3. 1. 3. 2.
22. මහණෙනි, ලොව්හි මේ ගිලන්නු තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොමැ නැගි සිටුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නොව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නොව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නොව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
මහණෙනි, එහි ලා යම් ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නො ව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නො ව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නො ව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගේ ද, මහණෙනි, මේ ගිලනා පිණිස ගිලන් බත අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ගිලන් උවටෙක් අනුදන්නා ලද්දේ ය. මහණෙනි, මේ ගිලනා නිසා අන් ගිලන්නු ද උවටැන් කළයුත්තාහු වෙති. මහණෙනි, මේ වනාහි ලොව්හි විද්‍යමාන වූ ගිලන්නු තුන් දෙන වෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම ලොව්හි මේ ගිලනුන් බඳු පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නොලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්‍මවිෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට නො පැමිණෙයි.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම කුසලධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
මහණෙනි, එහි ලා යම් පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්‍මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම, කුශල ධර්‍මයන් විෂයෙහි මාර්‍ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණේ ද, මේ පුඟුලා පිණිස ධර්‍මදේශනාව අනුදන්නා ලදු. මහණෙනි, මේ පුඟුලා පිණිස අනුන්ට ධර්‍මය දෙසිය යුතුයි. මහණෙනි, ලොව්හි ගිලනුන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ තුන් දෙන විද්‍යමාන වෙත්.
3. 1. 3. 3.
23. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් දුඃඛ සහිත (කායද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත (වාග්ද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) වාක්සංස්කාරය මුළු කෙරෙයි. දුඃඛ සහිත (මනෝද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) මනඃසංස්කාරය පිඬු කෙරෙයි. හේ දුඃඛ සහිත කායසංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වාක්සංස්කාරය මුළු කොට, දුඃඛ සහිත මනඃසංස්කාරය පිඬු කොට දුඃඛ සහිත ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත ස්පර්‍ශයෝ පහස්නාහ. හේ දුඃඛ සහිත ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම නිරිසතුන් සෙයින් ඒකාන්තයෙන් දුක් වූ සාබාධවිපාක වේදනාව විඳුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් නිදුක් කායසංස්කාරය රැස් කෙරෙයි. නිදුක් වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදුක් මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදුක් කායසංස්කාරය රැස් කොට, නිදුක් වාක්සංස්කාරය රැස් කොට නිදුක් මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලෝකයට පැමිණෙයි. නිදුක් ලොවට පැමිණියා වූ ම ඔහු නිදුක් ස්පර්‍ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම සුභකිණ්ණ දෙවියන් සෙයින් නිදුක් ඒකාන්ත සුව ඇති විපාක වේදනාව විඳුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් දුඃඛ සහිත වූ ද, දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්‍ශයෝ පහස්නාහ. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලදුයේ ම හේ __ඇතැම් මිනිසුන් හා ඇතැම් __විනිපාත දෙවියන්__ සෙයින්__{1} දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද සුවදුක් මුසු වූ වේදනාව විඳුනේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්‍යමාන වෙති.
3. 1. 3. 4.
24. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් පුද්ගලයක්හට බොහෝ වහල් වෙති. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් පුඟුලකු වෙත පැමිණ පුද්ගල තෙමේ බුදුන් සරණ ගියා වේ ද, දහම් සරණ ගියා වේ ද, සඟුන් සරණ ගියා වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.
තවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණ පුද්ගල තෙමේ ‘මේ දුකැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් ඉපැදීමෙහි හේතුය’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කිරීමැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කරණු පිණිස යන ප්‍රතිපදාය’ යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.
තවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණි පුද්ගල තෙමේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා ගෙණ වාසය කරන්නේ වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ උපකාරවත් ෙවේ. මහණෙනි, මේ ඇදුරු පුද්ගලයෝ තුන් දෙන මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ උපකාරවත් වෙති.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනාට වඩා මේ අතැවැසි පුද්ගලයාට උපකාර ඇති අනෙක් පුද්ගලයෙක් නැතියි කියමි. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාහට මේ (අතැවැසි) පුඟුලා විසින් මනා සේ ප්‍රත්‍යුපකාර කිරීම සුකර නො වෙති යි කියමි. හේ කිමෙකින: වැඳීම ය, දැක හුනස්නෙන් නැගී සිටීම ය, ඇඳිලි කිරීම ය, උවසර කිරීම ය, චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය හා බෙහෙත් පිරිකර දීමය යන මෙයිනි.
3. 1. 3. 5.
25. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලය, විදුලිය බඳු සිත් ඇති පුද්ගලය, විදුරක් බඳු සිත් ඇති පුද්ගල යි.
මහණෙනි, පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසි පුඟුලෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය පියයි, තද ව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනා ලද පැරැණි වණයක් වෙසෙසින් (ලෙ සැරව) වගුරුවා ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය අත් හරියි, තදව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටක් පහළ කෙරෙයි. මහණෙනි, මෙ පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් උපදනා හේතු ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කිරීම ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කරණු පිණිස යන පිළිවෙත ය” යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ගණඳුරු රැයෙහි විදුලිය පවත්නා අතුරෙහි රූ දක්නේ වේ ද, මහණෙනි, එපරිදි මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. ... ‘මේ දුක් නැති කරණ පිළිවෙතැ’ යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, විදුර බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. මහණෙනි, යම් පරිදි මිණෙක් වේවයි, පහණෙක් වේවයි, විදුර විසින් නොබිඳලියහෙන දැයෙක් නැද්ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවක්‍ෂයන් ... ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසෙයි. මහණෙනි, මෙ විදුර බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ලෝකයෙහි විද්‍යමාන වන පුද්ගලයෝ තුන් දෙන වෙත්.
3. 1. 3. 6.
26. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත.
මහණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) හීන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය නො කටයුතුය. භජනය නො කටයුතුය. පර්‍ය්‍යුපාසනය නො කටයුතුය. දයාව හැරයි, අනුකම්පාව හැරයි.
මහණෙනි, සේවනය කටයුතු, භජනය කටයුතු, පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) සමාන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුතුය. භජනය කටයුතුය. පර්‍ය්‍යුපාසනය කටයුතු ය. ඒ කවර හෙයින යත්: ශීලයෙන් සමාන බවට ගියා වූ ම අපගේ ශීල කථාව ද වෙයි, අපගේ ඒ කථාව ද පවත්නී වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. සමාධියෙන් සමාන බවට ගියා වූ ම අපගේ සමාධිකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. ප්‍රඥායෙන් සමාන බවට ගියා වූ ම අපගේ ප්‍රඥාකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය.
මහණෙනි, කවර පුද්ගලයෙක් සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේ වේ ද, භජනය කටයුත්තේ වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) වැඩි තරම් වේ ද, මහණෙනි, මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. ඒ කවර හෙයින යත්: මෙසේ නො පිරිපුන් හෝ සිල්කඳ පුරමි. පිරිපුන් හෝ සිල්කඳ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා ලෝකයෙහි විද්‍යමාන වෙති.
1. තමනට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසි කලෙකත් නො පිරිහෙයි. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩිතැනැත්තකු භජනය කරන්නේ ය.
3. 1. 3. 7.
27. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්‍ය්‍යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත.
මහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ පාපකස්වභාව ඇති අපවිත්‍ර වූ සැකෙන් සිහි කළයුතු හැසිරීම් ඇති පිළිසන්කමත් ඇති ශ්‍රමණප්‍රතිරූපක වූ, ශ්‍රමණයෙමී, පිළින කරණ, බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූ, බ්‍රහ්මචාරීමී පිළින කරන, ඇතුළත දුගඳ වූ කෙලෙසුන් විසින් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇතියේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ පිළිකුල් කටයුතු නො සෙවියයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතුදු වැළිත් “පවිටු මිතුරන් ඇති පවිටුන් සහාය කොට ඇති පවිටුන් කෙරෙහි නැමෙන පුරුෂ පුද්ගලයෙකැ”යි ඔහුගේ ලාමක වූ කීර්ති ශබ්දය (අපකීර්තිය) උස්ව නගියි. මහණෙනි, අසුචියෙන් වැකුනු සර්‍පයා නොඩහතත් වැලි ඔහු (අසූචියෙන්) යම්සේ තවරා ද, මහණෙනි, එමෙන් ම මෙබඳු පුඟුලාගේ දෘෂ්ටානුගතියට නොපැමිණිය ද වැලි “මේ පුරුෂපුද්ගල පාපමිත්‍රයන් ඇතියෙක, පාප යහළුවන් ඇතියෙක, පාපයන් කෙරෙහි නැමුනෙකැ”යි ඔහුගේ අපකීර්ති ශබ්දය උස්ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල පිළිකුල් කටයුතු වෙයි. සේවනය නොකටයුතු වෙයි. භජනය නොකටයුතු වෙයි. පර්‍ය්‍යුපාසනය නොකටයුතු වේ.
මහණෙනි, මැදහත් සේ දැක්කයුතු සේවනය නොකටයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුඟුලෙක් කිපෙනසුලු වූයේ වේ ද ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ පැරැණි වණෙක් යම් සේ වෙසෙසින් ලේ සැරව වගුරුවා ද, මහණෙනි, එසේ ම ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ තිඹිරිගිනිපෙණෙහෙල්ල වැඩිපමණින් “චිටි චිටි” යන අනුකරණ පවත්වා ද, මහණෙනි, එපරිද්දෙන් ම දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ අශුචිවළ යම්සේ වෙසෙසින් දුගඳ වහනය කෙරේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දැඩි ආයාසබහුල කොට ඇත්තේ මඳකුත් කියන ලද්දේ එහි ගැටේ ද, කිපේ ද, තදව සිටුනේ වේ ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය. කවර හෙයින යත්: වැලි මා හැවියහෙන්නේය, වැලි මට අසභ්‍ය බණනේය, මට අනර්‍ත්‍ථ ද කරන්නේය කියායි. එබැවින් මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය.
මහණෙනි, කවර පුද්ගලයෙක් සේවනය කටයුතු වේ ද, භජනය කටයුතු වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුතු වේ ද: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් කලණ දහම් ඇත්තේ සිල්වත් වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කට යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කට යුත්තේ ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතත් වැලි “මේ පුරුෂ පුද්ගල කලණ මිතුරන් ඇතියෙක, කලණ යහළුවන් ඇතියෙක, කලණ මිතුරන් කෙරෙහි නැමුනෙකැ” යි මෙසේ ඔහු ලකුණු කොට කලණ යස ගී උස්ව නැඟෙයි. එහෙයින් මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
2. තමහට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසිකලෙකත් නො පිරිහෙන්නේ ය. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩි තැනැත්තකු භජනය කරන්නේ යි.
3. 1. 3. 8.
28. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි.
මහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’ යි කියයි. දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ මෙරමා හේතු කොට ගෙණ හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙණ හෝ දැන දැන මුසවා බෙණේ ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, පුප්ඵභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පෙරමුණට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ වේ ද, හෙ නො දන්නේ හෝ “නොදන්මි”යි කියයි. දන්නේ හෝ “දන්මි” යි කියයි. නො දක්නේ හෝ “නො දක්මි” යි කියයි. දක්නේ හෝ “දක්මි”යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ මඳ ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො බෙණේ ද, මහණෙනි, මේ පුප්ඵභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, මධුභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් පරුස්විසිකම් දුරු කොට කොරොස් බසින් වැළහුනේ වෙයි. යම් බසක් නිදොස් ද, කණට සුව එළවා ද, පෙම් දනවා ද, ල ගණී ද, තන්වැසි (සභ්‍ය) ද, බොහෝ දෙනාට කැමති ද, බොහෝ දෙනාට මනාප ද, එබඳු බස් කියන්නේ වේ ද, මහණෙනි, මේ මධුභාණී පුද්ගලයා යී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත් යයි.
3. 1. 3. 9.
29. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්‍ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්‍ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත දහම් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් ඕහට නැත. මහණෙනි, මේ පුද්ගල අන්‍ධයා යි කියනු ලැබේ.
මහණෙනි, එකැස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයකුට යම් බඳු ඇසෙකින් ලබා නොගත් භෝග ලබා ගන්නේ නම්, ලබාගත් භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු නුවණැසෙක් ද වෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට නො වේ. මහණෙනි, මේ පුද්ගල එකැස් පුඟුලාය යි කියනු ලැබේ.
මහණෙනි, දෑස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයකුට යම් බඳු වූ නුවණැසෙකින් නොලැබූ හෝ භෝගයන් ලබාගන්නේ නම් හෝ ලබාගත් භෝගයන් වඩා ගන්නේ නම් එබඳු නුවණැසෙක් වෙයි. යම් බඳු වූ නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට වේ. මහණෙනි, මේ දෑස් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
3. නට නුවණැස් ඇති අන්‍ධයාහට එබඳු භෝගයෝ නො වෙත්. පින් ද නොකරයි, දෙලොව්හි පරාජයග්‍රහණ වෙයි.
4. වැලිදු ශඨවැ සිටුනා හේ පින්පව් දෙකින් භෝගයන් සොයා ද, එබඳු වූ මේ අනෙක් එකැස් ඇති පුඟුලෙක් ද වදාරණ ලද්දේය.
5. කාමභෝගී වූ ඒ මිනිස් සොර රැවටිලි හා මුසවාය යන දෙකිනුදු භෝග රැස් කරන්නට දක්‍ෂයෙක් වේ. එකැස් ඇති හෙ මෙයින් නිරයට ගොස් වැනසෙයි.
6-7. දෑස් ඇත්තා වූ ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙක් ද වදාරණ ලද්දේය. ශ්‍රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡාරහිත සිත් ඇති ඒ මනුෂ්‍යයා දැහැමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත් ධනය (මෙරමාහට) දෙයි. යම් තැනෙකට ගොස් නොසොස්නේ නම්, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.
8. අන්‍ධයා ද එකැස් ඇති පුද්ගලයා ද දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂ්ඨ වූ දෑස් ඇති පුරුෂ පුද්ගලයා සේවනය කරන්නේය යි.
3. 1. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අවකුජ්ජපඤ්ඤ පුද්ගලය, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගලය, පුථුපඤ්ඤ පුද්ගලයි.
මහණෙනි, අවකුජ්ජපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතර බණ ඇසීම පිණිස ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඕහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි. මැද මෙනෙහි නො කරයි, අග මෙනෙහි නො කරයි. ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ, මැද මෙනෙහි නො කෙරේ, අග මෙනෙහි නො කෙරේ. මහණෙනි, යම් පරිදි යටිකුරු කළ කළයෙක් වේ ද, වත් කරණ ලද ජලය පෙරළේ ද, නො නවත්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ම ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද; මහණෙනි, මේ අවකුජ්ජපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත දහම් ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ ද, මැද මෙනෙහි නො කෙරේ ද, අග මෙනෙහි නො කෙරේ ද. මහණෙනි, යම් පරිදි පුරුෂයකුගේ හිඟැ තල සහල් අත්වට ඩෙබර යන නොයෙක් කෑයුතු දෑ ගැවසුනේ වේ ද, හෙතෙම ඒ අස්නෙන් නැගී සිටුනේ ම සිහිමුළාවෙන් වම්හයි ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ඒ කථාව පිළිබඳ මුල නො මෙනෙහි කෙරේ ද, මැද නොම මෙනෙහි කෙරේ ද, අග නොම මෙනෙහි කෙරේ ද,මහණෙනි, මේ උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පුථුපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස ආරාමයට නිතර යන්නේ වේ. භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත්. පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. ඒ අස්නෙන් නැඟීසිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. මහණෙනි, යම් පරිදි උඩුකුරු කළ කළයෙක් වේ ද, එහි වත් කරණ ලද දිය පිහිටා ද, පිටත නො ගැලේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුඟුලෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු වූ බඹසර ප්‍රකාශ කරත් ද, හෙ ඒ අස්නේ හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පුථුපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
9. විචක්‍ෂණ නුවූ ප්‍රඥා නැති, අවකුජ්ජපඤ්ඤ පුරුෂ තෙමේ ඉදින් භික්‍ෂූන් වෙත නිතර යන සුලු වේ ද-
10. එබඳු පුරුෂ කථායෙහි මුල ද මැද ද අග ද උගන්නට නොහැක්කේ ය. ඔහුට ප්‍රඥාව නැත් ද, එහෙයිනි.
11. ‘උච්ඡඞ්ගපඤ්ඤ’ පුරුෂ තෙමේ මෝහට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. හෙතෙම ඉදින් නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
12. එබඳු පුද්ගල ඒ ආසනයෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජන ධරා නැගී සිටියේ ම නො දනී ද, ඔහු විසින් ගන්නා ලද්ද නැසෙයි.
13. ‘පුථුපඤ්ඤ’ පුරුෂ මොවුනට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. ඉදින් හේ නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
14. එබඳු පුද්ගල ඒ අස්නෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජනය දරයි.
15. ශ්‍රේෂ්ඨසංකල්පනා ඇති විචිකිච්ඡා රහිත සිත් ඇති ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් මිනිස් ඒ දුක් කෙළවර කරන්නෙක් වන්නේය යි.
තෙවන පුඟුල් වග යි.
[4. දේවදූත වර්‍ගය]
3. 1. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ. මහණෙනි, ‘බ්‍රහ්ම’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘ආහුනෙය්‍ය’ යනු මාපියනට තෙල නමෙකි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මාපියෝ පුත්‍රයන් පල්නාහු පුස්නාහු මේ ලෝකය දක්වන්නාහු වෙත් ද, එහෙයින් දරුවනට බොහෝ උපකාර ඇතියහ.
16. මාපියෝ පුත්‍රයනට බ්‍රහ්මයහ යි ද පූර්‍වාචාර්‍ය්‍යයහ යි ද ආහුනෙය්‍යහ යි ද දරුවනට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.
17. එහෙයින් නුවණැත්තේ ඔවුන් නමදනේ ය. ආහාරයෙනුදු යලි පානයෙනුදු වස්ත්‍රයෙනුදු යහනිනුදු ඇඟ ඉළීමෙනුදු නෑවීමෙනුදු පා දෙවීමෙනුදු ඔවුන් සගන්නේ ය.
18. මවුපියන් කෙරෙහි ඒ පිරිසැරියෙන් පණ්ඩිතයෝ මෙලොව්හි ද ඔහු පසසත්. හේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද (විපාකමෝදනායෙන්) තුටු වේ යයි.
3. 1. 4. 2.
32. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, යම් පරිද්දෙකින් සවිඥානක වූ මේ ශරීරයෙහිත් අහඞ්කාරදෘෂටි හා මමඞ්කාරතෘෂණා හා මානානුසය හා යන මොහු නො වෙත් නම්, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසය යන මොහු නො වෙත් නම්, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් සමවැද වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයෝ නො වෙත් නම්, එබඳු ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් ඇත් ද?
ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද, අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, බාහිර වූ ද සියලු රූපාදිනිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, යම් බඳු වූ ඵල සමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ද ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වෙසෙන්නේ නම්, ඒ භික්‍ෂූහට එවැනි සමාධිප්‍රතිලාභයෙක් ඇත.
වහන්ස, යම් හෙයෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් බඳු වූ ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ඵලසමාධියට ඵලප්‍රඥාවට පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වන්නේ ද?
ආනන්‍දයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට මෙබඳු සිතෙක් වෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සංහිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් නො ඇලීමෙක් නිරෝධයෙක් නිවණෙක් වේ ද, තෙල ශාන්තය. තෙල ප්‍රණීතයි. ආනන්‍දයෙනි, යම්සේ මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නාහට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වාසය කරන්නේ ද, මෙසේ ඒ භික්‍ෂුහට එබඳු වූ සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ය. ආනන්‍දයෙනි, මේ කරුණ සඳහා පාරායණයෙහි පූර්‍ණක ප්‍රශ්නයෙහිදී මා විසින් තෙල දෙසන ලදී:
19. ලෝකයෙහි ස්වාත්මභාව පරාත්මභාව සඞ්ඛ්‍යාත පරාවරයන් නුවණින් දැන, ලොව්හි කිසි අරමුණෙක්හිදු යමකුගේ කම්පායෙක් නැත් ද, විරුද්ධ වූ ක්ලේශයන් සංහිඳ වූ හෙයින් ශාන්ත වූ කායදුශ්චරිතාදි වූ දුම් නැති රාගාදි ඊඝ හා ආශා නැති හෙතෙම ජාති ජරා ව්‍යාධි මරණ සමූහය තරණය කෙළේය යි කියමි.
3. 1. 4. 3.
33. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ‘ශාරීපුත්‍රයෙනි, මම සැකෙවිනුදු දහම් දෙසමි. ශාරීපුත්‍රයෙනි, මම විතර විසිනුදු දහම් දෙසමි. සංක්‍ෂේපවිස්තර දෙකිනුදු දහම් දෙසමි. එතෙකුදුවත් ප්‍රතිවේධ කරණුවෝ දුර්‍ලභයහ යි. භාග්‍යවතුන්වහන්සේ යම් හෙයෙකින් සැකෙවිනුදු දහම් දෙසන සේක් ද, විතර විසිනුදු දහම් දෙසන සේක් ද, සංක්‍ෂේපවිස්තර දෙකිනුත් දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කලි. සුගතයන් වහන්ස, මේ එයට කලි. ධර්‍මය ප්‍රතිවේධ කරණුවෝ වෙති යි.
ශාරීපුත්‍රයෙනි, එසේ හෙයින් මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, බාහ්‍ය වූ හැම නිමිත්හිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම් ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වසන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
ශාරීපුත්‍රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්‍ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරීපුත්‍රයෙනි, මේ භික්‍ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයෝජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ. ශාරීපුත්‍රයෙනි, මෙය සඳහා ම පාරායණ වර්‍ගයෙහි උදය ප්‍රශ්නයෙහි මා විසින් තෙල දෙසන ලදී:
20-21. කාමසංඥාවන්ගේ ද දොම්නසුන්ගේ දැයි මේ ධර්‍මයන් දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද‍්ධයාගේ දුරලීම ද කුක්කුච්චයන්ගේ වැළැහීම ද චතුර්‍ත්‍ථධ්‍යානයට අයත් ඵලයෙහි උපන් උපේක්‍ෂායෙන් හා ස්මෘතියෙන් පිරිසිදු වූ සම්‍යක්සංකල්පය පෙරට කොට සිටි අඤ්ඤින්‍ද්‍රියයාගේ කෙළවර උපදනා අර්‍හත්ඵලය අවිද්‍යාව බිඳීමය යි කියමි.
3. 1. 4. 4.
34. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ රැස් කිරීමට මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීමට ලෝභය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට ද්වේෂය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට මෝහය කරුණෙකි.
මහණෙනි, ලෝභයෙන් කරණ ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක කර්‍මවත් ඔහුගේ පස්කඳ පහළ වේ ද, ඒ අත්බැව්හි ඔහුගේ ඒ කර්‍මය විපාක දෙයි. යම් තැනෙක ඒ කර්‍මය විපාක දෙන්නේ වේ ද, ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ දෙවන අත්බැව්හි හෝ අවකාශ ලත් යම් ම අත්බැවෙක හෝ විඳුනේය.
මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද ද්වේෂයෙන් උපන් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ පස්කඳ පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, මේ භවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.
මහණෙනි, මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන භවයෙහි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.
මහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්‍යක් ධාරාව වර්‍ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්‍යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍ම විපාකය විඳුනේය.
ද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ ද, එහි ඔහුගේ ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, එයින් අන් අත්බැවෙක්හි වේවයි එහි ඒ කර්‍මවිපාකය විඳුනේය. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙන වෙති.
මහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක් යත්: වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අලෝභය නිදාන වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අදෝසය නිදානය වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අමෝහය නිදානය වේ.
මහණෙනි, අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. මුදුන සිඳලූ (තාලවස්තුවක් මෙන්) කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද අද්වේෂයෙන් උපන් අද්වේෂය නිදාන කොට ඇති අද්වේෂය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ද්වේෂය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. මතු නොවැඩීම කරණ ලද්දේ වේ. මතු නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
මහණෙනි, යම්සේ නො බුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති, මොනොවට හොත් බිජුවට ඇත් ද, ඒ බිජුවට පුරුෂයෙක් ගින්නෙන් දවන්නේ ද, ගින්නෙන් දවා හළු කරන්නේ ද, හළු කොට මහසුළඟෙහි හෝ පොළාහරණේ ද, සැඩ දියපහර ඇති නදියෙක්හි හෝ උල්පවා හරණේ ද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බිජුවට සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. මත්තෙහි නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, එපරිද්දෙන් ම අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහවූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.
අද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස වූ තුන් නිදානයෝයි.
22. අන්‍ධ බාල තෙම ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ{1} ස්වල්ප වූ හෝ බොහෝ වූ යම් කර්‍මයක් කරයි ද, ඔහු විසින් කරණ ලද ඒ කර්‍මය මේ අත්බැව්හි ම වින්ද යුතු වේ. (එහි විපාක දීමට) අන් තැනෙක් නැත.
23. එහෙයින් පණ්ඩිත භික්‍ෂු තෙම අර්‍හත්ත්‍වමාර්‍ඥානවිද්‍යාව උපදවන්නේ ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ මෝහයෙන් උපන් කර්‍ම ද සියලු දුගතීන් ද දුර ලන්නේ යයි.
3. 1. 4. 5.
35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්රට ගොන්මග ඇට්ටර වෙනෙහි කොළ ඇතිරියෙහි වැඩවසන සේක. එකල්හි හත්‍ථක ආළවක නම් රජපුත් ජඞ්ඝාවිහාරය කොට සක්මන් කරනුයේ ඇවිදිනුයේ ගොන්මග ඇට්ටර වෙන්හි කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස්ව හුන් හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: කිමෙක් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සුවසේ හොත්සේක් ද? කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුන් අතුරෙන් අන්‍යතරයෙක්මි.
වහන්ස, හේමන්තයට අයත් රැය ශීතය, (නවම් මැදින් දෙමස අගමුල අට දවස) හිම වැටෙන කාලය වේ. බිම රළුය, ගොකුරකටුයෙන් බිඳින. පත් ඇතිරිය තූනීය. ගසේ කොළ ද විරල ය. කසාවත් සිහිලැ. සිහිල් වේරම්බ වාතය ද හමයි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක: ‘කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි යි.’
කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව. කුමාරය, එය කිමැයි හඟනෙහි ද? මෙ ලොව්හි ගැහැවියකුහට හෝ ගැහැවි පුතකුට හෝ ඇතුළත පිටත අලෙව් දුන් වාතයෙන් තොර වූ වැද්දූ අගුල් ඇති යෙදූ වා කවුළු ඇති කුළුගෙයක් වන්නේ නම්, එහි කළුකොඳු පලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත හිස්දොර හා පාමුල දෙපස රත් කන්වයින් ඇති පලඟෙක් ඇත් නම්, තෙල් පහනෙක් ද එහි දැල්වේ නම්, පාදපරිචාරිකාවෝ සිවුදෙනකුත් මනාප මනාප උපස්ථානයෙන් එළඹ සිටියාහු නම්, කුමාරය, එය කිමැයි සිතයි ද? හෙතෙම සුවසේ හෝනේ හෝ වේ ද? නොහොත් නො වේ ද? මෙහිලා තට කෙබඳු සිතෙක් හෝ වේ දැ”යි?
‘වහන්ස, හෙතෙම සැපසේ හෝනේය. ලොව්හි යම් කෙනෙකුන් සුවසේ හොවිත් නම්, හෙතෙම ඔවුනතුරෙන් අන්‍යතරයෙකැ’යි කීය. කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව.