අනධිගත දහම් නොලබන්නේ ය, අධිගත දහමින් දහමින් පිරිහෙන්නේ ය, ශාසනසද්ධර්‍මයෝ ඔහුගේ ව්‍යවදානයට නො යෙති. සද්ධර්‍මයෙහි අධිමානික හෝ වෙයි, අනභිරත වැ සසුන් බඹසර කෙරෙයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ වෙයි, දැඩි රෝගාතඞ්කයක් හෝ ස්පර්‍ශ කරයි, චිත්තවික්‍ෂේප සඞ්ඛ්‍යාත උමතුවට හෝ පැමිණෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹේ.
මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුනට අක්‍රොශ හා පරිභාෂ කරන්නේ වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, හේ තෙල දශව්‍යශනයන් අතුරින් අන්‍යතරව්‍යශනයකට පැමිණෙන්නේ ය යන යමෙක් ඇත් ද තෙල කරුණ ඇති.
10. 2. 4. 9.
කෝකාලික සූත්‍රය
(සැවැත්)
එසඳ කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය. “වහන්ස, සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
කෝකාලික මහණ දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මා හට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
කෝකාලික මහණ තෙවනවට ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මාහට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව එළවත් නමුදු ප්‍රත්‍යයික වෙත් නමුදු වැලිත් සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැග භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේය. බැහැර ගිය නොබෝ කල් ඇත්තා වූ ම කෝකාලික මහණ හුගේ හැම කය සර්‍ෂපමාත්‍රවූ පොළින් පැතුරුනේ විය. (ඒ පොළ) සර්‍ෂපමාත්‍ර ව මුද්ගමාත්‍ර විය. මුද්ගමාත්‍රික ව කඩල ඇට පමණැති විය. කඩල ඇට පමණැතිව ඩෙබරැට පමණැති විය. ඩෙබරැට පමණ ව කොල මාත්‍රික විය. කොල මාත්‍රික ව ආමලක මාත්‍රික වූහ. ආමලක මාත්‍රිකව තරුණ බිල්වඵලමාත්‍රික විය. තරුණ බිල්වඵලමාත්‍රික ව බිල්ව මාත්‍රික විය. බිල්ව මාත්‍රික ව බිඳිණ. පූයි හා ලේ වගුලේ ය, හේ විසගිලි මස්සකු සෙයින් කේල්පත්හි හෝනේ ය.
එකල්හි තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික කරා එළැඹියේ ය. එළැඹ අහස්හි සිට කෝකාලික මහණ හට තෙල කීය: “කොකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
ඇවැත්නි, තෝ කවරෙක් වෙහි යි?
“මම් තුදු පච්චේකබ්‍රහ්ම වෙමි”යි
ඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගාමී ව්‍යාකෘත නො වෙහි ද? වැලි දැන් කවර හෙයින් මෙහි ආයෙහි දැයි. යම්තාක් මෙය තාගේ අපරාධය වේ ද ඒ තාක් දකුව”යි.
එසඳ තුදු පච්චේකබ්‍රහ්ම කෝකාලික මහණ හට ගාථායෙන් කීය:
1. බාලතෙම දුබැසිබණන්නේ යම් පරොස් බස් සඞ්ඛ්‍යාත අවියෙකින් තමා සිඳුනේ නම්, උපන් පුරුෂයාගේ මුවෙහි පරොස් බස් නමැති කූඨාරිය උපදනේ මැයි.
2. යමෙක් නින්‍දාර්‍හයා පසස්නේ ද යමෙක් ප්‍රශංසාර්‍හ වේනම් ඔහුට හෝ නින්‍දා කරණේ ද, හේ මුවින් අපරාධ රැස්කරණේ ද, ඒ අපරාධයෙන් සුව නො විඳුනේ ය.
3. ද්‍යුත ක්‍රීඩාවන්හි ලා තමා හා යම් සියලු ධනපරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පමාත්‍රවෙයි. යමෙක් සම්‍යක් ගතයන් කෙරෙහි සිත ප්‍රද්විෂ්ට කෙරේ නම්, මෙය ම මහන්තර අපරාධ වෙයි.
4. යම් යෙහෙකින් පාපක වූ වාන්මනස් පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ වේ ද, හේ නිබ්බුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද, අබ්බුද පසෙක් දැයි මෙතෙක් කාලමානයක් නිරයට එළඹෙයි.
එක්බිති කෝකාලික මහණ ඒ ආබාධයෙන් ම මෙළේය. කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයෙහි උපන.
එක්බිති සහම්පති බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ සිට ගත, එකත්පසෙකැ සිටි සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, මළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් දූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළැඹිණැ’යි සහම්පතී බඹ මෙබස් කීය. මෙබස් කියා භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුරුදහන් කෙළේය.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ගෙවීමෙන් මහණුන් ඇමතූ සේක. මහණෙනි, මෙ රෑ සහම්පතී බඹ මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇතියේ සකල ජේතවනය බබුළුවා මා කරා එළැඹීණ. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය.
මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බඹ මට තෙල බස් සැල කෙළේය: “වහන්ස, කෝකාලික මහණ මෙළේය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා පදුම නිරයට එළඹිණැ”යි, මහණෙනි, සහම්පතී බඹ මෙය කීය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එ දෙව්රම් හි ම අතුදන් කෙළේ”යි.
මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, පදුම නිරයෙහි ආයුෂ් ප්‍රමාණය කෙතෙක් කල් වේදැ?යි. “මහණ, පදුම නිරයෙහි ආයුස් ප්‍රමාණය දීර්‍ඝය, එය ‘මෙතෙක් වර්‍ෂයහ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂශතයෙකැයි’ හෝ ‘මෙතෙක් වර්‍ෂ සහස්‍රයෙකැ’යි හෝ ‘මෙතෙක් වර්‍ෂ ශත සහස්‍රයෙකැ’යි හෝ ගණන්ට සුකර නො වේ”යි.
“වහන්ස උවමක් කළ හැකි”දැ?යි.
“මහණ, හැකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහණ යම් සේ කෝශල දේශයෙහි වූ විසිකිරියක් ඇති තලගැළක් වේ නම්, පුරුෂයෙක් වර්‍ෂ ශතයක්හුගේ වර්‍ෂ ශතයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නංවා ගන්නේ නම් මහණ, විසිකිරියක් ඇති ඒ මාගධක තල ගැළ මේ උපක්‍රමයෙන් ක්‍ෂිප්‍රතර ව පරික්‍ෂයට පර්‍ය්‍යාදානයට යන්නේ ය. එක් අර්වුද නිරයෙක් (පරික්‍ෂයට) නොයේ මැ යි.
මහණ යම් සෙයින් විංශත් අර්වුද නිරයෝ වෙත් නම්, එක් නිරර්වුද නිරයෙක් මෙබඳු වෙයි: මහණ, යම් සෙයින් විංශත් නිරර්වුද නිරයෝ වෙත් නම් එක් අබබ නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අබබ නිරයෝ වෙත් නම්, එක් අභභ නිරයෙක් මෙබඳු වෙයි. මහණ යම් සෙයින් විසංති අභභනිරයෝ වෙත් නම් එක් අටට නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම් සෙයින් විසංති අටට නිරයෝ වෙත් නම් එක් කුමුද නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විසංති කුමුද නිරයෝ වෙත් නම්, එක් සෞගන්‍ධික නිරයෙක් එබඳු වෙයි, මහණ යම් සෙයින් විංශත් සෞගන්‍ධික නිරයෝ වෙත්නම්, එක් උත්පලක නිරයෙක් මෙබඳු වෙයි. මහණ, යම්සෙයින් විංශත් උත්පලක නිරයෝ වෙත් නම් එක් පුණ්ඩරීක නිරයෝ වෙත් නම් එක් පදුම නිරයෙක් මෙබඳු වෙයි. මහණ, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය කොට ඝටා කෝකාලික මහණ පදුම නිරයට එළැඹිණැ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෘ වූ සුගතයන් වහන්සේ අනතුරුව තෙල වදාළ සේක:
1. දු බැසි බණන බාල තෙම යමෙකින් තමා සිඳුනේ නම් (එබඳු) කුඨාරියෙක් උපන් පුරුෂයාගේ මුවෙහි උපදනේය.
2. යමෙක් නින්ද්‍යයකු පසස්නේ ද, යමෙක් හෝ ප්‍රශංසාර්‍හ වේ නම් ඔහට නින්‍දා හෝ කෙරේ නම්, හේ මුවින් අපරාධ කරණේය. ඒ අපරාධ හේතුයෙන් සුඛ නො විඳිනේ ය.
3. ද්‍යුතක්‍රීඩාවන්හි ලා තමා හා යම් මුලු ධන පරාජයෙක් වේ නම්, මේ අපරාධය අල්පාමාත්‍රවෙයි. සම්‍යක් ගතයන් කෙරෙහි යමෙක් සිත ප්‍රද්විෂ්ට කෙරේ නම් මෙය ම මහන්තර අපරාධය වෙයි. හේ
4. පාපක වාඞ්මනස් පිහිටුවා ආර්‍ය්‍යයනට ගර්‍හා කරනුයේ යම් නිරයකට එළැඹේ නම්, හේ නිරර්වුද ගණනින් එක්දහස් එක්සිය සතිසෙක් ද අර්වුද පසෙක් දැ යි මෙතෙක් කාලමානයෙක් ඔහට වේ යයි.
10. 2. 4. 10.
ඛීණාසවබල සූත්‍රය
[සැවැත්]
එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “ශාරිපුත්‍රයෙනි, යම් බලයන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, ක්‍ෂීණාස්‍ර මහණහුගේ එබඳු බල කෙතෙකැ?”යි.
වහන්ස, යම්බඳු බලකෙනෙකුන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම් ක්‍ෂීණාස්‍රව මහණහුගේ එබඳු බල දස දෙනෙක.
කවර දස දෙනෙකයත්:
1. වහන්ස, මෙ සස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වෙත්.
වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදහ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ බලයෙක.
2. තවද වහන්ස, අනෙකෙකි. ක්‍ෂීණාස්‍ර භික්‍ෂූහු විසින් කාමයෝ අඞ්ගාරකාසූපමයහ’යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ. වහන්ස ක්‍ෂීණාස්‍රව මහණහු විසින් කාමයෝ “අඞ්ගාරකාසූපමයහ”යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ යන යමෙක් ඇත්නම්, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ප්‍රතිඥා කෙරේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
3. තවද වහන්ස, අනෙකෙකි; ක්‍ෂීණාස්‍ර භික්‍ෂුහුගේ සිත සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවස්ථානීය ධර්‍මයන්ගෙන් වාන්තවූයේ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ (ඵල සමාපත්තිවශයෙන්) නිර්‍වාණ විවේකයට නැඹුරු වූයේ විවේකප්‍රවණ වූයේ විවේකප්‍රාග්භාර වූයේ වෙයි. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ චිත්තය ආස්‍රවයනට කරුණු වූ ක්ලේශ දර්‍ඹයන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් විගතාන්ත වූයේ නෛෂ්ක්‍රම්‍යාභිරහිත වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ විවෙක නිම්න වූයේ විවේකප්‍රවණවූයේ විවෙකප්‍රාග්භාරවූයේ වෙයි’ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ රහත් පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම්, වහන්ස, මේ ද රහත් මහණහුගේ බලයෙක.
4. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සීවටන්හු බැවුනාහු මොනොවට බැවුනාහු වෙත්. වහන්ස, ‘ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහු විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද, මොනොවට වඩන ලදහ’ යන යමෙක් ඇත්ද, යම් බලයකට පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, වහන්ස, මේ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
5-10. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිත සුභාවිත වෙති -පෙ- සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්චේන්‍ද්‍රියෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්ච බලහු භාවිත සුභාවිත වෙති -පෙ- සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙත්. -පෙ- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවිත සුභාවිත වේ. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් අරීඅටඟිමඟ බැවිණ, මොනොවට බැවිණ යන යමෙක් ඇත් ද, වහන්ස, රහත් මහණ යම් බලයකට පැමිණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, මෙ ද රහත් මහණුගේ බලයෙකි.
වහන්ස, යම් බල කෙනෙකුගෙන් සමන්‍වාගත රහත් මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම් ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ මේ ඒ දස බලයි.
සතර වැනි ථේර වර්‍ග යි.
එහි උද්දානය:
බාහුනය, ආනන්‍දය, පුණ්ණිය, බ්‍යාකරණය, කත්‍ථිය, අඤ්ඤාය, අධිකරණය, කෝකාලිකය, බල සූත්‍ර දැයි දසයෙකි.
5. උපාලි වර්‍ගය
10. 2. 5. 1.
කාමභෝගී සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අනාථ පිණ්ඩික ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, මෙ ලොව්හි කාමභෝගී හු දස දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර දසදෙනෙකයත්:
1. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කරණේ ය. අධර්‍මයෙන් සැහැසි කමින් භෝග පර්‍ය්‍යෙෂණා කොට තමා නො සුවපත් කරන්නේ ය. නො පිනවන්නේ ය. සංවිභාග නො කරන්නේ ය, පින් නොකරන්නේ ය.
2. ගැහැවිය, මෙලොව්හි එක් කාම භෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවනුයේ ය, සංවිභාග නො කරනේ ය, පින් නො කරනේ ය.
3. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
4. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේය. ධර්‍මාධර්‍මයෙන් සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කරයි, නො පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
5. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙන් ද සාහසයෙන් ද අසාහසයෙන් ද භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග නො කරයි, පින් නො කරයි.
6. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු අසාහසයෙනුදු භෝග සොයනේ ය. ධර්‍මාධර්‍මයෙනුදු සාහසයෙනුදු භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග කරනේ ය, පින් කරනේ ය.
7. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කරනේ ය. දැමින් නො සැහැසිකමින් භෝගපර්‍ය්‍යෙෂණ කොට තමා සුවපත් නො කරනේ ය. නො පිනවන්නේය, සංවිභාග නො කරනේ ය. පින් නොකරනේ ය.
8. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය. ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරනේ ය, පිනවන්නේ ය, සංවිභාග නො කරන්නේ ය, පින් නො කරනේ ය.
9. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයන්නේය, ධර්‍මයෙන් අසාහසයෙන් භෝග සොයා තමා සුවපත් කරයි, පිනවයි, සංවිභාග කරයි, පින් කරයි. (ලෝභයෙන්) ග්‍රථිත වූයේ; මූර්ඡිතවූයේ, එහි බැස ගත්තේ ආදීනව නො දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා නැතියේ එ භෝගයනුදු වලඳනේය.
10. ගැහැවිය, මෙලොව්හි එක් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි. දැහැමින් නො සැහැසියෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි, පිනවයි, සංවිභාග කෙරෙයි, පින් කරයි. ග්‍රථිත නො වූයේ මූර්ඡිත නො වූයේ, එහි නො බැස ගත්තේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණප්‍රඥා ඇතියේ වළඳනේ යි.
1. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අදහමින් සැහැසිකමින් භෝග සොයනේ නම්, අදහමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් ගැරැහිය යුත්තේ ය: ‘අදහමින්, සැහැසිකමින් භෝග පර්‍ය්‍යෙෂණ කරයි’ යන මේ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි, යන මේ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මේ තුන්වන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ මෙතුන් කරුණෙන් ගැරැහිය යුත්තේ ය.
2. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග නොකෙරේ නම් පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂයා කරුණු දෙකෙකින් ගැරැහිය යුත්තේ ය. එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: ‘අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයන්නේ ය යන මෙ පළමු කරුණෙන් ගැරැහිය යුත්තේ ය. තමා සුවපත් කෙරෙයි. පිනවයි යන මෙ එක් කරුණෙන් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නොකෙරෙයි. පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණෙන් ගැරැහිය යුත්තේ ය. ගැහැවිය, මෙ කාමභෝගී පුරුෂ තෙම දෙකරුණෙන් ගැරැහිය යුත්තේ ය. මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි.
3. ගැහැවිය, එහි යම් කාමභෝගියෙක් අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, අධර්‍මයෙන්, සාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග කෙරේ නම් පින් කෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගියා එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි: අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග කරයි, පින් කෙරෙයි යන මේ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාම භෝගියා මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. මෙ දෙකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
4. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා නම්, ධර්‍මාධර්‍මයෙන් හා සාහසිකාසාහසිකකර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් නො කෙරේ නම්, නොපිනවා නම්, සංවිභාග නොකෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි, තුන් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ‘දැහැමින් නො සැහැසි කමින් භෝග සොයන්නේ ය යන මෙ එක් කරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් නො කෙරෙයි නො පිනවයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි, යන මෙ තුන්වන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය මෙ කාම භෝගී තෙම මෙ එක් කරුණෙන් පැසැස්ස යුතු වෙයි. මෙ තුන් කරුණෙන් ගැරැහිය යුතු වෙයි.
5. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මා ධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකා සාහසික කර්‍මයෙනුදු භෝග සොයා කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මේ කාමභෝගී පුද්ගල දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයනේ ය යන මේ පළමු කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. අධර්‍මයෙන් සාහසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙ පළමු කරුණින් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කරයි, පින් නො කරයි යන මේ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ කරුණු දෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. මෙ කරුණු දෙකින් ගැරැහිය යුතු වෙයි.
6. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මාධර්‍මයෙනුදු, සාහසිකාසාසික කර්‍මයෙනුදු භෝග සොයා නම් ධර්‍මාධර්‍මයෙනුදු සාහසිකාසාහසික කර්‍මයෙනුදු භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවා නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල තුන් කරුණෙකින් ප්‍රසංසාර්‍හ වෙයි, එක් කරුණෙකින් ගැරහිය යුතුවෙයි: ධර්‍මයෙනුදු අසාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. අධර්‍මයෙනුදු සාහසික කර්‍මයෙනුදු භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ එක් කරුණෙන් ගැරැහිය යුතු වෙයි. තමා සුවපත් කරනුයේ, පිනවන්නේය යන මේ දෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. සංවිභාග කරනුයේය, පින කරනුයේ ය යන මෙ තෙවන කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල මෙතුන් කරුණින් ප්‍රසංසාර්‍හ වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.
7. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් නොකෙරෙයි නම්, නො පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නොකෙරේ නම්, ගැහැවිය, මෙ කාමභෝගී පුද්ගල එක් කරුණෙකින් පැසැස්ස යුතු වෙයි. දෙකරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරනුයේය යන මේ පළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් නො කරනුයේ ය, නො පිනවයි, යන මෙ පළමුවන කරුණින් ගැරැහිය යුතු වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ දෙවන කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මෙ කාම භෝගී පුද්ගල මෙ එක් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ දෙකරුණින් ගැරැහිය යුතු වෙයි.
8. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරේ නම්, පිනවා නම්, සංවිභාග නො කෙරේ නම්, පින් නො කෙරේ නම්, ගැහැවිය, මෙ කාම භෝගියා දෙකරුණෙකින් ප්‍රශංසාර්‍හ වෙයි. ඒ කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග පර්‍ය්‍යෙෂණ කරයි යන මේ පළමු වන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. තමා සුවපත් කරයි, පිනවයි යන මෙ දෙවන කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි. සංවිභාග නො කෙරෙයි, පින් නො කෙරෙයි යන මෙ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාම භෝගී මෙ දෙකරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක්කරුණින් ගැරැහිය යුතු වෙයි.
9. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාම භෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කෙරෙයි නම්, පිනවයි නම්, සංවිභාග කෙරෙයි නම්, පින් කෙරෙයි නම්, ඒ භෝගයෙනුදු ග්‍රථිතවූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ ආදීනව නොදක්නා සුළු වූයේ අනිඃසරණප්‍රඥා ඇත්තේ වළඳානම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම තුන් කරුණෙකින් පැසැසිය යුතු වෙයි. එක් කරුණෙකින් ගැරැහිය යුතු වෙයි: ධර්‍මයෙන් අසාහාසික කර්‍මයෙන් භෝග සොයයි යන මෙපළමු කරුණින් පැසැස්ස යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවන කරුණින් පැසැස්ස යුතු වෙයි. සංවිභාග කෙරෙයි, පින් කෙරෙයි, මෙ තෙවන කරුණින් පැසිසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ මූර්ඡිත වූයේ එහි බැස ගත්තේ, ආදීනව නො දක්නා සුලු වූයේ නිඃසරණ ප්‍රඥා නැත්තේ වළඳ කරයි යන මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි. ගැහැවිය, මේ කාමභෝගයා මේ තුන් කරුණින් පැසැස්ස යුතු වෙයි. මෙ එක් කරුණින් ගැරැහිය යුතු වෙයි.
10. ගැහැවිය, ඔවුනතුරෙහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා නම්, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවයි නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, ඒ භෝගයනුදු ග්‍රථිත නො වූයේ මූර්ඡිත වූයේ එහි බැස නොගත්තේ ආදීනව දක්නා සුලුවූයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි නම්, ගැහැවිය, මෙ කාමභෝගී තෙම සතර කරුණෙකින් පැසැසිය යුතු වෙයි: දැහැමින් නොසැහැසි කමින් භෝග සොයයි යන මෙ පළමු කරුණින් පැසැසිය යුතු වෙයි. තමා සුවපත් කෙරෙයි, පිනවයි යන මෙ දෙවත් කරුණින් පැසැසිය යුතු වෙයි. සංවිභාග කරයි, පින් කරයි, යන මෙ තෙවන කරුණින් පැසැසිය යුතු වෙයි. එ භෝගයනුදු ග්‍රථිත වූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳයි යන මෙ සතර කරුණින් පැසැසිය යුතු වෙයි.
ගැහැවිය, මෙ කාම භෝගීතෙම මෙ සතර කරුණෙන් පැසැසිය යුතු වෙයි.
ගැහැවිය මෙ දස කාමභෝගීහු ලොව්හි විද්‍යාමාන ම වෙති. ගැහැවිය මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම් එ භෝගයනුදු ග්‍රථිතනුවූයේ අමූර්ඡිත වූයේ අධ්‍යාපන්න නො වූයේ ආදීනව දක්නා සුලුයේ නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙතෙම මෙ දස කාමභෝගීන්ගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
ගැහැවිය, යම් පරිදි දෙනගෙන් කිරිය, කිරෙන් දිහිය, දිහියෙන් වෙඬරුය, වෙඬරුයෙන් ගීය, ගියෙන් ගී මධුය, එහි ලා අග්‍රයයි ගිණුමටයේ ද, ගැහැවිය, එපරිදි ම මෙ දස කාමභෝගීන් අතුරෙන් යම් කාමභෝගියෙක් ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා නම්, ධර්‍මයෙන් අසාහසික කර්‍මයෙන් භෝග සොයා තමා සුවපත් කරයි නම්, පිනවා නම්, සංවිභාග කරයි නම්, පින් කරයි නම්, එ භෝගයනුදු ග්‍රථිත නුවූයේ අමූර්ඡිත වූයේ අනධ්‍යාපන්නවූයේ ආදීනව දක්නා සුලුයේ, නිඃසරණ ප්‍රඥා ඇතියේ වළඳා නම්, මෙ දස කාමභෝගීන්ගෙන් මෙතෙම අග්‍රද, ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
10. 2. 5. 2.
භය සූත්‍රය
(සැවැත්)
එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
ගෘහපතිය, යම් හෙයෙකින් අරී සවුහුගේ පඤ්ච චිත්තෝ ත්‍රාසභයයෝ අකුශල වෛරයෝ මොනොවට සන්හුන් වෙත් ද, සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේ ද, ඔහු විසින් ආර්‍ය්‍ය (විදර්‍ශනා මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායය ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දේ, සුපිළි විදියේ වේ ද, කැමැති වනුයේ තෙමේ තමා පහළ කරන්නේ ය:
“ක්‍ෂය වී ගිය නිරෑ ඇතියෙම් ක්‍ෂය වී ගිය තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වී ගිය ප්‍රේතවිෂය ඇතියෙම්, ක්‍ෂය වී ගිය අවාදුගති විනිපා ඇතියෙම් වෙමි. විනිපාතස්වාභාව නැතියෙම් නියතයෙම් සම්බෝධිය පරායණ කොට ඇතියෙම් ශ්‍රෝතාපන්න යෙමි”යි. කවර පඤ්චභය වෛරයෝ සන්හුන්නාහු වෙත් ය යත්:
ගෘහපතිය, පණිවා කරණ සුලුවූයේ පණිවා හේතුකොටගෙන දෘෂ්ට ධාර්මික වූ ද යම් භය හා වෛර හා ලබා ද, සාම්පරායික වූ ද භය හා වෛර ලබා ද, චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ ද, පණිවායෙන් විරත වූයේ එ දෘෂ්ට ධාර්මික වූ භය වෛර නො ම ලබන්නේ ය. සාම්පරායික භය වෛර නො ම ලබන්නේ ය, චෛතසික දුඃඛදෞර්‍මනස්‍ය නො ම විඳිනේය. මෙසේ ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුගේ එ බිය හා වෙර හා සංහිඳුනේ වෙයි.
ගෘහපතිය, නුදුන්දෑගන්නා සුලුවූයේ -පෙ- කාමයන්හි මිසහසර ඇතියේ - මුසවා බණනසුලුවූයේ යම් - ගෘහපතිය, මදපමා දෙකට කරුණුවූ රහමෙර බොන සුලුයේ මදපමා දෙකට කරුණුවූ රහමෙර හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික වූ ද භය හා වෛර හා ලබා නම් සාම්පරායික වු ද භය හා වෛර හා ලබා නම් චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ නම් මදපමා දෙකට කරුණු රහමෙරින් විරත වූයේ දෘෂ්ට ධාර්මික වූ ද භය හා වෛර හා නොම ලබනේ ය, සාම්පරායික වූ ද දුක් භය හා වෛර හා නො ම ලබනේ ය, චෛතසික වූ ද දුක් දොම්නස් නො ම විඳුනේය, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරතහුගේ මෙසේ එ භය හා වෛර හා සංහිඳුනේ වෙයි. මෙ පස් භය හා වෛර හා ව්‍යුපශාන්ත වෙත්.
කවර නම් සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේය යත්:
ගෘහපතිය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: මෙ කරුණිනුදු එ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්යහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, අනුත්තරයහ, පුරුෂදම්‍ය සාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ධර්‍මයෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයාර්‍හය, විඥයන් විසින් ප්‍රත්‍යාත්ම වශයෙන් දතයුතුය”යි.
සඞ්ඝයා කෙරෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: භගවත්හුගේ අරී සවු සඟ සුපිළිපන් වෙයි, භගවත්හුගේ සවු සඟ ඍජු පිළිවෙතට පිළිපන, භගවත්හුගේ සවු සඟ මාර්‍ග නියාමයට පිළිපන, භගවත්හුගේ සවු සඟ සාමීචියට පිළිපන. මේ සතර පුරුෂ යුගලයෙක් අෂ්ට පුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භගවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුණෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලීකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර”යි.
අඛණ්ඩ වූ අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥ ප්‍රශස්ත වූ අපරාමාෂ්ට වූ සමාධියට හිතව වැටෙන ආර්‍ය්‍යකාන් ශීලයෙන් සමන්‍වාගත වෙයි. මෙ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
ඔහු විසින් කවර ආර්‍ය්‍ය න්‍යායයෙක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වූයේ සුප්‍රති විද්ධය යත්:
ගෘහපතිය, මෙසස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මෙසේ මෙ අවිද්‍යාදි ප්‍රත්‍ය ඇතිවත් ම මෙ සංස්කාරාදිය වෙයි. මෙ ප්‍රත්‍යයාගේ උත්පාදයෙන් මෙ ඵලය උපදනේය, මෙ ප්‍රත්‍යයාගේ අභාවය වත්ම මෙ ඵලය නොවේ, මෙ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් මෙ ඵලය නිරුද්ධ වෙයි, එ කිසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයයෙන් ජාති වෙයි, ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වෙයි.
අවිද්‍යාහුගේ ම අශේෂවිරාග නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වෙයි, සඞ්ඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ නූපදිත්. මෙසේ තෙල කේවල දුඃඛ ස්කන්‍ධයාගේ නිරෝධය වෙයි, ඔහු විසින් මෙ න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට සුප්‍රතිවිද්ධ වෙයි.
ගෘහපතිය, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ පඤ්චභය වෛරයෝ ව්‍යුපශාන්ත වෙත් ද, මේ සතර ස්‍රෝතාපත්ති-අඞ්ගයෙන් සමන්‍වාගත වේ ද, ඔහු විසින් මෙ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥායෙන් සුදෘෂ්ට ද සුප්‍රතිවිද්ධද වෙයි. හේ කැමැති වන්නේ තෙමේ තමා පාළ කරන්නේය: ක්‍ෂය වූ නිරය ඇතියෙම්, ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම්, ක්‍ෂය වූ ප්‍රේත විෂය ඇතියෙම් ක්‍ෂය අවාදුගති විනිපා ඇතියෙම් නො හෙන සැහැවි ඇතියෙම් නියතයෙම් සම්බෝධි පරායණයෙම් සෝවාන් වෙමි යි.
10. 2. 5. 3.
කිංදිට්ඨික සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති මැදි දහවල් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතින් නික්මින. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල සිත විය: “භාග්‍යවතුන් දක්නට තව ම නො කල, භාග්‍යවත්හු ප්‍රතිසංලීනයහ, මනෝ භාවනීය මහණුන් දක්නට ද, නො කල, මනෝ භාවනීය මහණහු ප්‍රතිසංලීනයහ. මම් අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුව කරා යෙම් මැනැවැ”යි. ඉක්බිති අනේපිඬු සිටුතෙම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹියේ ය.
එ සමයෙහි අන්තොටු පිරිවැජියෝ එක් රැස්ව ඔල්වරසන් කරන්නාහු උස්හඬ මහ හඬ ඇත්තාහු අනේකවිධ තිරශ්චීන කථා කියන්නාහු හුන්නාහු වෙති. එ අන්තොටු පිරිවැජියෝ දුරින්ම එන අනේපිඬු ගැහැවි දුටුහු. දැක උනුන් (ඉරියව් - තෙපුල්) නැවැත් වූහ: “භවත්හු අල්ප ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරත්වා, මේ මහණ ගොයුම් සවු අනේපිඬු ගැහැවි එයි. මහණ ගොයුම්හුගේ සුදුවත් හඳනා ගිහි සව්වෝ යම් පමණ සැවැත්හි වෙසෙත් නම්, මේ අනාථ පිණ්ඩික ගෘහපති ඔවුනතුරෙන් අන්‍යතරයෙක, එ ආයුෂ්මත්හු වනාහි අල්පශබ්ද ඇති (මාත්‍රභාණී) යහු විසින් හික්මවන ලද්දාහු අල්පශබ්දයාගේ ගුණ වණන්නාහු වෙති, අල්පශබ්ද ඇති පිරිස දැන එළඹියැ යුතු කොට හඟනේ නම් මැනැවැයි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තුෂ්ණීම්භූත වූහ.
ඉක්බිති අනේපිඬු ගැහැවි තෙම එ අන්තොටු පිරිවැජියන් කරා එළඹියේ ය. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගැහැවිහට ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තෙල කරුණ කීහ: “ගැහැවිය, මහණ ගොයුම්හු කවර දෘෂ්ටියක් ඇතියහු දැ යි කියව”යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ හැම දිටු නො දන්මි”යි