Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13401-13500 න් 15980

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහණුන් ඇමතූහ: ‘ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරයවිපන්නහට ප්‍රාමෝද්‍ය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රාමෝද්‍ය නැතිවත් ම ප්‍රමෝද්‍යවිපන්නහට ප්‍රීතිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නහට ප්‍රශ්‍රබ්ධිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නහට සම්මාසමාධිය නටඋපනිඃශ්‍රය ඇති වෙයි.
සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශවිපන්න වෘක්‍ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි, ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට නොයේ, ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇති වේ.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මා සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශයෙන් යුක්ත වෘක්‍ෂයෙක් වේ නම්, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන්සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යි.
10. 1. 1. 6.
සමාධි සූත්‍රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇති නො ම වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තෙජඃසංඥා ඇති නොවේ නම්, වායෝකසිණයෙහි වායුසංඥා ඇති නොවේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නොවේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නොවේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා ඇති නො වේ නම් මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ යන සංඥා ඇති නොවේ නම්, එබඳු සමාධි ප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේදැ යි?
ආනන්‍දයෙනි, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ යැ, ආපෝ කසිණයෙහි ආපෝ ඇති සංඥා නො වේ නම්, තේජෝ කසිණයෙහි තෙජඃසංඥා ඇති නො වේ නම්, වායෝ කසිණ සමාපත්තියෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යැ. යළි සංඥා ඇතියේත් වන්නේයි.
වහන්ස, කිසෙයින් පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො ම ඇති වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා ඇති නො වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේ ද? යි.
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙ බඳු සංඥා ඇතියේ වෙයි: “යම් සර්‍වසංස්කාරයන්ගේ සමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ”යි. ආනන්‍දයෙනි, මෙසෙයින් යම් සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා නැතියේ වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.
10. 1. 1. 7.
සාරිපුත්ත සූත්‍රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
ඇවැත් සාරිපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, ආපයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස් සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ වේ දැ යි.
ඇවැත් ආනන්‍දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො වේ නම් ... පරලෝකයෙහි පරලෝසංඥා නැතියේ වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම් … පරලෝකයෙහි පරලෝකසංඥා ඇතියේ නො වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කිසෙයින් වේ ද?
ඇවැත් ආනන්‍දයෙනි, එක් කලෙක මම් මෙ සැවැත්හි ම අන්‍ධවනයෙහි වාසය කරමි. එහි දී මම් යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නො වීම් නම්, අප්හි අප්සංඥී නො වීම් නම්, තේජස්හි තේජස්සංඥී නො වීම් නම්, වායුවෙහි වායුසංඥී නො වීම් නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥී නො වීම් නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥී නො වීම් නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥී නො වීම් නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥී නො වීම් නම්, ඉධලෝකයෙහි ඉධලෝකසංඥී නො වීම් නම්, පරලොව්හි පරලෝ සංඥී නො වීම් නම්, එබඳු සමාධියකට සමවන්මි.
ඇවැත්නි, එකල ශාරීපුත්‍ර තෙමේ කවර සංඥා ඇතියෙක් වූයේ දැ යි.
ඇවැත්නි, භවනිරෝධය නිර්‍වාණය, භවනිරෝධය නිර්‍වාණය යි අන් ම සංඥාවෙක් උපදනේ ය. අන් ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. එ කෙසේ යැ: ඇවැත්නි, ගිනිගත් රුක්පොතු ගින්නක්හුගේ අන් ම ගිනිසිළෙක් උපදනේ ය, අන් ම ගිනිසිළෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එපරිදි ම භවනිරෝධය නිර්‍වාණය, භවනිරෝධය නිර්‍වාණය යි අන්ම සංඥාවෙක් උපදනේ ය. අන්ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එසමයෙහි මම භවනිරෝධය නිර්‍වාණය යි යන සංඥා ඇතියෙම් ම වීමි යි.
10. 1. 1. 8.
සද්ධ සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල්වත් නො ද වෙයි, මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. උහු විසින් ඒ අංගය පිරිය යුතු. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද වන්නෙම් දැ”යි, මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද මෙසේ ඒ අංගයෙන් පරිපූර්‍ණ වෙයි.
මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත ද වෙයි. ධර්‍මකථික නො ද වෙයි ... ධර්‍මකථික වෙයි. පරිසාවචර නො ද වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර ද වෙයි ප්‍රාන්තසෙනසුන් ඇති ආරණ්‍යක නො වෙයි ... ප්‍රාන්තසෙනසුන්හි යෙදුනු ආරණ්‍යක වූයේත්, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් නො ද වෙයි ... ආභිචේතසික, දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් ද වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ නො වෙසෙයි.
මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් ඒ අංගය පිරිය යුතු වෙයි. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල්ඇතියෙම් ද බහුශ්‍රැතයෙම් ද ධර්‍මකථිකයෙම් ද වන්නෙම් ද, පරිසාවචරයෙම් ද විසාරද ව පිරිස් හි දහම් දෙසන්නෙම් ද විනයධර වූයෙම් ප්‍රාන්තසෙනසුන් ඇතියෙම් ආරණ්‍යක ද වූයෙම් ආභිචේතසික වන දිට්ඨධම්මසුඛවිහාර වන සිවුදැහැන් නිකාමලාභියෙම් අකිච්ඡලාභියෙම් අකසිරලාභියෙම් වන්නෙම් ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ යි.
මහණෙනි, යම් කලෙක පටන් මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් ධර්‍මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසාද විනයධර වූයේත් ආරණ්‍යක වූයේ ප්‍රාන්තසේනාසන ඇතියේත් ආභිචේතසික දිට්ඨධම්මසුඛවිහාර සතරධ්‍යානයන්ගේ නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙනුදු අනාශ්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වේය යි.
මහණෙනි, මේ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වෙයි.
10. 1. 1. 9.
සන්තවිමොක්ඛ සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි, නො ද සිල් ඇතියේ වෙයි ... සිල් ඇතියේත් නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් නො ද විසාරද වූයේ පිරිස්හි දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක නො ද වෙයි ... ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත් රූපයන් ඉක්ම ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උන් කයින් පැහැස නො ද වෙසෙයි ... රූපයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු නාමකයින් පැහැස වෙසෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය නො කෙරෙයි. මෙසේ හේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.
ඔහු විසින් එ අංගය පිරිය යුතු, කිසෙයින් මම් සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්‍රුත වූයෙම් ධර්‍මකථික ද වූයෙම් පරිසාවචර ද වූයෙම් විසාරද ව පිරිස්හි දහම් දෙසනුයෙම් විනයධර වූයෙම් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක ද වූයෙම් රූපාවචර ධ්‍යානයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු කයින් පැහැස වසනුයෙම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ’යි.
මහණෙනි, මහණ යම් කලෙක සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, බහුශ්‍රුත වූයේත් වේද, ධර්‍මකථිකත් වේ ද, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසා ද, විනයධර වූයේත් වේ ද, ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත්, රූපධ්‍යානයන් ඉක්ම සිටුනා අරූපධ්‍යාන වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඔවුනුදු නාමකයින් පැහැස වාසය කෙරේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ ඒ අඟින් පරිපූර්‍ණ වෙයි. මහණෙනි, මේ දශධර්‍මයෙන් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වේ යයි.
සන්තවිමොක්ඛ සූත්‍රය නමවැනි යි.
10. 1. 1. 10.
විජ්ජා සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි, නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ අංගය පිරිය යුතු. කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වන්නෙම් දැ’යි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික ද වෙයි, පරිසාවචර නො වෙයි ... පරිසාවචර ද වෙයි. විසාරද වූයේ පිරිස් දහම් නො ද දෙසයි … විසාරද වූයේ පිරිස්හි දහම් ද දෙසයි, නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසයන් නො ද සිහිකෙරෙයි. එනම් එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි … අනේකවිහිත පූර්‍වනිවාසයන් ද සිහි කරයි. එනම්, එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි. විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් නො ද දක්නේ යි ... විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම්වූ පරිදි යන සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ නො ද වාසය කරයි. මෙසේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.
ඔහු විසින් එ අඟ පිරිය යුතු: කිසෙයින් මම් සැදැහැතියෙම් ද බහුශ්‍රුත වූයෙම් ද, ධර්‍මකථිකයෙම් ද, පරිසාවචරයෙම් ද, විසාරදව පිරිස්හි දහම් දෙසන්නෙම් විනයධර වූයෙම් අනේකවිහිත පූර්‍වනිවාසයන් අනුස්මරණ කරන්නෙම් එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ සාකාර වූ සඋද්දේස වූ අනේකවිහිත වූ පූර්‍වනිවාසය අනුස්මරණ කරන්නෙම් විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් … කම් වූ පරිදි පරලොව ගිය සතුන් දක්නෙම් ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරෙම් දැයි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේ පිරිස්හි දහම් දෙසා ද විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වේනිවාස අනුස්මරණ කෙරේ ද, විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද මෙසේ හේ එ අඟින් පරිපූර්‍ණ වෙයි.
මහණෙනි, මෙ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වේ යයි.
ප්‍රථම ආනිසංසවර්‍ග යි.
එහි උද්දානය:
කිමත්‍ථිය සූත්‍රය, චේතනා සූත්‍රය, සීල සූත්‍රය, උපනිස සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සමාධි සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සද්ධ සූත්‍රය, සන්ත සූත්‍රය, විජ්ජා සූත්‍රය දැයි දසයෙක.
2. නාථ වර්‍ගය
10. 1. 2. 1.
සේනාසන සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍වාගත මහණ පසඟෙකින් සමන්‍වාගත සෙනසුන් සෙවුනේ බජනුයේ නොබෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් ඉහාත්මයෙහි ම චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය.
මහණෙනි, කෙසේ මහණ පසඟෙකින් සමන්‍වාගත වේ ද:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදනේ ය: “මෙසේ ද ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්යහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධයහ, භගවත්හ”යි.
2. අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වූ මධ්‍යම වූ සමව පැසවන කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වෙයි.
3. සඨ නො වූයේ මායා නැතියේ ඇති සැටිය තමා ශාස්තෘන් කෙරෙහි වේවයි නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි පාළ කරනුයේ වෙයි.
4. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුසල්දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වාසය කෙරෙයි.
5. ආර්‍ය්‍ය වූ ලොභස්කන්‍ධාදිය බිඳීමට සමත් මොනොවට දුඃඛක්‍ෂයට පමුණුවන උදයාස්තංගාමිනිප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
මහණෙනි, කෙසේ සෙනසුන පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද ;
6. මහණෙනි, මෙ සස්නෙහි සෙනස්න අතිදුර නො වූයේ අත්‍යාසන්න නො වූයේ ගමනාගමනින් සපන් වූයේ වෙයි.
7. දහවල් (මිනිසුන්) නො ගැවසුණේ රාත්‍රි අල්පශබ්ද වූයේ අල්පනිර්ඝෝෂ වූයේ වෙයි.
8. මැසිමදුරු වා අවු දිගුදෑ පහස් නැතියේ වෙයි.
9. එ සෙනස්නෙහි වසන්නහුට නිදුකින් ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදනේ ය:
10. එ සෙනස්නෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති සූත්‍රපිටකධර විනයධර (ප්‍රාතිමෝක්‍ෂද්වය සඞ්ඛ්‍යාත) මාතෘකාධර තෙර මහණහු වෙසෙත්. කලින් කල උන් කරා එළඹ පුළුවුස්නේ ය, පිරිසිඳුනේ ය: ‘වහන්ස, මේ කිසේ ය, මෙහි කවර අරුත් දැ’යි. ඔහට ඒ ඇවත්හු අවිවෘත වූත් අර්‍ත්‍ථය විවර කෙරෙත්, නො පාළ වූවා පාළ කෙරෙත්, නන් වැදෑරුම් සැකයට කරුණු වූ දහම්හි සැක දුරලත්.
මහණෙනි, මෙසේ සෙනස්න පසඟින් සමන්‍වාගත වෙයි; මහණෙනි, පඤ්චාඞ්ගයෙන් සමන්‍වාගත මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත සෙනස්න සෙවුනේ බෙජෙනුයේ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් දුටුදැමියෙහි ම ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරනේ ය.
10. 1. 2. 2.
පඤ්චඞ්ග සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි සකලගුණසමන්‍වාගත වුසූබඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ පඤ්චාඞ්ගවිප්‍රහීණ වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථිනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගප්‍රහීණ වෙයි.
මහණෙනි, කෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද යත්;
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ තෙම මෙ සස්නෙහි සකලගුණ සමන්‍වාගත වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යයි කියනු ලැබේ.
1. කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ මහණහට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාමාන වේ ද
2. අශෛක්‍ෂ්‍යශීලයෙනුදු අශෛක්‍ෂ්‍යසමාධියෙනුදු විමුක්තියෙනුදු අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනයෙනුදු සමන්‍වාගත එබඳු වූ -
3. පඤ්චාඞ්ගසම්පන්න වූ හේ පඤ්චාඞ්ගයන් හරනේ මේ ධර්‍ම විනයෙහි කේවලී යි කියනු ලැබේ.
10. 1. 2. 3.
සංයෝජන සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, මේ දශ සංයෝජනයෙකි. කවර දශයෙක යත්; ඕරම්භාගිය සංයෝජන පසෙක, උද්ධම්භාගිය සංයෝජන පසෙකැයි.
පඤ්චෝරම්භාගිය සංයෝජන කවර; සක්කායදිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාද යි. මොහු පඤ්චෝරම්භාගිය සංයෝජන යි.
උද්ධම්භාගිය සංයෝජන පස කවර; රූපරාගය, අරූපරාගය, මාන ය, උද්ධච්චය, අවිජ්ජා යි. මොහු පඤ්චුද්ධම්භාගිය සංයෝජන යි. මහණෙනි, මොහු දශ සංයෝජන වෙති යි.
10. 1. 2. 4.
චේතෝඛිල සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණකගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන්හු ද, ඔහට යම් රැයක් වේවයි දිනක් වේවයි පැමිණේ නම් කුසල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරනේය, විචිකිච්ඡා කරනේය, නිශ්චයට නො යෙයි. නො පහදනේ ය. මහණෙනි, යම් ඒ මහණෙක් ශෘස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො යේ ද, නො පහදී ද, ඔහු සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝකිලය අප්‍රහීණ වෙයි.
තවද මහණෙනි, මහණ ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, ... සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, ... ශික්‍ෂායෙහි සැක කෙරෙයි. ... සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැත්තේ හටගත් හුල් ඇතියේ වෙයි. ඔහු සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝඛිලය අප්‍රහීණ වෙයි. මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත්.
ඔහුගේ කවර කවර පඤ්ච චේතෝවිනිබන්‍ධ කෙනෙක් නුසුන් වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්‍ද ඇතියේ පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්‍ද ඇතියේ පහ නොවූ ප්‍රේම ඇතියේ පහ නොවූ පිපාසා ඇතියේ පහ නොවූ පරිදාහ ඇතියේ පහ නොවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි අවීතරාග වේ ද, අවීගතඡන්‍ද වේ ද, අවිගත පෙම වේද, අවිගත පිපාසා වේ ද, අවිගත පරිදාහ වේ ද, අවිගත තණ්හා වේ ද, ඔහු සිත ආතප්පයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධානයට නො නැමේ නම්, මෙසේ මේ ඔහුගේ ප්‍රථම චේතෝ විනිබන්‍ධය නුසුන් වෙයි.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාගි වෙයි ... රූපයෙහි අවීතරාග වෙයි ... කුසපුරා වළඳා ශය්‍යා සුඛයෙහි, ස්පර්‍ශ සුඛයෙහි, මිද්ධ සුඛයෙහි යෙදුනේ වාසය කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරෙයි: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරේ නම්: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. ඔහු සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ. යමකුගේ සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත්.
මහණෙනි, යම් කිසි මහණකුගේ වේවයි, මෙහෙණකගේ වේවයි, මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද, මේ පඤ්ච චේතෝ විනිබද්ධයෝ නුසුන් වෙත් ද ඔහුගේ යම් රැයක් හෝ දවසක් හෝ ඒ නම් කුසල් දහම්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, යම් පරිදි පසඩමස්හි චන්‍ද්‍රයාගේ යම් බඳු රැයෙක් වේවයි දිනයෙක් වේවයි ඒ නම්, එය වර්‍ණයෙනුදු පිරිහේ මැයි, මණ්ඩලයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහ පරිණාහයෙනුදු පිරිහේ. මහණෙනි, යම් කිසි මහණක්හු හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් නම්, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත් නම් ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි ඒ නම් කුශල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණක්හුගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් නම්, පඤ්ච චේතෝවිනිබද්ධයෝ සමුච්ඡින්න වෙත් නම්, ඔහට යම් රැයෙක් හෝ දවසෙක් හෝ ඒ නම් කුශල ධර්‍මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ.