Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14101-14200 න් 15980

ශාරීපුත්‍රයෙනි, ‘අශ්‍රද්ධ පුරුෂපුද්ගල’ යන තෙල පරිහාණියෙක, අහ්‍රීක ... අපත්‍රපා නැති ... කුෂිද ... දුස්ප්‍රාඥ - කිපෙනසුලු - බද්ධවෛර ඇති - පාපේච්ඡ වූ - පවිටු මිතුරන් ඇති ... ශාරීපුත්‍රයෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගල යන තෙල පරිහාණියෙක.
ශාරීපුත්‍රයෙනි, යම් කෙනකුට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍ය ඇත් ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණිය නො වේ. ශාරීපුත්‍රයෙනි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාතුයක් හෝ දවසක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු වැඩේ මැයි, මැඩිලියෙනුදු වැඩෙයි, අහායෙනුදු වැඩෙයි, ආරෝහපරිණාහයෙනුදු වැඩෙයි.
ශාරීපුත්‍රයෙනි, එ සෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍ය ඇති ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ.
ශාරීපුත්‍රයෙනි, ‘ශ්‍රද්ධා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක, හ්රීමත් ... අපත්‍රපා ඇති - ආරබ්ධවීර්‍ය්‍ය ඇති - ප්‍රඥා ඇති - ක්‍රෝධ ස්වභාව නැති - බද්ධවෛර නැති - අල්පේච්ඡ වූ - කල්‍යාණමිත්‍රයන් ඇති - ‘සම්‍යක්දෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙකැයි.
10. 2. 2. 8.
දුතිය නළකපාන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නළකපාන අසළ වූ පලාස වනයෙහි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරනලදහු හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් සංදර්‍ශනය කොට සමාදන් සමුත්තේජනය කොට සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක:
“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධය ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා තොපට දැහැමි කථාව වැටහේ නම් මනා මැ නු. මාගේ පිට රදනැඟෙයි. එය මම සන්හිඳුවමැ”යි. ‘වහන්ස, එසේය’යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණ කොට අතුරා දකුණැළයෙන් වාමපාදයෙහි දකුණුපා මදක් ඇද තබා ස්මෘතිමත් වූවාහු සම්ප්‍රඥාන ඇතියාහු උත්‍ථානසංඥා මෙනෙහි කොට සිංහශය්‍යා කළ සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍යය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ඇවැත්නි. යම් සේ කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ.
ඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද ... අපත්‍රපා ඇත් ද, - වීර්‍ය්‍යය ඇත් ද, - ප්‍රඥා ඇත් ද, - ශ්‍රෝතාවධානය ඇත් ද, - ධර්‍මධාරණා ඇත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා ඇත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ඇත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ. ඇවැත්නි, යම් සේ සුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩේ, ආභායෙනුදු වැඩේ, ආරෝහපරිණාහයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ.
ඉක්බිති භාග්‍යවතුවන් වහන්සේ යළි නැගී වදාරා ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක: ශාරීපුත්‍රයෙනි, මැනැවි, ඉතා මැනැවි, ශාරීපුත්‍රයෙනි, යම් කෙනකුන්ට කුශල ධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, - ඔතප් නැත් ද, - ප්‍රඥා නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ශ්‍රෝතාවධාන නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ එයි නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ශාරීපුත්‍රයෙනි, කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ එයි නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ශාරීපුත්‍රයෙනි, එසෙයින් ම යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධි නො වේ.
ශාරීපුත්‍රයෙනි, යම් කෙනෙකුන්ට කුශල ධර්‍මයන්හි ශ්‍රද්ධා ඇද්ද, හිරි ඇද්ද, ඔතප් ඇද්ද, වීර්‍ය්‍ය ඇද්ද, ප්‍රඥා ඇද්ද, ශ්‍රෝතාවධාන ඇද්ද, ධර්‍මධාරණා ඇද්ද, අර්‍ත්‍ථොපපරීක්‍ෂා ඇද්ද, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇද්ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශලධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානිය නො වේ. ශාරීපුත්‍රයෙනි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ ඒ නම්, වර්‍ණයෙන් වැඩේ මැයි. මැඩිලියෙනුදු වැඩේ මැයි. ආභායෙනුදු වැඩේ මැයි. ආරෝහපරිණාහයෙනුදු වැඩේ මැයි. ශාරීපුත්‍රයෙනි, එ පරිදි ම යම් කෙනකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇද් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාද ඇද්ද ද, ඔහට යම් රැයක් හෝ දවසෙක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො වේ යී.
10. 2. 2. 9.
පඨම කථාවත්‍ථු සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පසුබත පිඬුවායෙන් වැළකියාහු වටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනාහු වාසය කරත්. ඒ කවර යත්: “රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍යකථා ය, සේනාකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්‍රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්‍ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්‍රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්‍රීකථා ය, පූර්‍වප්‍රේතකථා ය, නානාත්මකකථා ය, ලෝකඛ්‍යායිකථා ය, සමුද්‍රාඛ්‍යායිකථා ය, ඉතිභවාභවකථා ය, මෙසේ හෝ” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලණින් නැගුණාහු වටන්හල් කරා එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි හුන්හ. හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි මෙකල කවර කථායෙකින් යුක්තව රැස්ව හුන්නහු ද? කවර නම් කථායෙක් තොප විසින් අඩාළ කරනලද ය? වහන්ස, පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ අපි මේ වටන්හල්හි රැස්ව හුන්නමෝ අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනමෝ වාසය කරම්හ. ඒ කවර යත්: රාජකථාය, .... චෝර කථාය ... ඉතිභවාභවකථා ය, මෙසේ හෝ”යි.
මහණෙනි, ගෙන් නික් ම අනගාරිය ශාසනයෙහි පැවිදි වු කුලපුත්‍ර තොපට ප්‍රතිරූප නො වේ ම ය. යම් හෙයෙකින් තෙපි අනේකවිහිත වූ තිරශ්චීන කථායෙහි යෙදුනහු වාසය කරත් නම් - ඒ කවරය යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍ය කථා ය, සේනාසනකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්‍රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්‍ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්‍රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්‍රීකථා ය, ශූරකථා ය, විසිඛාකථා ය, කුම්භස්ථානකථා ය, පූර්‍වප්‍රේතකථා ය, නානාත්‍වකථා ය, ලොකඛ්‍යායිකා ය, සමුද්‍රාඛ්‍යායිකා ය, ඉතිභවාභවකථා ය” යන මේ යි.
මහණෙනි, මේ කථාවස්තු දශයෙක. කවර දශයෙක යත්: අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යි. මහණෙනි, මේ දශකථාවස්තූහු යි.
මහණෙනි, ඉදින් තෙපි මේ දශකථාවස්තූන්ගෙන් කථාවක් ගෙන කියන්නහු නම්, මෙසේ මහර්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්‍ද්‍රසූර්‍ය්‍යයන්ගේ ද තෙද සිය තෙදින් මැඩගෙන සිටුනාහු ය. අන්තොටු පිරිවැජියන් පිළිබඳ කවර කථා යැ?යි.
10. 2. 2. 10.
දුතිය කථාවත්‍ථු සූත්‍රය
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියාහු උවටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි ඇලුණාහු වාසය කරත්. ඒ කවර යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍රකථාය, -පෙ- ඉතිභවාභවකථාය යි.
1. මහණෙනි, මේ ප්‍රශංසාවහ කරුණු දසයෙකි. කවර දසයෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ද අල්පේච්ඡ වෙයි. අල්පේච්ඡ කථාත් භික්‍ෂූන්ට කරන්නේ වේ යයි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
2. තෙමේත් සතුටු වූයේ වෙයි. සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරනුයේත් වෙයි. “මහණ සතුටු වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරන්නේ ය” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
3. තෙමේත් ප්‍රවිවික්ත වෙයි, ප්‍රවිවේකකථා භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “මහණ ප්‍රවිවික්ත වූයේ භික්‍ෂූන්ට ප්‍රවිවේකකථා කරනේ ය”යි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
4. තෙමේත් අසංසෘෂ්ට වූයේ වෙයි, භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නේත් වෙයි. “මහණ අසංසෘෂ්ට වූයේ භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
5. තෙමේත් ආරබ්ධවීර්‍ය්‍ය වෙයි, භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කරන්නේත් වෙයි. “මහණ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
6. තෙමේත් සිල්සපන් වූයේ වෙයි. සීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “සිල්සපන් මහණ භික්‍ෂූන්ට සීලසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
7. තෙමේත් සමාධිපන්නවූයේ වෙයි. භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නේත් වෙයි. “සමාධිසම්පන්න මහණ භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
8. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “ප්‍රඥාසම්පන්න මහණ භික්‍ෂූන්ට ප්‍රඥාසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
9. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
10. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිඥානදර්‍ශනසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිවිමුක්තිඥානදර්‍ශනකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
දෙවන යමකවර්‍ගයි.
එහි උද්දානය:
අවිජ්ජා ය, තණ්හා ය, නිට්ඨා ය, අවෙච්චප්පසන්න ය, සුඛ සූත්‍ර දෙක ය, නළකපාන සූත්‍රදෙක ය, කථාවත්‍ථු සූත්‍ර දෙක දැයි දශයෙක.
3. ආකඞ්ඛ වර්‍ගය
10. 2. 3. 1.
ආකඞ්ඛෙය්‍ය සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක: මහණෙනි, සිල්සපන්ව, ප්‍රාතිමෝක්‍ෂශීලයෙන් සමන්‍වාගත ව වාසය කරවු. ආචාර ගෝචරසම්පන්න වූවාහු අණුමාත්‍ර වරදෙහිදු භය දක්නා සුල්ලහු ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූවාහු වාසය කරවු. සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙවු.
1. මහණෙනි, ඉදින් මහණ “සබ්‍රම්සරුනට ප්‍රිය හා මනාප හා ගුරු හා භාවනීය හා වෙම්ව”යි කැමැති වේ නම් අධ්‍යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ ධ්‍යාන ඇතියේ විදර්‍ශනායෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරභාවනාව වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
2. මහණෙනි. ඉදින් මහණ “චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙම් ව”යි කැමැති වේ නම් අධ්‍යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ සප්තානුදර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හිම පරිපූරකාරී වන්නේ ය.
3. මහණෙනි. ඉදින් මහණ “මම් යම් කෙනෙකුන්ගේ චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර වළඳ කෙරෙම් නම් ඔවුන්ගේ ඒ ප්‍රත්‍යසත්කාරයෝ මහත්ඵල මහානෘසංස වෙත්ව”යි කැමැති වේ … නම් ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
4. මහණෙනි. ඉදින් මහණ “මාගේ යම් ම ඥාතිසාලෝහිත ප්‍රේත කෙනෙක් කලුරිය කළාහු පහන් සිතැත්තාහු අනුස්මරණ කෙරෙත් නම් ඔවුන්ගේ එය මහත්ඵල මහානෘශංස වේ ව”යි ... ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
5. මහණෙනි. ඉදින් මහණ “ඉතෙරතෙර චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙම්ව”යි කැමැති වේනම් නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
6. මහණෙනි, ඉදින් මහණ ශිත හා උෂ්ණ හා සා හා පවස් හා මැසිමදුරු හා වා අව් හා සරීසාපයන්ගේ ස්පර්‍ශය ඉවසන සුල්ලෙම් වෙමිවයි නපුරු කොට කියු නපුරු කොට පැමිණි වචනමාර්‍ගයන් ද උපන් දුක් වූ තීව්‍රවු රලු වූ කටුක වූ අසාත වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරිකවේදනාවන් ඉවසන සැහැවි ඇත්තෙම් වෙම්වයි ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
7. මහණෙනි, ඉදින් මහණ (අභිනිෂ්ක්‍රමණ ප්‍රතිපත්තියෙහි) “අරතිය හා කාමගුණයන්හි රතිය හා මැඩ ලන්නෙම් වෙම්ව යි අරතිය හා රතිය ද මා නහමක් මඩීව යි උපන් අරතිය හා රතිය මැඩ - මැඩ වාස කරම්ව”යි කැමැති වේ නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
8. මහණෙනි, ඉදින් මහණ “චිත්තෝත්‍රාස හා බිහිසුණු අරමුණු සහන සුල්ලෙම් වෙමිවයි, භයභේරව නහමක් මැඩ යේවයි උපන් භයභේරව මැඩ - මැඩ වාසය කෙරෙම්ව”යි කැමැති වේ නම් ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
9. මහණෙනි, ඉදින් මහණ “ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම් නිදුක් සේ ලබන්නෙම් පහසු සේ ලබන්නෙම් වෙම්ව”යි ... ශූන්‍යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
10. මහණෙනි, ඉදින් මහණ “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙම්ව”යි ආධ්‍යාත්ම චිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ විදර්‍ශනායෙන් සමන්‍වාගත වූයේ ශූන්‍යාගාරයන් වඩනුයේ ශීලයන්හි පරිපූරකාරී වන්නේ ය.
මහණෙනි, “සිල්සපන් වූවාහු පාමොක්සපන් වූවාහු වාසය කරවු. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූවාහු ආචාරගෝචර සම්පන්න වූවාහු වාසය කරවු. අණුමාත්‍රවද්‍යන්හි භය දක්නා සුල්ලහු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙවු”යයී මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියනලදැ යි.
10. 2. 3. 2.
කණ්ටක සූත්‍රය
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවන කූටාගාරශාලායෙහි ආයුෂ්මත් චාලය, ආයුෂ්මත් උපචාලය, ආයුෂ්මත් කක්කටය, ආයුෂ්මත් කටිම්බය, ආයුෂ්මත් කට ය, ආයුෂ්මත් කටිස්සඞ්ගය යන ඉතා ප්‍රකට ස්ථිවිර ශ්‍රාවකයන් ද අන්‍ය වූත් ප්‍රකට බොහෝ ස්ථිවිර ශ්‍රාවකයන් ද සමග වාසය කරන සේක:
එකල්හි ඉතා ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු උස්හඬ මහහඬ ඇත්තාහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිණිස මහාවනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්නට තෙල සිත වීය: මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස්හඬ මහහඬ ඇත්තාහු භාග්‍යවතුන් දකිනු සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි වදාරන ලදී. අපි ගෝසිඞ්ගසාලවනදායට එළැඹමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද අල්පකීර්‍ණ වූවමෝ පහසුවෙන් වාසය කරම්හ”යි. ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගවනදායට එළඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පකීර්‍ණ වූවාහු පහසුවෙන් වාසය කරත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහි ය? උපචාල කොහි ය? කක්කට කොහි ය? කටිම්බ කොහි ය? කට කොහි ය? කටිස්සඞ්ග කොහි ය? මහණෙනි, ඒ තෙරසව්මහණෝ කොහි ගියාහු දැ?යී.
වහන්ස, මෙහිලා ඒ ආයුෂ්මත්නට තෙල සිත විය: “මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස්හඬ ඇතියාහු මහහඬ ඇතියාහු භාග්‍යවතුන් දැකුම සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ. අපි ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹෙමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද වූවමෝ අල්පකීර්‍ණ වූවමෝ පහසු සේ වාසය කරම්හ’යි. වහන්ස, ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පාකීර්‍ණ වූවාහු සුවසේ වාසය කරත්”යි.
මහණෙනි, මැනැවැ, මැනැවැ. යම් පරිදි ඒ මහසව්වෝ මොනොවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ.
මහණෙනි, මේ කණ්ටක දශයෙක, කවර දශයෙක යත්: ප්‍රවිවේකයෙහි ඇලුනහුට සඞ්ගණිකාරාමතාව කණ්ටක යි. අශුභනිමිත්තානුයෝගයෙහි යෙදුනට ශුභනිමිත්තානුයෝගය කණ්ටක යි. ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරඇතියහුට විසුලුදස්න කණ්ටක යි. බඹසරනුහට මාගමක වෙත හැසිරීම කණ්ටක යි. ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටක යි. ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටක යි. තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටක යි. චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස කණ්ටක යි. සංඥාවේදයිත නිරෝධසමාපත්තියට සංඥාත් වේදනාත් කණ්ටක යි. රාගය කණ්ටක යි. ද්වේෂය කණ්ටක යි. මෝහය කණ්ටක යි. මහණෙනි, කණ්ටක රහිත වූවාහු වාසය කරවු. මහණෙනි, නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, අකණ්ටක නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, රහත්හු අකණ්ටකයහ. මහණෙනි, රහත්හු නිෂ්කණ්ටකයහ. මහණෙනි, රහත්හු අකණ්ටක නිෂ්කණ්ටකයහ යි.
10. 2. 3. 3.
ඉට්ඨධම්ම සූත්‍රය
(සැවැත්)
මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මේ ධර්‍ම දශදෙනෙක් ලොව්හි දුර්‍ලභයහ, කවර දශදෙනෙක යත්:
ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්‍ණය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආරෝග්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශීලය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ බ්‍රහ්මචර්‍ය්‍ය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප මිත්‍රයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප බාහුශ්‍රැත්‍යය ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ප්‍රඥාව ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ධර්‍මයෝ ලොව්හි දුර්‍ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ස්වර්‍ගයෝ ලොව්හි දුර්‍ලභයහ.
මහණෙනි, මෙ දසදහම්හු ඉෂ්ට කාන්ත මනාප වූවාහු ලොව්හි දුර්‍ලභයහ.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශධර්‍මයනට උවදුරු දහම් දස දෙනෙකි: ආලස්‍යය අනුත්‍ථානය භෝගයනට උවදුරෙක. අමණ්ඩනය හා අභූෂණය වර්‍ණයට උවදුරෙක. අසත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට උවදුරෙක. පාපමිත්‍රතාව ශීලයනට උවදුරෙක. ඉන්‍ද්‍රිය අසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට උවදුරෙක. විසංවාදනාව මිත්‍රයනට උවදුරෙක. අසධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට උවදුරෙක. අශුශ්‍රෑෂාව හා අපරිපෘච්ඡාව ප්‍රඥාවට උවදුරෙක. අනනුයෝගය හා අප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට උවදුරෙක. මිථ්‍යාප්‍රතිපත්තිය ස්වර්‍ගයනට උවදුරෙකි.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට මේ දශ ධර්‍මයෝ උවදුරු වෙත්.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයන්ට දශ ධර්‍මකෙනෙක් ප්‍රත්‍යය වෙත්: අනාලස්‍යය හා උත්‍ථානය භෝගයනට ප්‍රත්‍යය යි, මණ්ඩනා හා විභූෂණාව වර්‍ණයට ප්‍රත්‍යය යි, සත්ප්‍රායක්‍රියාව ආරෝග්‍යයට ප්‍රත්‍යය යි, කල්‍යාණමිත්‍රතාව ශීලයනට ප්‍රත්‍යය යි, ඉන්‍ද්‍රියසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රත්‍යය යි, අවිසංවාදනාව මිත්‍රයනට ප්‍රත්‍යය යි, සද්ධ්‍යායක්‍රියාව බහුශ්‍රුත බවට ප්‍රත්‍යය යි, සුශ්‍රෑෂාව හා පරිපෘච්ඡාව ප්‍රඥාවට ප්‍රත්‍යය යි, අනුයෝගය හා ප්‍රත්‍යවේක්‍ෂණාව ධර්‍මයනට ප්‍රත්‍යය යි, සම්‍යක්ප්‍රතිපත්තිය ස්වර්‍ගයනට ප්‍රත්‍යය යි.
මහණෙනි, ලොව්හි ඉෂ්ට කාන්ත මනාප දුර්‍ලභ වූ මේ දශ ධර්‍මයනට දශ මේ දශධර්‍මයෝ ප්‍රත්‍යයහ යි.
10. 2. 3. 4.
වඩ්ඪි සූත්‍රය
(සැවැත්)
මහණෙනි, වෘද්ධි දශයකින් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්‍ත්‍ථය ගන්නා සුලුත් වෙයි. කවර දසයෙකින යත්:
ක්‍ෂේත්‍රවාස්තුයෙන් වැඩෙයි. ධනධ්‍යානයෙන් වැඩෙයි. පුත්‍රදාරයන්ගෙන් වැඩෙයි. දස් කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. චතුෂ්පදීන්ගෙන් වැඩෙයි. ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, මේ දශවෘද්ධියෙන් වැඩෙන අරීසවු ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්‍ත්‍ථය ගන්නා සුලුත් වෙයි.
1. මෙ ලොව්හි යමෙක් ධනධ්‍යානයෙනුදු පුත්‍රදාරයන්ගෙනුදු චතුෂ්පදීන්ගෙනුදු වැඩේ නම් වැලිත් නෑයන් විසිනුදු මිතුරන් විසිනුදු රජුන් විසිනුදු පුදන ලද හේ භෝගවත් වූයේ යශස්වී වෙයි.
2. මෙලොව්හි යමෙක් ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ශ්‍රැතයෙනුදු වැඩේ නම් එබඳු විචක්‍ෂණ ඒ සත්පුරුෂයා ඉහාත්මයෙහි ම උභයාර්‍ත්‍ථයෙන් වැඩෙන්නේ යි.
10. 2. 3. 5.
මිගසාලා සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවස කරා එළඹියහ. එලඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියා. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හුනු, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කරුණ සැළ කළා:
වහන්ස, ආනන්‍දයෙනි, යම් ම ධර්‍මයක බ්‍රම්සැරිත් අබ්‍රම්සැරිත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු කොට දෙසන ලද්දේ ද? වහන්ස, පුරාණ නම් වූ ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ දුරුවූයේ බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමීසත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිත දේවකායේහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්ගෙන් තුෂ්ට වූයේ අබ්‍රහ්මචාරී විය. හේ ද සකෘදාගාමී සත්ත්‍වවූයේ කලුරිය කළේ තුෂිත දේවකායෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් මේ ධර්‍මය කෙසේ කෙසේ දතයුතු කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? බුහුන තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපරිදි ම ව්‍යාකෘත වේ යි.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මිගසාලා උවැසියන්ගේ නිවෙස්නෙහි පිඬුවා ගෙන හුනස්නෙන් නැගී ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසුබත පිඬුවායෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවෙස්නට ගියෙමි, පැනවූ අස්නෙහි හුන්මි. වහන්ස, එකල්හි මිගසාලා උපාසිකාව මා කරා එළැඹියා. එළඹ මා සකසා වැඳ එකත්පස්ව හුණු. වහන්ස, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා මට තෙල සැළ කළා:
වහන්ස, යම් ම ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කෙසේ නම් දතයුතු කොට දෙසන ලද ද? වහන්ස, පුරාණ නම් ම පිය ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ, වෙන් වූයේ, බ්‍රහ්මචාරී විය. හේ සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මා සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්තුෂ්ට වූයේ අබ්‍රහ්මචාරී විය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය.
වහන්ස, යම් ම ධර්‍මයක බ්‍රහ්මචාරීත් අබ්‍රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්‍මය කෙසේ කෙසේ නම් අඥේය කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උපාසිකාවට තෙල කීමි: “බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල එසේම වදාරන ලදැ” යි.
ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ ස්ත්‍රීප්‍රඥා ඇති මාගමක් වන මිගසාලා උපාසිකා කවර? පුරුෂ
පුද්ගලයන්ගේ පරාවරඥානයෙහි ලා (සම්මාසම්බුදු වරයෝ) කවරහ?
1. ආනන්‍දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. ඒ ඵලසමාධි ඵලප්‍රඥා ද ඇතිසැටි නොදන්නේය. යම් මාර්‍ගයක ඔහුගේ ඒ දෞශශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි. බාහුශ්‍රැත්‍යයෙනුදු නො හසළ වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදුනා ලද වෙයි. සාමයික වූ ද (ප්‍රීතිප්‍රාමෝද්‍යසඞ්ඛ්‍යාත) විමුක්තිය නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
2. ආනන්‍දයෙනි, මෙලොව්හි අන්‍යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. චිත්තසමාධිය හා ප්‍රඥාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ දුස්සීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඒ ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු පිළිවිදුනා ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී වෙයි. හානගාමී නො වේ.
ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ තුලනා කෙරෙත්: “මොහුදුගේ ඒ ධර්‍මයෝ ම වෙත්. පරාගේ ද එම ධර්‍මයෝ වෙත්. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේදැ”යි. ආනන්‍දයෙනි, ඒ ප්‍රමාණකරණය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
ආනන්‍දයෙනි, එහි ලා යම් ඒ පුද්ගලයෙක් දුස්සීල වේ ද ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දනී ද, යම් ම මගක ඔහුගේ ඒ දෞශ්ශීල්‍යය අනවශේෂ කොට නිරුද්ධ වේද, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබයි. ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසෝ පළමු පුඟුලාගෙන් වඩා සුන්‍දර ද වඩා උත්තම ද වෙයි. එ කවර හෙයින යැ: ආනන්‍දයෙනි, විදර්‍ශනා ඥාන සඞ්ඛ්‍යාත ධර්‍මශ්‍රෝතස මෙ පුඟුල් (අරීබිමට) පමුණුවයි. තථාගතයන් හැර එහි වෙනස කවරෙක් දන්නේ ද? ආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් විසාහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් විසාහි නහමක් පමණ ගනිවු. ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි පමණ ගන්නා පුඟුල් ගුණ විසින් ඛනනයට පැමිණේ මැයි. ආනන්‍දයෙනි, මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, ම බන්දෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
3. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි නො දන්නේ ය. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයිකවිමුක්තියද නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
4. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් සිල්වත් වෙයි. ඒ චේතෝවිමුක්තියත් පඤ්ඤාවිමුක්තියත් ඇති සැටි දනියි. යම් මගෙක ඔහුගේ ඒ ශීලය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි,
සාමයික විමුක්තිය ද ලබයි. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
ආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කරත් ... මම් හෝ පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් හෝ වේ නම් (ප්‍රමාණ ගන්නේ) යී.
5. ආනන්‍දයෙනි, මෙ ලොව්හි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටි නො දන්නේ ය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂ කොට නිරුද්ධ වේ නම්, එහු විසින් එය ශ්‍රවණයෙනුදු නො අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු නො හසළ වෙයි, දෘෂ්ටියෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු හානියට පැමිණෙයි. විශේෂයට නො පැමිණෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නොවේ.
6. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් තීව්‍රරාග වෙයි. ඒ චිත්ත විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටි දන්නේ ය. යම් මාර්‍ගයෙක්හි ඔහුගේ ඒ රාගය අනවශේෂව නිරුද්ධ වේ නම්, ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු අසන ලද වෙයි, බාහුශැත්‍යයෙනුදු හසළ වෙයි, දෘෂ්ටියෙනුදු ප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට පැමිණෙයි. හානියට නො පැමිණෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වේ.
ආනන්‍දයෙනි, එහිලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත් ... ආනන්‍දයෙනි, පුද්ගලයන් කෙරෙහි මම් හෝ ප්‍රමාණය ගන්නෙමි, මා බඳු යමෙක් වේ නම් හෝ (ප්‍රමාණය ගන්නේ) යි.
7. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඇති සැටි නො දන්නේය, යම් මාර්‍ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් ශ්‍රවණයෙනුදු එය අකෘත වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු අකෘත වෙයි, දෘෂ්ටයෙනුදු අප්‍රතිවිද්ධ වෙයි, සාමයික විමුක්තිය ද නො ලබනේ ය. හේ කාබුන් මරණින් මතු හානියට යෙයි. විශේෂයට නොයෙයි හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.
8. ආනන්‍දයෙනි, මෙහි අන්‍යතර පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. ඒ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටි දන්නේය, යම් මාර්‍ගයෙක් ඔහුගේ ඒ ක්‍රෝධය අනවශේෂව නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි, බාහුශ්‍රැත්‍යයෙනුදු කරන ලද වෙයි, දෘෂ්ටියෙනුදු කරන ලද වෙයි, සාමයික විමුක්තිය ද ලබනේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. හානයට නො යෙයි. විශේෂගාමී ම වෙයි. හානගාමී නො වෙයි.