Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 15401-15500 න් 15980

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දශයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසිනු බසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැතියේ වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
10. 5. 1. 4.
උපාසිකා සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි. කාමයන්හි මිස හසර ඇත්තී වෙයි. මුසවා කියන්නී වෙයි. පිසුනු බස් ඇත්තී වෙයි. පරොස් බස් ඇත්තී වෙයි. සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි, ව්‍යාපාදයට අවන් සිත් ඇත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ වේ ද එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි .... සම්දිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දෙයක් බහාතැබුයේ යම්සේ වේද, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වේ යයි.
10. 5. 1. 5.
විසාරද සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත අවිශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි, කාමයන්හි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, පිසුනුබස් ඇත්තී වෙයි, පරොස්බස් ඇත්තී වෙයි, සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි. ව්‍යාපාදයට අවන් සිතැත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි,
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උපාසිකා තොමෝ අවිශාරද වූවා ගිහිගෙයි වසයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත විශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි, අයිනාදනින් වැළැකියා වෙයි, කාමයන්හි මිස හසරින් වැළැකියා වෙයි, මුසවායෙන් වැළැකියා වෙයි, පිසුනුබසින් වැළැකියා වෙයි, පරොස් බසින් වැළැකියා වෙයි, සම්ප්‍රඵලාපයෙන් වැළැකියා වෙයි. අභිධ්‍යා බහුල කොට නැත්තී වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැත්තී වෙයි. සම්‍යග්දෘෂ්ටි ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් යුත් උපාසිකා තොමෝ විශාරද වූවා ගිහිගෙයි වසයි.
10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සූත්‍රය
මහණෙනි, තොපට සංසර්‍පණීය පර්‍ය්‍යාය දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය, වහන්සැයි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සංසර්‍පණීය පර්‍ය්‍යාව නම් වූ එ ධර්‍මපර්‍ය්‍යාය කවරේය යත්:
මහණෙනි, සත්හු කර්‍මය දායාද්‍ය කොට ඇත්තාහු කර්‍මය කරණ කොට ඇත්තාහු කර්‍මය බන්‍ධු කොට ඇත්තාහු කර්‍මය පිළිසරණ කොට ඇත්තාහු කර්‍මස්වකයහ. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම්හි හා වොලො ගැණුම් හි බටුයේ සර්‍වප්‍රාණභූත ගණයා කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි. හෙ කයින් සංසර්‍පණ (කර්‍ම) කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ කෙරෙයි. මනසින් සංසර්‍පණ කෙරෙයි, ඔහුගේ වක්‍රකාය කර්‍මය වෙයි, වක්‍රවාක්කර්‍මය වෙයි, වක්‍ර මනඃ කර්‍මය වෙයි, වක්‍රගති වෙයි, චක්‍ර උප්පත්ති වෙයි, මහණෙනි, මම වක්‍රගති ඇති වක්‍ර උපපත්ති ඇතියහුට යම් බඳු එකැතින් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු සංසර්‍පණ ස්වාභාව ඇති තිරිසන් යොන්හු වෙත් නම් එ දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
මහණෙනි, සංසර්‍පණස්වාභාව ඇති ඒ තිරශ්චීනයෝනිය කවර: සර්‍පයහ වෘශ්චිකා යහ, ශතපදීහුය, නකුල යහ, විඩාල යහ, මූෂිකා යහ, උලුකය හයි. යම් බඳු කිසියම් තිරශ්චීන යෝනියෙහි උපන් සත්ත්‍වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු හෝ යි. මහණෙනි, මෙසේම විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපපත්තිය වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් ඔහු විපාක ස්පර්‍ශයෝ පහසිත්, මහණෙනි, මෙසේ ද මම් සත්ත්‍වයෝ කර්‍ම දායාදය හ යි කියමි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නුදුන් දෑ ගන්නා සුලු වෙයි … කාමයන්හි මිසහසර ඇතිවෙයි … මුසවා බණන සුලු වෙයි ... පිසුනු බස් ඇතියේ වෙයි ... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ප්‍රඵලාප කියන සුලු වෙයි ... අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි ... ව්‍යාපාදයට වන් සිතැතියේ වෙ ... විපරීතදර්‍ශන ඇති මිථ්‍යා දෘෂ්ටික වෙයි:
“දුන් දෑහි ඵල නැත ... ලොව්හි සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙ ලොව හා පරලොව හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකර්‍ෂයෙන් දන්නාහු නම් එබඳු මහණ බමුණෝ නැතැ”යි. හෙ කයින් කර්‍ම කෙරෙයි වචනයෙන් කර්‍ම කෙරෙයි. මනසින් කර්‍ම කෙරෙයි. ඔහුගේ කායකර්‍ම වක්‍ර වෙයි, වාක්කර්‍ම වක්‍ර වෙයි, මනඃ කර්‍ම වක්‍ර වෙයි, වක්‍රගති වෙයි, වක්‍ර උපපත්ති වෙයි.
මහණෙනි, වක්‍රගති ඇතියහුට වක්‍ර උපපත්ති ඇතිය හුට මම යම් බඳු වූ හෝ එකැතියෙන් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු වූ හෝ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් වේ නම් එබඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
මහණෙනි, ඒ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් කවර: සප්හුය නුහුසුය පත්වාය නුකුල්ය බළල්ය මීය මහමුහුණුයි, යම් බඳු වූ හෝ අන්කිසි තිරිසන් යොන් ඇති සත්ත්‍වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු යි. මහණෙනි, මෙසේ (ස්වභාවයෙන්) විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපත වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්හු කර්‍මදායාදය යි කියමි.
මහණෙනි, සත්‍වයෝ කර්‍ම දායාද්‍ය කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්‍ම පිළිසරණ කොට ඇති කර්‍මස්වක වෙති. කලණ වේවයි ලමු වේවයි යම් කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා හැරපියා බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සැත් ඇතියේ පණිවායෙන් වැළැක්කේ වෙයි. පවට ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වෙසෙයි. හෙ කයින් සංසර්‍පණ නො කෙරෙයි, වචනයෙන් සංසර්‍පණ නො කෙරෙයි. මනසින් සංසර්‍පණ නො කෙරෙයි. ඔහුගේ කාය කර්‍මය ඍජු වෙයි, වාක් කර්‍ම ඍජු වෙයි, මනඃ කර්‍ම ඍජු වෙයි, ඍජුගති වෙයි, ඍජු උපපත්ති වෙයි, මහණෙනි, ඍජුගති ඇතියහුට ඍජු උපපත්ති ඇතියහුට මම යම් ඒ ඒකාන්තසුඛ ස්වර්‍ගයෝ හෝ වෙත් නම් යම් බඳු වූ හෝ ක්‍ෂත්‍රිය මහා සාරකුල වෙත්වයි බ්‍රාහ්මණ මහාසාර කුල වෙත්වයි ගෘහපති මහාසාර කුල වෙත්වයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධන ධ්‍යාන ඇති උසස් කුල වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
මහණෙනි, මෙසේ විද්‍යාමාන කර්‍මයෙන් සත්ත්‍වයාගේ උපපත්තිය වෙයි. යම් කර්‍මයක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුල්හු විපාකස්පර්‍ශයෝ පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්‍වයෝ කර්‍මදයාදයයි කියමි.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැක්කේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැක්කේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැක්කේ වෙයි ... පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැක්කේ වෙයි ... පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි ... සම්ප්‍රඵලාප හැරපියා සම්ප්‍රඵලාපයෙන් වැළැක්කේ වෙයි ... අනභිධ්‍යාලූ වෙයි ... ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි ... අවිපරීතදර්‍ශන ඇති සම්‍යක්දෘෂ්ටික වෙයි:
“දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, හෝමයෙහි ඵල ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලෝ ඇත, පරලෝ ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දනිත් නම් එ බඳු සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි. හෙ කයින් නො හැකිලෙයි, වචනයෙන් නො හැකිලෙයි, මනසින් නො හැකිලෙයි, ඔහට ඍජුකාය කර්‍ම වෙයි, ඍජුවාක්කර්‍ම වෙයි, ඍජු මනඃ කර්‍ම වෙයි, ඍජුගති වෙයි, ඍජු උප්පත්ති වෙයි.
මහණෙනි, මම ඍජුගති ඇතියහුට ඍජු උප්පත්ති ඇතියහුට යම් බඳු ඒකාන්ත සුඛ ස්වර්‍ගයෝ හෝ වෙත් නම් යම් බඳු ක්‍ෂත්‍රිය මහාසාරකුල වෙත්වයි, බ්‍රාහ්මණ මහාසාරකුල වෙත්වයි, ගෘහපති මහාසාරකුල වෙත්වයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති, මහාභෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ චිත්තෝපකරණ ඇති බොහෝ ධනධ්‍යාන ඇති උසස් කුලයෝ හෝ වෙත් නම් එ බඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි. මහණෙනි, විද්‍යාමාන කර්‍මයෙන් සත්හුගේ උපත වෙයි. යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් තෙල පුඟුලා විපාකස්පර්‍ශයෙන් පහසිත්. මහණෙනි, මෙසේ ද මම සත්ත්‍වයෝ කර්‍මදායාදහයි කියමි.
මහණෙනි, සත්ත්‍වයෝ කර්‍ම දායාද කොට ඇති කර්‍මයෝනි කොට ඇති කර්‍මබන්‍ධු කොට ඇති කර්‍ම ප්‍රතිශරණ කොට ඇති කර්‍මස්වක වෙත්. කලණ වේවයි ලමු වේවයි යම් කර්‍මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්,
මහණෙනි, මෙ සංසර්‍පණීය පර්‍ය්‍යාය නම් වූ ධර්‍ම පර්‍ය්‍යාය වේය යි.
10. 5. 1. 7.
පඨම සඤ්චේතනික සූත්‍රය
මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නොකියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි ම හෝ උපපද්‍යයෙහි හෝ අපරපරියායෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්‍මයන්ගේ විපාක නො විඳ දුඃඛයාගේ කෙළවර කිරීමක් නො කියම් මැයි.
මහණෙනි, එහි අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වකීය විපත් ත්‍රිවිධ වේ. අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුශලසඤ්චේතනා ඇති දුඃඛ විපාක ඇති දුක් උපදවන මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේ.
මහණෙනි, කෙසේ නම් අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වේය යත්:
1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇත්තේ ලෙහෙ වැකි අත් ඇත්තේ නැසුම් - වොලො ගැණුම්හි බටුයේ සර්‍වප්‍රාණී භූතයන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණඝාතී වෙයි.
2. නුදුන් දෑ ගන්නා සුලු වෙයි, ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ යම් එ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මාතෘරක්‍ෂිතාය ... යටත් පිරිසෙයින් මල්ගුලායෙනුදු පරික්‍ෂිප්ත වූ, යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරීමට පැමිණියේ වෙයි.
මහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුන් විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, කෙසේ නම් අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුක් විපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වේය යත්:
4. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් මුසවා කියන්නේ වෙයි: සභාවට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ගණමැදට ගියේ වේවයි රාජකුල මධ්‍යයට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, එව, යමක් දන්හි නම් එ කියවයි සාක්‍ෂි පුළුවුස්නා ලදුයේ හෙ නො දන්නේ හෝ දන්මියි කියයි. දන්නේ හෝ නො දන්මි යි කියයි. නො දක්නේ හෝ දක්මියි කියයි. දක්නේ හෝ නො දක්මියි කියයි. මෙසේ තමා හේතුකොට වේවයි, මෙරමා හේතු කොට වේවායි කිසි ආමිසයක් හේතුකොට වේවයි දැන දැන මුසවා කියන්නේ වෙයි.
5. පිසුණුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුන්ට කියන්නේ වෙයි. මෙසේ සමගවූවන් හෝ බිඳුවන්නේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්‍ගයෙහි සිත් ඇලවූයේ වර්‍ගයෙහි රැඳුනේ වර්‍ගයෙන් තුටුවන්නේ වර්‍ගකරනබස් කියන්නේ වෙයි.
6. පරොස්බස් ඇත්තේ වෙයි. හටගත් අණ්ඩක (නිර්‍ය්‍යාස හෝ පිළිල) ඇති කර්‍කශ වූ පරාහට කටුක වූ පරා ලග්න කරන කෝධයට සමීප වූ සමාධිය පිණිස නො පවත්නා වූ යම් වචනයක් වේ ද එබඳු වචන කියන්නේ වෙයි.
7. අකාලවාදී අභූතවාදී අනර්‍ත්‍ථවාදී අධර්‍මවාදී අවිනයවාදී සම්ප්‍රඵලාප බණන්නේ වෙයි. නො කල්හි කරුණු රහිතව පර්‍ය්‍යන්ත විරහිත අනර්‍ත්‍ථ සංහිත සිත්හි ලා දරනට නො නිසි බස් බණන්නේ වෙයි.
මහණෙනි, මෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් චතුර්විධ වෙයි.
මහණෙනි, කෙසේ අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වේය යත්:
8. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්මට සිතන්නේ වෙයි. “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.
9. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. ප්‍රදූෂ්‍යමනඃසංකල්ප ඇත්තේ වෙයි: “මේ සත්හු නැසෙන්නාහු හෝ වෙත්වා! බැඳෙන්නාහු වෙත්වා! සිඳෙන්නාහු හෝ වෙත්වා! නැසෙන්නාහු හෝ වෙත්වා! නොහොත් නොවෙත්වා හෝ”යි.
10. මිසදිටුගත්තේ විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, මඞ්ගලදාන නැත, හෝම නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලෝ හා පරලෝ හා තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු සම්‍යග් ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලෙව්හි නැති.
මහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති මනඃකර්‍මසඞ්ඛ්‍යාත ස්වදෝෂවිපත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
මහණෙනි, චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
මහණෙනි, ත්‍රිවිධමනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
මහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිට්ඨිතව ම පිහිට යි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකාය කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත් හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. චතුර්විධවාක්කර්ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති. ත්‍රිවිධ මනඃකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු දුර්‍ගති විනිපාත නිරය සඞ්ඛ්‍යාත අපායෙහි උපදිති.
මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයෙක් නො කියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි හෝ වෙයි, දෙවන අත් බැව් හි හෝ වෙයි, අපර භවයෙක් හෝ වේ.
මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි.
මහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති කායකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සම්පත් චතුර්විධ වෙයි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සම්පත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, කුසල සඤේචේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සම්පත් කෙසේ වේය යත්:
1. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් පණිවායෙන් දුරුව පණිවායෙන් වැළක්කේ වෙයි. බහාතැබූ දඬු ඇත්තේ බහාතැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි.
2. අයිනාදන් හැර අයිනාදනින් වැළැක්කේ වෙයි: ග්‍රාමගතවේවයි අරණ්‍යගත වේවයි පරා අයත් යම් පරවස්තූපකරණයෙක් වේ නම් සේතය සඞ්ඛ්‍යාත නො දුන් එය නො ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර හැර කාම මිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි: මාතුරක්ඛීතාය ... යටත් පිරිසෙයින් මාලා ගුණ පරික්‍ෂිප්තව හෝ කිසිවකු අයත්කර ගත් යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් එබඳු ස්ත්‍රීන් කෙරෙහි මිථ්‍යාචාරයට නො යන්නේ වෙයි.
මහණෙනි, මෙසේ කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සම්පත් වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සම්පත් කිසේය යත්:
4. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මුසවා හැර මුසාවාදයෙන් වැළැක්කේ වෙයි. සභාවටගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, ඥාතිමධ්‍යයට ගියේ වේවයි, සමූහ මධ්‍යයට ගියේ වේවයි, රාජකුලමධ්‍යයට ගියේ වේවයි, හමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂයා, මෙහි එව, යමක් දනිහි නම් එ කියව”යි සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලද හේ නො දත් දැය හෝ නො දන්මි යි කියායි, දත් දැය හෝ දන්මි යි කියායි, නො දුටු දැය හෝ නො දක්මි යි කියායි දුටු දැය හෝ දක්මි යි කිය යි මෙසේ තමා හේතුකොට ගෙන වේව යි, පරා හේතු කොට ගෙන වේව යි කිසි ආමිසයක් හේතු කොට ගෙන වේවයි දැන දැන මුසවා බණන්නේ වෙයි.
5. පිසුනු බස් හැර බසින් වැළැක්කේ වෙයි. මෙ තැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එ තැන නො කියන්නේ වෙයි. එ තන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමග්‍රයන් සමග්‍ර කරන්නේ සමග්‍රයන්හට අනුබල දෙන්නේ සමග්‍රාරාම වූයේ සමග්‍රරත වූයේ සමග්‍රනන්‍දි වූයේ සමග්‍රකරණී බස් බණන්නේ වෙයි.
6. පරොස් බස් හැර පරුෂ වචනයෙන් වැළැක්කේ වෙයි: නිදොස් වූ කර්‍ණසුඛ වූ ප්‍රේමණීය වූ හෘදයඞ්ගම වූ බහුජන කාන්ත වූ බහුජනමනාප වූ යම් බසෙක් වේ නම් එබඳු බස් බණන්නේ වෙයි.
7. නිසරු (ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැක්කේ වෙයි: කල් බලා කියනුයේ සැබැවක් ම කියනුයේ වැඩ දායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි. මහණෙනි, කුසලසඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති චතුර්විධවාක්කර්මසම්පත් මෙසේ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃ කර්‍මසම්පත් කිසේය යත්:
8. මහණෙනි, මෙ ලොව් හි ඇතැමෙක් අභිධ්‍යා බහුල නො වෙයි: පරා අයත් යම් වස්තූපකරණ ඇද්ද එය තමන් නතු කොට ගැන්ම නො සිතන්නේ වෙයි: “පරාසතු යම් දැයෙක් ඇද්ද එය මා සතු වන්නේ නම් මැනැවැ”යි.
9. ව්‍යාපාදයට පත් සිත් නැත්තේ වෙයි, ප්‍රදූෂ්‍යමනඃසඞ්කල්ප නැත්තේ වෙයි: “මෙ සත්හු වෛර නැත්තාහු ව්‍යාපාද රහිත වූවාහු උවදුරු රහිත වූවාහු සුව ඇත්තාහු ආත්ම පරිහරණය කෙරෙත්ව”යි
10. සම්‍යග් දෘෂ්ටික වූයේ විපරීත දර්‍ශන නැත්තේ වෙයි: “දාන විපාක ඇත, මඞ්ගල දාන ඇත ... මෙලො පරලෝ තුමූම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසත් නම් එබඳු මහණ බමුණු කෙනෙක් ලෙව්හි ඇතැ”යි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍මසම්පත් මෙසේ වෙයි.
මහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදිති. මහණෙනි, චතුර්විධ වාක්කර්‍මසඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති. මහණෙනි, ත්‍රිවිධ මනඃකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදිති.
මහණෙනි, යම් සේ සිවුරැස් පසැටක් උඩ ලූයේ යම් යම් අතකින් පිහිටා ද සුප්‍රතිෂ්ඨිත ව ම පිහිටයි. මහණෙනි, එ පරිදි ම ත්‍රිවිධකායකර්‍ම සම්පත් සඞ්ඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ග ලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
චතුර්විධ වාක්කර්‍මසම්පත් කුසලසඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
ත්‍රිවිධ මනඃකර්‍මසම්පත් සඞ්ඛ්‍යාත කුසලසඤ්චේතනා හේතුයෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝක සඞ්ඛ්‍යාත සුගතියෙහි උපදිත්.
මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ නො විඳ විගාතාන්තභාවයෙක් නො කියමි. හෙ ද මේ අත් බැව්හි හෝ වෙයි, දෙවෙනි අත් බැව්හි හෝ වෙයි, අපරජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි යී.
10. 5. 1. 8.
දුතිය සඤ්චේතනික සූත්‍රය
මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි ම හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අපරජන්මයෙහි හෝ වේ. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
මහණෙනි, එහිලා අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති මනඃ කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය, දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ. චතුර්විධ වාක්කර්‍ම ... මහණෙනි, ත්‍රිවිධ මනඃ කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ.
මහණෙනි, කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් මම නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ අනතුරු අත් බැව්හි හෝ අපර ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන් නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
මහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව එළවන සුඛ විපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් චතුර්විධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් … මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සංඛාත සම්පත් මෙසේ වෙයි.
මහණෙනි, ත්‍රිවිධකාය කර්‍ම සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදිත්. චතුර්විධ වාක්කර්‍ම .. ත්‍රිවිධ මනඃකර්‍ම සම්පත් සංඛ්‍යාත කුසල සඤ්චේතනා හේතුවෙන් හෝ සත්හු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනාහ ...
10. 5. 1. 9.