අෂ්ටාර්‍ය්‍ය පුද්ගලසඞ්ඛ්‍යාත) ශ්‍රාවක සඞ්ඝ තෙම සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම ඍජු ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම න්‍යාය ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම සාමීචිප්‍රතිපන්න ය, යම් බඳු සතර පුරුෂ යුග කෙනෙක් අෂ්ටපුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි සඞ්ඝයා සිහි කරවු.
මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහි කෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් මඩනා ලද සිත නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත නො වෙයි. මෝහයෙන් මඩනා ලද සිත නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබැ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේද ලබයි, ධර්‍මවේද ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිතැත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක්ව වාසය කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
තවද මහානාමයෙනි, තෙපි නො කඩ වූ සිකපද ඇති, (මැද නො බුන් සිකපද ඇති හෙයින්) නොසිදුරු ඇති, (අනුපිළිවෙළින් නො බුන් සිකපද ඇති හෙයින්) අශබල වූ (තන්හි තන්හි බුන් සිකපද නැති හෙයින්) අකල්මාෂ වූ (තෘෂ්ණාදාසව්‍යයෙන් මුදන හෙයින්) භුජිස්‍ය වූ (බුද්ධාදි) විඥයන් විසින් පසස්නා ලද (තෘෂ්ණාදෘෂ්ටි ආදියෙන්) අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා තමාගේ සිල් සිහි කරව. මහානාමයෙනි, යම් කලෙක් හි අරීසවු සිල් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නොවේ, ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවේ, මෝහයෙන් මඩනා ලද සිත් නොවේ. එසමයෙහි ඔහුගේ සිත ශීලය ඇරැබ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේය, සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කරන්නේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
තවද මහානාමයෙනි, තෙපි “මම මසුරු මලින් මඩනාලද ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍ය ඇති සිතින් මුක්තත්‍යාග ඇතියෙම් දෙවූ අත් ඇතියෙම් දීමෙහි ඇලුණෙම් යාචනාවට නිසියෙම් දානවිභංගයෙහි ඇලුණෙම් වෙමි ද (එය) එකැතින් මට ලාභයෙකි. එකැතින් මට මනා ලාභයෙකි”යි. තමාගේ ත්‍යාගය සිහි කරව.
මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො වේ. ද්වේෂයෙන් මැඩුණු සිත් නො වේ. මෝහයෙන් මැඩුණු සිත් නො වේ. එසමයෙහි ඔහුගේ සිත ත්‍යාගය ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජුගත සිත් ඇති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේ යැ. සුඛ ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාස කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වාස කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ත්‍යාගානුස්මෘති වඩනේ යයි ද කියනු ලැබේ.
තවද මහානාමයෙනි, තෙපි “චාතුර්මහාරාජික දෙවියෝ ඇත, තාවතිංස දෙවියෝ ඇත, යාමදෙවියෝ දෙවියෝ ඇත, නිර්‍මාණරති දෙවියෝ ඇත, පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත, බ්‍රහ්මකායික දෙවියෝ ඇත, ඉන් මතුයෙහිදු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත එ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන ය. යම් බඳු ශීලයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු සිල් විද්‍යාමාන ය. යම් බඳු ශ්‍රැතයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන ය. යම් බඳු ත්‍යාගයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන ය. යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන ය”යි දේවතාවන් අනුස්මරණය කරන්නාව යි.
මහානාමයෙනි, යම්කලෙක අරීසවු තමන්ගේ ඒ දේවතාවන්ගේ ද ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහි කෙරේ නම් එකල්හි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො මැ වේ, ද්වේෂයෙන් මැඩුණු සිත් නො මැ වේ, මෝහයෙන් මැඩුණු සිත් නො මැ වේ. එ සමයෙහි ඔහුගේ සිත දෙවියන් ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජු සිත් ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබනේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමනස් ඇතියහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුඛ ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වෙසේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ දේවතානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබෙ යි.
11. 2. 2.
දුතිය මහානාම සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙම ගිලන් බැවින් නැඟියේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි. එකල්හි බොහෝ වහන්දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස ඇවෑමෙන් චාරිකාවට පිටත්වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ.
මහානාම සැහැරජ “බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ”යි භාග්‍යවතුන් වහන්සේට චීවරකර්‍ම කරන්නාහ’යි ඇසී ය. ඉක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැ රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
වහන්ස, “බොහෝ වහන්දෑ ‘භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ’යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරති”යි යන තෙල කරුණ ම විසින් අසන ලද, වහන්ස, නානාවිධ විහාරයෙන් වාසය කරන එ අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු වේ දැ යි?
මහානාමයෙනි, මැනැවි, මැනැවි, මහානාමයෙනි, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ “වහන්ස, නානාවිහාරයෙන් වාසය කරන අප විසින් කිනම් විහාරයෙකින් වාසය කටයුතු දැ” යි යන තෙල කරුණ කුලපුත්‍රවු තොපට නිසිමැ යි.
මහානාමයෙනි, සැදැහැතියේ ආරාධක වෙයි, සැදැහැ නැතියේ ආරාධක නො වෙයි. රුකුළුවැර ඇතියේ ආරාධක වෙයි, කුසීත නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ආරාධක වෙයි, සිහි නැතියේ නො වෙයි. එකඟ සිතැතියේ ආරාධක වෙයි, අසමාහිතයා නො වෙයි. ප්‍රඥා ඇතියේ ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ වූයේ නො වෙයි. මහානාමයෙනි, තෙපි මේ පඤ්චධර්‍මයෙහි පිහිටා මතුයෙහි සදහමුන් වඩව.
මහානාමයෙනි, මෙ විෂයෙහි ලා තෙපි “මෙ කරුණෙනුදු එ භගවත්හු බුද්ධයහ, භාග්‍යවත්හ”යි තථාගතයන් (ගුණ විසින්) සිහි කරව. මහානාමයෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තථාගතයන් සිහි කෙරේ නම් එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගතචිත්ත ඇති ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදී. ප්‍රීතමනස්කයාගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ බුද්ධානුස්මෘතිය ම යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේ ත් වඩව, හෝනේත් වඩව, කමත්හි සිටිනුයේත් වඩව, පුත්‍රම්සම්බාධශයනයෙහි වසනුයේත් වඩව.
තවද මහානාමයෙනි, තෙපි ධර්‍මය සිහි කරව ... සඞ්ඝයා සිහි කරව ... තමන් සිල් සිහි කරව ... තමන්ගේ ත්‍යාග සිහි කරව ...“චාතුර්මහාරාජික දෙවියෝ ඇත ... ඉන් මතුයෙහි ඇතැ”යි දේවතාවන් සිහි කරව.
එ දෙවියෝ යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධා ඇත. යම් බඳු ශීලයෙකින් ... ශ්‍රැතයෙකින් … ත්‍යාගයකින් … ප්‍රඥායෙකින් එ දෙවියෝ සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥා ඇතැයි.
මහානාමයෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමන්ගේ ද එ දෙවියන්ගේ ද ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි, ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නොවෙයි, මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තය නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත දේවතාවන් ඇරබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතමනස්කයාගේ නාමකය සන්සිඳෙයි, සන්හුන්කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, තෙපි මේ දේවතානුස්මෘතිය යනුයේත් වඩව, සිටියේත් වඩව, හුන්නේත් වඩව, හෝනේත් වඩව, කර්‍මාන්තයෙහි යෙදෙනුයේත් වඩව, පුත්‍රසම්බාධශයනයෙහි වසනුයේත් වඩවයි.
11. 2. 3.
නන්‍දිය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමැතිසේක් වෙති. නන්‍දිය ශාක්‍යයා “භාග්‍යවතුන් වහන්සේ වු කලී සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙනු කැමති සේක්”යි ඇසුයේ ම ය. ඉක්බිති නන්‍දිය ශාක්‍යහට තෙල අදහස විය: “මම ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹෙම් නම් එහි කර්‍මාන්තයෙහි යෙදෙමු නම් භාග්‍යවතුන් වහන්සේ ද කලින් කල දක්නට ලබන්නෙම් නම් ඉතා මැනවැ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි වර්‍ෂාවාසයට එළඹි සේක. නන්‍දියශාක්‍ය ද සැවැත්හි වර්‍ෂාවාසයට එළඹියේ ය. එහි කර්‍මාන්ත ද ඇරැඹී ය. කලින් කල භාග්‍යවතුන් වහන්සේ දැක්මට ද ලදුයේ ය.
එසමයෙහි බොහෝ වහන්දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි භාග්‍යවතුන් උදෙසා සිවුරුකම් කෙරෙත්. නන්‍දියශාක්‍ය “භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්ම යන්නාහ”යි බොහෝ වහන්දෑ උදෙසා සිවුරුකම් කරත්හයි ඇසුයේ ම ය. එකල්හි නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් නන්‍දියශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේය: වහන්ස, බොහෝ භික්‍ෂුහු “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක්, තෙමස් ඇවෑමෙන් චාරිකාවට නික්මෙන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිවුරුකම් කෙරෙතී යන තෙල කරුණ ම විසින් අසන ලදැයි. වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් විසිය යුතුදැ”යි?
නන්‍දියෙනි, මැනැව, මැනැව. නන්‍දියෙනි, තෙපි තථාගතයන් කරා එළඹ යම් හෙයෙකින් “වහන්ස, නානාවිහාරයෙන් වසන අප විසින් කිනම් විහාරයෙකින් වාස කටයුතු දැ”යි පුළුවුස්හු. තෙල කරුණ කුලපුත්‍ර වූ තොපට අනුරූප මැ යි.
නන්‍දියෙනි, ශ්‍රද්ධා ඇතියේ ම ආරාධක වෙයි, ශ්‍රද්ධා නැතියේ නො වෙයි. සිල්වත් වූයේ ආරාධක වෙයි, දුස්සීල වූයේ නො වෙයි. ප්‍රාරබ්ධවීර්‍ය්‍ය ඇතියේ ම ආරාධක වෙයි, කුසීත වූයේ නො වෙයි. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහිය ඇතිවූයේ නො වෙයි. සමාහිත වූයේම ආරාධක වෙයි, අසමාහිත වූයේ නොවෙයි. ප්‍රඥා ඇතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ වූයේ නො වෙයි. නන්‍දියෙනි, මේ සදහම් හි පිහිටා පඤ්චධර්‍මයන්හි තා විසින් ආධ්‍යාත්මික වශයෙන් ස්මෘතිය එළවිය යුතු වෙයි.
නන්‍දියෙනි, මෙ විසාහි ලා තෙපි “මෙ කරුණෙනුදු භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විදයාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි, තථාගතයන් සිහි කරව. නන්‍දියෙනි. මෙසේ ම තොප විසින් තථාගතයන් ඇරබ අධාත්මයෙහි ස්මෘති එළැවිය යුතු.