Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13601-13700 න් 15980

එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දයෙනි, ඒ ඒ (ස්කන්‍ධධාත්‍වායතන ධර්‍ම හා දෘෂ්ටිව්‍යවහාර සඞ්ඛ්‍යාත) අධිවචනපදයන් දැන පසක් කිරීම සඳහා යම් ඒ (දශබලඥාන සර්‍වඥතාඥානසඞ්ඛ්‍යාත) ධර්‍මයෝ වෙත් නම්, ආනන්‍දයෙනි, එහිලා ඒ ඒ දෘෂ්ටිගතයනට ඒ ඒ පරිදි ධර්‍මය දෙසනුවට මම් විශාරද වූයෙම් (ඥානසෞමනස්‍යප්‍රාප්ත වූමේ) පිළින කරමි. යම් යම් පරිදි පිළිපන්නේ විද්‍යාමාන වූ ධර්‍මය ‘ඇතැ’යි දන්නේ හෝ වේද, අවිද්‍යාමාන ධර්‍මය ‘නැතැ’යි දන්නේ හෝ වේ ද, හීන ධර්‍මය හීන ධර්‍ම යයි දන්නේ හෝ වේ ද, ප්‍රණීත වූ ධර්‍මය ප්‍රණීතධර්‍ම යයි දන්නේ හෝ වේද, සෝත්තර ධර්‍මය සෝත්තර ධර්‍මය යයි දන්නේ හෝ වේද, අනුත්තර ධර්‍මය අනුත්තර ධර්‍ම යයි දන්නේ හෝ වේද, ඥාතව්‍යය වේවයි, ද්‍රෂ්ටව්‍යය වේවයි, සාක්‍ෂාත් කර්‍තව්‍යය වේවයි යම් යම් පරිදි වේ නම්, එය ඒ ඒ පරිදි දැනගන්නේ වේවයි දක්නේ වේවයි සාක්‍ෂාත් කරන්නේ වේවයි යන තෙල කාරණය ඇත. ආනන්‍දයෙනි, ඥානයන් අතුරෙහි ඒ ඒ ධර්‍මයන් විෂයයෙහි යම්බඳු යථාභූත (යථාස්වභාව) ඥානයෙක් වේ නම් තෙල අනුත්තරිය වෙයි. ආනන්‍දයෙනි, තෙල (යථාභූත) ඥානයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර අන්‍යඥානයෙක් නැතැයි මම කියම්.
ආනන්‍දයෙනි, යම් බල කෙනෙකුන්ගේ සමන්‍වාගත තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කරනුයේ ද, පර්‍ෂද්හි සිංහනාද කෙරෙයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මෙ එබඳු බල දශයෙක: කවර දශයෙක යත්:
1. ආනන්‍දය, මෙලොව්හි තථාගත ස්ථානය ස්ථාන විසිනුත් අස්ථානය අස්ථාන විසිනුත් දන්නේය. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තථාගත ස්ථානය ස්ථාන විසින්ද අස්ථානය අස්ථාන විසින් ද යථාභුතකොට ප්‍රතිඥා කෙරේ ද, ආනන්‍දයෙනි, තථාගත යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරෙයි ද බ්‍රහ්මචක්‍රය පවත්වා ද තථාගත යන්ගේ මේ ඒ තථාගත බලයයි.
2. තවද ආනන්‍දයෙනි, තථාගත අතීතානාගත ප්‍රත්‍යුපන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට ප්‍රත්‍යය විසින් හේතු විසින් පිළින කරයි. ආනන්‍දයෙනි, යම් හෙයකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
3. තවද ආනන්‍දයෙනි, තථාගත සර්‍වත්‍රගාමිනී ප්‍රතිපද් සඞ්ඛ්‍යාත යථාභූතව, දන්නේ ය. ... ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
4. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකධාතු නානාධාතු ලෝකසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
5. තවද ආනන්‍දයෙනි, තථාගත සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
6. තවද ආනන්‍දයෙනි, තථාගත පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
7. තවද ආනන්‍දයෙනි, තථාගත ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේස, වෝදාන, වුට්ඨාන සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
8. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකවිධ පූර්‍වනිවාසය එනම් එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... සිහිකරන්නේ ය. ... මෙසේ සාකාර සොද්දේශ වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහිකරන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි …
9. තවද ආනන්‍දයෙනි, තථාගත විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් … යථා කර්මෝපග සත්ත්‍වයන් දන්නේය. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් … ආනන්‍දයෙනි, මේ වනාහි ...
10. තවද ආනන්‍දයෙනි, තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ දැන පසක් කොට එයට එළඹ වාස කරයි. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ... පසක් කොට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, යම්බලයකට පැමිණ තථාගත ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද පර්‍ෂද්හි සිංහනාද කෙරේ ද බඹසක් පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ තථාගත බල යි.
ආනන්‍දයෙනි, යම්බල කෙනෙකුගෙන් සමන්‍වාගත තථාගත ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පර්‍ෂද්හි සිංහනාද කරයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මේ ඒ තථාගත බලයි.
10. 1. 3. 3.
කාය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය ද තබා වාග්ද්වාරය ද තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇති.
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවර යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් කිසි ලේශමාත්‍රවූ අකුශලාපත්තියක් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන ඔහට මෙසේ කියත්: “ඇවැත් කයින් කිසි ලේශමාත්‍ර වූ අකුශලයක් අවන්නේ වෙයි. ඇවැත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩා නම් නම් මැනවැ”යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබන්නේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩනේ ය. මහණෙනි. මොහු වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රාතව්‍ය ධර්‍මයහයි කියනු ලැබෙත්.
මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කිසි දේශමාත්‍ර අකුශලාපත්තියක් වාග්ද්වාරයෙන් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන දැන ඔහට මෙසේ කියත්: ආයුෂ්මත් වනාහි වාග්ද්වාරයෙන් කිසි දේශමාත්‍ර අකුශලයක් අවන්නේ ය. ඇවැත් වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩා නම් මැනැවැ’යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබනුයේ වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩනේ ය. මහණෙනි, මොහු කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම යි කියනු ලබත්.
මහණෙනි, කායද්වාරය හා වාග්ද්වාරය තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
මහණෙනි, ලෝභය නො ද කායද්වාරයෙන් නො ද වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ... මහණෙනි, ක්‍රෝධය ... මහණෙනි, උපනාහය ... මහණෙනි, මක්ඛය ... මහණෙනි, පලාසය ... මහණෙනි, මච්ඡරිය නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ලමු ඊර්‍ෂ්‍යාව නො ම කයින් නො ම වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යා කවර යත්:
මහණෙනි, මෙ ලොව්හි ගැහැවියකුහට වේවයි, ගැහැවිපුතක්හට වේවයි ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ සමෘද්ධියෙක් වෙයි. එහිලා අන්‍යතර දාසයකුහට වේවයි වෙත වසනුවකුහට වේවයි මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ගැහැවි හට හෝ ගැහැවි පුත්හට හෝ ධනයෙන් වේවයි, ධාන්‍යයෙන් වේවයි, රිදියෙන් වේවයි, රනින් වේවයි, සමෘධියෙක් නොවේ නම් යෙහෙකැ”යි. මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු වෙයි. එහිලා අන්‍යතර මහණක්හට හෝ බමුණකු හට හෝ මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ඇවැත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන සුලු නම්, අහෝ යෙහෙකැ”යි. මහණෙනි, මෙ ලාමක ඊර්‍ෂ්‍යා යි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. (විදර්‍ශනා මාර්‍ග) ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
මහණෙනි, ලාමක ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
මහණෙනි, පාපිකා ඉච්ඡා කවර යත්:
මහණෙනි, මෙ සස්නෙහි කිසිවෙක් ශ්‍රද්ධා නැතියේ ම මා සැදැහැතියේයි දනිත්වයි කැමැතිවෙයි. දුස්සීලවූයේ ම මා “සිල්වතැයි දනිත්ව”යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම “මා බහුශ්‍රැතයි දනිත්ව”යි කැමැති වෙයි. ගණාහි ඇලුනේ ම “මා ප්‍රවිවික්තයි දනිත්ව”යි කැමැති වෙයි. කුශීද වූයේ ම “මා ප්‍රාරබ්ධවීර්‍ය්‍යයි දනිත්ව”යි කැමැති වෙයි. නටසිහි ඇතියේ ම “මා එළඹ සිටි සිහි ඇතියේ දනිත්ව”යි කැමැති වෙයි. අසමාහිත වූයේ හ “මා සමාහිතැයි දනිත්ව”යි කැමැති වෙයි. දුෂ්ප්‍රාඥ වූයේ ම “මා ප්‍රාඥයයි දනිත්ව”යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නොවූයේ ම “මා ක්‍ෂීණාස්‍රවයි දනිත්ව”යි කැමැති වෙයි. මහණෙනි, මේ පාපික ඉච්ඡායි කියනු ලැබේ. මහණෙනි, පාපික ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය යි.
මහණෙනි, ඉදින් ඒ ලෝභය ඒ මහණ මැඩ ගෙන වැටේ නම් ... ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඊර්‍ෂ්‍යාව ... ලාමක ඉච්ඡාව මැඩගෙන වැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: “යම් පරිදි දන්නහුට ලෝභය නොවේ ද, මේ ඇවැත් එපරිදි නොදන්නේ ය. එහෙයින්ම ලෝභය මේ ඇවැත් මැඩගෙන සිටුනේය. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ ද, මේ ආයුෂ්මත් එපරිදි නොදන්නේ ය. ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඉච්ඡාව ... ලාමක ඉච්ඡාව නොවේ ද ... එහෙයින් ම පාපික ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන සිටුනේ ය”යි. මහණෙනි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො වැටේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මච්ඡරිය ... ලමු ඉස්සාව ... ලමු ඉච්ඡාව එ මහණ මැඩගෙන නොවැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: … යම් පරිදි දන්නාහුගේ ලෝභය නොවේ නම්, මේ ආයුෂ්මත් එපරිදි දන්නේ ය. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටෙයි. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ නම්, එපරිදි මේ ආයුෂ්මත් දන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... ලාමක ඉස්සාව ... ලාමක ඉච්ඡාව නො වේ නම්, එහෙයින් ලාමක ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටේයයි.
10. 1. 3. 4.
මහාචුන්‍ද සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වාස කරන්නාහ. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මියි, ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිද්දෙකින් දන්නාහට ලෝභයෙක් නොවේ ද, එ පරිදි නො දන්නේ ය. එසේ මැයි ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය, මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, එ පරිදි නො දන්නේ ය. එසේමය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය.
ඇවැත්නි, මහණ “භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිත චිත්ත ඇතියෙමි, භාවිත ප්‍රඥා ඇතියෙමි”යි භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩ ගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේ මැයි, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිතුනේ ය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, ඒ පරිදි නො දන්නේය. මෝහය … ක්‍රෝධය … උපනාහය … මක්ඛය … පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, ඒ පරිදි නො දන්නේ ය. එසේ ම ය. පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිතචිත්ත ඇතියෙමි, භාවිතප්‍රඥා ඇතියෙමි”යි ඥානවාද හා භාවනා වාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම් ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේමය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත්හු යම් පරිදි දක්නාහට ද්වේෂය නොවේ ද එ පරිදි නොදන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නොවේ ද, එපරිදි නොදන්නේ ය. එසේමය පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
ඇවැත්නි, යම්පුරුෂයෙක් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, නිර්ධන වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භොග රහිත වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ධනකරණී ඇතිවත්ම ධනය වේ වයි ධ්‍යාන වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ය. “මේ ආයුෂ්මත් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියයි, මේ ආයුෂ්මත් නිර්ධන වූයේ ම ධනවාදය කියයි, මේ ආයුෂ්මත් භොග නැතියේ ම භෝගවාදය කියා ය”යි තුලුන් මෙසේ හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ද, එහෙයිනි.
ඇවැත්නි, එසෙයින් ම “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි මහණ ඥානවාදය හා භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නො වේ ද, එපරිදි නො දන්නේ ය”යි. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ ද, එපරිදි නො දන්නේ ය. එසේ ම පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි”යි ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, -පෙ- ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ නම්, එපරිදි දන්නේ ය, එසේම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට එපරිදි දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
ඇවැත්නි, මහණ භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතප්‍රාඥායෙමි’යි භාවනාවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
ඇවැත්නි, මහණ “මේ මහණ දන්මි, මේ මහණ දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාදය හා භාවනාවාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාක්හට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
ඇවැත්නි, යම් පරිදි පුරුෂයෙක් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, ධනවත් වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ වේ ද, “මේ ආයුෂ්මත් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් ධනවත් වූයේ ම ධනවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ යයි මෙසේ තුලුන් හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: එසේ ම ය, මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ම ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ ය.
ඇවැත්නි, එසෙයින් ම මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාද හා භාවනාවාද හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ ද, එසේ දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය. මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, එසේ දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම්, එසේ දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.
10. 1. 3. 5.
කසිණ සූත්‍රය
මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි, කවර දස දෙනෙක යත්: කිසිවෙක් ගගනතලාභිමුඛ වූ භූමිතලාභිමුඛ වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ පඨවිකසිණායතනය දන්නේ ය. කිසිවෙක් ආපෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් තේජෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් වායොකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් නීලකසිණායතන දන්නේය ... කිසිවෙක් පීතකසිණායතන දන්නේය ... කිසිවෙක් ලෝහිතකසිණායතන දන්නේය ... කිසිවෙක් ඕදාතකසිණායතන දන්නේය ... කිසිවෙක් ගගනතලගත වූ භූමි තලගත වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණායතන දන්නේ යි. මහණෙනි, මේ දස කසිණායතන යි.
10. 1. 3. 6.
කාලී සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී ජනපදයෙහි කුරරඝර සමීපයෙහි වූ පවත්ත පව්වෙහි වාසය කරත්. එකල්හි කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වැඳ එකත්පස් ව හුනු. එකත්පස් ව හුන් කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන්ට තෙල සැලකළා:
වහන්ස, (මාරදුහිතෘ) කුමාරි ප්‍රශ්නයන්හිදී භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලදී:
1. “ප්‍රිය ස්වභාව ඇත්තාවූ ද සාත ස්වරූප ඇත්තාවූ ද කෙලෙස් මරසෙන් දිනා මම ඒකාකී වූයෙම් ධ්‍යාන කරමින් (අර්‍හත්‍ව නැමැති) අර්‍ත්‍ථ ප්‍රාප්තිය ඇති හෘදයාගේ ශාන්තිය වූ සුඛය සාක්‍ෂාත් කෙළෙමි. එහෙයින් ජනයා සමග ධර්‍මසාක්‍ෂිභාවයක් නො කරමි, කිසිවකු හා මාගේ සාක්‍ෂි ධර්‍මයක් නො සැපෙයේ”යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය කිසෙයින් විතර විසින් දැක්ක යුතුදැ? යි.
බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.
බුහුන, ඇතැම් මහණබමුණෝ අර්‍ත්‍ථයෝ අපොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, තේජෝකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, වායොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, නීලකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, පීතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ...
බුහුන, ලෝහිතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ඔදාතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ආකාසකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තිය පරම කොට ඇතියහ යි එය නිපද වූහ. බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තියහුගේ යම් පමණ වූ පරමතායෙත් වේ නම් භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දත්හ, භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දැන ආදිය දුටහ, ආදීනවය දුටහ, නිස්සරණය දුටහ, මග්ගාමග්ගඤාණදස්සනය දුටුහු. ඔබ විසින් ආදිදර්‍ශනය හේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිස්සරණදර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන හේතුයෙන් හෘදයයාගේ ශාන්තිය වූ අර්‍හත්‍වර්‍ත්‍ථප්‍රාප්තිය විදිත වෙයි.
බුහුන, භාග්‍යවතුන් වහන්සේ කුමාරි ප්‍රශ්නයෙහි:
2. “ප්‍රිය ස්වභාව හා සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා එකලා වූයෙම් ධ්‍යාන කරනෙම් මම හෘදයාගේ ශාන්තිය වූ අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථප්‍රාප්තිය නම් වූ සුඛය ලදිමි, එහෙයින් ජනයා කෙරෙහි සාක්‍ෂි නො කරමි. කිසිවකු හා මාගේ සාක්‍ෂියෙක් නො යෙදේ ය”යි. මෙසේ යමක් දෙසන ලද නම්:
බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දතයුතුයි.
10. 1. 3. 7.
පඨම මහාපඤ්හ සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි සම්බහුල භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬුපිණිස පිවිසගත්හ. එකල්හි මහණුන්ට තෙල සිත විය:
“සැවැත්හි පිඬු පිණිස සරනට දැන් ඉතා අලුයම ය. අපි අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙමෝ නම් යෙහෙකැ”යි.
ඉක්බිති ඒ මහණහු අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සම්මෝදනාවට හිත වූ සිහිකටයුතු කථාව නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ තෙල කීහ:
ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසත්: එව, මහණෙනි, හැම දහම් දැන පසක්කොට වාසය කරව, හැම දහම් පසක් කොට කොට වසව”යි, ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දම් දෙසමු: “ඇවැත්නි, එව, තෙපි මෙ දහම් හැම දැන පසක් කරව, හැම දහම් දැන පසක්කොට වාසය කරව”යි.
ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් ගේ මේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව අරභයා අපගේ කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? කවර වෙනසෙකැ?”යි.
එකල්හි එ මහණහු ඒ අන්තොටු පිරිවැජියනගේ වචනය නොම පිළිගත්හ, පරිත්‍යාග නො ද කළහ, නො ද පිළිගෙන පරිත්‍යාග නො ද කොට හුනස්සෙන් නැගී “භගවත්හු වෙතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගනුම්හ”යි ගියහ.
ඉක්බිති එ මහණෝ සැවැත්හි පිඬු පිණිස සැර පිඬුවායෙන් වැළැකියාහු පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස්ව හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලහ:
වහන්ස, මෙ සැවැත්හි අපි පෙරවරුයෙහි හැඳපෙරව පා සිවුරු ගෙන පිඬු පිණිස බැස ගතුම්හ. වහන්ස, එ අපහට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට තව බොහෝ කල් ඇත් මැයි. අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹමෝ නම් මැනැවැ”යි. වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹියෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වීම්හ, සතුටු වියුයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුනුම්හ. වහන්ස, එකත්පස්ව හුන් අපට අන්තොටු පිරිවැජියෝ තෙල කීහ: “ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසන්නාහ: “මහණෙනි, එව, තෙපි හැම දහම් මොනොවට දනුව, හැම දහම් මොනොවට දැන පසක් කොට වායස කරව”යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු: ‘ඇවැත්නි, එව තෙපි සියලු දහම් මොනොවට දනිවු. සියලු දහම් මොනොවට දැන දැන වාසය කරවු”යි. ඇවැත්නි, මෙ කරුණෙහි ලා අප අතර කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? මහණ ගොයුම්හුගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව ඇරබ කවර නානා කරණයෙක්ද?
වහන්ස, එකල්හි අපි ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාසිතය නො ද පිළිගතුම්හ, නො ද බැහැරලුම්හ, නො පිළිගෙන බැහැර නොලා හුනස්සෙන් නැඟී ගියම්හ, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දනුම්හ”යි.
මහණෙනි, මෙසේ කියන සුලු අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතුවහ. ඇවැත්නි, එක් ප්‍රශ්නයෙක, එක් උද්දේසයෙක, ව්‍යාකරණයෙක, ප්‍රශ්න දෙකෙක, උද්දේස දෙකෙක, ව්‍යාකරණ දෙකෙක, ප්‍රශ්න තුනෙක, උද්දේස තුනෙක, ව්‍යාකරණ තුනෙක, පැන සතරෙක, උදෙස් සතරෙක, විසඳුම් සතරෙකැයි, පැන පසෙක, උදෙසුම් පසෙක, විසඳුම් පසෙකැයි, පැනසයෙක, උදෙසුම් සයෙක, විසඳුම් සයෙකැයි, පැන සතෙක, උදෙසුම් සතෙක, විදෙසුම් සතෙකැයි, පැන අටෙක, උදෙසුම් අටෙක, විසඳුම් අටෙකැයි, පැන නවයෙක, උදෙසුම් නවයෙක, විසඳුම් නවයෙකැයි, පැන දසයෙක, උදෙසුම් දසයෙක, විසඳුම් දසයෙකැයි, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියෝ සපයා කියනට ද නො හැකි වෙත්, මතුයෙහිදු විඝාතයට යෙත්: ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් අවිෂයෙහි පැන පුළුවුස්නා ලදහු ද එහෙයිනි, මහණෙනි, යමෙක් තථාගතයන් හැර හෝ තථාගත ශ්‍රාවකයකු හැර හෝ මේ සස්නෙන් අසා දතුවකු හෝ හැර මෙ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත් ගන්නෝ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවෙහි එබන්දකු මම නො දක්මි.
1. එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලදය යත්: මහණෙනි, එකම ධර්‍මයෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් අවබෝධ කොට ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර එක් ධර්‍මයෙක යත්: හැම සත්හු ආහාර ස්ථිතිකය හ. මහණෙනි, මේ එක්ම දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි. මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල සඳහා කියන ලද.
2. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම දෙකෙක මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි ද රූපයෙහි දැයි. මහණෙනි, මේ දහම් දෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සමසභාගත්‍වය මොනොවට දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර නරන්නේ වෙයි. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද ය.
3. පැන තුනෙක, උදෙසුම් තුනෙක, විමසුම් තුනෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම තුනෙක, මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සමසභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර තුනෙක යත්: තුන් වේදනාවෙහිය. මහණෙනි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
4. සතර පැනයෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ තෙල බසක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, සතර දහමෙක. මහණෙනි මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර ආහාරයෙහි ය. මහණෙනි, මේ සිවු දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
5. පස් පැනෙක, පස් උදෙසුමෙක පස් විමසුමෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, දහම් පසෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්ත දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක ය යත්: පඤ්ච උපාදානාස්කන්‍ධයෙහිය. මහණෙනි, මේ දහම් පසෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
6. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් සයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සයෙක් යත්: ෂට්ආධ්‍යාත්මික ආයතනයන්හි ය. මහණෙනි, ස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මේ පිණිස කියන ලද.
7. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද යත්: මහණෙනි, දහම් සතෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සතෙක යත්: සප්ත විඥානස්ථිතියෙහි ය. මහණෙනි, මේ දහම් සතෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද
8. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි මෙසේ යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් අටෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර අටෙක යත්: අටලෝදහම්හි ය. මහණෙනි, මේ අට දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
9. නව පැනෙක, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, නව දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර නවයෙක යත්: නව සත්තාවාසයන්හි ය. මහණෙනි, මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. නව පැණයෙකි, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
10. දස පැනයෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකියි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දස දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර දසයක යත්: දස අකුසල්දහම්හි ය. මහණෙනි, මේ දස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ දිටුදැහැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. දස පැණයෙකි, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.
10. 1. 3. 8.
දෙවන මහාපඤ්හ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නගරයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණ වෙත එළඹියහ. එළඹ කජඞ්ගලා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණට තෙල කීහ:
ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි ලා මෙය වදාරන ලද: “එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙක. දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විසඳුමෙක. තුන් පැනෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙක. සිවු පැනෙක, සිවු උදෙසුමෙක, සිවු විසඳුමෙක. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙක. ස පැනෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙක. සත් පැනෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙක. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙක. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙක. දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැ”යි. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් කෙසේ අර්‍ත්‍ථ දතයුතු දැයි.
ඇවැත්නි, තෙල භගවතුන් හමුයෙන් නො ම අසන ලද. හමුයෙන් නො ම පිළිගන්නා ලද, මනෝභාවනීය භික්‍ෂූන් හමුයෙන් නො ද අසන ලද, නො ද පිළිගන්නා ලද. වැලිත් මෙහි ලා මට යම් සේ වැටහේ නම් ඒ අසවු. මොනොවට මෙනෙහි කරවු. කියමි යි. ආර්‍ය්‍යාවෙනි, එසේ ය යි කජඞ්ගලා උපාසකයෝ කජඞ්ගලා භික්‍ෂුණියට පිළිවදන් අස් වූ හ. කජඞ්ගලා භික්‍ෂුණී තෙල කිවු ය.
එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් සඳහා කියන ලදය. ඇවැත්නි, එකම දහමෙක් මොනොවට මහණ උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර එක් දහමෙක යත්: සර්‍වසත්‍වයෝ ආහාර ස්ථිතිකය හ. ඇවැත්නි, මේ එක් ධර්‍මයෙහි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වවයට පැමිණ දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ පිණිස කියන ලද.
දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විමසුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් සඳහා දෙසන ලද ය යත්: ඇවැත්නි, දහම් දෙකෙකැ මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි හා රූපයෙහි හා යි. ... කවර තුනෙක යත්: තුන් වේදනායෙහි ය -පෙ- ඇවැත්නි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් පිණිස දෙසන ලද ය යත්: ඇවැත්නි, සතර දහමෙක මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර සීවටන්හි ය. ඇවැත්නි, මේ සතර දහම්හි මහණ මොනොවට සුභාවිත චිත්තය ඇතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල කරුණ මෙ පිණිස දෙසන ලද.
පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, පස් දහමෙක්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක යත්: පඤේචන්‍ද්‍රියන්හි ය. .. කවර සයෙක යත්: ෂට් නිඃසරණීය ධාතුයෙහි ය ... කවර සතෙක යත්: සප්ත බෝධ්‍යඞ්ගයන්හි ය. ... කවර අටෙක යත්: ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි ය. ඇවැත්නි, මේ අට දහම්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යයන්තය දක්නේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙකැයි මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල පිණිස දෙසන ලද.
නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල කුමක් පිණිස දෙස ලද ය යත්: ඇවැත්නි, දහම් නවයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට ස්වභාව අර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර නවයෙක යත්: නව සත්ත්‍වාවාසන්හි ය. ඇවැත්නි මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලද.
දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් දෙසන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, දස දහමෙක මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දසයෙක් යත්: දශ කුසල කර්‍මපථයෙහි ය. ඇවැත්නි,මේ දස දහම්හි මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. දස පැනෙක, දස උදෙසුමෙක දස විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
ඇවැත්නි, මෙසේ මහාප්‍රශ්නයෙහි එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, ... දස විසඳුමෙකැයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ම බසක් කියන ලද නම්, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර විසින් මම දන්මි, ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල අර්‍ත්‍ථය පුළුවුස්ව. යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ තොපට ව්‍යාකරණ කරන සේක් නම් එය එපරිද්දෙන් දරවු යි.
ආර්‍ය්‍යාවෙනි, එසේ යයි කජඞ්ගලා වැසි උපාසකයෝ කජඞ්ගලා මෙහෙණගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොටගෙන හුනස්නෙන් නැගී කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සිටියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා භික්‍ෂුණිය සමග යම්තාක් කථා සල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
ගැහැවියෙනි, මැනැව, මැනැව. ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ පණ්ඩිතය, ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ මහපැනැතියක. ගැහැවියෙනි, ඉදින් තෙපි මා කරා එළඹ මේ අර්‍ත්‍ථය පුළුවුස්හු නම්, යම් පරිද්දෙකින් එය කජඞ්ගලා භික්‍ෂුණිය විසින් විසඳන ලද නම්, එපරිද්දෙන් ම විසඳන්නෙමි. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය තෙල මැයි. එසෙයින් එයම දරවුයි.
10. 1. 3. 9.
ප්‍රථම කෝසල සූත්‍රය
[සැවැත්]
1. මහණෙනි, යම්තාක් කසී කොසොල් ජනපද වැසියෝ වෙත් නම්, පසේනදී කෝසල රජුගේ විජිතයෙහි යම්තාක් රජහු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කෝසල රජ අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේ ද අන්‍යථාත්‍වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරිසවු ඒ සැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර කෝශල රාජ්‍යයෙහි නො ඇලෙන්නේ ය. හීන(පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි.
2. මහණෙනි, යම්තාක් සඳහිරුහු වට ඇවිදිද් ද, බබළන්නාහු දිගුන් හොබවත් ද, එතෙක් සහස්‍රී ලෝකධාතු වෙයි. එ සහස්‍රී ලෝකධාතුයෙහි සද දහසෙක, හිරුදහසෙක, මහමෙර දහසෙක, දඹදිවු දහසෙක, අපර ගොයාන දහසෙක, උතුරුකුරු දහසෙක, පූර්‍වවිදේහ දහසෙක, මහ මුහුදු සාරදහසෙක, වරම්රජහු සාරදහසෙක, චාතුර්‍මහාරාජිකා දහසෙක, ත්‍රයත්ත්‍රිංශත් දහසෙක, යාම දහසෙක, තුසිත දහසෙක, නිම්මාණරතී දහසෙක, පරනිර්මිතවශවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, යම්තාක් සහස්‍රී ලෝකධාතු වේ ද, එහි මහබඹු අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි, මහබඹුහු දු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රබ්‍රහ්මසම්පත්හි නො ඇලෙයි, යටත් සැපත්හි කැල මැයි.
3. මහණෙනි, යම් හෙයකින් මෙ ලොව නස්නේ වේ ද, එබඳු කාලයෙක් වේ මැ ය, මහණෙනි, ලොව නස්නා කල්හි බෙහෙවින් සත්හු ආභාස්වර දෙව්ලොව උපදනාහු වෙත්. එහු ඒ බඹලොව ධ්‍යානමනසින් මනෝමය වූවාහු ප්‍රීතිභක්‍ෂ්‍ය වූවාහු ස්වයම්ප්‍රභා ඇත්තාහු අන්තරීක්‍ෂවර වූවාහු ශුභස්ථායි වූවාහු දීර්‍ඝ කාලයක් සිටින්නාහු වෙත්. මහණෙනි, ලෝකය නස්නා කල්හි ආභාස්වර දෙවියෝ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, ආභාස්වර දෙවියනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපත්හි කැල ම ය.