Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14001-14100 න් 15980

ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ. හැම දහම්හු මනසිකාරය සම්භව ඇතියහ. හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇතියහ. හැම දහම්හු වේදනාව සමවසරණ කොට ඇතියහ. හැම දහම්හු සමාධිය පාමොක් කොට ඇතියහ. හැම දහම්හු ස්මෘතිය අධිපති කොට ඇතියහ. හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇතියහ. හැම දහම්හු විමුක්තිය සාරකොට ඇතියහ. හැම දහම්හු නිවනට වදනාහ. හැම දහම්හු නිවන අවසන් කොට ඇතියහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියවු යි.
10. 2. 1. 9.
පබ්බජ්ජා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුතු: අපට පැවිද්දට නිසි සේ පුරුදු කළ සිතෙක් වන්නේ ය, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහ, අනිත්‍යසංඥාවට පුරුදු කළ සිත අපට වන්නේ ය, අනාත්මසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, අශුභසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ආදීනවසංඥායෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සමය හා විසමය ද දැන ඒ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සම්භවය හා විභවය හා දැන එ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, පඤ්චස්කන්‍ධ ලෝකයාගේ සමුදය ද අස්තගමය ද දැන ඒ සංඥායෙහි පරිචිත වූ සිත අපට වන්නේ ය, ප්‍රහාණසංඥායෙහි පරිචිත චිත්තය අපට වන්නේ ය, විරාගසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය, නිරෝධසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණෙනි, යම් කලෙක සිට මහණහට පැවිද්දට නිසි කොට පුරුදු කළ සිත වේ ද, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහු ද, අනිත්‍යසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අනාත්මසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අශුභසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ආදීනවසංඥායෙහි පරිචිත සිතත් වේ ද, සත්ත්‍වලෝකයාගේ සම විසමත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සම්භව විභව දෙකත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සමුදය අස්තගමයත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ප්‍රහාණසංඥායෙහි පරිචිත සිතත් වේ ද, විරාගසංඥායෙහි පරිචිත සිතත් වේ ද, නිරෝධසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ඔහට ඉහාත්මයෙහි අර්‍හත්‍වය හෝ උපාදිශේෂය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි උභය ඵලයන්ගෙන් අන්‍යතර ඵලයක් කැමැති වියයුතු යි.
10. 2. 1. 10.
ගිරිමානන්‍ද සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝ හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් බැව් ඇතියාහු වෙත්. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝ උපන් ආබාධ ඇතියාහු පැමිණි දුක් ඇතියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් කරා වඩනා සේක් නම් මැනැව යි.
ආනන්‍දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්‍ද මහණහු වෙත එළැඹ දශ සංඥා කියහු නම්, යම්හෙයෙකින් දශසංඥා අසා ගිරිමානන්‍ද මහණහුගේ ඒ ආබාධය හේතු විසින් සන්හිඳෙන්නේ යන තෙල කරුණ ඇත.
කවර දශයෙක යත්:
අනිත්‍යසංඥා යැ, අනාත්මසංඥා යැ, අශුභසංඥා යැ, ආදීනවසංඥා යැ, ප්‍රහාණසංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධසංඥා යැ, හැමලෝහි අනභිරතසංඥා යැ, සවුසකරන්හි අනිත්‍යසංඥා යැ, ආනාපාන සති යැ යි.
1. ආනන්‍දයෙනි, අනිච්චසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: “රූපය අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍ය ය, විඥානය අනිත්‍ය ය” යි. මෙසේ මේ පඤ්චෝපාදානස්න්‍ධයන්හි අනිත්‍යානුදර්ශී ව වසයි. ආනන්‍දයෙනි, මේ අනිත්‍යසංඥා යයි කියනු ලැබේ.
2. ආනන්‍දයෙනි, අනාත්මසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය: චක්‍ෂුස අනාත්ම ය, රූප අනාත්ම ය, ශ්‍රෝතස අනාත්ම ය, ශබ්ද අනාත්ම ය, ඝ්‍රාණය අනාත්ම ය, ගන්‍ධ අනාත්ම ය, ජිහ්වා අනාත්ම ය, රස අනාත්ම ය, කය අනාත්ම ය, ස්පර්ශය අනාත්ම ය, මනස අනාත්ම ය, ධර්‍ම අනාත්ම ය” යි මෙසේ මේ ස වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අනාත්මසංඥා යි කියනු ලැබේ.
3. ආනන්‍දයෙනි, අශුභසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ පා තලින් උඩ, කෙස්මතුයෙන් යට සම හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් පිරි මෙම කය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය: මේ කායයෙහි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය. මාංස ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩු ය, හෘදය ය, අක්මා ය, දලබු ය, බඩදිව ය, පපුකැණ ය, අතුනු ය, අතුනුබහන ය, ඖදර්‍ය්‍ය ය, පුරීෂ ය, පිත් ය, ශ්ලේස්මා ය, පූයා ය, ලේ ය, සෝදිය ය, මේදස් ය, කඳුළු ය, වුරුණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මිදුලු ය, මූ ය යන මොහු ය ඇතැයි මෙසේ මෙ කයෙහි අශුභානුදර්ශි ව වාසය කරයි. ආනන්‍දයෙනි, මේ අශුභසංඥාය යි කියනු ලැබේ.
4. ආනන්‍දයෙනි, ආදිනවසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේ ය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරයහත්: චක්ඛුරෝග ය, සෝතරෝග ය, ඝානරෝග ය, ජීව්හාරෝග ය, කායරෝග ය, සීසරෝග ය, කණ්ණරෝග ය, මුඛරෝග ය,
දන්තරෝග ය, කාස ය, ශ්වාස ය, පිනාස ය, දාහ ය, ජ්වර ය, කුච්ඡිරෝග ය, මූර්ඡා ය, පක්ඛන්‍දිකා ය, ශූලා ය, විශූචිකා ය, කුෂ්ට ය, ගණ්ඩ ය, කිලාස ය, ස්වාස ය, අපස්මාර ය, දද්දු ය, කණ්ඩු ය, කච්ඡු ය, රඛසා ය, විතච්ඡිකා ය, ලෝහිතපිත්ත ය, මධුමේහ ය, අංස ය, පිළකා ය, භගන්‍දරා ය, පිතින් උපදනා ආබාධ ය, සෙමෙන් උපදනා ආබාධ ය, වාතයෙන් උපදනා ආබාධ ය, සන්නිපාතික ආබාධ ය, ඍතුපරිණාමයෙන් වන ආබාධ ය, විෂමපරිහාරයෙන් උපදනා ආබාධ ය, ශිත ය, උෂ්ණ ය, සා ය, පවස ය, උච්චාර ය, පස්සාව ය යී. මෙසේ මෙ කාහි ආදීනවානුදර්ශී ව වෙසෙයි. ආනන්‍දයෙනි, මේ ආදීනවානුසංඥා යි කියනු ලැබේ.
5. ආනන්‍දයෙනි, ප්‍රහාණසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍ක නො ඉවසයි. දුරලයි, විනෝදනා කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපන් විහිංසාවිතර්‍ක නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, දුරලයි, විනෝදනා කරයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට යවයි. ආනන්‍දයෙනි, මේ ප්‍රහාණසංඥායි කියනු ලැබේ.
6. ආනන්‍දයෙනි, විරාගසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍වසංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ විරාගසංඥා යි කියනු ලැබේ.
7. ආනන්‍දයෙනි, නිරෝධසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ සලකන්නේ ය: සර්‍ව සංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය. ආනන්‍දයෙනි, මේ නිරෝධසංඥා යි කියනු ලැබේ.
8. ආනන්‍දයෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා කවර:
ආනන්‍දයෙනි, මේ සස්නෙහි මහණ ලොව්හි යම් උපය සඞ්ඛ්‍යාත තෘෂ්ණා - මාන - දෘෂ්ටීහු වෙත් ද කාමූපාදානදි උපාදානයෝ වෙත් ද, චිත්තාධිට්ඨාන සඞ්ඛ්‍යාත ශාශ්වත උච්ඡේද කෙනෙක් වෙත් ද අභිනිවේස සඞ්ඛ්‍යාත අත්තානුදිට්ඨියෙක් වේ ද අනුසය සඞ්ඛ්‍යාත ථාමගත ක්ලේශයෝ වෙත් ද, ඔවුන් දුරලමින් දැඩි ව නො ගනිමින් නො ඇලෙයි. ආනන්‍දයෙනි, මේ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යි කියනු ලැබේ.
9. ආනන්‍දයෙනි, සර්‍වසංස්කාරයන්හි අනිත්‍යසංඥා කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ හැම ප්‍රත්‍යුත්පන්නධර්‍මයන්ගෙන් පෙළෙයි. හිරි කෙරෙයි. පිළිකුල් කෙරෙයි. ආනන්‍දයෙනි, මේ සර්‍වසංස්කාරයන්හි අනිත්‍යසංඥා යි කියනු ලැබේ.
10. ආනන්‍දයෙනි, ආනාපානසති කවර:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශූන්‍යාගාරයට ගියේ වේවයි කය ඍජු කොට තබා සිහි පෙරට කොට එළවා පලක් බැඳ හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්සාස කෙරෙයි, සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි:
දීර්‍ඝ කොට ආශ්වාස කරනුයේ හෝ දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනී, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී, ලඝූ කොට ආශ්වාස කරනුයේ හෝ ලඝූ කොට ආශ්වාස කෙරෙමි යි දනී, ලඝූ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ලඝූ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී. සකල අශ්වාසකායය මුල - මැද - අග පාළ කරනුයේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සකල ප්‍රශ්වාසකායය මුල - මැද - අග පාළ කරනුයේ ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ඖදාරික ආශ්වාසකායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ඖදාරික ප්‍රශ්වාසකායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
ප්‍රීතිය මොනොවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීතිය මොනොවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. තුන් දැහැන් විසින් සුඛය මොනොවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. තුන් දැහැන් විසින් සුඛය මොනොවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තසංස්කාරය දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තසංස්කාරය දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සිවුදැහැන් විසින් චිත්තය දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිවුදැහැන් විසින් චිත්තය දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි. සමථ විපස්සනා විසින් සිත පහන් කරවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සමථ විපස්සනා විසින් සිත පහන් කරවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ධ්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ධ්‍යාන විසින් සිත අරමුණෙහි සමව තබමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
අනිත්‍යානුදර්ශී වුයෙමේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. අනිත්‍යානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. විරාගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. විරාගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. ආනන්‍දයෙනි, මේ ආනාපානසති යි කියනු ලැබේ.
ආනන්‍දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්‍ද මහණහු වෙත ගොස් මේ දශ සංඥා කියවු නම් යම් හෙයෙකින් මේ දශසංඥා අසා ගිරිමානන්‍ද මහණහුගේ ඒ ආබාධය හේතු විසින් සන්හිඳෙන්නේ ය යන තෙල කරුණ ඇත.
එකල්හි ආයුෂ්මත් තෙරණුවෝ භාග්‍යවතුන් හමුයෙහි මේ දශසංඥා උගෙන ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ට මේ දසසංඥා කීහ. ඉක්බිති මේ දශසංඥා අසා ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ගේ ඒ ආබාධය හේතු විසින් සන්හින. ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරණුවෝත් ඒ ආබාධයෙන් නැගියහ. ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන්ගේ ඒ ආබාධය එසේ ප්‍රහීණ ම වී.
පළමුවැනි සචිත්තවර්‍ග යි.
එහි උද්දානය:
සචිත්ත සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, ඨිති සූත්‍රය, සමථ සූත්‍රය, පරිහාන සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙකය, මූල සූත්‍රය, පබ්බජිත සූත්‍රය, ගිරිමානන්‍ද සූත්‍රය දැයි දසයෙක.
2. යමක වර්‍ගය
10. 2. 2. 1.
අවිද්‍යා සූත්‍රය
[සැවැත්]
“මහණෙනි, මෙයින් පෙර අවිද්‍යා නො වී ය, එයින් පසු පහළ වී යැ” යි අවිද්‍යාවගේ පුරිම කෙළවරෙක් නො පැනේ. මෙසේ තෙල කියනු ලැබේ. වැලිදු අවිද්‍යාව ඉදම්ප්‍රත්‍යයෙනැ යි පැනේ.
මහණෙනි, මම අවිද්‍යාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ආහාර කවරේ ය: පඤ්චනීවරණයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනීවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනීවරණයන්ගේ ආහාර කවරේ ය: ත්‍රිවිධ දුශ්චරිතයහයි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ආහාර කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ආහාර කවරේ ය: අස්මෘති අසම්ප්‍රජන්‍යය යි යි කියයුතු වෙයි. මහණෙනි, මම අස්මෘති අසම්ප්‍රජන්‍යය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘතිය අසම්ප්‍රජන්‍යයාගේ ආහාර කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කියයුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ආහාර කවරේ ය: නො ඇදහිලි බව ය යි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නො ඇදහිලිබව්හුගේ ආහාර කවරේ ය: අසද්ධර්‍මශ්‍රවණ ය යි කියයුතු වෙයි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ආහාර කවරේ ය: අසත්පුරුෂ සංසේවා ය යි කියයුතු වෙයි.
මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවා පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො ඇදහිලි බව පුරයි. නො ඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිත පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේ පරිපූර්‍ණ භාවය ද වේ.
මහණෙනි, යම් පරිදි ගල් මතුයෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලා යත් ම එ දිය නිම්න තැන් තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරාලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහ හෙබ් පුරාලත් ද, මහ හෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහු පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරා ලත් ද මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහාසමුද්‍රය පුරා ලත්ද මෙසේ තෙල මහා සමුද්‍රයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ.
මහණෙනි, ඒ පරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො හැදහිලි බව පුරයි. නො හැදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණ භාවය වෙයි.
මහණෙනි, මම විද්‍යා විමුත්තිය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. විද්‍යා විමුත්තියට ප්‍රත්‍යය කවරේය: සත් වැදෑරුම් මාර්‍ග බෝධ්‍යඞ්ගයහ යි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්ත බෝධ්‍යඞ්ගයන් සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සප්ත බෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේය: සතර සීවටනයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම සතර සීවටනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සතර සීවටන්හුගේ ප්‍රත්‍යය කවරේය: ත්‍රිවිධ සුචරිතය යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුවරිතයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යයෝ කවරහ: ඉන්‍ද්‍රිය සංවරය යි කිය යුතුවෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘති සම්ප්‍රජන්‍ය ය යි කියයුතු ය. මහණෙනි, මම ස්මෘති සම්ප්‍රජන්‍යය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි.
ස්මෘති සම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේය: යෝනිසෝමනස්කාර යි කියයුතුය. මහණෙනි, මම යෝනිසෝමනස්කාර ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේය: ශ්‍රද්ධාව යැයි කිය යුතු ය. මහණෙනි, මම ශ්‍රද්ධාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සද්ධර්‍ම ශ්‍රවණය යැයි කිය යුතු ය. මහණෙනි, මම සද්ධර්‍ම ශ්‍රවණය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සද්ධර්‍ම ශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ද යත්: සත්පුරුෂ සංසේවය යැයි කිය යුතු ය.
මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යා විමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍ර‍්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදරශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, එ පරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ සැදැහැ පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සීවටන් පුරත්. සතර සීවටන්හු පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ ය යි.
10. 2. 2. 2.
තෘෂ්ණා සූත්‍රය
[සැවැත්]
“මහණෙනි, මෙයින් පෙර භවතෘෂ්ණාව නො වී ය. යළි පසුව ඇතිවී යැ”යි භවතෘෂ්ණාවගේ පුරිම කෙළවරක් නො පැනෙයි. මහණෙනි, තෙල මෙසේ කියනු ලැබේ. එතෙකුදුවත් භවතෘෂ්ණාව මේ ප්‍රත්‍යයෙනැයි” පැනේ.
මහණෙනි, භවතෘෂ්ණාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍ය කොට නො කියමි. භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය කවරේ ය: අවිද්‍යා ය යි කිවයුතු වෙයි. මහණෙනි, මම අවිද්‍යාව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ප්‍රත්‍යය කවරේ යැ: පඤ්චනිවරණයහ යි කිවයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනිවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනිවරණයන්ගේ ප්‍රත්‍යය කවරේ යැ: ත්‍රිවිධ දුශ්චරිතයෝ ය යි කිය යුතුය. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: අස්මෘති - අසම්ප්‍රජන්‍ය යි කිය යුතු ය. මහණෙනි, මම අස්මෘති - අසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘති - අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කිය යුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: නො ඇදහිලි බව යයි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නොඇදහිලිබව්හුගේ ප්‍රත්‍යය කවරේ ය: අසද්ධර්‍මශ්‍රණය යි කියමි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: අසත්පුරුෂසංසේවය යි කියයුතු වෙයි.
මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලි බව පුරයි. නොඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි, අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිත පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවා භව තෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලා යන කල්හි ඒ දිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, එපරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණ පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නොඇදහිලිබව පුරයි. නොඇදහිලිබව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. අවිද්‍යාව පරිපූර්‍ණ වූවාහු භවතෘෂ්ණාව පුරයි. මෙසේ තෙල භවතෘෂ්ණාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, මම විද්‍යාවිමුක්තිය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. විද්‍යාවිමුක්තියගේ ප්‍රත්‍යය කවරේ ය: සප්තබෝධ්‍යඞ්ගය හයි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්තබෝධ්‍යඞ්ගයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. සප්තබෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: සතර සතිපට්ඨානයහ යි. මහණෙනි, මම සතර සතිපට්ඨානයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. සතර සතිපට්ඨානයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ත්‍රිවිධ සුචරිතයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුචරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. මහණෙනි, ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යය කවරේ ය: ඉන්‍ද්‍රිය සංවරයයි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘතිසම්ප්‍රජන්‍ය යයි කිය යුතු වෙයි. මහණෙනි, මම ස්මෘතිසම්ප්‍රජන්‍ය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. ස්මෘතිසම්ප්‍රජන්‍යයාගේ ප්‍රත්‍යය කවරේ ය: යෝනිසෝමනසිකාර යයි කිය යුතු වෙයි. මහණෙනි, මම යෝනිසෝමනසිකාර ය ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. යෝනිසෝමනසිකාරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ශ්‍රද්ධා යයි කියයුතු වෙයි. මහණෙනි, මම ශ්‍රද්ධාව ද සප්‍රත්‍යය කොට කියමි. අප්‍රත්‍යය කොට නොකියමි. ශ්‍රද්ධාවගේ ප්‍රත්‍යය කවරේ ය: සද්ධර්‍මශ්‍රවණ යයි කිවයුතු වෙයි. මහණෙනි, මම සද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි. නිෂ්ප්‍රත්‍යය කොට නොකියමි. සද්ධර්‍මශ්‍රවණයාගේ ප්‍රත්‍යය කවරේ ය: සත්පුරුෂසංසේව යයි කියයුතු වෙයි.
මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධාව පරිපූර්‍ණ වෙයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය සංවරය පුරයි. ඉන්‍ද්‍රිසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරති. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාර වෙයි. මෙසේ පාරිපූරිය වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මතුයෙහි මහත් පොද ඇති වැසි වස්නා කල්හි වැසි දිය ගලායත්ම එදිය නිම්න තුබූ සේ වැටෙමින් පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පුරාලන්නේ වේ ද, පර්‍වතකන්‍දර ප්‍රදරශාඛා පිරුණාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පිරුණාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පිරුණාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීන් පිරුණාහු මහ නදීන් පුරාලත් ද, මහ නදීහු පිරුණාහු සයුර පුරාලත් ද, මෙසේ තෙල සමුද්‍රයාගේ ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වෙයි.
මහණෙනි, එපරිදි ම සත්පුරුෂසංසේවය පරිපූර්‍ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ ශ්‍රද්ධා පුරයි. ශ්‍රද්ධාව පරිපූර්‍ණ වූවා යෝනිසෝමනස්කාර පුරයි. යෝනිසෝමනස්කාර පරිපූර්‍ණ වූයේ ස්මෘතිසම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘතිසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්‍ණ වූවාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයෝ පරිපූර්‍ණ වූවාහු සප්තබෝධ්‍යඞ්ගයන් පුරත්. සප්තබෝධ්‍යඞ්ගයෝ පරිපූර්‍ණ වූවාහු විද්‍යාවිමුක්තිය පුරත්. මෙසේ තෙල විද්‍යාවිමුක්තියට ආහාරය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ යි.
10. 2. 2. 3.
නිට්ඨඞ්ගත සූත්‍රය
[සැවැත්]
මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නිර්‍වෙමතික වෙත් ද එ හැම දෘෂ්ටිසම්පන්නයහ. ඒ දෘෂ්ටිසම්පන්නයන් ගෙන් එ පස්දෙනෙකුන්ගේ මේ ලෝකයෙහි ම නිෂ්ඨාව (පරිනිර්‍වාණ) වෙයි. පස්දෙනෙකුන්ගේ මේ ලෝකය හැර (බ්‍රහ්මලෝකයෙහි) නිෂ්ඨාව වෙයි. මේ ලෝකයෙහි නිෂ්ඨාව කවර පස්දෙනෙකුන්ගේ යත්: සත්තක්ඛත්තුපරමයාගේ ය, කොලංකොලයාගේ ය, ඒකබීජහුගේ ය, සකදාගාමීහුගේ ය, යමෙකුත් ඉහාත්මයෙහි ම අර්‍හත් වේ නම්, ඔහුගේ ය යි මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොව්හි ම වෙයි.
කවර පස්දෙනෙකුන්ගේ මේ ලොව හැර නිෂ්ඨාව වේ ය යත්: අන්තරාපරිනිබ්බායීහුගේ ය, උපහච්චපරිනිබ්බයීහුගේය, අසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, සසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, අකනිට්ඨගාමී උද්ධංසෝතයාගේ යයි, මේ පස් දෙනාගේ මෙලොව හැර නිෂ්ඨාව වෙයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨංගත වෙත් ද එ හැම දෘෂ්ටිසම්පන්නයහ. ඒ දෘෂ්ටිසම්පන්නයන්ගෙන් මෙ පස් දෙනාගේ මෙ ලෝ හි ම නිෂ්ඨාව වෙයි. මේ පස්දෙනාගේ මෙ ලෝ හැර නිෂ්ඨාව වේ යයි.
10. 2. 2. 4.
අවෙච්චප්පසන්න සූත්‍රය
[සැවැත්]
මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්‍රසාදයෙන් සම්පන්න වෙත් නම් එ හැම ස්‍රෝතාපන්නයහ. ඒ ස්‍රොතාපන්නයන්ගෙන් පස්දෙනෙකුන්ගේ මෙලෝහි නිෂ්ඨාව වෙයි. පස්දෙනෙකුගේ නිෂ්ඨාව මෙලෝ හැර වෙයි. මෙලෝහි නිෂ්ඨාව කවර පස්දෙනෙකුගේ ය යත්: සත්තක්ඛත්තුපරමයාගේ ය, කොලංකොලයාගේ ය, ඒකබීජහුගේ ය, සකදාගාමීහුගේ ය, යමෙකුත් ඉහාත්මයෙහි ම අර්‍හත් වේ නම්, ඔහුගේ ය යි මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොව්හි ම වෙයි.
කවර පස්දෙනෙකුන්ගේ මෙලෝ හැර නිෂ්ඨාව වේ ය යත්: අන්තරාපරිනිබ්බායීහුගේ ය, උපහච්චපරිනිබ්බයීහුගේය, අසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, සසඞ්කාරපරිනිබ්බායීහුගේ ය, අකනිට්ඨගාමී උද්ධංසෝතයාගේ යයි. මේ පස් දෙනාගේ මෙලොව හැර නිෂ්ඨාව වෙයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචලප්‍රසන්න වෙත් නම් එ හැම සෝතාපන්නයහ. ඒ සෝතාපන්නයන් අතුරෙන් මෙ පස් දෙනාගේ නිෂ්ඨාව මෙහි ම වෙයි. මේ පස්දෙනාගේ නිෂ්ඨාව මෙ ලොය හැර වේ යයි.
10. 2. 2. 5.
පඨම සුඛ සූත්‍රය
එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සුඛ කිමෙක, දුක්ඛ කිමෙකැ”යි.
ඇවැත්නි, අභිනිර්‍වෘතිය (ඉපැත්ම) දුඃඛය, අනභිනිර්‍වෘතිය (නොයිපැත්ම) සුඛය යි. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුඃඛය කැමැති විය යුතු: ශීත ය, උෂ්ණ ය, සා ය, පවස් ය, උච්චාර ය, ප්‍රස්‍රාව ය, අග්නිස්පර්‍ශ ය, දණ්ඩස්පර්‍ශ ය, ශස්ත්‍රස්පර්‍ශ ය යි. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප ගන්වත්. ඇවැත්නි, අභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
ඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු. ශීත නැත, උෂ්ණ නැත, සා නැත, පවස් නැත, උච්චාර නැත, ප්‍රස්‍රාව නැත, අග්නිස්පර්‍ශ නැත, දණ්ඩස්පර්‍ශ නැත, ශස්ත්‍රස්පර්‍ශ නැත. ඥාතීහු ද මිත්‍රයෝ ද එක් රැස්ව කෝප නො ගන්වත්. ඇවැත්නි, අනභිනිර්‍වෘතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු.
10. 2. 2. 6.
දුතිය සුඛ සූත්‍රය
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්. ශාරීපුත්‍රයෙනි, මෙ ධර්‍මවිනයෙහි සුඛ නම් කිමෙක? දුක්ඛ නම් කිමෙකැ”යි.
ඇවැත්නි, මෙ ධර්‍මවිනයෙහි අනභිරතිය දුක්ඛ ය, අභිරතිය සුඛ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක්ඛ ය කැමැති විය යුතු: යනුයේ ද සුඛයක් සාතයක් නො ලබනේ ය, සිටියේ ද ... හුන්නේ ද … හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද ... අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ හෝ සුඛයක් සාතයක් නො ලබනේ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
ඇවැත්නි, අභිරතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු: යනුයේ ද, සුඛය සාතය ලබනේ ය. සිටියේ ද ... හුන්නේ ද ... හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද … අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ ද සුඛය සාතය ලබනේ ය. ඇවැත්නි, අභිරතිය ඇති වත් ම මෙ සුඛ කැමැති විය යුතුයි.
10. 2. 2. 7.
පඨම නළකපාන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකා කරනසේක් මහබික්සඟුන් සමග කෝසලයන්ගේ නළකපාන නම් නියම් ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නළකපානය අසල වූ පලාස වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරන ලද සේක් හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා සමුත්තේජන සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත වූ බික්සඟුන් අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක.
“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධ ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා ධාර්මික කථාව තොපට වැටහේ නම් මනා මැනු. මා පිට රද නැහෙයි. ඒ මම් සන්හිඳු වන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණ කොට පනවා දකුණත් පසින් දක්‍ෂිණපාදයෙහි වාමපාද මඳක් හැද තබා ස්මෘතිමත් වූවාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු උත්‍ථානසංඥාව මෙනෙහි කොට සීහශය්‍යා කළ සේක. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, යම් කිසිවක්හට කුශලධර්‍මයන් කෙරෙහි හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්‍ය්‍යය නැත් ද, කුශල ධර්‍මයන් කෙරෙහි ප්‍රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ. ඇවැත්නි, යම් පරිදි කළුවරපස්හි චන්‍ද්‍රයාට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, ඒ වර්‍ණයෙනුදු පිරිහෙයි මඬුලුයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝපරිහාණයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එපරිදි ම යමකුහට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්‍ය්‍යය නැත් ද, කුශලධර්‍මයන්හි ප්‍රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම් කුශලධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
ඇවැත්නි, ‘අශ්‍රද්ධ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක්, ඇවැත්නි, ‘අශ්‍රීක පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ඔතප් නැති පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘කුසීත පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ක්‍රොධන පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘බද්ධවෛරී පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපේච්ඡ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපමිත්‍ර පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙකි.
ඇවැත්නි, යම් කෙනකුහට කුශලධර්‍මයන් කෙරෙහි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, කුශල ධර්‍මයන් කෙරෙහි ප්‍රඥා ඇත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ. ඇවැත්නි, යම් සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා හට යම් බඳු රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, ඒ වර්‍ණනයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩෙයි, ආභායෙනුදු වැඩෙයි, ආරෝපරිහාණයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යමකුහට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්‍ය්‍යය ඇත් ද, කුශලධර්‍මයන්හි ප්‍රඥා ඇත් ද, කුශලධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ.
ඇවැත්නි, ‘ශ්‍රද්ධා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘හ්‍රීමත් පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘අපත්‍රපා ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘ප්‍රඥාවත් පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘නොකිපෙන සැහැවි ඇති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘බද්ධ වෛර නැති පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘කල්‍යාණමිත්‍ර පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙක. ඇවැත්නි, ‘සම්‍යක්දෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල අපරිහාණියෙකැ ‘යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක: “ශාරීපුත්‍රයෙනි, ඉතා මැනැවි, ඉතා මැනැවි, ශාරීපුත්‍රයෙනි, යම් කෙනෙකුන්ට කුශල ධර්‍ම කෙරෙහි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, අපත්‍රපා නැත් ද, වීර්‍ය්‍ය නැත් ද, කුශලධර්‍මයන් කෙරෙහි ප්‍රඥා නැත් ද ඔහට යම්බඳු රැයක් හෝ දවාලක් හො ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
ශාරීපුත්‍රයෙනි, යම් සේ කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාට යම්බඳු රාත්‍රියක් හෝ දවාලක් හෝ ඒ නම් වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ශාරීපුත්‍රයෙනි, එපරිදි ම යම් කෙනෙකු හට කුශලධර්‍මයන් කෙරෙහි යම් බඳු රාත්‍රියක් හෝ දාවලක් ඒ නම්, කුශලධර්‍මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නොවේ.