මහණෙනි, මේ ආඝාතප්‍රතිවිනයයෝ නම දෙනෙකි. කවර නව දෙනෙක් යත්:
මට අනර්‍ත්‍ථ කෙළේ ය, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට අනර්‍ත්‍ථ කරයි. ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මනවඩනා ප්‍රියයාහට අනර්‍ත්‍ථයක් කෙළේය … අනර්‍ත්‍ථයක් කරයි .. අනර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථයක් කෙළේය … අර්‍ත්‍ථයක් කරයි … අර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබියහේදැයි කෝපය සන්හිඳුවයි, මහණෙනි, මොහු නව ආඝාත පටිවිනයෝ ය.
9. 1. 3. 11.
අනුපුබ්බනිරෝධ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපූර්‍ව නිරෝධයෝ නවදෙනෙක. කවර නව දෙනෙක් යත්:
ප්‍රථමධ්‍යානය සමවන්හට කාමසංඥා නිරුද්ධ වෙයි, ද්විතීය ධ්‍යාන සමවන්හට විතර්‍කවිචාරයෝ නිරුද්ධ වෙති, තෘතීය ධ්‍යාන සමවන්හට ප්‍රීතිය නිරුද්ධ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්හට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති, ආකාසානඤ්චායතන සමවන්හට රූපසංඥා නිරුද්ධ වෙයි, විඤ්ඤාණඤ්චායතන සමවන්හට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවන්හට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්හට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි, සඤ්ඤාවේදයිත නිරෝධ සමවන්හට සංඥා වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මොහු නව අනුපුබ්බ නිරෝධයෝ යි.
තෙවැනි සත්තාවසා වර්‍ග යි.
එහි උද්දානය:
ඨානසූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, තණ්හා (මූලක) සූත්‍රය, සත්තාවාස, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙකය, සිලායූප සූත්‍රය, වෙර සූත්‍ර දෙකෙක, ආඝාත සූත්‍ර දෙකෙක, අනුපුබ්බනිරෝධ සූත්‍රය දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර ඒකාදශයෙකි.
4. මහා වර්‍ගය
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපිළිවලින් සමවැදිය යුතු විහාරයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් (ඉක්මවීමෙන්) අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ඇති චිත්තයාගේ එක අරමුණෙක්හි උදා වූ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කෙරෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සෞම්‍යතස්ස දෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කෙරෙයි.
සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිමාකාසය අනන්තය’යි ආකාසානඤ්චායතනය ට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කෙරෙයි.
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාර යෝ යි.
9. 1. 4. 2.
අනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාරසමාපත්තීන් දෙසමි. එය අසවු … මහණෙනි, අනුපූර්‍ව විහාර සමාපත්තීහු නවදෙන කවරහු ද යත්:
1. යම් තැනෙක් හි කාමයෝ නිරුද්ධ වෙත් ද, යම්කෙනෙක් කාමයන් පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ඒ අංගයෙන් (තෘෂ්ණාදෘෂ්ටි ක්‍ෂුධා නැතියෙන්) නිච්ඡාතයහ. (ඇතුළත තවන කෙලෙසුන් නැතියෙන්) නිබ්බුතය හ. (කාමතණ්හා නැතියෙන්) තිත්තණ්හයහ. (කාමයෙහි පරතෙරට ගියෙන්) පාරගතයහ යි කියමි. කාමයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවුරු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් ද: මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි යමෙක් මෙසේ කියා නම්, හේ මෙසේ කිය යුතු වන්නේ ය:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මෙහි කාමයෝ නිරුද්ධ වෙත්, ඔහු දු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට වඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
2. යම් තැනෙක් හි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක් විතර්‍කවිචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් (තණ්හා දිට්ඨි නමැති සාගිනි නැතියෙන්) නිච්ඡාතය හ. (ඇතුළත තවන කෙලෙස් නැතියෙන්) නිබ්බුතයහ, (කාම තණ්හා නැතියෙන්) තිත්තණ්හයහ, පාරගතයහ, (කාමයෙහි පරතෙරට ගියහ)යි කියමි. විතර්‍ක විචාරයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවරහු විතර්‍ක විචාරයන් පුනපුනා නිරුද්ධ කොට වාසය කරත් ද, ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම්, හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්, ඔහු ද විතර්‍ක විචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත්ය’යි. මහණෙනි, එකැතින් අශඨවූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්ගේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
3. යම් තැනෙක ප්‍රීතිය නිරුද්ධ වේ නම් යම් කෙනෙකුත් ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාස කරත් නම් එකැතින් ඒ ආයුෂ්මත් හු ඒ අඞ්ගයෙන් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි ප්‍රීතිය නිරුද්ධ වේ ද? කවරහු ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? යි. මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඔ වාස කරයි. මෙහි ප්‍රීතිය නිරුද්ධ වෙයි. ඔහුත් පුන පුනා ප්‍රීතිය නිරුද්ධ කොට වාසය කරතැයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’ යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
4. යම් තැනෙක උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද, යම් කෙනෙකුත් උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හය හ, පාරඞ්ගතයහ යි කියමි. කොහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද? කවරහු උපේක්‍ෂා පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සුඛ ප්‍රහාණයෙන් ද දුක්ඛ ප්‍රහාණයෙන් ද … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වෙයි. ඔහු ද උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි එකතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේය, අනුමෝදන් කොට ගන්නේය. සාධුයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳිනුයේ බඳැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
5. යම් තැනෙක රූපසංඥා නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක්හුදු රූප සංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, තිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි රූපසංඥා හු නිරුද්ධ වෙත් ද? කවරහු රූපසංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කොට ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. මෙහි රූපසංඥා හු නිරුද්ධ වෙත්.
ඔහු ද රූපසංඥා පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කොට ගන්නේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බැදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේය.
6. යම් තැනෙක් හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද, යම් කෙනෙකුදු ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හ ය, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් දැ?යි ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු ආකාසානඤ්චායතනය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් යයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
7. යම් තැනෙක විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද යම් කෙනෙකුදු විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? තෙල මම් නො දන්මි. තෙල මම් නො දක්මියි, යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. එත්නහි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු පුනපුනා විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ කොට වාස කෙරෙත් ය යි. මහණෙනි, එකැතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘මැනවැ’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදනා කරන්නේ ය. ‘මැනැවැ’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කෙරෙයි.
8. යම් තැනෙක ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුත් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත් හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහයි කියමි. කොතන්හි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නො දන්මි, තෙල මම් නො දක්මියි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහු ද ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත්”යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ භාෂිතය මැනැවැයි සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. භාෂිතය මැනැවැයි සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමඳනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
9. යම් තැනෙක නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතය හ, නිබ්බුතය හ, නිත්තණ්හය හ, පාරඞ්ගතය හ යි කියමි. කොතන්හි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නොදන්මි, තෙල මම් නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. එත්නහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙති යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ යි.
මහණෙනි, මේ නව අනුපූර්‍ව විහාරසමාපත්තීහු යි.
9. 1. 4. 3.
නිබ්බානසුඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වාසය කෙරෙත්. එකල්හි ඇවැත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’ යී ඒ මහණහු ඇවැත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස් වූහ. ඇවැත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ. “ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ යි, ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ”යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රය, යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, එහි කවර සුඛයෙක් දැ”යි. “ඇවැත්නි, ඉදින් යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, තෙල ම සුඛ වේ”යි.
ඇවැත්නි, මෙ කාමගුණ පසෙක් වෙයි, කවර පසක යත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපහ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දහ … ඝ්‍රාණවිඥේය ගන්‍ධහ … ජිහ්වාවිඥේය රස හ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රජනීය වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යහ. ඇවැත්නි, මේ පඤ්චකාමගුණ යි. ඇවැත්නි, මේ පස්කම් ගුණනිසා යම් බඳු සුඛයෙක් සෞමනස්සයෙක් උපදනේ ද, ඇවැත්නි, මේ කාමසුඛ යි.
1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්‍ය්‍යායෙනුදු නිර්‍වාණය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.
2. ඇවැත්නි, තව ද මහණ විතර්‍ක විචාරයන්ගෙන් ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන ඒ මහණහට විතර්‍ක සහගත සංඥාමනසිකාරයෝ ඉදින් පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට යම් සේ හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එපරිදි ම ඕහට ඒ විතර්‍කසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ කාරණයෙනුදු තෙල නිර්‍වාණය සුඛ වූ පරිදි දතයුතු යි.
3. තවද ඇවැත්නි, මහණ ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ඒ ප්‍රීතිසහගත සංඥාමනසිකාරයෝ උපදනාහ. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ප්‍රීතිසහගතසංඥාමනසිකාරයෝ උපදිත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙපරිද්දෙනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.
4. ඇවැත්නි, තව ද මහණ සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.
5. තව ද ඇවැත්නි, මහණ රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය දුඛ පරිදි දතයුතු.
6. ඇවැත්නි, තවද මහණ හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ආකාසානඤ්චායතන සහගත මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිදි ඔහුගේ ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දත යුතු.
7. තවද ඇවැත්නි, මහණ හැම පරිදි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන එ මහණහට විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ ද, එ පරිදි ම ඕහට එ විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ ද, තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
8. ඇවැත්නි, තවද මහණ සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැන්ති, ඉදින් මේ විහාරයෙන් වාසය කරන එ මහණහට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
9. තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ ද වෙත්. මෙ කරුණෙනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.
9. 1. 4. 4.
ගාවීඋපමා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් පරිදි බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රය නොදන්නා පර්‍වතයෙහි හැසිරෙන දෙන විසම පර්‍වතයෙහි සරනට අසමත් වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම නො ගිය විරූ දිගට යෙම් නම්, නො කෑ විරූ තණ කන්නෙම් නම්, නො පී විරී පැන් බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඔ පළමු පා මොනවට පිහිටියක් කොට නො පිහිටුවා පැසුළු පා නඟයි. ඕ නො ගිය විරූ දිගට නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නො පී විරී පැන් නො බොයි. යම් පියසෙක්හිදු සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට යෙමි යි, නො කෑ විරූ තණ ද කමි යි, නො පී විරී පැනුදු බොමි”යි එ පියසට නිදුකින් පෙරළා නො යෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වූ ඒ දෙන යම් හෙයකින් විසම පර්‍වතයෙහි සරනට නො සමත් ද, එහෙයිනි.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වන අදක්‍ෂ වූ කිසියම් මහණෙක් කාමයන්ගෙන් වෙන් වැ ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන උපයා වෙසෙයි. හේ ඒ දැහැන් නිමිත්ත පුනපුනා සේවනය නො කෙරෙයි, නො වඩයි, බහුල විසින් නො කරයි, මොනවට ඉටන ලද්දක් කොට නො ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් මැනව”යි. හේ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවන දැහැනට එළැඹ වසනට නො හැකියේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාමයන්ගෙන් වෙන් වැ ම පළමු දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ කාමයන්ගෙන් වෙන්වැ … පළමු දැහැනට එළඹ වසනට නො හැකි වෙයි. මහණෙනි, මෙ මහණ දෙපසින් නටුයේ දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ. බාල අව්‍යක්ත ක්‍ෂේත්‍රඥ නො වන පර්‍වතයෙහි සරණ ඒ දෙන විසම පර්‍වතයෙහි සරනට අදක්‍ෂ වූවා යම් සේ ද, එ මෙනි.
මහණෙනි, පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ වූ පර්‍වතයෙහි සරණ දෙනක් විෂම පර්‍වතයෙහි සරනට යම්සේ දක්‍ෂ වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම් නො ගිය විරූ දිගට යෙම් නම් නො කෑ විරූ තණ ද කන්නෙම් නම් නො පී විරී පැන් ද බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඕ පළමු පා මොනවට පිහිටියක් කොට තබා පැසුළු පා නඟයි, ඕ නො ගිය විරූ දිගට ද යයි, නො කෑ විරූ තණ ද කයි, නො පී විරී පැන් ද බොයි. යම් පියෙසෙකැ සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට ද යමි. නො කෑ විරූ තණ ද කමි. නො පී විරි පැන් ද බොමැ” යි, එ පියසට නිදුකින් පෙරළා එයි. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ ඒ දෙන විෂම පර්‍වතයෙහි සරනට සමත් වේ ද, එහෙයිනි.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි පණ්ඩිත ව්‍යක්ත ක්‍ෂේත්‍රඥ දක්‍ෂ කිසියම් මහණෙක් කාමයෙන් වෙන් වැ ම අකුශල දහමින් වෙන් වැ … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත පුනපුනා සේවනය කෙරෙයි, වඩයි, බහුලීකෘත කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි, හේ දෙවන දැහැන නො පෙළනුයේ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් ප්‍රීතියගේ ද විරාගයෙන් ද තෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ තෙවන දැහැන නො පෙළනුයේ ප්‍රීතියගේ ද විරාගයෙන් තෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත සේවනය කරයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්‍රහාණයෙනුදු … සිවුවැනි දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙක” කියා යි. හේ සිවුවන දැහැන නො පෙළමින් සුඛප්‍රහාණයෙනුදු … සිවුවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වාර්‍ත්‍ථයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්ත’ යයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ’යි, හේ ආකාසානඤ්චායතනය නො පෙළනුයේ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් … ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙම් නම් මැනැවයි හේ විඤ්ඤාණඤ්චායතනය නො පෙළෙමින් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ ආකිඤ්චඤ්ඤායතනය නො පෙළමින් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොපෙළමින් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ සඤ්ඤාවේදයිතනිරෝධය නො පෙළනුයේ හැම පරිදි නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.
මහණෙනි, යම් කලෙක පටන් මහණ එම සමවතට සමවදනේ නම් නැඟී සිටුනේ නම් ඔහු සිත මෘදු වෙයි. කර්‍මණ්‍ය වෙයි. මෘදු වූ කර්‍මණ්‍ය වූ සිතින් අප්‍රමාණ සමාධිය මොනවට වඩන ලද්දේ වෙයි. හේ සුභාවිත වූ අප්‍රමාණ සමාධියෙන් (විශිෂ්ට ඥානයෙන්) දැන සාක්‍ෂාත් කටයුතු යම් යම් ධර්‍මයකට සිත (දැන් සාක්‍ෂාත් කරනු පිණිස) මොනොවට නමයි ද, කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
ඉදින් හේ කැමැති වන්නේ නම් අනේකවිහිත ඍද්ධිවිධය වළඳනෙම්, එකෙක් වැ ද බොහෝ පරිදි වෙම්වයි, බොහෝ පරිදි වැද එකෙක් වෙම්වයි … බඹලොව දක්වා කයින් වශය පවත්වමව යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
ඉදින් හේ දිවසෝධයින් … කැමති වේ නම් කරුණු ඇති ඇති වත් ම ...
ඉදින් හේ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැනගන්නෙම්වයි. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගන්නෙම් වයි … විමුක්ත වූ හෝ සිත විමුක්තචිත්ත යයි දැන ගන්නෙම් වයි කැමැති වේ නම් ඒ ඒ වෙසෙසෙහි කරුණු ඇති ඇති වත් මැ පසක් බවට පැමිණෙයි.
ඉදින් හේ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සමරම්වයි එනම්: එක් ජාතියකුදු … මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙළ සමරම්වයි කැමැති වේ නම් කරුණු ඇති වත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණෙයි.
“ඉදින් හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් … කම් වූ පරිදි පිළිසඳට යන සත්ත්‍වයන් දන්නෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම එ එ වෙසෙස්හි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
“හේ ඉදින් ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණේ.
9. 1. 4. 5.
ඣානනිස්සය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය (වේ ය යි) කියමි. මහණෙනි, මම ද්විතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම තෘතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම චතුර්‍ත්‍ථධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකාසානඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම සඤ්ඤාවේදයිත නිරෝධය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි.
“මහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාසය කෙරෙයි.
හේ ඒ දැහැන්හි රූපගත වේවයි වේදනාගත වේවයි සඤ්ඤාගත වේවයි සඞ්ඛාරගත වේවයි විඤ්ඤාණගත වේවයි යමෙක් මැ වේ නම් ඒ දහම් අනිත්‍ය විසින් රෝග විසින් ගණ්ඩ (ගඬු) විසින් සල්ල (හුල්) විසින් අඝ (දුක සහිත) විසින් ආබාධ (පීඩාකර) විසින් පර (අයත් නැති) විසින් පලෝක (පලුදු) විසින් සුඤ්ඤ (හිස්වූවන්) විසින් අනත්ත (අනාත්ම) විසින් මොනොවට විදසුන් නුවණින් දක්නේ ය. හේ ඒ දහමුන්ගෙන් සිත නිවන් විසින් නවතා ලයි. එ දහමුන් ගෙන් සිත නවතා “යම් මේ සර්‍වසංස්කාරයන්ගේ සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුර ලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත යයි අමෘතධාතුයෙහි සිත බස්වයි. හේ එ දැහැන්හි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් ඒ (ශමථ-විදර්‍ශනා) ධර්‍මරාගයෙන් මැ ඒ ධර්‍මනන්‍දියෙන් මැ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි මැ පිරිනිවෙන සුලු එ ලොවින් පිළිසිඳ විසින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතිකයෙක් වෙයි.
මහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටි පිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට හේ පසු කලෙක (දුර හී හෙළනා) දූරේපාතියෙක් ද (විදුලියෙහි දු නො වරද ව විදුනා) අක්ඛණවේධියෙක් ද මහත් කයත් බිඳුනේ ද වෙයි.
මහණෙනි, එ සෙයින් මැ මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ රූපගත වේවයි, වේදනාගත වේවයි, සඤ්ඤාගත වේවයි, සඞ්ඛාරගත වේවයි, විඤ්ඤාණගත වේවයි, යම් ම ධර්‍මයෙක් වේ නම් ඒ ධර්‍මයන් අනිත්‍ය විසින් දුක්ඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් සල්ල විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් පලෝක විසින් සුඤ්ඤ විසින් අනත්ත විසින් විවසුන් නුවණින් දක්නේ ය, හේ එ දහමුන්ගෙන් සිත නවත්වයි. හේ එ දහමුන්ගෙන් සිත නවත්වා “යම් මේ සර්‍වසංස්කාර සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් වේ නම් විරාගයෙක් වේ නම් නිරෝධයෙක් වේ නම් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්තය තෙල ප්‍රණීතය”යි. නිර්‍වාණධාතුයෙහි සිත බහයි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණේ.
ඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගෙන් පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු ඒ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි. මහණෙනි, ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය මම කියමි යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
“මහණෙනි, මම දෙවන දැහැන නිසා ද … මහණෙනි, මම තෙවන දැහැන නිසා ද … මහණෙනි, මම සිවුවන දැහැන නිසා ද … මහණෙනි මම ආකාසානඤ්චායතනය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි, මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්:
“මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්තය”යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් මැ වේදනාගතයෙක්, සංඥාගතයෙක්, සංස්කාරගතයෙක්, විඤ්ඤාණගතයෙක් වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු එලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි.
මහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටිපිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට පසු කලෙක දූරේපාතිකයෙක් ද අක්‍ෂණවේධියෙක් ද මහකය බිඳුනෙක් ද වේ නම් මහණෙනි, එ සෙයින් ම මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනස්කාරයෙන් ආකාසය අනන්තය යයි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි, හේ එහි යම් ම වේදනාගතයෙක් වේවයි, සඤ්ඤාගතයෙක් වේවයි, සඞ්ඛාරගතයෙක් වේවයි, විඤ්ඤාණගතයෙක් වේවයි … හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතිකයෙක් වෙයි. ‘මහණෙනි, ආකාසානඤ්චායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
මහණෙනි, විඤ්ඤාණඤ්චායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි … ආකිඤ්චඤ්ඤායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් ම වේදනාගතයෙක්, සඤ්ඤාගතයෙක්, වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතික වෙයි. ‘මහණෙනි, ආකිඤ්චඤ්ඤායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
මහණෙනි, මෙසේ යම් තාක් සවිතක්ක සමාපත්තිය වේ නම් ඒ තාක් අර්‍හත්‍වප්‍රතිවේධය වෙයි. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතනන සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධය දැයි යම් මේ ආයතන කෙනෙක් වෙත් නම් මහණෙනි, මොහු ධ්‍යාන කරන සුලු, සමාපත්තිකුශල සමාපත්ති වුට්ඨානයෙහි කුශල භික්‍ෂූන් විසින් සමවැද (ඉන්) නැඟී (ශාන්ත ප්‍රණීත යයි) මොනොවට කිවයුතුවහ’යි කියමි.
9. 1. 4. 6.
ආනන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිත ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ: එ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට ‘ඇවැත්නි, ආනන්‍දයෙනි’ යී පිළිවදන් ඇස් වූහ. ආයුෂ්මත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් (පඤ්චකාමගුණයෙන්) සම්බාධස්ථානයෙක සත්ත්‍වයන්ගේ විශුද්ධිප්‍රාප්තිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය පිණිස මාර්‍ගයාගේ අධිගමය පිණිස නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අවකාශාධිගමය ඉමහත් සේ පිළිවිඳුනා ලද්දේ ය. ආශ්චර්‍ය්‍ය ය! අද්භූත ය! “එ ඇස ම (අසම්භින්න) වෙයි. ඒ රූපයෝ ම වෙත්, ඒ රූපායතනය නොදන්නේ ය. එ කන ම (අසම්භින්න) වෙයි, එ ශබ්දයෝ ම වෙත්. ඒ ශබ්දායතනය නො දන්නේ ය. එ නැහැය ම (අසම්භින්න) වෙයි. එ ගන්‍ධයෝ ම වෙත්, ඒ ගන්‍ධායතනය නො දන්නේ ය. එ දිව (අසම්භින්න) ම වෙයි, එ රසයෝ ම වෙත්, එ රසායතනය නො දන්නේ ය. එ කය (අසම්භින්න) ම වෙයි, එ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම වෙත්, ඒ ස්පර්‍ශායතනය නො දන්නේ ය”යි.
මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, සචිත්තක වූයේ ම ඒ රූපායතනය නො දන්නේ වේ ද, නො හොත් අචිත්තක ව සිට නො දන්නේ වේදැ”යි. ඇවැත, සචිත්තක වූයේ ම එ රූපායතන නො දන්නේ ය. අචිත්තක වූයේ නො දන්නේ නො වෙයි.
ඇවැත්නි, කෙබඳු සංඥා ඇති එ රූපායතන නො දන්නේ වේ ද?
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායතනය උපයා ගෙන වෙසෙයි. ඇවත, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතන නො දන්නේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඥානය අනන්තය” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතනය නො දන්නේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් ඒ ආයතනය නො දන්නේ ය.
ඇවැත්නි, මම එක් කලෙක සාකේත නුවර අඤ්ජනවනයෙහි මිගදායෙහි වෙසෙමි. ඇවැන්ති, එකල ජටිලගහ නුවර වැසි මෙහෙණ මා වෙත එළැඹුණු ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියා. ඇවැත්නි, එකත්පසෙක සිටි ජටිලගාහියා මෙහෙණ මට තෙල කිවුය: “වහන්ස, ආනන්‍දයෙනි, යම් මේ සමාධියෙක් (රාග විසින්) නැඟ නො සිටුනේ වේ ද, (දෝෂ විසින්) බැස නො සිටුනේ වේ ද, සංස්කාරයෙන් (සප්‍රයෝගයෙන්) කෙලෙසුන් මැඩ වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් පිහිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූ යේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, වහන්ස, ආනන්‍දය, මේ සමාධිය කිනම් ඵල ඇතියේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද දැ”යි?
ඇවැත්නි, මෙසේ කී කල්හි ජටිලගාහියා මෙහෙණට මම තෙල කීමි. “බුහුන, යම් මේ සමාධියෙක් (රාග විසින්) පෙරට නතුයේ නො වේ ද (දෝෂ වසයෙන්) බැස නොසිටුනේ වේ ද, සප්‍රයෝගයෙන් කෙලෙසුන් නිගෙන වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් සිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූයේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, බුහුන මේ සමාධිය අර්‍හත්‍වය ඵල කොට ඇතැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේ ද වනාහි ඒ ආයතනය නො දන්නේ ය”යි.
9. 1. 4. 7.
ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ලෝකායතශාස්ත්‍රය හදාරන බ්‍රාහ්මණ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: