Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 1201-1300 න් 15980

3. 1. 1. 3.
3. මහණෙනි, බාලයාගේ බාලාභිඥානයෝ, බාලනිමිත්තයෝ, බාලචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි බාල තෙමේ (අභිධ්‍යාදි විසින්) නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි. නපුරු බස් බණනුයේ ද වෙයි. නපුරු කර්‍ම කරණුයේ ද වෙයි. මහණෙනි, ඉදින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත්, නපුරු බස් බණන සුලුත්, නපුරු කර්‍ම කරණ සුලුත් නොවී නම්, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි කවර සැටියෙකින් ඔහු හඳුනාගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත් වේ ද, නපුරු බස් බණන සුලුත් වේ ද, නපුරු කර්‍ම කරණ සුලුත් වේ ද, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි එයින් ඔහු හඳුනන්නාහ. මහණෙනි, මොහු තුන්දෙනා බාලයාගේ බාල ලක්‍ෂණ වෙති. බාලනිමිත්ත වෙති. බාලාපදාන වෙත්.
මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ, පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි පණ්ඩිත තෙම මනාසිතිවිලි සිතන සුල්ලේත්, මනාතෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණ සුල්ලේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉදින් මනා සිතිවිලි සිතන සුල්ලේත්, මනා තෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණු සුල්ලේත් නොවී නම්, කවර සැටියෙකින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත තෙමේ මනා සිතිවිලි සිතන සුල්ලේත් වේ ද, මනා තෙපුල් තෙපලන සුල්ලේත් වේ ද, මනා කර්‍ම කරණ සුල්ලේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක, පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගන්නාහ. මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයෝ, පණ්ඩිත නිමිත්තයෝ, පණ්ඩිතාපදානයෝ මොහු තුන්දෙන වෙත් යයි. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 4.
4. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: වරද වරද විසින් නො දක්නේ ද, වරද වරද විසින් දැක ඇවැතට නිසි (යථාපරාධ දණ්ඩයෙන්) පිළියම් නොකෙරේ ද, අපරාධය දෙසන මෙරමාගේ යථාධර්‍මය නො පිළිගණී ද (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත බාල තෙමේ දතයුත්තේ ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: වරද වරද විසින් දක්නේ ද, වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, අපරාධය දෙසන අන්‍යයාගේ අපරාධය පිළිගණී ද, (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ ය. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 5.
5. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: නුනුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුනුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගතපදයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් නො පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුක්ත වූ බාල තෙමේ දතයුතු වේ.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: නුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගත පදව්‍යඤ්ජනයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 6.
6. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: අකුශල වූ කායකර්‍මයෙන, අකුශල වූ වාක්කර්‍මයෙන, අකුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: කුශල වූ කායකර්‍මයෙන, කුශල වූ වාක්කර්‍මයෙන, කුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 7.
7. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ. කවර ධර්‍ම තුණෙකින යත්: වරද සහිත වූ කායකර්‍මයෙන, වරද සහිත වූ වාක්කර්‍මයෙන, වරද සහිත වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: නිරවද්‍ය වූ කායකර්‍මයෙන, නිරවද්‍ය වූ වාක්කර්‍මයෙන, නිරවද්‍ය වූ මනඃකර්‍මයෙන. (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 8.
8. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දත යුත්තේ නම්, ඒ ධර්‍ම තුණ නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 9.
9. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙම කැණු ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පිරිවටයි. වරද සහිත ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන් (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ අව්‍යක්ත අසත්පුරුෂ තෙමේ කැණු ගුණ ඇති නටගුණ ඇති ආත්මය පස්වටයි. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත ව්‍යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පිරිවටයි. නිදොස්වූයේද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වෙයි. බොහෝ (ලොවී ලොවුතුරා) කුසල් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනස්සුචරිතයෙන (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ ව්‍යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ නුවණැත්තන් විසින් නො ම උපවාද කටයුතු ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරේ.
3. 1. 1. 10.
10. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ත්‍රිවිධ මල නො දැහැ (හිසින්) ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: දුශ්ශීල ද වේ. මොහුගේ දෞශ්ශීල්‍ය මලය ප්‍රහීණ නුවූයේත් වේ. ඊර්‍ෂ්‍යා ඇත්තේත් වේ. මොහුගේ ඊර්‍ෂ්‍යාමලය ප්‍රහීණ නුවූයේත් වේ. මසුරුවූයේ ද වේ. ඔහුගේ මසුරු මල නො ම ප්‍රහීණ වූයේ ද වේ. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූයේ මේ මල තුණ ප්‍රහීණ නො කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ නිරයෙහි (පිහිටියේ) වේ.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ත්‍රිවිධ මල පහා හිසින් ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එසේ ස‍්වර්‍ගයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: සිල්වත් ද වෙයි. මොහුගේ දෞශ්ශීල්‍ය මලය ප්‍රහීණ වූයේත් වෙයි. ඊර්‍ෂ්‍යා නැත්තේ ද වෙයි. ඔහුගේ ඊර්‍ෂ්‍යා මලය ප්‍රහීණ වූයේත් වේ. නො මසුරු වූයේ ද වෙයි. ඔහුගේ මසුරුමල ප්‍රහීණ වූයේත් වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූයේ මේ ත්‍රිවිධමලය ප්‍රහීණ කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ (ස‍්වර්‍ගයෙහි) වේ.
පළමුවන බාල වග යි.
[2. රථකාරවර්‍ගය]
[සැවැත්නිදාන යි]
3. 1. 2. 1.
11. මහණෙනි, කරුණු තුණෙකින් සමන්‍වාගත ප්‍රකට මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුණෙකින යත්: (ශාසනයට) අනුලොම් නුවූ කායකර්‍මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ වාක්කර්‍මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ ධර්‍මයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ධර්‍ම තුණෙකින් සමන්‍වාගත ප්‍රකට මහණ තෙම බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය.
මහණෙනි, ධර්‍ම තුනෙකින් සමන්‍වාගත ප්‍රසිද්ධ මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය. කවර තුණෙකින යත්: (සස්නට) අනුලොම් වූ කායකර්‍මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ වාක්කර්‍මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ ධර්‍මයෙහි සමාදන් කරවයි, මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත ප්‍රකට මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය.
3. 1. 2. 2.
12. මහණෙනි, මේ කරුණු තුණෙක් මුදුනෙහි බිසෙස් කළ දෑ කැත්රජහු විසින් දිවිහිම් කොට සිහි කරණුවට නිසි වේ. කවර තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසෙක්හි මුදුනෙහි බිසෙස් කළ කැත් රජ උපන්නේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු පළමු වන කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ බිසෙස් කෙළේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු දෙවෙනි කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ සඞ්ග්‍රාමය දිනා, දිනූ සඞ්ග්‍රාම ඇත්තේ, එම සඞ්ග්‍රාම ස්ථානය (කඳවුරු) අභිභවා වෙසේ ද, මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවි හිමියෙන් සිහි කටයුතු තෙවෙනි කරුණ වේ. මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිමියෙන් සිහි කරණුවට නිසි කරුණු තුණ ය.
මහණෙනි, එසෙයින් ම මහණහු විසින් (දිවිහිම්) කොට සිහි කරණුවට නිසි මේ කරුණු තුණෙක් වේ. කවර කරුණු තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසක දී මහණ තෙමේ කෙහෙරවුලු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වන්නේ වේ ද, මහණෙනි, මෙය දිවිහිමියෙන් මහණහු විසින් සිහිකටයුතු පළමු වන කරුණය.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මහණ ‘මෙය දුකැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුක ඉපදීමට හේතු යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛනිරෝධයැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛ නිරෝධයට යන මාර්‍ගයැ’ යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් සිහි කටයුතු දෙවැනි කරුණ වේ.
තවද මහණෙනි, මහණ යම් පෙදෙසෙක්හි දී ආස්‍රවක්‍ෂයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද දිටුදැමියෙහි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එය ලැබගෙණ වාසය කරයි ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු තෙවැනි කරුණ ය. මහණෙනි, මේ මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු කරුණු තුණයි.
3. 1. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යාමාන වෙත්. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි.
මහණෙනි, නිරාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ ස්වල්ප ආහාරපාන භෝජන ඇති දුක්දිවෙල් ඇති, දුකසේ ආහාර වස්ත්‍ර ලබන, සැඬල් කුලයෙහි වේව යි වැදි කුලයෙක වේව යි, කුලුපොතු කුලයෙහි වේව යි, සොම්මර කුලයෙහි වේව යි, පුප්සඬු කුලයෙහි වේව යි, නීචකුලයෙක උපන්නේ වෙයි. හෙතෙමේ ද දුර්වර්‍ණ වූ අප්‍රියදර්‍ශන ඇති ලකුණ්ටක වූ බොහෝ ආබාධ ඇති කණෙක් හෝ අත් කොරෙක් හෝ පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයනාවාස ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වෙයි. හෙ තෙමේ අසෝ ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරණ ලදැයි අසා. ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මා ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ නිරාශ යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආශංස පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජක්හුගේ අභිෂේකයට යෝග්‍ය වූ අචලප්‍රාප්ත වූ අනභික්‍ෂික්ත වූ දෙටු පුතෙක් වේ හෙ තෙමේ අසෝ කැත් ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තයයි අසා, “ක්‍ෂත්‍රියයෝ කවර නම් දිනෙක මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ආශංසය යි කියනු ලැබේ.
මහණෙනි, විගතාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි ශීර්‍ෂාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජෙක් වේ. හේ මෙනම් “ක්‍ෂත්‍රිය තෙමේ ක්‍ෂත්‍රියයන් විසින් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂික්තය”යි අසා, ඔහුට “කවර නම් දිනෙක ක්‍ෂත්‍රියයෝ මාත් ක්‍ෂත්‍රියාභිෂේකයෙන් බිසෙස් කරන්නාහු දෝ!” යි මෙසේ සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, අනභිෂික්ත වූ ඔහුට පෙර යම් අභිෂේකාශායෙක් වී ද, ඔහුගේ ඒ ආශාව සංහිඳින. මහණෙනි, මේ පුද්ගල තෙමේ විගතාශයී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්‍යමාන වෙති.
මහණෙනි, එපරිද්දෙන් ම මේ පුද්ගලයෝ තුන්දෙනෙක් භික්‍ෂූන් අතර විද්‍යමාන වෙති. කවර තුන්දෙනෙක යත්: නිරාශය, ආශංසය, විගතාශ යි.
මහණෙනි, නිරාශපුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ලාමක ස්වභාව ඇත්තේ අපිරිසිදු වූ කායකර්‍මාදිය ඇත්තේ, සැකයෙන් සිහිකටයුතු හැසිරීම් ඇත්තේ, පිළිසන් කර්‍ම ඇත්තේ ශ්‍රමණ ප්‍රතිරූපක වැ “ශ්‍රමණයෙමි” යි ප්‍රතිඥා කරන්නේ බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වැ “බඹසැරිමි”යී පිළින කරන්නේ ඇතුළත දුගඳ ඇතියේ රාගාදියෙන් තෙත් වූයේ හටගත් කෙලෙස් කසළ ඇත්තේ දුශ්ශීල වෙයි. හෙ තෙමේ “මෙනම් භික්‍ෂු තෙම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥා හා දිටුදැම්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබගෙණ වෙසේ ලැ යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් නො වෙයි. “කවර නම් දිනෙක මමත් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබැ වසන්නෙම් දෝ!”යි මෙබඳු සිතෙක් නො වේ. මහණෙනි, මෙ තෙම නිරාශ පුද්ගල යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආශංස පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් සිල් ඇත්තේ, කලණදහම් ඇත්තේ වේ. “මෙ නම් භික්‍ෂු තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට සපයාගෙණ වෙසේ ලැ යී හෙතෙම අසා ද, ඔහුට “කවර නම් දිනෙක මමත් ආස්‍රවක්‍ෂයයෙන් අනාශ්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වසන්නෙම් දෝ!”යි මෙබඳු සිතෙක් වේ. මහණෙනි, මෙතෙම ආශංස පුද්ගල ය යි කියනු ලැබේ.
මහණෙනි, විගතාශ පුද්ගල තෙමේ කවරේය යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් අර්‍හත් වූයේ ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තේ වේ ද, “මෙනම් භික්‍ෂු තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව හා ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට සපයා වෙසේ ලැ යි අසා ද, ඔහුට “කවර නම් දිනෙක මමත් ආශ්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... පසක් කොට ඊට පැමිණ වෙසෙම්දෝ!”යී (මෙබඳු) සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පෙර ම කෙලෙසුන්ගෙන් නොමිදුනා වූ ඔහුගේ යම් විමුක්තියෙහි ආශායෙක් වී ද ඒ ආශා තොමෝ ඔහුට සංහුන. මහණෙනි, මේ විගතාශපුද්ගලයැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා භික්‍ෂූන් අතරෙහි විද්‍යමාන වෙත්.
3. 1. 2. 4.
14. මහණෙනි, යම් ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජෙක් වේ ද, හෙ ද රජකුගෙන් තොර වූ අණසක නො පවත්වයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විති රජකුහට කවර නම් රජෙක් වේ දැ” යි මෙය කීය. මහණ, ධර්‍මය වේයැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරමින් ධර්‍මයට ගරු කරමින් ධර්‍මය පුදමින් ධර්‍මය ධ්වජ කොට ඇත්තේ ධර්‍මය කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ ධාර්මික වූ රකවල් ඇතුළත් ජනයා කෙරෙහි යොදයි.
තවද මහණ, දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ තෙමේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය ම පුදන්නේ ධර්‍මය ම ධ්වජ කොට ඇත්තේ ධර්‍මය ම කේතු කොට ඇත්තේ ධර්‍මාධිපත්‍යය ඇත්තේ අනුයුක්ත වූ ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද, බමුණුගැහැවියන් කෙරෙහි ද, නියම්ගම් දනවු වැස්සන් කෙරෙහි ද, මහණබමුණන් කෙරෙහි ද, මෘගපක්‍ෂීන් කෙරෙහි ද, ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවයි. මහණ, ඒ දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ ධර්‍මය ම ආශ්‍රය කොට, ධර්‍මයට ම සත්කාර කරන්නේ, ධර්‍මය ම ගරු කරන්නේ, ධර්‍මය ම පුදන්නේ, ධර්‍මය ධ්වජ කොට ඇත්තේ, ධර්‍මය කේතු කොට ඇත්තේ, ධර්‍මාධිපත්‍යය ඇත්තේ අභ්‍යන්තර ජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය යොදා අනුයුක්ත වූ ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද, බමුණු ගැහැවියන් කෙරෙහි ද, නියම්ගම් දනවු වැස්සන් කෙරෙහි ද, මහණ බමුණන් කෙරෙහි ද, මෘගපක්‍ෂීන් කෙරෙහි ද, ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය යොදා දැහැමින් ම අණසක පණවයි ද, ඒ අණසක මනුෂ්‍ය වූ පසමිතුරු වූ කිසියම් ප්‍රාණියකු විසින් නොවැළැහිය හැකි වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම දැහැමි වූ අර්‍හත් වූ ධර්‍මරාජන් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට ම සත්කාර කරණ සේක් ධර්‍මය ම ගරු කරණ සේක් ධර්‍මය ම පුදන සේක් ධර්‍මය ම ධ්වජ කොට ඇති සේක් ධර්‍මය ම කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් මෙබඳු වූ කායකර්‍මය සෙවිය යුතුය යි ද, මෙබඳු වූ කායකර්‍මය නො සෙවිය යුතුයැ යි ද, කායකර්‍ම විෂයෙහි ලා ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය වදාරණ සේක.
මහණ, තවද දැහැමි වූ ධර්‍මරාජන් වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ධර්‍මය ම ආශ්‍රය කොට ධර්‍මයට සත්කාර කරණ සේක් ධර්‍මය ගරු කරණ සේක් ධර්‍මය පුදන සේක් ධර්‍මය ධ්වජ කොට ඇති සේක් ධර්‍මය කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් මෙබඳු වූ වාක්කර්‍මය සෙවිය යුතුයැ යි ද, මෙබඳු වූ වාක්කර්‍මය නො සෙවිය යුතුයැ යි ද, වාක්කර්‍ම විෂයෙහි දැහැමි වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවන සේක … මෙබඳු වූ මනඃකර්‍මය සෙවිය යුතුය, මෙබඳු වූ මනඃකර්‍මය නො සෙවිය යුතුයැ යි ද මනඃකර්‍මවිෂයෙහි දැහැමි වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවන සේක.
මහණ, දැහැමි වූ ධර්‍මරාජන් වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ ධර්‍මයට සත්කාර කරණ සේක් ධර්‍මය ගරු කරණ සේක් ධර්‍මය පුදන සේක් ධර්‍මය ධ්වජ කොට ඇති සේක් ධර්‍මය කේතු කොට ඇති සේක් ධර්‍මාධිපත්‍යය ඇති සේක් කායකර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, වාක්කර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, මනඃකර්‍ම විෂයයෙහි ධාර්මික වූ රක්‍ෂාවරණ ගුප්තිය පණවා, දැහැමින් ම නිරුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, ඒ ධර්‍මචක්‍රය වනාහි ලොව්හි ශ්‍රමණ වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ දේව වූ හෝ බ්‍රහ්ම වූ හෝ ලොව්හි කිසිවකු විසිනුත් නො වැළැහිය හැක්කේ වේ.
3. 1. 2. 5.
15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර ඉසිපතන නම් වූ මිගදායයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, යි’ භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යී ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, වූ විරියෙකි. පචේතන නම් රජෙක් විය. මහණෙනි, ඉක්බිති පචේතන රජ තෙම, “යහළු රථකාරය, මෙයින් සමසක් ඇවෑමෙන් මට යුද්ධයෙක් වන්නේ ය. යහළු රථකාරය, මට නව රියසක් යුවළක් කරන්නට හැක්කෙහි දැ”යි රියකරුවා ඇමතීය. මහණෙනි, “හැක්කෙමි දේවයෙනි”යි රියකරු පචේතන රජහට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ සරැයක් අඩු සමසෙකින් එක් රියසකක් නිමැවීය. මහණෙනි, ඉක්බිත්තෙන් පචේතන රජ තෙමේ, “යහළු රථකාරය, මෙයින් සදවසක් ඇවෑමෙන් මාගේ සඞ්ග්‍රාමය වන්නේය. තා විසින් නවසක්සඟළ නිමවන ලද දැයි රථකාරයා ඇමතීය. “දේවයිනි, සරැයක් හළ මේ සමසින් එක් රියසකෙක් නිමවන ලදැ”යි රියකරු කීය. “යහළු රථකාරය, මේ සදවසින් මාගේ දෙවන රියසක නිමවන්නට හැක්කෙහි ද?” “දේවයිනි, හැක්කෙමැ” යි රථකාර තෙම පචේතන රජුට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිති රථකාර තෙමේ සදවසෙකින් දෙවන රියසක නිමවා නවසක්යුවළ රැගෙණ පචේතන රජු වෙත එළඹියේය. එළඹ පචේතන රජහට “දේවයෙනි, මුබගේ මේ නවසක් යුවළ නිමවන ලදැ”යි මෙය පැවසීය. “යහළු රථකාරය, තා විසින් යම් මේ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද, තා විසින් යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, මේ දෙකෙහි වෙනස කවරේ ය? මම කිසිදු වෙනසක් නො දකිමි” යි රජ කීය. “දේවයෙනි, මේ දෙක්හි වෙනස ඇත් ම ය. දේව තෙමේ වෙනස දකීවා” යි රියකරු කීය.
මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ යම් ඒ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒතාක් ගොස් බමා බිම වැටුනේය. යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝග ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.
“යහළු රථකාරය, යම් මේ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් බමා බිම වැටුනේ ද, එයට හේතු කිම? එයට කරුණු කිම? යහළු රථකාරය, යම් මේ සකෙක් සරැයෙකින් අඩු සමසෙකින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේ ද, එයට හේතු කවරේ ය: එයට කරුණ කවරේය? දේවයෙනි, යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, එහි නිම්වළල්ල වක්වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. දැවි ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නැබ ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නිම්වළල්ළෙහි වක්බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද දැවියෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද නැබෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් බමා බිම වැටුනේ ය. දේවයෙනි, යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන් ලද ද, එහි නිම් වළල්ල ද නො වක් වෙයි. නිදොස් වෙයි. එලයෙන් තොර වෙයි. (එහි) දැවිහු ද නො වක් වෙයි. නිදොස්හ. එලයෙන් තොරහ. නැබ ද නො වක්ය, නිදොස්ය, එලයෙන් තොරය, නිම් වළල්ලේ නොවක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද, දැවියෙහි නො වක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.
මහණෙනි, එසමයෙහි ඒ රියකරු ඒකාන්තයෙන් අනෙකෙක් විය හැක්කැ යි තොපට මෙබඳු සිතෙක් විය හෙයි. මහණෙනි, මෙය මෙසේ නො දැක්ක යුතු ම ය. එ සමයෙහි මම ඒ රියකරු වීමි. මහණෙනි, මම වනාහි එකල දැව පිළිබඳ ඇදෙහි දැව පිළිබඳ දොස්හි දැව පිළිබඳ එලයෙහි නිපුණයෙකිම් වීමි. මහණෙනි, දැන් වනාහි මම අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූයෙම් කායවඞ්කයන්ගේ ද කායදෝෂයන්ගේ ද කායකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. වාග්වඞ්කයන්ගේ ද වාග්දෝෂයන්ගේ ද වාක්කෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. මනෝවඞ්කයන්ගේ ද මනෝදෝෂයන්ගේ ද මනඃකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ නුවූයේ වේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මහණෙනි, මෙසේ ඔහු මේ (ධර්‍මවිනයයෙන්) ශාසනයෙන් ගුණ හීනවීමෙන් වැටුනාහු වෙති. සදවසෙකින් නිමවන ලද ඒ රියසක යම්සේ වේ ද, එසේ ය.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ වූයේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය ප්‍රහීණ ද, මහණෙනි, මෙසේ වනාහි ඔහු මෙසස්නෙහි පිහිටියාහු වෙති. සරැයක් හළ සමසෙකින් නිමි ඒ රියසක යම්සේ වේ ද එසේ ය.
මහණෙනි, එහෙයින් කායවඞ්කය කායදෝෂය කායකෂායය දුරලන්නම්හ. වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂායය දුරලන්නම්හ. මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය දුරලන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 2. 6.
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත භික්‍ෂු තෙම අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වේ. කවර තුණෙකින යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඉන්‍ද්‍රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ. භෝජනයෙහි මාත්‍රඥ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ.
මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ ඉන්‍ද්‍රිය විෂයයෙහි රක්නා ලද දොර ඇති වේ ද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර කොට වාසය කරණ මේ පුද්ගලයා අභිධ්‍යා දෞර්‍මනස්‍ය නම් වූ ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය. කණින් ශබ්දයක් අසා ... නාසිකායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... සිතින් දහමක් දැන නිමිති වශයෙන් නොගන්නේ වේ ද, අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ ද, අභිධ්‍යා දෞර්‍මනස්‍ය නම් වූ ලාමක අකුශලධර්‍මයෝ තුමූ ම ඉන්‍ද්‍රිය සංවර කොට නොගෙණ වසන මේ පුඟුලා යම් හෙයෙකින් ලුහු බඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ ඉන්‍ද්‍රිය විෂයයෙහි වැසූ ද්වාර ඇති වේ.
මහණෙනි, මහණ තෙම කෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නුවණින් සලකා අහර ගණියි. කෙළි පිණිස නො වේ, මද පිණිස නො වේ, අඩුතැන් පිරවීම පිණිස නො වේ, සැරසීම පිණිස නො වේ, මේ සිරුර පැවැත් ම පිණිස ම වේ, යැපීම පිණිස ම වේ, සාගිනි වේදනාව වැළැක් ම පිණිස ම වේ, ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යහට අනුග්‍රහ පිණිස ම වේ, මෙසේ පැරණි කුසගිනි වේදනාව නසන්නෙමි. අභිනව වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය. නිදොස්බව ද නිවැරදිබව ද පහසු විහරණය ද වන්නේ ය යනුයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ භෝජනයෙහි පමණ දන්නේ වේ.
මහණෙනි, මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමු යම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට සිහි ඇත්තේ නුවණ ඇත්තේ සිංහ ශය්‍යාව කරයි. රෑ පැසුළුයම නැගිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වෙයි.
3. 1. 2. 7.
17. මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙනෙක් තමාට පීඩාව පිණිස ද පවත්නාහ. මෙරමාහට පීඩාව පිණිස ද පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායදුශ්චරිත ය වාග්දුශ්චරිත ය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙන තමාට හිංසාව පිණිස ද පවත්නාහ. මෙරමාහට හිංසාව පිණිස ද, දෙදෙනාහට හිංසාව පිණිස ද පවත්නාහ.
මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙනෙක් තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස නො පවත්නාහ. කවර තුන්දෙනෙක යත්: කායසුචරිතය වාක්සුචරිතය මනඃසුචරිත යි. මහණෙනි, මේ ධර්‍මයෝ තුන්දෙන තමාට පීඩා පිණිස ද නො පවත්නාහ. මෙරමාහට පීඩා පිණිස ද නො ම පවත්නාහ. දෙදෙනාහට ම පීඩා පිණිස ද නො ම පවත්නාහ.
3. 1. 2. 8.
18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, දෙව්ලොව උපදනා සඳහා මහණගොයුම්හු කෙරෙහි බඹසරවස් වැසෙන්නේ වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, තෙපි මෙසේ පුළුවුස්නා ලද්දහු පීඩිතවන්නහු නොවවු ද, ලජ්ජිතවන්නහු නොවවු ද, ජුගුප්සා ඇත්තහු නොවවු දැ යි. වහන්ස, එසේය. මහණෙනි, මෙසේ තෙපි දිව්‍ය ආයුෂින් පීඩිත වව, ලජ්ජිත වව, හටගත් ජුගුප්සා ඇති වව, දිව්‍ය වූ වර්‍ණයෙන් - දිව්‍ය වූ සුඛයෙන් - දිව්‍ය වූ යශසින් - දිව්‍ය වූ ආධිපත්‍යයෙන් පීඩිත වව, ලජ්ජිත වව, ජුගුප්සා ඇති වව, මහණෙනි, තොප විසින් කැල ම කායදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් පීඩිත වුව මැනව, ලජ්ජිත වුව මැනව, ජුගුප්සා ඇති වුව මැනව.
3. 1. 2. 9.
19. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භෝග දියුණු කරන්නට වේවයි අභව්‍යයෙකි. කවර අඞ්ග තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරු කාලයෙහි සකසා කර්‍මාන්තයෙහි නො සිටුනේ ද, මධ්‍යාහ්න කාලයෙහි කර්‍මාන්තයෙහි සකසා නො සිටුනේ ද, සවස් කාලයෙහි කර්‍මාන්තයෙහි සකසා නොසිටුනේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍වාගත වූ වෙණෙඳ නොලත් භොග ලබා ගන්නට වේවයි ලැබූ භොග දියුණු කරන්නට වේවයි අභව්‍ය වේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ මහණ නොලත් කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩාගන්නට වේවයි අභව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මධ්‍යහ්නකාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, සවස්කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ මහණ නො ලැබූ සමාධිනිමිත්ත ලබා ගන්නට වේවයි ලැබූ සමාධිනිමිත්ත වඩාගන්නට වේවයි අභව්‍ය වේ.
මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වෙණෙඳ නොලැබූ භොග ලබාගන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරුකාලයෙහි සකසා කර්‍මාන්තයෙහි සිටුනේ ද, මධ්‍යහ්නකාලයෙහි සකසා කර්‍මාන්තයෙහි සිටුනේ ද, සවස් කාලයෙහි සකසා කර්‍මාන්තයෙහි සිටුනේ ද, මහණෙනි, මේ අඞ්ගතුණෙන් සමන්‍වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්‍ය වේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ නො ලැබූ කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මධ්‍යහ්නකාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. සවස්කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මහණෙනි, මේ ධර්‍මතුණෙන් සමන්‍වාගත මහණ නොලැබූ කුසල්දහම් ලබන්නට වේවයි, ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්‍ය වේ.
3. 1. 2. 10.
20. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වෙණෙඳ නොබෝ කලෙකින් ම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ නුවණැස් ඇත්තේ වෙයි, ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇත්තේ ද වෙයි, නිඃශ්‍රයසම්පන්න ද වේ.
මහණෙනි, වෙණෙඳ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි වෙණෙඳ “මේ වෙළඳ බඩු මෙසේ මිල දී ගන්නා ලද්දේ මෙසේ විකුණනු ලබන්නේ මෙතෙක් මිල වෙයි. මෙතෙක් ලාභ වේ යයි” බඩුමිල දනී ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණැස් ඇති වෙයි. මහණෙනි, කෙසේ නම්, වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි වෙළඳ තෙම වෙළඳ බඩු මිලට ගන්නට හා විකුණන්නට හා දක්‍ෂ වේ ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වෙයි.
මහණෙනි, වෙළඳ තෙම කෙසේ නම් නිඃශ්‍රයසම්පන්න වේ ද? යත් මහණෙනි, මෙලොව්හි වෙළෙඳෙක් වේද, “ආඪ්‍ය වූ මහත් වූ ධන ඇති, මහා භොග ඇති, යම් ඒ ගෘහපති කෙනෙක් හෝ ඇත් ද, ගෘහපතිපුත්‍ර කෙනෙක් හෝ ඇත් ද, ඔවුහු “මේ භවත් වෙළෙඳ තෙම නුවණැස් ඇත්තේ ද, විධුර ද වෙයි. අඹුදරුවන් පුස්නට හා අපට කලින් කල අනුප්‍රදානය කරන්නට ද ප්‍රතිබල වේ ය”යි මෙසේ ඔහු දැන ගණිත් ද, ඔවුහු “සගය, වාණිජයෙනි, මෙයින් භෝගයන් ගෙණ ගොස් අඹුදරුවන් පුස්ව, කලින් කල අපට ද දෙව”යි ඔහු භෝගයෙන් පවරත්. මහණෙනි, මෙසේ වනාහි වෙළෙඳ තෙම නිඃශ්‍රයසම්පන්න වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් වෙළෙඳ තෙම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම ධර්‍මවිෂයෙහි මහත් බවට විපුල බවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ නුවණැස් ඇත්තේ ප්‍රඥා ඇත්තේ නිඃශ්‍රය ඇත්තේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම “මෙය දුකැ”යි තත් වූ පරිද්දෙන් දනී ද - මෙය දුක් නැති කිරීමට යන ප්‍රතිපදා යයි තත් වූ පරිද්දෙන් දනී ද, මහණෙනි, මෙසේ වනාහි මහණ නුවණැස් ඇති වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් විධුර වූයේ වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ අකුශලධර්‍මයන් ප්‍රහීණ කිරීම පිණිස පටන්ගත් වැර ඇත්තේ වෙසෙයි ද, කුසල්දහම් වැඩීම පිණිස ශක්ති ඇත්තේ දෘඪපරාක්‍රම ඇත්තේ වේ ද, කුශලධර්‍මයන් කෙරෙහි නොහළ වීර්‍ය්‍ය ඇති වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ වීර්‍ය්‍ය ඇති වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් නිඃශ්‍රය ඇති වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ, බහුශ්‍රුත වූ පැමිණි ශාස්තෘශාසන ඇති ධර්‍මධර වූ විනයධර වූ (උභය) මාතෘකාධර වූ යම් මහණ කෙනෙක් වෙත් ද, කලින් කල ඔවුන් වෙත පැමිණ කරුණු නොකරුණු විචාරා ද, වහන්ස, මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමෙකැයි? ප්‍රශ්නකරයි ද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්‍රකට වූ ධර්‍මය ද විවර කෙරෙති. විස්තෘත නුවූ ධර්‍මය ද විස්තර කෙරෙති. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් කෙරෙහි සැක දුරලති. මහණෙනි, මෙසේ වනාහි මහණ නිඃශ්‍රය ඇති වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ මහණ නොබෝ කලෙකින් ම ධර්‍මවිෂයෙහි මහත්බවට විපුල බවට පැමිණෙයි.
පළමු වන බණවර නිමි.
දෙවන වග යි.
[3. පුඟුල් වර්‍ගය]
3. 1. 3. 1.
21. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සාම්මෝදනයට හේතු වන සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, සවිට්ඨයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපට ඉතා මැනැවැයි ප්‍රණීතතරය යි රුස්නේ ය?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි: ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙන විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් සද්ධාවිමුත්ත නම් යම් පුද්ගලයෙක් වේ ද, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ පුද්ගල තෙමේ වඩා මැනැවැයි ද වඩා ප්‍රණීත යයි ද මට රුස්නේ වේ. ඊට හේතු කවරේය යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වේ ද එහෙයිනි.
ඉක්බිති, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත, කොට්ඨිතයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, ප්‍රණීතය යී ද තොපට රුස්නේ වේ ද?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙහි යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, මේ පුද්ගල තෙමේ මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්‍ද්‍රිය ය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
ඉක්බිති ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්ත යි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද තොපට රුස්නේ වේ ද?
ඇවැත් කොට්ඨිතයෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් යම් පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් ඉතා මැනැවැයි ද, ඉතා ප්‍රණීතය යි ද, මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්‍රඥේන්‍ද්‍රියය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, අප හැම දෙනා විසින් සිය සිය වැටහීම ප්‍රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නම්හ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත සැළ කරම්හ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් පරිද්දෙකින් වදාරණ සේක නම්, එපරිද්දෙන් එය දරන්නම්හ යී.
ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇවැත්නි, එසේ ය යී ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් හා සමග යම් බඳු කථාසල්ලාපයෙක් වී ද, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මෙ තෙමේ වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ. ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ __අර්‍හත් හෝ අර්‍හත් මාර්‍ගයට පිළිපන්නේ හෝ__{*} වෙයි. යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි” ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ.
ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: ‘යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ __අර්‍හත් හෝ අර්‍හත් මාර්‍ගයට පිළිපන්නේ හෝ__{*} වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි.’ ශාරීපුත්‍ර ය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ.
ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ __අර්‍හත් හෝ අර්‍හත් මාර්‍ගයට පිළිපන්නේ හෝ__{*} වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි” ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීමට සුකර නො වේ යයි.
[සැවැත්නිදාන යි]