Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14501-14600 න් 15980

“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, භික්‍ෂූහු කවර දෘෂ්ටි ඇතියහු දැයි කියව”යි. “වහන්ස, මම භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්මි”යි.
“ගැහැවිය, මෙසේ තෙපි මහණ ගොයුම්හුගේ හැම දිටු නො දන්හු නම්, භික්‍ෂූන්ගේ ද හැම දිටු නො දන්හු නම්, ගැහැවිය, තෙපි කවර දිටු ඇතියහු දැයි කියව”යි. වහන්ස, අපි කවර දිටු ඇතියමෝ ද යන තෙල කරුණ පාළ කරන්නට අප විසින් දුෂ්කර නො වෙයි. එසේ නම් ආයුෂ්මත්හු පළමු මැ යථා ස්වක දෘෂ්ටීන් පාළ කෙරෙත් වා, අපි යම් දෘෂ්ටියක් ඇතියමෝ නම් තෙල කරුණ අප විසින් පසු ද පාළ කරන්නට දුෂ්කරයෙක් නො වන්නේ ය.
මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ගෘහපතිය, මම ලෝකය ශාශ්වතය, මෙ ම සත්‍යය, අනෙක අසත්‍යය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කීය: “ලෝකය අශාශ්වතය, මෙ ම සත්‍යය: අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි. අන්‍යතර පරිව්‍රාජකයෙක් ද අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල කරුණ කී: “ගැහැවිය, මම ලෝකය අන්තවත්ය, -පෙ- ලෝකය අනන්තවත් ය, -පෙ- එ ජීවය; එ සිරුරය -පෙ- ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක, -පෙ- සත්ත්‍වයා මරණින් පසු (පිළිසඳ විසින්) වෙයි, -පෙ- සත්ත්‍ව මරණින් පසු (පිළිසඳ විසින්) නොවෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු වන්නේ ද, නොවන්නේ ද වෙයි -පෙ- සත්ත්‍වයා මරණින් පසු නො මැ වෙයි, නොවන්නේ නොවෙයි, මෙ ම සත්‍යය, අනෙක සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙමි”යි.
මෙසේ කී කල්හි අනාථපිණ්ඩික ගෘහපති එ පිරිවැජියනට තෙල කරුණ කීය: වහන්ස, යම් ආයුෂ්මතෙක් “ගෘහපතිය මම ලෝකය ශාශ්වතය, මෙ මැ සත්‍ය ය, අන්‍ය සිස් ය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙමැ”යි මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාර හේතුයෙන් හෝ පරතෝඝෝෂ ප්‍රත්‍යයයෙන් උපන. තෙල දෘෂ්ටිය වනාහි භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍ය සමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍ය සමුත්පන්න ද එ අනිත්‍ය වෙයි. යම් කිසිවක් ම අනිත්‍ය වේ ද එ දුඃඛය. යමක් දුඃඛ වේ නම් එ ආයුෂ්මත් එයට ම ඇලුණේ ය. එ ආයුෂ්මත් එයට ම බැසගත්තේ ය.
වහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ලෝකය අශාශ්වත ය, මෙ මැ සත්‍ය ය, අන්‍යය අසත්‍ය ය යන මෙබඳු දෘෂ්ටි ඇතියේ මැයි” මෙසේ කී නම්, මෙ ආයුෂ්මත්හුගේ දෘෂ්ටිය ද තමාගේ අයෝනිමනසිකාරය හේතුයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන, තෙල දෘෂ්ටිය භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය. යම් කිසිවක් ම භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද එ අනිස වෙයි, යමක් අනිස වේ නම් එ දුක් ය, යමක් දුක් වේ නම් එයට ම මේ ආයුෂ්මත් ඇලුණේ ය. එයට ම මේ ආයුෂ්මත් බැසගත්තේ ය.
වහන්ස, යම් ම ආයුෂ්මතෙක් “ගෘහපතිය, මම ‘ලෝකය අන්තවත් යැ, -පෙ- ලෝකය අනන්තවත් යැ ... එමැ ජීවය එමැ ශරීරය ... සත්ත්‍ව මරණින් මතු වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නොවන්නේත් වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි, මෙ ම සත්‍ය ය, අන්‍යය මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙමි” කීයේ නම්, මෙ ආයුෂ්මත්හුගේ ද දෘෂ්ටිය තමාගේ අයෝනිසෝමනසිකාරයෙන් හෝ පරතෝඝෝෂප්‍රත්‍යයෙන් හෝ උපන. තෙල දෘෂ්ටිතොමෝ භූත ය, සංස්කෘත ය, කල්පිත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය.
මේ කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද, එ අනිස. යමක් අනිස වේ ද, එ දුක. යමක් දුක් වේ ද, එයටම මේ ආයුෂ්මත් ඇලුණේය. එයට ම මෙ ආයුෂ්මත් බටුයේ යි.
මෙසේ කී කල්හි එ පිරිවැජියෝ අනේපිඬු ගැහැවිහට තෙලකීහ: “ගෘහපතිය, අප හැම දෙන විසින් යථාස්වක දෘෂ්ටීහු ව්‍යාකෘතයහ. ගෘහපතිය, තෝ කවර දෘෂ්ටි ඇතියෙක්හි දැයි කියව”යි.
වහන්ස, මම යම් කිසිවක් භූත ද, සංස්කෘත ද, කල්පිත ද, ප්‍රතීත්‍යසමුත්පන්න ද, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය ද, එ දුඃඛ වෙයි. යමක් දුඃඛ වේ නම්, ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිමි”යි.
ගෘහපතිය, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි. යමක් දුඃඛවේ නම්, ගෘහපතිය, තෝ එයට ම ඇලුනෙහි, ගෘහපතිය, තෝ එයට ම බටුයෙහියි.
වහන්ස, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, ඒ දුක් වෙයි. යමක් දුක් වේ නම් එය ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් මා විසින් මොනොවට දක්නා ලදී. එයට ද මතුයෙහි යථාභූතකොට නිඃසරණය දන්මි’යි. මෙසේ කී කල්හි එ පරිව්‍රාජකයෝ තුෂ්ණීභූත වූවාහු දොම්නස් ඇතියහු යට හෙලූ කඳ ට ඇත්තාහු යටහෙලූ මුව ඇත්තාහු සිතිවිලි සිතන්නාහු ප්‍රතිභාන රහිත වැ හුන්හ.
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එ පිරිවැජියන් තුෂ්ණීම්භූතයහු උපන් දොම්නස් ඇතියහු බහාගත් කඳට ඇතියහු යටහෙලූ මුව ඇතියහු සිතිවිලි පර වූවහු ප්‍රතිභාන රහිත වූවහු දැන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙම ඒ අන්තොටු පිරිවැජියන් හා සමග යම් පමණ වූ කථාසංලාපයෙක් වී නම්, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළේ ය.
ගැහැවිය මැනැවි, මැනැවි. ගැහැවිය, මෙසේ ම ඒ මෝඝ පුරුෂයෝ කලින් කල සකරුණෙන් සුනිගෘහිත කොට නිගැනියයුත්තාහ යි. ඉක්බිති භාග්‍යවතුන් අනාථපිණ්ඩිකගෘහපතීහු දැහැමි කථායෙන් සන්‍දර්‍ශන කරවූහ, සමාදන් කරවූහ, මොනොවට ඔද ගැන්වූහ, සුපහන් කරවූහ. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියා නික්මගිය නො බෝකල් ඇති වත් ම භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙ දහම් විනයෙහි උපසපුයෙන් සියක්වස් ගිය මහණෙක් වේ නම්, අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ඔහු යම් පරිද්දෙන් නිගෘහීත වෙත් නම්, හෙද මෙ පරිද්දෙන් ම සකරුණෙන් අන්තොටු පිරිවැජියන් නිගන්නේ”යි.
10. 2. 5. 4.
වජ්ජියමාහිත සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ‘ගග්ගරා’ නම් පොකුණු තෙර වැඩ වසන සේක. එකල්හි වජ්ජියමාහිත නම් ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා චම්පා නුවරින් මහ දවල්හි නික්මියේ ය. එකල්හි වජ්ජියමාන ගෘහපතියහට තෙල සිත විය: “භාග්‍යවතුන් වහන්සේ දක්නට තවම නො කලි. භාග්‍යවතුන් වහන්සේ පිළිසලනෙහි හුන්හ. මනෝභාවනීය භික්‍ෂූනුදු දක්නට නො කලි, මනෝභාවනායෙහි ඇලුණු භික්‍ෂූහු පිළිසලනෙහි යෙදුණහ. ඉදින් මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට යෙම් නම් මැනැවැ”යි.
ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුවට එළඹියේ ය. එකල්හි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ එක් රැස්ව ඔල්වරසන් ඇත්තාහු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු නන් වැදෑරුම් තිරිසන්ගිය කථා කියමින් හුන්නාහු වෙත්.
ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වජ්ජියමාහිත ගෘහපතීහු එනු දුරදීම දුටහ. දුරදී ම එන්නහු දැක උනුන් පිහිටවූහ (නවතාලූහ) “භවත්හු නිහඬ වෙත් වා, භවත්හු නහමක් ශබ්ද කෙරෙත්වා. ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වජ්ජියමාහිත ගෘහපති එයි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සුදුවත් හඳනා යම් පමණ ගිහිහු චම්පායෙහි වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති ඔවුන්ගෙන් අන්‍යතරයෙක් වෙයි. අල්පශබ්ද කැමැති ඒ භවත් හු අල්පශබ්ද ඇතියහු (මහණ ගොයුම්හු) විසින් විනීත වූවාහු අල්පශබ්දයාගේ වර්‍ණ කියන්නාහු නිහඬ පිරිසැ යි දැන එළඹිය යුතු කොට හඟනේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූහ. එකල්හි වජ්ජියමාහිත ගැහැවි එ පිරිවැජියන් කරා එළැඹියේ ය. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගෘහපතිහට ඒ පිරිවැජියෝ තෙල කරුණ කීහ:
ගෘහපතිය, මහණ ගොයුම් හැම තපසක් (දුෂ්කර ක්‍රියාවක්) ගරහන්නේ ය, රූක්‍ෂාජීව ඇති දුෂ්කර තවුස් දම් රක්නා හැමට එකැතින් උපක්‍රෝශ කරන්නේ ය. උපවාද කරන්නේ ය යනු සැබෑවෙක් දැයි?”
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හැම තපස නො මැ ගරහන්නා හ, රූක්‍ෂාජීව ඇති හැම තපස්වියකුට එකැතින් නො ද උපක්‍රෝෂ හා උපවාද හා නො කරන්නා හ. වහන්ස, භගවත්හු ගැරැහිය යුක්තහු ම ගරහන්නා හ, පැසැසියයුතුවහු ම පසස්නා හ. වහන්ස, ගැරැහියයුතුවහු ම ගරහන, පැසසියයුතුවහු ම පසස්නා භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාද ඇතියහ. එ භගවත්හු මෙ කරුණෙහිලා ඒකාංශවාද ඇතියාහු නො වෙත්.
මෙසේ කී කල්හි අන්‍යතර පරිව්‍රාජකයෙක් වජ්ජියමාහිත ගීහපතිහට තෙල කරුණ කීහ:
“ගැහැවිය ඉවසව, තෝ යම් බඳු මහණ ගොයුමක්හුගේ ගුණ වනහි නම්, එ මහණ ගොයුම්හු (මෙරමා විසින්) හික්මැවිය යුතුවහ, (කිසිවක්) පැනැවිය නො සමත්හ”යි
වහන්ස, මෙ කරුණෙහිදු මම් ආයුෂ්මත්නට සහ ධර්‍මයෙන් කියනෙම්: වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් ‘මේ කුසල’යි පැනැවිණ, වහන්ස, භාග්‍යයවතුන් වහන්සේ විසින් මෙ ‘අකුසල’ යි පැනවිණ. මෙසේ භාග්‍යයවතුන් වහන්සේ කුශලාකුශල පනවන්නාහු භගවත් සප්පඤ්ඤත්තික වෙති. ඒ භගවත්හු වෙනයික අප්පඤ්ඤත්තික නො වෙත් යයි.
මෙසේ කී කල්හි එ පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූවාහු මකු වූවාහු යට හෙලූ කඳට ඇතියහු යට අළ මුව ඇත්තාහු සිතිවිලි සිතනුවෝ ප්‍රතිභාන රහිත ව හුන්හ. ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති තූෂ්ණීම්භූත, මඞ්කුභූත, නැමූ කඳට ඇති යට හෙලූ ඇස් ඇති සිතිවිලි සිතන කිසිවක් නො වටහන එ පිරිවැජියන් දැන හුනස්නෙන් නැඟ භාග්‍යයවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යයවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගැහැවි ඒ පරිව්‍රාජකයන් සමඟ යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යයවතුන් වහන්සේට සැල කෙළේ ය.
ගෘහපතිය, මැනැව, මැනැව. ගෘහපතිය, මෙසෙයින් ම එ මෝඝ පුරුෂයෝ සහධර්‍මයෙන් කලින් කල සුනිගෘහිතව නිගැනිය යුත්තාහ. ගෘහපතිය හැම තවුස් දමක් තැවිය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම තවුස් දමක් නො තැවිය යුතු කොට ද මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතු කොට මම නො කියමි. ගෘහපතිය, හැම සමාදානයක් සමාදන් විය යුතුයයි ද මම නො කියමි. ගෘහපතිය, හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රධන් වීර්‍ය්‍යයක් නො කළ යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර ලිය යුතු යයි මම නොකියමි. හැම ප්‍රතිනිඃසර්‍ගයෙක් දුර නො ලිය යුතු යයි මම නොකියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො කියමි. ගෘහපතිය, හැම විමුක්තියෙක් විමුක්තව්‍ය නො වේ යයි ද මම නො කියමි.
ගැහැවිය, යම් ම තපසක් කරනුවහුගේ අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල් දහම් හු පිරිහෙත් ද, මෙබඳු තව නො තැවිය යුතු යයි කියමි. ගැහැවිය, යම් ම තවක් තවනා ඔහුගේ අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙ බඳු තව තැවිය යයි කියමි.
ගැහැවිය, යම් ම සමාදානයෙක් සමාදන්වනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද. කුශල ධර්‍මයෝ පිරිහෙත් ද මෙ බඳු සමාදානය නො සමාදන් විය යුතුයයි කියමි. ගැහැවිය, යම් ම සමාදානයක් සමාදන් වන ඔහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු සමාදානය සමාදන් විය යුතු යයි කියමි.
ගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද මෙ බඳු ප්‍රධන්වීර්‍ය්‍යය නො කළයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රධන්වීර්‍ය්‍යයක් කරන ඔහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රධන්වීර්‍ය්‍යය කළයුතු යයි කියමි.
ගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය දුරලියයුතු යයි කියමි. ගැහැවිය, යම් ම ප්‍රතිනිඃසර්‍ගයක් දුරලනුවහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ප්‍රතිනිඃසර්‍ගය නො දුරලිය යුතු යයි කියමි.
ගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙ බඳු විමුක්තිය නො කටයුතු යයි කියමි. ගැහැවිය, යම් ම විමුක්තියක් කරනුවහුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත් ද, කුශල ධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු විමුක්තිය කළයුතු යයි කියමි.
ඉක්බිති වජ්ජියමාහිත ගැහැවි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තජිත වූයේ සම්ප්‍රභර්ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වජ්ජියමාහිත ගෘහපති ගිය නොබෝකල් ඇතිවත් ම මහණුන් ඇමතූ සේක: මහණෙනි, යම් බඳු මහණෙක් මෙ දහම්විනයෙහි දීර්‍ඝරාත්‍රයෙහි නුවණැස්හි කෙලෙස් රජස් නැතියේ වී නම්, එ මහණ ද, යම් පරිද්දෙකින් වජ්ජියමාහිත ගෘහපතීහු නිගෘහීත වූහුද එපරිදිම සුනිගෘහීත කොට සකරුණෙන් නිගන්නේ ය.
10. 2. 5. 5.
උත්තිය සූත්‍රය
එකල්හි උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් උත්තිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි යන මෙම සත්‍ය ද, අනෙක මෝඝ වේ දැ? යි
උත්තිය, ‘ලෝකය ශාශ්වත ය යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’යි මෙසේ මා විසින් අව්‍යාකෘතම වෙයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වේ ද? අනෙක මෝඝ වේ දැ? යි
උත්තිය, ‘ලෝකය ශාශ්වත ය’ යන මෙ ම සත්‍ය වෙයි, අනෙක මෝඝ යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, එමැ ශරීර ය’ .. ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි ... ‘මරණින් මතු සත්ත්‍ව වෙයි ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නොවන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය නො ම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි. අනෙක මෝඝ වේ දැයි?
උත්තිය, ‘සත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නොම නොවන්නේ ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මා විසින් අව්‍යාකෘත වේ යයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘සත්ත්‍ව ශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය ශාශ්වත ය, යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ ය’ යන තෙල මා විසින් අව්‍යාකාත වේ යයි කියහි,
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝ වේ දැයි? මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්‍ය වෙයි, අනෙක මෝඝය යන තෙල කරුණ මා විසින් අව්‍යාකාතය ය”යි කියහි,
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, ඒ මැ ශරීර ය, ජීවය අනෙකෙකි, ශරීරය අනෙකෙකැ යි’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ද නො වන්නේ ද වෙයි’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නො වන්නේ ය’ යන මෙම සත්‍ය, අනෙක් මෝඝ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, “උත්තිය, සත්ත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නො ම නො වන්නේ ය, යන මෙම සත්‍යය, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මාවිසින් අව්‍යාකෘත ය”යි කියහි. වැලි එසේ වී නම් භවත් ගෞතමයන් විසින් කවරක් ව්‍යාකෘත වේ දැ යි?
උත්තිය, මම විශිෂ්ටඥානයෙන් දැන ම සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා ශ්‍රාවකයනට ධර්‍ම දේශනා කරමි යි.
භවත් ගෞතමයෝ තෙල යම් ධර්‍මයක් සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්‍යායයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ සාක්‍ෂාත් කරණය සඳහා සව්වනට ධර්‍ම දේශනා කරත් නම්, එ දහමින් හැම ලොව හෝ, අඩෙක් හෝ, තුන්වන භාගයෙක් හෝ (නිවනට) පමුණුවනු ලැබේ දැයි? මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූත වූහ.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයනට තෙල සිත විය: “උත්තිය පරිව්‍රාජක මෙබඳු ලාමක දෘෂ්ටිගතයක් නහමක් ලබාවා. ‘එකැතින් මා විසින් සර්‍වොත්කර්‍ෂ ප්‍රශ්නය පුළුවුස්නා ලද ශ්‍රමණ භවත් ගෞතමයෝ වළහති, නො විසඳති, එකැතින් නො ඉවසත් යි.’ එය උත්තිය පරිව්‍රාජකයාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් වන්නේ යයි.”
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උත්තිය පිරිවැජියනට තෙල කීහ: ඇවැත් උත්තිය, තට එකරුණෙන් උපමාවකුදු කරණෙම්. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අරුත් දැන ගණිත්.
ඇවැත් උත්තිය, රජකුගේ තරපවුරු පදනම් ඇති, තරපවුරු හා තොරන් ඇති, එක් වාසල් දොරෙකින් යුත් ප්‍රත්‍යන්ත නගරයෙක් යම් පරිදි වේ නම් එහි පණ්ඩිත ව්‍යක්ත ස්ථානෝචිතප්‍රඥා ඇති අඥාතයන් වළහන, ඥාතයන් වැද්ද දෙන ද්වාරපාලකයෙක් වන්නේ ය. හේ එ නගරයාගේ අවට සිසාරා යන මංහි ඇවිදිනුයේ ප්‍රාකාරසන්‍ධියක් වේවයි, යටත් පිරිසෙයින් බළලකු නික්මෙන පමණ වූ ද ප්‍රාකාර විවරයක් වේවයි නො දක්නේ ය. ඔහට වනාහි මෙ බඳු නුවණෙක් නො ම පහළ වන්නේ ය: “මෙතෙක් සත්හු මෙ නුවරට පිවිසෙත් හෝ නික්මෙත් හෝ”යි. වැලිදු ඔහට එහි ලා මෙබඳු සිතෙක් ම වන්නේ ය: “යම් කිසි ඖදාරික (ස්ථුල) ප්‍රාණි කෙනෙක් මෙ නුවර වදිත්නම් හෝ ඉන් නික්මයෙත් නම් හෝ, එ හැම දෙන මෙ දොරින් පිවිසෙන්නාහු ද වෙති, නික්මෙන්නාහු ද වෙත්” යි.
ඇවැත් උත්තිය, එපරිද්දෙන්ම “හැම ලෝකය හෝ ඉන් අඩෙක් හෝ ත්‍රිභාගයෙක් හෝ එයින් පමුණුවනු ලැබෙයි යන මෙ බඳුවූ වූ ඒ උත්සුක භාවය නො වෙයි. වැලිදු තථාගතයනට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක්ම වෙයි: “යම් කිසිවෙක් ම ලෝකයෙන් නික්ම ගියාහු ද, නික්මයෙත් ද, නික්ම යන්නාහු ද, එ හැම පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත ප්‍රඥාව දුර්‍වල කරණ, චිත්තෝපක්ලේශයන් දුරැරලා සතර සීවටන්හි මොනොවට එළැවූ සිත් ඇතියහු සප්ත බෝධ්‍යඞ්ගයන් තත්වූ පරිදි වඩා මෙ පරිද්දෙන් ලෝකයෙන් නික්ම ගියහ, නික්ම යත්, නික්මයන්නාහ”යි.
ඇවැත් උත්තිය, තෝ යම් ම ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේ විචාළෙහි නම්, තෙල ප්‍රශ්නය තො අන් අයුරෙකින් භාග්‍යවතුන් විචාළෙහි ය. එහෙයින් තට භාග්‍යවතුන් වහන්සේ එ නො වදාළ සේකැයි.
10. 2. 5. 6.
කොකනද සූත්‍රය
එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රාත්‍රි ප්‍රත්‍යූෂ සමයෙහි නැගිට ගාත්‍ර පරිෂේකය සඳහා තපොදා නදිය කරා වැඩියහ. තපෝදයෙහි ගාත්‍ර පරිෂෙක කොට පෙරළා ගොඩ නැගී සිරුරු තෙත සිඳුවමින් ඒකචීවරව සිටියහ. කොකනද පරිව්‍රාජක ද රාත්‍රිහුගේ ප්‍රත්‍යූෂ සමයෙහි නැගී තපොදා නදිය කරා ගාත්‍ර ස්නානය පිණිස ගියේ ය. කොකනද පරිව්‍රාජකයා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් එනු දුරදී ම දිටී. දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට තෙල කීය:
ඇවැත්නි, තෙපි කවරහු වව.
ඇවැත්නි, මම් මහණෙක් මි යි.
ඇවැත්නි, කවර මහණුන් අතුරෙහි වව යි?
ඇවැත්නි, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතුරෙහි වෙමි යි.
ඉදින් ආයුෂ්මත් පැන විසඳනට අවකාශ කෙරේ නම් අපි ආයුෂ්මතුන් කිසියම් ම ලේශයක් පුළුවුස්න මෝයි.
ඇවැත්නි, පුළුවුස, අසා දනුම්හ යි.
භවත්නි, කිමෙක, තෙපි ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇති යව් දැයි?
ඇවැත්නි, මම ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
භවත්නි, කිමෙක භවත්හු ‘ලෝකය ශාශ්වතය’ යන ‘මෙ ම සත්‍යය, අනෙක මෝඝය’ යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ? යි.
ඇවැත්නි, මම ‘ලෝකය අශාශ්වතය’ යන ‘මෙය ම සත්‍යය අනෙක සිස්ය’ යන මෙ බඳු දෘෂ්ටි නැතියෙකිමි යි.
භවත්නි, කිමෙක තෙපි ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත්ය’ ...’ඒ ජීවවෙයි, එ ශරීර වෙයි’ ... ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය යන මෙ බඳු දෘෂ්ටි ඇතියව් දැ යි?
ඇවැත්නි මම, “සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙය ම සත්‍යය, අනෙක සිස් ය, මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙම් මැයි.
එ කරුණෙන් ම භවත් නො දන්නේ ය නො දක්නේ යයි? ඇවැත්නි, මම නො ම නො දන්නෙම්, නො ම නො දක්නෙ මි. ඇවැත්නි, මම දන්මි, දක්මි යි.
භවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය ශාශ්වතය” යන මෙම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියාව’යි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, ‘ඇවැත්නි, මම “ලෝකය ශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
භවත්නි, කිමෙක, ‘භවත් “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතිය ව් දැ? යි, මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම “ලෝකය අශාශ්වතය” යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙ බඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි’ කියව.
භවත්නි, කිමෙක, ‘භවත් ‘ලෝකය අන්තවත’ ... ‘ලෝකය අනන්තවත’ ... ‘ඒ ජීවය, එ ශරීරය’ ... ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙක’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු වන්නේ ය නොවන්නේ ය’ ... ‘සත්ත්‍ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස්ය යන මෙබඳු දෘෂ්ටි ඇතියවු දැ’යි පුළුවුස්නා ලදුයේ ම, ඇවැත්නි, මම සත්ත්‍ව මරණින් මතු නොම වන්නේ ය, නොම නො වන්නේ ය යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය යන මෙබඳු දෘෂ්ටි ඇතියෙකිම් නො වෙ මැයි කියව.
එ කරුණෙන් භවත් නොදන්නේය, නො දක්නේ යයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ‘ඇවැත්නි, මම නො දන්නෙම් නොවෙමි, නො දක්නෙම් නොවෙ මි. ඇවැත්නි, මම් දන්මි, දක්මියි’ කියව, ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ වනාහි දතයුතු වේ දැ යි?
ඇවැත්නි, “ලෝකය ශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක සිස් ය” යන තෙල දෘෂ්ටිගතයෙක. ඇවැත්නි, ‘ලෝකය අශාශ්වතය’ යන මෙ ම සත්‍යය, අනෙක මෝඝය, යන තෙල දෘෂ්ටිගතයෙක. “ලෝකය අන්තවත්ය, ... ලෝකය අනන්තවත්ය ... ඒ ජීවය, ඒ ශරීරය ... ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක -පෙ- තථාගත මරණින් මතු වන්නේ ය ... තථාගත මරණින් මතු නො වන්නේ ය ... තථාගත මරණින් මතු වන්නේ ය, නො දවන්නේ ය ... තථාගත මරණින් මතු නො ම වන්නේ ය, නො ම නොවන්නේ ය” යන මෙම සත්‍යය, අනෙක සිස්ය යන තෙල දෘෂ්ටිගතයෙක.
ඇවැත්නි, යම් පමණ වූ දෘෂ්ටිගතයෝ වෙත් ද, යම් පමණ වූ දෘෂ්ටි ස්ථානයෙක්, දෘෂ්ට්‍යධිෂ්ඨානයෙක්, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෙක්, දෘෂ්ටිසමුත්‍ථානයෙක්, දෘෂ්ටිසමුද්ඝාතයෙක් ඇත් ද, එ මම් දන්මි, එ මම් දක්මි, මම් එ දන්නෙම්, එ මම් දක්නෙම් කවර හෙයින් මම් නො දන්මි, නො දක්මි යි කියනෙම් ද? ඇවැත්නි, මම් දන්නෙම් දක්නෙම් වෙමි යි.
ආයුෂ්මත්හු කිනම්හුයි? කෙසේ නම් සබ්‍රම්සරහු ආයුෂ්මතුන් දන්නාහු දැයි?
ඇවැත්නි, ‘ආනන්‍ද’ යනු මාගේ නම් වෙයි. සබ්‍රම්සරහු මා ආනන්‍ද යි ද දනිත් යි.
එකැතින් මහාචාර්‍ය්‍ය භවතුන් හා සමගම ම මන්ත්‍රණය කරන අපි “ආයුෂ්මත් ආනන්‍ද හ”යි නො දනුම්හ. ඉදින් අපි (මෙ) ‘ආයුෂ්මත් ආනන්‍ද හ’යි දනුමෝ නම් අපව මෙතෙකුදු නො වටනේ ය. ආයුෂ්මත් ආනන්‍දයෝ මට කමත්වා යි.
10. 2. 5. 7.
ආහුනෙය්‍ය සූත්‍රය
මහණෙනි, දශධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර දශයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාර ගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලුයේ සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් බඳු ධර්‍මකෙනෙක් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කොට, කේවලපරිපූර්‍ණ, පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පළට කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධරන ලද්දාහු වචනයෙන් පරිචිත වූවාහු මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු ප්‍රඥායෙන් සුප්‍රවිදිත වූවාහු බහුශ්‍රුත වෙති.
කල්‍යාණ සගයන් ඇතියේ කල්‍යාණ පුද්ගලයනට නැඹුරුවීම් ඇතියේ කල්‍යාණමිත්‍ර ද වෙයි.
සම්‍යග් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
අනේකවිධ ඍද්ධි විශේෂය වදනේය. එකෙක් ම වූයේ බහුප්‍රකාරයෙන් වෙයි. බහුප්‍රකාරයෙන් වූයේ ම එකෙක් වෙයි. පළට බව, නො පළ බව කරනේය, බිතින් පරභාගයට පවුරින් පරභාගයට පවුයෙන් පරභාගයට අහසැ සෙයින් නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැගීම් හා ගැලීම් හා කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳෙන දියෙහි දු ගමන් කෙරෙයි. පියාපත් ඇති ළිහිණියක සෙයින් අහස්හිදු පළඟින් යෙයි. මෙසේ මහර්ධි ඇති, මෙසේ මහානුභාව ඇති මෙ සඳහිරුනුදු අත්ලෙන් පරාමර්‍ෂ කෙරෙයි, පිරිමදියි, බඹ ලෝ හිම් කොට ද කයින් වශය පවත්වයි.
විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවසෝධායෙන් දිව්‍ය වූ හා මානුෂ හා දුරෙහි හා වෙත හා උභය ශබ්දයන් අසයි.
පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දන්නේ ය: සරාග වූ හෝ චිත්තය සරාග චිත්ත යයි දන්නේ ය. වීතරාග හෝ චිත්තය වීතරාග චිත්ත යයි දන්නේ ය. සදෝස හෝ චිත්තය ... වීතදෝස හෝ චිත්තය ... සමෝහ හෝ චිත්තය ... වීතමෝහ හෝ චිත්තය ... සංක්‍ෂිප්ත හෝ චිත්තය ... වික්‍ෂිප්ත හෝ චිත්තය ... අමහද්ගත හෝ චිත්තය ... මහද්ගත හෝ චිත්තය ... සඋත්තර හෝ චිත්තය ... අනුත්තර හෝ චිත්තය ... අසමාහිත හෝ චිත්තය ... සමාහිත හෝ චිත්තය ... අවිමුත්ත හෝ චිත්තය ... විමුත්ත හෝ චිත්තය ... විමුක්ත හෝ චිත්තය විමුක්ත චිත්තය යි දන්නේය.
අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ය. කෙසෙයින යත්: එක් ජාතිකෙකුදු - ජාති දෙකකුදු - ජාති තුනකුදු - ජාති සතරකුදු - ජාති පසකුදු - ජාති දශයකුදු - ජාති විස්සකුදු - ජාති තිසකුදු - ජාති සතළිසකුදු - ජාති පනසකුදු - ජාති සියයකුදු - ජාති දහසකුදු - ජාති සුවහසකුදු - නොයෙක් සංවර්‍තකල්පයනුදු - අනේක විවර්‍තකල්පයනුදු - අනේක සංවර්‍තවිවර්‍ත කල්පයනන් දැයි (යන විසිනි.) මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු සිරුරු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳුනෙම්, මෙබඳු ආයු හිම් කොට ඇතියෙම්, අසෝතන්හි උපන්මි, හෙ මම් එයින් සැවැ අසෝතන්හි උපනිමි. එහිදු මෙබඳු නමැතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ ඇතියෙම්. මෙබඳු අහරැතියෙම් මෙබඳු සුවදුක් විඳින සුලුයෙම් මෙබඳු ආයු හිම්කොට ඇත්තෙම් වීමි. එ මම් එයින් ච්‍යුතවූයෙම් මෙහි උපන්නෙම් වෙමියි මෙ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කරයි.
විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් සැවෙන උපදනා සත්ත්‍වයන් දකී, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුර්වර්‍ණ වූ ද සුගත වූ ද කම් වූ පරිදි මැරීයන සත්ත්‍වයන් දන්නේ ය. එකැතියෙන් මෙ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූහු ... වාග් .... මනස් ... ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූහු මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණියාහු වෙත්. මෙ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ... වාග් .... මනෝ සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහු සම්‍යග්දෘෂ්ටික වූවාහු සම්‍යග්දෘෂ්ටික කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහු වෙති. ඔහු කා බුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු වෙති. මෙසේ විශුද්ධි වූ මිනිස් ඇස ඉක්ම ගිය දිවැසින් ච්‍යවමෘන වූ ද උපපද්‍යමාන වූ ද හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුවර්‍ණ, සුගත, දුර්‍ගත, කම් වූ පරිදි යන සත්ත්‍වයන් දනී.
ආස්‍රක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමෙ අභිඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මේ දස ධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
10. 2. 5. 8.
ථේර සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත තෙර මහණෙක් යම් ම දිසායෙක වාසය කෙරේ නම් පහසුයෙන් ම වසන්නේ ය. කවර දසයෙකින යත්:
තෙර මහණ, පැවිදිව බොහෝ කල් ඇත්තේ රාත්‍රඥ වෙයි. සිල්වත් වෙයි ... සිකපදයන්හි සමාදන්ව හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් මොනොවට පිළිවිදියාහු වෙති. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විස්තර වශයෙන් සුවිභක්ත වූවාහු මොනොවට වණපොත්වන්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් මොනොවට විනිශ්චිත වූවාහු ස්වාගත වෙත්. අධිකරණ සමුත්පාදව්‍යුපශමයෙහි කුශල වෙයි. ප්‍රිය කථා ඇතියේ ධර්‍මකාම වූයේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි උදාර ප්‍රාමෝද්‍යය ඇත්තේ වෙයි.
ඉතරතෙර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍ර‍්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. ඉදිරි ගමනෙහි දු පෙරළා යන ගමනෙහිදු ප්‍රසාද ඇතියේ වෙයි. ඇතුළුගෙහිදු නිෂාද්‍යායෙන් සුසංවෘත වෙයි. අභිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ පහසුවෙන් ලබන සුල්ලේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙ දස කරුණෙන් සමන්‍වාගත තෙර මහණ යම් ම දිශායෙක්හි වෙසේ නම් පහසුවෙන් ම වාසය කෙරේ යයි.
10. 2. 5. 9.
උපාලි සූත්‍රය