Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 15101-15200 න් 15980

4. චුන්‍දය මෙ ලොව්හි ඇතැමෙක් සභාවකට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ජනසමූහ මැදට ගියේ වේවයි රජකුලන මැදට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, මෙහි එව, යමක් දිනිහි නම් එ කියවයි සාක්‍ෂි අසන ලදුයේ මුසවා බණන සුලු වෙයි. හේ නො දන්නේ ම ‘දනිමි’යි කියයි, දන්නේ හෝ ‘නො දනිමි’යි කියයි, නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි අල්ප වූ ආමිස හේතුයෙන් වේවයි සම්පජානමුසා බණන්නේ වෙයි.
5. මොවුන්ගේ භේදය පිණිස මෙතැනින් අසා අසෝතන්හි කියනුයේ හෝ අසෝතන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස මොවුනට කියනුයේ හෝ පිසුනුබස් ඇතියේ වෙයි: මෙසේ සමග වූවන් බිඳිනුයේ හෝ බිඳුනවුනට අනුබල දෙනුයේ හෝ වර්‍ගකරණයෙහි ඇලුනේ වර්‍ගකරණයෙහි නිකුත්වූයේ වර්‍ගකරණයෙන් තුස්නේ වර්‍ගකරණබස් බණන්නේ වෙයි.
6. පරොස්බස් ඇතියේ වෙයි: යම් ඒ බසක් රළු වේ ද කැකුළු වේ ද පරහට කටුක වේද මෙරමා ගටනා සුලු වේද ක්‍රෝධය වට ඇතියේ වේද සමාධියට හිත නො වේ ද එබඳු බස් කියන්නේ වෙයි.
7. සම්ඵප්‍රලාප වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අනර්‍ත්‍ථවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව ළෙහි නො තැබිය යුතු නො කල්හි හේතු රහිත පිරිසිඳුම් නැති අනර්‍ත්‍ථය ඇසුරු කළ බස් බණනේ වෙයි.
චුන්‍දය, මෙසේ වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේ.
චුන්‍දය, කෙසේ නම් සිතින් ත්‍රිවිධ අශූචිභාවය වේය යත්:
8. චුන්‍දය, මෙලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. යම් ඒ මෙරමාගේ පරචිත්තෝපකරණ වේ නම් එයට ගිජු වෙයි. “අහෝ මෙරමා අයත් යමක් වේ නම් එය මට වේවා”යි
9. ප්‍රද්විෂ්ට මනඃ සඞ්කල්ප ඇතියේ මෙ සත්හු නැසෙත්වා හෝ යි බැඳෙත්වා හොයි මුල් සිඳී යෙත්වා හෝයි වැනසෙත්වා හෝයි නො ම,වෙත්වා හෝයි ව්‍යාපාදයට පත් සිත් ඇතියේ වෙයි.
10. “දෙන ලද්දෙහි ඵල නැති, පුදන ලද්දෙහි ඵල නැත, හෝමයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, ලෝකයෙහි ස්ම්‍යග්ගත ව සම්‍යක් ප්‍රතිපන්න ව මෙලෝ පරලෝ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට යමෙක් පවසත් නම් එබඳු මහණ බමුණෝ නැතැයි.
චුන්‍දය, මෙසේ සිතින් ත්‍රිවිධ අශූචිභාව වේ.
චුන්‍දය, මේ දශඅකුශලකර්‍මපථයි. චුන්‍දය, මේ දශඅකුශලකර්‍මපථයෙන් සමන්‍වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගී සිටුනේ පොළොව පිරිමදනේ නමුදු අශූචි ම වෙයි. පොළොව නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අමුගොම නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, නිල්තණ නො පිරිමදනේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා කරන්නේ නමුදු අශූචි ම වෙයි, අග්නිපරිචර්‍ය්‍යා නො කරන්නේ නමුදු අශූචි ම වෙයි, බදැඳිලිව හිරු නමදනේ නමුදු අශූචි ම වෙයි. බදැඳිලි ව හිරු නො නමදනේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට බස්නේ නමුදු අශූචි ම වෙයි, සවස තුන්වනු කොට දියට නො බස්නේ නමුදු අශූචි ම වෙයි.
එ කවර හෙයිනැ යත්:
චුන්‍දය, මේ දශඅකුශලධර්‍මයෝ අශූචි ම වෙති, අශූචිකරණ ම වෙත්. චුන්‍දය, දශඅකුශල කර්‍මපථයන්ගේ සමන්‍වාගමහේතුයෙන් නිරය පැනෙයි, තිරිසන්යොන් පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. එබඳු අන් කිසි දුර්‍ගතිහු ද පැනෙත්.
චුන්‍දය, කායසෝචෙය්‍යය ත්‍රිවිධ වෙයි, වචීසොචෙය්‍යය චතුර්විධ වෙයි, මනෝසොචෙය්‍යය ත්‍රිවිධ වෙයි.
චුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ සුචිභාවය වේයැ යත්:
1. මෙලොව්හි ඇතැමෙක් පණිවා හැර පණිවායෙන් වැළැක්කේ වෙයි, බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ සව්සතුන් කෙරෙහි දයා ඇත්තේ හිතානුකම්පා ඇත්තේ වෙසෙයි.
2. අයිනාදන් හැර අයිනාදනින් වෙන් වූයේ වෙයි, ගම්හි වූ හෝ අරන්හි වූ හෝ මෙරමා අයත් යම් ඒ පරචිත්තූපකරණ වේ නම් ථෙය්‍යසඞ්ඛ්‍යාත ඒ නො දුන් දෑ නො ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර හැර දමා මිසහසරින් වැළැක්කේ වෙයි, මාතෘරක්‍ෂිතාය, පීතෘරක්‍ෂිතාය, මාතාපීතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පිරිකෙව්ලදුදැයි යම් ඒ මාගම්හු වෙත් නම් උන් කෙරෙහි නො හැසිරෙන බවට නො පැමිණෙන්නේ වෙයි.
චුන්‍දය, මෙසේ කයින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
චුන්‍දය, කෙසේ නම් වචනයෙන් සිවුවැදෑරු සුචිභාව වේ යත්:
4. චුන්‍දය, මොලොව්හි ඇතැමෙක් මුසවා හැර පියා සභාවට ගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, නෑයන් මැදට ගියේ වේවයි, ජනසමූහ මැදට ගියේ වේවයි, රජකුලන් මැදට ගියේ වේවයි, අබිමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එ කියව”යි සාක්‍ෂි විසින් පිළිවුස්නා ලදුයේ මුසවායෙන් වැළැක්කේ වෙයි. හේ නොදන්නේ හෝ නොදන්මි’යි කියයි, දන්නේ හෝ ‘දනිමි’යි කියයි. නො දක්නේ හෝ නො දක්මි’යි කියයි, දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි කිසියම් ආමිසහේතුවකින් වේවයි සම්පජානමුසා නො කියන්නේ වෙයි.
5. පිසුනු බස් හැරපියා පිසුනුබසින් වැළැක්කේ වෙයි: මෙතන්හි අසා මුන්ගේ භේදය පිණිස එතන්හි නො කියන්නේ වෙයි, එ තන්හි අසා උන්ගේ භේදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් හෝ ගටනුයේ වෙයි, සමග වූවනට අනුප්‍රදාතෘ වෙයි. සමගයෙහි ඇලුනේ සමගයන් කෙරෙහි රැඳුනේ සමගයන් හා තුටු වනුයේ සමග කරන බස් කියනුයේ වෙයි.
6. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි: යම් ඒ බසක් නිදොස් වූ, කනට සුව දෙන ප්‍රේමණීය හෘදයඞ්ගම විනීත බොහෝ දෙන හට සිත්කලු බොහෝ දෙන හට මන වඩන බසෙක් වේ නම් එබඳු බස් තෙපලන්නේ වෙයි.
7. පලප් බස් හැරපියා පලප්බසින් වැළැක්කේ වෙයි: කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව ළෙහි නිදන් කටයුතු සහේතුක වූ පිරිවැටුම් ඇති අර්‍ත්‍ථනිඃශ්‍රිත බස් කල්හි බණන්නේ වෙයි.
චුන්‍දය, මෙසේ වචනයෙන් චතුර්විධ ශූචිභාවය වේ.
චුන්‍දය, මනසින් ත්‍රිවිධ ශූචිභාවය කෙසේ වේය යත්:
8. චුන්‍දය, මෙ ලොව්හි ඇතැමෙක් අභිජ්ඣා බහුල නො වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තෝපකරණයෙක් වේ නම් ‘අහෝ, එකැතින් ඒ පරා අයත් යමක් වේ නම් එ මට වේව’යි එයට ගිජු නො වෙත්.
9. “මේ සත්ත්‍වයෝ වෛර නැතියාහු ව්‍යාපාද නැතියාහු දුක් නැතියාහු සුවපත් වූවාහු ආත්මපරිහරණ කෙරෙත්වා”යි අප්‍රද්විෂ්ටමනඃ සංකල්ප ඇතියේ අව්‍යාපාදයට නො වන් සිත් ඇතියේ වෙයි.
10. දුන් දෑහි ඵල ඇත, පූජායෙහි ඵල ඇති, හෝමයෙහි ඵල ඇති, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාතික සත්ත්‍වයෝ ඇත, යමෙක් මෙලෝ හා පරලෝ තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යක්ගත ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව්හි ඇතැයි අවිපරීත දර්‍ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
චුන්‍දය, මෙසේ මනසින් ත්‍රිවිධ ශූචිභාවය වේ.
චුන්‍දය, මේ දශ කුශල කර්‍මපථයෝයි.
මේ දශ කුශල කර්‍මපථයන් ගෙන් සමන්‍වාගත වූයේ කල් ඇතිව ම යහනින් නැගෙනුයේ ම පොළෝ පිරිමදනේ නමුදු ශූචියෙක්ම වෙයි. පොළෝ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අමුගොම නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. නිල් තණ නො පිරිමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා කරනේ ශූචියෙක් ම වෙයි. අග්නිපරිචර්‍ය්‍යා නො කරනුයේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. බදැඳිලිව හිරු නො නමදනේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට බස්නේ නමුදු ශූචියෙක් ම වෙයි. සවස තෙවෙනි කොට දියට නො බස්නේ නමුදු ශූචියෙක් වෙයි.
එ කවර හෙයිනැ
චුන්‍දය, මේ දශ කුශල කර්‍ම පථයෝ ශූචි ම වෙති. ශූචිකරණ ද වෙත්. චුන්‍දය, මේ දශ කුශල කර්‍මපථයන්ගේ සමන්‍වාගමන හේතුයෙන් දෙවියෝ පැනෙත්. මනුෂ්‍යයෝ පැනෙත්. යම් බඳු අන් කිසි සුගතිහු ද පැනෙත්යයි.
මෙසේ වදාරත් ම චුන්‍ද කර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
වහන්ස, ඉතා මැනැව .. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගත උපාසකයකු කොට මා ධරන සේක්වායි.
10. 4. 2. 11.
ජාණුස්සෝණි සූත්‍රය
ඉක්බිති ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හින, එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය.
පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා. මෙ දානය පරලොව ගිය ඥාතිසාලොහිතයෝ පරිභෝග කරත්වා”යි දන්දෙම්හ, ශ්‍රාද්ධ කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, එ දානය ප්‍රේතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්‍රේතඥාතිසාලෝහිතයෝ එ දන් පරිභෝග කරත් දැයි?
බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නො පැමිණේයයි.
භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේය? අස්ථානය කවරේය?
බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි. අයිනාදන් කරනේ වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් ආහාරයෙක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේ ය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නො පැමිණේ නම්, මෙ ද (එබඳු) අස්ථානයෙකි.
බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි -පෙ- මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු තිරශ්චීන යෝනියට එළඹෙයි. තිරිසන් යොන් සත්නට යම් ආහාරයෙක් වේ නම් හේ, එහි එයින් යැපෙයි එයින් හේ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටුන හට එ දානය නොපැමිණේ නම්, මේද අස්ථානයෙකි.
බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුලකොට නැතියේ වෙයි. ව්‍යාපාද නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන්ගේ සහභාවයට එළැඹෙයි. මිනිසුන්ගේ යම් අහරෙක් වේ නම්, හෙ එහි එයින් යැපෙන්නේ ය. ඉන් හෙ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නොලැබේ නම්, මෙ ද එබඳු අස්ථානයෙකි.
බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. -පෙ- සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් අහරෙක් වේ නම් එයින් හෙ එහි යැපෙන්නේය. හෙ එයින් එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහට එ දානය නො එළැඹේ නම් මෙ ද අස්ථානයෙකි.
බ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. -පෙ- මිසදිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයට එළඹෙයි. ප්‍රේතවිෂයට අයත් සත්ත්‍වයන්ගේ යම් අහරෙක් වේ නම්, එයින්, හෙ එහි යැපෙයි. එයින් හෙ එහි සිටුනේය. ඔහට මිත්‍රයෝ වෙත්වයි, සගයෝ වෙත්වයි, ඥාතීහු වෙත්වයි, සහ ලේ නෑයෝ වෙත්වයි යමක් හෝ දෙත් නම්, හෙ ඉන් එහි යැපෙයි. හෙ එයින් සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය එළැඹේ නම්, එ ස්ථානය වෙයි.
පින්වත් ගෞතමයන් වහන්ස, ඉන් පරලොව ගිය ඒ ඥාති සාලෝහිතයා එතැනට නො පැමිණියේ නම් කවරෙක් එ දන පරිභෝග කෙරේ දැ යි?
බ්‍රාහ්මණය, පරලොව ගිය අන්‍යඥාතිසාලෝහිතයෝද එතැනට පැමිණියාහු වෙත්, ඔහු එ දන් වළඳත් යයි.
භවත් ගෞතමයන් වහන්ස, පරලොව ගිය ඒ ඥාති සාලොහිත ද එහි නො පැමිණියේ වෙයි, පරලොව ගිය ඔහුගේ අන්‍යඥාතිසාහිලෝහිතයෝ ද එතැනට නොපැමිණියාහු වෙත්නම්, කවරෙක් ඒ දන් වළඳනාහුදැයි?
බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මෙ දීර්‍ඝකාලයෙහි පරලොවගිය ඥාතිසාලෝහිතයන්ගෙන් එ ස්ථානය විවික්ත වන්නේ ය, යන තෙල කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි, බ්‍රාහ්මණය, නැවැත දායක තෙමේ ද අනිෂ්ඵල වෙයි.
භවත් ගෞතමයන් වහන්සේ අස්ථානයෙහිදු (දානඵලයාගේ) පරිකල්පය වදාරත්හු දැයි?
බ්‍රාහ්මණය, මම අස්ථානයෙහිදු දානඵල පරිකල්පය වදාරමි. බ්‍රාහ්මණය, මෙලොව්හි ඇතැමෙක් පණිවාකරනසුලු වෙයි. අයිනාදන් ගන්නාසුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණනසුලු වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. හේ ශ්‍රමණයකුහට වේවයි, බ්‍රාහ්මණයකුහට වේවයි, අන්න, පාන, වස්ත්‍ර, යාන, මාලාගන්‍ධ විලේපන, ශය්‍යා ආවසථ, ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි, හෙ කාබුන් මරණින් මතු ඇතුන්ගේ සහභාවයට එළඹෙයි. හෙ එහි අන්න, පාන, මාලා නානාලඞ්කාර ලබන සුලු වෙයි.
බ්‍රාහ්මණය, මෙ ලොව්හි යම්හෙයෙකින් පණිවා කරනසුලුද අයිනාදන් ගන්නා සුලු ද කාමයන්හි මිසහසර ඇතියේ ද පිසුනුබස් ඇතියේ ද පරොස්බස් ඇතියේ වේද සම්ඵප්‍රලාප ඇතියේද අභිධ්‍යා බහුලකොට ඇතියේ ද ව්‍යාපාදයට පත් සිතැතියේද, මිථ්‍යාදෘෂ්ටික වේද, එහෙයින් හේ කාබුන් මරණින් මතු හස්තීන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණෙකින් හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්තු යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා ආවස්ථා ප්‍රදීපෝපකරණ දෙන්නේ වේද එකරුණින් හෙ එහි අන්නපාන මාලා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.
බමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවා කරනසුලු වෙයි. අයිනාදන් ගන්නා සුලු වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසාවාදී වෙයි. පිසුනු බස් ඇති වෙයි. පරොස්බස් ඇති වෙයි. සම්ඵප්‍රලාප ඇති වෙයි. අභිජ්ඣා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිත් ඇති වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධවිලේපන ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු අශ්වයන්ගේ සහභාවයට යෙයි. ගෙරින්ගේ සහභාවයට එළඹෙයි. ... සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. ... හෙ එහි අන්න පාන මාලා හා නානාලඞ්කාර ලබන සුල්ලේ වෙයි.
බමුණ යම් කරුණකින් මෙලොව පණිවා කරන්නේ වේද, මිසදිටු ඇති වේද, හෙ එ කරුණින් කාබුන් මරණින් මතු සුනඛයන්ගේ සහභාවයට එළඹෙයි. යම් කරුණකින් හෙ මහණකුට වේවයි, බමුණෙකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ එකරුණින් එහි අන්නපානමාලා නානාලඞ්කාර ලබනසුලු වෙයි.
බමුණ, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි. අයිනාදනින් වැළැක්කේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැක්කේ වෙයි. මුසාවායෙන් වැළැක්කේ වෙයි. පිසුනු බසින් වැළැක්කේ වෙයි. පරොස් බසින් වැළැක්කේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි. අනභිජ්ඣාලූ වෙයි. අව්‍යාපන්නචිත්ත වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපානවස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ දෙනුයේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට යෙයි. හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබනසුල්ලේ වෙයි.
බ්‍රාහ්මණය, යම් හෙයකින් මෙලොව්හි පණිවායෙන් වැළැක්කේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට එයි. යම් හෙයකින් හෙතෙම මහණකුට වේවයි, බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යාආවසථ ප්‍රදීපෝපකරණ දෙන්නේ වේ ද, එහෙයින් හෙ එහි මිනිස්නට අයත් පස්කම් ගුණ ලබන සුලු වෙයි.
බමුණ මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැක්කේ වෙයි ..... සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙ මහණකුට වේවයි, බමුණකුට වේවයි, අන්නපාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශය්‍යා - ආවසථ ප්‍රදීපෙය දෙන්නේ වෙයි. හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එහි දෙවියන් සතු පස්කම් ගුණ ලබන්නේ වෙයි.
බ්‍රාහ්මණය, යම් හෙයකින් මෙ ලොව්හි අතැමෙක් පණිවායෙන් වැළැක්කේ වේද … සම්‍යග් දෘෂ්ටික වේ ද, එහෙයින් හෙ කාබුන් මරණින් මතු දෙවියන්ගේ සහභාවයට පැමිණේ. යම් හෙයෙකින් හේ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෙය දෙන්නේ වේද, එහෙයින් හේ එහි දෙවියනට හිමි පස්කම් ගුණ ලබන්නේ වෙයි. වැලිදු බ්‍රාහ්මණය දායක ද අනිෂ්ඵල වේ යයි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයි. පින්වත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, යම් යම් දානයෙක්හි ලා දායක ද අනිෂ්ඵල වේ. දන්දීම නිසිමැයි. ශ්‍රාද්ධ කිරීම නිසි මැයි.
බ්‍රාහ්මණය, තෙල කරුණ එසේ මැයි. බ්‍රාහ්මණය තෙල කරුණ එසේමැයි. බ්‍රාහ්මණය දායකයා ද අනිෂ්ඵල ම වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවි -පෙ- භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්වා යි.
දෙවැනි ජාණුස්සෝණී වර්‍ග යි.
3. සාධු වර්‍ගය
10. 4. 3. 1.
සාධු සූත්‍රය
මහණෙනි, තොපට සාධුත්‍වය හා අසාධුත්‍වය හා දේශනා කරන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යයි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, අසාධුත්‍වය කවර යත්:
ප්‍රාණඝාතය අදින්නාදානය කාමයන්හි මිථ්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචාය, පරුෂවාග්ය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටියයි. මහණෙනි, මෙ අසාධුයයි කියනු ලැබේ.
මහණෙනි, සාධුත්‍වය කවර යත්:
පණිවායෙන් විරමණය, අයිනාදනින් විරමණය, කාමයන්හි මිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්‍යාය, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මෙ සාධුත්‍වයයි කියනු ලැබේ.
10. 4. 3. 2.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යධර්‍මය ද අනාර්‍ය්‍යධර්‍මය ද දෙසන්නෙමි. එ අසව …
මහණෙනි, අනාර්‍ය්‍යධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
මහණෙනි, ආර්‍ය්‍ය ධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 3. 3.
කුසල සූත්‍රය
මහණෙනි, තොපට කුසල් ද අකුසල් ද දෙසමි. එ අසවු ...
මහණෙනි, අකුසල කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අකුසලයි කියනු ලැබේ.
මහණෙනි, කුසල කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ කුසලයි කියනු ලැබේ.
10. 4. 3. 4.
අර්‍ත්‍ථ සූත්‍රය
මහණෙනි, තොපට අර්‍ත්‍ථ හා අනර්‍ත්‍ථ හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අනර්‍ත්‍ථ කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ.
මහණෙනි, අර්‍ත්‍ථය කවරේය යත්:
පණිවායෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අර්‍ත්‍ථයි කියනු ලැබේ.
10. 4. 3. 5.
ධර්‍ම සූත්‍රය
මහණෙනි, තොපට ධර්‍ම හා අධර්‍ම හා දෙසමි. එ අසවු ...