Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13001-13100 න් 15980

භවත් ගෞතමයන් වහන්ස, සර්‍වඥ සර්‍වදර්ශී පූර්‍ණකාශ්‍යප අපරිශේෂ ඥානදර්‍ශනය පිළිණ කෙරෙයි: “යන්නාවූත් සිටිනාවූත් සුප්තවූත් නිදිවැරීමෙහි යෙදුණවූත් මට හැමකල්හි නිරතුරු ව ඥානදර්‍ශනය එළැඹ සිටියේය යි: හේ මෙසේ කියයි: “මම් අනන්තඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියා යි.
භවත් ගෞතමයන් වහන්ස, සර්‍වඥ සර්‍වදර්ශී මේ නිගණ්ඨ නාතපුත්‍ර ද අපරිශේෂ ඥානදර්‍ශනය පිළිණ කෙරෙයි: “යන්නා වූත් සිටුනා වූත් සුප්ත වූත් ජාගරණයෙහි යෙදුනාවූත් මට හැම කල්හි නිරතුරු ව ඥානදර්‍ශනය එළැඹ සිටියේ ය”යි. හේ මෙසේ කියයි: “මම් අනන්තවත් ඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියායි. භවත් ගෞතමයන් වහන්ස, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍යනීක වාද දෙකක් ඇති මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියා ද? කවරෙක් මුසවා කියාදැ යි.
බ්‍රාහ්මණයෙනි, කම් නැති, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය විරුද්ධ වාද දෙකක් ඇති, මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියාද? කවරෙක් මුසවා කියාදැ?යි යන තෙල කරුණ තිබේවා, ‘බ්‍රාහ්මණයෙනි, තොපට දහම් දෙසන්නෙමි, එය අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසන්නෙමි’යි. ‘භවත්නි, එසේ ය’යි ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
බ්‍රාහ්මණයෙනි, උත්තමගතියෙනුදු ජවයෙනුදු පරම පද වීතිහාරයෙනුදු යුත් සතර පුරුෂ කෙනෙක් සිවුදික්හි යම්පරිදි සිටියාහු වෙත් ද, බ්‍රාහ්මණයෙනි, ගත් දළදුනු ඇති (ඇදුරු කුලෙහි) උගත් සිප්සතර ඇති, කෘතහස්ත වූ දැක්වූ සිප්සතර ඇති දුනුවායෙක් නො බර හීයෙන් නිදුකින් සතරඟුල් තල් සෙය යම්සේ සරස ඉක්මවන්නේ ද, ඔහු එබඳු ජවයෙන් සමන්‍වාගත වෙත්. පෙරදිගු මුහුදින් පෑළදිගු මුහුද යම්බඳු වේ නම්, ඉක්බිති පෙරදික්හි සිටි පුරුෂයෙක් මෙසේ කියයි. “මම් පාගමනින් ලෝකාන්තයට පැමිණෙ මැ”යි. හේ වැළඳීම, පීම, කෑම හා රසවිඳුම හැර, මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ ශතවර්‍ෂජීවී වූයේ ශතවර්‍ෂයක් ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර කලුරිය කරන්නේ ය. තවද පෑළදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද උතුරුදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද දකුණු දිග්හි සිටි පුරුෂ මෙසේ කියයි: “මම පා ගමනින් ලෝකාන්තයට යෙමි”යි. හේ වැළඳීම පීම කෑම රසවිඳුම හැර මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ වර්‍ෂශතජීවී වූයේ සියවසක් ගමන් කොට ලෝකාන්තයට නොපැමිණ ම අතුරෙහි කලුරිය කරන්නේ ය. ඒ කවර හෙයින යත්: බ්‍රාහ්මණයෙනි, මෙ බඳු වූ සන්‍ධාවනයෙකින් ලොකාන්තය දතයුතු යයි දැක්කයුතු යයි පැමිණිය යුතු යයි මම නො කියමි. බ්‍රාහ්මණයෙනි, ලෝකාන්තයට නො පැමිණ ද දුක්ඛයාගේ අන්තකරණය මම නො කියමි.
“බ්‍රාහ්මණයෙනි, ආර්‍ය විනයෙහි මේ පස්කම් ගුණ ලෝක”යි කියනු ලැබේ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප ඇති කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපය, ... ශ්‍රෝතවිඥේය ශබ්දය, … ඝ්‍රාණවිඥේය ගන්‍ධය, … ජිව්හාවිඥේය රසය, … ඉෂ්ට කාන්ත මනාප වූ ප්‍රියරූප කාමෝපසංහිත රජනීය කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය යන මොහු යි. බ්‍රාහ්මණයෙනි, ආර්‍ය විනයෙහි මේ පස්කම්ගුණ ලෝකයයි කියනු ලැබේ.
බ්‍රාහ්මණයෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අනන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කෙරේ ය යි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්: “මෙ ද ලෝකපර්‍ය්‍යාපන්නය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය” යි. බ්‍රාහ්මණයෙනි, මම් ද මෙසේ කියමි: “මෙ ද ලෝකයට ඇතුළත් වේ, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැ”යි.
තව ද බ්‍රාහ්මණයෙනි, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … තෘතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි ...
බ්‍රාහ්මණයෙනි, තවද මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මේ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කරන්නේ’යි කියනු ලැබේ. ඔහුගෙන අන්‍යයෝ මෙසේ කියත්: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැයි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියම්: ‘මෙ ද ලෝකයට ඇතුළත් වේ. මෙ ද ලෝකයෙන් අනිඃඍත’ ය කියායි.
තව ද බ්‍රාහ්මණයෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාසය කරනේ යයි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්:
“මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය”යි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියමි: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත” යි.
බ්‍රාහ්මණයෙනි, තව ද මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකාන්තයෙහි වාස කරන්නේ යි ද පඤ්චස්කන්‍ධලෝකයෙහි තෘෂ්ණාසඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කෙළේ ය යි ද කියනු ලැබේ.
9. 1. 4. 8.
දේවාසුරසඞ්ගාම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යටගියදවස වූවක් කියමි: දෙවාසුර සංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි අසුරයෝ දිනූහ, දෙවියෝ පැරදුණහ. මහණෙනි, දෙවියෝ පැරදුණාහු උතුරදිශාභිමුඛ වැ පලාගියාහු ම ය. අසුරයෝ ලුහුබැඳියහ. මහණෙනි, ඉක්බිති දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳිත් මැ යි, අපි අසුරයන් හා දෙවනවටත් යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, දෙවනවටදු දෙවියෝ අසුරයන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටදු අසුරයෝ ම දිනූහ, දෙවියෝ පැරදුණහ. පැරදුණාහු ද දෙවියෝ බියපත්ව උත්තරාභිමුඛව පැන ගියහ. අසුරයෝ ලුහුබැඳියහ.
මහණෙනි, එකල්හි දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳනාහු මැ යි, තෙවනවටදු අසුරයන් හා යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, තෙවනවටදු දෙවියෝ අසුරයන් හා සමග යුද වන්හ. මහණෙනි, තෙවනවටත් අසුරයෝ ම දිනූහ. දෙවියෝ පැරදුණාහ. මහණෙනි, පැරදුණාහු ද දෙවියෝ භීතව දේවපුරයට ම වන්හ.
මහණෙනි, දෙව්පුරයට ගිය දෙවියනට ද තෙල සිත විය: ‘භීරුත්‍රාණයට (භය නැති තැනට) ගිය සිතින් අපි දැන් වාසය කරම්හ. අසුරයන් විසින් අකරණීය යම්හ (කිසිත් නොකළ යුත්තම්හ) යි. මහණෙනි, අසුරයනට ද තෙල සිත විය: දැන් දෙවියෝ භීරුත්‍රාණයට ගිය සිතින් වාස කරත්. අප විසින් අකරණීය (කිසිවක් නොකළ යුත්තාහ) වෙති යි.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවාසුර සඞ්ග්‍රාමයෙක් එළැඹ සිටියේ ය, මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුනු අසුරයෝ දක්‍ෂිණාභිමුඛ වූවාහු පලාගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ; මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැ”යි. “අපි දෙවියන් හා සමඟ දෙවනවටදු යුදවදනමෝ නම් යෙහෙකැ”යි. මහණෙනි, දෙවනවටත් දෙවියන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටත් දෙවියෝ ම දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණා වූ අසුරයෝ දක්‍ෂිණාභිමුඛ ව පැන ගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ. මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැයි, අපි තෙවනවටදු දෙවියන් හා යුද වදිමුනම් යෙහෙකැ”යි. මහණෙනි, තෙවනවටත් අසුරයෝ දෙවියන් හා යුදවන්හ. මහණෙනි, තෙවනවටත් දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, අසුරයෝ පැරදුණාහු ම බියපත් ව අසුරපුරයට ම වන්හ. මහණෙනි, අසුරපුරයට ගියා වූ අසුරයනට තෙල සිත විය: දැන් වනාහි අපි භීරුත්‍රාණගත වූ සිතින් වාසය කරමු. දෙවියන් විසින් අකරණීය යම්හ”යි. මහණෙනි, දෙවියනට තෙල සිත විය: මෙකල්හි අසුරයෝ භීරුත්‍රාණගත සිතින් වාසය කරත්. අප විසින් අකරණීය වෙත්”යි.
මහණෙනි, එ පරිදි ම යම් සමයෙක්හි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාස කරයි ද, මහණෙනි, එකල්හි මහණහට මෙබඳු සිතෙක් වෙයි: මෙකල්හි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාසය කරමි. මාරයා විසින් අකරණීය වෙමි’යි.
මහණෙනි, පාපී මාරයාහට ද තෙල සිත වෙයි, දැන් මෙ සමයෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරන්නේ ය, මා විසින් අකරණීය වෙයි.
මහණෙනි, යම් සමයෙක්හි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … එළැඹ වෙසෙයි ද, මහණෙනි, එසමයෙහි මහණහට මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙසෙමෙහි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරමි. මාරයා විසින් අකරණීය වෙමි”යි. මහණෙනි, මාරහට ද මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙ සෙමෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරයි. මා විසින් අකරණීය වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්ත”යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි, මහණෙනි, මෙ මහණ මරහු අන්ත කෙළේ යි ද මාරචක්‍ෂුස නිරවශේෂ කොට වනසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේයි ද කියනු ලැබේ.
මහණෙනි, යම් සමයෙක්හි මහණ සර්‍වථායෙන් ආකාසානඤ්චායනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කරයි … සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනයට ඉක්මැ ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනට එළැඹ වාස කරයි ද … සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි, ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. මහණෙනි, මේ මහණ මාරයා අන්ත කෙළේ යයි ද මාරචක්‍ෂුස නිරවශේෂ කොට නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ ලෝකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යයි ද කියනු ලැබේ.
9. 1. 4. 9.
ආරඤ්ඤකනාගෝපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක වනවැසි ගොදුරු සෙවුමට යන ඇත්රජහුගේ පෙරට පෙරට ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද තණඅක් සිඳිති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි. මහණෙනි, යම් කලෙක්හි ගොදුරු සෙවුමට යන ඒ වනවැසි ඇත්රජහු විසින් නතු-නතු කොට තැබූ අතු කඩ මහ ඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්තු ද ඇත් පොව්වෝ ද කති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි. ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජහු පෙරට පෙරට ව ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද සොඬින් දිය අළලති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජුගේ සිරුර ඇතින්නෝ ගටා යෙත් ද, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, එකල වනවැසි ඇත්රජහට මෙවන් සිතෙක් වෙයි: “මෙ සමාහි මම් මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් වෙසෙම්. සුන්අග් ඇති තණුදු කමි. ම විසින් නතු-නතු කොට තැබූ අතුකඩදු කති. කැලැත් දිය ද බොමි. පැන්තොටට බට මාගේ සිරුර ගටමින් ඇතින්නෝ යෙති. මම් ගණයාගෙන් එකලා වූයෙම් දුරු වූයෙම් නම් යෙහෙකැ”යි.
හේ පසු කල්හි එකලා වූයේ ඇත්ගණයා කෙරෙන් වෙන් වූයේ වෙසෙයි. නො සුන් අග් ඇති තණුදු කයි. ඔහු විසින් නතු නතු කොට තැබූ අතුකඩදු නො කති. නො කැලැත් පැනුදු බොයි. පැන්තොටට බට ඔහුගේ සිරුර ඇතින්නෝ ගටා නො යෙත්. මහණෙනි, එ සමාහි වනවැසි ඇත්රජුට මෙ බඳු සිතෙක් වෙයි:
“මම වනාහි පෙර මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් විසීමි. සුන්අග් ඇති තණුදු කෑයෙමි. මවිසින් නතු නතු කොට තැබූ අතුකඩුදු කෑ හ. කැලැත් පැනුදු පීමි. පැන්තොට වන් මාගේ සිරුර ඇතින්නෝ ගටමින් ගියහ. ඒ මම් එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙමි. නො සුන් අක් තණුදු කමි. මා විසින් නතු නතු කොට තැබූ අතුකඩ ද (ඔහු) නො කත්. නො කැලැත් පැනුදු බොමි. ඇතින්නෝ තොට වන් මා සිරුර ද නො ගටමින් යෙති.” හේ සොඬින් අතුකඬක් බිඳ බුන් අතුකඬින් කය පිරිමැද තුටු සිත් ඇත්තේ කැසිලි නසයි.
මහණෙනි, එ සෙයින් ම යම් කලෙක්හි මහණ, මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහ ඇමැතියන් විසින් තොටුවන් විසින් තොටුසව්වන් විසින් නො මුසු වූයේ වෙසේ ද, මහණෙනි, එසමයෙහි මහණ හට මෙ බඳු සිතෙක් වෙයි: මම් වනාහි මෙ සමාහි මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජුන් විසින් රජමහ ඇමතියන් විසින් තොටුවන් විසින් තොටු සව්වන් විසින් මුසුයෙම් වෙසෙමි. මම එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙම් නම් මනා”යී. හේ වනය, රුක්මුල් ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත ය, අභ්‍යවකාශය, පිදුරුරැස ය, යන විවික්තශයනාසන බෙජෙයි. හේ අරනට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස්ගෙට ගියේ වේවයි පළක් බැඳ සිරුර ඉදි වැ තබා ගෙන සිහි පෙරට කොට එළවා හිඳියි.
හේ උපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දුරැර පහ වූ අභිධ්‍යා ඇති සිතින් වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රකර්‍ෂදොෂය දුරැර ව්‍යාපාද රහිත සිත් ඇතියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ඇතියේ වෙසෙයි, ව්‍යාපාදප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුරැර පහ වූ ථීනමිද්ධය ඇතියේ ආලෝකසංඥා ඇතියේ සිහි ඇතියේ මනා නුවණ ඇතියේ වෙසෙයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරැර නො වුහුටු සිතැතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වෙසෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා දුරැර තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුසල්දහම් හි කථඞ්කථම්භාව (කෙසේ ද කෙසේ ද යන සැක) නැතියේ වෙසෙයි, විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
හේ චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරැර කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. හේ තුටුසිතැතියේ (ක්ලේශ) කණ්ඩුති නසයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි, හේ තුටුසිතැතියේ ක්ලේශකණ්ඩුති නසයි.
සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායනයට පැමිණ වෙසෙයි. තුටුසිතැති හේ ක්ලේශකණ්ඩුති නසයි. සර්‍වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ “විඥානය අනන්ත”යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ තුටු සිතැත්තේ කෙලෙස් කැසිලි නසයි. සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි … සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. හේ තුටු සිතැතියේ කෙලෙස් කැසිලි නසයි.
9. 1. 4. 10.
තපුස්සගහපති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලත ජනපදයෙහි උරුවේලකප්ප නම් මලතයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වාහ්නයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන උරුවේලකප්පයට පිඬු පිණිස වන්සේක. උරුවේලකප්පයෙහි පිඬු සිඟා හැසිර පසුබතෙහි පිඬුවායෙන් වැළකුණාහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, මම් දිවාවිහාර පිණිස මහාවනයට යම්තාක් වදනෙම් නම් තෙපි ඒ තාක් මෙහි ම රඳව”යි. ‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් හට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුක් මුලෙක දිවා විහරණ සඳහා වැඩ හුන් සේක.
ඉක්බිති තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් තෙනෙක්හි ද එහි එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරුන් හට තෙල කීය:
වහන්ස, ආනන්‍දයෙනි, ගෘහස්ථ වූ අපි කම්සුව විඳුනාහු කාමයෙහි ඇලුණාහු කාමයෙහි වෙසෙසින් ඇලුණාහු කාමයෙන් තුස්නාහු වම්හ. හිමියෙනි, කාමභෝගී වූ කාමාරාම වූ කාමරත වූ කාමසම්මුදිත වූ ගිහිගෙහි වසන ඒ අපට යම් මේ (ප්‍රවුජ්‍යාසඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. වහන්ස, මේ ධර්‍මවිනයෙහි තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි (අරමුණු වසයෙන්) නො බැස ගනියි. (එ අරමුණු කොට) පහදියි. (එහි ම) පිහිටයි. (සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය බොහෝදෙන සමග සභාග නොවන්නේයි.
ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස තෙල කථා ප්‍රාහෘතයෙක් (කථා මූලයෙක්) වෙයි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද, එහි එළැඹෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හට මෙ කරුණ සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයෙකින් අපට පවසන සේක් නම් එසෙයින් එ ධරම්හ යි. ‘එසේ ය වහන්සැ’යි තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් ඇස්වීය. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තපුස්ස ගැහැවිහු සමඟ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක වූහු නම් එතනට එළැඹියහ. එළැඹ … භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, මේ තපස්සු ගැහැවි මෙසේ කියයි: “වහන්ස, ආනන්‍දයෙනි, අපි කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත වූ ගිහියම්හ. වහන්ස, කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත ගිහි වූ ඒ අපට මේ නෛෂ්ක්‍රම්‍යය (පැවිද්ද) ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ධර්‍මවිනයෙහි තෙල (නෛෂ්ක්‍රම්‍යය) ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත බැස ගනියි, පහදියි, සිටියි, (ඒ අරමුණුකොට සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල පුවත මා විසින් අසන ලද්දේ ය. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් ඒ මේ කරුණ බොහෝ දෙනා සමඟ අසදෘශ ය”යි.
ආනන්‍දය, තෙල කරුණ එසේ ම ය. ආනන්‍දය, තෙල කරුණ එසේ මැ යි. සම්බෝධියෙන් පෙර ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට දු නෛෂ්ක්‍රම්‍යය මැනැවි, ප්‍රවිවේකය මැනවි යන තෙල සිත වී ය. තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යය කෙරෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (ඒ අරමුණු කොට කෙලෙසුන්ගෙන්) නො මිදේ. ආනන්‍දය, ඒ මට තෙල සිත විය: “තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නෛෂ්ක්‍රම්‍යයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, (ඒ අරමුණු කොට කෙලෙසුන් කෙරෙන්) නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවරැ”යි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් කාමයන්හි ආදීනව නො දක්නා ලද ම ය, හේ ද මා විසින් අබහුලීකෘත ය, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ නො කරන ලද, හේ ද මා විසින් ආදරයෙන් සේවන නො කරන ලද, එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නො බැස ගනියි. නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන් ගෙන්) නො මිදෙයි”.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම කාමයන්හි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ලැබ එය අවබෝධ කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යෙයහි යම් හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, (කෙලෙසුන් කෙරෙන්) මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත්ම ය.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවනය කෙළෙමි. තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ නෛෂ්ක්‍රම්‍යයෙහි පනියි, පහදියි, පිහිටයි, (ඒ අරමුණුකොට කෙලෙසුන් කෙරෙන්) මිදෙයි.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමසහගත සංඥාමනසිකාරයෝ (මනෝද්වාරයෙහි) හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට හුදු ආබාධ පිණිසම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට කාමසහගතසංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන්ගෙන්) නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්ත ය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි යම්හෙයෙකින් නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විතර්‍ක (විචාර) යන්හි ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො බැසගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විතර්‍ක (විචාර) යන්හි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් අවිතර්‍කයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි තෙල කරුණ විද්‍යමාන වේ මැ යි.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ කොට ගෙන එය ආසේවන කෙළෙමි, ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
2. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නාවූ ඒ මට විතර්‍කසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි. ආනන්‍දය, යම්සේ සුව ඇතියහට ආබාධ පිණිසම දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විතර්‍කසහගත මනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෙවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැසගනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කිම? ප්‍රත්‍යය කිමැ”යි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ප්‍රීතිහුගේ ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මා ගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කරනෙම් නම් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානය කෙරෙහි යම්හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කෙළෙමි. ප්‍රීතිවිරහිත ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
3. ආනන්‍දය, ඒ මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන ඒ මට ප්‍රීතිසහගත සංඥා මනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුවඇතියහට ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට ප්‍රීතිසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත් වී ය: “මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිවුවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛඅසුඛයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “උපේක්‍ෂාසුඛයෙහි ආදීනව මා විසින් නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම උපේක්‍ෂා සුඛයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛ අසුඛයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ ඇත්ම ය.”
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි උපේක්‍ෂාසුඛයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. තෙල ශාන්තය යි දක්නා ඒ මාගේ සිත අදුක්ඛ අසුඛයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
4. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිව්වන ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට ආබාධ පිණිස ම දුක උපදනේ ද, එපරිදි ම ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ … ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි නො පනී ද, නො පහදියි ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් රූපයන්හි දෝස නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. ඒ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දන්නා වූ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම රූපයන්හි ආදීනව දැක එය බහුලකරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.”
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි රූපයන්හි දොස් දැක එය බහුල කෙළෙමි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් සාක්‍ෂාත් කොට එය ආදරයෙන් සෙව්වෙමි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
5. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් … (කසිණුග්ඝාටික) ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා (ආකාසාරම්මණ) විඤ්ඤාණය අනන්තයි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකාසානඤ්චායතනයයෙහි ආදීනව නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් ද නො ලබන ලද ය. මා විසින් ඒ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ඉදින් මම ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත් ම ය.”
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නාවූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
6. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට බාධා වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක් උපදනේ ද, එසේ ම ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පනියි ද, නො පහදියි ද, නො පිහිටයි ද, නො මිදෙයි ද එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව නොදක්නා ලද ය. හේ ද මා විසින් අබහුලීකෘත ය. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් ද අවබෝධ නො කරන ලද ය, හේ මා විසින් සේවිත ද නො වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විඤ්ඤාණඤ්චායතනයෙහි දොස් දැක එය බහුල කෙළෙමි. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
7. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිසම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙති. හේ ඒ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවර යත්:
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය නොදක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අනධිගත වෙයි. මා විසින් හේ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය අදරින් සෙවුනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
8. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනස්කාරයෝ මනෝද්වාරයෙහි හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත් හේ මට ආබාධ වෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙන්නෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනී, නො පහදී, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් සසඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කවරේ දෝ! ප්‍රත්‍යය කවරේ දෝ!”
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනව නො දක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ නො කරන ලද්දේ වෙයි. මා විසින් හේ අනාසේවිත ද වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනවය දැක එය බහුල කරනෙම් නම් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි දෝස දැක එය බහුල කෙළෙමි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
9. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙමි. ප්‍රඥායෙනුදු දැක මාගේ ආස්‍රවයෝ පරික්‍ෂයට ගියහ.
ආනන්‍දය, යම්තාක් කල් මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොමපටිලොමවසයෙන් නො සමවැදියෙම් ද, නො නැඟී සිටියෙම් ද, ආනන්‍දය, ඒ තාක්කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළින නො කෙළෙම්ම ය.
ආනන්‍දය, යම් කලෙක්හි මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොම් පිළිලොම් විසින් සමවැදුණෙම් ද, නැඟී සිටියෙම් ද, ආනන්‍දය, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළිණ කෙළෙමි. මට ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද උපන, “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිමජාති යි, දැන් පුනර්‍භවයෙක් නැත” කියා යි.
සතරවන මහාවර්‍ග යි.
එහි උද්දානය:
අනුපුබ්බවිහාර සූත්‍රදෙක ය, නිබ්බානසූත්‍ර ය, ගාවීසූත්‍රය, පස්වන ඣාන සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, දෙවාසුර සූත්‍රය, නාග සූත්‍රය, තපුස්ස සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.