ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කරයි. විචිකිච්ඡා නො කරයි. නිශ්චයට යයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, විනිශ්චයට යේ ද, පහදී ද ඔහු සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝඛිලය ප්‍රහීණ වෙයි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක නො කරයි. සඞ්ඝයා කෙරෙහි සැක නො කරයි. ශික්‍ෂායෙහි සැක නො කරයි. සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැත්තේ නො ගැටුණු සිතැත්තේ හටගත් හුල් නැතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැතියේ නො ගැටුණු සිතැතියේ හටගත් හුල් නැතියේ වේ ද, ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝඛිලය ප්‍රහීණ වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝඛිලය ප්‍රහීණ වෙත්:
ඔහුගේ කවර පඤ්චචේතෝවිනිබද්ධ කෙනෙක් සුසමුච්ඡින්ත වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්‍ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්‍ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ නම් ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝවිනිබද්ධය සුසමුච්ඡින්න වෙයි.
තවද මහණෙනි, මහණ කයෙහි වීතරාග වෙයි. රූපයෙහි වීතරාග වෙයි. කැමති තාක් කුසපුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුනේ වාසය නො කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරයි. “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වෙම්වම්ව” යි.
මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරා නම්, “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බ්‍රම්සරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් වෙම්ව”යි. ඔහුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. යමකුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යය නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝවිනිබන්‍ධය සුසමුච්ඡින්න වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න වෙත්.
මහණෙනි, යම් කිසි මහණකුගේ වේ වයි මෙහෙණකගේ වේවයි මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡන්න ද ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුසල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ.
මහණෙනි, යම් පරිදි පෙරඩමස සඳුගේ යම් රැයෙක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, එය වර්‍ණයෙනුදු වඩනේ ම ය, මඬුලුයෙනුදු වඩනේ ම ය, ආභායෙනුදු වඩනේ ය. අරෝහපරිණාහයෙනුදු වඩනේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහණක්හුගේ හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න ද, ඔ හට යම් රැයෙක් හෝ දවසෙක් හෝ පැමිණේ නම් කුශලධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහාණියෙක් නො වේ.
10. 1. 2. 5.
අප්‍රමාද සූත්‍රය
1. මහණෙනි, අපාද වෙත්වයි ද්විපාද වෙත්වයි චතුෂ්පාද වෙත්වයි බහුප්පාද වෙත්වයි රූපී වෙත්වයි අරූපී වෙත්වයි සංඥී වෙත්වයි අසංඥී වෙත්වයි නෛවසංඥීනාසංඥී වෙත්වයි යම් තාක් සත්ත්‍වයෝ වෙත් නම්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ උනට අග්‍රහයි කියනු ලබත්. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍මකෙනෙක් වෙත් නම් උහු හැම අප්‍රමාදය මුල් කොට ඇතියාහු අප්‍රමාදයෙහි වැද ගන්නාහු වෙත්. ඒ දහමුනට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ.
2. මහණෙනි, ජඞ්ගම ප්‍රාණයන්ගේ යම්බඳු පද ජාතයෙක් ඇත් ද එ හැම ඇත් පියෙහි සමවධානයට යෙත්. ඇත් පිය උනට අග්‍රයි කියනු ලැබේ. මහත් බැවින. මහණෙනි, එ පරිදිම යම් කිසි කුසල් දම්හු වෙත් නම්, එ හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. ඒ ධර්‍මයනට අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ.
3. මහණෙනි, යම් පරිදි කුළාරගෙහි යම් බඳු ගොනැස්හු වෙත් නම් එ හැම කූටඞ්ගම වූවාහු කූටනිම්න වූවාහු කූටයෙහි බැසගන්නාහු වෙත්. ඔවුනට කූටය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එ පරිදි ම යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම් ඔහු හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඔවුනට අග්‍ර යි කියනු ලැබේ.
4. මහණෙනි, යම් පරිදි කිසි මූලගන්‍ධ කෙනෙක් වෙත් නම්, කළු අගිල් උනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
5. මහණෙනි, යම් පරිදි යම් කිසි සාර (හර) ගන්‍ධ කෙනෙක් වෙත් ද, රත්සඳුන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
6. මහණෙනි, යම් පරිදි යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් වෙත් නම්, දෑසමන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
7. මහණෙනි, යම් පරිදි කිසි කුඩා රජකෙනෙක් වෙත් නම්, ඔහු හැම සක්විති මහරජු අනුයන්තෘහු වෙත්. සක්විති රජ ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
8. මහණෙනි, තාරක රූපයන්ගේ යම් බඳු ප්‍රභායෙක් වේ නම් එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස් වන කලාවට නො අගී. චන්‍ද්‍ර ප්‍රභාව ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...
9. මහණෙනි, යම් පරිදි සරාකල්හි පහවූ වලාකුළු ඇති පහන් අහස්හි අහසට නගනා හිරු ආකාශගත හැම අඳුරු නසා බබළා ද තවා ද රස් විහිදුවා ද මහණෙනි, එපරිදි ම ...
10. මහණෙනි, යම් පරිදි ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය යන යම් කිසි මහානදීහු වෙත් නම්, ඔහු හැම මුහුදට යන්නාහු සමුද්‍රනිම්න වූවාහු සමුද්‍ර ප්‍රවණ වූවාහු සමුද්‍ර ප්‍රාග්භාර වූවාහු වෙත්. මහ සමුදුර ඔවුනට අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු හැම අප්‍රමාදය මූලක වූහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ යි.
10. 1. 2. 6.
ආහුනෙය්‍ය සූත්‍රය
මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්‍හ ද ප්‍රාඝුණාර්‍හ ද දක්‍ෂිණාර්‍හ ද අඤ්ජලිකරණාර්‍හ ද ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රද වෙත්. කවර දස දෙනෙක යත්:
තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, ප්‍රත්‍යෙක බුද්ධයහ, උභතෝ භාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂී ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගෝත්‍රභූ යි.
මහණෙනි, මේ දස පුඟුල්හු ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර යි.
10. 1. 2. 7.
ප්‍රථම නාථකරණ සූත්‍රය
මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්:
1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂූ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්‍ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්‍යයෙහි කළණ වූ පර්‍ය්‍යවසානයෙහි කළණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්‍ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්‍මයෙකි.
4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදුමහත් කුම්කරණීහු වෙත් නම් එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කරනට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් කුම්කරණීහු වෙත් නම්, එහි අනලස වූයේ තත්‍රෝපායඥානයෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්‍ෂවේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
6. තවද මහණෙනි, මහණ තෙවළා දහම් කැමැතියේ පරහට දහම් දෙසනු කැමැතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ දහම් කැමැතියේ පරහට ප්‍රිය දේශනා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
7. තවද මහණෙනි, මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ වාසය කරයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹු වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුසල් දම්හි නො බහා තැබූ වැර ඇතියේ වාසය කෙරේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙක.
8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
9. තවද මහණෙනි, මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වෙයි. මහණෙනි. යම් හෙයෙකින් මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශ නිර්වේධයට හිත වූ මොනොවට දුඃඛක්‍ෂයයට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් නැසුමට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
මහණෙනි, සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ දස නාථකරණ ධර්‍මයෝ යි.
10. 1. 2. 8.
දුතිය නාථකරණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සනාථ වූවෝ වාසය කරවු, නහමක් අනාථ වවු. මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ නාථ කරණ ධර්‍ම දශයෙක, කවර දශයෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. “මේ මහණ එකැතින් සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍රවද්‍යයෙහිදු භය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මේ ය”යි. තෙර මහණහු ද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මැදි මහණ හුද ... සගමහණහුද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පිත - මැදි මහණුන් විසින් අනුකම්පිත- සග මහණුන් විසින් අනුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
2. තවද මහණෙනි, මහණ බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. “එකැතින් මේ මහණ බහුශ්‍රුත ය, ශ්‍රැතධර ය, ශ්‍රැතසන්තිචයෙක්, ආදිකල්‍යාණ ... සාර්‍ත්‍ථ, සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ මොහු විසින් බහුශ්‍රැතයහ, ධෘතයහ, වචනයෙන් පරිචිතයහ, සිතින් අනුප්‍රේක්‍ෂිතයහ. දිටුහයෙන් මොනොවට පිළිවිදුනහ”යි ස්ථිවිර භික්‍ෂූහු ද ඔහු කියයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසයිතව්‍ය කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වෙයි. “මේ මහණ එකැතින් කලණ මිතුරන් ඇතියෙක්, කලණ යහළුවන් ඇතියෙක්, කල්‍යාණ සම්ප්‍රවඞ්කැ”යි ස්ථවිර භික්‍ෂූහු දු ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
4. තවද මහණෙනි, මහණ සෞවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ අනුශාසනාව පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වෙයි. “එකැතින් මෙ මහණ සුවචය, සෝවචස්සකාර ධර්‍මයෙන් සමන්‍වාගතයෙක. සැහිය සැකියෙක, පැදකුණින් අනුසස්න ගන්නා සුල්ලෙකැ”යි ස්ථවිර භික්‍ෂූහුද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදු මහත් කුමුකරණී වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සුදුසු වෙයි. සංවිධානයට සුදුසු වෙයි, “එකැතින් මේ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කුමුකරණීහු වෙත් නම් එහි දක්‍ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කිරීමට සමත් වෙයි. සංවිධාන කිරීමට සමත් වේ යයි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
6. තවද මහණෙනි, මහණ තෙවළා දම් කැමැතියේ ප්‍රිය කථා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ වෙයි. “එකැතින් මෙ මහණ ධර්‍මකාම වූයේ ප්‍රිය කථා ඇතියේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තෙකැ”යි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශලධර්‍මයන්හි වෘධියෙක ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
7. තවද මහණෙනි, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශල් දහම් හි බහා නො තැබූ වැර ඇතියේ වෙසෙයි, “එකැතින් මෙ මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස, ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියෙකැ”යි. ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යකු කොට අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක්ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්ජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. “එකැතින් මෙ මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්ජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වේ”යි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්, මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
9. තවද මහණෙනි, මහණ ස්මෘතිමත් වූයේ පරමස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්ත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි: “එකැතින් මේ මහණ ස්මෘතිමත් වූයේ පරම ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි. ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍ය කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශනිවේධය පිණිස පවත්නා මැනැවින් දුක් කෙළවරට යන උදයාස්තගාමිනී ප්‍රඥාවෙන් සමන්‍වාගත වූයේ වෙයි: “එකැතින් මේ මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් කෙළවරට පමුණුවන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත යයි ස්ථවිර භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහු ද ... නවක භික්‍ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්‍මයෙක.
මහණෙනි, මහණ සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වෙසෙයි. මහණෙනි, මොහු දශ නාථකරණ ධර්‍ම යි.
10. 1. 2. 9.
පඨමාරියවාස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු හෝ වසත් හෝ වසන්නාහු හෝ නම්, මේ දස ආර්‍ය්‍යවාස කෙනෙක, කවර දශයෙක යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ පඤ්චාඞ්ග විප්‍රහීණ වූයේ ෂඩඞ්ගසමන්‍වාගත වූයේ ඒකාරක්‍ෂා ඇතියේ සතර අපස්සේනයන් ඇතියේ බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍ය ඇතියේ වුහුටු හැම ඒසනා ඇතියේ නො කැලඹුණු සංකල්පනා ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ මොනොවට මිදුණු සිත් ඇතියේ මොනොවට මුත් පැන ඇතියේ වෙයි. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයන් ආර්‍ය්‍යයෝ වුසූහු නම් වසත් නම් වසන්නාහු නම්, මේ ඒ දශ ආර්‍ය්‍යවාසයයි.
10. 1. 2. 10.
දෙවෙනි ආරියවාස සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වාසය කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි. ආර්‍ය්‍යයෝ යම් වාසයෙකැ වුසූහු ද වෙසෙත් ද වසන්නාහු ද මේ ඒ ආර්‍ය්‍යයෝ දශයෙක, කවර දශයෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි. ඡළඞ්ගසමන්නාගත වෙයි. ඒකාරක්ඛ වෙයි. චතුරාපස්සේන වෙයි. පනුණ්ණපච්චේකසච්ච වෙයි. සමවයසට්ඨෙන වෙයි. අනාවිල සඞ්කප්ප වෙයි. පස්සද්ධකායසඞ්කාර වෙයි. සුවිමුත්තචිත්ත වෙයි. සුවිමුත්තපඤ්ඤ වෙයි.
1. මහණෙනි, කෙසේ නම් මහණ පඤ්චඞ්ගවිප්පහීන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණය වෙයි, ව්‍යාපාදය ප්‍රහීණය වෙයි, ථිනමිද්ධය ප්‍රහීණය වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණය වෙයි, විචිකිච්ඡා ප්‍රහීණය වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි.
2. මහණෙනි, කිසෙයින් මහණ ඡළඞ්ගසමන්නාගත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස්ප්‍රසාදයෙන් රූපාලම්බනයක් දැක නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂායෙන් යුක්ත වූයේ ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වාසය කරයි. ශ්‍රෝත්‍රප්‍රසාදයෙන් ශබ්දාලම්භනය අසා - ඝ්‍රාණප්‍රසාදයෙන් ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කොට - ජිහ්වාප්‍රසාදයෙන් රසාලම්බනය විඳ - කායප්‍රසාදයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය පැහැස - මනසින් ධර්‍මාලම්බනය දැන නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වසයි. මහණෙනි, මෙසේ මහණ ඡළඞ්ගසමන්නාගත වෙයි.
3. මහණෙනි, කිසෙයින් මහණ ඒකාරක්ඛ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘතිය ආරක්‍ෂා කොට ඇති සිතින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ ඒකාරක්ඛ වෙයි.
4. මහණෙනි, කිසෙයින් මහණ චතුරාපස්සේන වෙයි ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් සලකා එකක් සෙවුනේ ය. නුවණින් සලකා එකක් ඉවසන්නේ ය. නුවණින් සලකා එකක් හරණේ ය. නුවණින් සලකා එකක් දුරලන්නේ ය. මහණෙනි, මෙසේ චතුරාපස්සේන වෙයි.
5. මහණෙනි, කිසෙයින් මහණ පනුණ්නපච්චේකසච්ච වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ ප්‍රත්‍යෙකසත්‍යයෝ වෙත් ද, ඒ කිසේ ය: ලෝකය ශාස්වතය කියා වේ වයි, ලෝකය අශාශ්වතය කියා වේවයි, ලෝකය අන්තවත්ය කියා වේවයි, ලෝකය අනන්තවත්ය කියා වේවයි, එයම ජීවය එය ම ශරීරය වෙයි කියා වේවයි, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පුනර්‍භව විසින්) වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නොම වෙයි නොවන්නේ නොම වෙයි කියා වේවයි, ඒ හැම බැහැර ලූවාහු මොනොවට බැහැර ලූවාහු ත්‍යක්ත වූවාහු වාන්ත වූවාහු මුක්ත වූවාහු ප්‍රහීණ වූවාහු ප්‍රතිනිස්සෘෂ්ට වූවාහු වෙති. මහණෙනි, මෙසේ මහණ පනුණ්ණපච්චේකසච්ච වෙයි.
6. මහණෙනි, කිසෙයින් මහණ සමවයසට්ඨෙසන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුට කාමේසනා ප්‍රහීණ වෙයි. භවේසනා ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යෙසනා ප්‍රතිප්‍රශ්‍රබ්ධ ය, මහණෙනි, මෙසේ මහණ සමවයසට්ඨෙසන වෙයි.
7. මහණෙනි, මහණ කිසෙයින් අනාවිල සඞ්කප්ප වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමසඞ්ල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ අනාවිල සඞ්කප්ප වෙයි.
8. මහණෙනි, කිසෙයින් මහණ පස්සද්ධකාය සඞ්ඛාර වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂා පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ පස්සද්ධකායසඞ්ඛාර වෙයි.
9. මහණෙනි, කිසෙයින් මහණ සුවිමුත්තචිත්ත වේ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත රාගයෙන් විමුක්ත වෙයි, දෝෂයෙන් සිත විමුක්ත වෙයි, මෝහයෙන් සිත විමුක්ත වෙයි. මහණෙනි, මෙසේ මහණ සුවිමුක්තචිත්ත වෙයි.
10. මහණෙනි, කෙසේ මහණ සුවිමුක්තපඤ්ඤ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මාගේ රාගය ප්‍රහීණ ය, උසුන්මුල් ඇතියේ ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මාගේ දෝෂය ... මාගේ මෝහය ප්‍රහීණ ය, උච්චින්නයමූලය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ සුවිමුත්තචිත්ත වෙයි.
මහණෙනි, අතීතකාලයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැයි වුසූහු නම් ඒ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වුසූහ. මහණෙනි, අනාගතයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසන්නාහු නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසන්නාහ. මහණෙනි, මෙ කල්හි යම් ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසත් නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසත්. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු නම්, වසත් නම්, වසන්නාහු නම් මොහු ඒ දශාර්‍ය්‍යවාස යෝ යි.
දෙවන නාථ වර්‍ග යි.
එහි උද්දානය:
සේනාසන සූත්‍රය ද අඞ්ග සූත්‍ර ද සංයෝජන සූත්‍රය ද ඛිල සූත්‍රය ද අප්පමාද සූත්‍රය ද ආහුනෙය්‍ය සූත්‍රය ද නාථ සූත්‍ර දෙක ද අරියවාස සූත්‍රදෙක දැයි, දශයෙකි.
3. මහා වර්‍ගය
10. 1. 3. 1.
සිංහනාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මෘගරාජන් වන සිංහ සවස් වේලෙහි ලැග්මෙන් නික්මෙයි. ලැග්මෙන් නික්ම වජඹනේය. වජඹා වටා සිවු දිගුන් නහමයි. වටා සිවුදිගුන් නහමා තෙවරක් සිංහ නාද කරයි. තෙවරක් සිංහ නාද කොට ගොදුරට නික්ම යයි. එ කවර හෙයින යත්: “විෂම ස්ථානගත ක්‍ෂුද්‍රප්‍රාණීන් නහමක් වධයට පමුණුව මැ”යි.
මහණෙනි, සීහ යන තෙල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට නමෙකි. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ (සිවුවණක්) පර්‍ෂද්හි දහම් දෙසත් ද මේ උන්වහන්සේගේ සිංහනාද යයි.
මහණෙනි, යම්බඳු බලයෙකින් සමන්‍වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද අට පිරිස්හි සිංහනාද කෙරෙත් ද විශිෂ්ට ධර්‍මචක්‍රය පවත්වත් ද තථාගතයන්ගේ එබඳු වූ මේ බලයෝ දශ දෙනෙක. කවර දශ කෙනෙක යත්:
1. මහණෙනි, මෙලොව්හි තථාගතයෝ කාරණය කාරණ වශයෙන් ද අස්ථානය අස්ථානය විසින් ද යථාභූතව දන්නාහ: මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ස්ථානය ස්ථාන වශයෙන් ද අස්ථානය අස්ථාන වශයෙන් ද යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම්බඳු බලයෙකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, අට පිරිස්හි සිංහ නාද කරත් ද, බ්‍රහ්ම චක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මේ ද තථාගතබල යි.
2. තවද මහණෙනි, තථාගතයෝ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ව ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
3. තවද මහණෙනි, යථාභූත වූ සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහ. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ යථාභූතයෙන් සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
4. තවද මහණෙනි, තථාගතයෝ යථාභූත වූ (කාමධාතු ඈ) බහුධාතුක (විලක්‍ෂණ විසින්) නානාධාතුක ස්කන්‍ධලෝකය දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ අනේකධාතු නානාධාතු ලෝකය ඇති සැටියෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
5. තවද මහණෙනි, තථාගතයෝ සත්ත්‍වයන්ගේ (හීනාදි) නානාධිමුක්තික භාවය වූ යථාභූතය දන්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ යථාභූත කොට නානාධිමුක්තික භාවය දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
6. තවද මහණෙනි, තථාගතයෝ ප්‍රධාන සත්ත්‍වයන්ගේ හා හීනසත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ප්‍රධානාප්‍රධාන සත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රිය පරාවරතාව යථාභූත කොට දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
7. තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන, විමෝක්‍ෂ, සමාධි සමාපත්තීන්ගේ (හානභාගිය ධර්‍මසඞ්ඛ්‍යාත) සංක්ලේශයත් (විශේෂ භාගිය ධර්‍ම සඞ්ඛ්‍යාත) ව්‍යවදානයත් ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ග (ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ව්‍යුත්‍ථානයත් යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥාකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, ධර්‍මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
8. තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්‍වනිවාසානු ස්මෘතිය, එනම් එක්ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දශයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත කල්පයනුදු නොයෙක් විවර්‍ත කල්පයනුදු නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයනුදු සිහි කරත්: “මෙසේ නම් ඇතියෙම්, මෙසේ ගෝත්‍ර ඇතියෙම්, මෙසේ වර්‍ණ ඇතියෙම්, මෙසේ ආහාර ඇතියෙම්, මෙසේ සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙසේ ආයුපරියන්ත ඇතියෙම් අසෝතන්හි වීමි. හේ මම් එයින් සැව අසෝ තැන්හි උපන්මි.
එහිදු මෙසේ නමැතියෙම් මෙසේ ගෝත්‍ර ඇතියෙම් මෙසේ වර්‍ණ ඇතියෙම් මේ ආහාර ඇතියෙම් මෙසේ සුව දුක් විඳුනෙම් මෙසේ ආපිරියත් ඇතියෙම් වීමි. හෙ මම ඉන් ච්‍යුතවූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත, උද්දේශ සහිත අනේකවිධ පූර්‍වානිවාසානු ස්මෘතිය සිහිකරත්. මහණෙනි, යම් හෙයෙකින් අනේකවිධ පූර්‍වනිවාසය එ නම් එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ... සිහිකරත්, ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනේකවිහිත පූර්‍වනිවාසය සිහිකරත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
9. තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්‍ෂුසින් ච්‍යුතවන්නා වූ ද උපදනාවූද හීන වූ ද ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නාහ. කම් වු පරිදි යන සත්ත්‍වයන් දක්නාහ. එකතින් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්‍වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහ. මිසදිටු ඇතියහ, මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු වෙති. මේ භවත්සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍වාගත වූවා මනස්සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වෙති. ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්දිටු ඇතියහ, සම්‍යක් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් සුගති නම් වූ ස්වර්‍ග ලෝකයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියහ. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ පවත්නා දිවැසින් ච්‍යුතවන්නා වූත් උපදනාවූත් හීනවූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගත වූත් සත්ත්‍වයන් දක්නාහ. යථා කර්මෝපග සත්ත්‍වයන් දක්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යුතවන උපදනා, හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ සත්ත්‍වයන් දක්නාහු ද, යථාකර්මෝපග සත්ත්‍වයන් දක්නාහු ද, මහණෙනි, යම් හෙයෙකිනුදු තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගියා වූ දිවැසින් ... යථාකර්මෝපග සත්ත්‍වයන් දක්නාහු නම්, මහණෙනි, යම්බලයකට පැමිණ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
10. තවද මහණෙනි, තථාගතයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පැමිණ වෙසෙත්. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි ශ්‍රේෂ්ඨ නාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
මහණෙනි, යම් බඳු බලයන්ගෙන් සමන්‍විත වූවාහු තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, (ධර්‍ම) බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මේ ඒ දශබල යි.
10. 1. 3. 2.
අධිවුත්තිපද සූත්‍රය
[සැවැත්නිදාන යි]