Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 1401-1500 න් 15980

‘කුමාරය, ‘එය කිමැ’යි සිතයි ද? රාගයෙන් උපන් යම්බඳු පරිදාහයෙන් දැවෙන හෙතෙම දුකසේ හෝනේ නම්, එබඳු කය පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ රාගයෙන් උපන් පරිදාහයෝ ඒ ගෘහපතියාට හෝ ගෘහපතිපුත්‍රයාට හෝ උපදනාහු ද? ‘වහන්ස, එසේය’. ‘කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රයා හෝ රාගයෙන් උපන් යම් දැවිල්ලෙකින් හාත්පසින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ රාගය තථාගයන් වහන්සේට ප්‍රහතය, උපුටා හළ මුල් ඇත්තේය, (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. නැවත නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි. ‘කුමාරය, එය කිමැ’යි සිතයි ද? ඒ ගෘහපතියාහට හෝ ගෘහපතිපුත්‍රයාහට හෝ ද්වේෂයෙන් උපන් දැවිලිහි ඉදින් උපදනාහු ද? -පෙ- හෙතෙම යම්බඳු මෝහයෙන් උපන් දැවිල්ලෙන් දැවෙන්නේ දුකසේ හොවී නම්, එබඳු වූ කායික හෝ චෛතසික හෝ මෝහයෙන් උපන් දැවිලිහි උපදින්නාහු ද? ‘වහන්ස, එසේය.’ ‘කුමාරය, ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මෝහයෙන් උපන් යම්බඳු දැවිල්ලෙකින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ මෝහය තථාගතයනට ප්‍රහතය. උපුටා හළ මුල් ඇත්තේය. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. මතු නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි’යි.
24. (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවීගිය (කෙලෙස්තැවීම නැති බැවින්) සිහිල් වූ ක්ලේශෝපධීන්ගේ අභාවයෙන් උපධි රහිත වූ යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්හි නො ඇලේ ද, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම හැමකල්හි සැපසේ හොවියි.
25. සියලු තෘෂ්ණාවන් සිඳ සිත්හි ක්ලේශදරථ සංහිඳුවා චිත්තශාන්තියට පැමිණ සංහුන් වූයේ සුවසේ හෝනේය යි.
3. 1. 4. 6.
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මේ දේවදූතයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් කයින් දුසිරිත් කරනේය. වචනයෙන් දුසිරිත් කරනේය. සිතින් දුසිරිත් කරනේය. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට පැමිණෙයි. මහණෙනි, යමපල්හු ඔහු වෙන වෙන අත්හි ලා ගෙණ යමරජුට දක්වත්. ‘දේවයන් වහන්ස, මේ පුරුෂ මවට අහිතයෙක, පියාට අහිතයෙක, මහණුනට අහිතයෙක, බමුණනට අහිතයෙක, කුලදෙටුවන් නොපුදන්නෙක. දේවයන් වහන්සේ මුහුට දඬුවම් එළවත්වා’ යී.
මහණෙනි, යමරජ ඔහුගෙන් පළමු දේවදූතයා අනුයෝග වතට නඟා විචාරයි. ලබ්ධියෙහි පිහිටුවයි, කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, මිනිසුන් අතුරෙහි පහළ වූ පළමු දේවදූතයා තෝ නොදිටිහි ද?’ හේ මෙසේ කියයි. ‘වහන්ස, නො දිටිමි.’
මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි උපතින් අසූවස් ගියා වූ හෝ අනූවස් ගියා වූ හෝ සියවස් ගියා වූ හෝ දිරූ ගොනැස්සක් මෙන් නැමූනා වූ වක් වූ සැරයටිය පිහිට කොට ඇති ව වෙවුළමින් යන්නා වූ ජරායෙන් ආතුර වූ ගිය යොවුන් විය ඇති, කඩදත් ඇති, පැසුනු කෙස් ඇති, මුඩු හිස් ඇති, මට්ටත්තල ඇති, හටගත් රැලි ඇති, තලකැලලින් යුත් සිරුරු ඇති, ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’
මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තාහට මෙබඳු සිතෙක් නො වී ද? ‘මම ද ජරාව නො ඉක්ම වූයෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් වෙමි. ඉදින් මම කයින් වචසින් මනසින් කලණ දහම් පුරුදු කෙරෙම් නම් මැනවැ’ යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමා වීමි’යී.
ඔහට යමරජ මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි, එම්බා පුරුෂය, එහෙයින් ඒ පමාවූවහුට යම්සේ ද එසේ තට කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසින් නො ම කරණ ලද්දේ ය. පියා විසින් නො ම කරණ ලද්දේ ය. බෑයා විසින් නො ම කරණ ලද්දේ ය. බිහිනිය විසින් නො ම කරණ ලද්දේ ය. සගයහළුවන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. නෑ සහලේ නෑයන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. දෙවියන් විසින් නො ම කරණ ලද්දේ ය. මහණ බමුණන් විසින් නො ම කරණ ලද්දේ ය. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ කර්‍මයාගේ විපාක විඳුව’ යි.
මහණෙනි, යමරජ ප්‍රථම දේවදූතයා අනුයෝගවතට නංවා ලබ්ධියෙහි පිහිටුවා කරුණු ගන්වා, කරුණු විචාරා, දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ දෙවන දේවදූතයා නො දිටිහි ද?’ හේ මෙසේ කියි: ‘වහන්ස, නො දිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි රෝගාතුර වූ දුකට පත් වූ හෝ දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා මෙරමා විසින් නගාසිටුවනු ලබන්නා වූ මෙරමා විසින් හොවනු ලබන්නා වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’
මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තට මේ සිත නො වී ද?’ ‘මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’යී.
මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවකුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. මේ පව්කම් වනාහි මව විසිනිදු නො ම කරණ ලද. පියා විසිනිදු නො ම කරණ ලද. බෑයා විසිනිදු නො ම කරණ ලද. බුන් විසිනිදු නො ම කරණ ලද. යහළුවන් විසිනිදු නො ම කරණ ලද. නෑ සහලේනෑයන් විසිනිදු නො ම කරණ ලද. දෙවියන් විසිනිදු නො ම කරණ ලද. මහණ බමුණන් විසිනිදු නො ම කරණ ලද. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. මේ පාපකර්‍මයාගේ විපාක තෝ ම විඳුනෙහිය’යී.
මහණෙනි, යමරජ දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා කරුණු ගන්වා, කරුණු විචාරා, තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ තෙවන දේවදූතයා නොදිටිහිදැ’ යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නොදිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි මළගිය එක් දවසක් ඇත්තා වූ හෝ මළගිය දෙදවසක් ඇත්තා වූ හෝ මළගිය තෙදිනක් ඇත්තා වූ හෝ ඉදිමුනු වෙසෙසින් නිල්වන් වූ පූයා වෑහෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි දැ’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම තට මේ සිත නො වී ද?’ ‘මම ද මරණය නො ඉක්මවූයෙම්, මරණය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් දහම් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවහුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසිනිදු නොකරණ ලදී. පියා විසිනිදු නො කරණ ලදී. බෑයා විසිනිදු නො කරණ ලදී. ුන් විසිනිදු නො කරණ ලදී. සගයහළුවන් විසිනිදු නො කරණ ලදී. නෑ සහලේනෑයන් විසිනිදු නො කරණ ලදී. දෙවියන් විසිනිදු නො කරණ ලදී. මහණ බමුණන් විසිනිදු නො කරණ ලදී. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ පාපකර්‍මයාගේ විපාක විඳුනෙහිය’ යි.
මහණෙනි, යමරජ තෙල තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරා කරුණු ගන්වා කරුණු කියා තුෂ්ණිම්භූත වෙයි. මහණෙනි, යමපල්ලෝ ඔහුට පඤ්චවිධබන්‍ධන නම් කම් කටොලු කරත්: රත්කළ යහුලක් දකුණතෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) අතෙහි ගසත්. රත්කළ යහුලක් දකුණු පයෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) පාහි ගසත්. රත්කළ යහුලක් ලමැද ගසත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි.
මහණෙනි, යමපල්හු තුලුන් හොවාපියා කෙටේරියෙන් සසිත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි. යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා වෑයෙන් සසිත් ... මහණෙනි, යමපල්හු තුලුන් රියෙහි යොදා ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත බිම්හි ඔබ මොබ ඇවිදුවත් ... මහණෙනි, යමපල්හු තුලුන් ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත මහඅඟුරුපව්වකට නංවත් , බස්වත් ... මහණෙනි යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ රත් වූ ඇවිලගත් ගිනිදැල් සහිත ලෝකුඹුයෙහි බහත්. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙයි. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙනුයේ වරක් උඩට මතු වෙයි. වරක් යටට බසියි. වරක් සරසට ද යෙයි. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳියි. ඒ පව්කම් නො ගෙවෙනා තාක් කලුරිය නො කරයි. යමපල්හු තුලුන් ගෙණ මහානිරයෙහි බහත්. මහණෙනි, ඒ මහානිරය වනාහි:
26. සිවුකොන් ඇත්තේ ය, සිවුදොරටු ඇත්තේ ය, කොටස් කොට මැන බෙදන ලද්දේ ය, යපවුරින් පිරිසිඳුනා ලද්දේ ය, යපටින් වසන ලද්දේ ය.
27. එහි බිම යමුවා ය, දිලින, ගිනිදැලින් මුසු වෙයි. හාත්පස යොදුන් සියක් පුරා හැමකල්හි පැතිර සිටුනේය.
මහණෙනි, වූ විරීයෙකි: යමරජුට මෙබඳු සිතෙක් විය: ‘භවත්නි, ලොව්හි යම් කෙනෙක් පව්කම් කෙරෙත් ද, ඔවුහු මෙබඳු වූ නන් කම්කටොලු කරවනු ලබත්. අහෝ! ඉදින් මම මිනිසත්බවක් ලබම් නම්, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් ලොව උපදින සේක් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නෙම් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ ද මට දහම් දෙසන සේක් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය මම දැනගන්නෙම් නම්, ඉතා මැනැවැ’යි. මහණෙනි, ඒ වනාහි මම අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා මෙසේ නො කියමි. මහණෙනි, වැලිදු යමක් මා විසින් තමා විසින් ම දැනගන්නා ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම ප්‍රකට කොට දැනගන්නා ලදද, __එය මම ම__{1} කියමි.
28. දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් මිනිස් කෙනෙක් පමා වෙත් ද, හීන වූ අත්බැව් ලැබූ ඒ මිනිස්සු බොහෝ කලක් සොවිත්.
29. මෙ ලොව්හි දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් ද, (ඔහු) ආර්‍ය්‍යධර්‍මයෙහි කිසි කලෙකත් පමා නො වෙත්.
30. ජාති මරණ දෙකට කරුණු වූ (පඤ්ච) උපාදානයෙහි බිය දැක (ආත්ම ආත්මීය වශයෙන්) සතර උපාදානයන් නො ගෙණ ජාතිමරණයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිමිති කොට මිදෙත්.
31. මෙ අත්බව්හි ම කෙලෙස් පිරිනිවීමෙන් නිවුනු නොපමා වූ (එහෙයින් ම) සුවපත් වූ ඔහු සියලු වෙරභය ඉක්මවූවාහු සියලු දුක් ඉක්ම ගියාහුය යි.
3. 1. 4. 7.
37. මහණෙනි, අඩමසැ අටවක්හි සිවුමහරජුන්ගේ පිරිසට අයත් ඇමතියෝ ‘කිමෙක් ද? මිනිස් ලොව්හි බොහෝ මිනිස්සු මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදනුවාහු ද, බමුණන් පුදනුවාහු ද, කුලදෙටුවන් පුදනුවාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මෙලොව සිසාරා ඇවිදිත්.
මහණෙනි, අඩමසැ තුදුස්වක්හි සිවුමහරජුන්ගේ පුත්‍රයෝ මේ ලෝකය වටාගෙණ ඇවිදිත්: ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මහණෙනි, ඒ පුරපසළොස්වක් පොහෝ දින සිවුමහරජවරු තුමූ ම මේ ලොව වටාගෙණ ඇවිදිත්. ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදන්නාහු ද, පියන් පුදන්නාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි.
මහණෙනි, ඉදින් මිනිසුන් අතුරෙහි මවුන් පුදන පියන් පුදන මහණුන් පුදන බමුණන් පුදන කුලදෙටුවන් පුදන මිනිස්සු ස්වල්ප වෙත් ද, (එසේ ම) ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් ද, මහණෙනි, සතරවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියන්ට මෙකරුණ සැළ කරත්: ‘නිදුකානෙනි, මිනිස්ලොව්හි ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් මවුන්ට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් කරන්නාහ. පටිජාගර උපෝසථය කරන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘අහහ’ භවත්නි, දෙව්පිරිස්හු පිරිහෙන්නාහ, අසුර පිරිස්හු පිරෙන්නාහ’ යි නො සතුටු සිත් ඇත්තාහු වෙති.
මහණෙනි, ඉදින් මිනිස්ලොව බොහෝ මනුෂ්‍යයෝ මවුනට හිතවත් නම්, පියනට හිතවත් නම්, මහණුනට හිතවත් නම්, බමුණනට හිතවත් නම්, කුලදෙටුවන් පුදත් නම්, පෙහෙවස් වෙසෙත් නම්, පටිජාගර උපෝසථය කෙරෙත් නම්, පින් කෙරෙත් නම්, මහණෙනි, සිවුවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියනට මෙසේ සැළ කරත්: ‘නිදුකාණනි, මිනිසුන් අතුරෙහි බොහෝ මිනිස්සු මවුනට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් වසන්නාහ. පටිජාගර උපෝසථය වසන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්පිරිස්හු පිරෙන්නාහ, අසුරපිරිස්හු පිරිහෙන්නාහ’ යි තුටුසිත් ඇත්තාහු වෙත්.
3. 1. 4. 8.
38. මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
32. ‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත්: සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මෝහ ඇත්තෙක. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති, මනාසේ දැන කෙලෙසුන් කෙරෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
33. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ පහ වූ රාග ඇත්තේ වේ ද, පහ වූ ද්වේෂ ඇත්තේ වේ ද, පහ වූ මෝහ ඇත්තේ වේ ද, එහෙයිනි.
මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
34. ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්‍ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේය’යි.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථාව වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු, වරදවා කියන ලදු, මැනැවින් නො කියන ලදු. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් සක්දෙවිඳු ජාතියෙන් ද, ජරායෙන් හා මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුක්දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, හාත්පසින් නො මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් නොමිදුනේ ය යි කියමි.
මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති, ක්‍ෂය කළ සසර බැඳුම් ඇති මනාසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
35. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්‍ෂය පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ ජාතියෙන් ද, ජරාමරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, කායිකදුකින් ද, දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් මිදුනේය යි කියමි.
3. 1. 4. 9.
39. මහණෙනි, මම නිදුක්මි. අතිශයින් නිදුක්මි. සතතයෙන් නිදුක්මි. මහණෙනි, මාගේ පියනිවෙස්නෙහි පොකුණු කරවන ලද. එකෙක වනාහි නිලුපුල් පිපෙයි. එකෙක හෙළපියුම් පිපෙයි. එකෙක රත්පියුම් පිපෙයි. ඒ වනාහි හුදෙක් මා පිණිස ම ය. මහණෙනි, මම වනාහි නො සියුම් සඳුනක් නම් නො දරමි. මහණෙනි, මා හිස්වෙළුම ද සියුම් ම වෙයි. මාගේ පොරෝනා කස්ස ද සියුම් ම ය. හඳනා ද සියුම් වෙයි. උතුරුසළුව ද සියුම් වේ. මහණෙනි, රෑ දෙවෙහි ශීතය හෝ උෂ්ණය හෝ රජස හෝ තෘණ හෝ පිනි හෝ මුහු නහමක් පෙළාවා යි මට සේසතෙක් දරණු ලැබේ.
මහණෙනි, ඒ මට තුන් පහයෙක් වීය. එකෙක් හේමන්තයට හිත ය, එකෙක් ගිම්හානයට හිත ය, එකෙක් වර්‍ෂාඍතුවට හිත ය. මහණෙනි, ඒ මම වැසිකලට නිසි පහයෙහි පිරිමින් නැති (ස්ත්‍රීන් කරණ) පසඟතුරුයෙන් පිනවනු ලබන්නෙම් යට පහයට නො බස්මි. මහණෙනි, යම්සේ අන්‍යයන්ගේ නිවෙස්හි දස්කම්කරු අතැවැසි පුරුෂයනට කාඩි දෙවන කොට ඇති නිවුඩුසාලේ බත දෙනු ලැබේ ද, මහණෙනි, එලෙසින් මාගේ පිය නිවෙස්නෙහි දස්කම්කරු යටත් පුරුෂයනට මස් සහිත ඇල්සහලේ බත් දෙනු ලැබේ.
මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්‍රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
අශ්‍රැතවත් පෘථග්ජනයා තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්‍යාධිය නො ඉක්ම වූයේ ම ව්‍යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් ම ව්‍යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්‍යය නිමිති කොට යම් ආරෝග්‍යමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ ම මරණය නො ඉක්ම වූයේ ම මරණයට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. ‘මම වැලිත් මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් ම මළා වූ අනෙකක්හු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිති කොට යම් ජීවිතමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.
මහණෙනි, මේ මද තුණෙකි. කවර තුණෙක යත්: යෞවනමදය, ආරෝග්‍යමදය, ජීවිතමදයි. මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන යෞවන මදයෙන් මත්වූයේ කයින් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, සිතින් දුසිරිත් කරයි. හේ කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි. මහණෙනි, ආරෝග්‍යමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන ... ජීවිතමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන කයෙන් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, මනසින් දුසිරිත් කරයි. කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ (පව්කළහු) විවසව පතිත වන නිරයට පැමිණෙයි.
මහණෙනි, යොවුන්මදින් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. මහණෙනි, ආරෝග්‍යමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. ජීවිතමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි.
36. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තා වූ ද ජරාව ස්වභාව කොට ඇත්තා වූ ද යලි මරණය ස්වභාව කොට ඇත්තා වූ ද පෘථග්ජනයෝ (ව්‍යාධිආදි) ස්වභාවයන් නො ඉක් මැ සිටියාහු ම (මෙරමා) පිළිකුල් කරත්.
37. මම ද මෙබඳු ස්වභාව ඇති ප්‍රාණීන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, මෙබඳු ජුගුප්සාවිහරණ ඇති මට එය තරම් නො වන්නේ ය.
38. මම මෙසේ වසන්නෙම් නිර්‍වාණධර්‍මය දැන, ආරෝග්‍යයෙහි ද යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මද කෙනෙක් වෙත් නම්,
39. නිර්‍වාණයෙහි ක්‍ෂේමභාවය දැක සියලු මදයන් මැඩලූ යෙම් වෙමි. නිවන දක්නා ඒ මට උත්සාහය විය.
40. දැන් මම කාමයන් සෙවුනට භව්‍ය නො වෙමි. නො නවත්නෙම් මඟබඹසර පිහිට කොට ඇත්තෙම් වෙමි.
3. 1. 4. 10.
40. මහණෙනි, මේ ආධිපත්‍යයයෝ තුන් දෙනෙකි. කවර තුන්දෙනෙක යත්: ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය, ධර්‍මාධිපත්‍යයි.
මහණෙනි, ආත්මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘මම චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. සෙනසුන් හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. මෙසේත් භවය, මෙසේත් භවයයි ඒ ඒ සම්පත්තිභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් හා ජරාමරණයෙන් හා ශෝකයෙන් හා වැලපීමෙන් හා දුක්දොම්නසින් හා දැඩි ආයාසයෙන් හා වැදගන්නා ලදුයෙම් වෙමි. දුකට බටුයෙම්, දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙහැම දුක්රැසෙහි අවසන් කිරීමෙක් පැණෙන්නේ නම් මනාමැනු යී. තවද මම යම්බඳු වූ කාමයන් හැර ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, එබඳු වූ කාමයන් හෝ එයට වඩා ඉතා ලාමක වූ කාමයන් හෝ සොයන්නෙම් නම්, එය මට තරම් නො වන්නේය යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මවිසින් වීර්‍ය්‍යය සම්පූර්‍ණ කරණ ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ වෙයි. එහෙයින් ම නො මුළා වෙයි. කය සැහැල්ලු වෙයි. එහෙයින් ම සන්හුන් දරථ ඇත්තේ ය. සිත අරමුණෙහි පිහිටුවන ලද, එහෙයින් ම එකඟ වූයේ’ යි. හෙතෙම තමා ම අධිපති කොට අකුශලය දුරු කෙරෙයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මෙය අත්තාධිපතෙය්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, ලෝකාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වනසෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවර හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ... සෙනසුන් හේතු කොට ගෙණ හෝ ... මෙසේ මෙසේත් භවය, මෙසේත් භව යයි ඒ ඒ සම්පත්තිභවය හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් වැදගන්නා ලද්දෙම් දුකින් මඩන ලදුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ හැම දුක්රැස අවසන් කිරීමෙක් පැණේ නම් මැනැවැ යි. මම ද, වැලිත් මෙසේ පැවිදි වූයෙම් ම කාමවිතර්‍කයක් හෝ කරන්නෙම් නම් , ව්‍යාපාදවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, විහිංසාවිතර්‍කයක් හෝ කරන්නෙම් නම්, මේ ලෝකසන්නිවාසය වනාහි මහත් වූවෙකි. මහත් වූ ලෝකසන්නිවාසයෙහි ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ඇත. ඔවුහු දුරිනුදු දක්නාහ. සමීපස්ථවූවාහු නමුදු නො පැණෙන්නාහ. ඔවුන්ගේ සිතිනුදු මාගේ සිත දැන ගණිත්. තවද ඔවුහු මා මෙසේ දැනගන්නාහුය: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ලාමක අකුශලධර්‍මයන්ගෙන් ගැවසී ගත්තේ වෙසෙයි. ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ දෙවියෝ ද ඇත. ඔවුහු ද දුරින් (මා) දකිත්. සමීපස්ථවූවාහු ද (ඔවුහු) නො පැණෙත්. ඔවුහු තමන් සිතිනුදු මා සිත දැනගන්නාහ. ඔවුහු ද මා මෙසේ දැන ගන්නාහ: ‘භවත්නි, මේ කුලපුත්හු බලව, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ ම ලාමක අකුශලධර්‍මයන්ගෙන් ව්‍යාකීර්‍ණව වෙසේය’යි. හේ මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලද. එය නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේය. එහෙයින් මුළා නුවූයේ ය. නාමකය සන්හිඳුනේ ය. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේ ය’ යි. හේ ලෝකයා ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය දුරලයි, අනවද්‍යය වඩයි, පිරිසිදු කොට ආත්මය පිරිවටයි. මහණෙනි, මෙය ලෝකාධිපත්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍මාධිපත්‍යය කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වන සෙනස්නට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසේ සිතයි: ‘මම වනාහි චීවරහේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. පිණ්ඩපාත හේතුයෙන් ගිහිගෙන් නික්ම ... සෙනසුන් හේතුයෙන් ... ඉතිභවාභව හේතුයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නො වෙමි. වැලිදු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුක්දොම්නසින් දැඩි ආයාසයෙන් අවතීර්‍ණවෙමි. දුකට බටුයෙම් දුකින් මඩනා ලදුයෙම් වෙමි. මේ හැම දුක් රැස අවසන් කිරීමෙක් පැණේ නම්, ඉතා මැනව. භාග්‍යවතුන් වහන්සේ විසින් සාන්දෘෂ්ටිකවූ අකාලික වූ ‘එව බලව’ යන විධානයට නිසි වූ උපනයනයට නිසි වූ නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ නවලෝකොත්තර ධර්‍මය මොනොවට ප්‍රකාශ කරණ ලදී. මට සමාන බඹසර ඇත්තාහු වෙත් ම ය. ඔහු __මා__{1} දන්නාහු දක්නාහු වෙසෙත්. මම ද වනාහි මෙසේ ස්වාඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූයෙම් ම කුසීත ව ප්‍රමත්ත ව වෙසෙම් නම්, එය මට නිසි නොවන්නේය’ යි. හෙතෙම මෙසේ නුවණින් සලකයි: ‘මා විසින් වීර්‍ය්‍යය පුරන ලද වෙයි. එහෙයින් ම නො හැකුළුනේ වෙයි. සිහිය එළඹ සිටියේ ය. එහෙයින් ම නුමුළා වූයේ ය. නාමකය සන්හින. එහෙයින් ම දරථ රහිත වෙයි. සිත සමාධිගත වූයේ ය. එහෙයින් ම එකඟ වේය’ යි. හෙතෙම ධර්‍මය ම අධිපති කොට අකුශලය හැරලයි, කුශලය වඩයි, සාවද්‍යය හැරලයි, අනවද්‍යය වඩයි, පිරිසුදු වූ ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මෙය ධර්‍මාධිපත්‍ය යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ආධිපත්‍යයෝ තුන් දෙන යහ.
41. පව්කම් කරණුවහට ලොව්හි රහසෙක් නම් නැත. පුරුෂය, තාගේ ආත්මය (හිත) එය සැබවෙක් ද, නැතහොත් මුසායෙක් දැයි දන්නේ යි.
42. යම් බඳු වූ තෝ තමා කෙරෙහි ඇත්තාවූ ම පව තමාට සඟවන්නෙහි ද? පින්වත, තමා ඉක්මවා හඟනෙහි ද? මැනවෙක් වනාහි ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂය.
43. යම් හෙයෙකින් ලොව්හි විෂම ලෙස හැසිරෙන්නා වූ බාලයා දෙවියෝ ද තථාගතවරු ද දකිත් ද එහෙයින් ම සිහි ඇත්තාවූ ද තන්වැසි නුවණැත්තා වූ ද ධ්‍යාන කරණ සුලුවූ ද ධර්‍මය අනුව හැසිරෙන්නා වූ ද සත්‍යපරාක්‍රම ඇත්තාවූ ද යම් මහණෙක්
44. ප්‍රධන් වීර්‍ය්‍යය ඇත්තේ මාරයා මැඩ අන්තකයා අභිභවනය කොට රහත් බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ද, අත්තාධිපති වූ ද ලෝකාධිපති වූ ද ධර්‍මාධිපති වූ ද ලෝකය දැනගත්තා වූ මනා නුවණැත්තා වූ එබඳු මුනි තෙම සියලු ත්‍රෛභූමික ධර්‍මයන්හි තම්මය නම් වූ තෘෂ්ණායෙන් තොර වූයේ ලෝකය දැනගත්තේ, නො පිරිහේ ය යී.
සතරවන දේවදූත වර්‍ගය යි.
[5. චූල වර්‍ගය]
[සැවැත්නිදාන යි]
3. 1. 5. 1.
41. මහණෙනි, තුන් දෙනකුන්ගේ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. කවර තිදෙනකුගේය යත්: මහණෙනි, සැදැහැ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. මහණෙනි, දේයධර්‍ම හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, දක්‍ෂිණාර්‍හයන්ගේ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, මෙ කරුණු තුණ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය.
3. 1. 5. 2.
42. මහණෙනි, මේ කරුණු තුණෙකින් පහන් වූ සැදැහැතියේ දතයුතු වේ. කවර තුණෙකින යත්: සිල්වතුන් දක්නා කැමැතියේ වෙයි, සදහම් අසනු කැමැතියේ වෙයි, වුහුටු ත්‍යාග ඇත්තේ දීමෙහි දෙවි අත් ඇතියේ හැරපීමෙහි ඇලුනේ යදනට නිසිවූයේ දන් හා සංවිභාගයෙහි ඇලුනේ පහ වූ මසුරු මලින් යුත් සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මේ තෙකරුණින් යුක්ත වූයේ පහන් වූ සැදැහැතියේ යි දත යුතුයි.
45. සිල්වතුන් දක්නට කැමැතියේ වේ ද, සදහම් අසන්නට කැමැති වේ ද, මසුරුමල දුරලා වෙසේ ද, හේ ඒකාන්තයෙන් සැදැහැත්තේ ය යි කියනු ලැබේ.
3. 1. 5. 3.
43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් ධර්‍මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
3. 1. 5. 4.
44. මහණෙනි, කරුණු තුණෙකින් කථාව පවත්නී වෙයි. කවර තුණෙකින යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් දහම් අසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වේ. යමෙක් එ දහම් දෙසා නම්, යමෙක් දහම් අසා නම්, යන දෙදෙන ම අටුවා දන්නෝත් පෙළදහම් දන්නෝත් වෙති. මහණෙනි, මේ කරුණු තුණෙන් කථාව පවත්නී වේ යයි.
3. 1. 5. 5.
45. මහණෙනි, පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද. මහණෙනි, මවුපියඋවටන පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, මොහු තිදෙන පණ්ඩිතයන් විසින් පණවන ලද්දාහු සත්පුරුෂයන් විසින් පණවන ලද්දාහු වෙති යි.
46. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇති සත්පුරුෂයන්ගේ දානය ද අහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියසංවරය ද මවුපිය උවටන ද යන මේ සත්පුරුෂයන් විසින් පණවන ලද වෙයි.
47. පණ්ඩිත තෙමේ සත්පුරුෂයන් පිළිබඳ වූ යම්බඳු මේ තුන් කරුණු සෙවුනේ නම්, දර්‍ශන සම්පන්න වූ ඒ ආර්‍ය්‍ය තෙම දෙව්ලොව සෙවුනේ යි.
3. 1. 5. 6.
46. මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.
3. 1. 5. 7.
47. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි.
3. 1. 5. 8.
48. මහණෙනි, ප්‍රත්‍යයයන් විසින් නො සකස්කළහු (නිර්‍වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්‍යය නොපැණෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්‍මයා) ගේ මේ අසංස්කෘත ලක්‍ෂණ තුණයි.
3. 1. 5. 9.
49. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, එලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම සැදැහැති කුලදෙටුහු නිසා ඇතුළු දෙනේ තුන් වැඩුමෙකින් වැඩෙයි. කවර තුණෙකින යත්: සැදැහැයෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි, ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළු දෙනේ මේ තුන් වැඩුමින් වැඩෙයි.
48. නොගම් මහවෙනෙහි ගල්පව්වෙක් යම්බඳු වේ නම්, එය ඇසුරු කොට ගෙණ ඒ වනදෙටු වෘක්‍ෂයෝ වැඩෙත්.
49. එපරිදි ම මෙහි සැදැහැති සිල්වත් කුලදෙටුහු ඇසුරු කොට ගෙණ අඹුදරුවෝ ද, බන්‍ධුහු ද, සගයෝ ද, නෑ සමූහයෝ ද යම් අනුජීවීහු වෙත් නම්, ඔහු ද වැඩෙත්.
50. යම් විචක්‍ෂණ කෙනෙක් වෙත් නම්, ඔහු ඒ සිල්වත්හුගේ ශීලය හා ත්‍යාග්‍ය හා සුචරිත හා දක්නාහු ඔහු අනුව ක්‍රියා කෙරෙත්.
51. මෙලොව සුගතිගාමී මාර්‍ගය වන කුසල් දහම් පුරා (කර්‍මනන්‍දනායෙන්) සතුටු වූවාහු පස්කම් සැප කැමැත්තාහු දෙව්ලොව දී (විපාක මෝදනායෙන්) සතුටු වෙත්.
3. 1. 5. 10.
50. මහණෙනි, කරුණු තුණෙකින් වීර්‍ය්‍යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නූපදීම පිණිස වීර්‍ය්‍යය කට යුතු. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කට යුතු. උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුය.
මහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයන් ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වැර කෙරේ ද, මහණෙනි, මේ මහණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාරිහාරික නුවණින් නුවණැත්තේ ස්මෘති සම්පන්න වූයේ මොනොවට දුක් නසනු පිණිස පිළිපන්නේ යි කියනු ලැබේ.
3. 1. 5. 11.
51. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි. වොලොගැණුම් ද කරණේයි. එක් ගෙයක් පැහැර ගැණුම් ද කරණේයි. කඩපලා සොරකමෙහි ද යෙදෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමස්ථාන ඇසුරු කෙළේ ද වෙයි, වනලැහැබ් ඇසුරු කෙළේ ද වෙයි. බලවතුන් ඇසුරු කෙළේ ද වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් විසමතැන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙලොව්හි මහසොර නදී විදුර්‍ගයක් හෝ පර්‍වත විෂම ස්ථානයක් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර විෂමස්ථානයන් ඇසුරු කෙළේ වේ.
මහණෙනි, කෙසේ නම් මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර තණ ලැහැබ් හෝ රුක් ලැහැබ් හෝ මහවන ලැහැබ් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි.
මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්‍ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙ යි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි.