ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ ගන්නෙම්, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
9. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්‍ගයෙක ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නොලබයි. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
10. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් උද්ධත වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි දන්නේය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටයෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එම ධර්‍මයෝය, අන්හුගේ ද එම ධර්‍මයෝ ය. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද? එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්‍දයෙනි, එය ම ඔවුනට දීර්‍ඝරාත්‍රයෙහි අහිතය පිණිස දුක් පිණිස වෙයි.
ආනන්‍දයෙනි, එහි යම් මේ පුද්ගලයෙක් උද්ධත වේ නම් ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේ නම්, යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ ඖද්ධත්‍යය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කෘත වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය.
ආනන්‍දයෙනි, මෙ පුඟුල් තෙල පළමු පුඟුලාගෙන් සුන්‍දරතර ද ප්‍රණීතතර ද වෙයි. එ කවර හෙයින යත්: ආනන්‍දයෙනි, ධර්‍මස්‍රෝතස මෙ පුඟුලා නිවනට පමුණුවයි. එ වෙනස තථාගතයන් හැර කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු, පුඟුලන් කෙරෙහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නේ ගුණ විසින් කණිනු ලබන්නේ ය. ආනන්‍දයෙනි, මම හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රාමාණ ගන්නෙමි, යමෙක් මබඳු හෝ වේ නම් (ගන්නේ) යි.
ආනන්‍දයෙනි, බාල අව්‍යක්ත ස්ත්‍රියක් වන ස්ත්‍රීප්‍රඥා ඇති මිගසාලා උපාසිකා කවර? පුද්ගල පරවරඥානයෙහිලා (තථාගතවරයෝ) කවරහුය? ආනන්‍දයෙනි, මේ දසපුඟුල්හු ලෝකයෙහි විද්‍යාමාන වෙත්.
ආනන්‍දයෙනි, යම් බඳු ශීලයෙකින් පුරාණ සමන්‍වාගත විද, එබඳු ශීලයෙන් ඉසිදත්ත ද සමන්‍වාගත වී නම් මෙහිලා පුරාණ ඉසිදත්තගේ ගතිදු නොදන්නේය. ආනන්‍දයෙනි, යම්බඳු ප්‍රඥායෙන් පුරාණ සමන්‍වාගත වී නම්, මෙහිලා ඉසිදත්ත පුරාණගේ ගතිදු නො දන්නේය. ආනන්‍දයෙනි, මෙසේ මේ පුද්ගල දෙදෙන ඒකාඞ්ගහීන වෙති” යි.
10. 2. 3. 6.
තයෝධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ධර්‍ම තුණක් ලොව විද්‍යාමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්:
ජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනි, මෙ දහම් ගුණ ලොව්හි විද්‍යාමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනාහ. එහෙයින් තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත වෙයි.
1. මහණෙනි, මේ ධර්‍ම තුනක් නො පියා (ප්‍රහාණය නො කොට) ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි. කවර තුනෙක යත්: රාගය නො පියා, ද්වේෂය නො පියා, මෝහය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි.
2. මහණෙනි, මේ දහම් තුන නො පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට අභව්‍යයි. කවර තුනෙකයත්: සක්කාය දිට්ඨිය නො පියා, විචිකිච්ඡාව නො පියා, සීලබ්බත පරාමාසය නො පියායි. මහණෙනි, මෙතුන් දහම් නො පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට අභව්‍ය වෙයි.
3. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අයෝනිසෝමනසිකාරය නො පියාය, කුමග සෙවුනා නො පියාය, චිත්තයාගේ ලීනත්‍වය නො පියාය. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි.
4. මහණෙනි, මෙ තුන් දහමුන් නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට, කුමග සෙවුනා පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: සිහි මුළාව නොපියා, අසම්පජඤ්ඤය නො පියා, චිත්තයාගේ වික්‍ෂේපය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට කුම්මග්ගසේවනය පියන්නට චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි.
5. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව නො පියා, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව නොපියා, උපාරම්භ (චිත්ත පරිභවකරනු කැමැති සිත) නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍ය යි.
6. මහණෙනි, මේ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භ චිත්තාව පියන්නට අභව්‍ය යි. කවර තුනෙක යත්: උද්ධච්චය නො පියා, අසංවරය නො පියා, දෞශ්ශීල්‍යය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භචිත්තාව පියන්නට අභව්‍ය යි.
7. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට අභව්‍යයි. කවරතුනෙක යත්: අස්සද්ධිය නො පියා, අවදඤ්ඤුතාව නො පියා (යාචකයන් බස් නො ද න්නා බව) නො පියා, කෝසජ්ජය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට අභව්‍යයි.
8. මහණෙනි, මෙතුන් දහම් නො පියා අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අනාදරිය නො පියා, දෝවචස්සතාව නො පියා, පාපමිත්තතාව නොපියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා, අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව (දීමෙහි නො කැමැති බව) පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි.
9. මහණෙනි, මෙ දහම් තුන නොපියා අනාදරය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය නොපියා, අනොත්තප්පය නො පියා, පමාදය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නො පියා අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍ය යි.
10. මහණෙනි, මේ අහිරික අනොත්තප්පී ප්‍රමත්ත වෙයි. හේ පමාවූයේම අනාදරිය පියන්නට, දෝවචස්සතාව පියන්නට, පාපමිත්‍රතාව පියන්නට අභව්‍යයි. හේ පවිටු මිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට අභව්‍යයි. හේ කුසීත වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දුශ්ශීල්‍යය පියන්නට අභව්‍ය වෙයි. හේ දුශ්ශීල වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, අරීදහම් නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භචිත්තභාවය පියන්නට අභව්‍ය වෙයි. හේ උපාරම්භ චිත්ත ඇතියේ ම මුළා සිහිය පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍ය වෙයි. හේ වික්‍ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි. හේ ලීන සිත් ඇතියේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට අභව්‍ය වෙයි. හේ විචිකිච්ඡා ඇතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට ජරාව පියන්නට, මරණය පියන්නට අභව්‍යයි.
1. මහණෙනි, මෙදහම් තුන පියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: රාගය පියා ය, ද්වේෂය පියා ය, මෝහය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට භව්‍යයි.
2. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: සක්කායදෘෂ්ටිය පියා ය, විචිකිච්ඡාව පියා ය, සීලබ්බතපරාමාසය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි.
3. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: අයෝනිසෝ මනසිකාරය පියා, කුමාර්‍ගසේවනය පියා, චිත්තයාගේ ලීනත්‍වය පියා යි. මහණෙනි, මේ තුන්දහම් පියා සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡා පියන්නට, සීලබ්බතපරාමාස පියන්නට භව්‍යයි.
4. මහණෙනි, මේ තුන්දහම් පියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: සිහිමුළාව පියා ය, අසම්ප්‍රඥානය පියා ය, චිත්තවික්‍ෂේපය පියා යි. මහණෙනි, මේ දහම් තුණ හැරපියා අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි.
5. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව හැරපියා, ආර්‍ය්‍යධර්‍මය නො අසනු කැමැති බව හැරපියා, උපාරම්භචිත්තය ඇති බව හැරපියා යි. මහණෙනි. මෙ තුන් දහම් හැරපියා සිහිමුළාව පියන්නට, අසම්ප්‍රඥානය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට භව්‍යයි.
6. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍ම නො අසනු කැමැත්ත පියන්නට, උපාරම්භසිත් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙකයත්: උද්ධච්චය හැරපියා ය, අසංවරය හැරපියාය, දෞශ්ශීල්‍යය හැර පියා යි. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍මය නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භසිත් ඇති බව හැර පියන්නට භව්‍යයි.
7. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි. කවර තුනෙ යත්: අස්සද්ධිය හැරපියා ය, අවදඤ්ඤුතාව හැරපියාය, කෝසජ්ජය හැරපියා යි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා උද්ධච්චය පියන්නට, අසවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට භව්‍යයි.
8. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව හැර පියන්නට, යදිවදන් නො දන්නා බව හැර පියන්නට, කුසීත බව පියන්නට භව්‍යයි. තුනුරුවන්හි අදර නැති බව හැර පියායි, නො කීකරු බව හැර පියායි, පවිටු මිතුරන් ඇතිබව හැර පියායි. මහණෙනි, මේ තුන් දහම් හැරපියා සැදැහැ නැති බව පියන්නට, යදි වදන් නොදන්නා බව හැර පියන්නට, කුසීත බව හැර පියන්නට භව්‍යයි.
9. මහණෙනි, මෙ තුන් දහම් හැරපියා අනදරි බැව් පියන්නට, අකීකරු බැව් පියන්නට, ලමු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි. කවර තුනෙක යත්: අහිරිකය පියාය, අනොත්තප්පය පියාය, ප්‍රමාදය පියායි. මහණෙනි, මේ තුන් දහම් හැර පියා අනදරි බව පියන්නට, අකීකරු බව පියන්නට, පවිටු මිතුරන් ඇති බව පියන්නට භව්‍යයි.
10. මහණෙනි, මේ හිරි ඇතියේ ඔතප් ඇතියේ අප්පමත්ත වෙයි. අප්‍රමත්ත වූ ම හේ අනාදරිය පියන්නට, දුර්‍වචභාවය පියන්නට, පාපමිත්‍රතාව පියන්නට භව්‍යයි. හේ කලණමිතුරන් ඇතියේ ම අස්සද්ධිය පියන්නට, අවදඤ්ඤුතාව පියන්නට, කෝසජ්ජය පියන්නට භව්‍යයි. හේ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ ම උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට භව්‍යයි. හේ සිල්වත් වූයේ ම ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ නො අසනු කැමැති බව පියන්නට, උපාරම්භ සිත් ඇති බව පියන්නට භව්‍යයි. හේ අනුපාරම්භ චිත්ත ඇතියේ ම සිහි මුළාව පියන්නට, සම්ප්‍රඥානය පියන්නට, චිත්ත වික්‍ෂේපය පියන්නට භව්‍යයි. හේ අවික්‍ෂිප්ත සිත් ඇතියේ ම අයෝනිසෝ මනසිකාරය පියන්නට, කුමාර්‍ගසේවනය පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට භව්‍යයි. හේ අලීන චිත්ත වූයේ ම සක්කායදිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බතපරාමාසය පියන්නට භව්‍යයි. හේ විචිකිච්ඡා නැතියේ ම රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට භව්‍යයි. රාගය හැරපියා ද්වේෂය හැරපියා මෝහය හැරපියා ජාතිය පියන්නට, ජරාව පියන්නට, මරණය පියන්නට භව්‍ය වේ යයි.
10. 2. 3. 7.
කාක සූත්‍රය
[සැවැත්]
මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.
මහණෙනි, එ පරිදි ම ලමු මහණ දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල ද වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, අකාරුණික ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, ලමුමහණ මේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ යි.
10. 2. 3. 8.
නිගණ්ඨ සූත්‍රය
[සැවැත්]
මහණෙනි, නිගණ්ඨයෝ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහ. කවර දසයෙකිනයත්: මහණෙනි, නුවටෝ අශ්‍රද්ධයහ. මහණෙනි, නුවටෝ දුසිල්හ. මහණෙනි, නුවටෝ අහිරිකයහ. මහණෙනි, නුවටෝ ඔතප් නැතියහ. මහණෙනි, නුවටෝ අසත්පුරුෂයන් කෙරෙහි බැති ඇතියහ. මහණෙනි, නුවටහු ආත්මොත්කර්‍ෂක පරවම්භකයහ. මහණෙනි, නුවටහු ස්වදෘෂ්ටිය පරාමර්‍ෂ කොට ඇත්තාහු ස්වදෘෂ්ටිය දෘඪ කොට ගත්තාහු ස්වදෘෂ්ටිය නො දුරැලිය හැක්කාහු වෙති. මහණෙනි, නුවටහු කුහකයහ. මහණෙනි, නුවටහු පාපේච්ඡයහ. මහණෙනි, නුවටහු මිථ්‍යාදෘෂ්ටිකයහ. මහණෙනි, නුවටහු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහයි.
10. 2. 3. 9.
ආඝාතවස්තු සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතවස්තු දශයෙක්. කවර දශයෙකයත්: ‘මට අනර්‍ත්‍ථ කෙළේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කෙරේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත බඳනේයි. මාගේ ප්‍රිය මනාපයාට අනර්‍ත්‍ථ කෙළේයි ... අනර්‍ත්‍ථ කෙරේ යි ... අනර්‍ත්‍ථ කරන්නේ යි ... ආඝාත බඳනේය. ‘මාගේ අප්‍රියඅමනාපයාට අර්‍ත්‍ථ කෙළේ’යි .... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරණේයි ආඝාත බඳනේ ය. අස්ථානයෙහිදු කිපෙයි. මහණෙනි, මේ දශ ආඝාත වස්තු යි.
10. 2. 3. 10.
ආඝාත පටිවිනය සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතපටිවිනයෝ දස දෙනෙක. කවර දසදෙනෙක යත්: මට අනර්‍ත්‍ථ කෙළේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කෙරේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කරන්නේය, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මාගේ ප්‍රියමනාපයට අනර්‍ත්‍ථ කෙළේය ... අනර්‍ත්‍ථ කරයි ... අනර්‍ත්‍ථ කරන්නේය. එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. අස්ථානයෙහි ද නො කිපෙයි. මහණෙනි, මේ දස ආඝාත පටිවිනයෝ යි.
තෙවැනි ආකඞ්කවර්‍ග යි.
එහි උද්දානය:
ආකඞ්ක සූත්‍රය, කණ්ටක සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, වඩ්ඪී සූත්‍රය, මිගසාලා සූත්‍රය, අහබ්බ සූත්‍රය, කාක සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, වත්‍ථු සූත්‍ර දෙක දැයි දසයෙකි.
4. ථේර වර්‍ගය
10. 2. 4. 1.
බාහුන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් තථාගතයන් වහන්සේ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු ක්ලේශමර්‍ය්‍යාදාව බිඳලූ සිතින් වසන සේක් දැ යි?
බාහුනයෙනි, දශ දහමකින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු කෙලෙස් කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙති. කවර දසයෙකින් යත්: බාහුනය, තථාගතයෝ රූපයෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙත්. බාහුනයෙනි, වේදනායෙන් ... බාහුනයෙනි, සංඥායෙන් ... බාහුනයෙනි, සංස්කාරයන්ගෙන් ... බාහුනයෙනි, විඥානයෙන් ... බාහුනයෙනි, ජාතියෙන් ... බාහුනයෙනි, ජරායෙන් ... බාහුනයෙනි, මරණයෙන් ... බාහුනයෙනි, දුඃඛයෙන් ... බාහුනයෙනි, ක්ලේශයන්ගෙන් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳි සිතින් වෙසෙත්.
බාහුනයෙනි, යම් පරිද්දකින් උපුලක් වේවයි, පියුමක් වේවයි, පඬෙරක් වේවයි දියෙහි උපනේ, දියෙහි වැඩුනේ, දියෙන් නැගී දිය හා නො ගැටුනේ සිටුනේ ද, බාහුනයෙනි, එ පරිදි ම මේ දස දහමින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බිඳ ලූ කෙලෙස් මියර ඇති සිතින් වාස කරත් හ යි.
10. 2. 4. 2.
ආනන්‍ද සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් ශ්‍රද්ධා නැතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
2. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් දුසිල් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
3. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පශ්‍රැත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
4. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් දුර්වච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
5. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පවිටු මිතුරන් ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
6. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් කුසීත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
7. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මුළාසිහි ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
8. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අසන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පාපේච්ඡ වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
10. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මිථ්‍යාදෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මේ දශ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
1. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ ශ්‍රද්ධා ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
2. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ සිල්වත් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
3. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
4. ආනන්‍දයෙනි, එකැතියෙන් එ මහණ සුවච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
5. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් කල්‍යාණමිත්‍ර වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
6. ආනන්‍දයෙනි, එකැතින් එ මහණ රුකුළු වෙර ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
7. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් එළඹ සිටි සිහි ඇතියේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
8. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පෙච්ඡ වූයේ මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
10. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් සම්‍යක් දෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
ආනන්‍දයෙනි, එ මහණ එකැතින් මේ දස කරුණින් සමන්‍වාගත වූයේ මෙ සස්නෙහි වෘද්ධියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
10. 2. 4. 3.
පුණ්ණිය සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, යම් හෙයකින් කිසි කලෙක තථාගතයනට ධර්‍මදේශනාව වටහා නම් කිසි කලෙක නො වටහා නම් හේතු කවර ප්‍රත්‍යය කවර යැ?”
පුණ්ණිය, මහණ සැදැහැතියේ ද වෙයි. නො ද වෙත එළඹෙන සුලු වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ම වටහයි. පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේ ද වෙත එළඹෙන සුලු ද වේ නම් මෙසේ තථාගතයනට ධර්‍ම දේශනාව වැටහෙයි.
පුණ්ණිය, මහණ සැදැහැතියේත් වෙත එළඹෙන සුලුත් වෙයි, නො ද පර්‍ය්‍යුපාසනා කෙරෙයි ... පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් වෙයි, නො ද පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. නොද අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය අසයි. අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය ද අසයි, අසා දහම් නො දරයි. අසා ධර්‍මයත් දරයි, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නො ද පිරික්සයි. ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථයත් පිරික්සයි, අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන නො ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙයි. අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, නො ද කලණ තෙපුල් ඇතියේ නො ද කල්‍යාණ වාක්කරණ (මිහිරි කටහඬ) ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරුණු තෙපුලින් නො ද සමන්‍වාගත වූයේ වෙයි. කලණ වදන් ඇතියේ කල්‍යාණ වාක්කරණ ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් වදනින් සමන්‍වාගත වූයේ ද වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරවන සමුත්තේජනා කරවන සම්ප්‍රහංසනා කරවන සන්‍දර්‍ශක නො ද වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ද වැටහෙයි.
පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේත් එළැඹෙන සුලුත් පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් පුළුවුස්නේත් වේ ද, අවහිත ශ්‍රෝත ඇතියේ දහම් අසා ද, අසාත් දහම් දරා ද, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා ද, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි. පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණවාක් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරණුයේ සමුත්තේජනා කරණුයේ සම්ප්‍රහර්‍ෂණා කරණුයේ සන්‍දශර්‍ක ද වෙයි. මෙසේ තථාගතයනට ධර්‍ම දේශනා වටහයි. පුණ්ණිය, මේ දස කරුණින් සමන්‍වාගත වූ ධර්‍ම දේශනාව තථාගතයනට ඒකාන්ත ප්‍රතිභාන ඇති වේ යයි.
10. 2. 4. 4.
බ්‍යාකරණ සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ හ. “ඇවැත්නි”යි ඒ මහණහු ආයුෂ්මත් මහමුගලන් තෙරුනට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, සිවුමඟ කරණ ලද, මෙ බව පිණිස අනෙකක් නැතියි දන්මි”යි අර්‍හත්‍වය පවසයි. තථාගත වේවයි සමාපත්ති කුසලවූ පරසිත් දැන්මෙහි කුසල වූ පරචිත්තපර්‍ය්‍යායයෙහි කුසල වූ තථාගත ශ්‍රාවක වේවයි ඔහු අනුයෝගවතට නංවයි, සමනුගාහනා කරයි. ලබ්ධියෙහි පිහිටු වයි. සමනුභාසනා කරයි, කරුණු විචාරයි. හේ තථාගතයන් විසින් වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෛහි කුසල තථාගත ශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගවතට නංවන ලදුයේ සමනුග්‍රාහ කරනු ලබන්නේ සමනුභාසනා කරනු ලබන්නේ සිස් බවට පැමිණෙයි. නිර්ගුණභාවයට පැමිණෙයි, හානියට පැමිණෙයි, වනසට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණේ.
තථාගත වේවයි දැහැන් ඇති සමවත්හි දක්‍ෂ වූ පරසිත් දැනුම්හි දක්‍ෂ වු පරචිත්තපර්‍ය්‍යාය කුසල වු තථාගතශ්‍රාවක වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි.
“කවර කරුණකින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද ය, කරණී කරන ලද ය, මෙ බව පිණිස අන් කටයුතු නැතැ යි දන්මි’යි අර්‍හත්‍වය පවසාදැ”යි.