මහණෙනි, ආසේවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ ආසේවිතව්‍ය ධර්‍මය යි කියනු ලැබේ.
10. 4. 4. 7.
භාවෙතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට භාවයිතව්‍ය ධර්‍ම හා නභාවයීතව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, න භාවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නභාවයිතව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, භාවයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ භාවයිතව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 4. 8.
බහුලීකාතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට බහුලී කර්‍තව්‍ය ධර්‍ම හා නබහුලීකර්‍තව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, න බහුලීකර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න බහුලීකර්‍තව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, බහුලීකර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ බහුලීකර්‍තව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 4. 9.
අනුස්සරිතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට අනුස්මර්‍තව්‍ය ධර්‍ම හා නානුස්මර්‍තවය්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, නානුස්මර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ නානුස්මර්‍තව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනුස්මර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ අනුස්මර්‍තව්‍ය ධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 4. 10.
සච්ඡිකාතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සාක්‍ෂාත්කර්‍ව්‍ය ධර්‍ම හා න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍මය හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, නා සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
මහණෙනි, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
සිවුවැනි අරියමග්ගවර්‍ග යි.
5. අපරපුග්ගල වර්‍ගය
10. 4. 5. 1-12.
සේවිතබ්බාදි ද්වාදශ සූත්‍රයෝ
1. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගලයා නො සෙවිය යුත්තේ ය. කවර දසයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, නුදුන් දෑ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා කියන සුලුයේ වෙයි. පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, අභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට වන් සිතැතියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුත්තේය.
මහණෙනි, දස කරුණකින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේ ය, කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට නො වන් සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේය යි.
2. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො බිජිය යුත්තේ ය ... බිජිය යුත්තේ ය යි.
3. පර්‍ය්‍යුපාසනා නො කොට යුත්තේ ය. -පෙ- පර්‍ය්‍යුපාසනා කොට කටයුත්තේය යි.
4. පූජ්‍ය නො වේ -පෙ- පූජ්‍ය වේ යයි.
5. ප්‍රශංසාර්‍හ නො වේ -පෙ- ප්‍රශංසාහ වේ යයි.
6. ගෞරව නැතියේ වෙයි -පෙ- ගෞරව සහිත වේ යයි.
7. ප්‍රතිශය නැතියේ වෙයි -පෙ- ප්‍රතිශය සහිත වේ යයි.
8. ආරාධක නො වේ -පෙ- ආරාධක වේ යයි.
9. විශුද්ධ නො වේ -පෙ- විශුද්ධ වේ යයි.
10. මානය නො මඩනේ ය -පෙ- මානය මඩනේ සයි.
11. ප්‍රඥායෙන් නො වඩනේ ය. -පෙ- ප්‍රඥායෙන් වැඩෙන්නේ ය.
12. බොහෝ අපුණ්‍යය රැස් කෙරෙයි ... බොහෝ පින් රැස්කෙරෙයි. කවර දසකරුණින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, පිසුනු බසින් වැළැකියේ වෙයි, පරොස් බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි, ව්‍යාපාදයට වන් සිත් නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි.
මහණෙනි, මේ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කරන්නේය යි.
පස්වැනි පුද්ගල වර්‍ග යි.
සතරවන පණ්ණාසකය යි.
අතිරේක සූත්‍ර
1. කරජකාය වර්‍ගය
10. 5. 1. 1.
පඨමනිරය සූත්‍රය
[සැවැත්]
මහණෙනි, දස කරුණකින් සමන්‍වාගත වූයේ ගෙනවුත් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දස කරුණකින යත්:
1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙ වැකුණු අත් ඇතියේ නැසුම් වොලොගැණුම්හි බටුයේ සර්‍වප්‍රාණභුතගණයා කෙරෙහි දයාවට නො පතුයේ ප්‍රාණඝාතී වෙයි.
2. නුදුන්දෑ ගන්නා සුලු වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ එ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයෙහි මිසහසර ඇත්තේ වෙයි. මාතෘරක්‍ෂිතා ය, පිතෘරක්‍ෂිතාය, මාතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ගෝත්‍රරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්‍ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි හැසිරෙන බවට පැමිණියේ වෙයි.
4. සභාගත වේවයි පර්‍ෂද්ගත වේවයි, ඥාතිමධ්‍යගත වේවයි, පූගමධ්‍යගත වේවයි, රාජකුලමධ්‍යගත වේවයි ඉදිරියට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව යමක් දිනිහි නම් එ කියව”යි, සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලදුයේ මුසාවාදී වෙයි. හේ නො දන්නේ හෝ “දන්මි”යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මී’යි කියයි, මෙසේ තමා හේතු කොට වේව යි මෙරමා හේතු කොට වේවායි කිසියම් ආමිසයක් හේතුකොට වේවයි, දැන දැන මුසවා බණන්නේ වෙයි.
5. පිසුනුබස් ඇතියේ වෙයි. මොවුන්ගේ භේදයට මෙ තැනින් අසා කියන්නේ වෙයි. එහි හෝ අසා ඔවුන්ගේ භේදයට මොවුනට කියන්නේ ය. මෙසේ සමගයන් හෝ බිඳින සුලුවූයේ භින්නයනට හෝ අනුබල දෙන්නේ වර්‍ගයෙහි රැඳියේ වර්‍ගරත වූයේ වර්‍ගයෙහි සතුටු වන්නේ වර්‍ග කරණ වදන් කියන්නේ වෙයි.
6. පරොස්බස් ඇතියේ වෙයි. නො සබැඳි කැකුළු මෙරමා කටුක පරාගටනා ක්‍රෝධය වටා ඇති සමාධිට අහිත යම් ඒ තෙපුලක් වේ නම් එබඳු තෙපුල් කියන්නේ වෙයි.
7. අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව සම්ඵප්‍රලාප කියන සුලු වෙයි. සිත්හිලා නො දැරිය යුතු නො කල්හි කරුණු රහිත පරිච්ඡේද රහිත අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් කියන්නේ වෙයි.
8. අභිධ්‍යා බහුල කොට ඇත්තේ වෙයි, මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, “අහෝ, ඒ කැතින් යමක් මෙරමාගේ වේ නම් එ මට වේව”යි. එය ගිජුසිතින් පතනේ වෙයි,
9. ප්‍රදුෂ්ටමනඃ සඞ්කල්ප ඇතියේ “මෙ සත්හු නැසෙත් වායි හෝ බැඳෙත්වයි හෝ මුලුසුන් වෙත්වයි හෝ වැනසෙත්වයි හෝ නහමක් වෙත්වයි හෝ” ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි.
10. දුන්දැයෙහි පල නැත, යාගයෙහි නැත, හෝමයෙහි පල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවක් නැත, පියෙක් නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලොව්හි යහමගට ගිය මනා පිළිවෙත් සපන් යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සකසා දනිත් නම් එ බඳු මහණබමුණෝ නැත.
මහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත වූයේ ගෙනවුත් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරාහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනවුත් තැබූයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයකින යත්:
1. මහණෙනි, මෙ ලොව්හි ප්‍රාණඝාතය දුරු කොට බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වෙයි. සර්‍වප්‍රාණභූතගණයා කෙරෙහි හිතානුකම්පීව වෙසෙයි.
2. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැක්කේ වෙයි. ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි මෙරමාගේ විත්තොපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමමිථ්‍යාචාරය හැර පියා කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි. මාතෘරක්‍ෂිතා ය, පිතෘරක්‍ෂිතාය, මාතෘපිතෘ රක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ගෝත්‍රරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්‍ෂිප්ත වු දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි නො හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
4. මුසාවාදය හැරපියා මුසාවායෙන් වැළැක්කේ වෙයි. සභාගත වේවයි, පර්‍ෂද්ගත වේවයි, ඥාතිමධ්‍යගත වේවයි, පූගමධ්‍යගත වේවයි, රාජකුලමධ්‍යගත වේවයි, කැඳවනු ලදුයේ “එම්බා පුරුෂයා, එව යමක් දනිහි නම් එ කියව”යි සාක්‍ෂ්‍ය පුළුවුස්නා ලදුයේ වෙයි. හේ නො දන්නේ හෝ ‘නොදන්මි’යි කියයි. දන්නේ හෝ ‘දන්මි’යි කියයි, නො දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ කිසි ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො කියන්නේ වෙයි.
5. පිසුනුබස් හැරපියා පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ භේදය සඳහා එහි නො කියනේ ය, එ තන්හි හෝ අසා මොවුන්ගේ භේදය සඳහා මොවුනට නො කියන්නේ ය. මෙසේ බිඳුනවුන් හෝ සන්‍ධාන කරණුයේ සමගයනට හෝ අනුබල දෙනුයේ සමගියෙහි ඇලුමැතියෝ සමගයන් කෙරෙහි රැඳියේ සමග වූවන් දැක තුස්නේ සමග කරනු බස් කියන්නේ වෙයි.
6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකියේ වෙයි, යම් ඒ බසෙක් නිදොස් වේ ද, කනට සුව එළවා ද, ප්‍රේම දනවා ද හාදයාඞ්ගම වේ ද ගුණෙන් පිරිපුන් වේ ද, බොහෝ දෙනාට කාන්ත වේ ද, බොහෝ දෙනාට මනවඩා ද එ බඳු බස් කියන්නේ වෙයි.
7. සම්ඵප්‍රලාප හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව ලෙහි රඳවා ගතයුතු බස් කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට සහිත කොට කියන්නේ වෙයි.
8. අභිධ්‍යා බහුල කොට නැත්තේ වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම්, එය “අහෝ, යමක් මෙරමාගේ වේ නම්, එය මට වේව”යි ගිජු සිතින් නො පතන්නේ වෙයි.
9. “මෙ සත්ත්‍වයෝ වෛර නැත්තාහු ව්‍යාපාද නැත්තාහු දුක් නැත්තාහු සැප ඇත්තාහු ආත්මපරිහරණ කෙරෙත්වා” අප්‍රදුෂ්ට මනස්සඞ්කල්ප ඇතියේ ව්‍යාපාදයට නො පත් සිත් ඇත්තේ වෙයි.
10. ‘දුන් දෑ පල ඇත, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘතදුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත. මෙ ලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුකසත්ත්‍වයෝ ඇත, ලොව්හි සම්‍යග්ගතව සම්‍යක්ප්‍රතිපත්තියට පත්ව යමෙක් මෙලෝ හා පරලෝ හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට දන්නාහු නම් එබඳු මහණ බමුණෝ ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දසකරුණෙන් සමන්‍වාගත වූයේ (හිසින්) ගෙනා දැයක් යම්සේ බහා තැබුයේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
10. 5. 1. 2.
දුතියනිරය සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්ද බහාතැබුයේ යම්සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇතියේ ලෙහෙයින් වැකුණු අත් ඇතියේ නැසුම් වොලො ගැනුම්හි බටුයේ හැම සතුන් කෙරෙහි දයාවට නො පැමිණියේ ප්‍රාණඝාතී වෙයි. නුදුන්දෑ ගන්නා සුළු වෙයි. ... කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. ... මුසවා කියන්නේ වෙයි ... පිසුනුබස් ඇතියේ වෙයි .... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ඵප්‍රලාප ඇතියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ වෙයි ... ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි ... “දුන් දෑ පල නැත, යාගයෙහි පල නැත, හෝමයෙහි පල නැත, සුකෘතදුෂ්කෘතයෙහි ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඖපපාදුක සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි යමෙක් තුමූ ම මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක්කොට ප්‍රකට කොට දනිත් නම් එ බඳු මහණ බමුණෝ නැතැ”යි විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම්සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ අවි ඇතියේ ලජ්ජා ඇතියේ ප්‍රාණඝාතය හැරපියා ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. දයාවට පැමිණියේ සවුසතුන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ වාසය කරයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයන්හි මිසහසර හැරපියා කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි ... මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි ... පිසුනු බස් හැර පියා පිසුනු බසින් වැළැකියේ වෙයි ... පරොස් බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි … සම්ඵප්‍රලාපය හැරපියා සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වෙයි ... අභිධ්‍යා බහුල කොටැතියේ නො වෙයි ... ව්‍යාපාදයට නො පත් සිතැතියේ වෙයි ... “දුන්දැයෙහි පල ඇති, යාගයෙහි පල ඇත, හෝමයෙහි පල ඇත, සුකෘත දුෂ්කෘතයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාදුක සත්ත්‍වයෝ ඇත, යමෙක් තුමූ මෙලෝ හා පරලෝ හා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට මොනොවට දක්නාහු නම්, එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ඇතැ”යි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග් දෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එනලද දැයක් බහා තැබූයේ යම්සේ නම් එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
10. 5. 1. 3.
මාතුගාම සූත්‍රය
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත මාගම් ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
ප්‍රාණඝාතී වෙයි, නුදුන් දැ ගන්නේ වෙයි, කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන්නේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, සම්ප්‍රඵලාප ඇතියේ වෙයි, අභිධ්‍යා බහුලකොට ඇත්තේ වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.