බමුණ, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි පින්වතුන් වහන්ස, එසේයැ යි. ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
බමුණ, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය. පණිවායෙහි ලාමක විපාක ඉහාත්මයෙහිත් අභිසම්පරාහිත් වේ මැ යි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැරලයි. පණිවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. අයිනාදන්හුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අයිනාදන් හැර ල යි. අයිනාදනින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. කාමයෙහි මිසහසරෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හෙ මෙසේ නුවණින් සලකා කාමයෙහි මිසහසර හැරලයි. කාමයන්හි මිසහසරින් ප්‍රත්‍යවරෝහණ කෙරෙ යි. මුසවායෙහි ලාමක විපාක දිටුදැමියෙහි හා අභිසම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මුසවා හැරලයි. මුසවායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පිසුණු බස් හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පිසුනු බස් හැර ලයි. පිසුනු බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. පරොස්බස්හි ලාමක විපාක දිටුදැමියෙහි සම්පර හි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පරොස්බස් හැරලයි. පරොස් බසින් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. සම්ඵප්‍රලාපයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා සම්ඵප්‍රලාපය හැරලයි. සම්ඵප්‍රලාපයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. අභිධ්‍යාවගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා අභිධ්‍යා හැරලයි. අභිධ්‍යායෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. ව්‍යාපාදයාගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා ව්‍යාපාදය හැරලයි. ව්‍යාපාදයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක ඉහාත්මයෙහි හා සම්පරාහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැරලයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි. බමුණ මෙසේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
පින්වත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි ම වෙයි. ආර්‍ය්‍යවිනයෙහි එන මේ ප්‍රත්‍යවරෝහණය සොළොස්වන කලාවට ද බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය නො අගනේ යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද සිට මා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගිය උවසු කොට දරන සේක් ව යි.
10. 4. 2. 2.
අරිය පච්චෝරෝහණී සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. ප්‍රාණ ඝාතකයාගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි, හේ මෙසේ නුවණින් සලකා පණිවා හැර ලයි. ප්‍රාණඝාතයෙන් ප්‍රත්‍යාවරෝහණ කරයි ... මිථ්‍යාදෘෂ්ටියගේ ලාමක විපාක දිටුදැමියෙහි හා සාම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාදෘෂ්ටිය හැර ලයි. මිසදිටුයෙන් ප්‍රත්‍යාවරෝහණය කරයි. මහණෙනි, මේ ආර්‍ය්‍යප්‍රත්‍යාවරෝහණය යි කියනු ලැබේ.
10. 4. 2. 3.
සංගාරව සූත්‍රය
එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන්වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස් ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. පින්වත් ගෞතමයන් වහන්ස, ඔරිමතීරය කවරේය, පාරිමතීරය කවරේය යි?
බ්‍රාහ්මණය, ප්‍රාණඝාතය ඔරිමතීරය යි. ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, අයිනාදන් ඔරිමතීරය යි. අයිනාදනින් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, කාමමිථ්‍යාචාරය ඔරිමතීරය යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මුසාවාදය ඔරිමතීරය යි. මුසාවාදයෙන් විරමණය පාරිමතීරය යි. පිසුනුබස ඔරිමතීරය යි. පිසුනුබසින් විරමණය පාරිමතීරය යි. පරොස්බස ඔරිමතීරය යි. පරොස්බසින් විරමණය පාරිමතීරය යි. සම්ප්‍රඵලාපය ඔරිමතීරය යි. සම්ප්‍රඵලාපයෙන් විරමණය පාරිමතීරය යි. අභිධ්‍යාව ඔරිමතීරය යි. අනභිධ්‍යාව පාරිමතීරය යි. ව්‍යාපාදය ඔරිමතීරය යි. අව්‍යාපාදය පාරිමතීරය යි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි. බ්‍රාහ්මණය, මේ ඔරිමතීරය වෙයි. මේ පාරිමතීරය වේ යයි.
1. මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පාරසඞ්ඛ්‍යාත නිර්‍වාණයට යන් සුලු වෙත් ද ඔහු ස්වල්ප වෙත්. වැලිත් මේ අන්‍යප්‍රජා තොමෝ තෙර අනුව දුවන්නේ මැයි.
2. යම් කෙනෙක් මොනොවට දෙසන ලද ධර්‍මයෙහි ධාර්‍මනුවර්‍තතී වෙත් ද එ ජනයෝ තරණයෙහි අති දුෂ්කර වූ මෘත්‍යුධෙය ය ඉක්මවා පාරයට යෙත්.
3. පණ්ඩිත තෙමේ ඔක සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ අභිරමණය කෙරේද, කෘෂ්ණධර්‍ම හැරපියා ශුක්ලධර්‍ම වඩනේය.
4. රාගාදි කිඤ්චන නැතියේ කාමයන් හැරපියා එහි අභිරතිය කැමැති වන්නේ ය. ඒ පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යම් කෙනෙකුන් විසින් සම්බෝධ්‍යඞ්ගධර්‍මයන් හි සිත මොනොවට සුභාවිත ද උපාදානයන්ගේ (දුරලීම වූ නිර්‍වාණයෙහි යම් කෙනෙකුන් තෘෂ්ණාදෘෂ්ටි ඈ විසින් නො ගෙන ඇලුනාහු වෙත් ද ද්‍යුතිමත් වූ ඒ ක්‍ෂීණාස්‍රවයෝ ලොව්හි පිරිනිවුනාහු වෙති.
සඞ්ගාරව සූත්‍රය තෙවැනි යි
10. 4. 2. 4.
ඔරිමතීර සූත්‍රය
මහණෙනි තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසමි, ඒ අසවු ... මහණෙනි, ඔරිමතීරය හා කවරේය යත්? පාරිමතීරය කවරේය යත්?
මහණෙනි, ප්‍රාණඝාතය ඔරිමතීරයි, ප්‍රාණඝාතයෙන් විරමණය පාරිමතීරයි. අදින්නාදානය ඔරිම තීරයි, අදින්නාදානයෙන් විරමණය පාරිමතීරයි. කාමමිථ්‍යාචාරය ඔරිම තීරයි, කාමමිථ්‍යාචාරයෙන් විරමණය පාරිමතීරයි. මුසාවාදය ඔරිමතීරයි, මුසාවාදයෙන් විරමණය පාරිමතීරයි. පිසුනුබස් ඔරිමතීරයි, පිසුනුබසින් විරමණය පාරිමතීරයි. පරොස්බස් ඔරිමතීරයි, පරොස්බසින් විරමණය පාරිමතීරයි. සම්ඵප්‍රලාපය ඔරිමතීරයි, සම්ඵප්‍රලාපයෙන් විරමණය පාරිමතීරයි. අභිධ්‍යාව ඔරිමතීරයි, අනභිධ්‍යාව පාරිමතීරයි. ව්‍යාපාදය ඔරිමතීරයි අව්‍යාපාදය පාරිමතීරයි. මිථ්‍යාදෘෂ්ටිය ඔරිම තීරයි, සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරයි. මහණෙනි, මේ ඔරිමතීරයි, මේ පාරිමතීරයි.
1. මනුෂ්‍යයන් අතරෙහි යම් ජන කෙනෙක් නිවන්පරතෙර යනසුලු වෙත් නම් ඔහු අල්ප වෙත්. වැලිත් (මේ) සෙසු ප්‍රජා මෙ තෙර අනුවම දිවෙයි.
2. යම් ම කෙනෙක් මොනොවට දෙසන ලද ධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද ඒ ජනයෝ සුද්ස්තරමෘත්‍යුධෙය ය තරණය කොට පරතීරයට යෙත්.
3. ඔකසඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනෝක සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණ යම් විවෙකයෙක් හි දුකසේ සිත් අලවා වෙසේද, ඒ පණ්ඩිත තෙම කෘෂ්ණ ධර්‍ම හැරපියා ශුක්ලධර්‍ම වඩනේ ය.
4. රාගාදි කිඤ්චන රහිත වූයේ කාමයන් හැරපියා අභිරතිය රුස්නේ ය. පණ්ඩිත තෙම චිත්තක්ලේෂයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කෙරෙ යි.
5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත සුභාවිත ද යම් කෙනෙකුන් උපාදාන විසින් නො ගෙන ආදානප්‍රතිනිසර්‍ගයෙහි ඇලුනාහු ද ද්‍යුතිමත් වූ එ ක්‍ෂීණාශ්‍රවයෝ පස්කඳලොව් හි පිරිනිවුණහ යි.
10. 4. 2. 5.
පඨම අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දතයුත්තේ ය. ධර්‍මය හා අර්‍ත්‍ථය හා දතයුත්තේ ය. අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දැන ධර්‍මය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය කවරේය යත්:
ප්‍රාණාඝාතය අදින්නාදානය කාමමිථ්‍යාචාරය මුසාවාදය පිසුනාවාචාය ඵරුසාවාචා ය සම්ඵප්‍රලාපය අභිධ්‍යාය ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යි. මහණෙනි, මේ අධර්‍මය හා අනර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍මය හා අර්‍ත්‍ථය කවරේය යත්?
ප්‍රාණාඝාතයෙන් විරමණය, අදත්තාදානයෙන් විරමණය, කාමමිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්‍යාය, අව්‍යාපාදය, සම්‍යක්දෘෂ්ටිය යී. මහණෙනි, මේ ධර්‍මය හා අර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දතයුත්තේ ය. ධර්‍මය හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය දැන අනර්‍ත්‍ථය ද දැන ධර්‍මය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ සේ පිළිපැදිය යුතු ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදැ යි.
10. 4. 2. 6.
දුතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය යි. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල් ඇතිවත් ම එ මහණුනට තෙල සිත විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක, “මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ දතයුත්තේය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ අර්‍ත්‍ථ හා දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය” යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි?
ඉක්බිති එ මහණුනට තෙල සිත විය.
“මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෲන් විසිනුදු සංවර්ණිතයහ. විඥසබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභජනය කිරීමට පොහෝනේත් වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, යම් සෙයකින් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට ව්‍යාකරණ කෙරෙත් නම් එ සෙයින් එය ධරන්නමෝ නම් යෙහෙකැ”යි.
එ කල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් සමඟ සතුටු වුහ. සතුටු වියයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට තෙල සැළකළහ:
“ඇවැත් කාත්‍යායනයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිය හ, මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුත්තේ ය. අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය’යි. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ කල් වත් ම තෙල අදහස විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උද්දේස උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැගී විහාරයට වන් හ, මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ ද අර්‍ත්‍ථය යම් පරිදි වේ ද එසේ පිළිපැදිය යුතුය’ යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් විභාග කෙරේදැ”යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය.
“මේ ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරණුවෝ ශාස්තෘන්වහන්සේ විසිනුදු සංවර්ණිතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභාග කරන්නට පොහෝනාහු වෙති. අපි ආයුෂ්මත් මහාකාත්‍යාන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට යම් පරිදි ව්‍යාකරණ කෙරෙත් නම් එ පරිදි එය දරමෝ නම් ඉතා යෙහෙකැ”යි. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ විභජනය කෙරෙත්වා යි
“ඇවැත්නි, යම් පරිදි හරයෙන් අර්‍ත්‍ථ ඇති සාරය සොයන සාරපර්‍ය්‍යෙෂණය කරන පුරුෂයෙක් හර ඇති සිටුනා මහරුකක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතුපතරෙහි සාරය සෙවිය යුතු කොට හඟනේ නම් මෙ එබඳු උපමායෙකි. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ සම්මුඛීභූත වත් ම එ භගවත්හු ඉක්ම අප තෙල අරුත් පිළිවිසිය යුතු කොට හඟනාහුය. ඇවැත්නි, දන්නා වූ ම ඒ භාග්‍යවත්හු දන්නා හ. දක්නාහු ම දක්නා හ. චක්‍ෂූර්භූත වූ ඤාණභූත වූ ධර්‍මභූත වූ බ්‍රහ්මභූත වූ තථාගතයෝ වක්තෘ හ. ප්‍රවර්තෘ හ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘ හ. අමෘතයගේ දාතෘ හ. ධර්‍මස්වාමී හ. යම් හෙයකින් තෙපි භාග්‍යවතුන් වහන්සේ ම කරා එළඹ තෙල අරුත් පුළුවුස්නහු නම් තෙල කරුණ පිණිස එම කල් විය. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට ව්‍යාකරණ කරන සේක් නම් එ පරිදි එය දරව” යි.
ඇවැත්නි, කාත්‍යායනයෙනි, එකැතින් දන්නා වූ ම ඒ භාග්‍යවත්හු දනිත් මැ යි. දක්නාහු දකිත් මැ යි. චක්‍ෂූර්භූත වූ ඥානභූත වූ ධර්‍මභූත වූ බ්‍රහ්මභූත වූ තථාගතයන් වහන්සේ වක්තෘ හ. ප්‍රවර්තෘ හ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘ හ. අමෘතයාගේ දාතෘ හ. ධර්‍මස්වාමී හ. යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ ම කරා එළඹ තෙල අරුත් පුලුවුස්නමෝ නම් තෙල කරුණ සඳහා එම කල් විය. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ අපට ව්‍යාකරණ කරන සේක් නම් පරිදි එ පරිදි එය දරම් හ. වැලිත් ආයුෂ්මත් මහකාත්‍යයන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණීතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද තෙල උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභාග කිරීමට ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ පොහොසත් හ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො ගුරු කොට විභාග කෙරෙත්ව යි.
“ඇවැත්නි, එසේ වී නම් අසවු, මැනැවින් මෙනෙහි කරවු, දෙසන්නෙමි”යි. ‘ඇවැත්නි, එසේය’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායනයන් හට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙමේ තෙල කීහ:
ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දත යුතුය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතුය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් සේ නම්, අර්‍ත්‍ථය යම් සේ නම් එසේ පිළිපැදිය යුතු ය” යන යමක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගි විහාරයට පිවිසි සේක් ද,
ඇවැත්නි, අධර්‍මය හා කවර, ධර්‍මය හා කවර, අනර්‍ත්‍ථය හා කවර, අර්‍ත්‍ථය හා කවර:
ඇවැත්නි, ප්‍රාණඝාතය අධර්‍මයි. ප්‍රාණඝාතයෙන් විරමණය ධර්‍මයි. ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. ප්‍රාණඝාතවිරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, අදත්තාදානය අධර්‍මයි. අදත්තාදාන විරමණය ධර්‍මයි. අදත්තාදාන ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථයි. අදත්තාදානවිරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථයි.
ඇවැත්නි, කාමමිථ්‍යාචාරය අධර්‍ම යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය ධර්‍මයි. කාමමිථ්‍යාචාරප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථයි. කාමමිථ්‍යාචාරයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, මුසාවාදය අධර්‍ම යි. මුසාවාදයෙන් විරමණය ධර්‍මයි. මුසාවාද ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. මුසාවාදයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, පිසුනුවචනය අධර්‍ම යි. පිසුනුවචනයෙන් විරමණය ධර්‍ම යි. පිසුනවාචාප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. පිසුනුවචනයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, පරොස්බස් අධර්‍ම යි. පරොස්බසින් විරමණය ධර්‍ම යි. පරුෂවචන ප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. පරොස්බසින් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, සම්පප්‍රලාපය අධර්‍ම යි. සම්ඵප්‍රලාපයෙන් විරමණය ධර්‍ම යි. සම්පප්‍රලාපප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භවවෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. සම්ඵප්‍රලාපයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, අභිධ්‍යාව අධර්‍ම යි. අනභිධ්‍යාව ධර්‍ම යි. අභිධ්‍යාප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. අනභිධ්‍යාප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, ව්‍යාපාදය අධර්‍ම යි. අව්‍යාපාදය ධර්‍ම යි. ව්‍යාපාදප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. අව්‍යාපාදප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යග්දෘෂ්ටියි ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටියප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ සම්භව වෙත් නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණබවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
“ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතු ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතුය. ධර්‍මය හා අධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් සේ නම් අර්‍ත්‍ථය යම් සේ නම් එසේ පිළිපැදිය යුතු ය” යන යමෙක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසුම් කළ විතර විසින් අරුත් නො බෙදූ මේ ධර්‍මයා ගේ අර්‍ත්‍ථය විතර විසින් මෙසේ දනිමි. ඇවැත්නි, තෙපි කැමැති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්‍ත්‍ථය විචාරවු. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශකරන සේක් නම් එපරිදි එය දරවු යි.
ඇවැත්නි, එසේය යි ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන් හ. එකත් පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
“වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය”යි, මේ උද්දේසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් විභාග නො කොට හුනස්නෙන් නැඟී වෙහෙරට වන් සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ කල් වත් ම තෙල සිත විය; “ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතුය. අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථය හා දත යුතුය. ධර්‍මය හා අධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය’යි. යමක් සංක්‍ෂිප්තව උදෙසුම් කොට විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වන් සේක.
කවරෙක් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් උදෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විභජනය කෙරෙන්නේදැ”යි. වහන්ස, එ අපට තෙල සිත විය:
“මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය හ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදනට සමත් හ. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළඹමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ අපට යම් පරිදි ව්‍යාකරණ කෙරෙත් නම් එය එ පරිදි දරම්හ”යි. වහන්ස, ඉක්බිති අපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළඹියම් හ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුසුම් හ. “වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් විසින් මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය සුවිභක්තයහ”යි.
මහණෙනි, මැනැවි, මැනැවි, මහණෙනි, මහාකාත්‍යාන පණ්ඩිත වෙයි. මහණෙනි, මහාකාත්‍යාන මහාප්‍රාඥ වෙයි, මහණෙනි, තෙපි මා කරා ද අවුත් තෙල අරුත් පුලුවුස්නහු නම් මම ද තෙල අර්‍ත්‍ථය මහාකාත්‍යායනයන් විසින් යම් පරිදි ව්‍යාකෘත නම් එ පරිදි ම ව්‍යාකරණ කරනෙමි. තෙල කාරණයාගේ අර්‍ත්‍ථය එ මැ යි. එසේ ම එය දරව’යි.
10. 4. 2. 7.
තතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුත්තේ ය. අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුත්තේ ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන යම් පරිදි ධර්‍මය වේ නම් යම් පරිදි අර්‍ත්‍ථය වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය කවර, ධර්‍මය කවර: අනර්‍ත්‍ථය කවර, අර්‍ත්‍ථය කවර: මහණෙනි, ප්‍රාණඝාතය අධර්‍ම යි. ප්‍රාණඝාතයෙන් විරමණය ධර්‍ම යි. ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. ප්‍රාණඝාතයෙන් විරමණප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
මහණෙනි, අදින්නාදානය අධර්‍ම යි. අදින්නාදානයෙන් විරමණය ධර්‍මයි ... මහණෙනි, කාමමිථ්‍යාචාරය අධර්‍ම යි. කාමමිථ්‍යාචාරයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, මුසාවාදය අධර්‍ම යි. මුසාවාදයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, පිසුනුබස් අධර්‍ම යි. පිසුනු බසින් වෙන්වීම ධර්‍ම යි ... මහණෙනි, පරුෂවචන අධර්‍මයි ... පරුෂවචනයෙන් වෙන්වීම ධර්‍මයි ... මහණෙනි, සම්පප්‍රලාපය අධර්‍ම යි. සම්ඵප්‍රලාපයෙන් විරමණය ධර්‍ම යි ... මහණෙනි, අභිධ්‍යා අධර්‍ම යි. අනභිධ්‍යා ධර්‍ම යි ... මහණෙනි, ව්‍යාපාදය අධර්‍ම යි. අව්‍යාපාදය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යග්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මේ අර්‍ත්‍ථ යි.
“මහණෙනි, අධර්‍මය හා ධර්‍මය හා දතයුතු ය, අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දතයුතු ය. අධර්‍මය හා ධර්‍මය හා දැන අනර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතුය”යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලද්දේ යි.
10. 4. 2. 8.
කම්මනිදාන සූත්‍රය
මහණෙනි, මම ප්‍රාණඝාතය ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම අදින්නාදානය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යී. මහණෙනි, මම කාමමිථ්‍යාචාරය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම මුසාවාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝස හේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම පිසුණුබස ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම පරොස්බස් ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුකය යි. මහණෙනි, මම සම්ඵප්‍රලාප ද ත්‍රිවිධ කොට කියමි: ලෝභ හේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක යයි. මහණෙනි, මම අභිධ්‍යාව ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම ව්‍යාපාදය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුක ය, මෝහහේතුක ය යි. මහණෙනි, මම මිථ්‍යාදෘෂ්ටි ය ද ත්‍රිවිධ කොට කියමි: ලෝභහේතුක ය, දෝසහේතුකය, මෝහහේතුකය යි.
මහණෙනි, මෙසේ වනාහි ලෝභය කම්මනිදානසම්භව වෙයි. දෝසය කම්මනිදාන සම්භව වෙයි. මෝහය කම්මනිදානසම්භව වෙයි. ලොභක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි. දෝෂක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වෙයි, මෝහක්‍ෂය හේතුවෙන් කර්‍මනිදානක්‍ෂයය වේ යයි.
10. 4. 2. 9.
සපරික්කමන සූත්‍රය
මහණෙනි, මේ ධර්‍මය පරිවර්‍ජන සහිත වෙයි, මේ ධර්‍මය පරිවර්‍ජන රහිත නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන සහිත වේය යත්: මේ ධර්‍මය කෙසේ පරිවර්‍ජන රහිත නොවේය යත්:
මහණෙනි, ප්‍රාණඝාතී හට ප්‍රාණඝාතවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, අදින්නාදායී හට අදින්නාදානවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, කාමමිථ්‍යාචාරීහට කාමමිථ්‍යාචාරවිරමණය පරිවර්‍ජනය වෙයි. මහණෙනි, මුසාවාදී හට මුසාවාදවිරමණය පරිවර්‍ජනය වෙයි.
මහණෙනි, පිසුනුබස් ඇත්තහුට පිසුනු බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, පරොස් බස් ඇත්තහුට පරොස් බසින් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, සම්ඵප්‍රලාප ඇත්තහුට සම්ඵප්‍රලාපයෙන් විරමණය පරික්‍රමණය වෙයි. මහණෙනි, අභිධ්‍යා ඇත්තහුට අනභිධ්‍යාව පරික්‍රමණය වෙයි. මහණෙනි, ව්‍යාපාද ඇත්තහුට අව්‍යාපාදය පරික්‍රමණය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට සම්‍යග්දෘෂ්ටිය පරික්‍රමණය වෙයි.
මහණෙනි, මෙසේ මේ ධර්‍මය සපරික්‍රමණ වෙයි. මේ ධර්‍මය අපරික්‍රමණ නො වේ ය යි.
10. 4. 2. 10.
චුන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා හි චුන්‍දකර්‍මාර පුත්‍රයාගේ අඹවෙනෙහි වැඩ වසන සේක. එකල චුන්‍ද කර්‍මාරපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: චුන්‍දය, තෝ කවරකුගේ සුචිභාවයන් රුස්නෙහි දැ යි.
වහන්ස, පශ්චාද්භූමි වැසි කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පනවත්. වහන්ස, මම ඔවුන්ගේ සුචිභාවයන් රුස්නෙමි යි.
චුන්‍දය, කෙසේනම් පශ්චාද්භූමිවාසී කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත්දැයි?
වහන්ස, මෙහි පශ්චාද්භූමක වූ කමඬලා දරන සෙවෙල්දම් පළඳින ගිනි පුදන උදකාවරෝහණය කරන බමුණෝ මෙසේ සව්වන් සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෝ කල් ඇතිව ම යහනින් නැගිටුනේ පොළොව පිරිමදනෙහි, ඉදින් පොළොව නො පිරිමදනෙහි නම් අමුගොම පිරිමදනෙහි, ඉදින් අමුගොම නො පිරිමදනෙහි නම් නිල් තණ පිරිමදනෙහි.
ඉදින් නිල්තණ නො පිරිමදනෙහි නම් අග්නිපරිචරණය කරනෙහි. ඉදින් අග්නිපරිචරණය නො කරනෙහි නම් බදැඳිලි ව හිරු නමදනෙහි. ඉදින් බදැඳිලි ව හිරු නො නමදනෙහි නම් සවස තෙවැනි කොට උදකාවරෝහණ කරනෙහි”යි. වහන්ස, මෙසේ පශ්චාද්භූමක, කමඬලා දරන සෙවෙල්මල්දම් පළඳින, අග්නිපරිචරණය කරන උදකාවරෝහණය කරණ බ්‍රාහ්මණයෝ සුචිභාවයන් පණවත් යි. ඔවුන්ගේ ඒ සුචිභාවයන් කැමැත්තෙමි යි.
චුන්‍දය, පච්ඡාභූමි වැසි කමඬලා දරණ සෙවෙල් දම් පළඳින අග්නිපරිචරණය කරන උදකාවරෝහණයෙහි යෙදෙන බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් සුචිභාවයන් පනවත්. ආර්‍ය්‍යවිනයෙහි වනාහි සුචිබව අන්පරිද්දෙකින් වේ ය යි.
වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි සුචිබව කෙසේ වේ ද? වහන්ස, යම් පරිදි ආර්‍ය්‍යවිනයෙහි සුචිබව වේ නම් භාග්‍යවතුන් වහන්සේ මට එපරිදි දහම් දෙසනසේක් නම් මැනැවැයි.
චුන්‍දය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, දෙසන්නෙමියි. එසේය වහන්සැයි චුන්‍දකර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
චුන්‍දය, කයින් ත්‍රිවිධඅශූචිභාවයෙක් වෙයි, වචනයෙන් චතුර්විධ අශූචිභාවයෙක් වෙයි, මනසින් ත්‍රිවිධ අශූචිභාවයෙක් වේ.
චුන්‍දය, කයින් ත්‍රිවිධ අශූචිභාවය කිසේය යත්:
1. චුන්‍දය, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම් හා පැහැරුම්හි නිවිෂ්ට වූයේ සව්සතුන් කෙරෙහි දයාරහිත වූයේ ප්‍රාණාඝාතී වෙයි.
2. අයිනාදන් කරන සැහැවි ඇතියේ වෙයි: ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි යම් මෙරමා සතු වස්තුපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ නොදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර ඇතියේ වෙයි: මාතෘරක්‍ෂිතාය, පිතෘරක්‍ෂිතාය, මාතෘපීතෘරක්‍ෂිතාය, භ්‍රාතෘරක්‍ෂිතාය, භගිනිරක්‍ෂිතාය, ඥාතිරක්‍ෂිතාය, ධර්‍මරක්‍ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්‍ෂිප්ත වූවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
චුන්‍දය, මෙසේවනාහි කයින් අශූචීභාවය වේ.
චුන්‍දය, කිසේ නම් වචනයෙන් සිවුවැදෑරුම් අශූචිභාවය වේය යත්: