Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13701-13800 න් 15980

4. මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්: එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත පඨවිකසිණය දන්නේ ය. එකෙක් ... අපොකසිණය දන්නේ ය ... එකෙක් තේජෝකසිණය දන්නේ ය ... එකෙක් වායෝකසිණය දන්නේ ය ... එකෙක් නීලකසිණය දන්නේ ය … එකෙක් පීතකසිණය දන්නේ ය ... එකෙක් ලෝහිතකසිණය දන්නේ ය … එකෙක් ඕදාතකසිණය දන්නේ ය ... එකෙක් ආකාසකසිණය දන්නේ ය ... එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය. මහණෙනි, මොහු දස කසිණායතනයෝ ය. මහණෙනි, එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය යන මේ කරුණෙක් ඇද්ද, මේ දස කසිණයන් අතුරෙහි තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙ බඳු සංඥා ඇති සත්ත්‍වයෝ වෙත් ද මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන් අතුරෙහි දු අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇති. මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක එ සැපත්හි දු උකටලි වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
5. මහණෙනි, මේ අභිභායතනයෝ අට දෙනෙක, කවර අට දෙනෙක යත්: එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේ ය. එ රූ අභිභවා දන්මි, දක්මි යි යන මෙබ දු සංඥා ඇතියේ වෙයි. මේ ප්‍රථමාභිභායතන යි.
එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ ප්‍රමාණ රහිත සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ ද්විතීයාභිභායතනය යි.
එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ තෘතීයාභිභායතනය යි.
එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ චතුර්‍ත්‍ථාභිභායතනය යි.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය, නීල වූ නීල වර්‍ණ වූ නීල දර්‍ශන වු දිය මෙරලිය මල යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ ඒ පිළී යම් සේ වේ ද එපරිදි ම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ පඤ්චමාභිබායතනය යි.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීත වර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ කිණිහිරි පුප් යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ ෂෂ්ඨාභිභායතනය යි.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බඳුවද පුප් යම්සේ වේ ද බරණැස වියූ දෙපය මොළොක් වූ ලෝහිතක වූ ලෝහිතවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ සප්තාමාභිභයතනය යි,
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ඕදාත වූ ඔදාතවර්‍ණ වූ ඕදාතකනිදර්‍ශන වූ ඔදාතකනිහාස වූ බැහැර රූ දක්නේ ය.
අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ දහවත් තරු යම් සේ වේ ද, අවදාත වූ අවදාත වර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ නිභාස වූ බරණැස වියූ ඒ වස්ත්‍රයක් යම් සේ වේ ද, එසේ එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ අෂ්ටමාභිභයතනය යි.
මහණෙනි, මේ අෂ්ට අභිභායතනයෝ යි. මහණෙනි, “එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි” යන යම් මේ අභිභායතනයෙක් වේ ද, මේ අෂ්ට අභිභායතනයන් අතුරෙන් තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්‍වයන්ගේ අන්‍යථාත්‍වයෙක් ඇත් ම ය. ච්‍යුතියෙක් ඇත් ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ සැපත්හීදු උකටලී වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්‍රසැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
6. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක, කවර සතර දෙනෙක යත්: දන්‍ධාභිඥ දුක්ඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ දුක්ඛාපටිපදා ය, දන්‍ධාභිඥ සුඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා ය. මහණෙනි, මොහු සතර ප්‍රතිපදාවෝ යි. මහණෙනි, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා යැ යන යම් මේ ප්‍රතිපදායෙක් වේ ද, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ද ඇත. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇති. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහි උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්‍රප්‍රතිපත්හි නො ඇලෙයි. යටත් ප්‍රතිපත්හි කැල මය.
7. මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: එකෙක් සූක්‍ෂම ය දන්නේ ය. එකෙක් මහද්ගතය දන්නේ ය. එකෙක් අප්‍රමාණය දන්නේ ය. එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය. මහණෙනි, මේ සතර සංඥාවෝ ය. මහණෙනි, එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය යන යම් මේ සංඥායෙක් වේ ද, මේ සතර සංඥාවන් අතුරෙන් තෙල අග්‍රය. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්‍වයෝ ද ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්‍වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රසංඥාවෙහි නො ඇලෙයි. යටත් සංඥායෙහි කැල ම ය.
8. මහණෙනි, “අතීතයෙහි නො වීම් නම් වර්‍තමානයෙහි මාගේ ආත්මභාවයෙක් නැත. මතුයෙහි නොවෙම් නම් මාගේ කිසි පළිබෝධයෙක් නැත” යන යම් මේ දෘෂ්ටිගතයෙක් වේද, ශාසනසමයෙන් බැහැර සිටුනා දෘෂ්ටිගතයන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇතියා හට තෙල කැමැති විය යුතු ය: “භවයෙහි ලා යම් මේ අප්පටිකූල්‍යතායෙක් වේ ද එද ඔහුට නො වේ. භවනිරෝධයෙහි ලා යම් මේ පටිකූල්‍යතායෙක් වේ ද එ ද නො වේ ය”යි. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්හු ද ඇත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සතුනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රදෘෂ්ටිගතයෙහි නො ඇලෙයි. යටත් අග්‍රදෘෂ්ටිගතයෙහි කැල ම ය.
9. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පනවන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපයා වෙසෙයි” යන යම් මේ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙක් වේ ද පරමාර්‍ත්‍ථ විසුද්ධි පනවනුවන් අතුරෙන් තෙල අග්‍ර ය. ඔහු එ දැනැ එය සාක්‍ෂාත් කරනු පිණිස දහම් දෙසත්. මහණෙනි, මෙසේ වාද ඇති සත්හුදු ඇත. මහණෙනි, මෙසේ වාද ඇති සත්නුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙහිදු උකටලි වෙයි. එහි උකටලි වනුයේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො ඇලෙයි. යටතෙහි කැල ම ය.
10. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවත්. මහණෙනි, “ෂට්ස්පර්‍ශායතනයන්ගේ සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා දෝෂය හා නිස්සරණය හා තත් වූ පරිදි දැන අනුපාදා විමෝක්‍ෂයෙක් වේ” යන යම් මේ අර්‍හත්‍වයෙක් වේ ද, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවන්නවුන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ බණන සුලු මෙසේ කියන සුලු මා ඇතැම් මහණ බමුණෝ අසත් වූ ඒ ලඝුමෘෂා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතම කාමයන්ගේ සමතික්‍රමණය නො පනවයි” කියා යි. මහණෙනි, මම කාමසමතික්‍රමණය පනවමි, රූපසමතික්‍රමණය ද පනවමි. වේදනාසමතික්‍රමණය ද පනවමි. ඉහාත්මයෙහි නිෂ්තෘෂ්ණ වූයෙම් නිවෘත වූයෙම් ශීතීභූත වූයෙම් අනුපාදාපරිනිර්‍වාණය පනවමි.
10. 1. 3. 10.
දුතිය කෝසල සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි පසේනදී කෝසල රජ යුධයෙන් නැවතියේ දිනූ සඞ්ග්‍රාම ඇතියේ ලැබූ අධිප්‍රාය ඇතියේ වෙයි. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ අරම් කරා ගියේ ය. යානභූමිය වැටෙන තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇතියේ ම අරමට පිවිසියේ ය. එසමයෙහි බොහෝ භික්‍ෂූහු අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙත්. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ ඒ භික්‍ෂූහු වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන් අතින් තෙල විචාළේ ය:
වහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වු භාග්‍යවතුන් වහන්සේ දැන් වෙසෙද්ද? වහන්ස. අපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමැත්තම්හ යි.
මහරජ, තෙල ගඳොළ ය: පියු දොර ඇත. එයින් නිශ්ශබ්ද ව නො වෙළෙවි ව එළඹ දොර කොටුවට වැද කැසැ අගුළු පහරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර විවර කරන්නාහ යි.
එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ පියු දොර ඇති ඒ ගඳොල වෙත එළඹ එහි අල්පශබ්ද ව නො වෙළෙවි ව එළඹ ප්‍රමුඛයට වැද කැසි හඬ නගා අගුළු පහළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර විවර කළ සේක. එසඳ ප්‍රසේනජිත් කොසොල් රජ වෙහෙරට වැද බුදුන් පාමුල්හි හිසින් වැටී බුදුන් සිරිපා මුවිනිදු සුඹුනේ ය. දෙයතිනුදු පරිමදනේ ය. “වහන්ස, මම ප්‍රසේනජිත් කොසොල් රජිමි. වහන්ස, මම ප්‍රසේනජිත් කොසොල් රජමි”යි නම ද අස්වනුයේ වෙයි.
මහරජ, තෙපි කවර කරුණක් දක්නේ මේ ශරීරයෙහි මෙබඳු පරමනිපත්‍යකාරයක් මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාරයක් දක්වහු ද?
වහන්ස, මම කෘතඥතා කෘතවේදිතා දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යකාරයක් කෙරෙමි. මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාරයක් දක්වමි.
1. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණධර්‍මතායෙනුදු කුසලධර්‍මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක්, බොහෝ දෙනා විදර්‍ශනා සහති මාර්‍ගයෙහි පිහිටුවන සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණධර්‍මතායෙනුදු කුසලධර්‍මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක් බොහෝ දෙනා ආර්‍ය්‍ය න්‍යායෙහි පිහිටුවන සේක් ද, වහන්ස, මම මෙ කරුණ දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කෙරෙමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
2. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සිල්වත්හ. වැඩුණු සිල් ඇතියහ, ආර්‍ය්‍යශීල ඇතියහ. අනවද්‍ය ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්‍වාගතයහ. වහන්ස, ‘භාග්‍යවතුන් වහන්සේ සිල්වත්හ, වැඩුණු සිල් ඇතියහ. ආර්‍ය්‍ය ශීල ඇතියහ. අනවද්‍ය ශීල ඇතියහ. කුශලශීලයෙන් සමන්‍වාගතයහ’ යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
3. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දීර්‍ඝරාත්‍රයෙහි ආරණ්‍යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ දීර්‍ඝරාත්‍රයෙහි ආරණ්‍යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ” යන් යමෙක් ඇද් ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
4. තවද වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ” යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
5. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍යයහ, පාහුනෙය්‍යයහ. දක්ඛිණෙය්‍යයහ, අඤ්ජලිකරණීයහ. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍යයහ, පාහුනෙය්‍යයහ. දක්ඛිණෙය්‍යයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ යන යමෙක් ඇත්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාර කෙරෙමි. මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාර කෙරෙමි.
6. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මොනොවට කෙලෙස් ලියන සුලු වූ සමථවිදර්‍ශනාචිත්තවිවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම්, එ කවර යත්: අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථාය, පඤ්ඤාකථාය, විමුත්තිකථාය, විමුත්තිඤාණදස්සනකථා යි. මෙබඳු කථා කැමතිසේ ලබන සුල්ලහු නිදුකින් ලබන සුල්ලහු විපුල කොට ලබන සුල්ලහු වෙත්. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් ලියන සුලු චේතෝවිවරණයට සත්ප්‍රාය වන යම් ඒ කථායෙක්වේ නම් ඒ කවර යත්: අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමතිසේ ලබන සුල්ලහ, විපුල කොට ලබන සුල්ලහු වෙත්. වහන්ස. “භාගග්‍යවතුන් වහන්සේ කෙලෙස් ලියන සුලු චේතෝවිවරණයට සත්ප්‍රාය වන යම් ඒ කථායෙක් වේ නම් ඒ කවර යත්: අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමතියේ ලබන සුල්ලහ, නිදුකින් ලබන සුල්ලහ, විපුල කොට ලබන සුල්ලහ” යන යමෙක් වේ ද, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කෙරෙමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
7. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අධිචිත්තයෙහි හටගත් ඉහාත්මයෙහි සුඛවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන සුල්ලහ, නිදුකින් ලබන සුල්ලහ, විපුල සේ ලබන සුල්ලහ. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ අධිචිත්තයෙහි හටගන්නා දිට්ඨධම්මසුඛවිහාර වන සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුල්ල හ, නිදුකින් ලබන සුල්ලහ, විපුල සේ ලබන සුල්ලහ” යන යමෙක් වේ නම්, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
8. තවද වහන්ස, ‘භාග්‍යවතුන් වහන්සේ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙත්. ඒ කිසෙ ය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතලිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සංවර්‍තකල්පයන් ද, නොයෙක් විවර්‍තකල්පයන් ද, නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයන් දැයි, මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගෝත්‍ර ඇතියෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුව දුක් විඳුනෙම්, මෙබඳු ආයු කෙළවර කොටැතියෙම් අසෝතන්හි වීමි, ඒ මම් එතැනින් ච්‍යුත ව මෙහි උපන්මි”යි. මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙත් නම්, ඒ කෙසේ ය යත්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙත් ද, වහන්ස, මම් මෙ කරුණ ද දක්මින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරම නිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රීසම්ප්‍රයුක්ත උපහාර දක්වමි.
9. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හින වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සත්ත්‍වයන් දක්නාහ. කම් වූ පරිදි මියන සත්‍වයන් දක්නාහ. “මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. වාක් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. ... අරීනට උපවාද කරන්නාහු ගත් මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන කොට ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණියාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝත් කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක් ... මනෝ ... අරීනට උපවාද නො කරන්නාහු සම්‍යක්දෘෂ්ටික වූවාහු සම්‍යක්දෘෂ්ටික කර්‍මසමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු වෙතියි, මෙසේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හින වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගති ඇත්තා වූත් සත්ත්‍වයන් දක්නාහ. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ වූ දිවැසින් ... යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නාහ” යන යමෙක් ඇත් ද වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාරය දක්වමි.
10. තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආස්‍රවක්‍ෂයෙන් ... පසක් කොට එළඹ වාසය වෙසෙත් යන යමක් ඇත් නම්, වහන්ස, මම් මෙ කරුණ ද මොනොවට දක්නෙම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්‍යාකාරයක් කරමි, මෛත්‍රී සම්ප්‍රයුක්ත උපහාරය දක්වමි.
වහන්ස, දැන් අපි යමු, අපි බොහෝ කිස ඇත්තම්හ, බොහෝ කරණී ඇත්තම්හ යි.
මහරජ යමක් සඳහා දැන් කල් නම් එය දනුව යි.
ඉක්බිති පසේනදී කෝසල රජ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ යි.
තුන්වැනි මහාවර්‍ග යි.
එහි උද්දානය:
සීහනාද සූත්‍රය, අධිවුත්තිපද සූත්‍රය, කාය සූත්‍රය, මහාචුන්‍ද සූත්‍රය, කසිණ සූත්‍රය, කාලී සූත්‍රය, මහාපඤ්ඤ සූත්‍ර දෙක ය, කෝසල සූත්‍ර දෙක යැයි සූත්‍ර දශයෙකි.
4. උපාලි වර්‍ගය
10. 1. 4. 1.
උපාලි සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පනවන ලද ද? පාමොක් උදෙසන ලද දැ යි?
උපාලි, කරුණු දසයක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පනවන ලද පාමොක් උදෙසන ලදී. කවර දසයෙක යත්: සඞ්ඝයාගේ සෞෂ්ටවය පිණිස ය, සඞ්ඝයාගේ පහසුබව පිණිස ය, දුසිල් පුද්ගලයනට නිග්‍රහ පිණිස ය, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුවිහරණය පිණිස ය, දෘෂ්ටධාර්මික ආස්‍රවයන්ගේ සංවරය පිණිස ය, සාම්පරායික ආස්‍රවයන් නැසීම පිණිස ය, අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ය, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිය ය, සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස ය, විනයානුග්‍රහය පිණිස යි.
උපාලි, මෙ කරුණු දසය පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකනයට ශික්‍ෂාපද පනවන ලද, පාමොක් උදෙසනලදැ යි.
10. 1. 4. 2.
පාතිමොක්ඛට්ඨපන සූත්‍රය
[සැවැත්]
වහන්ස, පාමොක් තැබීම්හු කෙතෙකැයි?
උපාලි, පාමොක් තැබීම්හු දසයෙක. කවර දසයෙක යත්: පරිජි අවන්නෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පාරාජික කථාව කොට අඩහළ වෙයි, අනුපසපනෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, අනුපසම්පන්නකථාව කොට අඩහළ වෙයි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කෙළේ එ පිරිස්හි හුන්නේ වෙයි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කළහු පිළිබඳ කථාව කොට අඩහළ වෙයි, පණ්ඩකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, පණ්ඩකකථාව කොට අඩහළ වෙයි, භික්‍ෂුණීදූෂකයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි, භික්‍ෂුණීදූෂක කථාව කොට අඩහළ වෙයි, උපාලි, මේ දස පාමොක් තැබීම්හු වෙති යි.
10. 1. 4. 3.
උබ්බාහිකා සූත්‍රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් ධර්‍මයෙන් සමන්‍වාගත මහණෙක් උබ්බාහිකායෙන් සම්මත කළයුතු වේද?
උපාලි, දශ ධර්‍මයෙන් සමන්‍වාගත මහණ උබ්බාහිකායෙන් සම්මත කටයුත්තේ ය: කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ වාස කරයි. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහිදු බියදක්නා සුලුයේ ශික්‍ෂාපදවිෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැත සන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසානයෙහි කල්‍යාණ වූ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ඒ ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙති, ධෘතවෙති, වචනයෙන් පරිචිත වෙති, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙති, ඔහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර විසින් ස්වාගත වෙති, සූත්‍ර විසින් ද අනුව්‍යඤ්ජන විසින් ද ස්විභක්ත වූවාහු මොනොවට පවත්නාහු සුවිනිශ්චිත වෙති. අසංයතවචනමාත්‍රයෙන් ස්වලබ්ධිය නො හරනේ විනයෙහි සිටියේ වෙයි. උභය අර්‍ත්‍ථාපේක්‍ෂකයන් හඟවනට දන්වනුවට දක්වනුවට බලවනුවට පහදවනුවට ප්‍රතිබල වෙයි. චතුර්විධාධිකරණ සමුත්පාදය සන්හිඳුවීමෙහි කුශල වේ. අධිකරණය දන්නේ ය, අධිකරණ සමුදය දන්නේ ය, අධිකරණ නිරෝධය දන්නේ ය, අධිකරණනිරෝධගාමිනීපටිපදා දන්නේ යි. උපාලියෙනි, මේ දසදහමින් සමන්‍වාගත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළයුත්තේ යි.
10. 1. 4. 4.
උපසම්පදා සූත්‍රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් ධර්‍මයෙන් සමන්‍වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු දැයි?
උපාලි, දශ ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මහණහු විසින් උපසම්පදාව කළ යුතු ය. කවර දශයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. පාමොක් සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාස කෙරෙයි. අණුමාත්‍ර වූද වරදෙහි බියදක්නා සුලුයේ සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කල්‍යාණ වන, මධ්‍යයෙහි කල්‍යාණ වන පර්‍ය්‍යාවසානයෙහි කල්‍යාණ වන සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ඒ ධර්‍මයෝ කේවල පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධෘත වූවාහු බහුශ්‍රුත වෙති. වචනයෙන් පරිචිත වූහු මනැසින් අනුප්‍රේක්‍ෂිත වූහු දිටුහයෙන් මොනොවට පිළිවිදියාහු වෙත්.
ඔහට ප්‍රාතිමෝක්‍ෂ විස්තර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පැවැත්තේ සුවිනිශ්චිත වෙයි. ගිලනහු උවටනුවට හෝ උවටන් කරනුවට ප්‍රතිබල වෙයි. උකටලීබව දුරැලීමට වේවයි ප්‍රතිබල වෙයි. උපන් කුකුස් ධර්‍මයෙන් සන්හිඳුවීමට ප්‍රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයෙන් විවෙචන කිරීමට ප්‍රතිබල වෙයි. අධිශීලයෙහි සමාදන් කරවීමට ප්‍රතිබල වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනුවට ප්‍රතිබල වෙයි. අධිප්‍රඥායෙහි සමාදන් කරවනුවට ප්‍රතිබල වේ. උපාලි, මේ දසදහමින් සමන්‍වාගත මහණහු විසින් උපසම්පදා කළයුතු වේ.
10. 1. 4. 5.
නිස්සය සූත්‍රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් කරුණින් සමන්‍වාගත මහණහු විසින් නිඃශ්‍රය දියයුතු දැයි?
උපාලි, දස කරුණෙකින් සමන්‍වාගත මහණහු විසින් නිඃශ්‍රය දිය යුත්තේය. කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදෙහි හික්මෙයි ... බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලදහ. ඔහට ප්‍රාතිමෝක්‍ෂය විතර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වෙයි. ගිලන් උවටනුවට වේවයි උවටවනුවට වේවයි සමර්‍ත්‍ථ වෙයි. උකටලී බව් සන්හිඳුවනට හෝ සන්හිඳුවිම් කරවනුවට සමර්‍ත්‍ථ වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලනුවට සමර්‍ත්‍ථ වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයේන දුරැලීමට ප්‍රතිබල වෙයි. අධිශීලයෙහි ... අධිචිත්තයෙහි ... අධිප්‍රඥායෙහි සමාදන් කරනුවට සමර්‍ත්‍ථ වෙයි. උපාලි, මේ දසදහමින් සමන්‍වාගත වූ භික්‍ෂූහු විසින් නිඃශ්‍රය දියයුතු වේ.
10. 1. 4. 6.
සාමණේර සූත්‍රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත මහණහු විසින් හෙරණ එළඹවාගත යුත්තේ දැයි?
උපාලියෙනි, දශාඞ්ගයෙකින් සමන්‍වාගත මහණහු විසින් හෙරණ එළවාගත යුත්තේය: කවර දශයෙකින යත්: උපාලියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ... බහුශැත වෙයි ... ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලදහ. ඔහට ප්‍රාතිමෝක්‍ෂය විස්තර විසින් ස්වාගත වෙයි. සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වූයේ වෙයි. ගිලන්හු උවටනුවට හෝ උවටන්කරවන්නට ප්‍රතිබල වෙයි. උපන් අනභිරතිය සංහිඳුනට හෝ සංහිඳුවන්නට ප්‍රතිබල වෙයි. උපන් කුකුස ධර්‍මයෙන් දුරැලීමට ප්‍රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්‍මයෙන් දුරලීමට සමර්‍ත්‍ථ වෙයි. අධිශීලයෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. අධිප්‍රඥායෙහි සමාදන් කරවනට සමර්‍ත්‍ථ වෙයි. උපාලියෙනි, මේ දශාඞ්ගයෙන් සමන්‍වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවිය යුත්තේයි.
10. 1. 4. 7.
සඞ්ඝභේද සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්‍ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.
10. 1. 4. 8.
සඞ්ඝ සාමග්ගී සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගි යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ දැයි?
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍ම යයි දක්වත්. ධර්‍මය ධර්‍මයයි දක්වත්, අවිනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිත අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, වෙන්ව කර්‍ම නො කෙරෙත්, වෙන්ව ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත්, උපාලියෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ.
10. 1. 4. 9.
ප්‍රථම ආනන්‍ද සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, සඞ්ඝ භේදය, සඞ්ඝ භේදය යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ දැයි?
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මය යි දක්වත්. ධර්‍මය අධර්‍මය යි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණය යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්තයයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්තයයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, ආවෙනි කර්‍ම කෙරෙත්, ආවෙනි ප්‍රාතිමෝක්‍ෂය උදෙසත්, ආනන්‍දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ.
වහන්ස, සමග සඞ්ඝයා බිඳුවා හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
ආනන්‍දයෙනි, සමග සඞ්ඝයා බිඳුවා හේ කල්පස්ථායී පාපවිපාකය ප්‍රසව කෙරෙයි.
වහන්ස, කල්පස්ථායී කිල්විෂය නම් කවර?
ආනන්‍දයෙනි, ආයුෂ්කල්පයක් නිරෑහි පැසේ යයි.
1. අධර්‍මයෙහි සිටුනා භේදයෙහි ඇලුණු අපායට යන සුලු නිරයෙහි උපදනා කල්පස්ථායී සඞ්ඝ භේදකයා යෝගක්‍ෂේම සංඛ්‍යාත අර්‍හත්‍වයෙන් පිරිහෙයි. සමග සඟුන් කපක් නිරෑහි පැසේ යයි.
10. 1. 4. 10.
ද්විතීය ආනන්‍ද සූත්‍රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගිය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ දැයි?
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය අධර්‍මයයි දක්වති, ධර්‍මය ධර්‍මය යි දක්වත්, අවිනය අවිනයයි දක්වති, විනය විනයයි දක්වති, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතය යි දක්වති, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතය යි දක්වති, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් අනාචීර්‍ණය යි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණය යි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්තය යි දක්වති, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්තය යි දක්වති. ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිති, අත්‍යර්‍ත්‍ථයෙන් නො ඇද ගනිත්, ආවෙනි කර්‍ම නො කෙරෙති, ආවෙනි ප්‍රාතිමෝක්‍ෂය නො උදෙසත් යි. ආනන්‍දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ යයි.