Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13901-14000 න් 15980

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පිළිසලනින් නැගි සේක් උවටන්හල් කරා වැඩි සේක. වැඩ ප්‍රඥප්තාසනයෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, දැන් කවර කථායෙකින් හුන්නා ව? තොප විසින් කවර අතුරු කථායෙක් අඩාළ කරන ලද දැ” යි?
“වහන්ස, අපි මේ සැවැත පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ උවටන් හල්හි හුන්නමෝ රැස්වූවමෝ හටගත් පූර්‍වභාග කලහ ඇතියමෝ හටගත් කලහ ඇතියමෝ විරුද්ධවාදයට පැමිණියමෝ උනුන් මුවසැතින් පෙළමින් වසම්හ”‘යි.
මහණෙනි, යම් හෙයකින් තෙපි හටගත් පූර්‍වභාග කළහ ඇතියහු, හටගත් කළහ ඇතියහු විවාදාපන්න වූවහු උනුන් මුවසැතින් පෙළමින් වසවු නම් මෙය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය ශාසනයෙහි පැවිදි වූ කුලපුත් තොපට නුසුදුසු මැ යි.
මහණෙනි, මේ දස ධර්‍ම කෙනෙක් සාරාණීය වූවහු ප්‍රියභාවය කරන්නාහු ගුරුභාවය කරන්නාහු සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක් බව පිණිස වටනාහ. කවර දස දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ආචාරගෝචර සම්පන්න වූයේ පාමොක් සංවරසිලින් සංවෘත ව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නාසුලු වැ සිකපෙදෙහි සමාදන් කොට ගෙන හික්මෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සිල්වත් වේ ද ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මේ ද, මෙ දහමද සාරාණීය යී. ප්‍රිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක් බව පිණිස වැටෙයි.
2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි’ යම් මේ දහම් කෙනෙක් ආදිකල්‍යාණ ද මධ්‍යකල්‍යාණ ද පර්‍ය්‍යවසාන කල්‍යාණ ද සාත්‍ථසව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධෘත වූවාහු බහුශ්‍රුත වෙත්. වචනයෙන් පරිචිත වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණමිත්‍ර වේද මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි ... එක් බව පිණිස වැටෙයි.
4. තවද මහණ සුවචභාවය කරන ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ සුවචභාවය කරන දහමින් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වේ නම් මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන් පිළිබඳ කුම් කෙරෙම් දැයි පිළිවිස කටයුතු කුදුමහත් යම් ඒ කටයුතු වේ නම් එහි දක්‍ෂ වෙයි. අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන් පිළිබඳ යම් ඒ කුදු මහත් කිංකර්‍තව්‍ය වේ නම් එහිත් දක්‍ෂ වූයේ වේද අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමර්‍ත්‍ථ වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි … එක් බව පිණිස වටනේ ය.
6. තවද මහණෙනි, මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තේ ධර්‍මකාම වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ ධර්‍මකාම වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. … එක් බව පිණිස වැටෙයි.
7. තවද මහණෙනි, මහණ අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමත් වූයේ දළපැරකුම් ඇතියේ කුසලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමතවත් වූයේ දළපැරකුම් ඇතියේ කුසල් දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසේ ද, මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.
8. තවද මහණෙනි, මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වේ ද, මෙ දහම ද සාරාණීය යි. පියකරණයි … ඒකී භාව පිණිස වැටෙයි.
9. තවද මහණෙනි, මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වේ ද, මෙ දහම ද සාරාණීය යි … ඒකී භාවයට වැටෙයි.
10. තවද මහණෙනි, මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙ ද මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහය පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.
මහණෙනි, මේ දස දහම්හු සාරාණීයහ. පිය කරණහ. ගරුකරණහ. සඞ්ග්‍රහයට ප්‍රිය භාවයට අවිවාදයට ඒකී භාවයට වැටෙත් ය යි.
පස්වැනි අක්කෝසවර්‍ග යි.
එහි උද්දානය:
විවාද සූත්‍රය, විවාදමූලසූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අන්තේපුරප්පවේසන සූත්‍රය, සකක්‍ය සූත්‍රය, මහාලි සූත්‍රය, දසධම්ම සූත්‍රය, සරීරට්ඨ සූත්‍රය, භණ්ඩන සූත්‍රය දැයි දසයෙක.
පඨමපණ්ණාසකය සමාප්ත යි.
2. දෙවන පණ්ණාසකය
1. සචිත්ත වර්‍ගය
10. 2. 1. 1.
සචිත්ත සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම් හි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
මහණෙනි, ඉදින් මහණ පරචිත්ත පරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වේමැයි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු ය.
මහණෙනි, කෙසේ මහණ සචිත්තපරියාය කුසලවේ ය යත්: මහණෙනි, දහර වූ තරුණ වු සැරසීම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ කැටපතෙක වේවයි පහන් දියබඳුනෙක වේවයි තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ තල කැලලක් හෝ දක්නේ ද ඒ රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් “එකැතින් මට ලාභයෙක, එකැතින් මාගේ මුව පරිපූර්‍ණ ය”යි එයින් තුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වෙයි. මහණෙනි, එපරිදිම මහණහට කුසල්දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපාකාර වෙයි: අභිධ්‍යා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ අභිධ්‍යා බහුල කොට නැතියෙම් වෙසෙම් දෝ යි; ව්‍යාපාදයෙන් යුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ ව්‍යාපාදයෙන් වියුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ථිනමිද්ධයෙන් වැඩුනෙම් බෙහෙවින් වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යී, උද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම්දෝ යී අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි නො කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සකිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නො කිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නොගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; කුසීතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ඇරඹි වැර ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; අසමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුලයෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද යුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ථීනමිද්ධයෙන් වැඩුණෙම් බොහෝ කොට වෙසෙම්, උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි, මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. මහණෙනි, යම් සේ ඇවිළගත් පිළි ඇත්තේ වේව යි ඇවිළගත් හිස් ඇත්තේ වේවයි එ ම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් ද ව්‍යායාමයක් ද උත්සාහයෙක් ද උස්සෝළහියක් ද නො පසුබැස්මක් ද ස්මෘතියක් ද සම්ප්‍රජන්‍යයක් ද කෙරේ නම් එසෙයින් ම ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හ උත්සාහයෙක් හා උස්සෝළහියක් හ නො පසුබැස්මක් හෝ ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හ කටයුතු.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද වියුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, පහවූ ථීනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි. මහණෙනි, එහෙයින් මහණහු විසින් ඒ කුසල් දහම්හි ම පිහිටා මතු ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු’යි
10. 2. 1. 2.
සාරිපුත්ත සූත්‍රය
[සැවැත්]
එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
“ඇවැත්නි, ඉදින් මහණ පරිචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය (තම සිතට අවවාද කිරීමෙහි) කුසල වෙමි”යි ඇවැත්නි මෙසෙයින් තොප විසින් හික්මිය යුතු.
ඇවැත්නි, මහණ කෙසේ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් පරිදි අහර වූ තරුණ වූ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේව යි පරිශුද්ධ පර්‍ය්‍යවදාත කැටපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ ම සිය මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් වේවයි අඞ්ගණයක් වේවයි දන්නේ නම් එම රජස හෝ අඞ්ගණය හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභයෙක. එකැතින් මාගේ මුව පිරිසිදුය යි පිරිපුන් සංකල්ප ඇතියේ එයින් ම තුටු සිතැත්තේ වෙයි. ඇවැත්නි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි: “අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් ද, අභිජ්ඣා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපාදයෙන් යුත් සිතැත්තෙම් බොහෝ කොට වෙසෙම් ද ව්‍යාපාදයෙන් වියුත් සිතැත්තෙම් බහුල කොට වෙසෙම් ද, ථිනමිද්ධයෙන් මැඩුණු සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, පහවූ ථිනමිද්ධ ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, උද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, අනුද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, නො කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, සකිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, නො කිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, නො ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කුසීතයෙම් බහුල කොට වෙසෙම් ද, ඇරඹිවැර ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, සමාහිතයෙම් බහුල කොට වෙසෙම් ද, අසමාහිතයෙම් බහුල කොට වෙසෙම්දැයි” යි.
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිජ්ඣා බහුල කොට ඇත්තෙම් බොහෝ කොට වෙසෙම් දෝ ... අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි. ඇවැත්නි, ඒ මහණහු විසින් එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. ඇවැත්නි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ වේව යි ඇවිළි හිස ඇතියේ වේව යි එ පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයෙක් හා මහ වැරක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ නම් ඇවැත්නි, එ පරිදි ම එ මහණහු එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසු බැස්මක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයක් හා කටයුතු:
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ වේ නම් අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බොහෝ කොට වෙසෙම් ... සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම්’යී. ඇවැත්නි, එ මහණ විසින් එ ම කුසල් දහම්හි පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.
10. 2. 1. 3.
ඨිති සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මම් කුසල් දහම්හි ස්ථිතිය ද නො වනම්. පරිහානිය කැල මැ යි. මහණෙනි, මම් කුසල් දහම්හි වෘද්ධිය ද වනම්. ස්ථිය නො වනම්. පරිහානිය නො වනම්.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි හානි වේ ද, ස්ථිති නො වේ ද, වෘද්ධි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් ශීලයෙන් ශ්‍රැතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නොම සිටුනාහ. නො වඩනා හ. මහණෙනි, තෙල කුසල් දහම්හි හානි යයි කියමි. ස්ථිතිය නො වෙයි. වෘද්ධි නො වෙයි.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි ස්ථිතිය වේ ද, හානි නො වේ ද, වෘද්ධි නො වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ නම් ඔහට එ දහම්හු නො ම පිරිහෙත්. නො වැඩෙත්. මහණෙනි, තෙල කුසල් දහම් හි ස්ථිතිය යි කියමි. හානිය යි නො කියමි. වෘද්ධිය යි නොකියමි. මහණෙනි, මෙසේ කුසල් දහම්හි ස්ථිතිය වෙයි. වෘද්ධි නො වේ. හානි නො වේ.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම් වෘද්ධි වේ ද, ස්ථිති නො වේ ද, හානි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නො ම සිටුනාහ. නො ම පිරිහෙන්නාහ.
මහණෙනි, තෙල කුසල් දහම්හි වෘද්ධියයි කියමි. ස්ථිති යයි නො කියමි. හානිය යි නො කියමි. මහණෙනි, මෙසේ වනාහි කුසල් දහම්හි වෘද්ධි වේ. ස්ථිති නොවේ. හානි නො වේ.
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමියි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු. මහණෙනි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: මහණෙනි, යම් පරිදි දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක හෝ පහන් දියබඳුනෙක හෝ තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ (තල කැලැල් ආදී) අඞ්ගණයක් හෝ දක්නේ හෝ එම රජස් හෝ අඞ්ගණය දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභය, එකැතින් මා මුව පිරිසිදුය යි පිරිපුන් මනදොළ ඇතියේ එයින් ම තුටු සිතැතියේ වෙයි.
මහණෙනි, එපරිදි ම භික්‍ෂුහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වේ. අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනභිධ්‍යාලුයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ථිනමිද්ධයෙන් මැඬුණෙම් බොහෝ කොට වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් දෝ සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ, ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. ඛ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. ථිනමිද්ධපරියුට්ඨතයෙම් බොහෝ කොට වෙසෙමි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙමි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙමි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් එම ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් හා කටයුතු යි.
මහණෙනි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ හෝ ඇවිළි හිස ඇතියේ හෝ එම පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ ද, මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් කටයුතු යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්, “අනභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. අබ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. විගතථිනමිද්ධයෙම් බොහෝ කොට වෙසෙමි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙමි. නො කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම්හි ම පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතුයි.
10. 2. 1. 4.
සමථ සූත්‍රය
[සැවැත්]
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියායකුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වෙමි යි, මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
මහණෙනි, මහණ කෙසේ නම් මහණ සචිත්තපරියායකුසල වේ ය යත්: “මහණෙනි, යම් සේ දහර වූ තරුණ වූ සදන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි පුරුෂයෙක් වේ වයි පරිශුද්ධ පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක වේවයි පහන් දියබඳුනෙක වේව යි තම මුව නිමිති පිරික්සා දක්නේ ඉදින් එහි රජසක් වේව යි තල කැලලක් වේවයි දක්නේ නම් එම රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක, එකැතින් මා මුව පිරිසිදු යයි එයින් ම තුටු සිත් ඇතියේ වෙයි. මහණෙනි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වෙයි. “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලු වෙම් දෝ යි අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයෙම්දෝයි අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් දෝයි අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම්, අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් අධ්‍යාත්මයෙහි චිත්තසමථයෙහි පිහිටා අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව පිණිස යෝග කටයුතු යි. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි. අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම් වෙමි”යි. මහණෙනි, ඒ මහණහු විසින් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවෙහි පිහිටා අධ්‍යාත්මයෙහි චිත්ත සමථය පිණිස යෝග කටයුතු යි. හේ පසු කල්හි අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම්, අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි, මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම් ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු.
මහණෙනි, යම් පරිදි ඇවිළගත් පිළි ඇතියේ වේවයි ඇවිළගත් හිස් ඇතියේ වේවයි එම පිළිය හෝ හිස නිවීමට අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කෙරෙයි. මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කටයුතු. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ නම්: “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම් වෙමි. අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එම කුසල් දහම්හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂයට යෝග කටයුතු යි.
මහණෙනි, මම් සිවුරු ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් ගම්-නියම්ගම් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් දනව් පියෙස් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි.
මහණෙනි. මම් සිවුරුද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම් පිරිහෙත්” යි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුර නො සෙවිය යුතු. එහි මේ මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුරු සෙවිය යුතු. මහණෙනි. මම් සිවුර ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
මහණෙනි. පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: එහි මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යි යම් ම පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා නො සෙවිය යුතු. එහි මේ මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙතියි යම් පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා සෙවිය යුතු. මහණෙනි, මම පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
මහණෙනි, මම සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුන නො සෙවිය යුතු. එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුනක් සෙවිය යුතු. මහණෙනි, මම සෙනසුන් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
මහණෙනි. මම් ගම් නියම්ගම් දු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම ගම් නියම්ගමක් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු. එහි මේ ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් වැඩෙතියි යම් ම ගම් නියම්ගම් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් සෙවිය යුතු. මහණෙනි. ගම් නියම්ගම් ද මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
මහණෙනි, මම් දනව් පියසුදු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි දනව් පියස සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් දනව් පියසෙක් දන්නේ නම් එබඳු දනවු පියෙස් නො සෙවිය යුතු. එහි මේ දනව් පියෙස සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම දනව් පියෙසක් දන්නේ නම් මෙබඳු දනව් පියෙස සෙවිය යුතු. මහණෙනි, දනව් පියෙසුදු මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් ම පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල නො සෙවිය යුත්තේ ය. එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙති යි යම් පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල සෙවිය යුතු. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.
10. 2. 1. 5.
පරිහාන සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, පිරිහෙන සැහැවි ඇති පුඟුලාය, පිරිහෙන සැහැවි ඇති පුඟුලා යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද? ‘කෙතෙක් කරුණින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇත්තේය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද?
“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නට දුර සිට වුවත් පැමිණෙම්හ. එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ම වැටහේ නම් මැනැව. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ” යි.
ඇවැත්නි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි ඇවැත්නි, එසේයයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් පුඟුල් පිරිහෙන සැහැවි ඇතියේ යි වදාරණ ලද්දේ ය යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශ්‍රැත ධර්‍මයක් නො අසන්නේ ය. ඔහු විසින් අශ්‍රැත ධර්‍මයෝත් සම්මෝහයට යෙත්. යම් දහම් කෙනෙකුන් පෙර ඔහු විසින් සිතින් පහස්නා ලද විරූ නම් ඔහුත් උදා නො වෙත්. අවිඥාතයත් නො දන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.
ඇවැත්නි, කෙතෙකින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇතැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අශ්‍රැත ධර්‍මය ද අසන්නේ ය. ඔහු විසින් ශ්‍රැත ධර්‍මයෝ ද සම්මෝහයට නො යෙත්. යම් ධර්‍ම කෙනෙකුත් ඔහු විසින් පෙර සිතින් නො පහස්නා ලද විරූ නම් ඔහු ද උදා වෙත්. අවිඥාතය ද දැනගන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුද්ගල අපරිහානධර්‍ම ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.
ඇවැත්නි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමි යි, ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
ඇවැත්නි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් සේ දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක් හෝ පහන් දියබඳුනෙක හෝ තම මුව නිමිති පිරික්සනුයේ ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේව යි දක්නේ නම් ඒ රජස හෝ තල කැලල හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ තල කැලලක් නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක්, එකැතින් මා මුව පිරිසිදු ය යි එයින් ම තුටු සිත් ඇත්තේ වෙයි. ඇවැත්නි, එසෙයින් ම භික්‍ෂූහට කුශලධර්‍මයන්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි.
අනභිජ්ඣාලූයෙම් බොහෝ කොට වෙසෙම් ද මට තෙල දහම විද්‍යමාන ද, නොහොත් අවිද්‍යමාන දැ යි. අව්‍යාපන්න චිත්තයෙම් බොහෝ කොට වෙසෙමි ද. මට තෙල දහම විද්‍යමාන වේ ද, නොහොත් අවිද්‍යමාන වේ දැ යි. විගතථිනමිද්ධයෙම් බහුලකොට වෙසෙම් ද. මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල ධර්‍මය ඇත්තේ දැයි, නැතහොත් නැත්තේ දැ යි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙම් මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. නොකිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. නොකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. අධ්‍යාත්මයෙහි ධර්‍මප්‍රමෝද්‍යය ලබන සුලු වෙම් ද, මටතෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථ ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නැතහොත් නැත්තේ ද, අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නොහොත් නැත්තේ දැ යි.
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් කටයුතු. ඇවැත්නි, යම් සේ ඇවිළගත් පිළී ඇතියේ වේව යි, ඇවිළගත් හිස ඇතියේ වේව යි, එම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයක් හා කරන්නේ ය. ඇවැත්නි, ඒ පරිදි ම ඒ මහණහු විසින් මේ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ඇතැම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ ද, සමහර කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ නම් ඒ කුසල් දහම්හි පිහිටා යම් කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනුවට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
ඇවැත්නි, යම් පරිදි ඇවිළගත් පිළී ඇතියේ වේවයි, ඇවිළගත් හිස ඇතියේ වේව යි එම පිළිය හෝ හිස හෝ නිවනට අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කරන්නේ ද, ඇවැත්නි, එ පරිදිම එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම් ඒ කුසල් දහම් හි පිහිටා, යම් කුසල් දහම් තම කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.
ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම්, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.
10. 2. 1. 6.
ප්‍රථම සංඥා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
අශුභසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අනිත්‍යසංඥා යැ අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ දුංඛයෙහි අනාත්මසංඥා යැ ප්‍රහාණසංඥා යැ විරාගසංඥා යැ නිරෝධසංඥා යි. මහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු නිවනට වදනාහු නිවන අවසන් කොට ඇත්තාහු වෙත් යී.
10. 2. 1. 7.
දුතිය සඤ්ඤා සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මෙ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත්. කවර දසයෙක යත්:
අනිත්‍යසංඥා යැ අනාත්මසංඥා යැ මරණසංඥා යැ ආහාරයෙහි ප්‍රතිකූලසංඥා යැ සර්‍වලෝකයෙහි අනභිරතසංඥා යැ අස්තිකසංඥා යැ පුලවකසංඥා යැ විනීලකසංඥා යැ විච්ඡිද්දකසංඥා යැ උද්ධුමාතකසංඥායි.
මහණෙනි, මේ දස සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිශංස වූවාහු නිවනට වදනාහු නිවන් අවසන් කොට ඇත්තාහු වෙත් යී.
10. 2. 1. 8.
මූලක සූත්‍රය
[සැවැත්]
ඉදින් මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇද්ද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇද්ද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇද්ද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇද්ද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇද්ද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇද්ද? හැම දහම්හු කුමක් සාර කොට ඇද්ද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇද්දැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනැව. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සම්භව කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමුදය කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සමවසරණ කොට ඇතියහුද? හැම දහම්හු කුමක් පාමොක් කොට ඇතියහුද? හැම දහම්හු කුමක් අධිපති කොට ඇතියහුද? හැම දහම්හු කුමක් උතුරු කොට ඇතියහුද? හැම දහම්හු කුමක් සාර කොට ඇතියහුද? හැම දහම්හු කුමකට වදනාහු ද? හැම දහම්හු කුමක් අවසන් කොට ඇතියහුදැ?” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව: