Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14601-14700 න් 15980

එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
උපාලි, ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්‍රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත ඒකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්‍යයන් හි වනපෙත් හා ප්‍රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.
උපාලි, යම් සේ මහ දිය විලෙක් වේ නම්, එකල සත්රියන් වේ වයි, අටරියන් වේ වයි, හස්ති නාගයෙක් එයි නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම මෙ දිය විලට බැස කණ්ණසන්‍ධොපික (කන් දෙවුන් කෙළි) නම් ක්‍රීඩා ද කෙළනෙම් පිට්ඨිසන්‍ධොකපික (පිටදෙවුන්) නම් ක්‍රීඩාව ද කෙළනෙම් නම් කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කොට ස්නාන ද කොට පැන්පීම ද කොට ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් යෙහෙකැ”යි. හේ මහදිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනේ ය, පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කෙළනේ ය. කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ද ක්‍රීඩා ද කොට සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යන්නේ ය. එ කවර හෙයින යත්: උපාලි, මහත් වූ ම ආත්මභාවයෙක් ගැඹරෙහි ප්‍රතිෂ්ඨා විඳුනේය.
ඉක්බිති ශශකයෙක් වේව යි විඩාලයෙක් වේ වයි එන්නේය. ඔහට මෙ සිත වන්නේ ය. මම් කවරෙකිම්? ඇත් නා කවරෙක? මම් මෙ මහ දිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනෙම්, පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළෙනම්, කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් මැනැවැ”යි. හේ දිය විලට වහා නොපස්විකා පනනේ ය.
‘ගිලෙනුයේ හෝ ඉල්පෙනුයේය’ යන තෙල ඔහු විසින් කැමැති විය යුතු. හෙ කවරහෙයින යත්: උපාලි, ලඝු වූ ශරීරාත්මභාවය ගැඹරෙහි ප්‍රතිෂ්ඨා නො විඳුනේ ම ය. උපාලි, එපරිද්දෙන් ම යමෙක් මෙසේ කියා නම්: “මම සමාධි නො ලබනුයෙම් අරන හා පෙත් හා ප්‍රාන්ත සෙනසුන් සෙවුනෙමි”යි ඔහු විසින් “ගිලෙයි හෝ ඉල්පෙයි හෝ” යන තෙල කැමැති වියුතු.
උපාලි, ළදරු උඩුකුරුව හෝනා බොළඳ කුමරෙක් යම්සේ සිය මලමූයෙන් කෙළනේ නම්, උපාලි, ඒ කුමැයි හඟුව? මෙ හැම පිරිපුන් බාල ක්‍රීඩායෙක් නො වේ ද? වහන්ස, එසේය.
උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල්) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.
උපාලි, එ කුමරු ම පසු කලෙක වැඩිවිය පත්ව ව ඉන්‍ද්‍රිය පරිපාකයට ගොස් පස්කම් ගුණෙන් සමර්පිත වූයේ සමග වූයේ ඉෂ්ට කාන්ත මනාප චක්‍ෂුර්විඥේය වූ කාමෝපසංහිත වූ රැඳැවිය යුතු රූපයන්ගෙන් පරිචරණ කරයි. ශ්‍රෝතවිඥේය ශබ්දයෙන්, ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙන්, ජිහ්වාවිඥේය රසයෙන්, කායවිඥේය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමයට හිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් පරිචරණය කරයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ ක්‍රීඩා පළමු ක්‍රීඩායෙන් වඩා උතුම් වූයේ ප්‍රණීතතර වූයේත් නො වේ ද?
වහන්ස එසේය.
උපාලි, මෙ ලොව්හි අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙව් මිනිස්නට ශෘස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනාහුය. උහු දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, මහණ බමුණන් සහිත සත්ත්‍වයන් ඇති සදේව මානුෂ මෙ ලොව තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්වන්නාහ. උහු ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ ධර්‍ම දේශනා කරත්. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පළට කරත්. එ ධර්‍මය ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නේ වේව යි අසන්නේ ය. හෙ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ගෘහවාසය සම්බාධය, කෙලෙස් මගෙක පැවිද්ද අභ්‍යවකාශය වේ. ඒකාන්ත පරිපූර්‍ණ වූ ලියූ සකක් සෙයින් ඒකාන්තපරිශුද්ධ වූ මෙ බඹසර වස්නට ගිහිගෙයි වසනුවහු විසින් සුකර නො වෙයි. ඉඳින් මම් කෙහෙමස් බහා කහවත් පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැයි. හේ පසු කල්හි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරැදමා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරදමා අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා කේමස් බහා කහවත් පෙරැවැ ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනේ ය.
හෙ මෙසේ පැවිදි වූයේ ම භික්‍ෂූන්ගේ ශික්‍ෂා සාජීවයට පැමිණියේ පණිවා හැරැ පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සත් ඇතියේ ලදැතියේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණිභූතයනට හිතානුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරැදමා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැත්තේ නො සොර පිවිතුරු ආත්මයෙන් වාසය කරයි. අබ්‍රම්සර හැරැදමා බ්‍රම්සර ඇතියේ ආරාචාරී වූයේ ගැමිදම් වන මෙවුන්දමින් වැළැකියේ වෙයි. මුසවා හැරැදමා මුසවායෙන් වැළැකියේ සත්‍යය කියනසුළුයේ සත්‍යසන්‍ධ වූයේ තථධර්‍මයෙන් යුක්ත වූයේ හැදැහිය හැකි (කථා ඇතියේ ලෝකයාට අවිසංවාදක) වූයේ වෙයි. පිසුනු බස් හැරැදමා පිසුනු බසින් වැළැකියේ වෙයි.
මොවුන්ගේ භේදය පිණිස මෙතැන්හි අසා අසෝතන්හි නො කියනුයේ අසෝ තන්හි හෝ අසා අසුකයන්ගේ බිඳුම සඳහා මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමගි වූවන් සමගි කරණුයේ සමගි වූවනට අනුබල දෙන්නේ සමගියෙහි ඇලුම් ඇත්තේ සමගියෙහි රැඳුනේ සමගියෙන් සතුටුවනුයේ සමගි කරණ සුළු බස් කියන්නේ වෙයි. පරොස් බස් හැරැදමා පරොස් බසින් වැළැකියේ වෙයි. නිදොස්, කණට සුව දෙන, පෙම් දනවන, සුවසේ ලගන්නා ගුණෙන් පිරිපුන්, බහුජනකාන්ත වූ බහුජනමනාප වූ යම් බසක් වේ නම් එබඳු බස් කියන්නේ වෙයි. සම්ප්‍රඵලාප හැර දමා සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. කාල වාදී වූයේ සැබෑ කියනුයේ දෘෂ්ට ධාර්මික - සාම්පරායික අර්‍ත්‍ථයම කියන සුලුයේ නව ලොවුතුරු දහම් ම කියන සුලුයේ සංවර, පහාන විනය පිණිස බස් කියනුයේ නිධානවත් වදන් සුදුසු කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට කියනුයේ වෙයි.
භූතගාම බීජගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. රාත්‍රිභෝජනයෙන් දුරු වූයේ විකල් බොජුනෙන් වැළැකියේ ඒකභක්තික වෙයි. නැටුම් ගැයුම් විසුලු දස්නෙන් බොජුනෙන් වැළැකියේ වෙයි. මල් ගඳ විලෙවුන් දැරුම් උනුතැන් පිරවීම් සිරුරු සැරැහුම් යන කරුණින් වැළැකියේ වෙයි. උසස්නෙන් හා මහස්නෙන් වැළැකියේ වෙයි. රන් රිදී පිළි ගැනුමෙන් වැළැකියේ වෙයි. ආමක ධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දැසි දස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු වන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කුකුළුන් හා හූරන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් ගෙරි අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කෙත් වත් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දූතගමන ප්‍රහෙණගමනෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රයෙන් වැළැකියේ වෙයි. තුලා කූට, කංස කූට, මාන කූටයෙන් වැළැකියේ වෙයි. ලස්ගෙන හිමියන් අහිමියෙන් කිරීමය, වඤ්චනාය, මායායෝගය යන මෙදැයින් වැළැකියේ වෙයි. ඡේදනය, මරණය බන්‍ධනය, මං පැහැරීමය, ගම් පැහැරීමය, සාහසික ක්‍රියාය යන මෙයින් වැළැකියේ වෙයි.
හේ කායපාරිහාරක චීවරයෙනුදු කුච්ඡිපාරිහාරික පිඬුවායෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම්, රැගෙන ම යෙයි. යම් පරිදි පක්‍ෂි ශකුනයෙක් යම් ම දිගෙක ඉගිල යේ නම් සපත්‍රහාරව ම ඉගිල යෙයි ද එසෙයින් මහණ කායපාරිහාරික චීවරයෙනුදු කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම් රැගෙන ම යෙයි. හේ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳුනේය.
හේ චක්‍ෂුසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු ලමු අකුසල් දම් වූ අභිධ්‍යා දෞම්නස්‍යයෝ නුහුබඳනාහු නම් එ සංවරය සඳහා පිළිපදනේය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
ශොත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය ආඝ්‍රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මය දැන නිමිති නොගන්නා සුලු අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හෙයකින් මනසින්‍ද්‍රිය ය අසංවෘත කොට වෙසෙන තෙල මහණහු ලමු පවු දහම් වන අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ නුහුබඳනාහු ද, එ සංවරය සඳහා පිළිපදනේය. මනින්‍ද්‍රියය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාශෙක සුඛය විඳුනේ ය.
හේ ඉදිරි ගමනෙහි දු පෙරළා ගමනෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. ඉදිරි බැල්මෙහි දු පසු බැල්මෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. අත් පා හැකුළුම්හි දු විහිදුම්හි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. සඟළ පා සිවුරු ධැරුම්හි සම්ප්‍රජන්‍යකාරී වෙයි. අශිතයෙහි දු, පීතයෙහි දු, ඛායිතයෙහු දු, සායිතයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. උච්චාර - ප්‍රස්‍රාව කර්‍මයෙහි සම්ප්‍රජන්‍යකාරී වෙයි. ගමනෙහි දු, සිටුම්හි දු, හිඳුම්හි දු, හෙවීම්හි දු නිදිවැරුම්හි දු භාෂිතයෙහි දු තූෂ්ණීම්භාවයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි.
හේ මෙ ආර්‍ය්‍යශිලස්කන්‍ධයෙනු දු සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙනුදු සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ස්මෘති සම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනසම්බාධා රහිත සෙනසුන් වන අරණ්‍යය, වෘක්‍ෂ මූලය, පර්‍වතය, කන්‍දරය, ගිරිගුහාය, ශමසානය, වනපෙතය, අබවසය, තණසෙවෙණිය බෙජෙයි. හේ අරණට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ජනශූණ්‍යාගාරයට ගියේ වේවයි පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හිඳුනේය.
හේ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලොව්හි අභිධ්‍යාව දුරු කොට පහව ගිය අභිධ්‍යා ඇති සිතින් වාසය කරණේය. අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයට නො අවන් සිතින් සිතැතියේ සර්‍වප්‍රාණභූතයනට හිතානුකම්පා ඇතියේ වාසය කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරුකොට පහව ගිය ස්ත්‍යානමිද්ධ ඇතියේ ආලෝක සංඥා ඇතියේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි ව්‍යුපශාන්ත චිත්ත ඇතියේ වාසය කරයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට තරණ කළ විචිකිත්සාව ඇතියේ කුශල ධර්‍මයන් විෂයයෙහි කථංකථි නොවූයේ විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
හේ මේ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟිව් ද? මෙ විහාරය පළමු විහරණයට වඩා අභික්කන්තර වූයේත් ප්‍රණීතතර වූයේත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමා කෙරෙහි දක්මින් අරණු දු, වනපෙත් දු, දුරුසෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (අර්‍හත්‍ව) ය ඇත්තාහුව වාසය නො කරත් මැයි.
තවද, උපාලි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් -පෙ- ද්විතීය ධ්‍යානයට එළඹ වාසය කරයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහරණයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම දු තමා තුළ දක්මින් අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුන් ද සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නොම වෙසෙත්.
තවද උපාලි, මහණ ප්‍රීතියෙනුදු විරාගයෙන් -පෙ- තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේද?
වහන්ස, එසේය.
උපාලි, මෙ දහම ද මාගේ ශ්‍රාවකයෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො ම වෙසෙත්.
තවද උපාලි, මහණ සුඛප්‍රහාණයෙනුදු -පෙ- චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මෙ දහම ද මාගේ සව්වෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙව්නාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
තවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් මොනොවට ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් කිසුණු ඉගුලු අහස අනතැ’යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. උපාලි, එකුමැ යි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ ද?
වහන්ස එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නා හු අරණ්‍යයනු දු, වනපෙතු දු, ප්‍රාන්තශයනාසනයනු දු සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්.
තවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ... -පෙ- සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ...
සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ඉක්ම ‘තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. උපාලි, එ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ දැයි!
වහන්ස, එසේය.
උපාලි, මාගේ සව්වෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් රහත්ඵල ඇත්තාහු නො වෙසෙත් මැයි.
උපාලි, තවද මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සංඥාවේදයිත නිරෝධයට එළඹ වෙසෙයි. ඔහු ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ද පරික්‍ෂීණ වෙත. උපාලි, ඒ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මේ දහම ද තමන් තුළ දක්නාහු අරණ්‍යය ද වාන ප්‍රස්ථයන් ද ප්‍රාන්තශයනාසනයන් ද සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්‍ත්‍ථ ඇත්තාහු නො වෙසෙත්. උපාලි, එහෙයින් තෝ සඟුන් කෙරෙහි වසව, සඟුන් කෙරෙහි වසන තොපට පහසු වන්නේ ය යි.
10. 2. 5. 10.
භබ්බාභබ්බ සූත්‍රය
මහණෙනි, මෙ දහම් දසය නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි. කවර දසයෙක් යත්:
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මකුබවය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
මහණෙනි, මෙ දස දහම් නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ දහම් දසය හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි. කවර දසයෙක යත්:
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
මහණෙනි, මෙ දස දහම් හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි.
පස්වැනි උපාලි වර්‍ග යි.
එහි උද්දානය:
කාම භෝගී සූත්‍රය, වෙර සූත්‍රය, දිට්ඨි සූත්‍රය, වජ්ජියමාහිත සූත්‍රය, උත්තිය සූත්‍රය, කොකනද සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය, ථේර සූත්‍රය, උපාලි සූත්‍රය, අභබ්බ සූත්‍රය දැයි දසයෙකි.
දෙවන පණ්ණාසකය නිමි.
3. තෙවන පණ්ණාසකය
1. සමණසඤ්ඤා වර්‍ගය
10. 3. 1. 1.
සමණසඤ්ඤා සූත්‍රය
මහණෙනි, මෙ ත්‍රිවිධ ශ්‍රමණ සංඥා කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු සත්කරුණක් පිරිපුන් කරත්. කවර තුන් කෙනෙක් යත්:
(කාය - චීවරාදී) වෛවර්‍ණ්‍යයට පැමිණියෙම් වෙමියි. මා දිවිවැටුම් පරාපිළිබැඳි වෙයි; මා විසින් ගිහිනට අන්‍ය වූ ශ්‍රමණාකල්පයෙක් කට යුත්තේ ය; මහණෙනි, ශ්‍රමණයනට උපදනා මෙ ත්‍රිවිධ සංඥාහු භාවිත බහුලීකෘත වූවාහු සත් කරුණක් පිරිපුන් කරත්. කවර සත් කෙනෙක යත්:
හැම කල්හි නිරන්තරකාරී වූයේ ශීලයෙහි සතතප්‍රවෘත්ති ඇත්තේ වෙයි. අභිධ්‍යාබහුල නොවෙයි. ව්‍යාපාද නැත්තේ වෙයි. අතිමාන නැත්තේ වෙයි. ශික්‍ෂා කාම වෙයි. ඔහුගේ ජීවිතපරික්‍ෂාකාරයන්හි මේ ප්‍රත්‍යය ය යන (අදහස) වෙයි. ඇරඹු වැර ඇතියේ ද වෙයි. මහණෙනි, මේ ත්‍රිවිධ ශ්‍රමණ සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ සත් කරුණු සපුරත්යි.
10. 3. 1. 2.
බොජ්ඣඞ්ග සූත්‍රය
මහණෙනි, මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්. කවර සතෙක යත්:
සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සප්ත සම්බොජඣඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු ත්‍රිවිද්‍යාවන් සපුරත්, කවර තිදෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ වූ පූර්වේනිවාසානු ස්මෘතිය සිහි කරයි. එ කෙසේය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි.
මිනිසැස ඉක්ම ගිය, විශුද්ධ වූ දිවැසින් ... කම් වූ පරිදි ප්‍රතිසන්‍ධියට එළඹෙන සත්ත්‍වයන් දනිත්.
ආස්‍රවක්‍ෂයන් … සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
මෙ සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත බහුලීකෘත වූවාහු මෙ ත්‍රිවිද්‍යාවන් සපුරත්.
10. 3. 1. 3.
මිච්ඡත්ත සූත්‍රය
මහණෙනි, මිථ්‍යාත්‍වයට විරාධනා වෙයි. ආරාධනායෙක් නොවෙයි. මහණෙනි, කෙසේ නම් මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධන වේ යැ ආරාධනා නො වේය යත්:
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යාසංකල්පය පොහෝනේය, මිථ්‍යාසංකල්ප ඇතියහට මිථ්‍යාවාක් පොහෝනේය. මිථ්‍යාවාක් ඇතියහට මිථ්‍යා කර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යා කර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යා ආජීව ඇත්තාහට මිථ්‍යා ව්‍යායාමය පොහෝනේය. මිථ්‍යා ව්‍යායාමය ඇත්තාහට මිථ්‍යා ස්මෘතිය පොහෝනේය. මිථ්‍යා ස්මෘතිය ඇත්තාහට මිථ්‍යා සමාධිය පොහෝනේය. මිථ්‍යා සමාධි ඇත්තාහට මිථ්‍යා ඥානය පොහෝනේය. මිථ්‍යා ඥානය ඇත්තාහට මිථ්‍යා විමුක්ති පොහෝනේය. මහණෙනි, මෙ සෙයින් ම මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධනා වෙයි. ආරාධනා නො වෙයි.
මහණෙනි, සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ස්වර්‍ග - මාර්‍ගාරාධනා වෙයි. විරාධනා නො වෙයි. මහණෙනි, කෙසේ නම් සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේයැ, විරාධනා නොවේය යත්:
මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට සම්‍යක් සංකල්පට පොහෝනේය. සම්‍යක් සංකල්ප ඇතිහට සම්‍යග් වචනය පොහෝනේය. සම්‍යග් වචනය ඇතියහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේය. සම්‍යක් කර්‍මාන්ත ඇතියහට සම්‍යගාජීවය පොහෝනේය. සම්‍යගාජීවය ඇතියහට සම්‍යග් ව්‍යායාමය පොහෝනේය. සම්‍යග් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් ස්මෘතිය පොහෝනේය. සම්‍යක් ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පොහෝනේය. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යග් ඥානය පොහෝනේය. සම්‍යග් ඥාන ඇත්තහුට සම්‍යග් විමුක්තිය පොහෝනේයි. මහණෙනි, මෙ සෙයින් ම සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේ. විරාධනා නො වෙයි.
10. 3. 1. 4.
බීජ සූත්‍රය
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්‍මයක් හා - යම් වාග් කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්‍මයක් හා යම් චේතනාවක් හා යම් ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.
මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපෝරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)
මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්‍මයක් හා - යම් ම වාක්කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)
මහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්‍මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්‍මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)
මහණෙනි, යම්පරිදි උක් බිජුවටෙක් වේවයි හැල් බිජුවටෙක් වේවයි මිදි බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම්බඳු පොළෝ රසයක් ගන්නේ ද ආපෝරසයක් ගන්නේ ද එ හැම ශාකභාවයට මියුරු බවට අසෙචනක භාවයට වැටෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බිජුවට භද්‍ර ය, එහෙයිනි.
එපරිදි ම මහණෙනි, සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක්සංකල්ප ඇති - සම්‍යග්වචන ඇති - සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්ඥාන ඇති - සම්‍යග්විමුක්ති ඇති පුරුෂපුද්ගලයා විසින් දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, යම් ම වාක්කර්‍මයක් වේවයි - දෘෂ්ටියට අනුව ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාරකෙනෙක් වෙත්වයි, එ හැම ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සුඛය පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)
10. 3. 1. 5.
විජ්ජා සූත්‍රය
මහණෙනි, අකුශලධර්‍ම සමාපත්තියට අවිද්‍යා පූර්‍වඞ්ගම වෙයි. අහ්‍රීකය, අනපත්‍රපාය යන දෙක නුහුබඳනේ මය. මහණෙනි, අවිද්‍යාගත අන්‍ධබාලයාට මිථ්‍යාදෘෂ්ටිය පොහෝනේය. මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යා සංකල්පය පොහෝනේයි. මිථ්‍යාසංකල්ප ඇතියහුට මිථ්‍යාවාක් පොහෝනේයි. මිථ්‍යාවාක් ඇතියහුට මිථ්‍යාකර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යාකර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යාආජීවය ඇතියහට මිථ්‍යාව්‍යායාමය පොහෝනේය. මිථ්‍යාව්‍යායාමය ඇතියහට මිථ්‍යාස්මෘතිය පොහෝනේය. මිථ්‍යාස්මෘතිය ඇතියහට මිථ්‍යාසමාධි පොහෝනේය. මිථ්‍යාසමාධි ඇතියහට මිථ්‍යාඥානය පොහෝනේය. මිථ්‍යාඥානය ඇතියහට මිථ්‍යාවිමුක්ති පොහෝනේය.
තවද මහණෙනි, කුශලධර්‍මසමාපත්තියට විද්‍යාව පූර්‍වඞ්ගම වෙයි. එ අනුව හිරිඔතප් නුහුබඳනේ ය. මහණෙනි, විද්‍යාගත විදර්ශිහට සම්‍යග්දෘෂ්ටිය පොහෝනේ ය. සම්‍යග්දෘෂ්ටිකයාහට සම්‍යක්සංකල්පය පොහෝනේ ය. සම්‍යග්සංකල්පය ඇත්තාහට සම්‍යක්වාග් පොහෝනේ ය. සම්‍යක්වචන ඇත්තාහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේ ය. සම්‍යක්කර්‍මාන්තය ඇත්තාහට සම්‍යගාජීවය පොහෝනේ ය. සම්‍යගාජීව ඇත්තාහට සම්‍යග්ව්‍යායාමය පොහෝනේ ය. සම්‍යග්ව්‍යායාමය ඇත්තාහට සම්‍යක්ස්මෘතිය පොහෝනේ ය. සම්‍යග්ස්මෘති ඇත්තාහට සම්‍යග්ඥානය පොහෝනේ ය. සම්‍යග්ඥානය ඇත්තාහට සම්‍යග්විමුක්තිය පොහෝනේ යයි.
10. 3. 1. 6.
නිජ්ජර සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ නිර්ජර වස්තූහු දශදෙනෙක. කවර දශදෙනෙක යත්:
1. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටිය (මාර්‍ගභාවනායෙන්) නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශල ධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
2. මහණෙනි, සම්‍යක්සංකල්ප ඇතියහුගේ මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසංකල්ප ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට ඔහුදු නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග් සංකල්ප ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
3. මහණෙනි, සම්‍යක්වචන ඇතියහුගේ මිථ්‍යාවචනය නිර්ජීර්‍ණ වෙයි. මිථ්‍යාවාක්ර ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ වෙත් නම් ඕහට ඔහු ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්වාක් ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
4. මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහුගේ මිථ්‍යාකර්‍මාන්තය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක් සංකල්පකර්‍මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
5. මහණෙනි, සම්‍යගාජීව ඇතියහුගේ මිථ්‍යාජීවය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාජීව ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශලධර්‍මයෝ වෙත් නම් ඔහුගේ ඒ අකුශලධර්‍මයෝ නිර්ජිර්‍ණ වෙත්. සම්‍යගාජීව ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.
6. මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇතියහුගේ මිථ්‍යාව්‍යායාමය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාව්‍යායාම ප්‍රත්‍යයෙන් යම්බඳු ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම්, ඕහට එ අකුසල්හු ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්ව්‍යායාම ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
7. මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහුගේ මිථ්‍යාස්මෘතිය නිර්ජිර්‍ණ වෙයි, මිථ්‍යාස්මෘති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඔහුගේ එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක්ස්මෘති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
8. මහණෙනි, සම්‍යක්සමාධි ඇතියහුගේ මිථ්‍යාසමාධිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසමාධිප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යක්සමාධිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
9. මහණෙනි, සම්‍යග්ඥාන ඇතියහුගේ මිථ්‍යාඥාන නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාඥාන ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග්ඥාන ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්.
10. මහණෙනි, සම්‍යග් විමුක්ති ඇතියහුගේ මිථ්‍යාවිමුක්ති නිර්ජිර්‍ණ වෙයි, මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් ඕහට එ අකුශලධර්‍මයෝ ද නිර්ජිර්‍ණ වෙත්. සම්‍යග් විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත්. මහණෙනි, මෙ දසදෙන නිර්ජරවස්තූහු වෙත්.