වහන්ස, බුන් සඟහු සමග කොට හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
ආනන‍්‍දයෙනි, බ්‍රහ්ම පුණ්‍යය ප්‍රසව කෙරේ යයි.
වහන්ස, බ්‍රහ්ම පුණ්‍යය කවර?
ආනන්‍දයෙනි, ආයුෂ්කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
1. සඟුන්ගේ සමගිය සුවැතියේ වෙයි. සමග සඟුන්ගේ අනුග්‍රහය ද සුවැතියේ ය. සමගියෙහි ඇලුනේ ධර්‍මස්ථ වූයේ යෝග ක්‍ෂේමයෙන් නො පිරිහෙයි. සඟුන් සමග කොට කපක් සගෙහි ප්‍රමොදිතවේ යයි.
සතර වැනි උපාලි වර්‍ග යි.
එහි උද්දානය:
උපාලි සූත්‍රය, පාතිමොක්ඛට්ඨපන සූත්‍රය, උබ්බාහිකා සූත්‍රය, උපසම්පදා සූත්‍රය, නිස්සය සූත්‍රය, සාමණේර සූත්‍රය, සඞ්ඝ භේද සූත්‍රය, සඞ්ඝ සාමග්ගි සූත්‍රය, ආනන්‍ද සූත්‍ර දෙක දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
5. අක්කෝස වර්‍ගය
10. 1. 5. 1.
විවාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් සඞ්ඝයාගේ භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම් භික්‍ෂූහු ද පහසු සේ නො වෙසෙත් නම් ඒ හේතු කවර, ඒ ප්‍රත්‍යය කවරැ? යි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්, ධර්‍මය අධර්‍මයයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්, භාග්‍යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචිර්‍ණයයි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, යම් හෙයෙකින් සඞ්ඝයා කෙරෙහි භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම්, භික්‍ෂුහු ද පහසු සේ නො වෙසෙත් නම් මේ ඒ හේතු ය, මේ ඒ ප්‍රත්‍යය යි.
10. 1. 5. 2.
ප්‍රථම විවාදමූල සූත්‍රය
[සැවැත්නිදාන යි]
වහන්ස, විවාද මූලයෝ කෙතෙක් දැයි?
උපාලියෙනි, විවාදමූලයෝ දසයෙක. කවර දසයෙක යත්: උපාලි මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍ම යයි දක්වත්, ධර්‍මය අධර්‍ම යයි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිත යයි දක්වත්, තථාගතයන් විසින් භාෂිතය ලපිතය අභාෂිත ය අලපිත යයි දක්වත්. තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, මේ දස විවාදමූලයෝ යි.
10. 1. 5. 3.
දුතිය විවාදමූල සූත්‍රය
[සැවැත්නිදාන යි]
වහන්ස, විවාදමූල කෙතෙක් දැයි?
උපාලියෙනි, විවාදමූල දසයෙකි. කවර දසයෙක යත්: උපාලියෙනි, මෙසස්නෙහි භික්‍ෂූහු අනාපත්තිය ආපත්ති යයි දක්වත්, ආපත්තිය අනාපත්ති යයි දක්වත්, ලහුකාපත්තිය ගරුකාපත්ති යයි දක්වත්, ගරුකාපත්තිය ලහුකාපත්ති යයි දක්වත්, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, සාවසේසාපත්තිය අනවසේසාපත්ති යයි දක්වත්, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යයි දක්වත්, සප්පටිකම්මාපත්තිය අප්පටිකම්මාපත්තිය යයි දක්වත්, අප්පටිකම්මාපත්තිය සප්පටිකම්මාපත්තිය යයි දක්වත්, උපාලියෙනි, මේ දසවිවාදමූල යි.
10. 1. 5. 4.
කුසිනාරා සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබ්හි වාසය කරනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
මහණෙනි, මෙරමාහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කොට තමා කෙරෙහි කරුණු පසක් එළවා මෙරමා චෝදනා කළයුතු. කවර කරුණු පසෙක් තමා කෙරෙහි ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ යැ යත්:
මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි වූ පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයෙම් පරිශුද්ධ කායසමාචාර ඇතියෙම් දැයි, තෙල දහම මට විද්‍යාමාන වේ ද නො හොත් අවිද්‍යාමානවේදැයි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ කායසමාචාරය ඇතියේ නො වේද ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ම කායිකසමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙත්. මෙසේ ඔහට කියන්නාහු වෙත් මැයි.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගතයෙම් පරිශුද්ධ වාක්සමාචාර ඇතියෙම් ද, මට තෙල දහම විද්‍යාමාන වේ ද නැතහොත් අවිද්‍යාමාන වේදැ”යි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්‍වාගත වූයේ පරිශුද්ධ වාක්සමාචාරය ඇතියේ නො වේ නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමුව වාක්සමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද මට තෙල දහම විද්‍යාමාන වේද නොහොත් අවිද්‍යාමාන වේ දැ”යි. ඉදින් මහණහුගේ ආඝාත විරහිත මෙත් සිත සබ්‍රම්සරුන් කෙරෙහි එළඹ නො සිටියේ නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි මෙත්සිත පිහිටුව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු වෙත්ම ය.
තව ද මහණෙනි, අන්හට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “ශ්‍රැතධර වූයෙම් ශ්‍රැතසන්නිචය ඇතියෙම් බහුශ්‍රැතයෙම් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම් මා විසින් එබඳු දහම්හු ධෘත වූවාහු බහුශ්‍රුත වෙත් ද, වචනයෙන් පරිචිත වෙත් ද, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත් ද ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් ද මට තෙල දහම විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණ ශ්‍රැතධර වූයේ, ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත නො වේ නම් සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ පාරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධෘත-බහුශ්‍රුත නො වෙත් නම් වචනයෙන් පරිචිත නො වෙත් නම් මනසින් අනුප්‍රේක්‍ෂිත නො වෙත් නම් දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ නො වෙත් නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ව ආගමය පිරිවහව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙත්.
තව ද මහණෙනි, අනිකකුට චෝදනා කරනු කැමැති චෝදක මහණ විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “මට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුඛ්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත වෙත් ද මට තෙල දහම් විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත නො වෙත් නම් “ආයුෂ්මත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දෙසන ලද දැ”යි. මෙසේ පුළුවුස්නා ලදුයේ නො සපයා නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව විනයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති. මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ.
කවර පඤ්ච ධර්‍ම කෙනෙක් අධාත්මයෙහි එළවිය යුතුවහ යත්: නො කල්හි නොව කල්හි ම කියනෙමි අභූතයෙන් නොව භූතයෙන් කියනෙමි. පරුෂයෙන් නොව මොළොකින් කියනෙමි. අනර්‍ත්‍ථසංහිත ව නොව අර්‍ත්‍ථසංහිත ව කියනෙමි. දුෂ්ට චිත්තයෙන් නොව මෙත්සිත් ඇතියෙම් කියනෙමි මේ පඤ්ච ධර්‍මයෝ අධ්‍යාත්මයෙහි එළවිය යුතු වෙත්.
මහණෙනි, චෝදක මහණහු විසින් මෙ පස් දහම් තමා තුළ ප්‍රත්‍යවේක්‍ෂා කොට මේ පස් දහම් තමා තුළ එළවා පරා චෝදනා කටයුත්තේ යි.
10. 1. 5. 5.
රාජන්තෙපුරප්පවේසන සූත්‍රය
[සැවැත්]
මහණෙනි, රාජාන්තඃපුරප්‍රවෙෂයෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
1. මහණෙනි, රජ තෙම මෙහෙසිය හා සමග හුන්නේ වෙයි, මහණ එහි පිවිසෙයි. මෙහෙස්න හෝ මහණහු දැක සිනහ පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙස්න දැක සිනහ පාළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි: “එකැතින් මොවුන් විසින් අසද්ධර්‍ම කෙළේ දෝ හෝ කරත් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පළමුවන ආදීනව යි.
2. තව ද මහණෙනි, රජ බහුකෘත්‍ය ව බහුකරණීය ව සිට අන්‍යතර ස්ත්‍රියක කරා ගොස් සඳහන් නො කෙරෙයි. ඕ එයින් ගැබ් ගනියි. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මේ ඇතොරට පැවිද්දකු විනා අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි මේ දෙවෙනි ආදීනව යි.
3. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි අන්‍යතර රත්නයෙක් නස්නේ ය. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි තෙවන ආදීනවය යි.
4. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි වූ අභ්‍යන්තර ගුහ්‍යමන්ත්‍රණයෝ බැහැර පළට බවට යෙත්. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දකු මිස අන් කිසිවෙක් නො වදනේ ය, පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සතරවන ආදීනව යි.
5. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි පියා හෝ පුතු නස්නා පතයි. පුතා හෝ පියා නස්නා පතයි. ඔවුනට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පස්වන ආදීනවය යි.
6. තව ද මහණෙනි, රජ යටතට නිසියකු උස්තැන තබයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසඟ වෙයි, පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි, මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සවන ආදීනව යි.
7. තව ද මහණෙනි, රජ උස්තැනට නිසියහු යටත් තැන තබන්නේ ය. යම් කෙනකුන්ට එය අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සත්වන ආදීනව යි.
8. තව ද මහණෙනි, රජ අකාලයෙහි සෙන් මෙහෙයයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි අටවන ආදීනව යි.
9. තව ද මහණෙනි, රජ නිසිකල සෙන් මෙහෙයා අතරමඟින් නවත්වා ලයි. යම් කෙනෙකුට ඒ අමනාප වේද ඔවුනට මෙසේ සිත් වෙයි. “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි නවවන ආදීනව යි.
10. තව ද මහණෙනි, රජුගේ ඇතොර හස්තිසම්මර්දය අශ්වසම්මර්දය රථසම්මර්දය වෙයි. පැවිද්දනට නොසරුප් යම් රූපාදීහු ඇද්ද රජනීය වූ ඒ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත. මහණෙනි, මෙ ඇතොරට වැදීමෙහි දසවන ආදීනව යි.
මහණෙනි, ඇතොරට වැදීමෙහි මේ දස ආදීනවයෝ යි.
10. 1. 5. 6.
සකක්‍ය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිල වාස්තුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල බොහෝ සැහැ උවසුවෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස් ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සැහැ උවසුවනට තෙල වදාළ සේක: “ශාක්‍යයෙනි, තෙපි අටඟින් යුතු පෙහෙවස් වසවුදැ”යි
වහන්ස, අපි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසම්හ. කිසි දිනෙක නො වසම්හ යි. ශාක්‍යයෙනි, යම් බඳු තෙපි මෙසේ ශෝකයෙන් බිය ඇති දිවි වැටෙත් ම මරණයෙන් බිය ඇති දිවිවැටෙත් ම කිසි දිනක අෂ්ටාඞ්ග සමන්‍වාගත පෙහෙවස් වසව් නම් කිසි දිනක නො වසව් නම් ඒ තොපට අලාභයෙක. ඒ තොපට නපුරු කොට ලැබීමෙක. ශාක්‍යයෙනි, ඒ කෙසේ හඟිව් ද? මෙලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට අඩකහවණුවක් උපදවන්නේ ය. දක්‍ෂ පුරුෂයෙක. උත්‍ථාන වීර්‍ය්‍යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස එසේය.
ශාක්‍යයෙනි, එ කෙසේ හඟිවුද? මෙහි මෙලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට කහවණුවක් උපයනේ ය. දක්‍ෂ පුරුෂයෙක, උත්‍ථානවීර්‍ය්‍යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස, එසේ ය.
ශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෙ ලොව පුරුෂයෙක් යම් ම කර්‍මාන්තයෙකින් අකුසලට නො වදනේ දවසට දෙකහවණුවක් උපයනේ ය ... තුන් කහවණුවක් උපයනේ ය ... සතර කහවණුවක් උපයනේ ය ... පස් කහවණුවක් උපයනේ ය ... ස කහවණුවක් උපයනේ ය ... සත් කහවණුවක් උපයනේ ය. ... අට කහවණුවක් උපයනේ ය ... නව කහවණුවක් උපයනේ ය ... දස කහවණුවක් උපයනේ ය ... විසි කහවණුවක් උපයනේ ය ... තිස් කහවණුවක් උපයනේ ය ... සතලිස් කහවණුවක් උපයනේ ය ... පනස් කහවණුවක් උපයනේ ය. “දක්‍ෂ පුරුෂයෙක, උත්‍ථාන වීර්‍ය්‍ය සම්පන්නයෙකැයි කියන්නට නිසි වේ ද? වහන්ස, එසේය.
ශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ පුරිස් දවස දවස කහවණු සියක් කහවණු දහසක් උපයනේ ලද ලද කහවණු නික්‍ෂේප කරනුයේ ශතවර්‍ෂායුෂ්ක සියක් වස් දිවි වටනුයේ මහත් භෝගස්කන්‍ධයක් ලබන්නේ දැයි? වහන්ස, එසේය.
ශාක්‍යයෙනි, එ කුමක් හඟිව් ද? ඒ පුරිස් භෝගහේතුවෙන් භොගනිදානයෙන් භෝගාධිකරණයෙන් එක් රැයක් වේව යි එක් දවසක් වේවයි අඩ රැයක් වේවයි. අඩ දවසක් වේවයි ඒකාන්තසුඛ විඳින සුලුයේ වාසය කෙරේ දැයි? වහන්ස, තෙල නො වේ ම ය.
එ කවර හෙයින යත්:
වහන්ස, කාමයෝ වනාහි අනිත්‍යයහ, තුච්ඡයහ, මෘෂාය. නස්නා සුල්ලහයි.
ශාක්‍යයෙනි, මෙ සස්නෙහි මාගේ සව්වෙක් දස වසක් අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වාසය කරනුයේ මා විසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සකෘදාගාමි හෝ අනාගාමි හෝ අවිරුද්ධ කොට සෝවාන් හෝ වෙයි. ශාක්‍යයෙනි, දසවසක් තිබේවා,
මෙසස්නෙහි මගේ සවු නව වසක් ... අට වසක් ... සත් වසක් ... සවසක් ... පස් වසක් ... සිවු වසක් ... තුන් වසක් ... දෙවසක් ... එක් වසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ මවිසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස්සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවන් හෝ වෙයි.
ශාක්‍යයෙනි, එක් වසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු දසමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියක් වසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි. හෙද සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
ශාක්‍යයෙනි, දසමසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු නව මසක් ... අට මසක් ... සත් මසක් ... සමසක් ... පස්මසක් ... සිවුමසක් ... තෙමසක් ... දෙමසක් ... එක්මසක් ... අඩමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්ත සුඛවිඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
ශාක්‍යයෙනි, අඩමසෙක් තිබේවා, මෙ සස්නෙහි ම සවු දස රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
ශාක්‍යයෙනි, දස රෑදවාලක් තිබේවා, මෙ සස්නෙහි ම සවු නව රෑදාවලක් ... අට රෑදාවලක් ... සත් රෑදාවලක් ... ස රෑදාවලක් ... පස් රෑදාවලක් ... සිවු රෑ දාවලක් ... තුන් රෑ දාවලක් ... දෙ රෑදාවලක් ... එක් රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු දහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි.
හෙ ද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
ශාක්‍යයෙනි, ඒ තෙපි මෙසේ ශෝකයෙන් සභය වූ ජීවිතයෙහි මෙසේ මරණින් සභය වූ ජීවිතයෙහි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසවු නම්, කිසි දිනක නො වසවු නම් ඒ තොපට අලාභයෙක, ඒ තොපට නපුරු කොට ලැබීමෙක.
වහන්ස, තෙල අපි අද පටන් කොට අටඟින් යුත් පෙහෙවස් වසම්හ යි.
10. 1. 5. 7.
මහාලි සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවන කුළාරහල්හි වැඩ වෙසෙති. එසඳ මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව ව හින. එකත්පස් ව හුන් මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
වහන්ස, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ලෝභය හේතු වන්නේ ය. ලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ද්වේෂය හේතු වන්නේ ය. ද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මෝහය හේතු වන්නේ ය. මෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි අයෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය. අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි නො සෙ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. නො සෙ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මේ හේතු වන්නේ ය. මේ ප්‍රත්‍යය වන්නේ යයි.
වහන්ස, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණ කර්‍ම පවත්නට වේව යි හේතු කවරෙ ය? ප්‍රත්‍යය කවරේය?
මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි අලෝභය හේතු වන්නේ ය. අලෝභය ප්‍රත්‍යය වන්නේ ය: මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි, අදෝෂය ... අමෝහය හේතු වන්නේ ය. අමෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි, යෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය, යෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය, මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි මනාසේ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. මනාසේ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්‍ම පවත්නට වේවයි මේ හේතු වන්නේ ය, මේ ප්‍රත්‍ය වන්නේ ය.
මහාලිය, ලොව්හි මේ දශධර්‍මයෝ නො වැටෙන්නාහු නම් (අකුශලකර්‍මපථාඛ්‍ය) අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ (දශකුශලකර්‍මපථාඛ්‍ය) ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ යන මෙය නො පැනෙන්නේ ය. මහාලිය, යම් හෙයෙකින් ලොව්හි මේ දසදහම්හු වැටෙත් ද එහෙයින් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා යී හෝ ධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ පැනෙන්නේ යි.
10. 1. 5. 8.
දසධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ දහම් දස දෙනෙක් පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුවහ. කවර දස දෙනෙක යත්:
1. ‘විවර්‍ණභාවයට පැමිණියෙම් වෙමි’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
2. ‘මගේ දිවි වැටුම් පරා අයත්ය’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි.
3. ‘මා විසින් අන්‍ය වූ ආකල්පයෙක් කටයුතු’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
4. ‘කිමෙක මාගේ සිත සීලහේතුයෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
5. “කිමෙක විඥ සබ්‍රම්සරහු කරුණු දැන සීලහේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
6. ‘ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
7. “කර්‍මය ස්වකීය කොට ඇතියෙම් කර්‍මය දායාද කොට ඇතියෙම් කර්‍මය යෝනි කොට ඇතියෙම් කර්‍මය බන්‍ධු කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ පාපක වූ හෝ යම් ම කර්‍මයක් කෙරෙම් නම් එයට දායාද වෙමි”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
8. “කෙබඳු වූ මට රෑ දාවල් හු ඉක්ම යෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
9. “කිමෙක මම් ශුන්‍යාගාරයෙහි සිත් අලවා වෙසෙම් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
10. “උතුරුමිනිස්දමින් වැඩි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශන විශේෂයෙක් ම විසින් අධිගත වූයේ ඇද්දැයි ඒ මම් පැසුළු කල්හි සබ්‍රම්සරුන් විසින් පුළුවුස්නා ලදුයෙම් නිතෙද නො වෙමැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
මහණෙනි, පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු මේ ධර්‍ම දසදෙනා යි.
10. 1. 5. 9.
ශරීරට්ඨධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ශරීරස්ථධර්‍ම දසදෙනෙකි. කවර දසදෙනෙක යත්: ශීත හා උෂ්ණ හා ක්‍ෂුධා හා පිපාසා හා උච්චාර හා ප්‍රස්‍රාව හා කායසංවර හා වාක්සංවර හා ආජීවසංවර හා පුනර්‍භව කරන භවසංස්කාර හා යි. මහණෙනි, මේ දස දහම්හු ශරීරස්ථ යි.
10. 1. 5. 10.
භණ්ඩන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ මහණහු පසුබත පිඬුවායෙන් වැළකියාහු උවටන් හල්හි රැස්ව හුන්නාහු සන්නිපතිත වූවාහු හටගත් පූර්‍වභාග කලහ ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්.