10. 3. 1. 7.
ධෝවන සූත්‍රය
[සැවැත්]
මහණෙනි, දක්‍ෂිණජනපදයෙහි ධෝවන නම් නැකැත් කෙළියෙක් ඇත. මහණෙනි, එ නකත් කෙළියෙහි අන්න හා පාන හා ඛාද්‍ය භෝජ්‍ය හා ලෙහ්‍ය හා පෙය හා නෘත්‍ය හා ගීත හා වාදිත්‍ර හා වෙයි. මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්‍රාම්‍යය, පුහුදුනන් අයත්ය, අනාර්‍ය්‍යය, අනර්‍ත්‍ථ ඇසුරු කෙළේය. නිර්වේදය සඳහා නො වෙයි, විරාගය සඳහා නො වෙයි, නිරෝධය සඳහා නො වෙයි, ක්ලේශව්‍යුපශමය සඳහා නො වෙයි. අභිඥා සඳහා නො වෙයි, සම්බෝධිය සඳහා නො වෙයි, නිර්‍වාණය පිණිස නො වැටෙයි.
මහණෙනි, මම ද යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපශමය පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්හු ජාතියෙන් මිදෙත් නම් ජරාස්වාභාව ඇති සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණස්වාභාව ඇති සත්හු මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාස සැහැවි කොට ඇති සත්හු ශෝක, පරිදේව, දුක් දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍ය ධොවනයක් දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමි යි. ‘එසේය, වහන්සැ’යි එ මහණහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භගවත්හු තෙල වදාළහ:
මහණෙනි, යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදයට විරාගයට, නිරෝධයට, ව්‍යුපශමයට, අභිඥාවට, සම්බෝධයට, නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාස ධර්‍ම සත්ත්‍වයෝ සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යධොවනය කවර යත්:
මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය නිරවශේෂයෙන් දෝනාලදු වෙයි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිරවසෙස්නෙන් දෝනාලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහු විසින් මිථ්‍යාසංකල්පය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්වාක් ඇතියහු විසින් මිථ්‍යාවචනය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යගාජීව ඇත්තහු විසින් මිථ්‍යාආජීවය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාම නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය නිර්ධෞත වෙයි. … මහණෙනි, සම්‍යග්ඥානය ඇතියහු විසින් මිථ්‍යාඥානය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්ති ඇත්තහු විසින් මිථ්‍යාවිමුක්තිය නිර්ධෞත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුසල් දහම්හු උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිර්ධෞත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුසල් දහම්හු ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, යම් ධොවනයෙක් ඒකාන්ත නිර්වේදයට - විරාගයට නිරෝධයට - ව්‍යුපමශයට - අභිඥාවට - සම්බෝධියට නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණස්වභාව ඇති සත්ත්‍වයෝ මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස සැහැවි කොට ඇති සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයන්ගෙන් මිදෙත් නම්, එ යයි.
10. 3. 1. 8.
තිකිච්ඡක සූත්‍රය
මහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමෙන් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද විරේචන දෙත්. මහණෙනි, තෙල විරේචනය ඇත, ‘තෙල නැතැ’යි නොකියමි. මහණෙනි, තෙල විරේචනය සම්පද්‍යමාන හෝ විපද්‍යමාන හෝ වෙයි.
මහණෙනි, මම ද යම් විරේචනයෙක් සම්පද්යමාන ම වේ නම් විපද්‍යමාන නොවේ නම්, යම් විරේචනයකට පැමිණ ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු ද, ජරාස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු ද, මරණස්වභාව කොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු ද, ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකපරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයෙන් මිදෙන්නාහු ද, එබඳු ආර්‍ය්‍ය විරේචනයක් දෙසම්. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමැයි. ‘එසේය වහන්සැ’යි එ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ දෙසූහ:
මහණෙනි, යම් විරේචනයට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝකපරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙන්නාහු නම් එ ආර්‍ය්‍ය විරේචනය කවර:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය විරික්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහුට මිථ්‍යාසංකල්පය විරික්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවචනය විරික්ත වෙයි. ... සම්‍යග්කර්‍මාන්තයට මිථ්‍යාකර්‍මාන්තය විරික්ත වෙයි. ... සම්‍යාගජීව ඇත්තහු විසින් මිථ්‍යාජීවය විරික්ත වෙයි. ... සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාමය විරික්ත වෙයි. ... සම්‍යක්ස්මෘති ඇත්තහු විසින් මිථ්‍යාස්මෘතිය විරික්ත වෙයි. ... සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය විරික්ත වෙයි. ... සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය විරික්ත වෙයි. ... සම්‍යග්විමුක්ති ඇතියහු විසින් මිථ්‍යාවිමුක්ති විරික්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහු ද විරික්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් අනේක කුශල ධර්‍මයෝ ද භාවනාවෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, යම් විරේචනයෙක් සම්පද්යමාන ම වේ නම් විපද්‍යමාන නො වේ නම් යම් විරේචනයෙකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහු නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙන්නාහු නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙන්නාහු නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි වෙහෙසින් මිදෙන්නාහු නම්, මෙ එ ආර්‍ය්‍ය විරේචනයයි.
10. 3. 1. 9.
වමන සූත්‍රය
මහණෙනි, චිකිත්සකයෝ පිතින් උපදනා ආබාධයන් නසනුවට ද සෙමින් උපදනා ආබාධයන් නසනුවට ද වාතයෙන් උපදනා ආබාධයන් නසනුවට ද වමන බෙහෙත් දෙත්. මහණෙනි, තෙල වමන ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල වමන බෙහෙත් සම්පද්‍යමාන ද වෙයි, විපද්‍යමාන ද වෙයි.
මහණෙනි, යම් වමනයක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම් යම් වමන බෙහෙතකට පැමිණ ජාතිධර්‍ම සත්හු ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්හු මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසධර්‍ම සත්හු සෝ, වැලපීම්, දුක්, දොම්නස් දැඩි උපායාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍යවමනයක් දෙසන්නෙමි. එ අසව, -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම් ආර්‍ය්‍යවමනයෙක් සම්පද්‍යමාන ම වේ නම් විපද්‍යාමාන නොවේ නම්, යම් වමනයකට පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යවමනය කවර:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය වාන්ත වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්තයහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් අනේක කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක් සංකල්පඇතියහු විසින් මිථ්‍යාසංකල්පය වාන්ත වෙයි. ... සම්‍යග්වචන ඇතියහු විසින් මිථ්‍යාවාක් වාන්ත ය .... සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය වාන්තය. ... මහණෙනි, සම්‍යගාජීවය ඇතියහු විසින් මිථ්‍යා ආජීවය වාන්තය. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහු විසින් මිථ්‍යාව්‍යායාමය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘතිය ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධිය ඇතියහු විසින් මිථ්‍යාසමාධිය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්ඥාන ඇතියහු විසින් මිථ්‍යාඥානය වාන්ත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්තිය ඇතියහු විසින් මිථ්‍යාවිමුක්තිය වාන්ත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු අනේක ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු වාන්ත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, යම් වමන සම්පද්‍යමාන ම වේ නම්, විපද්‍යමාන නොවේ නම්, යම් වමනකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම් ... ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ සෝ වැලපුම් දුක් දොම්නස් දැඩි වෙහෙසින් මිදෙත් නම් මේ ඒ ආර්‍ය්‍යවමනය යි.
10. 3. 1. 10.
නිද්ධමනිය සූත්‍රය
මහණෙනි, මේ නිර්ධමනිය ධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය පහ කෙළේ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් උහුදු පහකරන ලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
මහණෙනි, සම්‍යක්සංකල්ප ඇතියහු විසින් මිථ්‍යාසංකල්පය පහ කෙළේවෙයි ... මහණෙනි, සම්‍යග්වාත් ඇතියහු විසින් මිථ්‍යාවාක් පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්ත පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යගාජීව ඇතියහු විසින් මිථ්‍යාජීවය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහු විසින් මිථ්‍යාව්‍යායාමය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහු විසින් මිථ්‍යාස්මෘති පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යක්සමාධිය ඇතියහු විසින් මිථ්‍යාසමාධිය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්ඥානය ඇතියහු විසින් මිථ්‍යාඥානය පහ කෙළේ වෙයි ... මහණෙනි, සම්‍යග්විමුක්ති ඇතියහු විසින් මිථ්‍යාවිමුක්තිය පහ කෙළේ වෙයි ... මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, උහුදු ඔහු විසින් පහකරන ලදහු වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මොහු දසදෙන නිද්ධමනිය ධර්‍ම වෙත්.
10. 3. 1. 11.
අසේඛ සූත්‍රය
එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
වහන්ස, අසේඛයා, අසේඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසේඛ වේ දැ යි?
මහණ, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්සංකල්පයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්වචනයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යගාජීවයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ව්‍යායාමයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ස්මෘතියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්ඥානයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්විමුක්තියෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසේඛ වේ යයි.
10. 3. 1. 12.
අසේඛියධම්ම සූත්‍රය
මහණෙනි, මෙ අසෙඛියධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා ය, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසතිය ය, අසේඛ සම්මාසමාධිය ය, අසේඛ සම්මාඤාණය ය, අසේඛ සම්මාවිමුක්ති යයි. මහණෙනි, මොහු දස අසේඛිය ධර්‍මයෝ යි.
පළමුවැනි සමණසඤ්ඤා වර්‍ග යි.
එහි උද්දානය:
සඤ්ඤා ය, බොජ්ඣඞ්ග ය, මිච්ඡත්ත ය, බීජය, විජ්ජා ය, නිජ්ජරා ය, ධෝවන ය, තිකිච්ඡා දෙකය, නිද්ධමන ය, අසේඛ සූත්‍ර දෙකදැයි දොළොසෙකි.
2. පච්චෝරෝහණි වර්‍ගය
10. 3. 2. 1.
පඨම අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දතයුතු, ධර්‍ම හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති ය යි. මහණෙනි, මේ අධර්‍මය හා අනර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ හා කවරේ ය යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති ය යි. මහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ යයි කියනු ලැබේ.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දත යුතු ය, ධර්‍මය හා අර්‍ත්‍ථය හා දත යුතුය, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වෙ නම් එපරිදි පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියනලද නම්, තෙල මෙ පිණිස කියන ලදැ යි.
10. 3. 2. 2.
දුතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුතු: අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ නම් පිළිපැදිය යුතුයි.
මහණෙනි, අධර්‍මය කවරේය, ධර්‍මය කවරේය, අනර්‍ත්‍ථය කවරේය, අර්‍ත්‍ථය කවරේය යත්:
1. මහණෙනි, මිච්ඡාදිට්ඨිය අධර්‍මයි, සම්මාදිට්ඨිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ වෙයි.
2. මහණෙනි, මිථ්‍යාසංකල්පය අධර්‍මයි, සම්‍යක්සංකල්පය ධර්‍ම යි. මිථ්‍යාසංකල්ප ප්‍රත්‍යයෙන් යම් ම නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්සංකල්ප ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
3. මහණෙනි, මිථ්‍යාවාක් අධර්‍මයි, සම්‍යග්වාක් ධර්‍ම යි. මිථ්‍යාවාක් ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්වාක් ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
4. මහණෙනි, මිථ්‍යාකර්‍මාන්තය අධර්‍මයි, සම්‍යක්කර්‍මාන්තය ධර්‍ම යි. මිථ්‍යාකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්කර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
5. මහණෙනි, මිථ්‍යාආජීවය අධර්‍මයි, සම්‍යගාජීවය ධර්‍ම යි. මිථ්‍යාජීව ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යගාජීව ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
6. මහණෙනි, මිථ්‍යාව්‍යායාමය අධර්‍මයි, සම්‍යග්ව්‍යායාමය ධර්‍ම යි. මිථ්‍යාව්‍යායාම ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ව්‍යායාම ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
7. මහණෙනි, මිථ්‍යාස්මෘතිය අධර්‍මයි, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යි. මිථ්‍යාස්මෘති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ස්මෘති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
8. මහණෙනි, මිථ්‍යාසමාධිය අධර්‍මයි, සම්‍යක්සමාධිය ධර්‍ම යි. මිථ්‍යාසමාධිය ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්සමාධි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
9. මහණෙනි, මිථ්‍යාඥානය අධර්‍මයි, සම්‍යග්ඥානය ධර්‍ම යි. මිථ්‍යාඥාන ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්ඥාන ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලදහම්හු භාවනායෙන් පිරිපුන්බවට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
10. මහණෙනි, මිථ්‍යාවිමුක්තිය අධර්‍මයි, සම්‍යග්විමුක්තිය ධර්‍ම යි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ යි. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුත්තේ ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුත්තේ ය, අධර්‍මය ද දැන, ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය දැන අර්‍ත්‍ථය ද දැන, දහම් යම් පරිදි නම් එසේ පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මෙ නිසා කියන ලදැ යි.
10. 3. 2. 3.
තතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි නම්, එපරිද්දෙන් පිළිපැදිය යුතු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟි විහාරයට වැඩි සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම එ මහණුන්ට තෙල සිත විය: ඇවැත්නි, අපහට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එසෙයින් පිළිපැදිය යුතු යි” යන මෙ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟි විහාරයට වැඩියහ. කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විභාග කරන්නේ දැ”යි.
එකල්හි එ මහණුන්හට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදා දක්වන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වන්නාහ.
“ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට ව්‍යාකරණ කරත් ද එ පරිද්දෙන් එය දරන්නමෝ නම් යෙහෙකැ”යි.
ඉක්බිති එ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ:
ඇවැත් ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු’යි යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විතර විසින් අර්‍ත්‍ථය නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නොබෝ කල්වත් ම තෙල සිත විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එ පරිදි පිළිපැදිය යුතු ය’ යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් අර්‍ත්‍ථය බෙදා දක්වන්නේ දැ’යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය: “මෙ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වනාහි ශාස්තෘන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදනට පොහොසත් ද වෙත්. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල කරුණ පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි ව්‍යාකරණ කරන්නහු ද එ පරිදි දරන්නමෝ නම් යෙහෙකැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා දක්වත්වා යි.
ඇවැත්නි, හර කැමැති පුරුෂයෙක් හර සොයනුයේ සාරපර්‍ය්‍යෙෂණ කරනුයේ සිටුනා හර ඇති මහරුක්හුගේ මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හර සෙවිය යුතු කොට හඟනේ යම් සේ නම්, මෙ එබඳු උපමා සම්පත් ඇත්තෙකි. ආයුෂ්මත්හට ශාස්තෘන් සම්මුඛ වත් ම එ භාග්‍යවත්හු ඉක්ම තෙල කරුණ අප පිළිවිසිය යුතු කොට හඟනාහු ය. ඇවැත්නි, දන්නා වූ එ භාග්‍යවතුන් වහන්සේ දනිත්ම ය, දක්නාහු දක්නාහුම ය. තථාගතයන් වහන්සේ චක්‍ෂූර්භූතයහ, ඥානස්වභාව ඇතියහ, ධර්‍මස්වභාව ඇතියහ, ශ්‍රේෂ්ඨ ස්වභාව ඇතියහ, වක්තෘහ, ප්‍රවර්‍තනයෙහි සමර්‍ත්‍ථයහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දාතෘහ, ධර්‍මස්වාමීහ. තෙල කරුණ සඳහා එම කල් විය. එහෙයින් තෙපි එ භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තොපට ව්‍යාකරණ කෙරෙත්නම්, එ පරිද්දෙන් එය දරව යි.
ඇවැත් ආනන්‍දයෙනි, එකැතින් දන්නාහු ම භාග්‍යවත්හු දනිති, දක්නාහු දකිත්, චක්‍ෂූර්භූතයහ, ඥානභූතයහ, ධර්‍මභූතයහ, බ්‍රහ්මභූතයහ, වක්තෘහ, ප්‍රවර්තෘහ, අර්‍ත්‍ථයාගේ නිර්නේතෘහ, අමෘතයාගේ දෘතෘහ, තථාගතයෝ ධර්‍මස්වාමීහ. යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ කරා ම එළැඹ පුළුවුස්නමෝ නම්, යම් පරිද්දෙකින් අපට භාග්‍යවතුන් වහන්සේ ව්‍යාකරණ කරන සේක් නම් එසෙයින් දරනමෝ නම්, තෙල කරුණ සඳහා එ ම කල් විය. වැලිත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ, විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් විභජනයට සමත්හ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට විභජනය කරත්ව යි.
ඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව. දෙසන්නෙමැ යි. ‘ඇවැත්නි, එසේ’යයි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතුය”යි යම් ම උද්දේශයක් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථවිභජනය නො කොට හුනස්නෙන් නැග විහාරයට වන්හු නම්:
ඇවැත්නි, අධර්‍ම කවරේ ය, ධර්‍මය ද කවරේ ය, අනර්‍ත්‍ථය ද කවරේ ය, අර්‍ත්‍ථය කවරේ ය යත්:
ඇවැත්නි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම වෙයි, සම්‍යග්දෘෂ්ටිය ධර්‍මය වෙයි, මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි, සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම්, මෙ අර්‍ත්‍ථ වේ.
ඇවැත්නි, මිථ්‍යාසංකල්පය අධර්‍මයි, සම්‍යක්සංකල්පය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවාක් අධර්‍මයි, සම්‍යග්වාක් ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාකර්‍මාන්තය අධර්‍මයි, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාආජීවය අධර්‍මයි, සම්‍යගාජීවය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාව්‍යායාමය අධර්‍මයි, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාස්මෘතිය අධර්‍මයි, සම්‍යක්ස්මෘතිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාසමාධිය අධර්‍මයි, සම්‍යක්සමාධිය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාඥානය අධර්‍මයි, සම්‍යග්ඥානය ධර්‍මයි ... ඇවැත්නි, මිථ්‍යාවිමුක්තිය අධර්‍මයි, සම්‍යග්විමුක්ති ධර්‍මයි ... මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මෙ අනර්‍ත්‍ථ යි. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මෙ අර්‍ත්‍ථ යි.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එ පරිද්දෙන් පිළිපැදිය යුතු ය’යි යන මේ යම් උද්දේශයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හු නම්, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දනිම්. ඇවැත්නි, තෙපි කැමතිවන්නාහු නම්, භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවත්හු තොපට යම් ලෙසෙකින් ව්‍යාකරණ කරත් නම්, එලෙසින් එ දරව යි.
“ඇවැත්නි, එසේය”යි එ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව හුනස්නෙන් නැග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය’යි යම් උද්දේසයක් සැකෙවින් විතර විසින් අරුත් නොබෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන් සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම තෙල සිත විය. ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතුය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතුය, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු ය’යි යන මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ”යි. වහන්ස, ඒ අපට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්‍ණණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදනට පොහොසත් ද වෙති. ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි අපට ව්‍යාකරණ කෙරෙත් නම් එසෙයින් එම දරන්නමෝ නම් මැනැවැ”යි.
වහන්ස, ඉක්බිති අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියම්හ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුසුම්හ. වහන්ස, එ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් මේ අයුරින් මෙ පෙදෙන් මෙ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය සුවිභක්තය යි.
මහණෙනි, මැනව, මැනව. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහාප්‍රාඥයහ. මහණෙනි, ඉදින් තෙපි මා කරා එළඹ තෙල අරුත් පුළුවුස්නාහු නම් මම ද තෙල කරුණ ආනන්‍දයන් විසින් එය යම් පරිදි ව්‍යාකෘත නම් එපරිදි ම විවරණ කරමි. තෙල භාෂිතයාගේ තෙල අරුත් ම ය. එසෙයින් ම එය දරව යි.
10. 3. 2. 4.
අජිත සූත්‍රය
එකල්හි අජිත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් අජිත පරිව්‍රාජක භගවත්හට තෙල කීය.
භවත් ගෞතමයෙනි, අපගේ පණ්ඩිත නම් සබ්‍රම්සරෙක් ඇත. ඔහු විසින් යම් චිත්තෝත්පාද කෙනෙකුන් කරණ කොට ගෙන අන්‍යතීර්‍ත්‍ථකයෝ නිගන්නාලදහු නිගන්නා ලදුම්හයි දනිත් නම් එබඳු පන්සියක් පමණ චිත්තෝත්පාදයෝ සිතන ලදහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි පණ්ඩිත වස්තූන් දරවුදැ”යි.
භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරනසේක් නම් භාග්‍යවත්නි, තෙල සඳහා මෙ කලි, සුගතයෙනි, තෙල සඳහා මෙ කලි, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු දරත්හ යි.
මහණෙනි, එහෙයින් ම අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි.
වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් අධාර්මිකවාදය නිගන්නේ ය, වෙසෙසින් පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද්රඤ්ජිත කරනේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ හඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය දැඩි කොට නිගන්නේ ය, දැඩි කොට පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය, භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් අධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගනී, දැඩි ව පෙළ යි. එයින් ම අධාර්මික පර්‍ෂද් රඳනේ ය. ඒ කරුණින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මිකවාදයෙන් ධාර්මිකවාදය ද අධාර්මිකවාදය ද දැඩි ව නිගන්නේ ය, දැඩි ව පෙළන්නේ ය. එයිනුදු අධාර්මික පර්‍ෂද් කැඳවන්නේ ය. එයින් ඒ අධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය”යි උස්හඬ මහහඬ ඇති වෙයි.
මහණෙනි, මෙ ලොව්හි එකෙක් ධාර්මික වාදයෙන් ධාර්මිකවාදය තදින් නිගනී, තදින් පෙළයි. එයිනුදු ධාර්මික පර්‍ෂද් රඳවයි. එයින් ඒ ධාර්මික පර්‍ෂද් “භවත්නි, එකැතින් පණ්ඩිත ය. භවත්නි, එකැතින් පණ්ඩිත ය” යි උස්හඬ ඇති මහ හඬ ඇති වෙයි.
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන දහම් යම් පරිදි වේ නම් අරුත් යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය කවර? ධර්‍මය ද කවර? අනර්‍ත්‍ථය කවර? අර්‍ත්‍ථය ද කවර?
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය අධර්‍ම යි. සම්‍යක්දෘෂ්ටිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්ත්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.